රටගිය සරසවි ඇදුරන් 550 ක්‌ යළි ඇවිත් නෑ

නිලන්ත මදුරාවල

උසස්‌ අධ්‍යාපනය සඳහා විදේශගත වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පන්සිය පනහක පමණ පිරිසක්‌ යළි මෙරටට පැමිණ නැතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ආරංචිමාර්ග අනාවරණය කරයි.

උසස්‌ අධ්‍යාපනය අවසන් වීමෙන් පසුව යළි විශ්වවිද්‍යාල සේවයට පැමිණීමේ එකඟතාව මත අත්සන් කෙරෙන ඇප බැඳුම්කර ගිවිසුම් මුළුමනින්ම උල්ලංඝනය කර ඇති මෙම ආචාර්යවරුන් අතරින් කොටසකට ඒ ඒ විශ්වවිද්‍යාල මගින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙලෙස ගිවිසුම් උල්ලංඝනය කරන ආචාර්යවරුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ පූර්ණ වගකීම විශ්වවිද්‍යාල සතු වුවත් ඇතැම් විශ්වවිද්‍යාල බලධාරීන් ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බවද ප්‍රතිපාදන කොමිෂන් සභාවට වාර්තා වී තිබේ.

විදේශගතව සිටින ආචාර්යවරුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත නොහැකි වන අවස්‌ථාවකදී ඔවුන්ගේ බැඳුම්කර සඳහා අත්සන් කර ඇති ඇපකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇතැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් උපකුලපතිවරයෙක්‌ පැවසීය.

ඇප බැඳුම්කර කොන්දේසි අනුව උසස්‌ අධ්‍යාපනය හමාර කර ආපසු පැමිණෙන ආචාර්යවරුන් ද වසර පහක කාලයක්‌ විශ්වවිද්‍යාල සේවයේ යෙදීම අනිවාර්ය වන අතර එම කොන්දේසිය ද උල්ලංඝනය කළහොත් බැඳුම්කර මුදල ගෙවීමට සිදුවන බවද ඉහත කරුණු දැක්‌වූ උපකුලපතිවරයා සඳහන් කළේය.

ඇප බැඳුම්කර අනුව නිශ්චිත කාලසීමාවේදී විශ්වවිද්‍යාල සේවයට නොපැමිණෙන ආචාර්යවරුන් වසර ගණනකට පසුව වෙනත් තනතුරු සඳහා මෙරටට පැමිණ ඇති බවද දැනගන්නට තිබේ.

Tell a Friend