සැකය සහ මෝඩකම

සැබවින්ම එක්සත් ජාතින් තමන්ට අකටයුතු කම් කරන්නේනම් රාජපක්ෂ කළ යුත්තේ මහජනයා විදී වෙතට දක්කා ගෙන ගොස් විරෝධය පෑම නොව එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමය. බුරුමය, ඉරාකය එය කළේය. රාජපක්ෂ එයට නොයා රට තුළ දේශපාලනය හමුවේ බටහිර කුමන්ත්‍රණ කරුවා පට්ට ගැසීම වූ කලී සමස්ත සමාජය රැවටීම මිස වෙන කිසිවක් නොවේ.
නිලන්ත ඉලංගමුව

අදාළ විෂයන් දෙකම එකිනෙක අතිපිහිත වන්නා සේම පැහැදිලිව හඳුනා ගත හැකිය. එකක් නිසා අනෙක ඇති වන අතර ඒ දෙක අතර ඇතිවන ද්‍රව්‍යමය හුවමාරුවද කදිමය.විටෙක මෝඩ කම නිසා සැකය ඇතිවේ; තවත් විටෙක සැකය හෙවත් විචිකිච්චාව නිසා මෝඩකම ( අමනකම, අවිද්‍යාව, අඳුර, අඥානය) ඇති වේ. රැවටීම මඟින් මර්දනයට ලක් කරනු ලැබූ රටක දැක ගත හැකිවන්නේ එයයි. මෙහිදී අවදානය යොමු කරනු ලබන්නේ සැකය වූ කලී සුන් ත්සු, මැකියාවෙලි හෝ කල් වොන් ක්ලවුට්ස්විට්ස් විසින් ලියනු ලැබූ යුද්ධය සම්බන්ධ කෘතීන් වල කතා බහ වන චරපුරුෂ සේවයට අදාළ පුද්ගලයා සතුවිය යුතු සැකය ගැන නොව ලංකාවේ දේශපාලනය තුළ දක්නට ලැබෙන මෝඩ කමින් පිරුණු සැකය පිලිබඳවය. සැබවින්ම රැවටීම උපරිම මට්ටමට ගොස් තමන්ටම නොදැනී තමාවම රවට්ටා ගන්නා තත්වයකට පත් වූ විට ඉන් දැක ගත හැකි අඳුරු බව ලංකාව තුළින් උද්දීපනය වේ. මෙහි සම්පූර්ණ වාසිය රාජපක්ෂ වෙත සංකේන්ද්‍රණය ගත වන අතර එහි ප්‍රතිපලය ලෙස රාජපක්ෂ උත්තරීතර වේ. එය එළඹෙන මැයි පළමු දා එනම් කම්කරු අයිතීන් තහවුරු කිරීම සඳහා වෙන් කොට ඇති දිනදී කොළඹින් බලාපොරොත්තු විය හැකිය. මැයි දිනය තවදුරටත් මැයි දිනය නොවී එයත් අනෙක් වැදගත් දින මෙන් සාටක (රාජපක්ෂලාගේ ) දිනයක් වනු ඇත. මෙම පිළිකාව ලංකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය අභ්‍යන්තර සාධක කිසිවක් තවමත් නිර්මාණය වී නැති අතර ඒ වෙනුවට අපේක්ෂා බංගත්වයට පත් වූ විශ්ව විද්‍යාල සිසු ප්‍රජාවක් අපට ඇත. ඒ හැරෙන්නට පරාජය සහ මර්ධනයට යටත් කරනු ලබූ කිසිවක් කර කියා ගත දෙයක් නැති දේශපාලන පක්ෂ කිහිපයක් ඇත.

එක්සත් ජාතින්ගේ මහා ලේඛම් බන් කි මූන් විසින් නම් කරනු ලැබූ විද්වත් කමිටුව විසින් ඔහුට ලබා දුන් වාර්තාව පිළිබඳව දේශීය දේශපාලන සහ මාධ්‍යයේ හැසිරීම ගැන නිරීක්ෂණය කිරීම මෙහිදී කදිමය. රටේ ඇති බලවත් ප්‍රශ්නයක් ගැන කතා බහ කොට ඇති අදාළ වාර්තාව ගැන බුද්ධිමත් කතාබහක් ඇති කරනවා වෙනුවට ටයිම්ස් සඟරාව විසින් පවත්වනු ලබන ව්‍යාජ අන්තර්ජාල මැතිවරණය මහා ලොකු දෙයක් බවට පත් කොට ඇත. මන්ද අපි ජාතියක් ලෙස ආශාවන් පිටුපස්සේ යාම හැරෙන්නට රටේ පවතින සැබෑ ගැටලු හඳුනා ගෙන ඒවා පිළිබඳව කතිකාවක් ඇති කිරීම සඳහා අපි අපි විසින්ම අමතක කර දමා ඇති හෙයිනි. නමුත් ලංකාවේ ජාතිමාමක දේශපාලනඥයින්ට සේම මාධ්‍ය සගයන්ට නොතේරෙන හෝ වංචාවට අමතක කොට දමා ඇති මුලිකාංගයක් ඇත. එනම් බන් කි මූන් ඇමෙරිකානු රූකඩයක් කියන අය බටහිර ධනයෙන් සහ එහි න්‍යායට අනුව ක්‍රියාත්මක වන ටයිම්ස් සඟරාවෙන් රාජපක්ෂ සිව් වන ස්ථානයට පැමිණෙන විට ටයිම්ස් ජාතිමාමකයකු කරන්නේ මන්ද යන්නයි. මෙය අපි අපි තුළින්ම පෙන්වනු ලබන වංචා සහගත තක්කඩි කමයි. රාජපක්ෂ අදාළ අන්තරජාල මැතිවරණයේදීත් වංචාවක් කළේදැයි නොදනිමු. නමුත් අදාළ මැතිවරණයෙන් ඔහුට මුල් දස දෙනා අතරට පැමිණීමට නොහැකි වූයේනම් ආණ්ඩුවේ සහ දේශමාමකයින්, ටයිම්ස් සඟරාවේ බටහිර ගැති ප්‍රතිපත්තිය ගැන කියනු ඇත. මෝඩයින් සමූහයකගේ මොළ ගෙඩි තුළට සැකය නමැති විෂ බීජය එන්නත් කරමින් තමන්ගේ මඩිය තර කර ගන්නා අකාරය රාජපක්ෂලා විසින් සිදු කරගනිමින් සිටින ආකාරය මින් පෙනේ.

කෙසේ වෙතත් මෙම ලිපිය ලියන මොහොත වන විටත් අදාළ වාර්තාව සම්පූර්ණයෙන් නිකුත් වී නැත. එසේම නිකුත් වී ඇති සාරාංශයද වැරදි වලින් සහ විකුර්ති කරනු ලැබූවක් බව සඳහන් වේ. මහාචාර්ය පිරිස් එළඹෙන විසි දෙවැනිදා මාධ්‍ය සහ විදෙස් තානාපති වරුන් ඇමතීමට නියමිතය. ඉන් බල පොරොත්තු විය හැකි විශේෂ දෙයක් නැත. ඒ වෙනුවට ඔහු සංහිදියාව පිළිබඳව වන රාජපක්ෂ කොමිසම ගැන සහ බටහිර විසින් සිදු කරන විවේචන ගැන සාතිශය සංවේගය පල කරනු ඇත. කෙසේ වෙතත් අදාළ වාර්තාවෙන් රාජපක්ෂ ජනාධිපති වරයා යුධ අපරාධ කරුවෙකු ලෙස නම් කරනු ලබා තිබුණොත්, ඔහුට විරුද්ධව ලෝකයේ ඕනෑම උසාවියක නඩු පැවරිය හැකිය. එය චිලියේ හිටපු ඒකාධිපතියා වූ ඔගස්ටෝ පිනෝචේ සහ යුගොස්ලෝවියාවේ හිටපු නායකයා වූ ස්ලෝබෝදාන් මිලොසොවික් වැනි නායකයින්ට එරෙහිව නැගුණු මනුෂ්‍යත්වයට එරෙහි අපාරාධ හා සමාන චෝදනාවක් රාජපක්ෂ විශයෙහිලාද ගොනු කළ හැකි තත්වයකි. අදාළ අපරාධ සඳහා හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා තල්ලු කොට තමන්ගේ ඇඟ බේරා ගැනීමට රාජපක්ෂ උත්සාහය කළේද? නමුත් ජනරාල් විපක්ෂයෙන් දේශපාලනයට අවතීරණ වීම නිසා එය කරගත නොහැකි වූයේද? දැයි නොදනිමු. කෙසේ වෙතත් පෙළ ගැසෙමින් පවතින ප්‍රවණතාවය හමුවේ ඊට මුහුණ දීම සංකීර්ණ කටයුත්තකි. එය රට තුළ කරන එනම් විපක්ෂයේ අයවලුන් ගණිකාවන් මෙන් සල්ලි දී මිලදී ගැනීම සහ ස්වාධීන මාධ්‍යන් විනාශ කොට තමන් ගැන ගුණ කියන අයවලුන් ඉදිරියට දැමීමෙන් ජාත්‍යන්තරව කළ හැකි දැයි සිතීම උගහටය.

එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් දැනට නිකුත් වී ඇති තොරතුරු වලට කොටි සංවිධානයට සහ ශ්‍රී ලංකා ආණ්ඩුවට යුද්ධයේදී කළ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල කොට ඇත . කිසිවෙකුටත් එය ප්‍රතික්ෂේප කළ නොහැකිය. එසේම එය ඒක පාර්ශවීය යයි එල්ල වෙන විවේචනයට හේතුව වන්නේ කොටි සංවිධානය වෙනුවෙන් වග උත්තර කරුවෙකු නොසීටීම නිසාය. ජීවතුන් අතර සිටින කේ. පි. ද රාජපක්ෂගේ සගයකු කොට ඇති වට පිටාවක් හමුවේ කොටි සහ ආණ්ඩුව යන දෙපාර්ශවය වෙනුවෙන්ම වගකීම පැවරෙන්නේ රාජපක්ෂ වෙතය. අදාළ වාර්තාව මඟින් තොරතුරු සහිතව ඔප්පු කළ හැකි චෝදනා පහක් ආණ්ඩුවට විරුද්ධව නගා ඇත. එනම්,

01. ඉවක් බවක් නොමැතිව එල්ල කළ ෂෙල් ප්‍රහාර නිසා සිවිල් වැසියන් රාශියක් මරා දැමීම.
02. රෝහල් සහ මානුෂීය ආධාර ලබා දීම සඳහා වූ ප්‍රදේශ වලට ෂෙල් ප්‍රහාර එල්ල කිරීම
03. මානුෂීය ආධාර ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීම
04. කොටි සැකකරුවන් සහ අවතැන්වූවන්ගේ එනම් යුද්ධයෙන් දිවි ගලවාගත් අයවලුන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම
05. සටන් කලාපයෙන් ඔබ්බෙහි වූ ප්‍රදේශ තුළත් මානව හිමිකම් කඩ කිරීම එනම් ආණ්ඩුව විවේචනය කරන්නන් සහ මාධ්‍යවේදීන් ගොදුරු බවට පත් කිරීම.

එසේම අදාළ වාර්තාව මඟින් කොටි සංවිධානයට එරෙහිව චෝදනා හයක් ගොනු කොට ඇත. එනම්,

01. සාමාන්‍ය වැසියන් ගොදුරක් ලෙස තම ආරක්ෂාව සඳහා පාවිච්චි කිරීම
02. තම පාලනය හැරදා පලා යමින් සිටි සිවිල් වැසියන් මරා දැමීම
03. අවි ආයුධ ආරක්ෂා කිරීම සඳහා සිව්ල් වැසියන් උගුලක් ලෙස පාවිච්චි කිරීම
04. ළමුන් බලෙන් යුද්ධයට බඳවා ගැනීම
05. ජනතාව බලෙන් යුද්ධයට ඇද දැමීම
06. මිනිස් බෝම්බ මාර්ගයෙන් සිවිල් වැසියන් මරා දැමීම

අදාළ චෝදනා දෙස බැලීමේදී පෙනී යන්නේ මෙකි කිසිවක් අසත්‍ය නොවන බවයි. එසේම ආණ්ඩුවට සහය වූ දෙමළ සන්නද්ධ අතුරු බලකායන් ගැන අදාළ මුලික කරුණු පහට අන්තර් ගත කොට නැත. නමුත් එය පසුව වෙනම සඳහන් කොට ඇත. කොටි සංවිධානයට එරෙහිව සහ ඉන් පසු ස්වාධීන දෙමළ වැසියන් මර්ධනය කිරීම සඳහා අදාල අතුරු හමුදා භාවිත කළා පමණක් නොව ඔවුහු යුද්ධයේදී ළමා සොල්දාදුවන්ද භාවිතා කළ අකාරය නොරහසකි. එයද වඩාත් බලවත් කාරණයකි.එය ඔප්පු කිරීම සඳහා පිළිගත හැකි සාක්ෂි ඇති බවට එකසත් ජාතින් ප්‍රකශ කරනු ලබන අතර ඊට වරදකරු වන්නේද රාජපක්ෂ ජනාධිපතිවරයාය. අදාළ චෝදනා සියල්ල සඳහා රාජපක්ෂට ඇති එකම විකල්පය වන්නේ තමන්ගේ අභිමතය පරිදි පත් කරනු ලබූ සංහිදියාව සඳහා වන ජනාධිපති කොමසමයි. එය බොහෝ අවස්ථා වලදී අනතුරට පත් වූ සිවිල් වැසියන්ට ඇහුන කන් දීම සඳහා දෙමළ බාසා පරිවර්තකයෙකුවත් නොමැතිව ක්‍රියාත්මක වූ කොමිසමකි. එසේම එලි දක්වනවා යයි කියන වාර්තාවද තවමත් ප්‍රසිද්ධ වී නැත. අදාළ සංහිදියාව සඳහා වන කොමිසම පිළිබඳව එක්සත් ජාතින්ගේ අදාළ වාර්තාව කියා ඇත්තේ, එය කිසිඳු පිළිගත හැකි මට්ටමේ ජාත්‍යන්තර රීතීන්ට අනු කූලව ක්‍රියාත්මක නොවූ බවයි.

රට තුළ දීර්ඝ කාලයක් තිස්සේ රඟපාමින් සිටින ව්‍යාජ වෙස් මුහුණ ගැලවීමට හැකි වී දැයි සිතිය නොහැකි නමුත් අදාළ වාර්තාව ජාත්‍යන්තර වශයෙන් යම් බලපෑමක් කළ හැකිය. ඇමෙරිකා එක්සත් ජනපදය කරණ කටයුතු ගැන නොසොයා ශ්‍රී ලංකාව සිදු කරන කටයුතු ගැන සෙවීම විහිළුවක් බව අපේ දේශමාමක අයවලුන් නගා ඇති තර්කයකි. කතාව ඇත්තය. එහෙත් ඒ සමඟම ඇසිය යුතු කාරණයක් තිබේ. යම් කිසි අයෙක් වැරද්දක් කරන මුවාවෙන් ඔබටත් වැරදි කළ හැකිද? ඔබ වැරද්දක් කළ පසු තමන්ගේ හෙළුව වසා ගැනීම සඳහා වෙනත් අයෙක් සිදු කරන කටයුත්තක් ගැන කීමෙන් පලක් තිබේද? ඔබ වැරදි කළේනම් ඔබද දඬුවම් විඳිය යුතුමය. එය ඇමෙරිකාව හෝ වෙනත් බටහිර රටක් කරනවා යයි කියමින් කිසිවෙකුට ඇඟ බේරා ගත නොහැකිය. වරද වරදම වේ.

තමන්ට එරෙහි බටහිර කුමන්ත්‍රණය තනාගෙන ඇත්තේ රාජපක්ෂ විසින්ම ය. එය මුල සිටම එලෙසය. එහෙව් කුමන්ත්‍රණයක් ගැන සඳහන් කරණ රාජපක්ෂ කොටින්ට එරෙහි යුද්ධයේදී ඉන්දියාවෙන් ලාබා ගත් රේඩාර් වල ශක්තිය ප්‍රමාණවත් නොවන බව කියමින් අමෙරිකාවෙන් තාක්ෂණය ඉල්ලන්නේ මන්ද? සත්‍යට අනුවනම් පොදු හැගීම ( කොමන් සෙන්ස් ) මරා දමා ඒ වෙනුවට වන්දනාමාන කිරීම නමැති මෝඩ කම පැලපදියම් කොට ඇති රටක සාමාන්‍ය ජනතාව අතර සැකයක් ඇති කරමින් ඉන් දේශපාලන වාසි ලබා ගැනීම රාජපක්ෂලා විසින් සිදු කරමින් සිටිති. අබ්බගාත වූ සහ රාජපක්ෂ සමඟ හොර ගනු දෙනු ඇති විපක්ෂයකට මීට විරුද්ධව කටයුතු කරාවී යයි සිහිනයකින්දු සිතිය නොහැකිය. එය සිදු වන්නේද නැත.

සැබවින්ම එක්සත් ජාතින් තමන්ට අකටයුතු කම් කරන්නේනම් රාජපක්ෂ කළ යුත්තේ මහජනයා විදී වෙතට දක්කා ගෙන ගොස් විරෝධය පෑම නොව එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමය. බුරුමය, ඉරාකය එය කළේය. රාජපක්ෂ එයට නොයා රට තුළ දේශපාලනය හමුවේ බටහිර කුමන්ත්‍රණ කරුවා පට්ට ගැසීම වූ කලී සමස්ත සමාජය රැවටීම මිස වෙන කිසිවක් නොවේ. මෙවැනි කිසිඳු සංකීරණ තත්වයකට යා නොදී ලංකාවේ දේශපාලන මෙන්ම ආර්ථික අර්බුධ විසඳා ගත හැකිව තිබුණි. එනම් ජි.එස්.පි. ප්ලස් සහනය දීර්ඝ කිරීම සඳහා යුරෝපා සංගමය ලබා දුන් කොන්දේසී පහළොව පිළිගෙන නීතියේ ආධිපත්‍යට නතු වූ යහ පාලනයක් ඇති කළේ නම් රටේ ප්‍රශ්න මෙතරම් දිග් ගැස්සෙන්නේ නැත. එය එසේ නොවී ඇත්තේ තමන්ගේ චන්ඩිකම සහ උඩඟුකම ජාත්‍යන්තරව පෙන්නීමට යාම නිසා මිස වෙන කිසි දෙයක් නිසා නොවේ. තේරුම් ගත යුතුව ඇත්තේ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව පත් වී ඇති භයානක තත්වයයි. වෙනත් රටක මෙය සිදු වූයේනම් රාජපක්ෂ මේ වන විටත් ඉල්ලා අස් වී තමන්ගේ පුද්ගලික කටයුත්තක් කෙරෙහි යොමු වී සිටිනු නොඅනුමානය. ලංකාවේ එවැනි හඬක් නොනැගෙන්නේ අයුක්තියට එරෙහි විරෝධය බොරුව විසින් යටපත් කරමින් සමස්ත සමාජය පුරාම බටහිර කුමන්ත්‍රණය නමැති සැකය ව්‍යාප්ත කොට තමන්ගේ දේශපාලන පැවැත්ම තිර කරගෙන සිටින හෙයිනි.

Tell a Friend