අමිල ගුණරත්න
වෙසක් දිනයේ මෙම ලියුම්කරු මිතුරෙකු සමග කොළඹ කටුනායක මාර්ගයේ වාහනයකින් ගමන්කරමින් සිටියේය. එකවරම පොල්ලක ගැසූ බෞද්ධ කොඩියක් වාහනයේ වින්ඩ්ස්ක්රීන් එකට පාත් විය. මගේ මිතුරාගේ දක්ෂකම නිසා ඔහු වාහනය වහාම නතර කලේය. නැත්නම් අර පොල්ල වාහනයේ වින්ඩ්ස්ක්රීන් එකට පත බෑවෙනු නියතය. වාහනය නැවතු වහාම තරුණයන් පිරිසක් වාහනය වට කරගත්හ. අන්කල් බොන්න අපේ දන්සැලෙන් බීම එකක් කියමින් කස ඇට යෙදු වර්ණ ගන්වන ලද සීනි පානයක් ඔවුන් අපට දික් කළහ. කෝප්ප හෝදන බවක් කොහෙත්ම පෙනෙන්නට නොතිබුනේය. මගේ මිතුරා දියවැඩියාවෙන් පෙළෙන්නෙකි , ඔහුට සීනි පානය අගුනය. නමුත් තර්ජනාත්මක ලෙස වාහනය වට කරගෙන බලෙන් ජරාව පොවන මෙම නඩය ඉදිරියේ අසරණ වූ ඔහු දන්සැල් පානය බිව්වේය. අනෙකුත් වාහන වලටද මෙම බලහත්කාරය කෙරුණි. දානය දිය යුත්තේ කුසල සිතිනි. නමුත් තග දමා දන්සැල් කෑම බීම දෙන එකම රට ලංකාව විය යුතුය. බලහත්කාරය අපගේ ලේ වලටම ජීර්ණ වී ඇත. අපට අනෙක් පුද්ගලයාගේ නිදහස , ඔහුගේ කැමත්ත , ඔහුගේ පෞද්ගලික අවකාශය ගැන අබමල් රේනුවක හැගීමක් නොමැත. පාලකයන්ගේ පටන් පාලිතයා දක්වා ඉහල සිට පහලට ගලා යන බලහත්කාරය උතුම් වූ වෙසක් දවසේද උතුරා යමින් දක්නට තිබේ.

Post a Comment