සමන් මල්ලවාරච්චි සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
සිය අනියම් බිරිඳව ගිනි තබා ඝාතනය කළේ යෑයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ එරාවුර් ප්‍රාදේශීය ලේකම්වරයා ඊයේ (19 වැනිදා) ත්‍රිකුණාමලය වැඩ බලන මහෙස්ත්‍රාත් ඒ. සී. ලායිර් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මීට වසර හතරකට පෙර ත්‍රිකුණාමලය හිරුවාල් වීදියේ පිහිටි අනියම් බිරිඳගේ නිවසේදී එම ගිනි තැබීම සිදුවී තිබූ අතර, ඉන් බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කළ ඇය එහිදී මරුමුවට පත් වී ඇත.
එවකට ත්‍රිකුණාමලය සහකාර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ලෙස සේවය කර ඇති සැකකාර ප්‍රාදේශීය ලේකම්වරයා එහි ලිපිකාරිනිය ලෙස සේවය කළ 31 හැවිරිදි එක් දරු මවක වූ කේ. ජයන්තන් නමැත්තිය සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇත. ඒ අතරතුරදී තෙවැන්නකු ඇගේ ජීවිතයට එබී බැලීමක් පිළිබඳ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යැමෙන් සැකකරු තමාට ගිනි තැබූ බව මියගිය කාන්තාව මිය යැමට පෙර පොලිසියට කටඋත්තර ලබාදී තිබිණි. කාලයක් තිස්සේ මෙම සිද්ධියේ පරීක්ෂණ කටයුතු අතහැර දමා තිබිණි.
කෙසේ නමුත් එම ඝාතන සිද්ධිය පිළිබඳ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පරිදි නැවත පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ ත්‍රිකුණාමලය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ. ඒ. නිලන්ත මහතා පෙරේදා (18 වැනිදා) එරාවුර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සැකකාර ප්‍රාදේශීය ලේකම්වරයා අත්අඩංගුවට ගත්තේය.
40 හැවිරිදි තිදරු පියකු වන සැකකාර ප්‍රාදේශීය ලේකම් සපතතුල්ලා හිල්වි නමැති යන අය මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මේ පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ත්‍රිකුණාමලය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චරිත ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
Post a Comment