කතුවැකිය: ආණ්ඩුවේ බුරුම ක්‍රමය හෙළාදකිමු!

කතුවැකිය | 
2010, ඔක්තෝම්බර් 04 වැනි සඳුදා


ජනරාල් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් අලවා තිබු පෝස්ටර් වහාම ඉවත් කිරීමටත් මින් පසුව කිසිම ආකාරයක ආණ්ඩු විරෝධී ප්‍රචාරක කටයුත්තක් කරන්නේනම් අත්අඩංගුවට ගැනීමට රජය තීරණය කොට ඇත. එනම් සියලුම ආකාරයේ ආණ්ඩු විරෝධී ප්‍රචාරක කටයුතු දේශීය වශයෙන් තහනම් කොට ඇත. එසේ කළහොත් එය මහජනයා ප්‍රකෝප කළේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගත හැකිය. මෙය රටක මුලික අයිතීන් කප්පාදු කිරීමක් වන හෙයින් පිළිකුලෙන් යුතුව හෙළ දකින්නෙමු.

අදාල කරණය දෙස බැලීමේදී, එනම් මහජනයා ප්‍රකෝප වන ආකාරයෙන් කටයුතු කිරීම ගැන විපක්ෂය සේම ආණ්ඩුවද ඉතා ඍජුව වග කිව යුතු වේ. විශේෂයෙන් ආණ්ඩුව ගෙන යමින් තිබෙන නට්සි ආකාරයේ ප්‍රචාරක ක්‍රමවේදය මහජනයා ප්‍රකෝප කිරීමට හේතු වී ඇත. වරක් ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ සරත් ෆොන්සේකා එල්ලා මැරිය යුතු යැයි ප්‍රසිද්දියේ කියා සිටියේය. සැබවින්ම රාජ්‍ය පරිපාලන නීති සංග්‍රහයට අනුව අමාත්‍යංශ ලේකම් වරයෙකුට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අණ දිය නොහැකි වන්නා සේම දේශපාලනයේ දීම සම්පුර්ණයෙන් තහනම්ය. නමුත් ලංකාවේ ආරක්ෂක ලේකම් වරයා, රටේ ජනාධිපතිගේ සොහොයුරෙකු වන හෙයින් ඕනෑම මළ දානයක් කීමට සහ කිරීමට හැකිය.

එසේම මර්වින් සිල්වා, විමල් වීරවංස වැනි ආණ්ඩුවේ ඇමතිවරුන් මහජනයා ප්‍රකොපවන ආකාරයෙන් කටයුතු කළ අවස්ථා රාශියක් තිබේ. එනිසා සිදු වූ හානියද අතිශය විශාලය. ඒ කිසිවකට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හෝ අඩු තරමින් ලංකාවේ සියල්ලටම වඩා ඉහලින් සිටින ජනාධිපතිවරයා වචනයකින්දු ඊට විරුද්ධව කතා කොට නැත. මෙවැනිම වූ වටපිටාවක් ඇත්තේ බුරුමයේය. බුරුමයේ ඒකාධිපති තන් ස්වේ පරිපාලනය අනුගමනය කරමින් සිටින්නේද මෙවැනිම මර්ධනයකි. ඔහුද තමන්ගේ විරුද්ධ පාක්ෂිකයින් මට්ටු කරමින් සිටින්නේ, වර්තම්නයේදී මහින්ද රාජපක්ෂ කටයුතු කරමින් සිටින ආකාරයෙනි.

පවතින තරජනාත්මක වටපිටාව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය වෙනුවෙන් බරපතළ සැක සංකා මතු කරයි. මේ ආකාරයෙන් තමන්ගේ කුණු වසා ගැනීම් සඳහා පොලිස් බලය යොදා ගැනීම නින්දා සහගත වන්නා සේම, එය පොලිස් දෙපාර්තමේන්තුවේ ආත්මගරුත්වය පිළිබඳව ගැටලුවකි. විශේෂයෙන්, විමල් වීරවංස , මුළු රටම ජාත්‍යන්තර ප්‍රජාව තුළ කැත කරමින් කළ උපවාසය මැඩපැවැත්වීම සඳහා එම ස්ථානයට පැමිණි වැදගත් පොලිස් නිලධාරීන්ට, ආරක්ෂක ලේකම් වරයා වහලුන්ට මෙන් බැන වැදී එතනින් එලවා ගත් ආකාරය අපි මෙහිදී ඉතා සංවේගයෙන් සිහිපත් කිරීමට කැමැත්තෙමු. ලංකවේ පවතින්නේ හුදු නිදහස පිලිබඳ ප්‍රශනයක් නොවේ. එනම් ඊටත් එහා ගිය තමන්ගේ එදා කෑම වේල පිළිබඳව වූ ගැටලුවකි. මෙහිදී තමන් පිළිබඳව අතමගරුත්වයක් ඇති පොලිස් නිලධාරීන්ටද සිදුවන දේ එහෙයි කියා පිළිගැනීමට සිදු වී තිබේ.
Tell a Friend