නවකතා නිර්මාණය හා අවබෝධය

කාර්තෘ - මහාචාර්ය ඒ. වී. සුරවීර
ෆාස්‌ට්‌ පබ්ලිෂින් (ප්‍රයිවට්‌) ලිමිටඩ් ප්‍රකාශනයකි

1973 දී මහාචාර්ය ඒ. වී. සුරවීර මහතා විසින් සම්පාදනය කරනු ලැබූ "නවතකා නිර්මාණය හා අවබෝධය" නමැති කෘතියෙහි පස්‌වැනි මුද්‍රණය දැන් නිකුත් වී ඇත. ශාස්‌ත්‍රීය කෘතියක පස්‌වැනි මුද්‍රණයක්‌ නිකුත් වීමත් මේ අවධියෙහි දුර්ලභව සිදු වන්නක්‌ වන අතරම මෙම කෘතිය කෙරේ වූ පාඨක සම්භාවනාවද එයින් පිළිබිඹු වෙයි.

යම් සේ අප රටේ සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රයෙහි පුරාතන සාහිත්‍යය පිළිබඳව විධිමත් විචාරයකට මඟ පෑදුණේ මාර්ටින් වික්‍රමසිංහගේ මඟ පෙන්වීමෙනැයි යන්න විවාදයෙන් තොරව කවුරුන් විසිනුත් පිළිගනු ලබන්නේද එලෙසම නූතන සාහිත්‍ය විචාරයෙහි ලා විචාරකයනට මනා මඟපෙන්වීමක්‌ ලැබුණේ මහාචාර්ය සුරවීරගේ කෘති ඇසුරෙනැයි යන්නද අප විසින් පිළිගත යුතුව ඇත.

ඔහු අතින් ලියෑවුණු විචාර විලාසය, සමාජීය සාහිත්‍ය අධ්‍යයනය, සාහිත්‍ය විචාර සංහිතා, සාහිත්‍ය විචාර ප්‍රදීපිකා, කෙටි කතා විමර්ශන සහ සිංහල කෙටි කතා යනාදී ස්‌වාධීන කෘතීන් මෙන්ම ඇරිස්‌ටෝටල් කාව්‍ය ශාස්‌ත්‍රය, කලාව යනු කුමක්‌ද? සාහිත්‍ය විචාර රචනා, සම්ප්‍රදාය නිර්මාණය සහ විචාරය යන පරිවර්තන කෘතීනුත් පරිශීලනය කළ කාහට වුවද ඉහත දැක්‌වූ අදහස පිළිගැනීමට සිදු වෙයි. සිංහල නවකතාව පිළිබඳව වර්තමාන විචාරකයන් පත්ව ඇති ව්‍යාකූල වාතාවරණය සම්මාන පිරිනැමීම සඳහා පොත් තෝරන සමීක්‍ෂකයන්ට නිරන්තරයෙන්ම මූණ පාන්නට වී ඇති විවේචන කියවීමේදී, ඇසීමේදී සිතා ගත හැකිය. එවන් අවධියක නවකතා නිර්මාණය හා අවබෝධය නම් කෘතියේ පස්‌වැනි මුද්‍රණය නිකුත් වීම ඓතිහාසික වැදගත් පියවරකැයි සිතේ. එවැනි සමීක්‍ෂකයන්ට නවකතාව පිළිබඳ යළි සිතා බැලීමට මෙම කෘතිය ප්‍රයෝජනවත් වනු නොඅනුමානය.

මෙම කෘතිය නවකතාවක්‌ අංග සම්පූර්ණව හඳුනාගැනීමට ඉවහල් වන මාතෘකා දහයකින් පරිමිතව ලියෑවී ඇත. ප්‍රවේශය, යථාර්ථ නිරූපණය, කථනය හා රූපණය, කථාව හා කථා වින්‍යාසය, චරිත නිරූපණය, දෘෂ්ටිකෝණය, පසුබිම, කාලය හා ඉඩ හසර, භාෂා ශෛලිය, ලේඛකයාගේ වගකීම, නිර්මාණ කාර්යය යනුවෙන්a පෙළ ගස්‌වා ඇති මේ මාතෘකා සැමෙකක්‌ම විචාරකයන්ගේත් පාඨකයන්ගේත් නවකතාව පිළිබඳ අවබෝධය පුළුල් මට්‌ටමකට ගෙන එන ආකාරයෙන් ලියෑවී තිබීම අගය කළ යුතුය. මෙහි සංග්‍රහ කර ඇති "කථනය හා රූපණය", නම් පරිච්ඡේදය මඟින් නවකතා, කෙටිකතා රචකයාට අනෙක්‌ කවර හෝ සිංහල විචාර ග්‍රන්ථයකට ඇතුළත් නොවන නවතම නිර්මාණ ශිල්ප විධි පිළිබඳව උපදේශ ඉදිරිපත් කර ඇත්තේය. එයින් අවධාරණය කෙරෙන්නේ සාර්ථක ලේඛකයකුගේ කාර්යය නම් ප්‍රවෘත්ති කථනය නොව තමන් ඉදිරිපත් කරන දැ රූපණය කොට පාඨකයාට පෙන්වීමේ අවශ්‍යතාවයි. මාර්ටින් වික්‍රමසිංහ, ජී. බී. සේනානායක ආදී ලේඛකයන් කථන මාර්ගයෙන් බැහැර වී රූපණ මාර්ගය අනුගමනය කර ඇති අයුරු උදාහරණ සහිතව දක්‌වා ඇති සැටි ප්‍රශංසනීයයි.

කරුණු ඉදිරිපත් කිරීමේදී හුදු හිතලුවලට සීමා නොවී නවකතාව පිළිබඳව ප්‍රවීණයන්ගේ අදහස්‌ මගින් එම කරුණ ස්‌ඵුට කිරීමටත් සිsංහල පාඨකයාට හුරු පුරුදු සිංහල නවකතා උධෘත කොට ගනිමින් සරලව එම කරුණු විග්‍රහ කර දැක්‌වීමටත් ගෙන ඇති උත්සාහය බෙහෙවින් අර්ථදායකය. ආධුනික පාඨකයකුට වුවද ප්‍රස්‌තුතය මැනවින් අවබෝධ කරවීමෙහි ලා එය උපක්‍රමශීලී ප්‍රයත්නයක්‌ වී ඇති බව කිවයුතුය. ඇතැම් විටෙක පාඨකයාට කරුණක්‌ අවබෝධ කරලීමෙහිs දී රූප සටහන්ද උපයෝගී කොට ගෙන ඇත. එය කතුවරයා සතු හොඳ සාහිත්‍ය ගුරුවරයකුගේ භූමිකාව සංකේතවත් කරයි.

මෙම කෘතියෙහි ඇති මා දකින සුවිශේෂ කරුණ නම් මෙය ලියෑවී ඇති භාෂා විලාසයයි. විවෘතවම කියන්නේ නම් මෙය අධ්‍යාපනික ග්‍රන්ථයකි. යමක්‌ ඉගැන්වීම අධ්‍යාපනික ග්‍රන්ථයක ලක්‍ෂණයයි. එහෙත් වර්තමානයේ අප දකින තත්ත්වය නම් අධ්‍යාපනික ග්‍රන්ථ බොහොමයකට ඉගැන්වීමට සමත් භාෂා විලාසයක්‌ නොතිබීමයි. මහාචාර්ය සුරවීරගේ මෙම කෘතිය ඉතා නිරවුල් වූත් ප්‍රකාශනයෙහි ලා ප්‍රබල වූත් කරුණු අවබෝධයෙහි ලා සුගම වූත් භාෂා විලාසයකින් රචනා වී තිබේ. ඔහු සතු භාෂාව හැසිරවීමේ නිපුණතාව මෙන්ම විෂය අවබෝධයෙහි වෛසාරද්‍යයද ඉන් මැනවින් ප්‍රකට කෙරෙයි.

"විචාරයෙන් තොරව සාහිත්‍යයක්‌a කිසිදා දියුණුව කරා පා නොනඟයි" යන්න අදටත් පැරණි කියමනකැයි බැහැර කළ නොහැක්‌කකි. නූතන නවකතාව ඇතුළු සමස්‌ත සාහිත්‍යය පුරා දක්‌නට ලැබෙන පසුබෑමට හේතුවී ඇත්තේද නිරවද්‍ය විචාරයේ අභාග්‍යයයි. දුඹුල් නවකතා බිහිවන්නේ අත්තනෝමතික, සාවද්‍ය මිනුම් දඬු මත ඒවා විචාරයට ලක්‌ කරන්නන්ටත් සමීක්‍ෂණය කොට සම්මාන දීමටත් යැමේ ඵල වශයෙනි. එවැනි පසුබිමක්‌ යටතේ මහාචාර්ය සුරවීරගේ මෙම කෘතිය නවකතා රචකයන්ගේත් විචාරකයන්ගේත් ශිෂ්‍යයන්ගේත් අත්පොතක්‌ ලෙස පරිහරණය කිරීම අග්‍රගණයේ සිංහල නවකතා බිහිවීමට මනා රුකුලක්‌ වනු ඇතැයි මගේ විශ්වාසයයි.

සිරිසේන විතානගේ
අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්

Tell a Friend