අනඟ රැඟුම් පෑ ‘කුකුළා’ පොලු පහර කා දිවයයි

ඔහු ලංගම රියැදුරෙකි. නම සෝමපාලය. කවුරුත් ඔහු ඇමතුවේ සෝමේ කියා ය. ඔහු විවාහක සිව් දරු පියෙකි. ඒත් ඔහුට නරක පුරුද්දක් තිබුණි. සෝමේගේ නමට තවත් නමක් පටබැඳුනේ ඒ නිසාය. ඩිපෝවේ අය ඔහුව හඳුනාගන්නේ කුකුළා යන නමින් ය.

දිනක් අවේලාවක නිවහනකට ගොඩවුනේ ඒ පුරුද්ද නිසාම ය. ගෙහිමියා රැකියාවට ගොස්ය. කිසිවෙකුත් නිවසෙහි නොසිටින අවස්ථාව හොඳින් දන්නා කුකුළාට මෙතැනදී කිසිදු බියක් - සැකයක් ඇති නොවුණි.

එදින රාජකාරි දිනයකි. ගෙහිමියා රැකියාවට යාමට බස් නැවතුමට ගොස් දෙපැයක් පමණ ගත කළත් බස් රථයක් නොපැමිණි හෙයින් අවේලාවේ රැකියාවට නොගොස් ආපසු ගෙදර එමින් සිටියේය.

ස්වාමිපුරුෂයා නිවසට පැමිණෙන අයුරු දුටු කතගේ ඇස උඩගියා ය. ඔහු පෙනෙන මානයේය. ඇය අප්පුඩි ගසමින් කුකුළාට ෂෝ - ෂෝ - ෂෝ කියන්නට වූවාය.

කිසිත් වටහා නොගත් කුකුළාට යක්ෂාරූඩ වූවේය. අසල තිබූ පොල්ලක් අත පත ගා ගත් කුකුළා කාන්තාවට වැරෙන් පහරක් එල්ල කරත්ම මෙතැනට කඩාවැදුණු ගෙහිමියා එම මුගුරෙන්ම කුකුළාට පහර දුන්නේය. බරපතළ ලෙස පහර කෑ කුකුළා දුවන්නට විය. කුකුළා ලුහුබැඳ දිවගිය ගෙහිමියා තවත් නොදුවා නිවසට ගොඩවූයේය. නමුත් ඔහුට සත්‍ය පුවත නම් නොවැටහුණි. කුකුළාගේ මේ පුරුද්ද නිසා පසු කලෙක ඇෂිඩ් ප්‍රහාරයකට ද හසුව ජීවිතය බේරී ඇත්තේ අනූනවයෙනි.

(මෙය සත්‍ය සිදුවීමක් ඇසුරිනි. මෙහි එන නම් ගම් මන:කල්පිතය)
Tell a Friend