කාලකණ්ණි දවසක්!!

ලක්ෂාන් වල්පිට

එය සුනාමි සහන ගම්මානයකි.ලැබී තිබූ ලිපිනය සොයා ගනීමට අපට සැහෙන අපහසු විය.අවසානයේ අදාල නිවස සොයා ගන්නා විට කාරණය ගම්මානයෙන් සෑහෙන ප්‍රමාණයකට වැටහෙන්නට ඇත.උණ බට පතුරු යොදා සකස් කරන ලද කුඩා ගේට්ටුවකින් අපි නිවසට ඇතුලු වූයෙමු. අවුරුද්දක පමණ වයසැති කුඩා ගැහැණු දරුවකු හෙලුවැල්ලෙන් ඉස්තෝප්පුව මත හිස් සූප්පුවක් උරමින් සිටියි.සූප්පුවේ කෙලවරෙහි සිදුරකින් නූලක් දමා එය බෙල්ල වටෙහි ගැට ගසා තිබුණි.

අපේ කණ්ඩායමේ පස් දෙනෙකි.කෙනෙක් රියදුරාය. ප්‍රධානියා විදුලි අධිකාරිවරයාය.අනෙකා කාර්මික ශිල්පියා නවුෆර් ය.ඔහු මුස්ලිම් ජාතිකයෙකි.මමත් මගේ මිත්‍රයාත් රාජකාරියට පිටස්තරයෝය.රාජකාරිය අපට කිසිසේත් අදාල නොවුනි.කම්මැලි කමත් වෑන් රථයේ ඉඩ තිබුණු නිසාත් ඔවුන් සමග එක් වුනෙමු.

නවුෆර් ගේ කෑ ගැසීමෙන් ගෙතුලින් කාන්තාවක් මතුවිය.ඇය දරුවාගේ මව විය යුතුය.වයස හතලිහක් පමණ වෙන්නට ඇත.ඈ ඇද සිටියේ කඩමලු වූ රාත්‍රී ඇදුමකි.ඒ නිසාදෝ අපව දුටු විටම ඈ සෑහෙන අපහසුතාවයකට පත් වූ බව මා හට හැගුනි.

"කරන්ට් බිල ගෙවුවද?" විදුලි අධිකාරි වරයා ඇසුවේය.

ඈ කලබල නොවූවාය. සියල්ල ඇයට වැටහී තිබුණි.ඇගේ මුහුණේ වූයේ අසරණ වූ හැගීමකින් යුක්ත වූ සිහින් සිනහවකි.එක්වරම ඈ ආපසු ගෙතුලට ගියාය. මාස නවයකින් බිල ගෙවා නොතිබුනි.එහෙත් මුදල වූයේ රුපියල් දෙදහසකට ආසන්න අගයකි.

ඇය මීලගට මතු වූයේ රෝගියකු සහිත අබලන් වූ රෝද පුටුවක් තල්ලු කරගෙනය.ඒ ඇගේ ස්වාමි පුර්ෂයා විය යුතුය.ඔහු අංශභාග රෝගියකු සේ විය. මෙවර ඇගේ සිහින් සිනහව වෙනුවට දෑසේ කදුළු පිරී තිබුණි.

"මහත්තයා මෙයත් වැඩ කලේ විදුලි බල මණ්ඩලයේ, ගාල්ලෙ. රෙපෙයාර් එකක් කරන්න ගිහින් කරන්ට් වැදිලා පැත්තක් පණ නැති උනා.මණ්ඩලෙන් කිසිම වන්දියක් ලැබුනෙ නැහැ. කරන්ට් එක තියාගෙන වැඩ කරන්න එපා කියලලු එයලා කියන්නෙ.ඒ දවස් වල අපි හිටියේ සුනාමි කෑම්ප් එකක. ලොකු ලමයි දෙන්නවම සුනාමියට ගියා.පස්සෙ මෙහෙ ගෙවල් දුන්නට පස්සෙ කෑවෙ බිව්වෙත් සෑහෙන අමාරුවෙන් මහත්තයො."

ඒ වන විට රෝගියාගේ හිස උරහිස මතට කඩා වැටී පපුව දිගේ සෙම බේරෙමින් තිබුනි.

"එයාට හොදට සිහිය තියනවා.ඒත් කතා කරන්න බැහැ."

මේ වන විට අසල් වාසීන් විස්සක් පමණ නිවස අසලටම විත් මේ සිද්දිය දෙස බලා සිටියි. තත්වය කෙසේ වුවද තව මොහොතකින් ඔවුන්ට විදුලිය අහිමි වන බව මා හොදින්ම දනියි.විදුලි අධිකාරිවරයාද අපහසුතාවයකට පත් වූ බව පෙනුනි.නමුත් ඔහුට තම රාජකාරිය කිරීමට සිදුවෙයි.ඔහු තමන් සිටිනා තත්වය ඈ ට පැහැදිලි කර දෙන විට ඈ උදාසීනව ඔහේ බලා සිටියාය.දෑසේ තිබුනේ අසරණ කමත් බැගෑපත් කමත්ය.

නවුෆර් ඔහුගේ කාර්යය ආරම්භ කලේය.ඔහු මීටරයට ලංවී එහි ආරක්ෂක පෙට්ටිය ඉවත් කරනවාත් සමගම එහි තිබූ කනෙයියා වදයක මැස්සන් සී සී කඩ පියාඹන්නට විය.මාත් ,මිත්‍රයාත් , අධිකරිවරයාත් නැවතුනේ වෑන් රිය තුලය.නවුෆර්ට නම් එය හුරු පුරුදු දෙයක් විය. ඔහු දිගටම තම කාර්යයෙහි නිරත වුනි.එක් වරම කදුළු පිරි දෙනෙතින්,හැඩුම් සිරකරගනිමින් සිටි ඒ කාන්තාව මිදුලෙහි වූ ක්‍රෝටන් ගසකින් අත්තක් කඩාගෙන නවුෆර් ට බාධා කරන කනෙයියා මැස්සන් පලවා හරින්නට විය.නවුෆර් විදුලිය විසන්ධි කර තම කාර්යය අවසන් කරන තුරුම ඈ මැස්සන් පලවා හරින්නට විය. ඈ කෙතරම් නම් ශ්‍රෙෂ්ඨ කාන්තාවක් ද?

*******

කුඩා දියණිය තවමත් සූප්පුව උරමින් සිටී. ඈ හුලං වලින් බඩ පුරවාගෙන නොඅඩා සිටියි.ඇය අද රාත්‍රියේ කළුවරට බියවී නොහඩනු ඇත. ඇඩුවත්, ඇගේ මව විසින් ඇයව කළු ගගට නොදමනවා ඇත. Tell a Friend