කන්දකැටිය - ජී. චතුරංග
"මට ජීවත්වෙන්න ක්‍රමයකුත් නැහැ ඉන්න තැනකුත් නැහැ. වහින වෙලාවට තල් අත්තක් අල්ලගෙන හිටගෙන ඉන්නවා. අනේ මට පුංචි කාමරයක් හරි හදලා දෙන්න ලොකු පිනක්"
මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් අති දුෂ්කර ගම්මානයක් වන කලුගහකඳුර ඉටිතැම්පල ගම්මානයේ පදිංචි අහිංසක කාන්තාවක් එසේ තම දුක පවසන්නීය.
මිනිස් පුළුටක් පවා නෙත නොගැටෙන කඳුගැටයක් මත වූ කැලෑ රොදකට මැදිව තනා ගත් පුංචි අතුපැලක වෙසෙන ඩී. එම්. බණ්‌ඩාරමැණිකා නමැති මේ අසරණ කාන්තාව සොයා පසුගිය දිනෙක අපි ඇය පදිංචි අතුපැල සොයා ගියෙමු.
දනිස් මුහුණේ ගැටෙන තරම් වූ ප්‍රපාතාකාර මාර්ගයක් තරණය කළ අපි රූස්‌ස කැලෑවක් මැද ඉදිකර තිබූ ඇගේ පුංචි අතුපැල වෙත ළඟා වුණෙමු.
ඉතා කුඩා ඉඩකඩකින් යුත් ඒ අතුපැල වටකර තිබුණේ තල් අතු හා මානා ආදියෙනි. මෝඩ ගඩොල් කැට කීපයක්‌ද ආධාරක ලෙස තබා තිබිණි. ගෙපැලේ වහළ ඉටිරෙදිය. රෙදි කැබලි කීපයක් වළං දෙක තුනක් ඇය සතු එකම වස්‌තුව විය.
දෙනෙත්වලින් රූරා වැටෙන කඳුළු වසංකර ගත් ඈ සිය මලානික හඬ මෙසේ අවදි කළාය.
මට කාත් කවුරුවත් නෑ. යන්න එන්න තැනක් නෑ. සලකන්න කෙනෙකුත් නෑ. මම ඒ නිසා තමයි මේ විදිහට ජීවත් වෙන්නේ. කුලියක් කරල කීයක් හරි හොයාගෙන තමයි පණ ගැටගහගන්නේ. එහෙම සොයාගත්ත පුංචි මුදලින් යන්තම් පණ ගැට ගහ ගන්නවා. ඒ ඇරෙන්න මට කරන්න පුළුවන් දෙයක් නෑ.
පුංචි වැස්‌සකටත් මේ අතුපැල තෙමෙනවා. මේ ගෙට දොරක් ජනේලයක් නෑ. කොයි වෙලේ සර්පයෙක් ඇවිත් මාව කාලා දමාවිද කියන්න බෑ. ඒත් ජීවිතයට තියෙන ආසාවට මං ජීවත් වෙනවා.
මම ඉන්න හැටි දැකල සමහරු මාව ගෙවල්වල වැඩට එක්‌ක යන්න හදනවා. ඒත් මම ඒකට කැමැති නෑ. පුළුවන් කාලයක් මෙහෙම ඉඳලා මැරිලා යනවා. කව්රු හරි කැමැතිනම් මට පුංචි ගේ කාමරයක් හදලා දෙන්න ඒ ඇති. ඇය පවසන්නීය.
ඇගේ ලිපිනය -
එල්. ඩී. ඩී. එච්. ජයසේකර මිය බාරේ
ඩී. එච්. බණ්‌ඩාර මැණිකා
දිසා රෝහල බදුල්ල, මීගහකිවුල,
බදුල්ල, ශ්‍රී ලංකා
Post a Comment