පුරාවිද්‍යාත්මක අර්ථකථන වෙනස්‌ කරන මී ගවයෝ

ධනේෂ් විසුම්පෙරුම

පුරාවිද්‍යාත්මක කැණීමකින් හමු වන විවිධ පුරාවස්‌තු හා මානවකෘති ඒ පිළිබඳව කරනු ලබන අර්ථදැක්‌වීම් සඳහා ඉතා වැදගත් වේ. නිවැරැදි විග්‍රහයක්‌ සිදු කිරීම සඳහා අදාළ පුරාවිද්‍යාත්මක සන්දර්භවලින් හමු වන මානවකෘති නිරවුල්ව තිබීම වැදගත් වේ. විශේෂයෙන් පුරාවිද්‍යාත්මක කැණීම්වල දී ස්‌තරායණය වැදගත් වේ. එක්‌ ස්‌තරයකට පහළින් පිහිටි ස්‌තර මුල් ස්‌තරයට වඩා කලින් තැන්පත් වූ ස්‌තරයක්‌ සේ සැලකේ. ඒ අනුව ඒ ඒ ස්‌තරවල දැකිය හැකි මානවකෘති පිළිබඳ දළ කාල නිර්ණයක්‌ ද කළ හැකි ය. මේ නිසා කැණීම්වල දී හමු වන මානවකෘති ඒවා මුලින් ම තැන්පත් වූ ස්‌තරවල තිබීම කාල නිර්ණය කිරීමට පමණක්‌ නො ව අදාළ සන්දර්භය පිළිබඳව සිදු කරනු ලබන අර්ථදැක්‌වීම් සඳහා ද වැදගත් වේ.

එහෙත් කිසියම් පුරාවිද්‍යාත්මක භූමියක්‌ හෝ ක්‌ෂේත්‍රයක්‌ හෝ තුළ තැන්පත් වන විවිධ වූ මානවකෘති පසුකාලීනව ඇති වන ස්‌වාභාවික හෝ මානව හෝ ක්‍රියාකාරකම්වලට ලක්‌ විය හැකි ය. "පශ්චාත්-නික්‌ෂේපීය බලපෑම්" (post depositional effects) ලෙස පුරාවිද්‍යාත්මකව හඳුන්වනු ලබන මේ ක්‍රියාකාරකම් හේතුවෙන් මානවකෘතිවලට සැලකිය යුතු බලපෑමක්‌ ඇති විය හැකි ය. විශේෂයෙන් විවෘත භූමිවල මතුපිට දැකිය හැකි සන්දර්භවල ඇති වන එවැනි බලපෑම් නිසා මානව කෘති විස්‌ථාපනය වීම (displacement) හෝ විතැන් වීම (shift) හෝ විනාශ වීම හෝ සිදු විය හැකි ය.

ස්‌වාභාවිකව හෝ මානව ක්‍රියාවලී මගින් මෙවැනි බලපෑමක්‌ ඇති විය හැකි ය. ස්‌වාභාවික ක්‍රියාවලි අතර පාංශූ ඛාදනය හා වැසි ජල ප්‍රවාහ වැනි නිරන්තරව ඇති වන ක්‍රියාවලී හා ස්‌වාභාවික ව්‍යසන ලෙස සැලකිය හැකි ගංවතුර හා නාය යැම් ආදිය ද වේ. බෑවුම් සහිත භූමිවල හමු වන ශිලා මෙවලම් වැනි මානවකෘති පාංශුඛාදනය හා ජල ප්‍රවාහ නිසා මේ අයුරින් පහළින් පිහිටි ප්‍රදේශවලට විස්‌ථාපනය විය හැකි ය. මෙහි දී ප්‍රමාණයෙන් කුඩා මානවකෘති විස්‌ථාපනය වීමට වැඩි අවස්‌ථාවක්‌ ඇත. එසේ ම වෙරළබඩ ප්‍රදේශවල ඇති පුරාස්‌ථානවල දැකිය හැකි පුරාවස්‌තු රළ පහර නිසා විශාල ලෙසින් විස්‌ථාපනය වේ.

විවිධ සතුන් ගේ ක්‍රියාකාරකම් මගින් ද පුරාවිද්‍යාත්මක සාධකවලට මෙවැනි බලපෑමක්‌ සිදු වේ. නිදසුනක්‌ ලෙස ගත හොත් පොළොවේ ගුල් හාරන සතුන් මඟින් කුඩා ප්‍රමාණයේ පුරාවස්‌තු පොළොව අභ්‍යන්තරයට විස්‌ථාපනය විය හැකි ය. එසේ ම පොළොව තුළ දැකිය හැකි මානවකෘති පොළොව මතුපිටට පැමිණීමට ද අවස්‌ථාව තිබේ. එසේ ම බරින් වැඩි සතුන් ගේ පෑගීමට ලක්‌ වීම නිසා ද මානවකෘති විතැන් වීම හා බිඳී යැම සිදු වේ.

පසුකාලීනව ඇති වන විවිධ මානව ක්‍රියාකාරකම් ද පුරාස්‌ථානවලට සැලකිය යුතු බලපෑමක්‌ කරයි. විවෘත භූමිවල වගා කිරීමේ දී ඇති විය හැකි බලපෑම් මීට එක්‌ නිදසුනකි. සීසෑම වැනි ක්‍රියාකාරකම් නිසා එවැනි භූමියක හමු වන මානවකෘති විස්‌ථාපනය සිදු වේ. අපේ රටේ බොහෝ ගල් ලෙන් ආශ්‍රිතව දැකිය හැකි මානව ක්‍රියාකාරකම් මීට නිදසුනකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ දී මානවයන් විසූ ලෙන් ආශ්‍රිතව පසුකාලීන ව විහාරාරාම ඇති විය. එසේ ම පසුකාලීනව ලෙන් තුළ තැන්පත් වූ සත්ත්ව අපද්‍රව්‍ය ලබාගැනීම සඳහා සිදු කළ කටයුතු නිසා ද ඇතැම් ලෙන්වල දැකිය හැකි ස්‌තරායණය අවුල් සහගත වී ඇත.

මානවකෘති විතැන් වීමේ බලපෑම්

මානවකෘති තැන්පත් වීමෙන් අනතුරුව පසුව ඇති වන ක්‍රියාවලි නිසා පුරාවිද්‍යාත්මක දත්ත විකෘති ස්‌වභාවයකට පත් වීම මෙන්ම ව්‍යාජ සන්දර්භ ඇති වීම ද විය හැකි බව පර්යේෂණවලින් පෙන්වා දී තිබේ. මේ වෙනස්‌කම් අතර පුරාවිද්‍යාත්මක දත්තවල අවකාශීය රටා වෙනස්‌ වීම හෝ නැති වීම මෙන්ම කෘත්‍රිම දත්ත ඇති වීම පවා සිදු වේ. තව ද විවිධ බලපෑම් මගින් සිදු වන පුරාවස්‌තු විතැන් වීමේ බලපෑම් විවිධ ය. නිදසුනක්‌ ලෙස ගත හොත් සීසෑම නිසා ඇති වන පුරාවස්‌තු විතැන් වීමේ බලපෑම් සැලකිය යුතු තරම් නො වන බව අධ්‍යයනවලින් පෙන්වා දී ඇත. එහෙත් ඇතැම් විට ඇති විය හැකි වෙනස්‌වීම් සැලකිය යුතු බලපෑමක්‌ සිදු කළ හැකි ය. මානවකෘති අයත් වන ස්‌තර වෙනස්‌ වීම නිසා කාලවකවානු වෙනස්‌ වීමෙන් සැලකිය යුතු බලපෑමක්‌ විය හැකි ය.

මේ කරුණ පුරාවිද්‍යාත්මක අධ්‍යයනවල දී මුහුණ පෑමට සිදු වන එක්‌තරා ගැටලූවකි. එය පුරාවස්‌තුවලින් ලබා දෙනු ලබන අර්ථකථනවල වැරැදීම සඳහා ද හේතු වේ. එවැනි බලපෑම් මගින් ඇති විය හැකි වැරැදි අර්ථදැක්‌වීම්

නිවැරැදි කිරීම සඳහා උත්සාහ දැරීම සිදු වේ. මෙවැනි අවස්‌ථාවක දී ඒ ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය කිරීමෙන් ඇති විය හැකි බලපෑම් පිළිබඳව පැවසිය හැකි ය. මේ මෑත දී සිදු කරන ලද එවැනි අධ්‍යයනයක ප්‍රතිඵලයකි.

මී ගවයන් හා එළුවන් ගෙන් ඇති වන බලපෑම්


ගවයන්, මී ගවයන් හා එළුවන් වැනි සතුන් ගේ කුරවලට යට වීම මේ ආකාරයෙන් පුරාවස්‌තු හා මානවකෘතිවලට බලපෑම් ඇති කළ හැකි එක්‌ සාධකයකි. මේ මඟින් ඇති විය හැකි බලපෑම් ප්‍රධාන වශයෙන් කොටස්‌ තුනකි. ඒවා නම් පුරාවස්‌තු තිරස්‌ අතට විස්‌ථාපනය වීම, සිරස්‌ අතට විස්‌ථාපනය හා පුරාවස්‌තුවලට හානි සිදු වීම යනුවෙනි. මේ මගින් පුරාවිද්‍යාත්මක දත්තවලට ඇති විය හැකි බලපෑම සැලකිය යුතු දැයි පරීක්‌ෂා කිරිම සඳහා සැලකිය යුතු අධ්‍යයන ප්‍රමාණයක්‌ මේ දක්‌වා සිදු කර ඇත.

කෙසේ වෙතත් පසුගිය දා අපට පරිශීලනයට ලැබුණු ඉදිරියේ දී Journal of Archaeological Science සඟරාවේ මුද්‍රණය වීමට නියමිත අධ්‍යයන වාර්තාවකට අනුව මී ගවයන් වැනි සතුන් ගේ පෑගීමට ලක්‌ වන පුරාවස්‌තුවල ඇති විය හැකි සිරස්‌ විස්‌ථාපනය සැලකිය යුතු බලපෑමක්‌ ඇති කළ හැකි ය. විශේෂයෙන් ජලයෙන් සංතෘප්ත තත්ත්ව හමුවේ දී මේ ආකාරයෙන් ඇති විය හැකි විස්‌ථාපනය මඟින් පුරාවිද්‍යාත්මක දත්ත අවුල් සහගත වීමේ හැකියාවක්‌ පවතී.

මේ අධ්‍යයනයට පසුබිම සැකසෙන්නේ දකුණු ඉන්දියාවේ ජුරේරු ගංගා නිම්නයේ අධ්‍යයනයක නියෑළී සිටි කණ්‌ඩායමක්‌ මී ගවයන් හා එළුවන් වැනි සතුන් ගේ කුරවලට හෑරී සකස්‌ වී තිබූ වළවල් නිරීක්‌ෂණය කිරීමෙනි. ඔවුන් දුටුවේ පෙර සෘතුවේ මෝසම් වැසි සමයේ දී පසේ එබි ගොස්‌ පසුව වියෑළී ගිය කුර සටහන් හා නව කුර සටහන්වලින් සැදුණු වළවල් ය. බැලු බැල්මට ඒ වළවල් තරමක්‌ ගැඹුරින් යුක්‌ත විය. එම භූමියේ මතුපිට දැකිය හැකි ශිලා මෙවලම් මේ නිසා විස්‌ථාපනය වීමට හෝ හානි වීමට හෝ ඉඩ තිබීම ඔවුන් ගේ සැලකිල්ලට බඳුන් විය. එය අතීතයේ පටන් වරින් වර සිදු වන්නට ඇති බව ඔවුන් ගේ සැකය විය. මෙවැනි එළිමහන් පුරාවිද්‍යා බිම්වල ඇති විය හැකි මානවකෘති ප්‍රති-සැකසීම සිදු විය හැකි ආකාර තුනක්‌ පිළිබඳව ද ඔවුන් ගේ අවධානය යොමු විය. එනම් තනි පුරාවිද්‍යා සන්දර්භයක්‌ දෙකකට වෙන් වීම, සන්දර්භ දෙකක්‌ එකට එක්‌ වීම හා භූමිය මතුපිට ඇති පුරාවස්‌තු වැළලීම මඟින් ව්‍යාජ තැන්පතු නිර්මාණය විය හැකි වීම යන සිදුවීම් ය.

මේ අනුමානය පරීක්‌ෂා කිරීම සඳහා කිසියම් පරීක්‌ෂාවක්‌ සිදු කිරීම ඔවුන් ගේ අපේක්‌ෂාව විය. මේ පරීක්‌ෂණය මෙවැනි වෙනත් පරීක්‌ෂණවලින් වෙනස්‌ වීමට හේතු වන කරුණක්‌ වන්නේ මෙහි දී වියළි තත්ත්ව යටතේ මෙන්ම ජලයෙන් සංතෘප්ත වූ භූමියේ ද ඇති විය හැකි බලපෑම් ගැන ඔවුන් අවධානය යොමු කිරීම ය. ඒ අනුව මානවකෘති හා සමාන ආකෘති භාවිත කරමින් එවැනි බිමක්‌ හරහා මී ගවයන් හා එළුවන් ගමන් කරවීමෙන් පසු පෑගීමට ලක්‌ වීමට සැලැස්‌වීමෙන් පසු ඇති වන විස්‌ථාපනය පරීක්‌ෂා කිරීම මෙහි දී සිදු කරන ලදි.

මෙහි දී අනාවරණය වූ පරිදි ඒ සතුන් ගේ පෑගීමට ලක්‌ වීම නිසා මානවකෘති තිරස්‌ ආකාරයට මෙන්ම සිරස්‌ ආකාරයට ද විස්‌ථාපනය වූ අතර ඇතැම් විට හානියට ලක්‌ වීම ද සිදු විය. එහි දී මෙතෙක්‌ අනාවරණය නො වූ හා අවධානයට ලක්‌ නොවූ කරුණක්‌ ද දැකිය හැකි විය. ඔවුන් නිරීක්‌ෂණය කළ පරිදි වියළි තත්ත්ව යටතේ සතුන්ට පෑගීම නිසා මානවකෘතිවල ඇති වන විස්‌ථාපනය මින් පෙර සිදු කර ඇති අධ්‍යයන හා සමාන වේ. එහෙත් ජලයෙන් සංතෘප්ත වූ තත්ත්ව යටතේ සිරස්‌ ආකාරයෙන් සිදු වන විස්‌ථාපනය කලින් වාර්තා කර තිබූ ප්‍රමාණයට විශාල අගයක්‌ ගනී. මීගවයන්ට පෑගීම නිසා සිරස්‌ අතට සිදු වූ විස්‌ථාපනයේ උපරිම අගය සෙන්ටිමීටර් 21ක්‌ පමණ වූ අතර එළුවන්ට පෑගීම නිසා ඇති වූ විස්‌ථාපනයේ උපරිමය සෙ.මී. 16ක්‌ පමණ විය. එනම් මානවකෘති සැලකිය යුතු තරම් ගැඹුරකට ගමන් කර තිබේ. මෙය වැදගත් අනාවරණයකි. මේ ප්‍රමාණය පුරාවිද්‍යාත්මක දත්ත විග්‍රහ කිරීමේ දී යම් බලපෑමක්‌ කළ හැකි තරම් ය. මී ගවයන්ට පෑගී සෙන්ටිමීටර 21ක්‌ ගැඹුරට විස්‌ථාපනය වූ මානවකෘතියක්‌ කැණීමක දී හමු වුව හොත් එය අයත් ස්‌තරයේ කාලය හා නව ස්‌තරයේ කාලය අතර වෙනස වසර දහස්‌ ගණනක්‌ විය හැකි ය. ඒ අනුව සිදු කරනු ලබන විග්‍රහයක්‌ වැරැදීමට අවස්‌ථාවක්‌ ඇත.

මේ තත්ත්වය අලූත් සොයාගැනීමකි. ජලයෙන් සංතෘප්ත වූ පොළොවේ මානවකෘති සිරස්‌ අතට විස්‌ථාපනය වීම පුරාවිද්‍යාත්මක දත්ත වෙනස්‌ වීම සඳහා දැඩි බලපෑමක්‌ ඇති කළ හැකි ආකාරයේ තත්ත්වයකි. ඒ නිසා සමාන පරිසර පද්ධතිවල පෙර සිදු කරන ලද ඇතැම් අධ්‍යයනවලින් හෙළි වූ කරුණු නැවත සලකා බැලිය යුතු බව මේ අධ්‍යයනයෙන් නිගමනය කර ඇත. විශේෂයෙන් ජල ප්‍රභව ආසන්නයේ පිහිටා ඇති ප්‍රාග් ඓතිහාසික ජනාවාසවල හා මෝසම් වැසි වැනි දැඩි බලපෑමක්‌ සහිත තත්ත්වවල දී ඇති විය හැකි භූමිවල ජලයෙන් සංතෘප්ත වූ තත්ත්ව යටතේ ඇති විය හැකි විතැන් වීම් සැලකිය යුතු තරම් ඉහළ ය. මේ තත්ත්වය අතීතයේ ඇති වී තිබූවක්‌ නිසා මේ ගැන දැන් කිසිත් කළ නොහැකි වුවත්, ඒ නිසා ඇති විය හැකි බලපෑම සැලකිල්ලට ගත යුතු ව තිබේ. මානව කෘති ඒවා නිර්මාණය වූ සන්දර්භය තුළ ම පවතින්නේ ද නැත හොත් යම් විතැන් වීමෙන් අවුල් වීමක්‌ සිදු වී තිබේ ද යන්න පරීක්‌ෂා කළ යුතු අතර අදාළ දත්ත මගින් සිදු කරන ලද අර්ථදැක්‌වීමට හා විග්‍රහ කිරීමට ඉන් බලපෑමක්‌ වී ඇති ද යන්න ද විමසා බැලිය යුතු කරුණකි.

Tell a Friend