කතු වැකිය: මර්ධනයට නිදහස යැයි කියන ඇමති එස්. බි.

අද එස්. බි. දිසානායකට හිමි කාර්ය වී ඇත්තේ අඩු පඩි ලබන වේතන දාරින්ගේ දරුවන්ගේ අධ්‍යාපන නිදහස අහිමි කර දැමීමේ අමිහිරි කාර්යයි. ඔහු එය ඉතා සතුටින් කරණ බවක් පෙනෙන්නට ඇත. එය දෛවයේ සරදමකි. අද ලංකාවේ අඩු පඩි ලබන වේතනදාරීන් සමඟ රජය ගෙන යන මාහා යුද්ධයේ තොල්කයෙකු බවට ඔහු පත්ව ඇත.

ඇමති එස්. බි. දිසානායක නිදහස සහ මර්ධනය අතර ඇති වචන වල වෙනස් කම නොදන්නා පාටය . ඔහු ලංකාවේ විශ්විද්‍යාල වලට නිදහස ගෙනෙනවා යැයි කියමින් ශිෂ්‍යන්ට පහර දීම, ශිෂ්‍යන්ගේ ශිෂ්‍ය බාවය අහෝසි කිරීම, ශිෂ්‍ය නේවාසිකාගාර වසා දැමීම සහ අසභ්‍ය වචනයෙන් ශිෂ්‍යන්ට බැණ වදිමින් තොරතෝංචියක් නැතුව කතා පවත්වමින් කාලය ගත කරයි. සිසුන් දහස් ගණනකේ වුණත් ශිෂ්‍යභාවය අහෝසි කිරීමට නොපැකිලෙන බව කියයි. මේ සියල්ල කරන්නේ උසස් අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීම සඳහා නීති සම්මත කර ගැනීමට පසුබිම සලසා ගනිමිනි. මේ නීති මොනවාදැයි තවමත් කවුරුත් නොදනිති. ඒ සියල්ල රහසිගතව පවතියි. සමහර විට ව්‍යවස්ථාවට 18 සංශෝධනය ගෙන ආ ආකාරයෙන්ම හදිසි පනතක් වශයෙන් මෙයද ගෙන එනු ඇතැයි අනුමාන කිරීම සදාරණය.

නීති රහසි ගත වූවත් ඒවායේ මූලික හරය තේරුම් ගැනීම අමාරු නැත. එනම් අඩු පඩි ලබන ලංකාවේ රට වැසියන් මතම උසස් අධ්‍යාපනයේ වියදම් බරද පැවරීම මෙහි අදහස වේ. එනම් මෙතෙක් පැවති නිදහස් අධ්‍යාපනය නැති කොට ගෙවා අධ්‍යාපනය ලබා ගැනීමේ ක්‍රමයක් ඇති කිරීමය. ගෙවීමට නොහැකි රට වැසියන්ගේ දරුවන්ට මෙයින් උසස් අධ්‍යාපනය අහිමි කර දමනු ඇත. මෙය මහා පරිමාණ ප්‍රති-සංස්කරණයකි. ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනයද ඊටත් වඩා මහා පරිමාණ නීති විපර්යාසයක් ඇති කළේය. නිදහස් අධ්‍යාපනයට පහර දීම සමහර විට ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා බරපතලව සමාජ කෙරෙහි බලපානු ඇත.

උසස් අධ්‍යාපනය සඳහා මුදල් ගෙවීම කරන බොහෝ රට වල රට වැසියන්ගේ වේතන වල ප්‍රමාණය ලංකාවේ සාමාන්‍ය වේතන ලබන්නන්ගේ වේතනයට වඩා 10 ගුණයකටත් වැඩිය. එම වේතන වැඩි කිරීමේ පදනම වන්නේද අවශ්‍ය වියදම දරා ගැනීමේ හැකියාව ඇති කිරීමෙනි. වියදම් දරා ගැනීමේ හැකියාව නැති වේතනදාරීන් වැඩි වශයෙන් සිටින ලංකාව තුළ අධ්‍යාපනයේ වියදම් පිලිබඳ බරද පැටවීම, දරිද්‍රතාවය තවත් වැඩි කිරීමේ පියවරකි.
දැනටමත් ආහාර මිල , වතුර මිල, ආදිය පවා ගෙවා ගැනීමටවත් බොහෝ දෙනෙකුගේ වේතන ප්‍රමාණවත් නොවේ. එසේ ප්‍රමාණවත් නොවන්නේ අඩුම මට්ටමේ වේතන ධාරීන්ගේ අදායම පමණක් නොව, අද මධ්‍යම පන්තියේ බොහෝ කොටස් වල පවා මුහුණ දීමට සිදු වී තිබෙන්නේද එවැනිම වූ තත්ත්වයකටය. මේ සියල්ලෝ ලෝකයේ වැඩි අදායම් ඇති වේතන දාරීන් සමඟ සංසන්දනය කරණ කළ ඉතාමත් පසු ගාමී තත්වයක සිටින්නෝය. මේ සියල්ලන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපන පහසුකම් නැතිවන යුගයක් කරා ලංකාව ගමන් කරන බව පෙනේ.

එවැනි මහා පරිවර්තන ගැන පුදුම වීමට හේතුවක් නැත. ලාංකිකයා පුරුදුව සිටි විශාල පහසුකම් හා සේවාවන් ගණනාවක් දැනටමත් අහෝසි වී ඇත. වරක් ලංකාවේ පුරසාරමක් වූ නිදහස් සෞඛ්‍ය සේවය දැන් අහෝසි වී ගොස් බොහෝ කල්ය. දැන් රෝහලකින් ලබන්නේ බෙහෙත් නොව බෙහෙත් මිලදී ගැනීම සඳහා තුන්ඩුවකි. ගෙවා ගත නොහැකිනම් රෝගී තත්වය පිළිබඳව කරන්නට දෙයක් නැත. මෙවැනි මහා දරුණු පියවර ගෙන ඇති සමාජයක නිදහස් අධ්‍යාපනය නැති කිරීමටද පියවර ගැනීම පුදුමයක් නොවනු ඇත. ලාංකිකයා තවත් පුරුදුව සිටි ස්වාධීනව මැතිවරණ පැවැත්වීමේ ක්‍රමයද දැන් අහෝසි කොට ඇත. දැන් ඇත්තේ නිදහස් තරගකාරීත්වයකට ඉඩ නැති නාමික මැතිවරණ පමණකි. යුක්තිය පසිඳලීමේ ක්ෂේත්‍රයේදීද ජනතාවට හිමිව තිබු සෑම පහසුවක්ම දැන් අහෝසි වෙමින් පවතී. අපරාධයක් සඳහා පැමිණිල්ලක දමා ගැනීමට පොලිසි වලින් තිබු පහසුව දැන් ලෙහෙසියෙන් කර ගත හැකි දෙයක් නොවේ.පගාව මඟින් පැමිණිලි කාරයා චුදිතයා කරගත හැකි යුගයක් දැන් උදාව ඇත. සාදාරණ වින්ශ්චය සඳහා තිබු අයිතියද දැන් නාම මාත්‍ර අයිතියක් පමණි. විශාල වශයෙන් මුදල් වැය කළ හැකි අයට පමණක් යම් ආකාරයෙ සහන ලබා ගත හැකිය. අද ගෙවල් වලින් සහ ඉඩම් වලින් පලවා හැරීම පවා නීතිමය ක්‍රියාමාර්ග වලින් පරිබහිරව කිරීම සුලබව සිදු වේ . පහසුවට තිබු ගමනාගමන ක්‍රමයද පුගලිකරණය තුළින් දැන් විශාල වශයෙන් වෙනස් වී ඇත. මොන පැත්ත බැලුවත් මුදල් වියදම් කිරීමට ඇති හැකියාව මතම පමණක් පැවතිය හැකි කාලයක් දැන් උදාව ඇත.

සිංගප්පුරුව වැනි වැඩි වේතන දාරීන් සිටින රටක වුවද අධ්‍යාපනය, සෞඛ්‍ය සහ නිවාස සම්බන්ධයෙන් මෙන්ම ගමනා ගමන පහසුකම් සම්බන්ධයෙන්ද මහා පරිමාණ පහසුකම් ඇත. මේවා බොහොමයක් සඳහා රජය මඟින් වියදම් දරයි. ඒ පිළිබඳව කටයුතු කිරීම සම්බන්ධයෙන් එම රට තුළ ඉතාමත් සංවිධානාත්මක පහසුකම් ඇත. අඩු වේතන ඇති චීනය, වියට්නාමය යන ඉහත කාලයේදී සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කළ රටවල අද ධනවාදී ප්‍රතිපත්ති අනුගමනය කළත් ආහාර, අධ්‍යාපන, සෞඛ්‍ය, සහ ගමනාගමන යන ක්ෂේශ්ත්‍ර වලදී පහසුකම් සැලසීමට සන්විදානාත්මක පියවර පවතී. ඉන්දියාවේද මෙම ක්ෂේත්‍රයන් වල තවමත් විශාල පහසුකම් පවතී. එවැනි පහසුකම් නැත්තේ අතීතයේ සිටම දුක් විදින කණ්ඩායම් වන අඩු කුල වල සහ ආදිවාසීන් අදී කණඩායම් වලට පමණි.

ලංකාවේ අඩු පඩි ලබන වේතනදාරීන් මෙම අලුත් අභියෝගයනට මුහුණ දිය යුතු අතර ඔවුන්ට අතීතයේ පැවති වුර්තීය සමිති අයිතිවාසිකම්ද පවතින්නේ නැත. එම නිසා සංවිධානාත්මකව ජීවන බර පැට වීමට විරුද්ධව සටන් කිරීමේ මාවත්ද ඇහිරී ඇත. රටේ සියලුම රට වැසියන් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන අතර අලුත් බර පැටවීම් වලට ලංකවේ සුළු ජාතීනට විශේෂයෙන්ම දෙමළ කතාකරන කණ්ඩායම් වලට මුහුණ දීමට සිදු වී ඇත්තේ රටේ පැවති යුද්ධමය තත්වය නිසා සිදු වූ විශාල කඩා වැටීම් වලට මුහුණ දෙන තත්ත්ව යටතේදීමය.

එස්. බි. දිසානායක 1970 මුල් කාලයේදී ලංකා කොමුනිස්ට් පක්ෂයේ විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ( ශ්‍රී ජයවර්ධනපුර සරසවිය ) ශිෂ්‍ය සංගමයේ නායකයා විය. අද ශිෂ්‍යන් කරණ බොහෝ දේ 70 කාලයේ ශිෂ්‍යන් කළ සටන් වලට වඩා බොහෝ සේ සැර බාල වූ සටන්ය. අද එවැනි උද්ඝෝෂණ පවා තහනම් කිරීමේ යෙදෙන ඇමතිවරයා එයට විශ්විද්‍යාල තුළට නිදහස ගෙන යාම යැයි කියයි.

විශ්ව විද්‍යාල නිදහස රජයේ ඇමති වරුනට ඇති කළ හැක්කක් නොව විශ්විද්‍යාලයේ විදුවතුනට පමණක් කළ හැක්කකි. රාජ්‍ය මර්ධනයට කොටු කළ විශ්විද්‍යාල වනාහි ඇත්ත විශ්වවිද්‍යාල නොවේ. අද විශ්ව විද්‍යාලවල ආචාරවරුනට පවා නිදහසක් නැත. ඔවුනටද පවතින රජයට ආවැඩීම තුළින් පමණක්ම තමන්ගේ වුවමනා එපාකම් ඉටුකර ගත හැකි කාලයක් අවතීරණ වී ඇත.

අද එස්. බි. දිසානායකට හිමි කාර්ය වී ඇත්තේ අඩු පඩි ලබන වේතන දාරින්ගේ දරුවන්ගේ අධ්‍යාපන නිදහස අහිමි කර දැමීමේ අමිහිරි කාර්යයි. ඔහු එය ඉතා සතුටින් කරණ බවක් පෙනෙන්නට ඇත. එය දෛවයේ සරදමකි. අද ලංකාවේ අඩු පඩි ලබන වේතනදාරීන් සමඟ රජය ගෙන යන මාහා යුද්ධයේ තොල්කයෙකු බවට ඔහු පත්ව ඇත.

Tell a Friend