‘‘කොරෝනා ආසාදිතයින් ඝාතනය කරන්නේ නෑ‘‘ - චීන තානාපති කාර්යාලය


මෙරට සමාජ ජාල මාධ්‍යයන්හි හුවමාරු වූ කොරෝනා වෛරස් ආසාදනය වූ රෝගීන් චීනයේ ඝාතනය කරන බව දැක්වෙන වීඩියෝව අසත්‍යයක් බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය අද (13) දිනයේදී විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. 

චීනය පුරා ව්‍යාප්ත වී සිටින 11,000 කට අධික වෛද්‍ය නිළධාරීන් පිරිසකගේ සහයෝගයෙන් යුතුව කොරෝනා වෛරසය ශරීරගතවී සිටින රෝගීන් බේරාගැනීමේ කටයුතු සිදුකෙරෙන බවත් හුබෙයි පළාතේ පිහිටි විශේෂ රෝහලේ දී මොවුන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු සාර්ථකව සිදුකෙරෙන බවත් අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.