බොක්සිං මංජුට තහනම් උත්තේජක චෝදනාවක්

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළලේ දී බොක්සිං ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ මංජු වන්නිආරච්චි නැන්ඩ‍්‍රලෝන් තහනම් උත්තේජකය භාවිත කර ඇති බවට එහි සංවිධායකයන් විසින් මෙරට ඔලිම්පික් කමිටුව වෙත වාර්තාවක් එවා තිබේ. ක‍්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාපවසා ඇත්තේ මීට ප‍්‍රතිචාර දැක්වීම සඳහා බොක්සිං සංගමයේ නියෝජිතයන් සහ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ වෛද්‍ය අංශ සමග හෙට (25) සාකච්ඡාවක් පවත්වන බවයි. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළලේ දී මංජු වන්නිආරච්චි ශ‍්‍රී ලංකාව වෙනුවෙන් රන්පදක්කමක් ජයග‍්‍රහණය කළේ වසර 72ක විරාමයකට පසුවය. කෙසේ නමුත් තහනම් උත්තේජක චෝදනා සනාථ කිරීමට නම්ල ඔහුගේ බී සාම්පල පරීක්ෂාවක් ද සිදුකළ යුතු බව සඳහන්ය.

එසේ වුවද පළමු මුත්‍රා සාම්පල් පරීක්ෂණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන්නේනම් ඒ සම්බන්ධයෙන් යළි පරීක්ෂණයක් කරන ලෙස අභියාචනා කිරීමේ අවස්ථාව වන්නිආරච්චිට හිමිව ඇතැයිද කියැවේ. මෙම චෝදනා එල්ලවීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන් මංජු වන්නිආරච්චිගෙන් මේ පිළිබඳ විමසා ඇතත් වන්නිආරච්චි එහිදී සඳහන් කර ඇත්තේ තමන් දැනුවත්ව තහනම් උත්තේජක භාවිතා නොකළ බවයි. එසේ වුවද තමන්ට ඇදුම රෝගය පවත්නා බැවින් ඇදුම රෝගයට ප්‍රතිකාරයක් ලබාගත් බව හෙතෙම සඳහන් කර තිබේ. මේ අතර ජාතික ඔලිම්පික් කමිටුව විසින් මංජු වන්නිආරච්චිට කරුණු දැක්වීම සඳහා දින 14 ක කාලයක් ලබා දී ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි.


Tell a Friend