රූමත් දියණියට පොල් උලකින් ඇන අභිරහස් ලෙස මරා දමයි

බණ්ඩාරගම - රයිගම - මිල්ලගස්හන්දිය පදිංචිව සිටි ව්‍යාපාරිකයකුගේ රූමත් දියණියකට පොල්ලෙලි ගසන තියුණු තලයකින් ඇන ඝාතනය කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසයි. පසුගිය 25 වැනි දින මෙම ඝාතනය සිදු වී ඇත.මෙසේ ඝාතනය කර අත්තේ, එම ප්‍රදේශයේ පදිංචිව සිටි හර්ෂණී නිලූෂිකා ජයවීර (27) මෙනෙවියයි.

තරුණිය ඝාතනයට ලක්වන අවස්ථාවේ ඇගේ පියා හොරණ ව්‍යාපාරික ස්ථානයේ සිට ඇති අතර, බාල සොහොයුරා එම ව්‍යාපාරික ස්ථානයට යාම සඳහා නිවසින් පිටව ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.


ඝාතනයට ලක් වූ තරුණියගේ මළසිරුර නිවසේ පිටුපස ගරාජය තුළ තිබියදී සොයාගත් අතර, ඝාතනයට උපයෝගී කරගත් තියුණු තලය සහිත පොල් ලෙලි ගසන උළ ගරාජයේ දොරට හේත්තු කර තිබියදී පොලිසිය මගින් සොයා ගෙන ඇත.

තරුණිය වැටී සිටි ස්ථානයේ සහ අවට විශාල ලේ පැල්ලම් කීපයක් දක්නට තිබුණු බවත් පොලිසිය සඳහන් කරයි.

මෙම ඝාතනය සිදු වූ (25) දින දහවල් පුද්ගලයන් දෙදෙනෙකු ව්‍යාපාරිකයාගේ නිවස පිටුපස ගැවසුණ බවට තොරතුරු පොලිසියට ලැබී ඇත. මෙම සැකකරුවන්ගෙන් එක් අයෙකු ව්‍යාපාරික පියා මෑතකදී සේවයෙන් පහ කළ අයෙකි. සැකකාර එම සේවකයා මේ වන විටත් එම ප්‍රදේශය හැර ගොස් ඇතැයි පොලිසියට ලැබුණු තොරතුරුවලින් හෙළි වෙයි.

පාණදුර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි එඩ්මන්ඩ් මහින්ද්‍ර, සහකාර පොලිස් අධිකාරී (අපරාධ) රංජිත් සිල්වා, සහකාර පොලිස් අධිකාරී අබේරත්න දිසානායක මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා පරීක්ෂණ පවත්වයි.


Tell a Friend