JVP :"ලංකා ඊ නිවුස්" කාර්යාලය ගිනි තැබීම හෙළා දකිමු

අනුර දිසානායක


"ලංකා ඊ නිවුස්" වෙබ් අඩවි කාර්යාලයට අද අලූයම කිසියම් පිරිසක් විසින් ගිනි තබනු ලැබ තිබේ. ඉන් එම ආයතනයට බරපතළ හානියක් සිදු වී ඇත. මෙම නින්දා සහගත ක්‍රියාව දැඩි පිළිකුළෙන් හෙළා දකින අතරම, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා, වරදකරුවන්ට විරුද්ධව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය ලෙස අපි ආණ්ඩුවට බල කර සිටිමු. මෙම සිදුවීමට ආණ්ඩුවේ සම්බන්ධයක් නැතිනම් සිය නිර්දෝෂීභාවය පෙන්වීමට ආණ්ඩුවට ඇති එකම මගද එයයි. පරීක්ෂණ සිදු නොවුණු, නීතිය ක්‍රියාත්මක නොවුණු සෑම සිදුවීමක් පිටුපසම ආණ්ඩුවේ සම්බන්ධයක් ඇතැයි සනාථ වී ඇති තත්වයක් තුළ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් එහි වගකීමෙන් මිදීමට ආණ්ඩුවට නොහැක.

කෙසේ වෙතත්, "ලංකා ඊ නිවුස්" මාධ්‍ය ආයතනය සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් අනුගමනය කළ ක්‍රියාපටිපාටිය නිසා මෙම පිළිකුල් සහගත ක්‍රියාව ආණ්ඩුවේ වුවමනාව හා මෙහෙයවීම මත සිදුවූවක් බවට මතු වී ඇති සැකය බැහැර කළ හැකි නොවේ.

මෙතෙක් බලයට පත් වූ සෑම ආණ්ඩුවක් සේම, වත්මන් ආණ්ඩුවද තමන්ට අවනත නොවන මාධ්‍ය සම්බන්ධයෙන් අනුගමනය කළේ මර්දනකාරී පිළිවෙතකි. වත්මන් පාලනය තූළ එම තත්ත්වය ඉතා දරුණු හා රටේ ප්‍රජාතන්ත්‍රවාදය පාර්ශ්වයෙන් ගත් කළ බිය උපදවන සුළු තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත. 2005 වසරෙන් පසුව මාධ්‍යවේදීන් දස දෙනකුට වඩා ඝාතනය කර ඇති අතර තවත් මාධ්‍යවේදීන් රැසක් අතුරුදහන් කර ඇත. පහරදීම්වලට ලක් වූ මාධ්‍යවේදීන් ගණන 30කට ආසන්න වන අතර අවස්ථා හයකදී ඍජුවම මාධ්‍ය ආයතන වෙත ප්‍රහාර එල්ල වී ඇත. විශේෂත්වය වන්නේ මේ කිසිදු සිදුවීමක් සම්බන්ධයෙන් මෙතෙක් පරීක්ෂණ සිදු නොවීමයි. එපමණක් නොව, මෙම සිදුවීම් ගැන ප්‍රශ්න කිරීමේදී ආණ්ඩුවේ ඇමතිවරුන්"ගලේ පැහැරූ බළලූන්ගේ" තත්ත්වයට පත්වීම මගින්ද ඒ පිටුපස ඇති සත්‍යය අනාවරණය වේ.

ප්‍රජාතන්ත්‍රවාදය නැති කළ රට ගමන් කරන්නේ ම්ලේච්ඡත්වය කරා බව පැහැදිලිය. ඒ නිසා වත්මන් ආණ්ඩුව රට ඇද ගෙන යන්නේ, ම්ලේච්ඡත්වය කරාය. මේ ගමන වහා නතර නොකරන්නේ නම් අද මාධ්‍යවේදීන් වෙත එල්ල වී ඇති රාජ්‍ය ත්‍රස්තවාදයේ අවි හෙට එල්ලවන්නේ ජනතාව වෙතය. ඒ නිසා මීට විරෝධය පළ කිරීම මාධ්‍යවේදින්ගේ පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමස්ත රට වැසියන්ගේම වගකීමක් බව අපි අවධාරණය කරමු.

Tell a Friend