අපට දැන් ලැජ්ජ නැහැ

අපි පුච්චනකොට බෑන් කී මූන්ගෙ පඹයො ලොක්ක එහෙ ගිහින් එයත් එක්ක ෆො‍ටෝ ගන්නව. මේක දකින කාට හරි හිතෙන්න පුලුවන් අපිට වස ලජ්ජාවයි නේද කියල. අනේ එහෙම නෑ.


අපි සොල්හෙයිම් පන්නන්න කතා කරන කොට ලොක්ක පරණ කතා අමතක කරල අලුත් ජීවිතයක් පටන් ගමු කියල නොර්වේ රටට කියනව. කෙනෙකුට හිතෙයි අපි නේද පීචං වුනේ කියල. අනේ එහෙම එකක් නෑ.


සරත් ෆොන්සේකා වීරයෙක් කියල ජනතාව ‍උඩ දැම්මට පස්සෙ මෙන්න මේකා දේශද්‍රෝහියෙක් කියල ආණ්ඩුව කියනව. ඇත්තටම උඩ දාපු අපිට පණ පලයං පෙරේදා කියල හිතෙයි කියල සමහරු හිතනව. අයියෝ එහෙම එකක් නෑ.


සරත්‍ ෆොන්සේකා දේශපාලනය කළා කියල ඔහුගේ තරු ගලවපු ආණ්ඩුවෙ ඉහළම නිලධාරීන්ම ප්‍රසිද්ධියේම දේශපාලනය කරනව. ඒත් එහෙම නිලධාරීන් දක්ෂ මිනිසුන් ලෙස හදුන්වන්න අපට ලැජ්ජාවක් නැහැ.


ආණ්ඩුවෙ අය එහෙම කියන කොට විපක්ෂයෙ අය මෙහෙම කියනව.


ඒකාධිපතියෙක් වංචා කාරයෙක් ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක් කියල අපි රජතුමාගෙ පඹයො පුච්චනකොට රනිල් ලොක්ක ගිහිල්ල කෝපි බීල එනව. හිතුවද අපට ලජ්ජැයි කියල. නෑ එහෙම එකක් දැනෙන්නෙම නෑ.


රට ඒකාධිපතිවාදයට ගෙනියන්න 18 සංශෝධනය ගේනව කියල අපි ආණ්ඩුවට විරෝධය පාන කොට අපේම චන්දයෙන් ඒකාධිපති වෙනවට විරුද්ධ වෙනව කියල දහඅතේ පොරොන්දුවෙල පාර්ලිමේන්තු ගිය කට්ටිය වැට පැනල පිල් මාරු කරනව. ඔය ගොල්ලන්ට හිතෙනව ඇති විපක්ෂයෙ අපට ලජ්ජයි කියල. නෑ එහෙම එකක් දැනෙන්නෙ වත් නෑ.


ඒ විතරක් නෙවෙයි ඇමතිවරුන්ටත් නිලධාරීන්ටත් සංඝයා වහන්සේලාටත් තව බොහෝ දෙනෙකුටත් ලැජ්ජාව නැති වෙල.


නව යොවුන් ආදරවන්තයන්ට ආදර උයන් හදන්න කතා කරපු උසස් අධ්‍යාපන ඇමති කෙනෙක් යටතෙ තියෙන විදුදය සරසවියේ උපකුලපති තුමා ගිම්හාන නිවාස හා කොන්ක්‍රීට් බංකු කඩා ඉවත් කරනව. ඒව තිබුනහම කොල්ලො කෙල්ලො ලව් කරනව කියල. ඒත් උයන් හදන්න කතා කරපු ඇමතිතුමාට ඒකෙන් ලජ්ජාවක් ඇතිවෙන්නෙ නෑ.


එතකොට ඒ සරසවියෙ ඉන්න ආචාර්ය මහාචාර්යවරුන්ට? ඒ ගොල්ලො ලජ්ජාව නැති කර ගෙන ගොඩක් කල්. මේ වගේ පිස්සු හටනක් උපකුලපති හැටියට සනාතන සභාවෙන් යෝජනා කරන කොටත් ඒ ගොල්ලන්ට ලැජ්ජාව නැතිවෙලයි තිබුනෙ.


මතට තිත තියන රජ කෙනෙක් රජවාසල අඩගහල ‍බොන්න දෙනව. ඒ ගැන ප්‍රශ්න ඇහැව්වහම සංඝයා වහන්සේ කෙනෙක් මතට තිත තියන්න ලෝකේ ඉස්සරහ කතා කරාට ගෙදර ඇතු‍ළෙ මතින් සංග්‍රහ කරන්න ඒක බාධාවක් නෙවෙයි කියල ප්‍රසිද්ධියේ ලැජ්ජාවක් නැතිවම කියනව. ඒක අහන අපට මතට තිත තියෙන ආණ්ඩුව ගැනවත් එහෙම කිය කිය මතින් සංග්‍රහ කරන රජතුමා ගැනවත් එහෙම සංග්‍රහ කරන රජතුමාව කැත නැතිව ආරක්ෂා කරන්නට ඉදිරිපත් වන සංඝයා ගැනවත් අපුලක් දැනෙන්නේ නැහැ. මේ හොර නඩයට කඩේ යන එක ගැන එහෙම යන අයට ලජ්ජාවක් දැනෙන්නේ නැහැ.


ලංකාවෙ මිනිසුන්ගෙ ලජ්ජාව නැතිවෙල දැන් ගොඩක් කල් වෙනව.


පක්ෂ විපක්ෂ හැමෝගෙම දැන් එහෙම එකක් නෑ.


අපට දැන් ලැජ්ජ නැහැ.


ඒ නිසා දැන් හෙලුවෙන් ඉන්න වුනත් පුලුවන්. ඇත්තටම ඇදුම් ඇදන් හිටියට ඉන්නෙ හෙලුවෙන්ම තමා. 

- Beyond Frame



Tell a Friend