වැඩේ මූන්ට ගියා වගේ! - "දිවයින" කතුවැකියට පසු වදනක්

මහින්ද රාජපක්ෂට අයියා කීමට භාගය ලද්දා වූ අයවලුන්ගෙන් අයෙක් අද දිනද සුපුරුදු පරිදි දිවයින කතු වැකිය ලියා ඇත. ඇතැමෙක් ජනාධිපති සර් කියමින් තම පුද්ගලික සැප සොයනවාට වඩා මෙකි අයියා මල්ලි සංස්කෘතිය ලංකාවේ දේශපාලනය තුළ සිදු කරමින් තිබෙන්නේ අපූරු ඛේදාවාචකයකි. රාජපක්ෂ, මල්ලි කියූ සැනින් තමන්ගේ දේහ දාර සිරුර වැල ගෙඩියක එක බිඟුවක් සේ මහින්දගේ දෙපතුල මත වැටී ඔහුගේ දෙපා දෝවනය කිරීමට සුදානම්ය. මෙය අපි ලංකාවේ මාධ්‍ය නිදහස ඊටත් වඩා ඔබ්බට ගියහොත් රට ජාතියට ඇති ස්නේහය ලෙස ඇතමුන්ගේ ලියවිලි වලින් දකින්නෙමු. මහින්ද රාජපක්ස වූ කලි ලංකාව යන මිත්‍යාව තැනීමේ මහා ඛේදාවචකය සිදු කරනු ලැබුවේ සහ සිදු කරමින් සිටින්නේ මොවුන්ය.

අද පල වී ඇති දිවයිනේ කතුවැකිය කිසිඳු සංශෝධනයකින් තොරව පහත පල කොට ඇති හෙයින් එය අකුරෙන් අකුර විස්තර කල යුතු නොවේ. කතුවරයාට අනුව එක්සත් ජාතීන්ගේ ලියවිල්ල ශතයක්වත් වටින්නේ නැත. එය එසේනම් මැයි පළමුවැනිදා රාජපක්ෂ රටේ දැවෙන ප්‍රශ්න අමතක කිරීම සඳහා බයිලා නැටීමට සුදානම් වන්නේ මන්ද? සැබවින්ම කතුවරයා තම පාඨකයාගෙන් සැඟවීමට උත්සහ කරන්නේ එක්සත් ජාතින් වැනි ජාතන්තර සංවිධානවල වැදගත් කම මෙන්ම යුද්ධයට පෙර සහ පසු ඔවුන් දැක වූ සහයෝගයයි. කතුවරයා යලිත් පාසල් ගොස් 9 වසරේ සාමාජ අධ්‍යනය වැනි විෂයක් හැදෑරීම සුදුසු යයි නිර්දේශ කළ හැකිය.

අදාළ වාර්තාව මඟින් කිසිඳු මොහොතක එක්සත් ජාතින් ත්‍රස්තවාදය හෝ කොටි සංවිධානය යුද්ධයේදී මරා දැමීම සාධාරණිකරණය කොට නැත. අදාළ වාර්තාවෙන් සඳහන් කොට ඇත්තේ දෙපාර්ෂවය විසින්ම සිදු කොට ඇති අපරාධ සම්බන්ධයෙන් මිස එක පාර්ශවයක් ගැන නොවේ. අනෙක එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටින්නේ මියගිය මින්සුන් දහස් ගණනකගේ නිවැරදි වාර්තාවක් මිස යුද්ධයේදී මිය ගිය තිරිසන් සතුන් ගැන නොවේ. එසේ නොවෙනම් ප්‍රභාකරන්ගේ මව ආදාහනය කළ ස්ථානයට දැමු මරා දැමූ බල්ලන්ගේ මළ කුණු ගැන වාර්තාවක් එක්සත් ජාතින් ඉල්ලා නැත. ඉල්ලා ඇත්තේ අපි වැනිම මිනිසුන් මිය යාම සම්බන්ධ නිශ්චිත නිවැරදි තක්සේරුවකි.

කතුවරයා, හිට්ලර්, පොල් පොට්, ඉඩි අමීන් සහ ඔසාමා ගැන කියන කාරණා තමන්ගේ අඥානය නිසා පහල වූ හුදු කතා හෝ තමන්ගේ පාඨකයා මෝඩයින් ලෙස සිතා ලියන ගොන් කතා මිස වෙන කිසිවක් ඒ තුළ නැත. එසේම කතුවරයා මතක තබා ගත යුත්තේ දේශපාලන ට්‍රාජඩියක් කරා පරිවර්තනය වීමට කිසි දෙයක් අප රටේ නැත, දශක ගණනාවක් පූරා සිදු වූයේ අදාළ ට්‍රාජඩි කොමඩියම වේ. අවසාන විග්‍රහයේදී වැඩේ මූනට ගියා නොව, "හෙන වැදුනත් මොකෝ බං අයියා මල්ලි කියල හරි වැඩේ කරගත්තා", යයි නම් කවුරුත් කියනු ඇත.

දැන් ඉතින් තව කුමක් කරන්නද.... !!

දිවයින කතුවැකිය පහත පල වේ;


දැන් බෑන් කී මූන් මහතා අත තිබෙන, ඔහුගේ කුප්‍රකට උපදේශක මණ්‌ඩලය විසින් සපයනු ලැබූ ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහි වාර්තාව මුළුමනින්ම කියෑවූ කල විවිධ මිනිසුනට විවිධ අදහස්‌ පහළ විය හැකිය.

පිදුරු ගසෙත් එල්ලීමට බලාසිටින එල්. ටී. ටී. ඊ. හිතවාදීන්ට හැඟෙනු ඇත්තේ එය තමන්ට ගොඩ ඒමට හැකි මහා කඹයක්‌ විදිහටය.

රට කොනහා කෑමට බලා සිටින එන්. ජී. ඕ. සතුනට එය පෙනෙනු ඇත්තේ විසි එක්‌වන සියවසේ නිදහසේ ප්‍රකාශනය විදිහට විය හැකිය. (ශත පහක වලංගු භාවයක්‌ නොමැති ලියවිල්ලක්‌ නීත්‍යානුකූල ලියවිල්ලක්‌ බවට පත්කිරීමට ඔවුන් වලිකන්නේ ඒ නිසාය.)

නීතිඥ විජයදාස රාජපක්‍ෂ වැනි විපක්‍ෂයේ විශිෂ්ට දේශපාලන මහත්වරුන්ට හැර බොහෝ විපක්‍ෂ දේශපාලනඥයන්ට එය, තරමක්‌ ඈතින් හමා එන බලයේ ආඝ්‍රාණයක්‌ හැටියට දැනෙනවා විය හැකිය. (බෑන් කී මූන්ට බණින ගමන්ම ඔවුන් එම ස්‌වරයෙන්ම රජයටද බැණ වදින්නේ ඒ නිසාය. රජයේ දේශපාලනය කුමක්‌ වුවත් මෙබඳු මොහොතක රටේ දේශපාලනය වෙනුවෙන් පැත්තක්‌ ගත යුතු බව මේ කොමඩි හාදයෝ තවම නොදනිති. එහෙයින්ම ඔවුන් තම දේශපාලන කොමඩිය, ට්‍රැජි කොමඩියක්‌ කරා පරිවර්තනය කොට ගනිමින් සිටිති.)

මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමේ වාර්තාවක්‌ තබන ගමන්ම, ලෝකයේ මහා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වශයෙන් තවමත් පෙනී සිටින ඇමරිකා එක්‌සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන් සමහරෙකුට එය පෙනෙනු ඇත්තේ තවත් කොසෝවක්‌ හෝ සූඩානයක්‌ නිර්මාණය කිරිමට ලැබෙන අවස්‌ථාවක්‌ හැටියටය.

ඒ කෙසේ හෝ වේවා, ඒ කිසිදු සිතිවිල්ලකට අයිති නැති මේ ලෝකයේ අතිමහත් බහුතරයක්‌ වූ ජනතාවකට එය හැඟෙන අන්දම පිළිබඳ සිතිවිලි වලියක්‌ අප සතුව තිබේ.

ඊට අනුව, යම් යහපත් මානසික තත්ත්වයකින් යුත් මිනිසකු විසින් හෝ මිනිසුන් කණ්‌ඩායමක්‌ විසින් හෝ වහාම බෑන් කී මූන් මහතා සහ ඔහුගේ බෑන්ඩ් කණ්‌ඩායම (උපදේශක කමිටුව) නවත්වනු නොලැබුව හොත් ඔවුන් විසින් නොපමාවම පහත සඳහන් සිදුවීම් පිළිබඳවද තොරතුරු සොයා බලා වාර්තා පිට වාර්තා සපයනු ලැබීමට ඉඩ තිබේ.

ඒ මෙසේය,

1. දෙවන ලෝක යුද සමයේ අවසාන භාගයේදී බර්ලිනයේ බංකරයක්‌ තුළ ඇඩොල්µa හිට්‌ලර් නමැති "නිදහස්‌ සටන්කාමියා" මරණයට පත්වූයේ කාගේ වරදකින්ද?

(අ) ඒ වරද සිදු කරන ලද්දේ සෝවියට්‌ රුසියාවේ ජෝශප් ස්‌ටාලින් විසින් නම් මානව හිමිකම්වල නාමයෙන් ඔහු විදුලි පුටුවට යෑවීමට නිර්දේශ කළ යුතුය.

(ආ) ඒ වරද සිදුකරන ලද්දේ බ්‍රිතාන්‍යයේ වින්ස්‌ටන් චර්චිල් හෝ ඇමරිකා එක්‌සත් ජනපදයේ ප්‍රැන්ක්‌ලින් ඩී රූස්‌ට්‌වෙල් හෝ විසින් නම් මානව හිමිකම්වල නාමයෙන් මේ දෙදෙනාම ගුවන්තනාමෝ සිරකඳවුරට යෑවිය යුතුය.

2. ඉඩි අමීන් නමැති "නිදහස්‌ සටන්කාමියා" බලයෙන් නෙරපා හරින ලද්දේ කා විසින්ද?

(අ) ඒ වරද සිදුකරන ලද්දේ උගන්ඩා ජනතාව විසින් නම් උගන්ඩා ජනතාවට විරුද්ධව ආර්ථික සම්බාධක පැනවිය යුතුය.

3. පොල්පොට්‌ නමැති "නිදහස්‌ සටන් කාමියා" බලයෙන් නෙරපා හරින ලද්දේ කාවිසින්ද?

(අ) එය සිදුකරන ලද්දේ කාම්බෝජයේ ජනතාව විසින් නම් ඔවුනට විරුද්ධව ආර්ථික සම්බාධක පැනවිය යුතුය.

4. ඔසාමා බින් ලාඩන් නමැති "නිදහස්‌ සටන් කාමියාට" ත්‍රස්‌තවාදී ලේබලය අලවමින් ඔහුගේ සටනේ පරමාර්ථයන් සඟවා තැබීමට කටයුතු කළෝ කවරහුද?

(අහ්ෘ) ඔවුන් සියල්ලන්ම මානව හිමිකම් නාමයෙන් අප්‍රකට ඇමරිකානු සිරකඳවුරකට යෑවිය යුතුය.

මේ සොයා ගැනීම් විසින් වඩ වඩාත් අපරාධ ගවේෂණයෙහිලා පොළඹවන ලබන මූන්ගේ කමිටුව ඔයින් නතරවෙන එකක්‌ නැත.

එය ඉන්පසු රටවල අභ්‍යන්තර කටයුතුවලට පමණක්‌ නොව ගෙවල අභ්‍යන්තර කටයුතුවලටද මැදිවනු ඇත.

අවසානයේදී මුළු ලෝකයේම මිනිසුන් විහිළුවට කියන පිරුළක්‌ පමණක්‌ ලෝකයට ඉතිරිවනු ඇත.

ඒ මෙසේය,

"වැඩේ මූන්ට ගියා වගේ !"

Tell a Friend