ජිනීවා, කටුනායක සහ මුල්ලිවයික්කාල්


සුනන්ද දේශප්‍රිය

පසුගිය මැයි 30 දා ජීනිවා හි මානව හිමකම් කවුන්සිලයේ 17වන සැසිවාරය ඇරඹුණි. එදින ආරම්භක සැසියේ දී අදහස් දැක්වූ එක් එ.ජා. නිලධරයකු වුයේ නීතියෙන් පරිබාහිර මනුෂ්‍ය ඝාතන පිළිබඳ එක්සත් ජාතීනගේ විශේෂ නියෝජිතයා වන ක්‍රිසිටොප් හයින්ස් ය. ඔහු ඉදිරිපත් කළ එක් වාර්තාවක් වූයේ විරෝධතා හැසිරවීම සඳහා බලය පාවිචිචි කරන අවස්ථාවන්හි දී රාජ්‍ය නීතිය අනුව කටයුතු කළ යුතුය යන්න යි. එවැනි අවස්ථාවන්හි දී ජීවිත හානි වළක්වා ගැනීමට ගතයුතු පියවරන් ගැන අභියෝගයක් බව ඔහු කියා සිටියේ ය. 

හයින්ස් මෙම වාර්තාව ජීනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරත් දී දෛවෝපගත සිදුවීමක් ශ්‍රී ලංකාවේ කටුනායක සිදු වෙමින් තිබුණි. එනම් සිය වෘත්තීය ප්‍රශ්ණයක් අරභයා සාමකාමී ලෙස විරෝධය පෑමට වීදිබට දහස් ගණනාවක් වැඩකරන ජනයාට එරෙහිව ශ්‍රී ලංකාවේ රාජ්‍ය පමණ ඉක්මවූ බලය පාවිච්චි කරමින් සිටීම යි. නිරායුධ විරෝධතාකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකා රාජ්‍යයේ පොලීසිය ජීව උණ්ඩ යොදා ගනිමින් වෙඩි වරුසා එල්ල කරමින් තිබුණි. මෙම වෙඩි ප්‍රහාරයන්ගෙන් විශාල පිරිසක් තුවාල ලැබූ අතර බරපතල තුවාල ලද විසි දෙහැවිරිදි රොෂාන් ෂානක පසුව මිය ගියේ ය. 

මෙ වනාහී මෙයට තිස්වසරකට පෙර 1981 වැඩවර්ජනය අවස්ථාවේදී රාජ්‍ය දඩබල්ලන් විසින් පහර දී මරා දමන ලද සෝමපාල සහෝදරයාගෙන් පසු වැඩකරන ජනයාගේ විරෝධතාවයක දී ඝාතනට ලක් වූ පළමු වැන්නා බව සඳහන් කළ යුතු ය.

එ.ජා. විශේෂ නියෝජිත ක්‍රිස්ටෝපර් හයින්ස් කතා කරමින් සිටියේ එවැනි තත්ත්වයන්හි දී ජීවිත ආරක්ෂාවට මුල් තැන දෙන්නේ කෙසේද යන්නයි. එවැනි අවස්ථා ගණනාවක් පෙන්වා දුන් ඔහු කියා සිටියේ සාමකාමී විරෝධතාවයන්ට අවසර නොලැඛෙන කළ විරෝධතාකරුවන් ප්‍රචණ්ඩත්වයට පෙලඹෙන බවයි. රැස්වීමේ අයිතිය තහවුරු කිරීමෙන් ගැටුම් අවම කර රුධිර ගලනයන් නතර කළ හැකි බව ඔහු කියා සිටියේ ය. එම අවස්ථාවේදීම ඊට සැතපුම් දහදහස් ගනනාවකට එපිට ශ්‍රී ලංකාවේ සිදුවෙමින් තිබුණේ මර්දනකාරී පාලනය හේතු කොට ගෙන සාමකාමී විරෝධයන් කළහකාරී බවට පත් වීමත් ගිනි අවි යොදා ගනිමින් රාජ්‍ය මර්දනය තවත් වටයකින් උත්සන්න කිරීමත්ය.

ක්‍රිස්ටොපර් හයින්ස්ගේ දෙවැනි වාර්තාව කෙලින්ම ශ්‍රී ලංකාවට අදාළ විය. එහි සාකච්ජා කැරුණේ චැනල් 4 වීඩියෝව නමින් ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ යුද්ධයේ මිනිස් ඝාතන යැයි කියනු ලබන දර්ශණ ඇතුළත් වීඩියෝ පටය පිළිබඳව ය. එල්ටීටීඊ ය සහ ශ්‍රී ලංකා රාජ්‍ය හමුදා අකර අවසන් යුද සටන් ඇවිල ගිය මුල්ලේවයික්කාල් වීඩියෝව යැයි ද අයෙක් මෙය නම් කරුනු ලැබ තිබේ. යුද්ධයට මැදි වූ සාමන්‍ය දෙමළ ජනයා දහස් ගණනින් මිය ගියේ මෙම ප්‍රදේශයේ දී ය. තමාට එම වීඩියෝ පටයේ වඩා දීර්ඝ පිටපතක් ලැබී ඇතැයි කී හයින්ස් එය පිළිබදව එ.ජා. සංවිධානය විසින් කරන ලද පරීක්ෂන මගින් එය විශ්වසනීය වීඩියෝ පටයක් බව තහවුරු වී ඇතැයි කියා සිටියා ය. (දැන් මෙම වීඩියෝ පටය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කාර්යාලයේ වෙබ් අඩවියෙන් දැක ගත හැක.) 

මෙම සාකච්ජා සිදු වූ මැයි 30 දාම ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ වාර්තාවයැයි කියනු ලබන එජා මහලේකම්ගේ උපදේශක කමිටුවේ වාර්තාව ද අවධානයට ලක්විය. ඊට හේතුව වුයේ නවා පිල්ලේ මහ කොමසාරිස්වරිය එම වාර්තාව අනුව යමින් ශ්‍රි ලංකාවේ යුද්ධයේ අවසන් සමයේ සිදු කරන ලද මානව හිමිකම් කෙළසීම් අරභයා ස්වාධින පරීක්ෂණයක අවශ්‍යතාවය අවධාරණය කළ නිසා ය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් තානාපතිනි ක්ෂෙනුකා සෙනවිරත්න ද අමාත්‍ය මහින්ද සමරසිංහ ද පිළිතුරු කතා පැවැත් වූහ. ඒ දෙදෙනාම කියා සිටයේ යුද්ධයේ අවසන් සමයේ දී රාජ්‍ය හමුදා විසින් සිවිල් ජනයා ඝාතනයට ලක් නොකරන ලද බවයි. ජනාධිපති රාජපක්ෂ කොළඹ දී කතාකරමින් කියා සිටියේ එක් අතෙක තුවක්කුවත් අනෙක් අතෙහි මානව හිමිකම් ප්‍රඥාප්තියක් ඇතිව යුද්ධයට ගිය සිය සෙබළුන් අතින් කිසිදු මානව හිමිකම් කෙළෙසීමක් සිදු නොවූ බවයි. එබැවින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් ද අවශ්‍ය නැති බව නොකියා කියන ලද කතාන්තරය විය.

ඊට සහමුලින් ම වෙනස් ලෙස කටුනායක දී පොලිස් වෙඩි පහරින් මිය ගිය රොෂාන් සෙනවිරත්නගේ මරණයට හේතු සොයා බැලීමට මරණයෙන් පැය විසි හතරක් යෑමට මත්තෙන් හිටපු විනිසුරකු පත් කරන ලදී. එපමණක් නොව මෙම වෙඩි තැබීම වරදක්සේ සළකා පොලිස්පතිවරයා ඉවත් කරන ලද අතර නාමිකව හෝ තවත් පොලිස් නිළධාරීන් ගණනාවක්ම අත් අඩංගුවට ද ගන්නා ලදී. රොෂාන් මහානාම මිය යෑමට පෙර වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය නම් එතෙර ගෙන යෑමට පවා ජනාධිපතිවරයා සූදානමින් සිටි බව ජනමාධ්‍ය වාර්තා කළේ ය.

කොපමණ වෙනසක් ද? එ.ජා. මහලේකම් උපදේශක කමිටු වාර්තාව පෙන්නා දෙන්නේ යුද්ධයේ අවසන් අදියරෙහි දී වෙඩි වැදී සිටි වන්නි දෙමළ ජනයාට ප්‍රතිකාර කිරිමට අවශ්‍ය වූ ඹෟෂධ වර්ග එහි යැවීම ආණ්ඩුව උවනාවෙන් ම පමා කළ බව යි. එය කියා සිටින්නේ එළෙස සහනාධාර යැවීම මන්දගාමී කිරීම පිණිස ශ්‍රී ලංකාණ්ඩුව උවමනාවෙන්ම වන්නියේ සිටි දෙමළ ජනයා අඩුවෙන් තක්සේරු කළ බවයි. එම යුද්ධයේ දී මානව හිමිකම් කෙළෙසූ බවට චෝදනා ලද නිලධාරීන්ට ඉල්ලා අස්වීම වෙනුවට ලැබුණේ රාජ්‍ය තාන්ත්‍රික පත්වීම් ය. 

කටුනායක පොලිස් ප්‍රහාරය මර්දනකාරී ආණ්ඩුවක බිය ජනක දුෂ්ඨකමෙකි. දැන් අවශය වන්නේ ඊට වගකිවයුතු සියළු දෙනාටම ඔවුනගේ තරාතිරම නොබලා දඩුවම් දීමය. 

යාපනයේ ඇති වූ නිරායුධ විරෝධතාවයක් ඇති වී පොලිස් වෙඩි පහරකින් දෙමළ තරුණයකු මිය ගියේ නම් මෙවැනි ම පියවරයන් ගැනේනට ඉඩ තිබුනේ ද? එමෙන්ම නම් මුල්ලෙවයිකාල් අවට මරා දැමුණු දහස් ගණන් ජනයා ගැන කියන්නේ කුමක්ද? ඒ පිළිබඳව කවර පාර්ශවයක හෝ කවරකුට හෝ කවදාක හෝ දඩුවම් කැරෙනු ඇත් ද? අඩුම වශයෙන් ඒ අරභයා නිසි විවෘත සහ ස්වාධීන පරීක්ෂනයක් කැරෙනු ඇත්ද? (1988 - 1990 සමයේ දකුනේ පැවැති සිවිල් යුද්ධයෙන් අනතුරුව ඝාතනය වූ සිංහළ තරුනයින්ගේ සමූහ මිනී වළවල් සෙවිමටත් අතුරු දහන් වූවන් ගැන සෙවීමටත් පියවර ගැනුනු බව අමතක නොකළ යුතු ය.) 

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දැන් පැවැත්වෙන 17වන සැසි වාරයේ දී ශ්‍රී ලංකාව පිළිබද ඇතිවූ සඳහන් කිරීම් සියල්ලම වාගේ කෙරුණේ මෙන්න මේ කරුණ වටාය. යුද්ධයේ අවසන් අදියරෙහි ශ්‍රී ලංකාවේ සිදු වූ බවට චෝදනා කැරෙන දරුණු සහ මහා පරිමාණයේ මානව හිමිකම් කෙළෙසීම් ගැන විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය ද නැත්ද? එවැන්නක් අවශ්‍ය නැති බවටත් දැනට කෙරීගෙන යන අභ්‍යන්තර පරීක්ෂණ ප්‍රමාණවත් බවටත් එවැනි යෝජනාවක් ගෙන ආ එ.ජා. මහ ලේකම් උපදේශක කමිටු වාර්තාව හෙළා දැකීමටත් ශ්‍රී ලංකාණ්ඩුව ප්‍රබල බලපෑමේ ව්‍යපාරයක් ගෙන ගියා ය. හැකි සියළුම රටවල් ලවා එකී කමිටු වාර්තාව හෙළා දැක්කවීම එහි අරමුණ විය.

එහිලා ශ්‍රී ලංකාවේ ස්ථාවරය සමඟ එක එල්ලේම සිටියේ ඉස්ලාමීය රටවල් නියෝජනය කරන පකිස්ථානය, කියුබාව, චීනය, ඉරානය, සහ පිලිපීනය පමණි. ශ්‍රී ලංකාවේ අසල්වැසියන් වන මාලදිවයින, නේපාලය සහ ඉන්දියාව එවැනි කිසිදු සහායක් දීමට ඉදිරිපත් වූයේ නැත. මධ්‍යස්ථ ස්ථාවරයක් ගත් බංගලා දේශය කියා සිටියේ අභන්තරව නමුත් නිසි පරීක්ෂණයක් අවශය බව යි. එපමණක් නොව රටවල ස්වාධිපතයට ගරුකළ යුතු බව කියා සිටි රුසියාව මහා පරිමාණ මානව හිමිකම් කෙළෙසීම් සඳහා දඩුවම් පැමිණ විය යුතු බවත් එනමුත් එය ප්‍රයොගික සහ මධ්‍යස්තව සිදු විය යුතු බවත් කියා සිටියා ය. නොබැදී සම්මේලනය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පක්ෂව කිසිදු ප්‍රකාශයක් කෙරුනේ නැත. ඉන්දුනීසියාව සහ ජපානය ද ගත්තේ නිහඩ ස්ථාවරයකි. 

දකුණු අප්‍රිකාව ද මහලේකම් උපදේශක කමිටු වාර්තාව පිළගනිමන් මහ කොමසාරිස්වරියගේ අදහස් අනුමත කරමින් අදහස් දැක්වී ය. යුරෝපා සංගමය වෙනුවෙන් එහි වත්මන් සභාපති හංගේරිය කමිටු වාර්තාව පිළිගනිමින් ස්වාධීන පරීක්ෂනයක අවශ්‍යතාවය අවධාරණය කළා ය. ඇමෙරිකා එක්සත් ජනපද ය ශ්‍රී ලංකාව පිළිබද එ.ජා. මහ ලේකම් උපදේශක කමිටු වාර්තාව පසසමින් වගවීමෙහි සහ පරීක්ෂණයක් අවශ්‍යතාවය වෙනුවෙන් තදින් පෙනී සිටියා ය. විශේෂයෙන්ම ඇයගේ පසුගිය ක්‍රියාකාරිත්වය වෙනුවෙන් නවා පිල්ලේ මහ කොමසාරිස්වරිය පැසසීමට අදහස් දැක් වූ සියළුම රටවල් පාහේ පියවර ගත් නමුත් ශ්‍රී ලංකා තානාපතිනිය කියා සිටියේ නවා පිල්ලේ එම ධුරයට නොසුදුසු බව යි. මහ කොමසාරිස්වරියට එල්ල කරන ලද දරුණුම ප්‍රහාරය එල්ල කරන ලද්දේ ශ්‍රී ලංකාණ්ඩුවේ තානාපතිවරිය විසිනි. 

ඇත්ත වශයෙන්ම කියන්නේ නම් ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ 17වන සැසිවාරය තුළ ශ්‍රී ලංකාණ්ඩුව විශේෂයෙන් දිනා ගත් කිසිදු මුදුන් පමුණුවා ගැනීමක් නැත.

Tell a Friend