බලයෙන් අතුරුදහන් කරවීම් හා ව්‍යවස්ථාමය ප්‍රශ්ණය


" ව්‍යවස්ථාව තුළ ඇති ම්ලේච්චත්වය සමාජය තුළ ඇතිකල ම්ලේච්චත්වයේ කැපී පෙනෙන සංකේතය ලංකාව තුළ ඇති වූ බලයෙන් අතුරුදහන් කරවීම්ය. මෙය සිදුවූ ආකාරය ගැඹුරින් සලකා බැලිය යුතුව ඇත. වත්මන් ලංකාවේ පාලකයන් අතර සිටි ම්ලේච්චතම නායකයා ජේ. ආර්. ජයවර්ධන යනුවෙන් හැඳින්වීම මුළුමනින්ම සාධාරණය. එහෙත් ලාංකිකයා තුළ ජේ. ආර් ජයවර්ධන පිළිබඳව ඇත්තේ ම්ලේච්චයකු පිළිබඳව ප්‍රතිරූපයක් නොව හොඳින් ඉංග්‍රීසි කථාකොට නම්බුකාර ආකාරයෙන් හැසිරුනු දේශපාලනඥයෙකු පිළිබඳව ප්‍රතිරූපයකි. මෙම ප්‍රතිරූපය පිටුපස සිටි සැබෑ මිනිසා දෙස බැලිය හැක්කේ ඔහුගේ දේශපාලන ක්‍රියාකලාපය තුළිනි. ඔහුගේ දේශපාලන ක්‍රියාකලාපයේ පදනම වූයේ ඔහු විසින්ම ප්‍රකාශයට පත්කරගත් ව්‍යවස්ථාවයි. "


බැසිල් ප්‍රනාන්දු විසිනි


ලංකාව ලෝකයේ වැඩිම ප්‍රමාණයේ බලයෙන් අතුරුදහන් කරවීම් පිළිබඳව වාර්තාවක් ඇති රටක් සේ සැලකේ. මෙම බලයෙන් අතුරුදහන් කරවීම් ලංකාවේ පැවති දේශපාලන වෙනස්කම්වල ප්‍රතිපලයක් සේ ඇතිවී තිඛෙන බව පැහැදිලිව පෙනේ. මෙම අතුරුදහන් වීම් වලට ගොදුරුවු අයගේ පවුල් හා කිට්ටු ඥාතීන් මෙම ප්‍රශ්නය දෙස බලන්නේ ඔවුන්ට සිදුවූ විශාල අසාධාරණයක් හා බරපතල පාඩුවක් වශයෙනි. මෙය මෙසේ බැලීම ස්වභාවිකය. ඔවුහු මෙම අසාධාරණයට විරුද්ධව යුක්තිය ඉල්ලා සිටි නමුත් එවැනි කිසිදු යුක්තියක් ඉටු නොවූ බවද කිසිදු අතීශයෝක්තියකින් තොරව ප්‍රකාශ කල හැකිය. මෙයට හේතුව ඔවුන්ට සිදුවූ අසාධාරණය කිසියම් විශාල දේශපාලන වෙනස්කම් නිසා සිදුවී තිබීමත් එම දේශපාලන වෙනස්කම් වලින් සාධනීය ප්‍රතිපල ලබා ඇති අය මෙම අතුරුදහන් වීම් පිළිබඳව වැඩිදුර හාරා ඇවිස්සීමට හා ඒ පිළිබඳව කිසියම් යුක්තිය ඉටුකරදීමක් කිරීමට බාධාකරන නිසාය. මේ අනුව බලන කළ බලයෙන් අතුරුදහන් කරවීම නිසා නැතිවූයේ විශාල ජීවිත ගණනාවක් පමණක් නොවේ. ලංකාවේ යුක්තිය පසිඳලීමේ සංස්ථාවන්ද මේ නිසා විශාල පසුබෑමකට යටත් විය. ඇත්තෙන්ම පුද්ගලයන් අතුරුදහන් කිරීම් හා යුක්තිය පසිඳලීමේ සංස්ථාවන් අතුරුදහන් වීම අතර දැඩි සම්බන්ධයක් ඇත. මෙම සම්බන්ධය අතුරුදහන් වීම් වලට ගොදුරුවුනු පවුල් වල අයගේ ප්‍රශ්ණයක් පමණක් නොව මුළු රටේම සියලුම ජනතාවගේ ප්‍රශ්නයක් බවට අද පත්වී ඇත. බලයෙන් අතුරුදහන් වීම් කරවීම් කරවන්නන් ආරක‍ෂා කරන මට්ටමට රටේ යුක්තිය පසිඳලීමේ සංස්ථාවන් යටපත් වී ඇත. මෙය අතුරුදහන් කරවීම් ගැන පමණක් නොව රටේ සියලුම අපරාධ සම්බන්ධයෙන් එකසේ බලපවත්වයි. අද අපරාධ මර්ධනය කිරීමේ සමත් නීතිමය සංස්ථාවන් ලංකාවට අහිමිවී ඇත. එම අහිමිවීමේ ඉතිහාසය බලයෙන් අතුරුදහන් කරවීමේ ක්‍රියාවලිය ලංකාවේ වර්ධනය වූ ආකාරය සමඟ බද්ධවී ඇත.

මහා ව්‍යවස්ථාදායක වෙනසක්

1978 ලංකාවේ ඇතිවූයේ මහා දේශපාලන වෙනසකි. එම වෙනස සමග ලංකාවේ ව්‍යවස්ථා නීතියද මුළුමනින්ම වෙනස් කර දමන ලදි. මෙවැනි වෙනසක් වෙනත් රටවල සිදුවී ඇත්තේ මිලිටරි කුමන්ත්‍රණ වල මාර්ගයෙනි. එහෙත් ලංකාවේ මෙය සිදුවූයේ විශාල ඡන්ද බලයක් එක දේශපාලන පක‍ෂයකට ලැබීම මගින් එම පක‍ෂයේ නායකයාට තමන්ට කැමති දෙයක් කිරීමට ඉඩකඩ සැලසීම නිසාය. මෙය සිදුවූයේ 1977 ඡන්ද ප්‍රතිපලය නිසාය. එම ප්‍රතිපලයට අනුව සියට අසූවක පමණ බලයක් ලංකාවේ පාර්ලිමේන්තුව තුළ හිමිවූයේ ජේ. ආර්. ජයවර්ධන මහතාටය. 1962 දී මිලිටරි කුමන්ත්‍රණ ප්‍රයත්නයක් ලංකාවේ ඇතිවූ නමුත් එය පරාජයට පත්විය. 1977 දී පරාජයට පත්වූ එම කුමන්ත්‍රණයේ අභිමතාර්තයන්ම තමාට ලැබුනු විශාල පාර්ලිමේන්තු බලය තුළින් ඉටු කරගැනීමට ජේ.ආර්. ජයවර්ධන මහතා සමත් විය. ඉන් පසු රටේ ඇතිවූ සියලුම විශාල කම්පනයනට හා ප්‍රචන්ඩතාවයනට මග සලස්වන ලද්දේ මෙම ජයවර්ධන ක්‍රියාවලිය තුළිනි. ලංකාවේ බලයෙන් අතුරුදහන් කරවීම පිළිබඳව ඇතිවූ දේශපාලන හා සමාජ වාතාවරණය නිර්මණය කළේ මෙම දේශපාලන හා නෛතික විපර්යාසය තුළිනි.

ව්‍යපර්යාසයක අංග ලක‍ෂණ

1978 විපර්යාසයේ අංග ලක‍ෂණ මේවාය

1. ජනාධිපතිවරයා නීතියට ඉහළින් පිහිටි පුද්ගලයෙකු බවට පත්විය. මෙය කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය මගිනි. මෙම වගන්තියට අනුව මොනයම්ම කරුණක් නිසාවත් ලංකාවේ විධායක ජනාධිපතිවරයා නීති කෘත්‍යයක පාර්ශව කාරයෙකු කිරීමට බැරිය. මේ අනුව ජනාධිපතිවරයා මොනයම්ම හේතුවක් නිසා හෝ අධිකරණයක් ඉදිරියට පමුණුවා අධිකරණයේදී ඔහුගේ ක්‍රියාකලාපය ප්‍රශ්නයට නැගීමට අධිකරණ බලයක් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට නැතිව ගියේය. මෙම 35 වන වගන්තිය මගින් ලංකාවේ අධිකරණ ක්‍රමය විශාල වශයෙන් ඛෙලහීනතාවයට පත්කරනු ලැබීය.
2. වර්තමාන ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී නීති ක්‍රමයක මූලය වන්නේ නිතිය සියල්ලන්ටම ඉහළින් පිහිටා තිඛෙන බවය. නීතියේ ප්‍රමුඛතාවය යනුවෙන් ( ) මෙය හඳුන්වනු ලැබේ. මෙයින් අදහස් වන්නේ රටේ විධායකයේ ප්‍රධානියාද ඇතුළුව සියලුම විධායකයද ව්‍යවස්ථාදායකයද අධිකරණයද රටේ සියලුම පුරවැසියෝද නිතියෙන් බැදෙන බවය. නීතිය මොවුනට ඉහළින් පිහිටා තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නීතිය නිර්මාණය කරන්නේද රටවැසියන්ම විසිනි. එසේ නිර්මාණය කරන නීතියට ඔවුන් සියල්ලෝමද යටත්වෙති. මෙය වත්මන් නීති ක්‍රමයක මුල් ගල වශයෙන් සඳහන් කළ හැකිය.
3. මෙම මුල්ගල ඉවත් කිරීම විරෝධතාවයකින් තොරව සිදුවූයේ කෙසේද? ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය මුලදීම ප්‍රතික්ෂේප නොකළේ ඇයි. මෙය ඉතා වැදගත් ඓයිතිහාසික ප්‍රශ්නයකි. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයත් නීතිමය වෘර්තිකයනුත් පොදුවේ රටවැසියාත් ව්‍යවස්ථාවේ මෙම වගන්තියට විරුද්ධ වීමට තිබුනේ එය සාකච්චාවට ඉදිරිපත් කළ අවස්ථාවේදීමය. මෙය ලංකාවේ නීති ක්‍රමයේ පැවැත්මට තර්ජනයක් වන බවත් සමස්ථ නීතිමය සම්ප්‍රධායම මේ නිසා කඩා වැටෙන බවත් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හා අන් සියලුම දෙනාට නොතේරුනාද?
4. මෙම වගන්තිය පිළිබඳව පැවති නිහඬතාවය විස්තර කළ හැක්කේ 1978 ව්‍යවස්ථාව විශාල පාර්ලිමේන්තු වැඩි ඡන්දයකින් සම්මත කරගැනීමේ හැකියාව ජේ. ආර් ජයවර්ධනට පැවති නිසා විය හැකිය. 1977 ඡන්ද ප්‍රථීපලය නිසා සියල්ලන්ම මවිතයට හා භීතියට පත්ව සිටි කාලයක් වශයෙන් 1978 ව්‍යවස්ථාව සෑදූ කාලය සඳහන් කිරීම නිවැරදියැයි සිතමි. රටේ විපක‍ෂය ඉතා දීන පරාජයක් ලබා තිබුනි. එම පරාජය ඉදිරියේ ඔවුන් අධෛර්යටද පත්ව සිටි බව පෙනෙන්නට තිබේ. බොහෝ කාලයකට පවතින ආණ්ඩුව වෙනස් කිරීමට නොහැකිය යන විශ්වාසය මෙකල පැතිර පැවතියේය.

ම්ලේච්ච පාලකයෙක් හා ඔහු නිර්මාණය කල අශිෂ්ඨ සම්පන්න ව්‍යවස්ථාවක්

බලයෙන් අතුරුදහන්කරවීම් යම් සමාජයකින් කලහැකි මෙලේච්චමතම ක්‍රියාවකි. මෙය ලංකාවේ සිදුවූයේ දස දහස් ගණන් දෙනා බලයෙන් අතුරුදහන් කරවීම මගිනි. මෙවැනි ම්ලේච්චත්වයකට ලංකාවේ තුළ ඉඩ ලැබුනේ කෙසේද?


ඊට පසුබිම ඇත්තේ ලංකාවේ තුළ අද පවතින ව්‍යවස්ථාව ම්ලේච්චත්වයේ ව්‍යවස්ථාවක් වීම නිසාය. එය ශිෂ්ඨ සමාජයක සියලුම මූලධර්මයන් මුළුමනින්ම අතහැර දැමූ ව්‍යවස්ථාවයකි. බලයට සීමා පැනවීම යනු ශිෂ්ඨ සමාජයේ මූලිකම පරමාදර්ශයකි. බලයට ඇති සීමා ඉවත් කිරීම ලංකාවේ ව්‍යවස්ථාවේ ඇති මූලධර්මයකි.

තවද ව්‍යවස්ථාව තුළ ඇති ම්ලේච්චත්වය සමාජය තුළ ඇතිකල ම්ලේච්චත්වයේ කැපී පෙනෙන සංකේතය ලංකාව තුළ ඇති වූ බලයෙන් අතුරුදහන් කරවීම්ය. මෙය සිදුවූ ආකාරය ගැඹුරින් සලකා බැලිය යුතුව ඇත.


වත්මන් ලංකාවේ පාලකයන් අතර සිටි ම්ලේච්චතම නායකයා ජේ. ආර්. ජයවර්ධන යනුවෙන් හැඳින්වීම මුළුමනින්ම සාධාරණය. එහෙත් ලාංකිකයා තුළ ජේ. ආර් ජයවර්ධන පිළිබඳව ඇත්තේ ම්ලේච්චයකු පිළිබඳව ප්‍රතිරූපයක් නොව හොඳින් ඉංග්‍රීසි කථාකොට නම්බුකාර ආකාරයෙන් හැසිරුනු දේශපාලනඥයෙකු පිළිබඳව ප්‍රතිරූපයකි. මෙම ප්‍රතිරූපය පිටුපස සිටි සැබෑ මිනිසා දෙස බැලිය හැක්කේ ඔහුගේ දේශපාලන ක්‍රියාකලාපය තුළිනි. ඔහුගේ දේශපාලන ක්‍රියාකලාපයේ පදනම වූයේ ඔහු විසින්ම ප්‍රකාශයට පත්කරගත් ව්‍යවස්ථාවයි.

තමන් පාලනය කල ජනාධිපතිවරයාගේ ම්ලේච්චභාවයත් ඔහුගේ ව්‍යවස්ථාවේ පැවති අශිෂ්ඨ සම්පන්නභාවයත් තේරුම්ගැනීමට ලාංකිකයාට නොහැකිවූයේ ඇයි. මෙය ලංකාවේ අනාගතය තවද ව්‍යවස්ථාව තුළ ඇති ම්ලේච්චත්වය සමාජය තුළ ඇතිකල ම්ලේච්චත්වයේ කැපී පෙනෙන සංකේතය ලංකාව තුළ ඇති වූ බලයෙන් අතුරුදහන් කරවීම්ය. මෙය සිදුවූ ආකාරය ගැඹුරින් සලකා බැලිය යුතුව ඇත.


වත්මන් ලංකාවේ පාලකයන් අතර සිටි ම්ලේච්චතම නායකයා ජේ. ආර්. ජයවර්ධන යනුවෙන් හැඳින්වීම මුළුමනින්ම සාධාරණය. එහෙත් ලාංකිකයා තුළ ජේ. ආර් ජයවර්ධන පිළිබඳව ඇත්තේ ම්ලේච්චයකු පිළිබඳව ප්‍රතිරූපයක් නොව හොඳින් ඉංග්‍රීසි කථාකොට නම්බුකාර ආකාරයෙන් හැසිරුනු දේශපාලනඥයෙකු පිළිබඳව ප්‍රතිරූපයකි. මෙම ප්‍රතිරූපය පිටුපස සිටි සැබෑ මිනිසා දෙස බැලිය හැක්කේ ඔහුගේ දේශපාලන ක්‍රියාකලාපය තුළිනි. ඔහුගේ දේශපාලන ක්‍රියාකලාපයේ පදනම වූයේ ඔහු විසින්ම ප්‍රකාශයට පත්කරගත් ව්‍යවස්ථාවයි. බැරූරුම්ව කල්පනා කරන කවුරු විසිනුත් අනාගතයේදී තේරුම් ගැනීමට උත්සාහ කළයුතු ඉතාම වැදගත් ප්‍රශ්නයකි. පහත සඳහන් වන්නේ මෙම ප්‍රශ්නය පිළිබඳව වාතාවරණය තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් විය හැකි කරුණු රාශියකි.

ම්ලේච්ච නායකයෙකු හා අශිෂ්ඨ සම්පන්න ව්‍යවස්ථාවක් තේරුම් ගැනීමට ලාංකිකයා අසමත් වූයේ ඇයි?

සීයයට අසූවකට වැඩි බලයක් පාර්ලිමේන්තුව තුළ අත්පත් කරගැනීම

1978 දී 80 දී වැඩි ඡන්ද ප්‍රමාණයක් පාර්ලිමේන්තුව තුළ ජේ. ආර්. ජයවර්ධන මහතාට හිමිව තිබීම ඔහුගේ අදහස්වලට විරුද්ධවූ බොහෝ අය තුළ විශාල අධෛර්යයක් ඇති කලා විය හැකිය. එයට හේතුව නම් තමුන් කුමක් කථාකලත් අදාල ආකාරයට ව්‍යවස්ථාව ගොඩනගා ගැනීමට සම්පූර්ණ හැකියාව ජේ ආර් ජයවර්ධන මහතාට පවතින බවට වූ ඔවුන්ගේ මතය විය හැකිය. එම නිසා තමුන් මොනවා කීවත් එයින් පලක් වන්නේ නැත යන්නම සමහරුන්ගේ අදහස් ප්‍රකාශයට අධෛර්යමත් කිරීමක් හා බාධා කිරීමක් සිදුකලා විය හැකිය.

බුද්ධිමතුන්ගේ මානසික කඩා වැටීම

මේ වනතුරු ලංකාවේ අදහස් වර්ධනය කිරීම සඳහා මැදිහත්වූ බොහෝ කණ්ඩායම් 1978 දී පරාජයට පත්විය. සම සමාජ පක‍ෂයේ සිටි බුද්ධිමතුන්, කොමියුනිස්ට් පක‍ෂයේ විවිධ බුද්ධිමතුන් මෙන්ම විරුද්ධ පක‍ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ බුද්ධිමතුන් ද අන්ත පරාජයකට පත්වී තිබීම නිසා ඔවුන් ඉන් ඇතිවූ තත්වය පිළිබඳව අධෛර්යට හා අසතුටට පත්වුවත්, ඒ පිළිබඳව කථා කිරිම ඉතා අඩු මට්ටමකින් කරනවා හැර ඊට වැඩි උත්සාහයක් ගැනීමට උත්සාහ නොකළා ද විය හැකිය. 1978 දී එකම පක‍ෂයකට පාර්ලිමේන්තුවේ 80 % කට වැඩියෙන් බලයක් තිබීම මින් පෙර තිබුනු තත්ත්වයන්ට වෙනස්ය. 1956 දී එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකට 2/3 ඡන්දයක් තිබුන නමුත් එය තිබුනේ සභාග ආණ්ඩුවක් තුළය. ඔහුට විරුද්ධ බලවේග තුළ ඔහුගේ ශක්තිය පිළිබඳව විශාල විශ්වාසයක් පැවතුනේ නැත. එහෙත් 1978 දී සාමාන්‍ය මහජන මතය තුළ හා විශේෂයෙන්ම දේශපාලන ක්‍රියාධරයන් තුළ එවැනි මානසික තත්ත්වයක් ඇතිවී තිබුනේය.

දේශපාලනය පිළිබඳව රටපුරා පැතිර පැවති හෙම්බත්වීම

මුළු රට පුරාම 1948 දේශපානලයේ සිට 78 දක්වා කාලය තුල විශාල දේශපාලන හෙම්බත් වීමක් ඇතිවි තිබුනේය. සියලුම වර්ගයේ අදහස් බොහෝ දෙනා ප්‍රකාශ කළ නමුත් කිසියම්ම හෝ ප්‍රශ්නයක් විසඳා ගැනීමේ තත්ත්වයක් මේ දේශපාලන පක‍ෂවලට නොතිබීම නිසාම දේශපාලනය පිළිබඳව රටපුරාම තිබු විශාල හෙම්බත්වීම ද 78 පිළිබඳව සාකච්චාවක් ඇති කිරිම පිළිබඳව විශාල වශයෙන් බලපැමක් ඇතිකරන්නට ඇතැයි සිතිය හැකිය. දේශපාලන උන්නදුව රටක් තුළ හීනවී යෑම, එය ඒ රටෙහි බුද්ධිමතුන් පිළිබඳව ඉතා දැඩි ලෙස බලපායි. ඔවුන් මොනවා කීවත් ඒවා පිළිබඳව ඇහුන්කන් දීමට හෝ ඒවා පිළිබඳව සාකච්චා කිරීමට කිසිවෙක් ඉතිරිවී නැත යන අදහස බුද්ධිමතුන් අධෛර්යමත් කිරිම කෙරෙහි විශාල වශයෙන් බලපෑමට හේතුවූවා ද විය හැකිය. මෙය 1978 ගැන අවබෝධය ඇතිකර ගැනීමේ දී ඉතා ප්‍රබල හේතුවක් ලෙස ද සැලකිය හැකිය.

1971 කැරැල්ල හා එය මර්ධනය කල ම්ලේච්ච ආකාරය තුළින් මතුවුනු බුද්ධිමය පසුබෑම


මෙම කාලය පුරාම විවිධ මර්ධනයන් ඇතිවී තිබුනි. 71 ඇතිවූ මර්ධනය, ඒ සමගම හදිසි නීතියේ පැවැත්ම, පත්තර මුකවාඩම ආදී දීර්ඝ කාලයක මර්ධන නීති නිසා ද සාමාන්‍යයෙන් රට තුළ දේශපාලන සාකච්චා පිළිබඳව ඇතිවන උනන්දුව බොහෝ දුරට අඩුවී පැවතින. මර්ධන කාලයන් හීදී පුවත්පත් නිදහසේ නැති වීමත්, විශාල වශයෙන් ඇතිවන මිනීමරීම්, දේශපාල වශයෙන් කරන ඝාතන ආදිය නිසා ඇතිවන ව්‍යාකූලත්වය ද මේකාලයේ දී මුල් වතාවට දේශපාලන සාකච්චා තුළට පිවිස පැවතියේය. මෙයද බොහෝ දුරට එම කාලය තුල විශාල දැඩි සාකච්චාවක් ඇතිවීමට බාධාවක් වූවා විය හැකිය.

වාමාංශිකයන් හවුල් ආණ්ඩු දේශපාලනයට ඇතුළුවීමෙන් මතු වූ ව්‍යාකූලතාවය


හවුල් ආණ්ඩු දේශපාලනය නිසා විශාල වියවුලක් ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ ඇති වූයේය. ලංකාවේ දේශපානය තුළ දැඩිව පැවතියේ කම්කරු පන්ති පක‍ෂයන්ය. සම සමාජ පක‍ෂය හා කොමිනියුස්ට් පක‍ෂය බොහෝ කාලයක්, බොහෝ අංශවලින් සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව දැඩි උනන්දුවක් ඇති කිරීමට හැකි පක‍ෂ ලෙස පැවතින. එමෙන්ම කිසියම් විශ්වාසයක්ද ජනතාව තුල පැවතියේය. හවුල් ආණ්ඩු දේශපානයට ඔවුන් ඇතුළු වීමත් සමගම ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව තිබුණු උනන්දුව එම පක‍ෂ තුළින් යටපත් වුවා පමණක් නොව ඔවුන් පිළිබඳව තිබුනු විශ්වාසය ද බොහෝ දුරට ඈත්වී පැවතින. මෙයට එක් හේතුවක් නම් මෙම පක‍ෂයන්ම වැඩ වර්ජන මර්ධන කිරීමට ඉදිරිපත්වීමය. මේකාලයේ ඇතිවුනු බැංකු කම්කරුවන්ගේ වැඩ වර්ජනය හා වෙනත් වැඩවර්ජන වලදී වාමාංශික පක‍ෂ වල කාර්ය භාරය වූයේ තමන් බැඳී සිටි ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා මෙම වැඩ වර්ජන වලට විරුද්ධව ඉදිරිපත්වීමය. මේ ආකාරයෙන් පෙර වැඩ වර්ජන වලට නායකත්වය දුන් කණ්ඩායම් පසුව වෙනත් අතට හැරීම විශාල ව්‍යාකූලත්වයක මුල පිරීමක් මෙන්ම අවිශ්වාසය ජනනය කිරීමක් ද විය. මෙසේ අවිස්වාසයට පත්වූ නායකයන්ගේ තැන ගැනීම සඳහා කිසිවෙකු ඉදිරිපත්වූයේ නැත. මේ අනුව මහජනයාගේ මතය ප්‍රකාශයට පත්කිරීමට හා සාකච්වා කිරීමට හැකිවන්නාවූ කණ්ඩායමක් මේ වන විට ලංකාවේ ප්‍රභලව නොපැවතීයේය.

ජනඝාතන තුළින් මතුවූ මානසික කම්පනය


ජනතා විමුක්ති පෙරමුනේ විශාල පරාජයත් ඒ නිසා ඇතිවු ජන ඝාතනත් නිසා ලංකාවේ නිදහස් කාලය තුළ එතෙක් පැවති දරුණුතම ජන ඝාතන 70 සහ 77 අතර කාලයේදී සිදුවිය. එනම් විශේෂයෙන්ම 71 දීය. මෙය සකල සමාජය තුළ විශාල මානසික කම්පනයක් ඇතිකල විශාලම සාධකයක් බවට පත්විය. පෙර ඔවුන් තුළ තිබු දේශපාලන මතවාද බොහෝමයක් බුද්ධිමතුන් තුළම පවා සැකයට භාජනය වී පැවතුනි. මෙවැනි විශාල ඝාතනයක් රටතුල සිදුවූයේ කෙසේද? ඒවායින් ඇතිවන ප්‍රථීපල මොනවාද? පිළිබඳව දැඩි සාකච්චාවක් ඇතිකර ගැනීමට සමාජයට හැකිවී තිබුනේ නැත. මෙම මර්දන පිළිබඳව විශාල මතකයත් එම 71 කැරුල්ලේදී ඇතිවුනු දරුනු ඝාතන පිළිබඳව ජනතාව තුල ඇතිවී තිබු විශාල කම්පනයත් සාමාන්‍ය ජනතාව තුළ මෙන්ම බුද්ධිමතුන් තූලත් විශාල ව්‍යාකූලතාවයන් ඔවුන්ගේ සිත්තුල ඇති කරනු ලැබීය. ඔවුන් අලුත් තර්ජනයකට එනම් 78 ව්‍යවස්ථාව නමැති තර්ජනයට මුහුණ දුන්නේ මෙවැනි විශාල ව්‍යාකූලත්වයක් ඔවුන්ගේ සිත්තුල පැවති කාලයකය. මෙය 78 ව්‍යවස්ථාව පිළිබඳව වැඩි සාකච්චාවක් ඇති නොවීමට එක් හේතුවක් වූවා විය හැකිය.

1972 ව්‍යවස්ථාව මගින් අධිකරණයේ ස්වාධිනත්වය පහළ හෙළිම පිළිබඳව පැතිර පැවති කම්පනය


1972 ව්‍යවස්ථාවත් විශාල කල කිරීමක් රටතුල ඇති කලේ්ය. එයට ප්‍රධාන හේතුව වශයෙන් පැවතියේ අධිකරණයට තිබූ ස්වාධීනත්වයට විරුද්ධව ගෙන තිබූ පියවරයන්ය. යම් පනතක් කෙටුම්පතක් පිළිබ`දව ව්‍යවස්ථානුකූලතාවය සාකච්චා කිරීම සඳහා පවතින ජුඩිශල් රිවීව් ( Judicial Review)නැමති නිතිමය ක්‍රියාමාර්ගය ඒ දක්වා ලංකාවේ පැවති නමුත්, 72 ව්‍යවස්ථාව මගින් එය නැති කර දැමීය. මෙය නැති කිරීම මගින් පසුව ව්‍යවස්ථා අධිකරණයක් ඇති කලත් මෙම ජුඩිශල් රිවීව් (Judicial Review) නැමති ක්‍රියාමාර්ගය නැති කිරීම නීතිඥයන් තුලත් විශේෂයෙන්ම මෙම කාරණා පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන නීතිඥ කණ්ඩායම් තුළත් විශාල කලකිරීමක් හා පසුබැසීමක් ඇති කිරීමට හේතුව පැවතියේය. එම නිසාවටම 1978 නව ආණ්ඩුවක් පත්වීම ජයග්‍රහනයක් වශයෙන් ඔවුන් දුටුවා පමණක් නොව සමහර විට අධිකරණයේ ක්‍රියාමාර්ගය ඔවුන් විසින් ශක්තිමත් කළා විය හැකි යැයි මතයක්ද මේ කාලයේ පැවතියේය. මේ කාලයේ ලියවී ඇති සමහර පොත් දෙස බලන විට 1978 ව්‍යවස්ථාව 1972 ව්‍යවස්ථාවෙන් ඇතිකල අධිකරණය පිළිබඳව ගැටලු නිරාකරණ කරන ලද ව්‍යවස්ථාවක් විය හැකිය; යන්න ගැන යම් මිත්‍යා මතයක්ද ප්‍රකාශයට පත්ව පැවතියේය. 78 ව්‍යවස්ථාවේදී වාචිකව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ප්‍රකාශයට පත් වී තිබිම නිසාම මෙම මිත්‍යාව වඩාත් තහවුරු වුනා මෙන්ම එක්සත් ජාතික පක‍ෂය අධිකරණයේ නිදහස පිළිබඳව මින් ඉහත කාලවලදී පෙනිසිටිම නිසාත් ඔවුන් වටා විශාල නීතිඥයින් පිරිසක් පැවතීම නිසාත් මෙම නීතිඥයින් වෘර්තියට හා අධිකරණයට විශාල වශයෙන් බාධාවන කි්‍රයාමාර්ගයක් මෙම ක්‍රියාමාර්ගය තුළින් ඇති නොවේය යන කිසියම් විශ්වාසයක්ද පැවතුනා සේ පෙනෙන්නට ඇත.

ව්‍යවස්ථා නීතිය පිළිබඳව ලාංකිකයා තුළ පැවති අල්ප මාත්‍ර අවබෝධය
මේ සියලු කරුණු හැරෙන්නට පොදු වශයෙන් ලංකාවේ දේශපාලන නායකයන් අතර මෙන්ම බුද්ධිමතුන් අතරත් සාමාන්‍ය ජනතාව අතරත් ව්‍යවස්ථා නීතිය පිළිබඳව ජාත්‍යන්තරව තිබූ අත්දැකීම් ගැන දැනුවත්වූ කණ්ඩායමක් පැවතියේද අතලොස්සක් වශයෙන් පමණි. මෙයද මෙවැනි සාකච්චාවක් ඇති නොවීමට ඉතා ප්‍රබල හේතුවක් වුනා විය හැකිය. ජයවර්ධන මෙම සාකච්චව ඉතා ව්‍යාකූල කලේය. ඔහු කීවේ මෙය එන්ගලන්තයේ ක්‍රමය නොව මෙය ඇමරිකාවේ හා ප්‍රංශ ක්‍රමයේ සංකලනයක් බවය. මේ ක්‍රම දෙක පිළිබඳව ඉතා ගැඹුරු අවබෝධයක් පැවති කිසිවෙකු මේ වන විට සිටියාදැයි සැක කල හැකිය. මන්ද යත් එකල ලියවුනු කිසිදු ලේඛනයක් තුලින් එවැනි ඥානයක් පෙන්නුම් නොකෙරෙන නිසාය. මේ ගැන කථාකල සියලු දෙනාම මෙන්ම මෙය ප්‍රංශයේ ව්‍යවස්ථාවට සමාන එකක් යැයි එක හෙළාම පිළිගත්හ. එහෙත් ප්‍රංශයේ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් බවත් එය නීතියේ ආධිපත්‍යය මත ගොඩ නැගී ඇති බවත්, ජනාධිපතිවරයාට නීතියෙන් ඉහළට පැවතීමේ බලයක් ඒ තුළ නැති බවත් අධිකරණය ආරක‍ෂා කරගැනීම සඳහා විශාල පියවර ප්‍රංශ නීතියේ මෙන්ම ව්‍යවස්ථා නීතියේ ව්‍යවස්ථා උසාවියේ කන්සිටිටියුශනල් කවුන්සිල් (Constitutional Council) - නැමති ඇතිවුණු ක්‍රමය මගින් පවා විශාල උත්සාහයන් ගෙන තීබූ බවත් ප්‍රංශයේ ඇතිවුනු ව්‍යාකූල නිති පිළිබඳ අවබෝධයක් වත් පැවති බවක් නම් කොහෙත්ම පෙනෙන්නට නැත. සමහර විශාරදයන් වශයෙන් පෙනීසිටි අය උදාහරණයක් වශයෙන් ලංකාවේ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වු ඒ ජේ විල්සන් වැනි අය පවා මෙය ප්‍රංශ ක්‍රමයට සමාන යැයි දෙසා බෑහ. එහෙත් ප්‍රංශ ක්‍රමයත් මෙයත් අතර බලය සීමා කිරීම පිළිබඳ හා චෙක් ඇන්ඩ් බැලන්සස් (Check and Balance)
පිළිබඳව කුමන ආකාරයේ සම්බන්දයක් පැවතුනාද නැද්ද යන්න පිළිබඳවත් කිසිම සාකච්චාවක් කිරීමට කිසිවෙක් ඉදිරිපත් වූයේ නැත. ව්‍යවස්තා නීතිය පිළිබඳව රට තුළ පැවති අවබෝධයේ අඩු කම විශාල වශයෙන් ජයවර්ධනගේ වාසියට සිටින්නට ඇතැයි කීම සාධාරන බව පෙනීයයි. මේ නිසා ඇත්තෙන්ම මෙහි සිදුවන විපර්යායසයේ ඇති විශාලකම අවබෝධ කරගෙන ඊට විරුද්ධව දැඩි ලෙස සටන් කිරීමට කිසිවෙක් ඉදිරිපත් වූයේ නැත. තරමකින් හෝ රටේ මෙයින් ඒකාධිපතිත්තවයක් ඇතිකරන බවට කොල්වින් ආර් ද සිල්වා හා එන් එම් පෙරේරා යන අය ප්‍රකාශයට පත්කල නමුත් ඔවුන් පවා මෙම ක්‍රමයන්හී ඇතිවන වෙනස ගැබුරින් විස්තර කර ඉදිරිපත් කිරීමට තරම් දැඩි උත්සාහයක් කළේ නැත. සමහර විට මාක්ස්වාදී අදහස් දැරු ඔවුනට මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී ගැටලු එතරම් වැදගත් සේ නොපෙනුනාත් විය හැකිය. කෙසේ වුවත් ලංකාවේ අධිකරණමය ක්ෂේත්‍රය තුළ මෙන්ම නීතිමය ක්ෂේත්‍රය තුළ පවා ව්‍යවස්ථා නීතිය පිළිබඳව පවතින ඉතා අඩු දැනීම 1978 ව්‍යවස්ථාව පිළිබඳව සාකච්චාවල් වලින් ඉතා දැඩි ලෙස කැපී පෙනී ඉස්මතු වී පවතී.

බුද්ධිමය නායකත්වයකින් තොර වූ ලංකාවේ අධිකරණය

මෙවැනි විශාල වෙනසකදී යම් තීරනාත්මක වගකීමක් ඇති කිරීමෙහි හැකියාවක් පැවතුනේ අධිකරණයටය. එහෙත් අධිකරණය මගින් එවැනි ක්‍රියාකලාපයක් මේ කාලය තුල සිදුවුයේ නැත. නමුත් ව්‍යවස්ථාවක් ඇතිකිරීමත් සමගම සම්පුර්ණයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් සියල්ලන්ටම අලුතෙන් පත්වීම් ලැබුණු අතර එයින් සමහර අය පත්කලේද නැත. ඒ පිළිබඳව පවා විරුද්ධත්වය ප්‍රකාශ කළේ එක් අයෙකු පමණි. ඔහු තම තනතුරින් මෙම කරුණ මත ඉල්ලා අස්විය. එය ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධිනත්වයට බලපෑමක් බව ප්‍රකාශ කර සිටියේය. ඉන් ඉහළින් සිටි අධිකරණ නිළාධාරීන් අතර ඉතා වැදගත් ඉතිහාසයක් පැවති නමුත් ඔවුන් කිසිවෙක්ම මෙම ව්‍යවස්ථාවේ මුල්කාලයේදී ඒ පිළිබඳව දැඩි විරෝධයක් පෙන්වූ බවක් පෙනෙන්නට නැත. මෙම අධිකරණයට අලුතින් පත්කළ නෙවිල් සමරකෝන් නැමති ශ්‍රේස්ථාධිකරණයේ අගවිනිසුරුවරයා ලංකාවේ සිවිල් නීතිය පිළිබඳව විශාල අවබෝධයක් පැවති අයෙකු වූවත් ඔහු පවා 1978 ව්‍යවස්ථාවේ ගැඹුර මුළින් තේරුම්ගත් බවත් පෙනෙන්නට නැත. එසේ වූවා නම් එම ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු බවට පිටින් පැමිණ භාරගැනීම ප්‍රතික්ෂේප කළ යුතුව තිබුණි. එවැන්නක් පවා නැති වීමට එක් හේතුවක් නම් මෙම ව්‍යවස්ථා ක්ෂේත්‍රයේ ඇතිකළ විශාල වෙනසට හේතු පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය තුළ පවා ගැඹුරු විරෝධයක් හා කලකිරිමක් පැවති බවක් පෙනෙන්නට නැති වීමය. එයට එක් හේතුවක් නම් ශ්‍රේෂ්ඨාධිකරණය තුළ හා විනිශ්චකාරවරුන් තුළත්, 72 ව්‍යවස්ථාව පිළිබඳව එහි මැදිහත්කරුවකු වූ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක වැනි අය පිළිබඳව දැඩි කලකිරීමක් තිබූ බව පෙනෙන්නට තිබීමය. ඒ නිසාවටම අලුතින් පත්වුනු නායකයන් පිළිබඳව එවැනි විරෝධයක් ඔවුන් තුළ පැවතියේ නැත. සමහර විට එකම පවුල් හා එකම පංතින් හා හොඳින් එකි නෙකා දන්නා කණ්ඩායම් තුළ එකි නෙකා පිළිබඳව පවතින කිසියම් හැඟීම් ව්‍යවස්ථාව පිළිබඳව ඇතිවූ වෙනස්කම් අවබෝධකරගැනීමට බාධාවක්ද වූවා විය හැකිය. සමහර බුද්ධිමතුන් මේ කාලයේදී කියා සිටියේ රෝයල් පාසැලේ උගත්, නීතිඥ පවුලකින් පැවත එන මෙතෙක් කල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇති ජේ. ආර් ජයවර්ධන මහතා මෙම සම්ප්‍රධායෙන් විශාල වශයෙන් ඉවත නොයනු ඇතැයි තිබූ විශ්වාසයයි. උදාහරනයක් වශයෙන් ඇන්ගිලිකානු බිශොප් ලක‍ෂමන් වික්‍රමසිංහ වාමාංශික අදහසක් පවා දැරූ පුද්ගලයෙකු වූවත් තමන්ගේ මත පිළිබඳව දැඩි අව්‍යාජභාවයක් දැක්වූවත් මෙම ව්‍යවස්ථාව තුළින් මෙවැනි මහා විපර්යාසයක් කිරීමක් බලාපොරොත්තු වූයේ නැත. බොහෝ අය පසුව මෙම ව්‍යවස්ථාව ස්ථීර වූවාට පසු ඒ තුළින් ඇතිවූ බලපෑමෙන් කම්පනයට හා කලකිරීමට පත්වූ බව නොරහසකි. එහෙත් එය ඇතිවූ මුල් අවස්ථාවේදී එය අවබෝධ කරගැනීමට තරම් දැඩි බුද්ධිමය පදනමක් හෝ මානසික පදනමක් තිබූ බවක් පෙනෙන්නට නැත.

ජාතිවාදය පිළිබඳව කතිකාව රටේ මහා කතිකාව බවට පත්වී අන් සියලුම ප්‍රශ්න පිළිබඳව අවධානය යටපත්වීම

මේ කරුණු අතර තවත් විශාල වෙනසක් ලංකාවේ සිදුවෙමින් පැවතිනි. එනම් දෙමළ සටන්කාමී කණ්ඩායම් වල මතුවීමත් සන්නද්ධ අරගලයක් මගින් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම පිළිබඳව ඇතිවූ සාකච්චාවත් වෙනම රාජ්‍යයක් පිළිබඳව කථාවත් ආදිය 1977-1978 වර්ෂ වලදී ඉතා කැපී පෙනිමින් වර්ධනය වෙමින් පැවතිමය. මෙම හේතුවම සිංහල ජාතිවාදය ඉස්මතු වීමට හා වැඩි වර්ධනයවීම කෙරෙහි බොහෝ සෙයින් බලපෑවේය. ජේ. ආර් ජයවර්ධන ඉතා දක‍ෂ ලෙස මෙම ජාතිවාදී හැඟීම් තමන්ගේ ප්‍රයෝජනය සඳහා ගත් බව ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇත. ඔහු 1978 ජනවාරි මාසය වන විටම "එක්කෝ සාකච්චාව නැත්නම් සටන" යනුවෙන් කළ ප්‍රකාශයත් සමග කොළඹ බොහෝ ප්‍රදේශවල ගිනිතැබීම් හා වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවිය. මෙය යාපනය ආදී ප්‍රදේශවල ඔවුන්ගේ ප්‍රතික්‍රියාවලට භාජනය විය. කොළඹ යාපනය දුම්රිය මාර්ගය නතර වීමද මේ කාලයේම සිදුවිය. යාපනයේ පුස්තකාලය ගිනි තැබීමද සිදුවූයේ මේ වාතාවරණයේදීය. මේ ආකාරයෙන් වර්ධනය වූ ජාතිවාදය ලංකාවේ ප්‍රධාන දේශපාලන තේමාව බවට පත්කරගැනීමට ජයවර්ධන සමත්විය. මේ සමගම අන් සියලුම සාකච්චාවන් ද්වීතික තත්ත්වයට පත්වුනේය. ව්‍යවස්ථාව පිළිබඳව සාකච්චාවට සිදුවූ තත්වය එයයි. කිසියම්ම මතවාදයක් වර්ධනය වීම ජාතියේ ආරක‍ෂාවට තර්ජනයක්ය යන අදහස ඉතා ගැඹුරින් තහවුරුවීමත් සමගම ව්‍යවස්ථාව පිළිබඳව සාකච්චාව පවා පෙන්නුම් කරන ලද්දේ ජාතික ආරක‍ෂාවට හා ජාතික සමගියට විශාල බාධකයක් බවය. මේ අනුව මතවාද හා විවාද යටපත් කිරීමත් වඩා පළල් ජාතිවාදී අරගලය ප්‍රධාන තැනට ගෙන ඒමත් එය මානසික මට්ටමේ මෙන්ම සමාජ තලයේත් සෑම අංශයකදීම මුල් තැන බවට පත්වීමත් අන් කිසිම කරුණකටත් වඩා ලංකාවේ ව්‍යවස්ථා පිළිබඳව ප්‍රශ්නය ගැන එතරම් දැඩි උනන්දුවක් ඇති නොවීමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැකිය. මුළින් ඇතිවී තිබූ ප්‍රශ්නය මුළින්ම විසඳා ගත යුතු බවත් මහා ප්‍රශ්නය වශයෙන් පවතින ජාතිවාදී ප්‍රශ්නය අවසානයට ගෙන ඒම සඳහා මැදිහත්වීම පමණක්ම ජාතියේ රාජකාරිය බවත් අන් සියලුම මතවාද ඉස්මතු වීම රජයට කරන බාධාවන් බවත් හුවා දැක්වීම තුළින්ම විරුද්ධ පක‍ෂ ඉතා දැඩිලෙස පසුබැසීමකට තල්ලූකිරීමකට හැකිවිය. මෙම විවාදය අඛන්ඩව පවත්වාගෙන ගිය අතර එන්න එන්නම එය උග්‍රවු හැටිත් එය 2009 දක්වාම පැවැත්වී ඇති ආකාරයත් වාර්තා වී ඇත. මේ කාලපරිච්ඡේයේදී අන් සියලුම ප්‍රශ්න දෙවෙනි තැනැක් ගන්නා බවත්, ඇත්ත ප්‍රශ්නය ලංකාවේ ජාතිවාදී ප්‍රශ්නය බවත්, හුවා දැක්වීමට ජාතික මෙන්ම ජාත්‍යන්තරව ද විශාල මතවාදයක් ඇතවීය. එයත් සමගම ව්‍යවස්ථාව පිළිබඳව ප්‍රශ්නය ඉතා ද්වීතීක හා නොවැදගත් ප්‍රශ්නයක් බවට පත්වූයේය. මෙය විශාල වශයෙන් ලංකාවේ ව්‍යවස්ථාව පිළිබඳව නීතිමය සාකච්චාවක් ඇති නොවීමට ප්‍රධාන වූ ඉතාම මුල්ම සාධකය වශයෙන් සැළකීම නැවැරදි යැයි සිතමි.

දේශපාලන විරුද්ධවාදීන්ට විරුද්ධව ප්‍රචන්ඩ හා ම්ලේච්ච ප්‍රහාරයක් රජය විසින් නොකඩවා පවත්වාගෙන යෑම

1978 දේශපාලන යුගය ආරම්භ කරන ලද්දේ මැතිවරණයට පසු මාසයක් පමණ කාලයක් විරුද්ධවාදීන්ට දැඩි ලෙස පහරදීමට හා ප්‍රචන්ඩ ක්‍රියා ඔවුන්ට විරුද්ධව කිරීමට දෙන ලද ඉඩකඩ සමගය. පොලිසියට නිවාඩු දීමක් යනුවෙන් සඳහන් කලේ මෙම කාලයයි. මෙම කාලය පුරා බොහෝ විරුද්ධවාදීන් ඉතා දැඩි ලෙස මර්ධනය කරන ලදි. මෙම මර්ධනය නිසා බොහෝ අයගේ කලකිරීම් පසුබැසීම් දේපල නැතිවීම් ආදී සියල්ල සිදුවූ අතර විරුද්ධ පක‍ෂය දේශපාන වශයෙන් පැරදී සිටි විරුද්ධ පක‍ෂය මානසික වශයෙන් විශාල වශයෙන් යටපත් කිරීමට හේතු විය. එම නිසාවටම ව්‍යවස්ථාව පිළිබඳව හෝ වෙනත් කරුණක් පිළිබඳව දැඩි සාකච්චාවක් ඇති කිරිමට විරුද්ධ පක‍ෂයට ඇති හැකියාව මැඩපැවැත්වීම මේ නිසා සිදුවිය. එම සාකච්චාවට මැදිහත්වීම මගින් තමන්ද විරුද්ධ පක‍ෂය සමග ඈදීමට ඇති ඉඩකඩත්, ඒ නිසා ඇතිවිය හැකි ප්‍රථීපලත් පිළිබඳව සාමාන්‍ය මිනිසුන් අතර ඇතිවන හැඟීම් මේ කාලයේ බොහෝ දෙනෙකු තුළ ඇතිවූවාට සැකයක් නැත.

ලංකාවේ ඇතිවූ බලයෙන් අතුරුදහන් වීම් කරවීම පිළිබඳව ම්ලේච්ච ක්‍රියාදාවය ලංකාව තුළ ඇතිවූ ම්ලේච්ච දේශපාලන පරිවර්තනයක ප්‍රතිපලයකි. 1978 ව්‍යවස්ථාව විසින් ඇති කල එම ම්ලේච්ච දේශපාලනය අද දක්වාත් රටේ දේශපාලන ව්‍යවුහය ලෙස පවතින අතර එය ව්‍යවස්ථාවට ඇතුල්කල 18 වන සංශෝධනය තුළින් වඩාත් ව්‍යාපත්ත විය. ප්‍රචන්ඩත්වය පිළිබඳව හා බලයෙන් අතුරුදහන් කරවීම් වැනි ම්ලේච්ච ක්‍රියා පිළිබඳව සාකච්චාව ලංකාවේ පවතින ම්ලේච්චත්වයේ ව්‍යවස්ථා නීතිය හා එක්තැන් කොට සාකච්චා කල යුතුව ඇත. අර්ථවත් හා සමාජයකට ඵලදායක සාකච්චාවක් ඇතිකිරීමේදී මුහුණ දිය යුතු ප්‍රධානම ප්‍රශ්නය නම් 1978 දී ඇතිකළ ම්ලේච්ච ව්‍යවස්ථා සම්ප්‍රධාය අවබෝධකරගැනීම හා එය ඉවත ලීමට මූලෝපායන් වර්ධනය කරගැනීමය.

කතුවරයා ගැන:- බැසිල් ප්‍රනාන්දු මහතා වුර්තිමය වශයෙන් නීතිඥයෙකි. ලේඛකයෙකු ලෙස පුවත් පත් ගණනාවකට ලිපි සම්පාදනය කළ හෙතම කෘති රැසක් ප්‍රකාශයට පත් කොට ඇත. මානව හිමිකම් ක්‍රියධාරියෙකු ලෙස දශක ගණනාවක් සේවය කළ හෙතම ආසියාවේ රටවල් කිහිපයක කටයුතු කොට ඇති අතර, ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂ වරයා ලෙස සේවය කරනු ලබයි. Tell a Friend