පාන් පිටි මිල ඉහළ දැමීම ජනතාව නොමරා මරණ පියවරකි

දේශපාලන මණ්ඩලය | ජනතා විමුක්ති පෙරමුණ


තිරිගු පිටි මිල රුපියල් 8.33කින් ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කර තිබේ. මාසයක කාලයක් තුළ සිදු වූ දෙවැනි මිල ඉහළ යාම මෙය වන අතර, මේ ආණඩුව බලයට පැමිණීමෙන් පසු පිළිවෙලින් මැයි මස 01 වෙනි දින පාන් පිටි මිල රුපියල් 3.00කින් ඉහල දැමූ අතර ඉන් පසු තිරිගු පිටි මිල රුපියල් 10.50කින් ඉහල දැමීය, ඉන් පසුව නැවත වතාවක් 2010 සැප්තැම්බර් 10 දින තිරිගු පිටි මිල රුපියල් 3.00කින් ඉහල දැමූ අතර ඒ හා සමඟ පාන් හා පාන් පිටි ආශ්‍රීත ආහාර ද්‍රව්‍ය සියල්ලේම මිල ඉහළ දැමීය. මෙය තිරිගු පිටි සමාගම් වල තීරණයක් ලෙස ප්‍රකාශයට පත් වුවද එයට සම්පූර්ණයෙන් වගකිවයුතු වන්නේ ආණ්ඩුවය. මෙම වැඩිවීම මගින් පෙන්වා දෙන්නේ වෙන කිසිවක් නොව ජනතාවගේ පාරිභෝජන ද්‍රව්‍ය මිල අරඹයා ආණ්ඩුවේ නොසැලකිලිමත් ආකල්පයයි.


ආණ්ඩුවට ජනතාවගේ ආහාර ද්‍රව්‍ය මිල පහල මට්ටමක පවත්වා ගැනීමට වැඩ පිළිවෙලක් හෝ අවශ්‍යතාවයක් නැත. තිරිගු පිටි හා ඒ අශ්‍රීත නිශ්පාදන වල මිල ඉහළ යන්නේද ඒ අනුවය එහෙත් තමන්ගේ නොහැකියාව රටට ප්‍රදර්ශනය වීම වැලැක්වීම සඳහා අද ආණ්ඩුව සහ ආණ්ඩුවේ කේවට්ටයින් කරන්නේ පාන් පිටි ත්‍රස්තවාදයක් පිළිබඳ කථා කිරීමය. ඒ අනුව ආණ්ඩු උත්සාහ කරන්නේ ජනතාවගේ ආහාර පරිභෝජන රටාව මත වරද පටවා ඇග බේරා ගැනීමටය. මේය රටේ ඕනෑම ප්‍රශ්නයක් අරඹයා ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින ලිස්සා යාමේ ප්‍රතිපත්තියයි. රෝහල්වන ඖෂධ හිඟයේ වරද වෛද්‍යවරුන් මතත්, පාසල් වලට ළමුන් ඇතුලත් කිරීමේ තදබදය දෙමව්පියන් මතත් පටවන ආණ්ඩුව විරැකියාවේ වරද තරුණයන් පිට පටවයි. එලෙසම පිටි මිල ඉහළ යද්දී ආණ්ඩුව කරන්නේ ජනතාව පත්වන අපහසුව ප්‍රකාශයට පත් වීමට පෙර පාන් පරිභෝජනය කරන්නා "ත්‍රස්තවාදියෙකු" ලෙසට හන්වඩු ගැසීමය.


රටේ මුළු මහත් ආර්ථීකය කඩාවැටෙමින් තිබියදී තමන්ගේ හා තම හිතවතුන් අතලොස්සක් අතට රටේ ධනය ඒකරාශී කරගනිමින් සිටින රාජපක‍ෂ ආණ්ඩුවට ජනතාවට සහන ලබා දීමේ අවශ්‍යතාවක් නැත. ජනතාව කුසගින්නෙ මිය යාමට සලස්වා එහි වගකීමද මිය යන ජනතාව මතම පැටවීමට තරම් ආණ්ඩුව අද දුෂ්ට හා නරුම වී තිබේ.


මෙම තත්වය තුළ ජනතාව පරිභෝජනය කරන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වහාම පහත හෙලන ලෙසත් ජනතාවගේ ජීවනබර අඩුකිරීමට පියවර ගන්නා ලෙසත් ආණ්ඩුවට බල කර සිටින අපි තමන්් නොමරා මරා දැමීමට කටයුතු කරමින් සිටින ආණ්ඩුවට එරෙහිව වහා පෙළගැසෙන ලෙස සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
Tell a Friend