සජිත්ගේ අවුල

එක අතකින් ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් මහත් අපකීර්තියට ලක් වී ඇති අතර අනෙක් අතින් ආර්ථික වශයෙන් බලවත් අවදානමකට රට තල්ලු වී තිබේ. මෙවැනි අරාජික මට්ටමට තල්ලු වී ඇති තත්වයක් තුළ සජිත්ට කළ හැකි දෙයන් නැත නමුත් කටින් බතල කොළ හිටවිය හැකිය.


නිලන්ත ඉලංගමුව

ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ දේශපාලන භූමිකාව කෙරෙහි බලාපොරත්තුවක් තබා ඇති අයවලුන්ට අත් විය හැකි ඉරණම පිළිබඳව කතා බහ කිරීම අතිශය වැදගත් වේ. පසුගිය දා සිදු වූයේ යැයි කියන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ සහ එහි ප්‍රතිපලය ලෙස සජිත් උපනායක ධූරයට පත් වීම ගැන රටේ විවිධ පාර්ශවයන් විවිධ මත ඉදිරි පත් කොට ඇත. සැබවින්ම සිදු විය යුතු දේ සිදු නොවී සිදු නොවිය යුතු හැම දෙයක්ම එනම් වඩාත් තේරෙන බාෂාවෙන් කිවහොත් හැම මගුලක්ම සිදු වන ලංකාවේ එජාපයේ දේශපාලන ප්‍රතිසංස්කරණයක් ගැන බලාපොරත්තු තිබීම වූ කලී අහවල් දෙය වැටෙන තුරු කලී එළුවා පිටුපස යෑම හා සමානය. එක්සත් ජාතික පක්ෂයේ කුමන මට්ටමේ වෙනස් කමක් සිදු වුවද රනිල් ඉන් චුත වන තුරු කිසිඳු ප්‍රගතියක් අදාළ පක්ෂයට උරුම වන්නේ නැත. ස්වභාවික විහසනයකින් හැර එය සිදු වීම සඳහා ගත වන කාලය ගැන කිසිවෙකුටත් අනාවැකි පල කළ නොහැකිය. මන්ද රනිල්ට තමන්ගේ පක්ෂයේ විස්වාශදායකින්ට වඩා ආණ්ඩුවේ සිටින විස්වාශවන්තයා එනම් මහින්ද රාජපක්ෂ සාන්තුවරයෙකි. ලේඛයා විසින් මීට පෙරද සඳහන් කළ පරිදි ලංකාවේ දේශපාලන තත්වය මැදපෙරදිග සිදු වන මට්ටමේ තත්වයකට පත් නොවීමේ මුල්‍ය හේතුව වන්නේද එයයි.

රනිල් පිළිබඳව විවේචන ඕනා තරම් ලිය වී තිබේ. ඔහු කිසිඳු දිනෙක පක්ෂය ප්‍රමුඛ කොට සිතු දේශපාලනඥයෙක් නොවේ. විපක්ෂයක තිබුය යුතු ශක්තිය ඌන කරමින් රටේ විපක්ෂයේ පිට කොන්ද කඩා දැමීමට හවුල් වූ නායකයෙක් හැර වෙනත් කිසිවක් රනිල් විසින් සිදු කොට නැත. මෙකි සන්දර්භය හමුවේ ඉස් මතු වන සජිත් ප්‍රේමදාසගේ චරිතය සහ ඔහු එජාපයේ උපනායක ධූරයට පත් වීම ගැන සැලකීම වැදගත් වේ. සජිත් ඉතා විවුර්තව රනිල් විවේචනය කළද ඔහුගේ යටි සිත තුළ රනිල් වන්දනාමාන කිරීමක් ඇති බව දක්නට ලැබේ. එසේම සජිත්ට එජාපයේ නායකයා වීම සඳහා තණ්හාවක් තිබුණත් ඒ සඳහා වුවමනාවක් ඔහුට නැත. වුවනාව නැත්තේ ඔහු ඔහුගේ ශක්ති ප්‍රමාණය ගැන දන්නා හෙයිනි. එසේම ප්‍රාදේශීය දේශපාලනයෙන් ඔබ්බට ගිය ජාතික මටටමේ මානසිකත්වයක් සජිත් තුළ තවමත් වර්ධනය වී නැත. ඔහු ප්‍රාදේශීය මටටමේ සැඟවී සිටින සහ බරපතල සැකයකින් පසුවෙන නායකයෙක් වේ. එසේම මොන කතන්දර කිව්වත් ආණ්ඩුවත් සමඟ සියුම් ගනුදෙනු තබා ගැනීමද සජිත්ගෙන් අපේක්ෂා කළ හැකිය. සැබවින්ම සජිත්ගේ භූමිකව සාමාන වන්නේ උතුවන්කන්දේ සරදියල්ගේ භූමිකාවටය. ප්‍රාදේශීය වශයෙන් වීරත්වය පෑම සහ ජාතික මට්ටමට එන විට උණ ගැනුන කිකිළියක සේ පැත්තකට වී සිටිමින් ලද දෙයින් සතුටු වීම සහ එය තමන්ගේ ජයග්‍රහණයක් ලෙස ප්‍රකාශ කිරීමේ ස්වභාවයක් සජිත්ගේ දේශපාලනයෙන් දක්නට ලැබේ. මෙය රනිල් පසුගිය දා තමන් සහ තමන්ගේ පක්ෂය පැවති පළාත් සභා මැතිවරණයෙන් ගණිතයට අනුව ජයග්‍රහණය කළේ යැයි ප්‍රකාශ කිරීම හා සමානය. මෙවැනි ලජ්ජා නැති ඔලමොට්ටල දේශපාලනයක් මිස වෙනස් කිසිවක් වත්මන් විපක්ෂයෙන් බලාපොරත්තු විය නොහැකිය.

සැබවින්ම සජිත්ට සැබෑ ගැටලුව ඇත්තේ රනිල් සමඟ හෝ මහින්ද සමඟ නොවේ. මන්ද රනිල්ව එලවා දැමීමෙන් පසු තමන්ගේ කර මත පැටවෙන එජාපයේ බර ඉසිලිම්මේ කොන්දක් සහ ශක්තියක් සජිත්ට තවමත් නැත. අනෙක විපක්ෂ දේශාපාලන බලය සම්පූර්ණයෙන්ම තමන්ගේ බූදලය සේ වියදම කරමින් මහජන මුදල වෛශ්‍යකරණයේ යෙදවූ මහින්ද ගේ බලය කඩා දැමීම සඳහා ශක්තිමත් බලවේගයක් තවමත් නැති බව ඔහු දන්නේය. බලවේගයක් පමණක් නොව ඒ සඳහා මග පාදන කාලගුණික තත්වයක්වත් නිර්මාණය වී නැත. එක අතකින් ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් මහත් අපකීර්තියට ලක් වී ඇති අතර අනෙක් අතින් ආර්ථික වශයෙන් බලවත් අවදානමකට රට තල්ලු වී තිබේ. මෙවැනි අරාජික මට්ටමට තල්ලු වී ඇති තත්වයක් තුළ සජිත්ට කළ හැකි දෙයන් නැත නමුත් කටින් බතල කොළ හිටවිය හැකිය. මකියාවෙල්ලි තමන්ගේ කුමාරයා කෘතියේ සඳහන් කර අකාරයෙන්ම රැවටිලිකාරයෙකුට රැවටිලි වලට හසුවන්නෙකු නිතරම හමුවෙන තරමට මිනිස් මනස සරලය, යන්න තේරුම ගැනීම සඳහා ලංකාවේ දේශපාලනය ගැන සිතීමමම ප්‍රමාණවත් වේ.

සැබවින්ම විපක්ෂය වූ කලී ආණ්ඩුවේ පන්දම්කාරයාගේ භූමිකාව රඟපාන විට දක්නට ලැබෙන්නේ මෙවැනි තත්වයකි.මේ නිසා සජිත් වූ කලී තවත් වසර ගණනාවක් ප්‍රාදේශීය මට්ටමේ හැංගි මුත්තන් කිරීමට සැලසුම් කොට ඇති නායකයෙක් මිස රාජපක්ෂව එලවා දැමීම සඳහා මහජන බලවේගයක් තැනීමට ඔහුට වර්තමානයේදී හැකියාවක් නැත. හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා සිර කරනු ලැබුවේ මේය රාජපක්ෂ පෙර සිටම දන්නා හෙයිනි. සරත් ෆොන්සේකා හිර කිරීම සඳහා විපක්ෂයට තිබු බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම කඩා දැමිය හැකි බව ඔහු දැන සිටියේය. එළඹෙන සතියේදී එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ශ්‍රිලංකාවේ සිදු වූයේ යැයි කියන යුධ අපරාධ සම්බන්ධයෙන් වාර්තාව නිකුත් කිරීමට නියමිතය. අදාළ වාර්තාව ජාත්‍යන්තර වශයෙන් බලපෑමක් ඇති කරනු ඇත. නමුත් එය දේශීය මට්ටමෙන් ව්‍යාප්ත නොවීම සඳහා රාජපක්ෂ කළ හැකි උපරිමය කරනු ඇත. සැබවින්ම ලංකාවේ යුධ අපරාදධ සිදු වූයේ නම් සහ ඒ පිළිබඳව පිළිගත හැකි මට්ටමේ පරික්ෂණයක් සිදු කර නොමැති නම් සහ යුධ අපරාධ සිදු වූ බවට ඔප්පු වන්නේ නම් ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවිය හැකිය. එවිට සුඩානය, ඉරානය , උතුරු කොරියාව වැනි තත්වයට ලංකාව පත් වීමේ අවධානමක් තිබේ. සැබෑ විපක්ෂයක අවශ්‍යතාවය පැන නගින්නේ එවිටය. විපක්ෂය ආණ්ඩු පක්ෂයේ පන්දම්කාරයකු වූ විට ආණ්ඩුවට මාධ්‍ය ක්‍රමොපයිකව මර්ධනය කිරීම අතිශය සරල වේ.

Tell a Friend