කෑල්ලක් 200යි........!


ඉදුනිල් කංකානම්ගේ

මධ්‍යම පළා‍තේ පවතින උග්‍ර ගුරු හිගය හේතුවෙන් එම ගුරු පුරපාඩු සදහා කෑලි ක්‍රමය අනුව, දීමනා ගෙවීමේ පදනමින්, නවක ගුරුවර ගුරුවරියන් බදවා ගැනීමට මධ්‍යම පළාත් සභාව තීරණය කර ඇත.

මේ අනුව එක් කාල පරිඡේදයක් සදහා උපරිම වශයෙන් රුපියල් 200ක මුදලක් ගෙවිය හැකි යයිද, පාසලට ලැබෙන ගුණාත්මක යෙදවුම් මුදල් වලින් මෙම ගුරුවරුන්ට මුදල් ගෙවිම් කළයුතු යයිද, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.එම්. විජයසිරි හේරත් මහතා විසින්, සියලුම මධ්‍යම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට හා විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.

පාසලේ පවතින ගුරු පුරප්පාඩු මත ගුරුවරුන් බදවා ගත යුතු අතර සුදුස්සන් තෝරා ගැනීමේ වගකීම විදුහල්පතිවරයාට පැවරේ. විදුහල්පතිවරයා විසින් එම බදවා ගන්නා ලද ගුරුවරයාගේ සේවය අනවශ්‍යයයි තක්සේරු කළ විටක එම ගුරුවරුන් ඉවත් කිරීමේ බලය ද විදුහල්පතිවරයා සතුවේ. විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි, සෞන්දර්ය විෂයයන් සදහා ගුරුවරුන් බදවා ගන්නා බවත්, මධ්‍යම පළාත් සභාව මෙලෙස කෑලි ක්‍රමයට ගුරුවරුන් බදවා ගැණීමට තීරණය කර ඇත්තේ සිසුන්ගේ විභාග කාර්ය සාධනය ඉහල දැමීමේ අරමුණින් පාසල් වල ගුරු පුරපුපාඩු පිරවීම සදහා බවත් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පැවසීය.

අදාල විෂය ඉගැන්වීමේ වෘත්තීය සුදුසුකම් සහිත විශ්‍රාමික ගුරුවරුන්, අ.පො.ස. උසස් පෙළ සමතුන්, උපාධිධාරීන් මෙලෙස ගුරු පුරපුපාඩු පවතින පාසල් සදහා බදවා ගැනේ.

පවතින උග්‍ර ගුරු හිගය සදහා කඩිනම් වැඩපිළිවලක් තිබිය යුතු අතර එය විධිමත් ක්‍රියා පටිපාටියකට අනුව විනිවිදභාවයක් සහිතව සිදු කළ යුතු වේ. විදුහල්පතිවරුන් හරහා මෙලෙස ගුරුවරුන් බදවා ගැනීමේදී, දූෂණ හා අක්‍රමිකතා සිදුවීම නොවැලැක්විය හැකිය. බොහෝ විට දේශපාලන උවමනාවන් හා හිතවත්කම් මත මෙම බදවා ගැනීම් සිදු වේ. මෙසේ බදවා ගන්නා අයවලුන්ගේ සේවය ටික කලෙකදී හොර රහසේම ස්ථීර කිරීමද නොවැලැක්විය හැකිය.

මෙලෙස ගුරුවරුන් බදවා ගැනීමේ ක්‍රියා පටිපාටියට පරිබාහිරව බදවා ගන්නා ගුරුවරුන්ගෙන්, ගුණාත්මක ඉගැන්වීමක් බලාපොරොත්තු විය නොහැකි අතර දරුවන්ගේ අධ්‍යාපනයට එමගින් සිදුවන හානියද තක්සේරු කළ නොහැක. විදුහල්පතිවරයාට හිතුන විටෙක මෙම බදවා ගන්නා‍ ගුරුවරුන් ඉවත් කළ හැකි බැවින් දරුවා සහ ගුරුවරයා අතර ඇතිවිය යුතු අඛන්ඩ සම්බන්ධයේ බිදවැටීමක් ඇතිවේ. දරුවාගේ මානසික සංවර්ධනයට එය විශාල වශයෙන් බලපායි. එමෙන්ම විශ්‍රාම ලත් ගුරුවරුන් සේවයට යොදවා ගැණිම තුළ ද විවිධ ගැටළු පැන නැගේ. මෙමගින් සිදුවන්නේ දරුවන් කබලෙන් ලිපට වැටීමය.

එබැවින් කළ යුතු වන්නේ, පවතින පුරප්පාඩු සදහා ජාතික මට්ටමින්, ගුරුවරුන් බදවා ගැනීමේ විධිමත් ක්‍රියා පටිපාටියට අනුව සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුකම් ලත් අයවලුන්ගෙන් ගුරු පුරප්පාඩු පිරවීම මිස, මෙලෙස අන්තනෝමතිකව, නිලධාරීන්ට හා දේශපාලනඥයින්ට අවශ්‍ය පරිදි ඔවුගේ හිතවාදීන්ට රස්සා ලබා දීම නොවේ.

බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කෙතරම් පාරම් බෑවද, අධ්‍යාපනයේ පවතින අර්බුදය හමුවේ විධිමත් වැඩපිළිවෙලක් රජයට නොමැති බව මෙයින් ද පැහැදිළි වේ. පය බරවා වලට පිටකර බෙහෙත් බැදීමේ රජයේ න්‍යාය මගින් තවදුරටත් සිදුවන්නේ, අධ්‍යාපනයේ පවතින අර්බුදය තව තවත් උග්‍ර වීම විනා විසදුමක් නොවේ. Tell a Friend