ඉන්දියාවේ කොටි පුහුණු කඳවුරු ( Shameless lie)

හදිසි නීතිය සම්මත කර ගැනීම සඳහා ජාත්‍යන්තර බොරු කීම


නිලන්ත ඉලංගමුව


පෙර සටහන : මෙම ලිපිය ලියා ප්‍රසිද්ධ කිරීමට මොහොතකට පෙර අගමැති වරයා ප්‍රකාශයක් කොට ඇත. ඊට අනුව ඔහු ඉන්දියාවේ කොටි සංවිධානයට සම්බන්ධ කඳවුරු ඇතැයි කීම බොරුවක් බව ප්‍රකශ කොට ඇත. එහිදී තමන් රැවටුණු බව සඳහන් කොට ඇති හෙතම තමන්ගේ මුලාශ්‍ර ලෙස භාවිත කළ පුවත්පත් වාර්තා උපුටා දක්වා ඇත. මෙය සමස්තයක් ලෙස රටට විලි ලැජ්ජාවකි. සැබවින්ම මෙය සමාන වන්නේ මීට මාස කිහිපයකට පෙර කැලිෆෝනියාවේ ලංකා තානාපති වරයා වන ජෙෆ් ගුණවර්ධන විසින් ඇමෙරිකානු ජනපති බරක් ඔබාමා හමු වුයේ යයි කියමින් නිකුත් කළ පුවත් නිවේදනයටය. ඔහු එය මුදල් ගෙවා ලබා ගත් සේයාරුවක් වූ අතර එය ලංකා ආණ්ඩුව විසින් පළ කිරීමෙන් පසු ධවල මන්දීරය ජෙෆ් ගුණවර්ධන ලබා දුන් මුදල්ද ආපසු ලබා දී කළ අසමජ්ජාති කටයුත්ත ගැන තම උදහස පළ කළේය. රටේ කිර්ති නාමය හානි කරන්නේ යැයි අපට බැණවදින ආණ්ඩුවේ අයවලුන්ට නොතේරෙන්නේ මෙවැනි මීහරකුන්ගේ ඔලමොට්ටල කම්ය. සැබවින්ම වෙනත් රටක මෙවැනි දෑ සිදු වන්නේ නම් ඔවුහු වහාම තමන්ගේ කෙසේ වෙතත් රටේ කීර්ති නාමය සලකා ඉල්ලා අස් විය යුත්තේය.


තමිල් නාඩුවේ කොටි සංවිධානයට සම්බන්ධ පුහුණු කඳවුරු ඇති බව කියමින් අගමැති දී. මු. ජයරත්න කළ ප්‍රකාශය අතිශය බරපතලය. මෙය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ඉන්දු- ලංකා සම්බන්ධතා කෙරෙහි මෙන්ම ලංකාවේ දේශපාලනයේ ඇති කපටි - මෝඩ කම් ප්‍රදර්ශනය කිරීමක් ලෙස පෙනේ. බොරුව ප්‍රකාශ කළේ වෙන කිසිවකට නොවේ මැතිවරණ සමය ඉලක්ක කර ගනිමින් හදිසි නීතිය සම්මත කිරීම සඳහාය. බොරුව නිර්මාණය කරනු ලැබුවේ අගමැති නොවේ. අසූ වියැති අගමැති වූ කලි පොතේ ගුරෙකු පමණි. ඔහුගේ කතුවරයා ආරක්ෂක ලේකම් ගෝඨාබයගේ උපදේශකයාය. රටක රාජ්‍ය නායකයෙක් පාර්ලිමේන්තුවේදී මෙවැනි ප්‍රකාශ කිරීමෙන් අප රටක් හැටියට වැටී සිටින ඛේදනීය තත්වය සහ රාජපක්ෂ ආණ්ඩුව තවමත් කොටි සංවිධානය තමන්ගේ පැවැත්ම සඳහා අනියමින් හෝ නිර්මාණය කරමින් සිටින අකාරය ප්‍රදර්ශනය කිරීමකි. කොටි සංවිධානය සමුල ඝාතනය කොට වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් ලංකා ආණ්ඩුවට එය විකුණා ගැනීමට හැකියාවක් ලැබී නැත. එය ගං වතුරින් මිලියනයකට වැඩි පිරිසක් අනාථ වූ පසු ජාත්‍යන්ත ප්‍රජාවගෙන් ලැබුණු ආධාර ප්‍රමාණය සහ ජාත්‍යන්තර සංවිධාන වලින් ලැබුණු සහය සැලකීමේදී අවබෝධ කර ගත හැකිය. රාජපක්ෂ ආණ්ඩුව දේශීය වශයෙන් කරන ඔලමොට්ටල කටයුත්තම කලාපිය සහ ජාත්‍යන්තර වශයෙන් සිදු කරමින් සිටියි. මෙය විහිළුවකි.

අගමැති වරයා තමිල් නඩුවේ කොටි සංවිධානයට සම්බන්ධ කඳවුරු ඇති බවට කිසිඳු සාක්ෂියක් නොමැතිව ඉදිරිපත් කළ ප්‍රකාශය පිළිකුලෙන් ඉන්දීය බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කළහ. අදාළ ප්‍රකාශය සඳහා ප්‍රතිචාර විවිධ පාර්ශවයන්ගෙන් නිකුත් කරුණු ලැබුණි. ඒ අතර තමිල් නඩුවේ ප්‍රාන්ත පොලිස් ප්‍රධානියා වන ලේටිකා සරන්, " තමිල් නඩුවේ කොටි සවිධානයට සම්බන්ධ කඳවුරු නැහැ. කඳවුරු ඇතැයි පල වූ පුවත් වාර්තා පදනම් විරහිත සහ අසත්‍ය ඒවා බව කිව යුතුයි," යයි සඳහන් කළේය. එසේම චෙන්නායි නුවර පිහිටි මහාබෝධි විහාරයට එල්ල කළ ප්‍රහාරය පිටුපස සිටියේ ලංකාවේ දෙමළ ජනතාවට සහය දක්වන පිරිසක් මිස කොටි සංවිධානය ඊට සම්බන්ධ නැති බව, ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මෙම බොරුව ලංකාව විසින් පටලවා ඇත්තේ පිළිගැනීමට හැකි වන පරිදි, ලංකාවේ සිවිල් යුද්ධයක් ඇති කිරීමට සහ ඉන්දියාවේ නායකයින් ඝාතනය කිරීමේ වුවමනාවෙන් පවත්වාගෙන යන කඳවුරු ලෙසය. සැබවින්ම මෙය කිව යුතුව තිබුණේ වෙනත් ආකාරයකටය, එනම් මේ කාරණයට පකිස්ථානය පටලවා දැමුවේ නම් අගමැතිවරයාගේ පට්ටපල් බොරුවට සජීවී කාරණයක් ලෙස ටික කලක් පවතිනු ඇත.

සැබවින්ම කොටි සංවිධානයට සම්බන්ධ කඳවුරු තබා ගැනීම ලංකාවට වඩා ගැටලුව වන්නේ ඉන්දියාවටය. එය දේශපාලන බේදයකින් තොරව ඉන්දියාවේ ඇති පොදු පිළිගැනීම වේ. ඉන්දියාව සිටින්නේ 2011 වසරේ මිස ලංකාවේ රාජපක්ෂ මෙන් අතීතයට ගොස් පැවති සිංහල බමුණු අන්තවාදී මතය කරපින්නාගෙන සිටි රාජාණ්ඩු යුගයේ නොවේ. රාජපක්ෂට සිදු වී ඇත්තේ මෙයයි. එසේම කරමින් සිටින්නේ එක බොරුවක් වැසීම සඳහා බොරු දාහක් කියමින් තමන් කරන හැම කටයුත්තම සාධාරණීකරණය කිරීම සඳහා ඒවා ගැන ප්‍රශ්න කළ හැකි ආයතන වල බලය ඝාතනය කිරීමය. රටක කිසිඳු වැදගැම්මකට නැති ආයතන පමණක් පවත්වා ගැනීම සහ මහජනයාගේ මුදල් නාස්ති කිරීම තරම් තවත් ශාපයක් මේ ලොවෙහි නැත. කොටි සවිධානය සමුල ඝාතනය කිරීමෙන් පසු රටේ සැබෑ ප්‍රශ්න විසඳීමට අසමතෙකු වී සිටින රාජපක්ෂට සිදු වී ඇත්තේ කොටි සවිධානය ගැන වැදි බණ කියමින් පවතින තත්වය තමන්ට වාසිදායක වන ආකාරයෙන් පවත්වා ගැනීමය.

කොටි සවිධානයට සම්බන්ධ කඳවුරු පවත්වා ගෙන යාමට ඉඩ දීම සහ දෙමළ දේශපාලන පක්ෂ වලට උදව් කිරීම වූ කලි කටයුතු දෙකකි. ඉන්දියාව මින් දෙවැනි කාරණය වෙනුවෙන් නාමිකව හෝ පෙනී සිටින නමුත් , කොටි සංවිධානය වෙනුවෙන් කිසිඳු ආකාරයකින් පෙනීසිටීමට ඉන්දියාව ඉදිරිපත් වන්නේ නැත. ඒ සඳහා වන විරෝධයක් ඉන්දියාවේ පොදුවේ ඇත. නමුත් ලංකාවේ අගමැති වරයා ඉන්දියාවේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් විශේෂඥකු වීමට යන්ත දැරීමම විහිළුවකි. මන්ද අගමැතිවරයා ඉන්දියාව සමබන්ධයෙන් තබා ලංකාවේ ආරක්ෂක කටයුතු සම්බන්ධවවත් හරි හැටි දන්නා අයෙකු බව තමන්ගේ හැසිරීමෙන් පේනවා නැත. පේනවා ඇත්තේ තමන්ගේ පුද්ගලික අපේක්ෂා මුදුන් පත් කරගැනීම සඳහා අම්බුළුවාව වැනි ව්‍යපෘති හදමින් ප්‍රදර්ශනාත්මක කුලවාදී කවිකාර බමුණෙකුගේ භූමිකාව පමණි. හදිසියෙවත් රාජපක්ෂ මියැදුනොත් ලංකාවේ විධායක බලය කෙටි කලකට හෝ හිමිවන්නේ එවැනි පුද්ගලයකුටය.

මොවුන් තවමත් තමන්ට වාසි දායක වන අන්දමින් යුධ ජයග්‍රහණය හරි හැටි විකිණීම සඳහා වෙළඳ පොළ සකස් කරමින් සිටිනු පෙනේ. එය එළඹෙන මැයි මාසයේදී පැවැත් වීමට නියමිත සම්මන්ත්‍රණයේ න්‍යාය පත්‍රය දෙස බැලීමේදී පැහැදිලි වේ. ලේඛකයා වෙත ලැබුණු න්‍යාය පත්‍රය දෙස බැලීමේදී කණගාටුවක් පමණක් ඇති වේ. සැබැවින්ම එය සිංහලයන් පිරිසක් එකතු වී දෙමළුන් මරා දැමීම පිළිබඳ කිරීමට නියමිත සම්මන්ත්‍රණයක් ලෙස පෙනෙන්නේ කිසිඳු දෙමළ ජාතිකයෙකු හෝ දෙමළ කතා කරන අයෙකුට අදහස් ප්‍රකාශ කිරීමට ඉඩක් වෙන් කොට නොතිබීමෙනි. අදාළ අණුවන කටයුත්ත වත්මන් හමුදාපතිවරගේ සැලසුමක් විය හැකිය. නමුත් ඔබට අවශ්‍ය වන්නේ ඔබ හෝ ඔබේ නායකයා ( ජනරාල් සරත් ෆොන්සේකා ) ගේ සක්‍රිය දායකත්වයෙන් විනාශ කළ කොටි ත්‍රස්තවාදය ගැන හරිහැටි කරුණු කීමටනම ඔබ ඉඩ හල යුත්තේ ඉන් බැට කෑ සාමන්‍ය මිනිසුන්ටය. වසර ගණනාවක් තිස්සේ සිදු වූ යුද්ධයේ ගොදුරු හෙවත් නියම මුලාශ්‍ර ඉදිරියට ගෙනවිත් අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ හැරීම මිස ඔබ හෝ ඔබ විසින් තෝරා ගන්නා විශේෂඥයින් යයි නම් කළ පිරිස භූමියේ ඇත්ත තත්වයෙන් සිටින්නේ බොහොමක් ඈතින්ය. මොවුන් විසින් වෙන කිසිවක් නොකයනු ඇත. නමුත් කොටි සංවිධානයට උදව් කළ පිරිස් විසින් මේ වන විට ස්ථාන ගත වී ඇත්තේ කොහේද? ඔවුන් විදේශ රටවල කරන්නේ මොනවාද යන්න පිළිබඳ වාර්තා සපයනු ඇත. නමුත් ඒ සියල්ලම සම්මන්ත්‍රණයකදී තුන්වැනි පර්ශවකින් අසනවාට වඩා අන්තරජාලයෙන් ඉතා පහසුවෙන් ලබා ගතහැකිය. ඒ නිසා දැන් වත් තම දේශපාලන හෙන්චයිලාට විකුණනු ලැබූ ආරක්ෂක අංශවල පිට කොන්ද ශක්තිමත් කිරීම සඳහා පන්දම් කාරයින්ගෙන් තොර වූ පරිසක් ඇති කිරීම භාරදුර කාර්ය වේ. එය වත්මන් හමුදාපති වරයාට කළ හැකියැයි සිහිනයකින්වත් ලේඛකයාට නොසිතෙන නමුත් එය ඇති කිරීමේ වුමනාවක් ඇති සැබෑ නිලධාරීන් නැතුවාම නොවේ. අගමැති වරයා ඉන්දියවේ අභ්‍යන්තර ආරක්ෂක කටයුතු ගැන විශාරධයකු වීමත්, හමුදාපති වරයා කොටි මැරීමේ උපාය ගැන "විශේෂඥයින්" මඟින් ජාත්‍යන්තරයට කීමට යන්ත දැරීමත් එකම අකාරයේ කටයුතු මිස ඉන් ලබා ගත හැකි ප්‍රයෝජනයක් ඇත්නම් ඒ තම තමන්ගේ පුද්ගලික සුඛ විහරණය සඳහා පමණි.

පසුගිය වසරේ අග බාගයේදී ඉන්දියවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙකු හමු වීමට ලේඛකයාට හැකි විය. ඔහු ඉන්දියාවේ අභ්‍යන්තර බුද්ධි අංශය වන අයි.බි. හී ප්‍රධානියා ලෙස කටයුතු කළ මලයි ක්‍රිෂාන දහර්ය. ඔහු හමු වීම සඳහා නව දිල්ලි නුවර පිහිටි ඔහුගේ නිවසට ගිය මම එහිදී පළමුවෙන්ම ඔහු ඉතා උනන්දුවෙන් කතා කරනු ලැබුවේ කොටි සංවිධානය නැති කිරීම සම්බන්ධයෙනි. ඔහු ඉතා පැහැදිලිව ඉන්දියාවට වැරදුන තැන සහ එම වැරැද්ද යලි නොකිරීමේ වැදගත් කම පිළිබඳව බොහෝ වෙලා අදහස් හුවමාරු කර ගත්තේය. එසේම රටේ බුද්ධි අංශ දේශපාලන අපේක්ෂා වලින් බැහැරට ගෙන ගොස් ස්ථාන ගත කිරීමේ වැදගත් කමද ඔහු කිව්වේය. අවසානයේදී ඔහු සඳහන් කරනු ලැබුවේ, ලංකාවේ පවතින ගැටලුව තුළ මෙම අංශ දෙක ඉතා පහසුවෙන් වෙන් කළ නොහැකි අන්දමට සම්බන්ධ වී ඇති බවයි. එය යහපතකට වඩා දීර්ඝ කාලින අයහපතකට පමණක් හේතු වන බව ඔහු සඳහන් කළේය. අගමැති දී. මු ගේ බොරු කීම සහ රටේ ආරක්ෂක කටයුතු ගැන නොදන්නා පිරිස් දේශපාලන වාසි ගැනීම සඳහා කටයුතු කිරීමෙන් අප තහවුරු කරමින් සිටින්නේ රටේ ඇති බුද්ධිමය පරිහානියයි. වගකීම් විරහිත ස්වභාවයයි. ආසියාවේ අශ්චර්යේ ඇත්ත නිරුවත වන්නේ මෙයයි.

Tell a Friend