වහල් නිදහස



නිලන්ත ඉලංගමුව 


" කුසගින්න හා ශිතල හැරුණු විට මා පිඩාවට පත් කළ සෙසු දෙවල් ඉතා අල්ප විය. කුස ගින්නෙන් දැනුන වේදනාවට වඩා වැඩි වේදනාවක් ශිතල විසින් හිමිකර දෙන ලදි. ගිනියමි වසන්ත කාලයේදිත් අයිස්වන් ශිත කාලයේදත් මාව වැඩි හරියක් තබන ලද්දේ හෙලුවැල්ලෙනි." - ෆෙඩ්රික් ඩග්ලස් ස්වං ලිඛිත චරිතාපදානය

නිදහස වෙනුවෙන් කතා කරන ඒ වෙනුවෙන් පෙනී සිටින ජාතියක් අන්ත දූෂිත හොරුන් පිරිසක් විසින් එහි ජනතාව තබා ඇත්තේ නිදහස නමැති පෘතුල කුලකයෙන් ඉවත් කොට වහල්භාවය නමැති නිරුවත් රාමුව තුළය. නිදහස වූ කලි කුමක්ද, එහි සීමා මායිම් මොනවද යන්න අපි නොදනිමු. රාජපක්ෂ සහ ඔහු වෙනුවෙන් වන්දනාමාන කරන පිරිස හැරෙන්නට වෙනත් කිසිවෙකුට නිදහසක් නැත. ඔවුන්ටද ඇත්තේ නිදහසට වඩා වහල් භවයේම වෙනස් ස්වරූපයකට අනුගත වෙමින් එය සැප යයි පිළිගනිමින් අනෙකා මට්ටු කිරීමට ලබා දී ඇති අවකාශය තුළ වීරයන් වීමේ හැකියාවයි. ලංකාවේ නිදහස කේන්ද්‍ර ගත වී ඇත්තේ සහ එහි විනිශ්චය කරුවා වී සිටින්නේ දෙවියන්ටත් වඩා මිනිසුන් මර්ධනය කිරීමට නීතියෙන් බලය හිමි විධායක ජනාධිපති ධූරය නමැති මහා ශාපකාරී පිළිකාව වෙතය. ලේඛකයා අදේවවාදියෙක් හෙයින් මෙහිදී දෙවියන් උපුටා දැක්වීම දෙවවාදීන්ගේ කුතුහලයට හේතු වුවද, සංකල්පයක් හෝ පුරාවුර්තයක් ලෙස ගත් විට දෙවියන්ටද පිළිගත යුතු සහ අභිනවයෙන් රැකිය යුතු මුලික නීතියක් ඇති බව කියවේ. නමුත් ලංකාවේ විධායකය නමැති දුෂ්ට හස්තයට එකී කිසිවක් අදාළ නොවේ. රිසි දේ රිසි පරිදි කිරීමේ භයානක අසීමිත බලයක් ඊට හිමිය. මේ නිසා සෑම විටම එකී ස්ථානයට පත් වන අයවලුන් හමුවේ සාමාන්‍ය ජනතාව, පර්යේෂනගාරයක මීයන් බවට පත් වේ. බලයට පැමිණෙන චරිතයට රැකීමට මුලික නීතයක් නොමැති හෙයින් ඔවුන්ට මිනිස් ජීවිත සමඟ පරීක්ෂණ කළ හැකිය. රාජපක්ෂගේ දුර්වල ආර්ථික කළමණාකරණයෙන් සහ හාස්‍ය ජනක විදේශ ප්‍රතිපත්ති වලින් පිළිඹිබු වන්නේ එයයි. මෙකි තත්වය තේරුම් ගැනීම සඳහා ලංකාවේ නිතිය පිළිබඳව ඉහළම දැනුමක් හිමි පුද්ගලයා ලෙස සැලකෙන මහාචාර්ය පිරිස් සහ ඔහුගේ විදේශ අමාත්‍යංශයේ සිදුවෙන තෙවැනි පන්තියේ දේශපාලන අත්හදා බැලීම් ප්‍රමාණවත්ය. මෙවැනි හාස්‍ය ජනක විහිලු ඉතිහාසයේ මෙතරම් මට්ටමින් සිදු වුයේ නැත. අපි නිදහස සමරන්නේ මෙවැනි වටපිටවකට තල්ලු වූ දේශපාලන ප්‍රවණතාවයක් හමුවේය.

දිනයක් ලෙස වැදගත් වුවත් සංකල්පීය වශයෙන් හෝ එහි ප්‍රයෝගික භාවිතාව විෂයෙහිලා පයිසයකට මායිම් කළ නොහැකි තවත් පෙබවරවාරි හතර වැනිදාවක් උදා වී ඇත. නැති දෙයක් තිබුණා යයි කියමින් පුරාජේරු කීම අපේ පුරුද්දය. ඉතිහාසය ගැන මහා පුරාජේරු කියන අපට ඉතුරු වී ඇත්තේද එය පමණි. සුරියප්පෙරුමගේ සිට පුරාවිද්‍යා චක්‍රවර්ති හිමි නම දක්වා වූ දාමයෙන් බලාපොරොත්තු විය හැක්කේ සේම අවසානයේදී සියලු දෙනා වැඳ නමස්කාර කොට නිවසේ කුස්සියට ඇතුළු වූ විට වැටහෙන්නේ අපි නිදහස යයි සමරන ව්‍යාජයේ ඇත්තයි. ලංකාවේ නිදහස සඳහා නිරමාණ කරුවන් සිටිති. එහි වත්මන් භූමිකාව ජේ. ආර්. ටත් වඩා තමන් බලය සංකේන්ද්‍ර කරගැනීමෙන් කෙරුමා වූයේ යයි සිතා සිටින රාජපක්ෂය. ජේ. ආර් සේම රාජපක්ෂද තම තමන්ගේ භෞතික සීමාවන් ගැන සිතා අන් අයගේ යහපත වෙනුවෙන් සිතන උදාර පුරුෂයින් නොවේ. රාජපක්ෂ යටතේ අපට නිදහස ලැබුණේ යැයි හැඳින්වෙන දින කිහිපයක් තිබේ. එකක් ඔහුගේ ( ජනාධිපති රාජපක්ෂගේ ) උපන්දිනය සහ ඔහු ජනාධිපති ලෙස පත් වූ දිනයය. අනෙක විමුක්ති කොටි සංවිධානය එහි සිටි සාමාජිකයින්ගේම මඟ පෙන්වීම යටතේ සමූල ඝාතනය කළ දිනයය. මේ නිසා සමරන්නේ කුමක්ද යන්නට වඩා වැදගත් වී ඇත්තේ සැමරීමට අණ ලබා දෙන්නේ කුමක්ද යන්නය. රාජපක්ෂ බිලියන ගණන් මහජන මුදල් නාස්ති කරමින් තමන්ගේ දෙවැනි පදවි ප්‍රාප්තිය යැයි නැටූ නාඩගම දෙස හාමතේ බලා සිටීමට සිදු වන්නේත් අහිංසක අසරණයින් පොලිස් අත්අඩංගුවට ගෙන අනේක විද වද හිංසා පමුණුවන විට නොදැක්කා සේ බලා සිටීමට සිදු වී ඇත්තෙත් වෙන කිසිවක් නිසා නොව මෙකි අධිකාරියේ බලපෑම නිසාය. අපි මීට අපේ කම නොඑසේනම් පුරුද්ද යයි කියමු. ශ්‍රී ලාංකික අනන්‍යතාවය මෙයයි. අපි නිදහස යැයි කියන්නේ සේම දකින්නේ මෙකි රාමුවයි. සැබෑ නිදහස කෙතරම් දුරට අපෙන් ඈත් වීද යත් රාජපක්ෂ වැනි හොරෙක් නිදහසේ පිතෘ වරයෙක් කර ගැනීම සඳහා බල කොට ඇත. ගෝඨාබය රාජපක්ෂ අධිකරණය ඉදිරියට ගොස් ජනරාල් සරත් ෆොන්සේකා යුධ හමුදාපති ධූරයට පත් කිරීම ගැන කණගාටු වන බව කියන්නෙත්, ජනරාල් සරත් ෆොන්සේකා නැති වුණත් යුද්ධය දිනන බව කියන්නෙත් ඉහත කී බල කිරීමට අවශ්‍ය වට පිටාව සකස් කිරීම සඳහාය. මෙය අපේ නිදහසයි. රාජපක්ෂ විසින් හඳුන්වා දෙනු ලබන නිදහසේ පරාමිතියයි.

ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ, ජනරාල් ෆොන්සේකා නැති වුණත් යුද්ධය දිනන බව ප්‍රකාශ කළ අවස්ථාවේදී අතීත සිදුවීම් දෙකක් මා හට මත විය. ඉන් පළමු වැන්න, මේ වන විට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති වරයා වශයෙන් කටයුතු කරන දයාන් ජයතිලක සමඟ 2004 දී සිදු කළ සම්මුඛ සකච්චාවයි. ඒ වනවිය ගෝඨාබය නමැති පුදගලයෙක් ශ්‍රී ලංකාවේ ජනතාවට තවත් නමක් පමණක් වූ නමුත් සරත් ෆොන්සේකා යාපනයේ ආඥාපති වශයෙන් රනිල් වික්‍රමසිංහ විසින් අත්සන් කරනු ලැබූ සටන් විරාම ගිවිසුමෙන් වාසි ලබා ගනිමින් සිටි කොටි සංවිධානය සමඟ අරගල කරමින් සිටියේය. එකල සරත් ෆොන්සේකා වූ කලි මුළු රටේම ප්‍රවුර්ති නිර්මාණය කළ යුධ හමුදා ආඥාපතිවරයෙකි. දයාන් එහිදී වඩාත් පැහැදිලි ස්ථාවරයක ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි අතර යුද්ධය ජය ගැනීමට ෆොන්සේකාගේ කාර්යභාරය අතිශය තීරණාත්මක බව සඳහන් කළේය. කොළඹ විශ්ව විද්‍යාලයේදී පුරා පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ දයාන් මා සමඟ කතා කරනු ලැබුවේ එලෙසය. දෙවැන්න 2009 මාර්තු මාසයේදී පලාලි යුධ හමුදා කඳවුරේදී මේජර් ජනරාල් චනද්‍රසිරි සහ මා අතර ඇති වූ අදහස් හුවමාරු කර ගැනීමය . හෙතම එහිදී වඩාත් නම්‍ය ශීලී වෙමින් කියා සිටියේ යාපනයේ පවතින තත්වය මේ ආකාරයෙන් නිර්මාණය කොට කොටි සංවිධානයට අවාසි සහගත තත්වයක් නිර්මාණය කරනු ලැබුවේ ජනරාල් සරත් ෆොන්සේකා මිස වෙන කිසිවෙකු නොවන බවයි. එය කාලාන්තරයක් තිස්සේ සිදු වූ ක්‍රියාදාමයක ප්‍රතිපලයක් මිස ඉබේ හට ගත් හතු වලින් සිදු වූ අලංකරණයක් නොවන බව ඔහු සඳහන් කළේය. සැබවින්ම චන්ද්‍රසිරි වූ කලි යුද්ධයේ ක්‍රමෝපායන් දන්නා සේම , එය දේශපාලනමය වශයෙන් අවබෝධකර ගැනීමට තරම් ශඛ්‍යතාවයක් ඇති ඉහල වටිනා කමක් සහිත නිලධාරියෙකි. ඔහු තමන්ගේ වගකීම කෙරෙහි මිස නිලය ගැන තැකීමක් නොකළ අයෙක් වූ අතර තම ධූරයෙන් ඉහලට යාම සඳහා එක එකාට පන්දම් ඇල්ලු නිලධාරියෙක්ද නොවේ. ඒ නිසා මෙහිදී හෙතමගේ අදහස් උපුටා ගැනීමේ වටිනාකමක් තිබේ.

ගෝඨාබය අධිකරණය ඉදිරියට විත් තමන්ගේ ගුණ මකු කම වීරත්වයක් ලෙස පෙන්වන රංගනය තුළ ඇති ඇත්ත අදාල සිදු වීම් දෙකෙන් තේරුම් ගත හැකිය. එය රටක පැවතිය යුතු වැඩ පිළිවෙලෙත් පවතින වැඩපිළිවෙලත් අතර වෙනස තේරුම් ගැනීම සඳහා වැදගත් වේ. අපි නිදහස කියා සමරනු ලබන්නේ බලය විසින් නිර්මාණය කරනු ලැබූ ආකෘතියක් මිස නිදහස නොවේ. එකී ආකෘතිය කලින් කලට දේශපාලන අවශතාවය විෂයෙහිලා වෙනස් වේ. මෙය අපට තේරුම් ගැනීම සඳහා ප්‍රමාණවත් අත්දැකීම් තිබේ. මෙම තේරුම් ගැනීමේ සීමාවන් මකා දැමීම සඳහා රාජපක්ෂ විසින් එදිනෙදා ප්‍රශ්න උග්‍ර කරමින් සිටින්නේය. එකී ප්‍රශ්න වෙනුවෙන් විරෝධය දැක්වීමට එරෙහිව මිලිටරි බලය යොදා ගනිමින් තිබේ. එබැවින් තවත් ටියුනිශියාවක්, ඊජිප්තුවක් , යෙමනයක් හෝ උතුරු සුඩානයක් බවට පත් වීමට තරම් ලංකාවේ දේශපාලන පක්ෂ වලින් පරිබාහිර වූ සිවිල් සමාජීය හෝ ශිෂ්‍ය ප්‍රජාවගේ ප්‍රභල භූමිකාවක් නැත. මේ නිසා ජනතාව ඒක රාසි වීම වෙනුවට දැක ගත හැක්කේ සුළු කණ්ඩායමක් විසින් සිදු කරන ප්‍රචණ්ඩකාරී විරෝධයක් මිස ඊට එහා ගිය ප්‍රභල මට්ටමේ ජනතා ව්‍යාපාරයක් නොවේ. ඒ සඳහා ලංකාව සුදානම් නැත. නැත්තේ වෙන කිසිවක් නිසා නොව අපි අපි විසින්ම බෙදී වෙන් වී සිටින හෙයිනි. එය වඩාත් හොඳින් පසුගියදා ගාලූ සාහිත්‍ය ප්‍රසංගය යයි නැටූ ජවනිකාවෙන් දක්නට ලැබුණි. සිවිල් සමාජයේ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ජීවිත කාලයම කැප කළ ඇතැමුන් සේම ලංකාවේ ගැටලූ ගැන ස්වං ප්‍රකාශිත විශේෂඥයින් එහිදී බෙදී වෙන් වී ගිය ආකාරය ඉතා හොඳින් පෙණුනි. මේ නිසා සිවිල් සමාජය යයි කියාගන්නා බොහොමයක් රාජ්‍ය නොවන සංවිධානවලට තමන්ගේ යැපීමෙන් ඔබ්බට ගිය කිසිවක් කිරීමේ වුවමනාවක් නොමැති බව ඉතා හොඳින් දක්නට ලැබුණි. මෙය අපි අපි තුළින්ම හඳුනා ගන්නා ගතියයි. වඩාත් තේරෙන බසින් කිවහොත් ආත්මාර්ථකාමී කුහකකමයි. එනම් අනෙකාගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමට ඇති නොහැකියාව සහ නොකමැත්තයි. මේ නිසා විසි හතර පැයේම රාජපක්ෂගේ මාධ්‍ය විසින් ගොතන මහා පරිමාණයේ බොරු සහ අනෙක් දිශාවෙන් ඇසෙන අඬහැරයේ විලාපය මිස වෙන කිසිවක් අපට ඉතුරු වී නැත. තවත් කාලෙකින් ජනරාල් ෆොන්සේකා වූ කලී කලී ජනප්‍රවාදයට එකතු විය හැකි පුරාවුර්තයක් පමණක් විය හැකිය. මන්ද ඉන්දියාවේ ටාජ් මහල් හැදු ගෘහ නිරමාණ ශිල්පියා ඉතිහාසයෙන් මකා නොදැමීමට තරම් වූ දූෂිත බලයට එරෙහි වර්ධිත සමාජීය සංවර්ධනයක් අපට තිබේද යන්න ගැටලූ කාරී වන හෙයිනි.

වඩාත් ප්‍රබලම අභියෝගය වී ඇත්තේ සාමාන්‍ය මට්ටමේ ජනතාව හමුවේ විශ්වාසයක් ඇති කිරීම සහ ශිෂ්‍ය ව්‍යාපාරයන් වල දක්නට ලැබෙන ඔලමොට්ටල දේශපාලන ගැති බාවයන් ශෝධයනය කිරීමය. ඊජිප්තුවේ හොස්නි මුබාරක් ජනතාවගෙන් සමාව අයදින මට්ටමට තල්ලු කරනු ලැබුවේ එහි සංවිධානය වී සිටි ප්‍රබල ශිෂ්‍ය ව්‍යාපාරය සහ ඊට අනුග්‍රහය දැක් වූ දුෂණයට සහ දේශපාලනය පිළිකුල් ලෙස තමන්ගේ වාසියට යොදා ගැනීමට විරුද්ධ වූ හමුදාවක් විසිනි. එය 1980 මැයි 18 සිට 27 දක්වා කාලය පුරා දකුණු කොරියාවේ චුන් ඩුවන්ට එරෙහිව ග්වාන්ජු හී සිදී වූ ශිෂ්‍ය අරගලයේම ප්‍රගතියකි. නමුත් අපේ ශිෂ්‍ය ව්‍යාපාරය තුළ හෝ දේශපාලන පක්ෂ තුළින් පිළිඹිබු නොවන්නේ එයයි. මේ නිසා සිදු වී ඇත්තේ බලාධිකාරිය විසින් හුරු කරණු ලැබූ රාමුවකට නතු වීමට පමණි. එය නිදහස යැයි වැරදි අවබෝධයක් ඇති කර ගැනීම මෝඩ කම මිස වෙන කිසිවක් නොවේ. නමුත් ප්‍රයෝගික තලය තුලදී මෙය සැබවින්ම පරම නිදහසට වඩා වහල් හිමියා විසින් වහලාට ලබා දුන් නිදහසට සාපේක්ෂ වශයෙන් සමාන එකකි. ශ්‍රී ලාංකිකයින් වන අපි රාජපක්ෂ යටතේද භුක්ති විඳින්නේ එයයි. මෙහි අවුල ඇත්තේ සමස්ථ සමාජය කාලාන්තරයක් තිස්සේ හුරු කැරුණු ලැබූ රටාව තුළය. රාජපක්ෂ වූ කලී එකී ක්‍රමයේ ප්‍රතිපලයකි. ජනරාල් ෆොන්සේකා වැලිකඩට ගාල් කිරීම සඳහා රාජපක්ෂට එතරම් ලෙහෙසියෙන් හැකි වූයේද ඒ නිසාය. මෙවැනි දෑ නිදහසේ සීමා මායිම් හරි හැටි පැල පදියම් වී ඇති ජාතියක හීනෙන්වත් සිදු වන්නේ නැත. අපි අපේ නිදහසේ සීමා මායිම් නොදැනීම කෙතරම් ඛේදවාචකයක්ද යන්න තේරුම් ගැනීම සඳහා අපි අපි දෙසටම නැඹුරු වී ස්වං විවේචනයක යෙදීම වැදගත්ය. හිමි මුලික අයිතියත් කප්පාදු කරමින් ජීවිත සමඟ සෙල්ලම් කරන රාජපක්ෂට එරෙහිව දෙවාලවල් වලට ගොස් පොල් ගැසීමට සිදු වී ඇත්තේ රටාව විසින් තල්ලු කොට දමා නිර්මාණය කොට ඇති තත්වය නිසාය. එයට විලි ලැජ්ජාවක් නොමැතිවම කොටි ත්‍රස්තවාදීන්ගෙන් මව් බිම බේරා ගනිමින් ආසියාවේ ආශ්චර්ය උදෙසා වූ ගාමක බලවේගය හෙවත් මැද මුලනේ පොඩි පුතා විසින් නිර්මාණය කරණු ලැබූ "නිදහස" යැයි කියමු. මහාචාර්ය සුනිල් ආරියරත්න සංස්කෘති කාව්‍යන් වල වීර චරිතය නිරූපණය කරන ලක්ෂණ ඇති අයෙක් ලෙස රාජපක්ෂ හඳුන්වන්නේ එකී අන්ධ භක්තිය නිසා මිස වෙන කිසිවක් නිසා නොවේ. නමුත් ඇත්ත තුළ දිය වී ඇති සමාජීය බලය සහ සිදු වී ඇති පරිහානීය තේරුම් ගැනීමට මේ කිසිඳු "බුද්ධිමතෙක්" යොමු නොවීමම මහා ඛේදවාචකයකි. මතක තබා ගත යුත්තේ ඔබට ඔබේ සමාජය වෙනස් කිරීමට අවශ්‍යනම් වෙනස් කළ යුත්තේ නායකත්වය මිස එහි වටේ සිටින එදා වෙලා සොයා ගැනීම සඳහා දස දිශාවට බොරු කියන පිරිස් නොවේ, යන්නය.

Tell a Friend