බෙහෙත විදලා විනාඩි 5ක් ගියේ නෑ පුතාගේ හුස්ම හිර වුණා

එන්නතක් විස වීමෙන් දරුවකු මිය යාම

එස්. එන්. ගොඩමුන්න

පුතාගේ කකුලේ කූඩැල්ලෙක් කාපු තැන ටිකක් ඉදිමිලා තිබුණා. ඒ නිසා අපි එයා රෝහලේ නතර කළා. මමයි මහත්තයයි දෙන්නත් වැඩ කරන්නේ මේ රෝහලේමයි. ඒ නිසා පුතා ගැන බලන්න අපට පුළුවන් වුණා.

9 වාට්ටුවේ තමයි එයා නතර කරලා හිටියේ. පුතාට බෙහෙතක් විදින්න ඕනේ කියලා ඒ බෙහෙත ළමා වාට්ටුවෙන් ගෙන්නාගෙන ඒක එයාට විද්දා. එහෙම විදලා විනාඩි 5 ක් වත් ගියේ නෑ. පුතාට හුස්ම ගන්න බැරි වුණා. ඉක්මනට එයා දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළත් පුතා මිය ගියා.

ලබා දුන් එන්නතක් විසවීමෙන් මිය ගියා යැයි සැක කරන නාවලපිටිය පැණිතුඩුව පදිංචි කේසර කෞෂල්‍ය බණ්ඩාර නමැති අවුරුදු 1 1 / 2 ක් වයසැති දරුවාගේ මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් මව වන ඩබ්ලිව්. ජී. ජයන්ති මැණිකේ මහත්මිය පැවසීය.

නාවලපිටිය මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට පැමිණ මෙම මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූවාය.

නාවලපිටිය රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවය නියුතු ඩී. එම්. මද්දුම බණ්ඩාර හා ජයන්ති මැණිකේ යන යුවළගේ දෙවැනි පුතු රෝහල තුළදී මෙසේ මිය යාම පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලය තුළ නොසන්සුන්කාරී තත්ත්වයද මතුවූ අතර මේ සඳහා සාධාරණ පරීක්ෂණයක් ලබා දෙන ලෙසද ඔවුන් පවසා සිටියේය. මේ නිසාම මොවුන් දෙදෙනාම සිද්ධිය පිළිබඳව නාවලපිටිය පොලිසිය වෙත හා රෝහල් අධ්‍යක්ෂ මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා වෙත පැමිණිලි කොට තිබුණි.

මෙම සිද්ධියත් සමග රෝහල තුළ මතුව තිබූ නොසන්සුන්කාරී තත්ත්වය නිසා නාවලපිටිය පොලිස් ස්ථානාධිපති උදය වික්‍රමසේකර මහතා රෝහල වෙත පැමිණ සියලු දෙනාට කරුණු අවබෝධ කරදී පැමිණිලි සටහන් කර ගැනීමට කටයුතු යොදනු ලැබීය.

Tell a Friend