The Most/Recent Articles

Showing posts with label sri lanka. Show all posts
Showing posts with label sri lanka. Show all posts

හේමසිරි ප්‍රනාන්දුගේ ආත්මවංචාව

 ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ධූරයට පත්වීමේදී එම තනතුරට වඩාත්ම සුදුසු පුද්ගලයා තමන් බව හේමසිරි ප්‍රනාන්දුට සිතුනේ මන්ද යන ගැටලුව කිසිවකු හෝ ඔහුගෙන් ඇසූවේද?  එසේම, ජනාධිපතිවරයා ඔහුට නොපණත්කම් කළේ තම තනතුරින් ඉල්ලා අස්නොවුණේ ඇයිද යන්න ඔහු පැහැදිළි කළේද? 


කතුවැකිය 

පසුගිය ආණ්ඩුව අන්ද-මන්ද වූ ආණ්ඩුවකි.  අන්ද-මන්ද ආණ්ඩුවක් බලයට පැමිණි පසු එමඟින් වාසි ලබා ගැනීමට බොහෝ පිරිස් බලාගෙන සිටිති. එය ඒ අකාරයෙන්ම පසුගිය ආණ්ඩුව සමයේදී සිදු විය. රාජකාරි කටයුතු සිදුකළ පිරිස්  ව්‍යාජ චෝදනා වලට ගොදුරු කරනු ලැබූ අතර කිසිවක් නොකර තම රාජකාරිය අපහරණය කළවුන් කිරුළු පළඳනු ලැබුහ. මීට කදිම නිදසුන මෙරට ආරක්ෂක අංශයට සහ පොලිස් දෙපාර්තමේන්තුවට සිදු වූ වින්නැහිය වේ. එම දිරා යෑමේ ප්‍රතිඵලය ඉතාම දරුණු විය. පාස්කු දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය  එම බිඳ වැටීම සංඛේතවත් කරන සිදුවීමකි. බොහෝ දෙනෙකු නගන චෝදනාව වන්නේ එම ප්‍රහාරය වලක්වා ගත හැකිව තිබුණු ප්‍රහාරයක් බවයි . දෙයක් සිදු වූ පසු ඒ ගැන අර්ථකථනය කිරීම ඉතාම පහසුය.  සම්ප්‍රදායික කියමනක් වන, ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් දුරට පිළිතුර දාර්ශනික වේ. 2019 වසරේ පාස්කු දිනදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන බොහෝ දෙනෙකු සඳහන් කරන ප්‍රකාශ ගැන කීමට ඇත්තේද එයයි. එය රාජ්‍යය යාන්ත්‍රණයක සිදු වූ සාමුහික අසමත්වීමක් නිසා මුහුණ දීමට සිදු වූ කටුක සහ දරදඬු යථාර්ථයකි. 


ගහනවයි කියලා දැනගෙන හිටියා ආයුබෝන්වන්ඩ ~ එහෙත් මෙහෙම නෙළයි කියලා හිතුවේ නෑ!  ඒ වුණාට මම තමයි ආරක්ෂක ලේකම් හොඳේ? 

මෙරට රාජ්‍යය බුද්ධි සේවයේ හිටපු  අධ්‍යක්ෂකවරයා පසුගිය සති කිහිපය පුරාම මෙරට ප්‍රධාන පෙළේ ජනමාධ්‍යය නාලිකා වලින් ප්‍රසිද්ධ කරනු ලැබීය. ඒ පාස්කු ප්‍රහාරය ගැන විමසන රාජ්‍යය  කොමිසමකට පැමිණ, තම රාජකාරි කටයුතු ගැන හෙළිදරව් කරන ආකාරයයය.  එසේම, කොමිසමේ සාක්ෂි දීමට සිටි අනෙකුත් සාක්ෂි කරුවන්ගේ නීතිඥවරුන් තම ස්වාමිවරුන් සාදාරනීකරණය කිරීමට උපරිමයෙන් උත්සහ ගනු ලැබුණු ආකාරය ඒ ගැන පල වූ වාර්තා කියවීමෙන් පෙනේ. ඇතැමුන්ගේ හැසිරීම් අපුල දනවන්නේය. බුද්ධි සේවාවක විෂය පතය දන්නා කිසිවෙකු මෙම නීතිඥවරුන්ගේ හැසිරීම අනුමත නොකරන බව අපේ විශ්වාසයයි.  

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාද සාක්ෂි ලබාදුන් නිලධාරීන්ගෙන් අයෙකි. ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ධූරයට පත්වීමේදී ඔහු එම තනතුරට වඩාත්ම සුදුසු පුද්ගලයා බව ඔහුට සිතුනේ මන්ද යන ගැටලුව කිසිවකු හෝ ඔහුගෙන් ඇසූ බවක් නොපෙනේ. එසේම, ජනාධිපතිවරයා ඔහුට නොපණත්කම් කළේ නම් ඉල්ලා අස්නොවුණේ මන්ද යන්න ඔහු පැහැදිළි කළ යුතුය. 

ආරක්ෂක අමාත්‍යංශයට පත් කරනු ලැබූ අනෙකුත් ලේකම්වරුන් ඉතාම අසාර්ථක පුද්ගලයින් වූ නිසා හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජනාධිපති මෛත්‍රිපාල මහතාගේ අවසන් තෝරා ගැනීම විය. එනම් හේමසිරි ප්‍රනාන්දු යනු වසර පහක් වැනි කාලයක් තුළදී  ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධාන පරිපාලන තනතුර සඳහා  හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තෝරාගත් හතරවන ලේකම්වරයා වේ. ජාතික ආරක්ෂාව නමැති විෂය ගැන මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයින්ගෙන් අයෙකු වන සිරිසේන මහතාට තිබු අවබෝධයේ ප්‍රමාණය මින් පෙනේ. එසේම, තනතුරු වලට පත්වූ අයවලුන් එම ධූරයේ ගරුත්වය රැකගෙන, ඔවුහුගෙන් රාජ්‍යය සහ එහි නායකත්වය බලාපොරොත්තු වූ කටයුතු සිදු කළේද යන්න විමසා බැලිය යුතු කාරණයකි. 

යහපාලනය යටතේ පරිපාලනය වූ ආරක්ෂක අමාත්‍යංශයේ පළමු ලේකම් ලෙස, බස්නායක මහතා පත්විය. ඔහුට එම ධූරය ලබා දෙනු ලැබුවේ පරිපාලන සේවයේ ඔහුගේ සේවා කාලය ගණනය කිරීමෙන් පසු ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා ඔහු වූ නිසාය. ඉන් පසු සිරිසේන මහතාගේ මිත්‍රයෙකු වූ, ආරක්ෂක කටයුතු ගැන කිසිම දැනුමක් නොමැති නමුත් පරිපාලන කටයුතු ගැන දැනුමක් තිබු හෙට්ටිආරච්චි මහතා පත් කරනු ලැබීය. ඉන් පසුව කපිල වෛද්‍යරත්න මහතා එම ධූරයට පත්කරනු  ලැබීය. ඔහු ජාතික ආරක්ෂාවට අදාළ සියලුම විෂය පථය තම නීති දැනුම පමණක් පදනම් කරගෙන අවබෝධ කර ගැනීමට උත්සහ කළේය. මොවුන් තිදෙනාම ශෝචනීය ලෙස අසමත් වූ ලේකම්වරුන් වූහ. ඉන් පසු එම ධූරයට පත් වූයේ නාවික හමුදාවේ කලක් සේවය කළ හේමසිරි ප්‍රනාන්දුය. ඔහු එම ධූරයට පත්වීම සඳහා විශාල පරිශ්‍රමයක් දරනු ලැබීය. ඔහු එම ධූරයට ජනාධිපතිවරයා විසින් බලෙන් පත් කරනු ලැබූ අයෙකු නොවේ. එම තනතුර ලබා ගැනීම සඳහා හේමසිරි මහතා මහත්  පරිශ්‍රමයක් දරනු ලැබීය. 

හේමසිරිගේ ඉතිහාසය දේශපාලන ආවතේවකම් සිදු කොට තනතුරු ලබා ගැනීමේ සිදු වීම් වලින් පිරිතිබෙන එකක් බව ඇතැමුන් කියති. එසේම, බොහෝ දෙනෙකු ඔහු හඳුන්වනු ලබන්නේ, අසමජ්ජාති අවිනීත හොරෙක් ලෙසය. එම චෝදනාවල ඇත්ත හෝ නැත්ත කෙසේ වෙතත්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ධූරයට පත් වූ පසු ඔහු විසින් සිදුකළ කටයුතු මොනවාද යන්න සොයා බැලිය යුතුය. එසේම, ඔහුගේ නියෝගය පරිදි සිදු වූ ගනුදෙනු ගැන වෝහාරික විඝණනයක් පැවැත්විය යුතුය. එවිට ජනාධිපති සිරිසේන පමණක් නොව ඔහුගේ බෑණා මෙන්ම හේමසිරි හෝ ඔහුගේ ඥාතියෙකු වන ශ්‍රී නිස්සංක ආදී පුද්ගලයින් විසින් සිදුකළ කටයුතු වල සැබෑව හෙළිවනු ඇත. මොවුන්ට අවශ්‍යය වූයේ රටේ ජාතික ආරක්ෂාව බිල්ලට දී ලාබ ඉපයීම පමණි. ඒ නිසා ඉහළ මිලකට ගෙවනු ලැබූ තුවක්කු නැති නැව් සහ වැසිකිලි කාමර ප්‍රමාණයේ මෙහෙයුම් මැදිරි ඇති නෞකා මෙරට නාවික හමුදාවට ලබා දී ඇත. මෙම ලැයිස්තුව බොහෝම දීර්ඝ එකකි.  . 

හේමසිරි වැනි පුද්ගලයින් රටේ තීරණාත්මක තනතුරු වලට පත්වූයේ කෙසේද? මෙලෙස පත්වූ බොහෝ දෙනෙකු ජනාධිපති සිරිසේනගේ අභිමතය පරිදි පත් වූයේද? එසේත් නොවේනම්, විවිධාකාර පන්දම්කාරයින්ගේ වුමණාවට පත්වූයේද? යන්න දන්නේ එලෙස පත් වූ අයවලුන් සහ පත්කරනු ලැබූ පුද්ගලයා පමණි. මොවුන්ට තනතුරු ලබා දීමේදී ඔවුහු විසින් සිදුකළ යුතු රාජකාරී කටයුතු ගැන අවබෝධයක් ඔවුහුට තිබුණේද යන්න සොයා බැලුවේද? යන ගැටළු වලට සාධනීය පිළිතුරු  අත්‍යවශ්‍යය වේ. පාස්කු ප්‍රහාරයට පසුබිම සකස් වූයේ කෙසේද යන්න සොයා ගත හැකිවන්නේ එවිටය. 

පාස්කුදින සිදු වූ ප්‍රහාරය ගැන හේමසිරි කියන කතාවක් තිබේ. ඔහුට අනුව එම ප්‍රහාරයේ වගකීම, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා විසින් භාරගත යුතුය. ඔහු එහිදී කියා ඇත්තේ, ඔහු පමණක් නොව වැඩතහනමට ලක් වී සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද තම රාජකාරී නිවැරදිව අකුරට සිදු කළ බවයි. රාජ්‍යය බුද්ධි සේවය අදාළ ප්‍රහාරය ගැන ස්ථීර වශයෙන්ම සඳහන් කොට ලිඛිත ලියවිල්ලක් තමන්ට නොදුන් බව ඔහු කියන්නේය. එසේම මෙහි සාක්ෂිදුන් බොහෝ දෙනෙකු  කියා සිටියේ,  අදාළ ප්‍රහාරය මෙහෙවනු ලැබූ ප්‍රධාන පුද්ගලයෙකු වන සහරාන් ත්‍රස්තවාදියෙකු ලෙස හැඳින්වීමට රාජ්‍යය බුද්ධි සේවය අසමත් වූ බවයි. (කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පළමුව නම් කරනු ලැබුවේ 1998 සිට 2002 දක්වා කාලය තුළදීය. ඉන් පසු යළිත් කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් බවට නම් කරනු ලබන්නේ 2009 වසරේදීය.  නමුත් ප්‍රභාකරන් පළමු නිරායුධ මනුෂ්‍යය ඝාතනය කරන්නේ 1975 දීය. කොටින් ත්‍රස්තවාදී ලෙස නම් නොකළ බව කියමින් මෙරට ආරක්ෂක හමුදාව ඔවුන්ට එරෙහිව සටන් නොකරන ලෙස එකල සිටි ලේකම්වරුන් උපදෙස් දුන්නේද? ) මේ සියලුම කතා තනි තනි පුද්ගලයින් තමන්ගේ අසමත්කම් වසා ගැනීමට දරන උත්සාහයන් පමණි. 

හේමසිරි පාස්කුදින ප්‍රහාරය සිදුවීමෙන් මොහොතකට පසු ජාතික සහ ජාත්‍යන්තර මාධ්‍යය හමුවේ කියා සිටියේ, ප්‍රහාරය සිදුවන බව දැනගෙන සිටි නමුත්, එය මෙතරම් බරපතළ ප්‍රහාරයක්වේ යැයි තමන් නොසිතු බවයි. ඔහුගේ අමනකම සහ අවිද්‍යාව තේරුම් ගැනීමට එම ප්‍රකාශයම ප්‍රමාණවත් වේ. නමුත්  ඔහු දැන් කියන්නේ තමන් වගකීම් නිවැරදිව ඉටුකළ බවයි. ඉන් ඔබ්බට යමින් ඔහු ප්‍රහාරයේ වගකීම, රාජ්‍යය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයා මත පැටවීමට උත්සහ දරන්නේය. මෙය ඉතාම අවලස්න්න සහ අසමජ්ජාති කටයුත්තකි. 

හේමසිරි ප්‍රනාන්දු නාවික හමුදාවේ සේවය කළ අයෙකි. කොටින් අහවල් ස්ථානයට පහරදීමට නියමිත යැයි වාචිකව පණිවිඩයක් ලැබුණු පසු නාවික හමුදානිලධාරියෙකු වශයෙන් හේමසිරි මහතා දත-කට මැදගෙන උඩ බලාගෙන සිටිනු ඇතිද? එසේ නොමැතිනම්, නාවික හමුදාවේ බුද්ධි අංශයෙන් නිවැරදිව විශ්ලේෂණය කරනු ලැබූ  ලිඛිත  තොරතුරක් ලැබෙන තෙක්, නිහඬව සිටුනු ඇතිද? හේමසිරි ප්‍රනාන්දුගේ ව්‍යාජකම තේරුම් ගැනීමට එසේනම් නොහැකිද?  හිටපු ජනාධිපති සිරිසේන සමාව ගත යුත්තේ පාස්කු ප්‍රහාරය සාර්ථක කර ගැනීමට හේතු වූ මෙවැනි මෙගලමෙනියානු නිලධාරීන් රටේ වැදගත් ධූරවලට පත්කිරීම ගැනය.  

හේමසිරි මහතා සහ ඔහුගේ සගයින් කියන පරිදි බුද්ධි අංශයකට තොරතුරු ලැබුණු පසු එම තොරතුරු තහවුරු කරගෙන ලබා දීම පමණක් ප්‍රමාණවත් නැත. එම තොරතුරු විශ්ලේෂණය කොට ඒවා, ලිඛිතව ලියා තමන්ට ලබා දිය යුතුය. ඉන්පසු පමණක් ඔහු එම තොරතුරු මත පදනම් වී කටයුතු කරනු ඇත. මොන විහිලුවක්ද මේ?   මෙවැනි කතා කියන වාචාලයින් රාජ්‍යය සේවයට තබා මල්ශාලාවක ලේකම්ධූරයකට හෝ සුදුසු වන්නේද යන්නේ රටේ ජනතාව තීන්දු කළයුතුය.   

සමස්ථ සිදුවීම තුළ  එක් කරුණක් පැහැදිළිය. එනම්, හේමසිරි ඇතුළු කණ්ඩායමට ජාතික ආරක්ෂාව සහ ඊට අයත්  විෂයපථය  ගැන ප්‍රාමාණික දැනුමක් නැති බවයි. එසේම, බුද්ධි අංශයක කාර්යය භාරයය සහ ඉන් ලබාදෙන තොරතුරු මත පදනම් වී කටයුතු කිරීමේ වගකීම ඔවුහු නොගත් බවයි. ඔවුහු දන්නේ, කාගේ හෝ දෙපතුල  ලෙව කා තනතුරක් ලබාගෙන වැජඹීමට පමණි. නමුත් කුමන හෝ අභියෝගයක් එල්ල වූ විට තමන්ගේ ඇඟ බේරා ගෙන වෙනත් අයෙකු බිල්ලට දීමට ඔවුහු දනිති. අවලස්සන සහ දුර්ගුණ ආත්මවංචාවේ සැබෑ ස්වරූපය මෙයයි. පාස්කු ප්‍රහාරයෙන් විපත පත් වූ වින්ධිතයින්ට සාධාරණය ඉටු කිරීමටනම් මෙම ආත්මවංචාවේ යෙදෙන පුද්ගලයින් වගවීමට නතු කළ යුතුය. 

පාලකයන් වගේම ජනතාවත් පටු ආකල්පවලින් මිදිය යුතුයි

මෙය අප සැමගේ අතීත ක්‍රියාකාරකම් පිළිබදව නැවත වාරයක් සිතා කටයුතු කිරීමට ස්වභාවධර්මය විසින් ලබාදුන් අවස්ථාවක්. ආත්මාර්ථකාමීත්වය පසෙකලා අවංක පොදු හැඟීමෙන් යුක්තව ජනතාවත් රටත් මේ මොහොතේ ආරක්ෂා කරගත නොහැකි වුවහොත් එකී ස්වභාවධර්මයම අපට නැවත අවස්ථාවක් ලබා නොදෙන්න පුළුවන්. 

චිත්‍රාරත්න කළුආරච්චි 

ගොවීන්ගේ ජීවන තත්වය ඉහළ දැමීම මගින් ඔවුන්ගේ ඵලදායීතාවය වර්ධනය කළ යුතුයි. මන්ද තවමත් අපේ රටේ ගොවීන්ගෙන් අතිබහුතරයක් ජීවත් වන්නේ ඉතා පහළ ජීවන මටිටමකයි. අතරමැදියන් විශාල වශයෙන් ගොවීන් සූරාකනු ලබනවා. ගොවීන් සදහා ලබා දෙන විවිධ සහන ක්‍රමවේද දේශපාලන අරමුණුවලින් තොරව මීට වඩා ක්‍රමවත් කළ යුතුයි.



රටතුළ ස්වයං නිෂ්පාදන ක්‍රියාවලියක් අවශ්‍ය බව පෙනී යනවා....

කොරෝනා වසංගතයක් සමග සමස්ත මිනිස් වර්ගයාටම තම ක්‍රියාකාරකම්, සිතුම් පැතුම්, ඇවතුම් පිළිවෙත් හා සිය ජීවන චර්යාවන් පිළිබදව නැවත සිතා බැලීමට බලගතු පෙළඹවීමක් කර තිබෙනවා. ගෝලීය වශයෙන් සෑම ජන සමාජයක්ම ක්ෂණිකව අක්‍රිය කරවීමට සමත් වූ මෙම තත්වය සමස්ත ලෝක වැසියන්ගේම සමාජ,සංස්කෘතික, දේශපාලන හා ආර්ථික චර්යාවන්ට මෙන්ම සමස්ත ජීවන පැවැත්මටම එල්ලවී ඇති තර්ජනය අතිමහත්.

ගෝලීය ආර්ථිකය අඩපණ වීම ලොව සෑම රටකම ආර්ථිකයන් කෙරෙහි අයහපත් බලපෑම් එල්ලවී තිබෙනවා. විශේෂයෙන් තුන්වන ලෝකයේ රටක් ලෙස ශ්‍රී ලංකා ආර්ථිකයට ද මෙම බලපෑමෙන් ගැලවිය නොහැකියි. ආනයන අපනයන ආර්ථිකය කෙරෙහි ඉතා දැඩි නැඹුරුතාවයක් යොමු කර ඇති ශ්‍රී ලංකා ආර්ථිකයට ගෝලීය ආර්ථික අවපාතයන් ඉතා තදින් බලපානවා. මෙම තත්වය හමුවේ සැලකියයුතු රැකවරණයක් දේශීය ආර්ථිකයට ලබා ගැනීමට නම් රට තුළ සිදු වන ස්වයං නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් හා විද්‍යානුකූල ලෙස පවත්වා ගැනීම ඉතා අවශ්‍යයි. මේ සදහා නව තාක්ෂණය සමග දේශීය අගයන් එකතු කර නව ස්වයං නිෂ්පාදන ක්‍රියාවලියක් කරා යොමු විය යුතු අතර රජය විසින් පටු අරමුණුවලින් තොරව අවංකව ඒ සදහා අවශ්‍ය සැලසුම් සැකසිය යුතුයි. ඒ සදහා අවශ්‍ය පහසුකම් සපයා දිය යුතුයි. ශ්‍රී ලංකාව කියන්නේ භෞතික හා මානව සම්පත්වලින් අනූන වූ රටක්. අවශ්‍ය වන්නේ ශක්තිමත් සැලසුම් හා නිසි ලෙස ක්‍රියාවෙහි යොමු වීම සදහා අවශ්‍ය අවංක නායකත්වයක් හා පාලන ක්‍රමවේදයක්.

ජනතාව ආරක්ෂා කරමින් රට ඉදිරියට ගෙන යන්න නම් ඔබගේ යෝජනා මොනවාද ?

මෙය අප සැමගේ අතීත ක්‍රියාකාරකම් පිළිබදව නැවත වාරයක් සිතා කටයුතු කිරීමට ස්වභාවධර්මය විසින් ලබාදුන් අවස්ථාවක්. ආත්මාර්ථකාමීත්වය පසෙකලා අවංක පොදු හැඟීමෙන් යුක්තව ජනතාවත් රටත් මේ මොහොතේ ආරක්ෂා කරගත නොහැකි වුවහොත් එකී ස්වභාවධර්මයම අපට නැවත අවස්ථාවක් ලබා නොදෙන්න පුළුවන්. සියඵ දේශපාලනඥයන් තමතමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ අනුව කටයුතු කිරීම නවතා අවංකව තම හදවත්වලට එකඟව රට දැය ජනතාව පිළිබදව සිතා කටයුතු කරන නව දේශපාලන සංස්කෘතියකට මූලාරමිභය සැලසිය යුතුය. මහ මැතිවරණයෙන් කුමන දේශපාලන පක්ෂය ආණ්ඩු පිහිටුවූවත් අඩුම වශයෙන් රට යම් ඉහල ආර්ථික සමාජ මට්ටමකට ළගා වන තෙක් වත් සියඵ දෙනා එක් අදහස් ඇතිව රාජ්‍ය නායකයා සමග එකතු වී සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.

මේ මොහොතේ රජය විසින් දරන වියදම් හැකි තරම් අවම කර ගනිමින් ඒවා ජනතාව යළි නගාසිටුවීම සදහා යෙදවිය යුතු අතර රටතුළ පවතින නිෂ්පාදන අවස්ථා තවතවත් පුඵල් කර අපනයන වර්ධනය කරගැනීමේ ක්‍රියාවලියකට වහ වහා යොමු විය යුතුයි. විශේෂයෙන් පාලකයන් මෙන්ම ජනතාව ද මේ අවස්ථාවේ තමා තුළ චින්තන විප්ලවයක් ඇතිකරගෙන නව ආකල්ප අනුව කටයුතු කළ යුතුයි. පටු ආකල්පවලින් අත්මිදිය යුතුයි.

ලංකාවේ පාසල් ඉක්මනට විවෘත කළ යුතුයැයි ඔබ හිතනවාද?

කොරෝනා වසංගතයත් සමග උද්ගත වූ මෙම තත්වය නිසා පාසල් අධ්‍යාපනයට සිදු වූ පාඩුව සුඵකොට තැකිය නොහැකියි. ක්‍රමවත් අධ්‍යාපනික ධාරාවට සැලකියයුතු පහරක් මෙයින් එල්ල වුණා. නමුත් රටෙහි සමස්ත අධ්‍යාපනය කඩාකප්පල් වීමට මෙය හේතුවක් නොවනවාසේම සමස්ත පාසල් දරු ප්‍රජාව මෙම වසන්ගතයෙන් ආරක්ෂා කර ගැනීම සැමගේ වගකීමයි. එම නිසා මේ මොහොතේ දී හදිසියේ පැසල් විවෘත කිරීම පිළිබදව වරක් දෙවරක් නොව තෙවරක් සිතිය යුතුයි. ඒ සදහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් සැකසිය යුතු අතර මේ වන විට බොහෝ පාසල්වල සිදු කරනු ලබන ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදය තවම අපේ රටට නොගැළපෙන බවනම් කිවයුතුමයි.

රට පුරාම මේ වන විට නිවාස මුල් කර ගෙන ගෙවතු වගා වැඩසටහන ක්‍රියාත්මක වනවා එහි දකින අඩුපඩු සහ ගෙවත්තේ වටිනාකම සදහන් කළොත් ?

ස්වයං නිෂ්පාදන ක්‍රියාවලියකට යාමේදී තම අවශ්‍යතා තමා විසින්ම ඉටු කර ගැනීමට පෙළඹීම ඉතා හොද යොමුවීමක්. තමන්ගේ ගෙවත්ත තුළ තමාට අවශ්‍ය මූලික ආහාර ද්‍රව්‍ය වගා කර ගැනීම තුළින් පවුලේ ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙනවා. එසේම එය ආර්ථිකමය වශයෙන්ද වාසිදායකයි. නැවුම් ආහාර තමගෙවත්තෙන් ලැබීමෙන් ජනතාවගේ සෞඛ්‍ය සම්පන්නභාවය ආරක්ෂා වෙනවා.

රට පුරාම ගොවි ජනතාව මේ වන විට වගා කටයුතු ආරමභ කර රටේ ආර්ථිකය ජය ගැනීමට මහත් වෙහෙසක් දරනවා. ඒ සේවාව දකින අයුරු හා දැනට ගොවීනට බලපා ඇති බාධක මොනවාද?

කුමන රජයක් පාලනයක් පැවතියත් ගොවි ජනතාව හා කෘෂිකර්මාන්තය රැකගැනීමටත් එහි අභිවෘද්ධියටත් මූලිකත්වයක් ලබාදී කටයුතු කළ යුතුයි. අතීතයේදීත් වර්තමානයේදීත් රජයන් විසින් ඒ වෙනුවෙන් බොහෝ දේ සිදුකළා. නමුත් ඒවා කොතරම් දුරට ප්‍රමාණවත්ද යන්න යළි සිතා බැලිය යුතුයි. ගොවීන්ගේ ජීවන තත්වය ඉහළ දැමීම මගින් ඔවුන්ගේ ඵලදායීතාවය වර්ධනය කළ යුතුයි. මන්ද තවමත් අපේ රටේ ගොවීන්ගෙන් අතිබහුතරයක් ජීවත් වන්නේ ඉතා පහළ ජීවන මටිටමකයි. අතරමැදියන් විශාල වශයෙන් ගොවීන් සූරාකනු ලබනවා. ගොවීන් සදහා ලබා දෙන විවිධ සහන ක්‍රමවේද දේශපාලන අරමුණුවලින් තොරව මීට වඩා ක්‍රමවත් කළ යුතුයි. ගොවියාට වටිනාකමක් ලබාදිය යුතුයි. දිවංගත ගාමිණී දිසානායක මැතිතුමාගේ කාලයේ මහවැලි ව්‍යාපාරයේදී ඇති කළාමෙන් ගොවියාට නිසි ඇගයීමක් නමිබුවක් ලබාදිය යුතුයි.

මේ අවස්ථාවේදී ජනතාව කියනවා හැකි ඉක්මනින් ලංකාවේ වැවි ටික ප්‍රතිසංස්කරණය කළ යුතු බව ඒ සදහා ලබා දෙන යෝජනා මොනවාද?

කෘෂිකර්මාන්තයේ සංවර්ධනයයක් අපේක්ෂා කරනවානමේ අනිවාර්යයෙන්ම වැව් ප්‍රතිසංස්කරණය කළ යුතුයි. එහි විවාදයක් නැහැ. කෘෂි ආර්ථිකයේ කොදු නාරටිය වාරි කර්මාන්තයයි. වැව් ඇළමාර්ග ක්‍රමවත් ලෙස ප්‍රතිසංස්කරණය කිරීම සදහා විද්‍යාත්මක කඩිනම් වැඩ පිළිවෙලකින් තොරව කෘෂිකර්මාන්තයේ දියුණුවක් අපේක්ෂා කිරීම සිහිනයක් පමණයි.

රජය යම් අයවැයක් ඉදිරිපත් කර මුදල් වෙන් කිරීමේදී වසර මැදදී තමයි සංවර්ධන කටයුතුවලට මුදල් ලැබෙන්නේ ඒ නිසා රටතුළ සංවර්ධන කටයුතු අඩාල වන බව ජනතාව පවසනවා. මේ සදහා කළ යුතු දේ කුමක්ද?

තවමත් අපේ රටේ නිසි විද්‍යාත්මක වූ සංවර්ධන සැලසුම් සැකසීමක්, ක්‍රියාත්මක වීමක් හා මෙහෙයවීමක් සිදුවන්නේ නැහැ. දේශපාලනික අරමුණු හා රාජ්‍ය නිලධාරීවාදය මූලික වනවා මිසක් සැබෑ සංවර්ධන අරමුණු දැකීම හරිම අඩුයි. උදාහරණයක් ලෙස ක්‍රමසම්පාදන විෂය සදහා ලංකාවේ ව්‍යවස්ථාපිත සේවාවක් පිහිටුවා ඇතත් එම කටයුත්තට ඔවුන් නිසි ලෙස යොදවා ගන්නේ ද නැතිනම් වෙනත් අය සංවර්ධන සැලසුම් හදනවාද යන්න සිතාගත නොහැකියි. දේශපානලඥයින් මෙතෙක් හදුනා නොගත් මෙවැනි සැඟවුණු තත්වයන් නිසි ලෙස හදුනාගෙන නිවැරදි කළ යුතුයි. දීර්ගකාලීන දැක්මක් සහිත විද්‍යාත්මක සංවර්ධන සැලසුම් ක්‍රමවේදයක් අපේ රටතුළ ඇති කළ යුතුයි.

සාමාන්‍යයෙන් වසරක කාලයක් සදහා සකසන සංවර්ධන වැඩසටහනකට එම වසර මුලදී මුදල් ලබාදිය යුතුයි. නමුත් අපේ බොහෝ වැඩසටහන්වලට මුදල් ලබාදීම පමණක් නොව අනුමැතිය හා ප්‍රතිපාදන ලැබෙන්නේද බොහෝ කල්ගතවීයි. මේ නිසා සංවර්ධන වැඩසටහන් බෙහෝමයක් අසාර්ථක වෙනවා. ජනතා මුදල් අපතේ යාමක් සිදුවනවා. එක් එක් සංවර්ධන ව්‍යාපෘති සදහා ගතවන කාලය නිවැරදිව තක්සේරු කර මුදල් ලබාදීම සිදු කළ යුතුයි. මේ තත්වය නිවැරදිව තේරුම් ගෙන නිසි පිළියම් ඉදිරි සංවර්ධන වැඩසටහන්වලදීවත් ක්‍රියාත්මක නොකළහොත් එය රටේ අවාසනාවක්.

අධ්‍යාපනයේ බහුවිධ අර්බුදය පිළිබඳ විශ්ලේෂණයක්

රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශවලටත්, රටේ ආර්ථිකයටත් සියලුම අධ්‍යාපන මට්ටම්වල තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කිරීමේ නොහැකියාව තවමත් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සැලකිල්ල ලැබී නැති කරුණකි. 


ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපන ක්‍රමය, එහි පෙරපාසල්, ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයීය මට්ටම දක්වා, පවතින්නේ බහුවිධ අර්බුදවලට මුහුණදෙමිනි. මෙම අර්බුදය විසඳීම වෙනුවෙන් මෑත කාලීනව ගනු ලැබූ උත්සාහයන් තුළ ඇත්තේ අර්ධ සාර්ථක වීම් හෝ සමස්ථයක් ලෙස අසාර්ථක වීම් ය. මෙම බහූවිධ අර්බුද දිගින් දිගටම පැවතීම එළැඹෙන ජනාධිපතිවරණයේ දී අධ්‍යාපනය පිළිබඳ ජනාධිපති අපේක්ෂකයන් තුළ ද විශාල උනන්දුවක් ඇති කොට තිබේ.

ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන් තම උපදේශකයන් වෙත අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීමේ වගකීම බාර දී ඇති බව වාර්තා වේ. එලෙස කෙටුම්පත් කරන ප්‍රතිපත්ති ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල මෙන්ම ප්‍රචාරක වේදිකාවල ද සමහරවිට දැනටමත් සාකච්ඡා වෙමින් තිබෙන්නට පුලුවන.



දිගින් දිගටම තියුණු වන අධ්‍යාපන අර්බුදය විසඳීම සඳහා ඇති වී තිබෙන මේ ආකාරයේ උනන්දුව වඩාත් අර්ථවත් වන්නේ නව අදහස් හා ප්‍රතිපත්ති අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පරිවර්තනීය ප්‍රතිසංස්කරණ සඳහා යොදාගත හොත් පමණි.

අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන උනන්දුවක් දක්වන වෘත්තිකයන් වන අපි ශ්‍රී ලංකාවේ සෑම මට්ටමකම අධ්‍යාපනයේ ගුණාත්මක භාවය හා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටිමු. මේ සන්දර්භය තුළ අපේ අරමුණ වනුයේ විසඳීමට තුඩු දෙනවා යැයි අප සිතන ප්‍රවේශ කිහිපයක් යෝජනා කිරීම ය. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා පෙනී සිටින ජනාධිපතිවරණ අපේක්ෂකයන්, ඔවුන්ගේ උපදේශක කමිටු, දේශපාලන පක්ෂ, රටේ පුරවැසියන් මෙන්ම ඡන්දදායකයන්ගේ ද අවධානය සඳහා පහත දැක්වෙන විග්‍රහය, දැක්ම සහ ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කරමු.

වර්තමාන අර්බුදය

විවිධ මානයන් සඳහා අවධානය යොමු කරමින් පර්යේෂකයන් හා ප්‍රතිපත්ති විශේෂඥයන් ශ්‍රී ලංකාවේ වර්තමාන අධ්‍යාපන අර්බුදය ගැන ප්‍රමාණවත් විග්‍රහ දැනටමත් ඉදිරිපත් කර ඇත. අප බලාපොරොත්තු වන්නේ සමස්ත අධ්‍යාපන අර්බුදය විසඳිය නොහැකි වීමට දායක වී ඇති පහත සඳහන් විෂමතා ගැන ද අවධාරණය කිරීමට ය. ඒවා විසඳීම සඳහා දැවැන්ත ප්‍රතිපත්තිමය මැදිහත් වීම් අවශ්‍ය වී ඇත. එම මැදිහත් වීම් කෙටි කාලීන, මධ්‍යම කාලීන හා දිගු කාලීන පදනමක් මත සිදුවිය යුත්තකි.
■ පාසල්, තෘතීය සහ උසස් අධ්‍යාපනය සඳහා වේගයෙන් වැඩි වන සමාජ ඉල්ලුම තවම පවතින්නේ ඉටු නොවන තත්ත්වයකය. එයට හේතු වන්නේ රජය විසින් පවත්වාගෙන යනු ලබන අධ්‍යාපන ක්‍රමයේ ව්‍යාප්තියට, නවීකරණයට, ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ සමාජ අපේක්ෂාවන් සපිරීමට ධාරිතාවක් දැනට පවතින අධ්‍යාපන ක්‍රමයට නොමැති වීමයි.
■ රාජ්‍ය අංශය සැම මට්ටමකින්ම සපයන අධ්‍යාපනයේ ගුණාත්මක භාවයේ සහ ප්‍රමිතීන්ගේ ක්‍රමික පරිහානිය, අධ්‍යාපනය සඳහා ඉහළ යන ඉල්ලුමට ප්‍රතිචාර දක්වා ඇති අවිධිමත් සහ හදිසි ප්‍රතිචාර නිසා තවත් ඉක්මන් වී ඇත. මේ තත්ත්වය පාසල්, වෘත්තීය පුහුණු ආයතන මෙන්ම විශ්වවිද්‍යාල තුළ ද නිරීක්ෂණය කළ හැකි ය.
■ පූර්ව ළමාවිය අධ්‍යාපනය පවතින්නේ අවිධිමත් තත්ත්වයක ය. එය ලබාදෙන සේවා නියාමනය කිරීම වෙනුවෙන් ප්‍රතීතන (Accreditation)  ආයතනයක් නැත. අධ්‍යාපන අමාත්‍යාංශයේ සෘජු ක්‍රියාකාරී මැදිහත් වීමක් නොමැතිව ප්‍රමිතිය, ගුණාත්මක තත්ත්වය, අධ්‍යාපනයේ ස්වභාවය, පහසුකම් සහ පවතින සනීපාරක්ෂක මට්ටම යාවත්කාලීන කළ නොහැකි ය. මනා අධ්‍යාපනයක් ලබාදෙන පූර්ව ළමාවිය ආයතන තිබෙන විට දල ඒවායේ  ගාස්තු පවතින්නේ සාමාන්‍ය දෙමාපියන්ට දැරිය නොහැකි තරම් ඉහළ මට්ටම්වල ය.
■ අඩු ආදායම් ලාභී හා පහළ මධ්‍යම පාංතික පවුල්වල ආර්ථික අපහසුතා නිසා එම පවුල්වල දරුවන්ගේ ඇති අඩු පෝෂණ තත්ත්වය ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානයට යොමු විය යුතු ය. මේ පවතින ඌණ පෝෂණ තත්ත්වය විශ්වවිද්‍යාල හා තෘතීක අධ්‍යාපන ආයතනවලට පැමිණෙන අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ගෙන් ද පිළිබිඹු වෙයි.
■ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට නොහැකි වී ඇත්තේ පාසල් ගුරුවරුන්ගේ ඉගැන්වීම් හැකියාව, පුහුණුව, ඇගයීම, මඟ පෙන්වීම හා වෘත්තිකභාවය යන මේවා කිසිදු පරිවර්තනයකට භාජනය නොවී පවතින නිසා ය. බොහෝ ගුරුවරුන් භාවිතා කරන්නේ එකම සහ වැරදි ඉගැන්වීම් ක්‍රමයකි. එම විධික්‍රමය,
(අ). සටහන් කියවන විට ලිවීම.
(ආ). සිසුන් ලවා ආදර්ශ පිළිතුරු කටපාඩම් කරවීම සහ ප්‍රධාන විභාගවල දී එම පිළිතුරු ලිවීමට බලපෑම් කිරීම.
(ඇ). සිසුන් ඉලක්ක ප්‍රශ්න ලෙස නම් කරන ප්‍රශ්නවලට පමණක් සූදානම් වන ලෙස පෙළඹ වීම, යන පියවරවලට සීමා වී ඇත.
■ නව කුසලතා අත්පත් කර ගැනීමට මෙන්ම නව විෂය දැනුම ලබාගැනීමට ද අවකාශ නැති බැවින් පාසල් ගුරුවරුන් බොහෝ දෙනාගේ ඵලදායී භාවය පිරිහී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට දරුවන්ගේ නිර්මාණශීලීත්වයට කිසිදු උත්තේජනයක් සැපයිය නොහැකි ය.
■ රජය හා සමාන්තරව පුද්ගලික අංශය ද අධ්‍යාපන සේවා සැපයීම නිසා පාසල් අධ්‍යාපනයේ අරමුණ සහ ප්‍රතිඵල විකෘති වී ඇත. නියාමනය නොකරන ලද පුද්ගලික උපකාරක පන්ති විසින් සිසුන්ගේ පවුල්වල අධ්‍යාපන වියදම ඉහල නංවමින් නිදහස් අධ්‍යාපනයේ පදනම් බිඳදමා තිබේ. එය විසින් පාසල් අධ්‍යාපනය අරාජිකත්වයට ද පත් කරනු ලැබ ඇත.
■ ලාභ අරමුණු කොට පවත්වාගෙන යන, කිසිදු නියාමනයකට භාජනය නොවෙන පෞද්ගලික අධ්‍යාපනය බාධා විරහිත ව ව්‍යාප්ත වීම නිසා පෞද්ගලික අංශයෙන් සැපයෙන අධ්‍යාපනයට ඇතුළු වීමත්, එයින් ප්‍රතිලාභ ලබන්නන් සම්බන්ධවත් නව සමාජ අසමානතා මතුවී තිබේ. මේ ආයතන විසින් පවත්වන විභාගවල ගුණාත්මක භාවය හා ප්‍රමිතිය සහතික කිරීමට ආණ්ඩුවේ යාන්ත්‍රණයක් නොමැත. එබැවින් ශිෂ්ටාචාරයේ සම්පතක් ලෙස අධ්‍යාපනයේ ඇති සමාජයීිය මෙහෙවර දුර්වල කිරීමේ ශක්‍යතාවය එම ආයතන සතුව ඇත.
■ රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශවලටත්, රටේ ආර්ථිකයටත් සියලුම අධ්‍යාපන මට්ටම්වල තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කිරීමේ නොහැකියාව තවමත් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සැලකිල්ල ලැබී නැති කරුණකි. සමාජයේ ඉතා සීමිත ස්තර ප්‍රමාණයකට සේවා සපයන පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන හතු පිපෙන්නාක් මෙන් බිහි වන බැවින්  රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශවල රැකියා ලබා ගැනීම සඳහා ඇති ඉඩ ප්‍රස්තා පිළිබඳ සමාජ අසමානතා ගැටලුව තිව්‍ර වීමට බෙහෙවින් ඉඩ තිබේ.
■ රාජ්‍ය අංශයට සහ වෛද්‍ය හා තාක්ෂණ වෘත්තීන්ට නව නිලධාරීන් බඳවා ගැනීම අපේක්ෂා කරමින් 1940 ගණන්වල මුල් කාලයේ තරම් අතීතයක ආරම්භ කරන ලද ප්‍රථම උපාධි සපයන විශ්වවිද්‍යාල ආයතන ඇතුළු සමස්ත උසස් අධ්‍යාපන අංශයම පවතින්නේ යාවත්කාලීන නොවූල කාලයට නොගැළපෙන තත්ත්වයක ය. යටත් විජිත අතීතයේ උරුමයක් වන මේ යල්පැනගිය විශ්වවිද්‍යාල ක්‍රමය වෙනස් කිරීමට හා නවීකරණය කිරීමට කිසිදු ආණ්ඩුවක් පියවර ගෙන නැත.
■ ගෝලීය ආර්ථික සහ ශ්‍රම වෙළෙඳපොළේ වරින් වර ඇති වන තෙරපුම්වලට ආණ්ඩුව දක්වා ඇත්තේ අවිධිමත් හා වියදම් සහිත ප්‍රතිචාරයන් ය. පාසල් හා විශ්වවිද්‍යාල ආයතන තුළ ක්‍රියාත්මක කර ඇති එවැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග තුළ සිදු වී තිබෙන්නේ රටේ අධ්‍යාපනය තිරසර ලෙස නිර්මාණය කිරීමට දේශීය වශයෙන් ගොඩනැගුනු දැක්ම හා පර්යාවලෝක දිගින් දිගටම නොසලකා හැරීම ය. දේශීය විද්වතුන්ගේ නිර්මාණශීලී යෝජනා නොසලකා හැරීමේත්, එහි ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපන අංශයේ වෙනස්කම් ඇති කිරීමට ඔවුන් දක්වන උදාසීනත්වයේත් ප්‍රතිවිපාකය වී ඇත්තේ සෘජු පාර්ශ්වකරුවන් එම ප්‍රතිසංස්කරණවලට සහභාගි නොවීමයි.
■ ශ්‍රී ලංකාවේ තෘතීය හා වෘත්තීය පුහුණු අංශය අධ්‍යාපනයේ ශක්තිමත් ඉදිරිගාමී කොටසක් බවට පත් කිරීමට තවමත් හැකි වී නැත. එය අවුරුදු 16ට වැඩි පාසල් හැර යන තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සඳහා සූදානම් කිරීම අරමුණු කරන්නක් වුවත්, ප්‍රමාණවත් ලෙස තරුණ තරුණියන් ආකර්ෂණය කර ගැනීමට එම අංශය අසමත් වී ඇත. ඒ සඳහා හේතු වී ඇත්තේ,
(අ). නව පරම්පරාවේ තරුණ තරුණියන්ට ලැබෙන පාඨමාලා සහ පුහුණුව ආකර්ෂණීය නොවීම.
(ආ). ජීවත් වීමට අවශ්‍ය තරම් ශිෂ්‍යත්ව දීමනාවක් නොලැබීම.
(ඇ). ශිෂ්‍යාවන්ගේ වෘත්තීය අපේක්ෂාවලට ගැලපෙන ආකාරයට පාඨමාලා සකස් නොවීම.
(ඈ). සමස්ත අධ්‍යාපන දැක්මේ ඇති ගතානුගතිකත්වය නිසා හතර වන කාර්මික විප්ලවයෙන් ඇතිවන අභියෝගයන්ට හා අවස්ථාවන්ට මුහුණ දීමට සූදානම් නොවීම යන සාධකයි.
■ අයුතු ප්‍රතිලාභ ලබන කණ්ඩායම්හි පටුණි දේශපාලනිකරණයවූ ප්‍රතිචාර නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි පරිවර්තනීය ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති චින්තනයට බාධා පැමිණ ඇත. විවිධ ආණ්ඩු, දේශපාලන පක්ෂ, ගුරු සංගම් හා ශිෂ්‍ය සංගම් මෙම කණ්ඩායම්වලට අයත් වෙති. මේ අතර පර්යේෂණ මත පදනම් වූ විකල්ප ප්‍රතිපත්ති යෝජනා ඉදිරිපත් කිරීමට ශාස්ත්‍රීය ප්‍රජාවත්, ඔවුන්ගේ වෘත්තික සංවිධානත් දක්වන නිරන්තර අසමත්කම නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඇති මහජන සාකච්ඡාව වඩා දුගී තත්ත්වයකට පත් වී ඇත.
■ අධ්‍යාපනයේ සැම මට්ටමකත්, සෑම ක්ෂේත්‍රයකමත් පාහේ පිරිමින්ට වඩා ස්ත්‍රීන්ගේ සහභාගිත්වය ඉහළ යාමත් සමග පාසල්, විශ්වවිද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රවල ශිෂ්‍ය ප්‍රජාවේ ස්ත්‍රී - පුරුෂ සංයුතිය වේගයෙන් වෙනස් වෙමින් පවතී. මෙය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ප්‍රජාතන්ත්‍රීයකරණය වීමේ ප්‍රතිඵලයකි. මෙම ප්‍රජාවිද්‍යාත්මක පරිවර්තනය නිසා ඇති වූ ව්‍යුහාත්මක වෙනසට ප්‍රතිචාර දැක්වීම සඳහා අධ්‍යාපන ආයතනවල පවත්නා තත්ත්වය අර්ථවත් ලෙස හැඩ ගැසී නැත.
එමෙන්ම අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය ජනගහණයෙන් බහුතරය වන ශිෂ්‍යාවන්ගේ අවශ්‍යතාවන් සඳහා සංවේදී වීමට වෘත්තීය පුහුණුව තවමත් සමත්වී නැත. වෘත්තීය පුහුණුව තවමත් පවතින්නේ සාම්ප්‍රදායික ස්ත්‍රී-පුරුෂ විභේදනය නැවත නැවතත් තහවුරු කරන ගතානුගතික නැඹුරුවකින් යුතුව ය. සාම්ප්‍රදායික වශයෙන් පිරිමි ශිෂ්‍යයන් සඳහා වෙන්කර ඇති වෘත්තීය ක්ෂේත්‍රවලට සම්බන්ධ වීමට ශිෂ්‍යාවන් වෙනුවෙන් දිරිගැන්වීම් ද නොමැති ය. රැකියා ක්ෂේත්‍රයේ දිගින් දිගටම සිදුවන්නේ රැකියාවලට බඳවා ගැනීමේ දී සහ උසස්වීම් දීමේ දී උගත් සහ වෘත්තීමය සුදුසුකම් ලත් ස්ත්‍රීන්ට වෙනස්කම් කොට සැලකීම ය.
■ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඇති ආයතනික වගකීම ආණ්ඩුවේ මූලික ආයතන අතර විසිර පැවතීම ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ඇති ප්‍රධාන බාධාවකි. මෙම කරුණ ද පවතින්නේ ඒ පිළිබඳ කිසිදු පිළිගැනීමක් නැතුව ය. අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම අතිවිශාල ආයතන ජාලයක් තුළ විසිර පැතිර තිබේ. ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, කැබිනට් මණ්ඩලය, අධ්‍යාපන අමාතයාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් සභා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ජාතික අධ්‍යාපන ආයතනය ඒවා අතර ප්‍රධානය. මෙම ආයතනවල වගකීම විසිරී පැවතීම ජයගත හැකි වන්නේ ප්‍රතිපත්ති සම්පාදනයටත්, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටත් මඟ පෙන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීමට ආයතනික මධ්‍ය ලක්ෂ්‍යක් තිබෙන විට ය.

දීර්ඝ කාලීන දැක්මක්

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වර්තමාන අර්බුදයෙන් ගොඩ ගැනීමටත් එහි අනාගත සංවර්ධන මාවත යළි දිශාගත කිරීමටත් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැපවීමක් සහිත ප්‍රතිපත්ති දැක්මක් අවශ්‍ය බව අපි අවධාරණය කරමු. එවැනි ඉදිරි දැක්මක් සඳහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය එහි සෑම මට්ටමකින්ම නවීකරණය කිරීම මගින් ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියට නායකත්වය දීමට අධිෂ්ඨානයක් ද සහිතව අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්ව සහ ප්‍රජාවන් අතර පුළුල් සන්ධානයක් ගොඩනැගීමට සමත්වන්නා වූ ප්‍රජාතන්ත්‍රවාදී  දේශපාලන නායකත්වයක් අවශ්‍ය වෙයි. එවැනි නූතනකරණ දැක්මකට පහත සඳහන් ප්‍රතිමානීය මූලධර්ම සහ මූලෝපායික සිතා බැලීම් අඩංගු විය යුතු ය.
■ අධ්‍යාපනය සියලු දෙනාගේ මූලික අයිතියකි. රජයේ යුතුකම හා වගකීම වන්නේ සියලුම පුරවැසියන්ට හුදෙක් අධ්‍යාපනයට අවකාශ සැලසීමට පහසුකම් සැපයීම පමණක් නොව කිසිදු හේතුවක් නිසා වෙනස්කම් කරනු ලැබීමට හෝ නොසලකාහැරීම්වලට හෝ භාජනය නොකරන ගුණාත්මක වශයෙන් ඉහළ අධ්‍යාපනයක් ලබාදීම ය.
■ අධ්‍යාපනය වනාහි සමාජ පරිවර්තනයේ, සමාජ සමානාත්මතාවයේ, සමාජ සංචලතාවයේ, ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසි භාවයේ, බහුත්වවාදී ජාතිය ගොඩනැගීමේ සහ පුද්ගල මෙන්ම ප්‍රජාකණ්ඩායම්වල අයිතීන් සාක්ෂාත් කර ගැනීමේ ද වැදගත් මාධ්‍යයකි. එපරිදි සාධනීය සමාජ පරිවර්තනය මෙන්ම පුද්ගලික හා සමාජයීය වර්ධනය සඳහා ද ගාමක බලවේගයක් ලෙස අධ්‍යාපනය සතු ශක්‍යතාව සහ කාර්ය භාරය ආරක්ෂා කිරීමත්, ප්‍රවර්ධනය කිරීමත්, ආණ්ඩුව සහ පුරවැසියන් අතර පවත්නා සමාජ ගිවිසුමේ කේන්ද්‍රීය අංගයක් විය යුතු ය. මෙයින් යෝජනා වන්නේ අධ්‍යාපනයේ සැම මට්ටමකදීම සමානාත්මතාව වැදගත් වන්නේය යන්න සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් අතර පැහැදිලි කැපවීමක් තිබිය යුතු බව ය.
■ එසේ වුවත් එවැනි ප්‍රතිචාර ප්‍රවේශමෙන් සකස් කළ යුතු අතරල එය කළ යුත්තේ දේශීය තත්ත්වයන් ද සැලකිල්ලට ගෙන ය. මෙම ප්‍රතිචාර ප්‍රතිපත්ති බවට පත් කරමින් ඒවා ක්‍රියාත්මක කළ යුත්තේ සාමාජීය සහ ජනවාර්ගික බැහැර කිරීම්, ප්‍රජා කණ්ඩායම් ආන්තිකකරණයට පාත්‍ර කිරීම්, සමාජ අසමානතා තවත් තියුණු වීම, දේශපාලන කැළඹිලි සහ ජාතික අර්බුදවල නවරැලි මතු වීමට තුඩුදීම යනාදී ප්‍රතිඵල ද වළක්වමිනි. ඒ සඳහා අවශ්‍ය වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර ඇති වන සංවාදයක් තුළින් පුළුල් සමාජ සහ අන්තර් - පාර්ශ්වීය සන්ධානයක් ගොඩනැගීමයි.
■ ශ්‍රී ලංකාව බහුවාර්ගික, බහු සංස්කෘතික, බහු භාෂා සමාජයක් වන්නේය, යන යථාර්ථය අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ නිසිලෙස පිළිබිඹු වීම අත්‍යවශ්‍ය වේ. සෑම මට්ටමකම සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මඟපෙන්විය යුත්තේ බහුත්වවාදී වටිනාකම් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා පුරවැසියන් බිහිකිරීම අරමුණු කරගත් ඉදිරි දැක්මකි.
■ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ගෝලීය මට්ටමින් සිදු වන ආර්ථික, කාර්මික සහ තාක්ෂණ විප්ලව, ශ්‍රම වෙළෙඳපොළ ප්‍රතිව්‍යුහගත වීම යන මේවා වෙතින් පැන නැගෙන නව ඉල්ලීම්වලට ද ප්‍රතිචාර දැක්විය යුතුව තිබේ. එබැවින් වෘත්තීය සහ වෘත්තික අධ්‍යාපනය සඳහා ඇති නව අවධාරණය පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සමග මනා ලෙස සම්බන්ධීකරණය කළ යුතුව තිබේ. එය කළ යුත්තේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශ සහ විදේශීය ආධාර දෙන ප්‍රජාවන් අතර ඇති වන සක්‍රීය සහයෝගීතාවක් මගිනි.

කෙටි කාලීන හා මධ්‍ය කාලීන ක්‍රියාමාර්ග සඳහා රාමුවක්

ප්‍රතිපත්ති මැදිහත් වීමක් සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග යෝජනා කිරීමට අපි කැමැත්තෙමු. ඒවා වෙතින් සමාජයේ සිටින ප්‍රතිසංස්කරණ ප්‍රජාවන් ගණනාවකගේ අදහස් ද ප්‍රකාශයට පත් වෙයි. නව ප්‍රතිපත්ති නිර්මාණය කිරීමත්, පවත්නා ආයතන ප්‍රතිනිර්මාණය හා ප්‍රතිසංස්කරණය කරන ගමන් ම නව ආයතන ගොඩනැගීමත් ඒවායින් යෝජනා වෙයි. ආයතන ගොඩනැගීම හා ප්‍රතිසංස්කරණය කළ යුත්තේ එම ආයතනවල අරමුණු ගැන පැහැදිලි අවබෝධයකින් යුතුව, සහ ඒවා නිලධාරීකරණයට ගොදුරු වීම වැළැක් වීමේ පැහැදිලි දැක්මක් ද සහිතව ය.

මුල් ළමාවිය අධ්‍යාපනය

ප්‍රතිපත්ති අභියෝගය

මුල් ළමාවිය අධ්‍යාපනය ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති පුළුල් මෙන්ම තවමත් ව්‍යාප්ත වෙමින් පවත්නා අංගයකි. එම අංශය දැනට පවත්වා ගනිමින් කළමනාකරණ කෙරෙන්නේ සුළු පරිමාණ පෞද්ගලික ආයෝජන හෝ තනි තනි පුද්ගල ප්‍රයත්න හෝ ලෙස ය. රාජ්‍ය ආයෝජනය නොමැති වීම, මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ සහ පවත්නා ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම පිළිබඳ පැහැදිලි නෛතික රාමුවක් නොමැති වීම, නීති ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමටත්, එම නීති ක්‍රියාත්මක වන බව සහතික කිරීමටත් ශක්තිමත් යාන්ත්‍රණයක් නොමැති වීම සහ එම අධ්‍යාපනයේ සෑම අංශයක් සඳහා ගුණාත්මක තත්ත්ව සහතික කිරීමක් නොමැති වීම යන ඒවා විසඳුම් අවශ්‍යවන තීරණාත්මක කාරණයන් ය.

ප්‍රතිපත්ති යෝජනා

■ දැනට අවිධිමත් පදනමක් මත ක්‍රියාත්මක වන මුල් ළමාවිය අධ්‍යාපනය විසින් සපයනු ලබන සේවාවන්ගේ ගුණාත්මක තත්ත්ව තහවුරු කිරීම සඳහා පියවර ගතයුතු ය.
■ මුල් ළමාවිය අධ්‍යාපන සේවා සපයන්නන් ප්‍රතීතනය (Accreditation) කිරීමට සහ එම ආයතන මෙන්ම ගුරුවරුන් සඳහා ද අවසර පත්‍ර ලබා දීමේ ජාතික ප්‍රමිතීන් සකසා පළාත් සභා මගින් දැනට පවත්වාගෙන අධීක්ෂණ යාන්ත්‍රණ ශක්තිමක් කළ යුතු ය.
■ එම අංශ මගින් සපයන සේවා මෙන්ම විශේෂයෙන් ගුරුවරුන් සඳහා අවශ්‍ය පුහුණුවට සහ වෘත්තිකකරණයට වඩාත් අවධානය යොමු කරමින් මුල් ළමාවිය අධ්‍යාපනය සහතික කිරීමට (Certification) අවධානය යොමු කළ යුතු ය.
■ මුල් ළමාවිය අධ්‍යාපනය අධීක්ෂණය කිරීමේ, එයට සහාය වීමේ, දියුණු කිරීමේ සහ තිරසර ලෙස පවත්වා ගැනීමේ ආයතනික රාමුවක් හඳුන්වා දිය යුතු ය. මුල් ළමාවිය අධ්‍යාපන අධිකාරියක් පිහිටුවිය යුතු අතර, එයට පළාත් සභා සහ පළාත් පාලන ආයතන සමග සහයෝගයෙන් වැඩ කිරීමට බලය පැවරිය යුතු ය.
■ පහත සඳහන් පියවර ගැනීම තුළින් එම යෝජනා ක්‍රියාත්මක කළ හැකි ය.
(අ). ගුරුවරුන් බඳවා ගැනීමේ සුදුසුකම්, ගුරුවරුන් පුහුණු කිරීම, නිර්දේශ පත්‍ර සකස් කිරීම, ඉගැන්වීමේ ක්‍රම, පූර්ව පාසල් ක්‍රමය කළමනාකරණය කිරීම යන මේවා සඳහා මඟ පෙන්වීම් රාමුවක් සකස් කිරීම, සහ
(ආ). ඒ සමග ම පාසල්වල ඉඩකඩ මෙන් ම පහසුකම් හා උපකරණ ද පිළිබඳ නිර්ණායකයන් ගොඩනැගීම සඳහා අධිකාරියට බලතල පැවරීම.
(ඇ). අධිකාරිය මේ වගකීම්වලින් සමහරක් තම අධික්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට පළාත්සභාවලට සහ පළාත් පාලන ආයතනවලට පැවරීම.
(ඈ). පහළ බාලාංශ පන්තිය රජය විසින් පවත්වා ගෙන යනු ලබන ජාතික ප්‍රාථමික පාසල් පද්ධතියට එක් කිරීම.

පාසල් අධ්‍යාපනය

ප්‍රතිපත්ති අභියෝගය

පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති අර්බුදය බහුමානීය මෙන්ම සෑම අංශයක් පුරාම පැතිර ගිය එකකි. එකිනෙක සමඟ තරගකාරී අභිලාෂ හා න්‍යාය පත්‍ර ඇති පාර්ශ්වකරුවන් විශාල පිරිසකගේ බලපෑමට ද පාසල් අධ්‍යාපන අංශය හසුවී තිබේ. මෙම අංශයේ බෙහෙවින් අවශ්‍ය වී ඇති ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කළ යුතුව තිබෙන්නේ විවිධ අභිලාෂ තිබෙන කණ්ඩායම්වලින් එල්ල වන විරෝධතා ද කළමනාකරණය කිරීමේ උපාය මාර්ග සහිතව ය. ප්‍රතිපත්ති සම්පාදකයන් සහ විසංවාදී මත ඉදිරිපත් කරන ප්‍රජාවන් අතර නිරන්තර සංවාදය එවැනි උපාය මාර්ගයක අනිවාර්යයෙන් තිබිය යුතු ය.
ප්‍රතිපත්ති යෝජනා
පස්වෙනි වසරේ ශිෂ්‍යත්ව පරීක්ෂණය ප්‍රතිසංස්කරණය කිරීම
■ පස්වෙනි වසරේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ සමාජ හා ප්‍රතිපත්ති උපයෝගිතාවය ගැන යළි සමාලෝචනය කර එහි ඇති අතිශයින් දුෂ්කර තරගකාරී සහ වාණිජකරණයට ලක් වූ පීඩාකාරී විභාග යාන්ත්‍රණය නොමැති නව ක්‍රමයක් ඒ වෙනුවට නිර්මාණය කළ යුතු ය. නව ක්‍රමයේ පහත සඳහන් ලක්ෂණ තිබිය යුතු ය.
(අ). අඩු ආදායම්ලාභී පවුල්වල මුල්‍ය අවශ්‍යතා ඇති දරුවන්ට ලබා දෙන මුල්‍ය ආධාර වැඩිකිරීම, සහ
(ආ). විශේෂ දක්ෂතා සහ විශේෂ කුශලතා සහිත දරුවන් සඳහා ඔවුන් ජීවත් වන පළාත තුළම වඩා හොඳ පාසල් සැපයීම.
මෙම ප්‍රතිලාභ ලැබිය යුතු දරුවන් හඳුනාගත යුත්තේ ජාතික මට්ටමින් සහ එක් එක් පළාත තුළ සිදු කරන වඩාත් දියුණු, විනිවිද පෙනෙන සහ අවභාවිත කළ නොහැකි පාසල් පදනම් කරගත් ඇගයීම් ක්‍රමයකිනි.
■ ඉහත (අ) සහ (ආ) යෝජනා ක්‍රියාත්මක කරන විට ශිෂ්‍යත්ව පරීක්ෂණය ආර්ථික ආධාර අවශ්‍ය දරුවන් වෙනුවෙන් සහ ඇතුල් වීමේ පරීක්ෂණ පහසුකම් අඩු ග්‍රාමීය සහ නාගරික පාසල්වල විශේෂ දක්ෂතා ඇති දරුවන් වෙනුවෙන් පමණක් පැවැත්විය යුතු ය.
අපොස (උසස්පෙළ) විභාගය ප්‍රතිව්‍යුහගතකිරීම:
■ 13 වෙනි වසරේ දී විභාග දෙකක් හඳුන්වාදීම තුළින් දැනට තිබෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ප්‍රතිව්‍යුහගතකිරීම ප්‍රතිපත්ති ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතු ය. එක් විභාගයක් මගින් සිසුන්ට රැකියා සඳහා වෘත්තීය අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය ජාතික මට්ටමේ පාසල් හැරයාමේ සහතික ලබා ගැනීමට අවකාශ ලබා දිය යුතු ය. අනෙක් විභාගයෙන් ලබාදිය යුත්තේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාලවල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල උසස් අධ්‍යාපනය ලබා ගැනීමට සුදුසුකම් ය.
පාසැල් හැරයන දරුවන් සඳහා දියුණු හා තිරසර වෘත්තීය අධ්‍යාපනයක්:
■ 13 වන වසරට පසුව පාසල් හැර යන දරුවන් සඳහා මනා ලෙස සැලසුම් කරන ලද හා තිරසර ලෙස පවත්වාගෙන යා හැකි වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්‍රමයක් හඳුන්වා දීමට ප්‍රමුඛතා පදනමක් මත පියවර ගැනීම අත්‍යවශ්‍ය ය. රජය සහ පුද්ගලික අංශයේ සහයෝගීතාව මගින් මෙය සැලසුම් කළ හැකි ය.
පශ්චාත් ප්‍රාථමික අධ්‍යාපනයේ නව නැඹුරුවක්:
■ ගණිතය, විද්‍යාව, සමාජ අධ්‍යයනය, පුරවැසි අධ්‍යාපනය, සෞන්දර්ය අධ්‍යාපනය, චර්යා ධාර්මික අධ්‍යාපනය, ඉංග්‍රීසි සහ දෙවැනි ජාතික භාෂාවන් යන විෂයයන් නිර්මාණාත්මක ලෙස බද්ධ කරන පාසල් නිර්දේශ පත්‍ර ක්‍රමයක් සහිතව පශ්චාත් - ප්‍රාථමික පාසල් අධ්‍යාපනය යළි දිශාගත කිරීම මේ මගින් කළ යුතු ය.
අපොස (උසස්පෙළ) විෂයධාරා ප්‍රතිව්‍යුහගතකිරීම:
■ දැනට පවතින අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ විෂයයන් කලා, වාණිජ, විද්‍යා, තාක්ෂණ යන විෂයධාරා අනුව බෙදීම වෙනස් කර පහත සඳහන් පරිදි යළි නිර්මාණය කිරීම.
(අ). දැනට පවතින විෂයධාරා ඉතා අනම්‍ය ලෙස එකිනෙකින් වෙන් කිරීම නැවැත්වීම.
(ආ). නම්‍යශීලී පාඨමාලා මොඩියුල ක්‍රමයක් මගින් විෂයධාරා අතරින් පාඨමාලා මොඩියුල තෝරා ගැනීමට අවකාශ සැලසීම.
ඒ අනුව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන්ගේ ප්‍රධාන විෂය හා අමතර විෂයයන් අතර තෝරා ගන්නා තමන්ට කැමැති මොඩියුල සංයුතියක් සඳහා අවකාශ ලබා දෙමින්ල මොඩියුල මත පදනම් වන පාඨමාලා අයවර ක්‍රමයක් (Credit System) මත පදනම්ව උසස් පෙළ විෂය නිර්දේශ රාමුව යළි නිර්මාණය කළ යුතු ය.
ශිෂ්‍ය උපදේශනය හදුන්වාදීම:
■ ශිෂ්‍ය උපදේශනය පාසල් අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් කිරීම ප්‍රමාද කළ නොහැකි අවශ්‍යතාවයකි. ඉහත දක්වා ඇති ආකාරයට ජ්‍යෙෂ්ඨ ද්වීතියික අධ්‍යාපනය නිර්මාණාත්මක ලෙස යළි සැලසුම් කිරීම සාර්ථක වීමට නම් ශිෂ්‍ය උපදේශනය සැපයීම අත්‍යවශ්‍ය වේ.
චර්යාධාර්මික අධ්‍යාපනය හඳුන්වාදීම:
■ ‘ආගම’ යනුවෙන් ඇති පාසල් විෂයය අන්තර් ආගමික හා ආචාරධාර්මික වටිනාකම් අධ්‍යනය සඳහා අවධානය යොමු කරමින් යළි සකස් කිරීම වැදගත් අවශ්‍යතාවකි. ආගමික අධ්‍යාපනයෙන් අවධාරණය විය යුත්තේ ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන ආගම්වල මූලික දාර්ශනික ඉගැන්වීම් සහ චර්යාධාර්මික මූලධර්ම දරුවන්ට හඳුන්වාදීම ය. මේ සඳහා චර්යාධාර්මික අධ්‍යාපනය (Value Education) පාසල් විෂය නිර්දේශ පත්‍රයට ඇතුළු කිරීමේ දී ආගමික ඉගැන්වීම්වල පවත්නා දාර්ශනික හා චර්යාධාර්මික ඥාන සම්භාරයේ කවර කොටස් ඇතුළත් කළ යුතු ද යන්න තීරණය කිරීමට අධ්‍යාපනඥයන්ගෙන් ද සමන්විතවන කමිටුවක් පත්කළ යුතු ය.
අනාගත වෘත්තීය තෝරාගැනීමේ අදහස පාසැල් අධ්‍යාපනයට හඳුන්වාදීම:
■ 10 වන වසරේ සිට අනාගත වෘත්තීය මාර්ග සහ වෘත්තීය තෝරාගැනීම පිළිබඳ අදහස සිසුන්ට හඳුන්වා දීම දැන් පාසැල් අධ්‍යාපනයට එකතු කළ යුතු කාලය එළඹ තිබේ. තම දරුවන්ගේ අනාගතය ගැන සාධනීය ලෙසත් අවබෝධයෙන් යුතුවත් සිතීමට පටන් ගැනීමටත්, ගුරුවරුන් සමග සහයෝගයෙන් සැලසුම් කිරීමටත් දෙමව්පියන්ට අවස්ථාවක් ලැබෙනු ඇත්තේ එවිට ය.
වෘත්තීය මාර්ගෝපදේශනය ශක්තිමත් කිරීම:
■ සුදුසුකම් ලත් වෘත්තීය මාර්ග උපදේශකයන් හා උපදේශිකාවන් ලෙස පාසල්වල සේවය කිරීම සඳහා විශේෂ ගුරු සේවයක් ආරම්භ කර එම ගුරුවරුන් පුහුණු කිරීම මේ සඳහා ගතයුතු පළමු පියවරයි. මේ සඳහා ශිෂ්‍ය උපදේශනය සඳහා පාසල් ගුරුවරුන් පුහුණු කිරීම සහ එම සේවාව ප්‍රතීතනය (Accreditation) කිරීම අරමුණු කරගත් වෙනත් ආයතනයක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පිහිටු වීම අවශ්‍ය වේ.
ගුරුවරුන් යලි පුහුණු කිරීම සහ සවිබලගැන්වීම:
■ මේ මගින් යොජනා වන්නේ සියලුම පාසල් ගුරුවර ගුරුවරියන් නැවත පුහුණු කිරීමේ හා නැවත සවිබල ගැන්වීමේ කඩිනම් වැඩසටහනක් ආරම්භ කිරීමයි. මෙම වැඩසටහනේ කටයුතු පියවර කිහිපයක් තුළින් පළාත් සභාවල ද සහභාගිත්වය ඇති විමධ්‍යගත ප්‍රයත්න මගින් සිදුකළ හැකි ය. එවැනි වැඩසටහනක අරමුණ විය යුත්තේ,
(අ). ගුරුවරුන්ගේ විෂය දැනුම යාවත්කාලීන කිරීම හා පුළුල් කිරීම, සහ
(ආ). ඉගැන්වීම, ඇගයීම, සහ ආදර්ශෝපදේශනය (Mentoring) පිළිබඳ නව විධික්‍රම හඳුන්වා දීම යන මේවා ය.
මෙම වැඩසටහනට ගුරුවරුන් ආකර්ෂණය කරගැනීම සඳහා දිරිගැන්වීමක් වශයෙන් පාසල් ගුරුවරුන්ට දීමනා ක්‍රමයක් හඳුන්වා දිය යුතු ය.
13 වසරේදී දැනට සිදුවන හානියට පිළියම් යෙදීම:
■ 13 වන වසරේ ශිෂ්‍ය ශිෂයාවන් නිතිපතා පාසල් පැමිණෙන බවත්, ඔවුන් වෙනුවෙන් ගුරුවරුන් නිසි පරිදි සහ ක්‍රමවත්ව පන්ති පවත්වන බවත් සහතික කිරීම සඳහා අවශ්‍ය පරිපාලන පියවර වහාම ගත යුතු වේ. ගුරුවරුන්ල විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන අමාත්‍යංශය 13 වසරේ සිසුන් පාසැල් නොපැමිනීමේ ගැටලුව ගැන දෑස් පියාගෙන සිටීමේ වත්මන් පිළිවෙත වහාම අවසන්කිරීම මේ මගින් යොජනා වේ.
පුද්ගලික උපකාරක පන්ති නියාමනය කිරීම:
■ පුද්ගලික උපකාරක පන්ති ව්‍යාපාරය පාලනය කිරීම සහ ක්‍රමානුකූල කිරීම සඳහාත්, එම අංශයේ අධීක්ෂණය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගෙන ඒම සඳහාත් නීති ගෙන ඒම වහාම කළ යුතු ප්‍රතිසංස්කරණයකි. එහි අරමුණ විය යුත්තේ,
(අ). පාසල් ක්‍රමයට පරිබාහිරව දරුවන් ලබන අධ්‍යාපනය වෙනුවෙන් දෙමව්පියන් දරන වියදම අවම කිරීම.
(ආ). පහළ සහ මධ්‍යම ආදායම් ලබන පවුල්වලට ආධාර වනු පිණිස රටේ දැනට අතුරුදහන්ව තිබෙන නිදහස් අධ්‍යාපන මූලධර්ම නැවත ප්‍රතිශ්ඨාපනය කිරීම.
(ඇ). අධ්‍යාපනය සැපයීම සූරාකෑමේ වාණිජ ව්‍යාපාරයක් නොවන බව සහතික කිරීම, සහ
(ඈ). අනවශ්‍ය පුහුණුව සහ විභාගවලට නිමක් නොමැතිව කටපාඩම් කිරීම යන ආකාර මගින් සිසුන් මත පටවා ඇති අනවශ්‍ය බරෙන් ඔවුන් නිදහස් කිරීම.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය
ප්‍රතිපත්ති අභියෝගය
විශ්වවිද්‍යාල වනාහි එහි යල් පැන ගිය අරමුණු, ආයතනික ව්‍යුහය, සහ සංවිධානමය සංස්කෘතිය යන මේවා වෙනස් කිරීම අරමුණු කරගත් කිසිදු මූලික ප්‍රතිසංස්කරණයක් සිදුවීම ප්‍රතික්ෂේප කර ඇති ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවත්නා එක් අංශයකි. ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීමේ සිට අධ්‍යයන පාඨමාලා ද හිමිකම පුළුල් කිරීම ද ඇතුළු ව විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා ගනු ලැබූ ප්‍රයත්න ද දේපාලන අසහනයට සහ විරෝධතාවන්ට තුඩු දී ඇත.
විශ්වවිද්‍යාල අංශය පවතින්නේ ද රටේ වෙනස්වන අවශ්‍යතාවන්ට බෙහෙවින් පසුපසිනි. ජාතික හා ජාත්‍යන්තර තත්ත්වයන්ගෙන් පැනනැගෙන වෙනස්වීම් හා පරිවර්තනය සඳහා වන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමටත් එයට නොහැකි ය. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට රැඩිකල් සහ අතිමූලික ප්‍රතිසංස්කරණ අවශ්‍යව තිබේ. එහෙත් ඒවා හඳුන්වා දිය යුතු වන්නේත් කළමනාකරණය කළ යුතු වන්නේත්, එය විසින් සමාජ දේශපාලන ක්ෂේත්‍රවල ඇතිකරන විනාශකාරී ප්‍රතිවිපාක ද වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කරමිනි.

ප්‍රතිසංස්කරණ යෝජනා

ප්‍රථම උපාධි පාඨමාලා සහ නිර්දේශ පත්‍ර ප්‍රතිව්‍යුහගතකිරීම:
■ කලා, සමාජ හා මානව ශාස්ත්‍ර ක්ෂේත්‍රවල ඉහළ නැංවෙන උපාධිධාරීන් සංඛ්‍යාවන්ට රැකියා සැපයීමේ අභියෝගයට ආමන්ත්‍රණය කිරීම ප්‍රධාන ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවක් ලෙස ප්‍රථම උපාධි පාඨමාලා සහ නිර්දේශ පත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වන්නේ නම්ල එහි අරමුණ විය යුත්තේ උපාධිධාරීන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශවල විවිධ වෘත්තික රැකියාවලට සෘජුව සුදුසුකම් ලබාදීම ය. එය කළ යුත්තේ උපාධි අපේක්ෂකයන්ට ලබාදෙන විෂය දැනුම සීමා නොකරමිනි. සමාජයෙන් පරාරෝපණය වී සිටින උපාධිධාරීන් තමන් සමාජයට අයත් පුරවැසියන්ය යන අදහස ඇති කිරීමද එමගින් අරමුණු කරගත යුතු ය.
විශ්ව විද්‍යාල පද්ධතිය ප්‍රතිව්‍යුහගතකිරීම:
■ ප්‍රථම උපාධි අපේක්ෂකයන්ට විශ්වවිද්‍යාල කොලිජි ක්‍රමයද (University College), ඉහළ උපාධි පුහුණුව සඳහා විශ්වවිද්‍යාල ක්‍රමයක් ද ඇතිකරන පරිදි දැනට තිබෙන විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිව්‍යුහගත කිරීමට සලකා බැලීම එවැනි නව පියවරකි. එහි අරමුණ විය යුත්තේ විශ්වවිද්‍යාල කොලීජිවල ක්ෂණිකව රැකියා ලබාගැනීමට ආධාර වන පුහුණු පාඨමාලා ලබාදීමත්, ඊට ඉහළ තලයේ තිබෙන විශ්වවිද්‍යාලවල ප්‍රශස්ථ මට්ටමේ වෘත්තික සහ ශාස්ත්‍රීය පුහුණුව ලබාදීමත් ය.
වෘත්තීය මාර්ගෝපදේශනය ප්‍රතිසංස්කරණය කිරීම:
■ දැනට පවත්නා වෘත්තීය මාර්ගෝපදේශනය තුළින් මෘදු කුසලතා පුහුණු වැඩසටහන් ඉදිරිපත් කිරීමේ පටු ප්‍රවේශය පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා විශ්වවිද්‍යාල යළි සිතා බැලීම මේ මඟින් සිදුවිය යුතු ය. ශාස්ත්‍රීය අධ්‍යාපනය වෘත්තික මට්ටමේ රැකියා (Professional Jobs) සඳහා ලබාදෙන පුහුණුව සමග සංයෝග කරමින් පවත්නා වැඩසටහන් තවත් ශක්තිමත් කළ යුතු ය.
සේවානියුක්ති පුරෝකථනය:
■ විවිධ වෘත්තීමය ක්ෂේත්‍රවල ඇති වාර්ෂික රැකියා අවශ්‍යතා හා අවකාශ පිළිබඳ සමීක්ෂණ මත පදනම් වූ සේවානියුක්ති පුරෝකථන සිදුකිරීමේ ක්‍රමයක් ආරම්භ කළ යුතු ය. මෙය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල, මිනිස් බල හා රැකී රක්ෂා අමාත්‍යාංශ සහ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව කළ යුතු ය. මේ මගින් ශ්‍රම වෙළෙඳපොළේ වෙනස්වන යථාර්ථයන්ට හා ගෝලීය සහ ජාතික ආර්ථිකයේ ප්‍රවණතාවන්ට අනුකූලව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම සැලසුම්කරගත හැකිවනු ඇත.
විශ්ව විද්‍යාල පාඨමාලා ප්‍රතිසංස්කරණය:
■ සෑම අධ්‍යාපන ක්ෂේත්‍රයකටම අයත්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුළුල් සහ සාකල්‍ය අධ්‍යාපන ක්‍රමයක් ලබා එයින් ප්‍රතිලාභ ලැබීමට හැකිවන පරිදි විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පාඨමාලා ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විශ්වවිද්‍යාල උනන්දු කළ යුතු ය. එහි අරමුණ විය යුත්තේ දැනට පවත්නා අධ්‍යයන පීඨ සහ විෂයමාලා මත පදනම් වූ පටු ලෙස සංකල්පගත කරන ලද ශාස්ත්‍රීය හා විෂයධාරාමය වෙන් කිරීම අතික්‍රමණය කිරීම ය.
විශ්ව විද්‍යාල ප්‍රවේශ කෝටා ක්‍රමයේ ප්‍රතිසංස්කරණ:
■ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධව දැනට ඇති දිස්ත්‍රික් පංගු ක්‍රමය (කෝටා ක්‍රමය) සමාලෝචනය හා සංශෝධනයට භාජනය කිරීම කල්දැමිය නොහැකි ප්‍රතිසංස්කරණයකි. අලුතින් හඳුන්වා දෙන ක්‍රමය මගින් ග්‍රාමීය දිස්ත්‍රික්කවල දුප්පත් සහ මධ්‍යම ආදායම් ලබන පවුල්වල සිසුන්ට විද්‍යා, වෛද්‍ය, ඉංජිනේරු හා තාක්ෂණ විද්‍යාපීඨවලට ඇතුළත් වීමේ ඉඩප්‍රස්ථා ලබා දිය යුතු ය.
ඉගැන්වීමේ ගුණාත්මක මට්ටම ඉහළ නැංවීම:
■ විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධිය සහ පශ්චාත් උපාධි මට්ටමින් දැනට සැපයෙන සියලූම දැනුම හැකිතාක් දුරට උසස් ගෝලීය උපමාන සහ භාවිතයන්ට ළංවිය යුතු ය. එමෙන්ම ගෝලීය උපමාන හා ප්‍රමිතීන්වලට අනුව තම සිසුන්ට ඉහළ මට්ටමේ පුහුණුව ලබාදිය හැකි වන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ප්‍රමාණවත් සහ මනාලෙස අධීක්ෂණය කරනු ලබන පුහුණුවක් සැපයිය යුතු ය.
පශ්චාත් උපාධි පාඨමාලා ක්‍රමවත් කිරීම:
■ රාජ්‍ය විශ්වවිද්‍යාල මෙන්ම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන ද විසින් පවත්වනු ලබන පශ්චාත් උපාධි පාඨමාලා ඉගැන්වීම, ඉගෙනගැනීම, පුහුණුව, පර්යේෂණ හා නව දැනුම මුද්‍රණ ද්වාරයෙන් ප්‍රකාශ කිරීම යන මේවා අව්‍යාජ ජාත්‍යන්තර උපමානවලට අනුගත කිරීම අනිවාර්ය කළ යුතු ය. මේ සඳහා අධීක්ෂණ යාන්ත්‍රණයක් ද තිබිය යුතු ය.
බාහිර උපාධි පාඨමාලාවල ගුණාත්මක බව ඉහළ නැංවීම:
■ බාහිර උපාධි පාඨමාලා හා දුරස්ථ අධ්‍යාපන වැඩසටහන්වල සිසුන්ට සපයන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය හා ප්‍රමිතීන් රාජ්‍ය අංශයේ විශ්වවිද්‍යාල මගින් ඉහළ නැංවීම අනිවාර්ය කළ යුතු ය. මේ සඳහා ද අධීක්ෂණ යාන්ත්‍රණයක් තිබිය යුතු ය.
උපාධිධාරීන්ට වෘත්තික පුහුණුව ලබාදීම (Professional Training)
■ විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශවල විධායක හා කළමනාකරණ ශ්‍රේණිවල වෘත්තීන් ලබාගැනීමට අවශ්‍ය වෘත්තික සුදුසුකම් (Professional Qualifications) ලබාගැනීම සඳහා පරිපාලන සහ කළමනාකරණ පුහුණු ආයතනයක් (Institute of Administrative and Management Training) පිහිටුවිය යුතු ය. මේ සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, මිනිස් බල හා සේවා නියුක්ති අමාත්‍යාංශය සහ පුද්ගලික අංශය සහයෝගීව ක්‍රියා කළ යුතු ය.
විශ්ව විද්‍යාල ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයක් පිහිටුවීම:
■ ශාස්ත්‍රීය ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තයක් නොමැති වීම අප රටේ ඉහළ මට්ටමේ ශාස්ත්‍රීය දැනුම නිර්මාණය කිරීමට බාධාවක් වී තිබේ. මේ ගැටළුව විසඳීම සඳහා අඩුතරමින් විශ්වවිද්‍යාල කේන්ද්‍ර කරගත් ලාභ නොලබන ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයක් පිහිටු වීමේ හැකියාව සොයා බැලිය යුතු ය. එම ප්‍රකාශන ආයතනය සැලසුම් කළ යුත්තේ ලෝකයේ වෙනත් රටවල ඇති සාර්ථක විශ්වවිද්‍යාල ග්‍රන්ථ ප්‍රකාශන මුද්‍රණාල ආදර්ශ කොට ගෙන ය.
පෞද්ගලික උසස් අධ්‍යාපනය ප්‍රමිතිකරණය යටතට ගෙනඒම:
■ සෑම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක්ම තම ඉගැන්වීමේ සහ පුහුණු වැඩසටහන්වලදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සුදුසු රෙගුලාසි මගින් නියම කරන උපමාන සහ ප්‍රමිතීන්ට අනුකූලවන බව සහතික කළ යුතු ය. මෙය කළ යුත්තේ අධීක්ෂණය කිරීම මගින් රෙගුලාසිවලට අනුගත වීම සහතික කිරීමේ යාන්ත්‍රණයක් ද සමග ය.
තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අංශය (TVET Sector)
ප්‍රතිපත්ති අභියෝගය
තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අංශය ද්විතීයික පාසල් හැර යන සිසුන් විශාල සංඛ්‍යාවකට ආකර්ෂණය වීම සඳහා මෙම අංශය නවීකරණය, ඉහළ ශ්‍රේණිගත කිරීම හා ශක්තිමත් කිරීම, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති කළයුතු ප්‍රතිසංස්කරණ තරම්ම වැදගත් ය. අධ්‍යාපනය සහ සේවා නියුක්තිය අතර ඇති නිරන්තර විෂමතාව විසඳා ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන්ට උදව් විය හැකි, තවමත් ප්‍රයෝජනයට ගෙන නැති ධාරිතාව හා ශක්‍යතාව පවතින්නේ මෙම අංශයේ ය. මෙම අංශය නවීකරණය කිරීම සඳහා නව ප්‍රාග්ධන ආයෝජනයත්, වඩ වඩා ජාත්‍යන්තර ආධාරත්, තිරසර රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයත්, නව ආයතන නිර්මාණය කිරීමත් අත්‍යවශ්‍ය වේ.
ප්‍රතිසංස්කරණ යෝජනා
පාඨමාලා විවිධාංගකරණය:
■ හතර වන කාර්මික විප්ලවයෙන් මතු කෙරෙන නව කුසලතා අවශ්‍යතාවන්ට ඉඩ සලසන පරිදි තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අංශයේ පාඨමාලා විවිධාංගකරණය කළ යුතු ය. මෙය කළ යුත්තේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමග සහයෝගයෙනි.
අවිධිමත් සේවානියුක්ති අංශය නියාමනය කිරීම:
■ රටේ අතිවිශාල අවිධිමත් කාර්මික හා සේවා අංශයේ (Informal Job Market) දැනට පවතින සේවා නියුක්ති අවකාශ ක්‍රමානුකූලව විධිමත් කිරීම සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව යටතේ නව යෝජනා ක්‍රමයක් හඳුන්වා දිය යුතු ය. ප්‍රවාහන, මෝටර් වාහන අලුත්වැඩියාව හා නඩත්තුව, ගෘහාශ්‍රිත කර්මාන්ත හා කුඩා කර්මාන්ත, ගෘහ සේවා, ඉදිකිරීම් කර්මාන්තය, සිල්ලර වෙළෙඳාම, පිරිසිදුකිරීම් හා සනීපාරක්ෂක සේවා සහ පෞද්ගලික ආරක්ෂක සේවා යනාදිය එයට ඇතුළත් කළ යුතු ය. එවැනි යෝජනා ක්‍රමයකින් සේවකයින්ට වඩා හොඳ වැටුප්, කම්කරු අයිතිවාසිකම් සහ සේවා තත්ත්වයන් ද, සේව්‍ය සේවක දෙපක්ෂයටම නූතන වැඩ කිරීමේ චර්යාධර්ම (Work Ethics) හඳුන්වා දීම ද සහතික කිරීම ඉලක්ක කරගත යුතු ය.
තාක්ෂණික සහ වෘත්තීය පුහුණුලාභීන්ට දිරිගැන්වීම්:
■ තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අංශයට පුහුණුලාභීන් බහුතරය පැමිණෙන්නේ අඩු ආදායම්ලාභී පවුල්වලිනි. ඔවුන්ට දැනට ලැබෙන්නේ ජීවත්වීමට ප්‍රමාණවත් නොවන ආණ්ඩුවේ මූල්‍ය ආධාරයකි. මෙම අභ්‍යාසලාභීන්ට රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශවල සහයෝගයෙන් තම ආධුනික කාලය තුළ දී ප්‍රමාණවත් මාසික දීමනා සැපයිය යුතු ය. මේ දෙස බැලිය යුත්තේ, පාසල් හැරයන තරුණ පිරිස් වෘත්තීය පුහුණුවට හා ඉන්පසු රැකියා ලබාගැනීම පිණිස තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු අංශයට බැඳීම සඳහා සපයන දිරිගැන්වීමක් ලෙස ය.
තාක්ෂණික සහ වෘත්තීය පුහුණුලාභීන්ට දිරිගැන්වීම්
■ දැනට මැදපෙරදිග සේවයට යන නුපුහුණු විගාමික ශ්‍රමිකයන්ට තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු අංශයේ දොර විවර කළ යුතු ය. වේගයෙන් වෙනස් වන වැඩ ලෝකයේ ශ්‍රම අවශ්‍යතාවයෙහි වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ඔවුන්ගේ කුසලතා යාවත්කාලීන කළ යුතු ය.
පාසැල් හැරයන ශිෂ්‍යාවන් සම්ප්‍රදායික නොවන වෘත්තීන්ට යොමු කිරීම:
■ පාසල් හැර යන සිසුවියන්ට වැඩි වැඩියෙන් තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අංශයට බැඳීම සඳහා උනන්දු කිරීම සඳහා නොපමාව පියවර ගත යුතුව තිබේ. ඔවුන්ට සැපයිය යුතු වන්නේ සම්ප්‍රදායිකව ස්ත්‍රීන්ට වෙන් වූ වෘත්තීන් ඉක්මවා ගිය පුහුණු සහ රැකියා අවකාශයන් ය. ඒ සමගම ඔවුන්ට තම රැකියා තාක්ෂණය, ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ යනාදී ක්ෂේත්‍ර තුළ ගොඩනැගීමට දිරිගැන්වීම් දීම ප්‍රමුඛතාවන් විය යුතු ය. මෙම අරමුණු ඉටුකර ගැනීම සඳහා ඔවුන්ට විශේෂ අවකාශ සපයන ප්‍රතිපත්ති රාමුවක් සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතු ය.

මහාචාර්ය රත්නසිරි අරංගල - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
ආචාර්ය නවරත්න බණ්ඩාර - හිටපු මහාචාර්ය පේරාදෙණිය විශ්ව විද්‍යාලය
ආචාර්ය මයිකල් ප්‍රනාන්දු - හිටපු මහාචාර්ය පේරාදෙණිය විශ්ව විද්‍යාලය
ආචාර්ය මොහොමඞ් මහීස් - කොළඹ විශ්ව විද්‍යාලය
මහාචාර්ය සසංක පෙරේරා - දකුණු ආසියානු විශ්ව විද්‍යාලය නවදිල්ලිය
මහාචාර්ය ජයදේව උයන්ගොඩ - හිටපු මහාචාර්ය කොළඹ විශ්ව විද්‍යාලය
විපුල කරුණාතිලක - සංවර්ධන ජනමාධ්‍යවේදී

පාස්කු බෝම්බ නිරීක්ෂණ කමිටු වාර්තාවේ ආනිසංස

ජනාධිපතිට එරෙහිව සාක්ෂි නොදීමේ වරදට රාජ්‍යය බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් වරදකරු කළේද?


ආරක්ෂක කටයුතු පිළිබඳ වාර්තාකරු  

පසුගිය අප්‍රේල් මාසයේ සිදු වූ  ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයා බැලීම සඳහා පත් කරනු ලැබූ  පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයින් ඉතාම පහත්  මට්ටමේ දේශපාලන වුවමණාවන් මත කටයුතු කොට ඇත. එය ඔවුහු ප්‍රසිද්ධ කරනු ලැබූ වාර්තාවෙන් සනාථ වේ. එය බොහෝමයක් සත්‍යය කරුණු ව්‍යාකූල සහ විරූප කිරීමට උත්සහ කළ වාර්තාවකි. එසේම, රාජ්‍යය බුද්ධි සේවයේ ප්‍රධානියා වන ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍යය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට අදාළ ප්‍රහාරය  වැලැක්වීමට හෝ එහි හානිය අඩුකරගැනීමට නොහැකිවීම ගැන චෝදනා නගා ඇත. 



වාර්තාවේ අන්තර්ගතය දෙස බැලීමේදී පෙනී යන්නේ මෙම කමිටුවේ සමාජිකයින් නිලන්ත ජයවර්ධන මහතා ගැන විශේෂ වෛරයකින් පසු වූ බවකි. එසේම, ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ගැන අදාළ කමිටුව, ජයවර්ධන මහතාට සීයට හැටක පමණ චෝදනාවක් එල්ල කොට තිබේ. අදාළ කමිටුවේ නිර්දේශයන්ට අනුව, ඉතිරි සීයට හතළියට අදාළ චෝදනා අනෙකුත් නිලධාරීන් අතර බෙදා  හැරීමට අදාළ කමිටුව විශාල වෙහෙසක් දරා ඇත. හොඳ උපායකි. නමුත් එම උපාය, වාර්තාව ලිවීමට පටන් ගත් තැන සිටම වරද්දාගත් සහ තමන්ගේ කැතකම ප්‍රසිද්ධ කළ වෑයමකි. සැබෑ මහත්වරුන්ට මෙවැනි අදම කටයුතු කළ නොහැකිය. 

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ අඩුම වයසකින් ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍යය පොලිස්පති ධූරයට පත් වූ නිලධාරියෙකු වන නිලන්ත ජයවර්ධන මහතාට මෙවැනි චෝදනා  තම වෘත්තීය ජීවිතය තව දුරටත් මුහත් කර ගැනීම සඳහා අශිවර්දයක් කර ගැනීමට ශක්තිය සහ ධෛර්යය ලැබෙනු ඇතැයි අපි සිතමු. මෙවැනිම ආකාරයේ පහත් පෙලේ විවේචන නිසා ශ්‍රී ලංකා යුදහමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස සේවය කළ බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි මහතාට මුහුණ දීමට සිදු වූ බාධක ආශිර්වාදයක් බවට පත් කරගත් ආකාරය ගෙවුණු වසර කිහිපය තුළ නීරීක්ෂණය කළ හැකි විය. මීට වසර ගණනාවකට පෙර රටේ බුද්ධි අංශ හැසිරිය යුතු ආකාරය ගැන වහරමින් දේශණා පැවැත් වූ සිංහල බස පිළිබඳ මහාචාර්යය වරයෙකු වන සරත් විජේසූරිය මහතා මේවන විට තමන් කළ එම වරද ගැන අවබෝධයක් ලබා ඇති අපි සිතමු. කෙසේ වෙතත් එවැනි මෝහ විවේචන නිසා සිදු වූයේ රටේ බුද්ධි අංශවල සේවය කළ  දක්ෂ නිළධාරීන් රටට අහිමි වීම පමණි.  

අවස්ථාවාදී බංකොලොත් දේශපාලනයේ ගොදුරු බවට පත් වන විට ඕනෑම නිලධාරියෙකුට මුහුණ දීමට සිදුවන යථාර්තයක් තිබෙන බව ඉතාම හොඳින් අවබෝධ කර දෙනු ලැබුවේ අතුරු ගිරියේ මිලේනියම් සිටි ඛේදවාචකයය. මේ සඳහා එක් උදහාරණයක් ඉදිරිපත් කළ හැකිය.   එක්තරා දෙමළ ජාතික තරුණයෙකු තොරතුරු ලබා දෙන්නෙකු ලෙස විශේෂ කාර්යය බලකාය සමග සම්බන්ධ වී කටයුතු කළේය. ඔහු  කොටි සංවිධානයට මහත් හිසරදයක් විය. ඔහුව කෙසේ හෝ දිනා ගැනීම සඳහා කොටි සංවිධානයේ ඔත්තු සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ පොට්ටු අම්මාන් ඔහුට කෝටි දෙකක මුදලක් සහ ලංඩනයේ පදිංචි වීම සඳහා නිවසක් ලබා දෙන බව දැනුම් දී ඔහුගේ කැමැත්ත විමසා සිටියේය. ඒ අනූව දශකයේ අග භාගයේදීය. ඔහු එක පයින්ම ඊට අකැමති විය.මන්ද, කොටි සංවිධානය විසින් තමන්ගේ පියා හමගසා මරා දැමීම මුදලට හෝ වෙනයම් වාසියකට පාවා දීම ඔහු ප්‍රතික්ෂේප කළ හෙයිණි. ඉන් පසු කොටි සංවිධානය ඔහු මරා දැමීමට තීන්දු කළේය. දෙහිවලදී, කොටි සංවිධානයේ සාමාජිකයෙකුගේ වෙඩි පහරවල් හයකට ගොදුරු වූ ඔහු දෛවයේ වාසනාවට මෙන් ජීවිතය බේරා ගත්තේය. වෙඩි වැදුණු පසු තමන්ට අවශ්‍යය මූලික සහය ඉල්ලා රටේ ඉහළ පෙළේ දේශපාලනඥයින්ට කතා කළේය. ඔවුහු කිසිවකු මොහුගේ වේදනාව ශතයකට මායිම් නොකළේය. අවසානයේ සදාකාලීක අබාධිතයෙක් ලෙස තම බිරිඳ සමග රටින් පිටව ගියේය. පාට පාට මුහුණු පැළඳගෙන සිටින මෙම දේශපාලනඥන්ගේ සැබෑව එයයි. පාර්ලිමේන්තු තේරුම් කාරක සභාවේ සාමාජිකයින්ද ඊට වඩා වෙනස් හැසිරීමක් පෙන්වා නැත. තම පටු දේශපාලන වුවමණාව පිරිමසා ගැනීමට අවලස්සන උත්සහයක් ගෙන ඇත. 

මෙම කුණු වූ ක්‍රමයේ ගොදුරු බවට පත්වන නිලධාරීන් හමුවේ ඇති අභියෝගය කුමක්ද? දැක්ම පැහැදිළි නම්  සහ තමන් ගමන් කරන මග ගැන හෘදයසාක්ෂියට එකඟව සතුටු විය හැකි නම් විටින් විට හමුවන බාධක යනු තමන් තමන්ටම සිනහා වීම සඳහා ලබා දෙන සුන්දර අවස්ථාවන් ලෙස සැලකීමය. ඒ සෑම මොහොතක්ම දිනක ඉතිහාසයේ සිදුවීමක් බවට පමණක් පත්වනු ඇත. තමන් යහපත් දෙයක් සිදුකොට ඇත්තේ නම්, ලෝකය මොන දේ සඳහන් කරමින් චෝදනා එල්ල කරද ඔවුහු ඉතිහාසය් විසින් නිර්දෝෂී කොට නිදොස් කරනු ඇත. 

මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, තම අවසන් වාර්තාව සකස් කරනු ලැබුවේ කෙසේද යන්න ගැටලුවකි. එහිදී චෝදනා එල්ල කරන පුද්ගලයින්ට එලෙස චෝදනා එල්ල කිරීම සඳහා අදාළ කමිටු සාමාජිකයින් භාවිතා කළ විද්‍යානූකූල සහ තර්කානුකූල ක්‍රමවේදය කුමක්ද?  එය මූලික වශයෙන් මෙහිදී පැන නගින අපැහැදිලි කාරණයකි. හිසබුල්ලාට චෝදනා කරමින් ජමයිතේ උළමා ප්‍රධානියා වන රිස්වි මව්ලවි නිදොස් කරනු ලැබුවේ කෙසේද?  එසේම, සාක්ෂිකරුවන් ලබා දුන් තොරතුරු නිවැරදි තොරතුරු සහ වැරදි තොරතුරු ලෙස වර්ගීකරණය කරනු ලැබුවේ කෙසේද? මෙය වහාම මෙම සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් රටට හෙළිදරව් කළයුතු කාරණයකි. 

වාර්තාව සහ සාක්‍ෂි සටහන් කොට ඇති වෙළුම් දෙක කියවීමේදී පෙනී යන මූලික කාරණයක් තිබේ. එනම් වාර්තාවෙන් ප්‍රතිපත්ති සහ ක්‍රමවේදයේ පවතින සාමූහික වැරදි නිරීක්ෂණය කිරීම දෙවැනි කොට සලකමින්,   පුද්ගලයින් කිහිප දෙනෙකු පමණක් ඉලක්ක කරමින් චෝදනා එල්ල කිරීමය. 

සාක්ෂි විමසීම් වලදී ආරම්භයේ සිටම මෙම කමිටුව මූලික අරමුණක පිහිටා කටයුතු කළ ස්වභාවයක් පෙනේ. එනම් , ප්‍රහාරය ගැන සෙවීම සහ එවැනි ප්‍රහාර යළිත් සිදුවීම වැලැක්වීමට කටයුතු කිරීම වෙනුවට, සමස්ථ ක්‍රමවේදයේ ඇති තාක්ෂණික අඩුපාඩු හෙළිදරව් කිරීමට මෙය අවස්ථාවක් කර ගැනීම සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම ප්‍රහාරයේ වගකීම භාරගත යුතු පළමු පුද්ගලයා බවට පත්කිරීමට උත්සහ කිරීමය. 

එය මෙම කමිටු සමාජිකයින්, එකම ගැටලුවට ස්වරූපයන් රාශියක් ලබා දී යළි යළිත් එම ගැටලුව ඇසීමෙන් ඔප්පු වේ. ජයවර්ධන මහතාගේ සාක්ෂිය පමණක් ගෙන බැලුවද, පළමුව ඔහු ඉතාම තර්කානූකූලව සහ විනයානූකූලව, පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් විසින් අසනු ලැබූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදී, අදාල ප්‍රහාර ගැන තමන්ට ලැබුණු තොරතුරුවලින් ජනාධිපතිවරයා පූර්ව දැනුවත් කිරීමක් නොකළ බව තහවුරු කළේය. ඉන්පසු කමිටු සාමාජිකයෝ බොහෝ දෙනෙකු, ජයවර්ධන මහතා සහ  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර බෝම්බ ප්‍රහාරය ගැන පූර්ව දැනුවත් කිරීම් සිදු වූ බව ඔප්පු කිරීමට නොගත් උතසහක් නැත. 

නමුත් එම අරමුණ ඉටු කර ගැනීමට නොහැකි වූ අවස්ථාවේදී අශු මාරසිංහ වැනි කමිටු සාමාජිකයින් නව ගැටලුවක් මතුකොට ඇත. එනම්, ජයවර්ධන මහතා රටේ සමස්ථ බුද්ධි අංශ වල ප්‍රධානියා බවට තහවුරු කිරීමට උත්සහ කිරීමය. එය ඉතාම අප්‍රසන්න උත්සහයක් පමණක් නොව, රටේ ක්‍රියාත්මක වන බුද්ධි අංශ ගැන ඔහුට ඇති දැනුමේ ප්‍රමාණය ඔප්පු කිරීමකි. එපමණක් නොව, එමඟින් ඔහු ඇතුළු කමිටු සමාජිකයින් උත්සහ දරා ඇත්තේ, ජාතික බුද්ධි ප්‍රධානියා ( සී.එන්.අයි.) සතු වගකීම රාජ්‍යය බුද්ධි අධ්‍යක්ෂක වෙත පැවරීමය. කමිටුවේ පටු සහ අප්‍රසන්න දේශපාලන උපායන් එමඟින් ඔප්පු නොවන්නේද? 

මෙරට බුද්ධි අංශ ගණනාවක් ක්‍රියාත්මක වන අතර ඒ සෑම එකක්ම ඉතාම ප්‍රවේශමෙන් අනුගමනය කළ යුතු මූලලේඛ  ( ප්‍රොටෝකෝල්) තිබේ. ඒ අනුව බලන විට සී.එන්. අයි. හට පැවරී ඇති වගකීම් සහ යුතුකම්, එස්.අයි.එස් හෝ ඩි.එම්.අයි. අධ්‍යක්ෂක වරුන්ට අභිබවා යෑමට හැකියාවක් නැත. මෙරට බුද්ධි අංශ කටයුතු කළයුතු ආකාරය ගැන ඩේලි ෆයිනෑන්ෂල් පුවත්පතේ ප්‍රසිද්ධ වූ ග්‍රැෆික් සටහන පහත දැක්වේ.  

(Chart 01: HUMINT structure that follows to share or transmit the intelligence received by the local intelligence agencies over possible attacks by Islamic extremists - Click here to read Daily FT

තම පරමාර්ථය ජනතාවට සේවය කිරීම නම්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයින් තම විමර්ශනයන් ඉදිරිපත් කිරීමට පෙර කළ යුතුව තිබු මූලික හැදෑරීම මෙයයි. එය එසේ වූයේ නම් ඔවුහුගේ කුසලතාවයන්ට අනුව, රටට සහ එහි ජනතාවගේ ආරක්ෂාවට වැදගත් වන වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබුණි. නමුත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටීම පමණක් තම වුවමණාව කරගත් මෙම සභාවේ සාමාජිකයින්, ඇත්ත දැකීම සෑම විටම ප්‍රතික්ෂේප කොට තිබේ. හොරට නිදන්නෙකු අවදි කල නොහැකි බව මෙම සාමාජිකයින් සියල්ලම පාහේ රටට ඔප්පුකොට තිබේ. 

මෙය කෙතරම් අප්‍රසන්න ලෙස සිදු කර  ඇත්තේද කිවහොත්, ජයවර්ධන මහතා සහරාන් සම්බන්ධයෙන් විමර්ශණය කිරීම නවතා දමන ලෙස හැඟවෙන පරිදි එම වාර්තාව සකස්කොට තිබේ. මෙය පට්ටපල් බොරුවකි. 

අතිශය සංවේදී ක්‍රමෝපායික මෙහෙයුමක සිදු වූ කාරණයක් සහරාන් සමග පටලවා ජයවර්ධන මහතාට චෝදනා එල්ල කිරීමට මෙම කමිටුවේ සාමාජිකයින් උපරිම උත්සාහය ගෙන ඇත. එසේම, මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින මෙහෙයුමක් ගැන ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීමට හෙතම පොළඹවා ඇත. එහිදී, අදාළ මෙහෙයුම් ගැන, කමිටුවේ සාමාජිකයින්ගේ දැන ගැනීමට පමණක් හෙළිදරව් කරන බව ජයවර්ධන මහතා සඳහන් කළද, එය තඹ ශතයකට මායිම් නොකරමින් කමිටු සාමාජිකයින් ඒ ගැනද තම ලිඛීත වාර්තාවේ හෙළිදරව් කොට ඇත. ජයවර්ධන මහතා තම රාජ්‍යය බුද්ධි සේවය විසින් ඉස්ලාමීය මූලධර්මවාදය ගැන සහ අනෙකුත් කාරණා ගැන පොලිස්පති, ජාතික බුද්ධි ප්‍රධානී සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයාට ඉදිරිපත් කළ බුද්ධි වාර්තා ප්‍රමාණය මෙසේ සඳහන් කරනු ලබයි. 



නමුත් කමිටුව තම වාර්තාව සකස් කිරීමේදී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගැනීම ඔහු ඇප මත නිදහස් කිරීම ආදී අතුරු කාරණා වලට වැඩි ඉඩක් ලබා දී තිබේ. විෂයට අදාළ සිදුවීම් සහ කරුණු වල ඇති හරය තනුක කරමින් තමගේ දේශපාලන අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා බාගත හැකි මාළුන් ගැන පමණක් වැඩි අවධානයක් යොමුකොට තිබේ.  

ඕනෑම අපාර්ධයක් ගැන විමර්ශන පැවැත්විය යුතුය. එසේම, රාජ්‍යය ආයතන ගැන මනා සිහියෙන් සොයා බැලිය යුතුය. එය ව්‍යවස්ථාදායකයේ මූලික වගකීමක් ලෙස සැලකිය හැකිය. එසේ වූ පමණින්, රටේ මූලික සංවේදී කාරණා  එළියට ඇද දමමින් ඉන් පටු දේශපාලන වාසී ලබා ගැනීම සඳහා තම රාජකාරී කටයුතු නිවරදිව කළ නිලධාරීන්ට චෝදානා කිරීම අපරාධයකි. 

මෙම කෙටි සටහන අවසානයේ ජාත්‍යන්තර උදාහාරණයක් සඳහන් කිරීම වැදගත් වේ. මන්ද මෙම කමිටුවේ සාමාජිකයින්ට සහ ඉදිරියේදී මෙවැනි කමිටුවල සාමාජිකත්වය ඉසිලීමට බලාපොරොත්තු වන අයවලුන් සඳහා මෙය ප්‍රයෝජනවත් වේ යැයි සිතේ. යම් කිසි විමර්ෂණයක වාර්තාවක් ප්‍රසිද්ධ කිරීමේදී විකල්ප පුවත්පතක් අනුගමනය කරන ක්‍රමවේදය භාවිතා කිරීමට රාජ්‍යය නිලධාරීන්ට සහ මහජන නියෝජිතයින්ට කළ නොහැකි අතර එහිදී ඔවුහු අනුගමනය් කළයුතු මූලික සාරධර්ම සංග්‍රහයක් තිබේ. ලංකාවේ එවැන්නක් නීති ගත කොට නැත්තේ නම්, තමන්ගේ සහ තමන්ට ජාතක වී ඇති පරම්පරාවේ නාමයෙන් හෝ රටේ අභිමානය වෙනුවෙන් එවැනි සාරධර්ම සංග්‍රහයක් අනුගමනය කළ යුතුය. එය පොදු අවබෝධයක් විය යුතුය. ඒ සඳහා මෙම උදාහරණය ගෙන හැර දැක්වීම වැදගත් වේ යැයි සිතේ. 

 සී.අයි.ඒ. සංවිධානය විසින් කරනු ලැබූ වසර 10කට වඩා පැරණි සියලුම මෙහෙයුම් වල වාර්තා මහජන පරිශීලනය සඳහා හෙළිදරව් කරන ලෙස විධායක නියෝගයක් ක්ලින්ටන් ජනාධිපතිවරයා නිකුත් කළේය. ඔහුගේ ධූරය කාලය සහ කණිෂ්ඨ බුෂ්ගේ ධූර කාලය අවසන් වන තෙක් එම ලේඛණ ප්‍රසිද්ධ නොකළ සී.අයි.ඒ. සංවිධානය ඔබාමාගේ පරිපාලන කාලය තුළ ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කළේය.  මිලියන ගණනනාවක් වූ එම බුද්ධි තොරතුරු ඉතාම ප්‍රවේශමෙන් හෙළිදරව් කිරීමට වගබලාගත් සී.අයි.ඒ. සංවිධානය ඒවායේ සඳහන් හෙළිදරව් කිරීමට නොහැකි සියලුම දෑ වාරණය කොට ප්‍රසිද්ධ කළේය. එහිදී තොරතුරු ලබා දුන් පිරිස්, මෙහෙයුම්වලට දායකත්වය සපයනු ලැබූ අය සහ ස්ථාන ගැන හෙළිදරව් වන සියලුම දෑ වාරණය කොට තිබේ. රටක ජාතික ආරක්ෂාව තහවුරු කළ හැක්කේ එලෙසය. 

නමුත් මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ප්‍රශ්න ඇසීමේදී සහ වාර්තාකරණයේදී හැසිරී ඇති ආකාරය අරුම පුදුමය. රටක් ගැන සහ එම රටේ වෙසෙන ජනතාවගේ ආරක්ෂාව ගැන අබමල් රේණුවකට වඩා වැඩි හැඟීමක් හෝ දැනීමක් තිබේ යැයි පුල-පුලා පුරසාරම් දොඩවන පිරිසකට  මේ ආකාරයෙන් හැසිරිය හැකිද යන්න යළි යළිත් අපි ඇසිය යුතු ගැටලුවකි. මන්ද, මෙවැනි අමන පිරිසක් විසින් සිදුකරන කටයුතු වලින් සිදුවන හානියෙන් හෙට දවසේ වන්දි ගෙවීමට සිදුවන්නේ නිරායුධ අහිංසක ජනතාව වන බැවිනි. 

ගෝඨා වෙනුවට මෛත්‍රී ?

ජනාධිපති සිරිසේන මහතා නියමිත මොහොත එන තෙක්  නිලය ඇල්ලීමට අර අදින ආකාරයක්  දිස්වේ. 


කතුවැකිය

වෙනදා මෙන්ම මේ දිනවලත් රටේ දේශපාලනය  ඉතාම උණුසුම්ය. මෙරට ප්‍රධාන ආහාරය වී ඇත්තේ දේශපාලනයය. මාධ්‍යය වල ප්‍රසිද්ධ වන වාර්තා දෙස බැලුවද, වෙනත් ඕනෑම තැනක සිදුවන දෑ සලකා බැලුවද, දේශපාලනය ප්‍රධාන වේ. ඉන් තොර ලෝකයක් අපට නැත. එය මෙරට පමණක් නොව බොහෝ රටවලද එසේමය. දේශපාලනය යනු සියල්ලමැයි.  

සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාධරයින් දෙදෙනෙකු වන ගාමිණි වියන්ගොඩ මහතා සහ මහාචාර්යය තේනුවර මහතා, පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයාගේ විශ්වසනීයත්වය ප්‍රශ්න කරමින් ගරු අධිකරණයේ පිහිට පතා ඇත. රටක පුරවැසියන් ලෙස ඔවුහුට ඒ සඳහා පූර්ණ අයිතියක් ඇත. 

එසේම, ඔවුහුගේ පැමිණිල්ල ගැන විශ්ලේෂණය කරනු ලැබූ වික්ටර් අයිවන් මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ආගමන සහ විගමන නීතිය හිතා මතාම උල්ලංඝනය කොට ඇති බව සඳහන් කරනු ලබයි. අයිවන් මහතාගේ පැහැදිළි කිරීම විසින් මෙම කාරණයේ ඇති බරපතල තත්වය මනාව විමසීමට ලක්කොට ඇත. 

රටක ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම යනු එම රටේ ඉරණම තීන්දු කිරීමකි. එසේම මීට සති කිහිපයකට පෙර ගෝඨාබය රාජපක්ෂ මහතා රටේ ස්වාධීන අධිකරණ ක්‍රමයක් තිබීමේ වැදගත්කම සහ රටක නීතිය සෑම අයෙකුටම සමාන ලෙස ක්‍රියාත්මක වීමේ වැදගත්කම ගැන දීර්ඝ වශයෙන් විශේලශ්ණය කළේය. ඒ ඔහු විසින් සංවිධානය කරනු ලැබූ සමුළුවකදීය. ඒ නිසා මෙම කාරණය මූලික කරගෙන මතු වී ඇති බරපතල තත්වය ගැන වෙන කාටත් වඩා හොඳ අවබෝධයක් ඔහුට ඇතැයි අපි විශ්වාස කරමු.



කෙසේ වෙතත්, අවසාන තීන්දුව ගරු අධිකරණය විසින් ලබා දීමට නියමිතය. 2018 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ සිදු වූ “ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය” අවස්ථාවේදී රටේ අධිකරණය,  එහි ස්වාධීනත්වය සහ ගෞරවය ඔප්පු කළ ආකාරයෙන්ම මෙම තීරණාත්මක කාරණයද විසඳි යනු ඇතැයි අපි විශ්වාස කරමු. 

ගරු අධිකරණයේ තීන්දුව, ගෝඨාබය රාජපක්ෂ මහතාට වාසී වුවහොත් එනම් ඔහු නිවැරදි කරු වුවහොත් කිසිඳු අවහිරයක් නොමැතිව තම සටන ඉදිරියට රැගෙන යා හැකිය. නමුත්, අධිකරණ තීන්දුව බැරිවෙලාවත්, ගෝඨාබය රාජපක්ෂ මහතාට අවාසී ලෙස ලබා දුන්නොත් ඊට අවශ්‍යය විකල්පයක් තිබිය යුත්තේය. එවැනි තත්වයක් මතු වුවහොත් සිදුවිය හැකි දේ කුමක් විය හැකිද?

මීට පිළිතුරු ලබා දීම සඳහා ජනධිපති මෛත්‍රිපාල සිරිසේන  මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ගනුදෙනුව වෙත අවදානය යොමු කිරීම වැදගත් වේ.

මීට මාස කිහිපයකට පෙර කා අතරත් ප්‍රචලිත වූ කාරණයක් වූයේ, ජනාධිපති සිරිසේන මහතා මීලඟ ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ කැමැත්ත ලැබී තිබුණු බවයි. එසේම සිරිසේන මහතාද එය ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටි බව දේශපාලන ආරංචි මාර්ග සනාථ කළේය. ඒ වෙනුවෙන් බොහෝ දේශපාලනික කටයුතු තිරය පිටුපසින් සිදු වූ බව රහසක් නොවේ. 

නමුත් ඔක්තෝම්බර් මාසයේ සිදු කළ දේශපාලන කෝලාහලයෙන් තම බලාපොරොත්තු ඉටුකර ගැනීමට අසමත් වූ පසු ඊට සහභාගී වූ බොහෝ දෙනෙකු විසිරී ගිය අතර, සිංගප්පූරුවේදී වෛද්‍යප්‍රතිකාර ලබා මෙරටට පැමිණි ගෝඨාබය මහතා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීම ලහි ලහියේ සිදුවිය. එය කිසිවෙකුගේ හෝ වුවමණාවට බලෙන් සිදුවූවාක් වැනි ස්වභාවයක් නිරීක්ෂණය විය. 

පොදු ජන පෙරමුණ සම්මේලනයේදී අදාළ නිවේදනය නිකුත් කිරීමට පැය කිහිපයක පෙර මහින්ද රාජපක්ෂ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍යය නියෝජිතයින් අතර හමුවක් පැවැත්වූයේ ඒ මහතාගේ නිවසේදීය. එහිදී ඍජු සහ වක්‍ර අදහස් රාශියක් ඉදිරිපත් වූ බව පැහැදිළිය. නමුත් ඒවා බොහෝමයක් රාජපක්ෂ මහතා මවිත කිරීමට සමත් වූ දෑ වීම නිසා ගෝඨාබය රාජපක්ෂ මහතා වහාම ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස නම් කළේද යන්න දන්නේ ඒ මහතා ඇතුළු කිහිප දෙනෙකු පමණි. 

නමුත් මේ වන විට රටේ ඇතිවී තිබෙන්නේ රාජපක්ෂ මහතා බලාපොරොත්තු නොවූ දේශපාලන ප්‍රවණතාවයකි. රාජපක්ෂ මහතා, සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිධූරය සඳහා තරග කිරීමට වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලැබේ යැයි සිහිනෙන්වත් නොසිතන්නට ඇත. එසේම, තම බලාපොරොත්තුව  ඉටු වූ පසු සජිත් ප්‍රේමදාස මහතා ඉතාම සීඝ්‍රයෙන් ජාතික නායකයෙකුගේ භූමිකාව පිළිඹිඹු කරන ආකාරය බොහෝ දෙනෙකුගේ මවිතයට හේතු වී ඇත. 

මෙම ප්‍රවණතාවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉතාම හිතකර අන්දමින් නිර්මාණය වී තිබීම සැලකිය යුතු කාරණයකි. එසේම මීට දින කිහිපයකට ඉහතදී, සිරිසේන මහතා තමන් ඉතාම සෞඛ්‍ය සම්පන්න බවත් තමන්ට තව දුරටත් රටට සේවය කළ හැකිබවත් සපත කළේය. ඉන් පසු රටේ නීතිය අභිබවමින්, මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණඩායමේ දේශපාලන පැවැත්ම තහවුරු කළ බව සඳහන් කළ හෙතම පොදුජන පෙරමුණට සහය වන්නේ, තම එකඟතා වලට එකඟ වන්නේ නම් පමණක් බව සඳහන් කළේය. ඒ අතර වැදගත් මංගල ත්‍යාගයක් ලෙස රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්‍ෂ යළිත් නාවික හමුදා සේවයේ පිහිටුවීමට තීරණය කළේය. මෙය මහින්ද රාජපක්ෂ මහතාගේ න්‍යෂ්ඨික පවුල ආකර්ෂණය කර ගැනීමකි. 

මෙම සන්දර්භය තුළ, ගෝඨාබය මහතාට ජනාධිපතිවරණය තරග කිරීම සඳහා නෛතික අයිතියක් නැති බව ගරු අධිකරණය තීන්දු කළහොත්, මහින්ද රාජපක්ෂ මහතාට කළ හැකි හොඳම තීන්දුව මෛත්‍රිපාල සිරිසේන මහතා කරළියට ගෙන ඒම විය හැකිය. ඊට ඔහුගේ න්‍යෂ්ඨික පවුලේ බලවත් ආශීර්වාදය ලැබෙනු ඇත. මෙම යථාර්තය ඉතාම හොඳින් දැනගෙන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය කටයුතු කරනවා විය හැකිය.  මහින්ද අගමැති, මෛත්‍රී ජනපති ගැන මුලින්ම කතා බහ වූයේ මීට මාස කිහිපයට පෙරදීය. 

මීට ස්වල්ප වේලාවකට පෙර පක්ෂයේ මාධ්‍යම කාරක සභාව කිසිඳු අවසන් තීන්දුවක් නොගෙන තම රැස්වීම අහවර කරනු ලැබුවේ එළඹෙන ඔක්තෝම්බර් පස්වනදා යළි මුණ ගැසීමට තීන්දු කිරීමෙන් අනතුරුවය. පස්වනදා එනම්, ගරු අධිකරණය හමුවේ ගෝඨාබය රාජපක්ෂ මහතාට අදාළ පැමිණිල්ල විභාග කොට දින දෙකකින් පසුය. 

ජනාධිපති සිරිසේන මහතා නියමිත මොහොත එන තෙක්  නිලය ඇල්ලීමට අර අදින ආකාරයක් මින් දිස්වේ. මේ නිසා,  ඉදිරි දින කිහිපය තුළ පෙරදා නොවූ විරූ දේශපාලනික අත්දැකීමක් රටේ ජනතාවට අත්විඳීමට සිදුවීමේ සම්භාවිතාව ඉතාම ඉහළය. 

ලංකාවේ ක්‍රිකට් සහ කෝප් කමිටුව - Set a thief to catch a thief

කෝප් කමිටුවේ කටයුතු මහජනතාවට විවර වීම ඉතාම හොඳ කටයුත්තකි. එසේම කමිටුවේ සභාපති ලෙස හඳුන්නෙත්ති මහතා සිදුකරන්නේ වැදගත් මෙහෙවරකි. ඔහු හොරෙක් නොවේ. 

කතුවැකිය 

සිරි ලංකාව වගේ රටක් ලෝකයේ කොහේවත් නැත. මේ රටේ සිදු වන දේ අමුතුය. රටේ පළමු රජ්ජුරුවෝ පිටරටින්  පැමිණි අයෙක් වූවා සේම රටේ අන්තිම රජ්ජුරුවෝද එසේමය.  මේ වන විට රට පුරාම කතාවෙන ප්‍රධාන මාතෘකාව වන ඉදිරි ජනාධිපතිවරණයේ හැඩතලද එසේමය. රටට සැබෑ නායකයෝ නැත. හැම එකෙක්ම නායකයෙක් වීමට උත්සහ කරති. කරේ රත්තරං බැඳගත් කටුස්සන් සෑම තැනකම පාහේ නැංගුරම් ලා සිටිති. ඉන්න තරමක් ඉන්නේ, තැන දුටු තැන වල ඉහ ගන්නා ජාතියේ කොටසකි. උන්ට අපි පාලකයෝ සහ නිලධාරීන් යැයි කියමු. බොහෝ තැන් වල සේවය කරන නිලධාරීන්ට, දේශපාලනඥයිනට සේම, රාජ්‍යය සම්පත් අවභාවිතය කිරීමට හැරෙන්නට වෙනත් කිසිම වුවමණාවක් නැත. 


මේ අතර කෝප්  කමිටුවේ තවත් එක් හමුවක් ඊයේ පවත්වනු ලැබීය. සාමාජ මාධ්‍ය වලට ස්තූති වන්නට, අදාළ කමිටුවේදී  දැක්වූ අදහස්  සජීවීව විකාශය කරනු ලැබීය. රටට සහ ජනතාවට වැදගත් වන්නේ විවිධ දේශපාලන න්‍යාය පත්‍ර සපුරා ගැනීම සඳහා ජනතාවගේ කාලය සහ මොළ ගෙඩි ව්‍යාකූල කරන රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා නොවේ. ඒවාට වියදම් කරන කාලය,  සමාජ මාධ්‍යය සහ අනෙකුත් නව මාධ්‍යය වලට වියදම් කිරීම යහපත්ය. 

කෝප් කමිටුවේ කටයුතු මහජනතාවට විවර වීම ඉතාම හොඳ කටයුත්තකි. පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කරන විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු විකාශය කොට රටේ ආරක්ෂක කටයුතු අදූරදර්ශී ලෙස දේශපාලනීකරණය කිරීම සිදු කළද මෙම කෝප් කමිටුවේ හමුවීම් සියල්ලම සජීවීව විකාශය කිරීම ඉතාම හොඳ කටයුත්තකි. එසේම කමිටුවේ සභාපති ලෙස හඳුන්නෙත්ති මහතා සිදුකරන්නේ වැදගත් මෙහෙවරකි. ඔහු හොරෙක් නොවේ.

කෝප් කමිටුව සහ මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් ඊයේ උදෑසන රට හමුවේ රඟපෑ නාට්‍යය ඉතාම වැදගත්ය. දෙපාර්ශවයේ සංයුතියද ඉතාම අගනේය.  ප්‍රශ්ණ අසනු ලැබූ පාර්ශවය මෙන්ම ඊට පිළිතුරු ලබා දුන් අයද ලංකාවේ සැබෑ සමාජ ව්‍යුහයේ නියම හරස්කඩකි.

"Set a thief to catch a thief" යැයි  කියමනක් ඉංග්‍රීසි බාසාවේ තිබේ. එහි සරල අර්ථය වන්නේ, හොරෙක් අල්ලා ගැනීම සඳහා හොරෙක් ස්ථානගත කළ යුත්තේය, යන්නය. අදාළ කෝප් කමිටුවේ සාමාජිකයින් ලෙස වාඩී වී සිටි ඇතැම් මන්ත්‍රීවරුන් සහ රාජ්‍යය අමාත්‍යවරුන් දෙස බැලීමේදී කිව යුත්තේ එයයි.

කෝප් කමිටුව විසින් සිදු කර ඇති මූලික දේශපාලනික න්‍යාය වන්නේ හොරෙක් අල්ලා ගැනීම සඳහා තවත් හොරෙක් හෝ හොර රංචුවක් ස්ථානගත කිරීමය.  ක්‍රිකට් ආයතනයේ දූෂණ ගැන විමසනු ලැබූ ඇතැමුන් ශතයක දෙයක් වංචා නොකළ ශාන්තු වරුන්සේ හැසිරීම ඉතාම විනෝද ජනකය. මහජන දේපල, පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් විසින් මංකොල්ල කෑම ගැන වැදිබණ දෙසන මෙම බොහෝ මහත්වරුන්ගේ චරිතද එසේමය. උන්ට යහපාලනය, රජපාලනය, සම්මුතිවාදය, පවුල්වාදය වැදගත් නැත. උන්ට අවශ්‍යය වන්නේ "ප්‍රසන්ටේජ්" එකය. එනම්, කොමිස් මුදල හෙවත් ඔවුහුගේ බසින් "මාකප්" එකය.

පම්පෝරිය වැඩියෙන් හෙළන්නා කුමක් හෝ සඟවා ගැනීමට උත්සහ කරෙන්නෙකි. මේ සුදු ඇඳගත් සහ බටහිර පන්නයට හැඳගෙන කැඩුණු ඉංග්‍රීසියෙන් සහ නොගැලපෙන සිංහලෙන් දොඩන මහත්වරුන්  ඔක්කෝගෙම ඇත්ත කැරැට්ටුව ඒකය. ක්‍රිකට් ආයතනයේ දූෂණ ගැන විශාල කම්පාවෙන් කතාකරන සුජීව සේනසිංහ හෝ මන්හිදානන්ද අලුත්ගමගේ වැනි අයවලුන්ට තම වත්කම් ගැන සත්‍යය වාර්තාවක් රට හමුවේ ඉදිරිපත් කළ හැකිද? මේ මිනිසුන් කරන ජනතා සේවයේ තරම සැඟවී ඇත්තේ එතැනය. ඔක්කොම අමූලික බොරුව සහ අහංකාරකම කරපින්නා ගත් නිශාචර චෞරයින් රෑනකි. ඔවුහුගේ එකම සුදුසුකම තවත් හොරෙක් අල්ලා ගැනීමට ඉතාම කෙටි කාලයකින් දක්ෂ වීමය. කෝප් කමිටුවට ඔවුහු වැදගත් වන්නේ ඒ නිසාය.

එසේම,  මෙරට ක්‍රිකට් පරිපාලනය අතිශය දූෂිත සහ කිසිඳු ගරුත්වයක් දිනා නොගත් ආයතනයකි. ක්‍රිකට් ක්‍රීඩාව ලංකාව  මුළුමනින්ම යහපත් ලෙස වෙනස් කිරීමට හැකියාව තිබූ ක්‍රීඩාවකි. මූල්‍යමය වශයෙන් පමණක් නොව ජාතික සමගිය සහ විදෙස් ප්‍රතිපත්තිය මුවහත් කිරීමටද එය භාවිතා කළ යුතුව තිබුණි. නමුත්, ජාතියේ අවාසනාවට, පාදඩ මාෆියාවක් බවට පත් වූ එය, රටට අපකීර්තියක් ලබා දෙනු ලැබීය.

උග්‍ර ලෙස, නිලධාරීවාදයට සහ දේශපාලනීකරණයට ගොදුරු වූ මෙම ආයතනයට සිදු වූ නස්පැත්තිය කෙතරම්ද යන්න, අඩි තිස්දහසක් උඩ ගුවනේදී මගී ගුවන් යානයක දොර ඇරීමට උත්සහ කළ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ වෙස්ගත් බේබද්දෙකුගේ කෙරුවාවෙන්ම පෙනේ. ඔහු කෙහෙළිය රඹුක්වැල්ල නමැති දේශපාලනඥයාගේ පුත්‍රයාය. ඒහා සමාන සිදුවීම් රාශියකි. 

බලයට පත් වූ සෑම ආණ්ඩුවකම සිටි කඳ පණුවන් රාජ්‍යයට සේවය කිරීමට වඩා, රාජ්‍යය සම්පත් ඇති  තැන් වලට කෙළ හලා ඒවායෙන්  තම  මඩිය තර කර ගැනීමට උත්සහ කළා මිස රටට සහ අසරණ ජනතාවට සේවයක් කිරීමට උත්සහ කළේ නැත. ඔවුහුට ජනතාව යනු තම වාසිය වෙනුවෙන් භාවිතා කළ හැකි විෂයයන්ය.

මේ නිසා, සැබෑ ක්‍රීඩකයින්ට ඉදිරියට පැමිණීමට තිබූ මාර්ග අවහිර කළා පමණක් නොව දක්ෂයින් ඇතිවීමට ඇති අවස්ථාවද අහුරුවාලනු ලැබීය. මෙය ක්‍රිකට් වලට පමණක් අදාළ කාරණයක් නොවේ. රටේ සෑම ක්ෂේත්‍රයකම ව්‍යාප්ත වී ඇත්තේ මෙයයි. වීදියේ සෙල්ලම් කරන කොලු ගැටයෙකු කොළඹ ගෙනවිත් ඔහු ලෝකයේ හොඳම ක්‍රීඩකයෙකු බවට පත්කොට නිරහංකාරව ආඩම්බර වන රාමනායකලා වැනි මිනිසුන් වත්මන් ක්‍රිකට් පරිපාලනයේ නැත.

කෙසේ හෝ වේවා, කෝප් කමිටුව හේතුවෙන් සැඟවී ගඳ ගසමින් තිබෙන කුණු මතුපිටට පාවෙමින් තිබේ.  ඒවායේ දුර්ගන්දය දසත පැතිරෙමින් තිබේ. වැදගත් වන්නේ  ශක්තිමත් රාජ්‍යය ප්‍රතිපත්ති භාවිතා කොට කුණුවී ඇති තුවාලය ශුද්ධ කිරීමය. එලෙස ශුද්ධ කරන විට තව එක් හිරගෙදරක් පමණක් නොව හිරගෙවල් සීයක් තැනීමට සිදුවුවද කම් නැත. වැදගත් වන්නේ, මේ රටේ ජනතාවට තම ආත්මගරුත්වයක් ඇතිව ජීවත් වීමට ඇති වටපිටාව සකස් කිරීමය. පාලකයෙකු අවශ්‍යය වන්නේ එම භාරදූර කාර්යයට මිස වෙන ඉලව්වකට නොවේ.  

නැව් ගිලපු තක්කඩියන්ගේ දරුවන්ට

මේ වන විට මැතිවරණ කාලය ආසන්න වී තිබේ. තමන්ගේ ගතමනාව හොයා ගත හැකි කාලය වන මෙය හොරුන්ගේ වසන්ත කාලය වේ. 

කතුවැකිය

ජාතියේ අවාසනාවට බිහි වූ තක්කඩියන් දහස් ගණන අතරින් කිහිපදෙනෙකුගේ කෙරුවාව ඊයේ මාධ්‍යය ඔස්සේ හෙළිදරව් කරනු ලැබීය. ඊට අනුව මෙරටට මිළදී ගනු ලැබූ නැව් දෙකකින් ඇමෙරිකානු ඩොලර් මිලියන දහඅටක ප්‍රමාණයක් පිල්ලි ගසා ඇත. එය ශ්‍රී ශ්‍රී ලංකා මුදලින් 3241350000.00 ප්‍රමාණයකි (මෙම ගණන ගණන් කරන හැටි අපි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායකගෙන් අසමු).  එලෙස ඩොලර් මිලියන 18ක් පිල්ලි ගසා ඇත්තේ අදාළ ගනුදෙනුවේ නියම අගය ගැන කළ තක්සේරු වාර්තා පයිසෙකට මායිම් නොකරමිනි.



ඇතැම් මූලාශ්‍ර පෙන්වා දෙන පරිදි අදාළ නව්කා දෙකේ සැබෑ විටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන විසිඅටකි. එනම් එක නැවක වටිනාකම ඩොලර් මිලියන 14කි. අදාළ ගනුදෙනුව කළ අවස්ථාවේදී පළමුව කළ තක්සේරුවට අනුව එක නැවක වටිනාකම ඩොලර් මිලියන විස්සකි. පසුව ලංකාවේ කල්ලියක් විසින් කරනු ලැබූ තක්සේරු වටිනාකමට අනුව නැවක වටිනාකම ඩොලර් මිලියන 26ක් විය. අදාළ ගනුදෙනුව සිදුවන්නේ එම කිසිඳු තක්සේරු වාර්තාවක් නොසලකා හැර එක් නැවක් මිලියන 35 බැගින් වූ වටිනාකමකටය. මෙම හොරුන්ට සහ උන්ගේ පවුලේ සියලු දෙනාට හෙණ වැදිය යුතු නොවේද? මුන් මේ කෙළසා ඇත්තේ මේ රටේ ගරුත්වය සහ මහජන මුදල්ය. 

රට හිඟමනට වැටීමට තවත් හේතු අවශ්‍යයද? මේ ජාතියට හෙණ වැදී ඇත්තේ මේ නිසාය. මෙවැනි ගනුදෙනු වල සිටින මෙම පාදඩ තක්කඩියන් පමණක් නොව ඔවුහුගේ දුවා දරුවන්ට පවා ස්වාභාවධර්මයාගේ ශාපයට නතු වී දිට්ටධම්ම්වෙදනීය කර්මය පටිසන් දිය යුතුමය. තමන්ගේ දෙමාපියන් විසින් කළ ඒ සහාසික ජාතික අපරාධ ගැන රුපියලක තරම් හෝ වටින හැඟීමක් තම ආත්මගරුත්වය ගැන තිබේ නම් ඔවුහු ඊට එරෙහි වනු ඇත. පිල්ලි ගසනු ලැබූ එම මහජන දේපල වලින් ශතයක්වත් තමන්ගේ භුක්තිය සඳහා නොගනු ඇත. 


******


******

පලවී ඇති පුවත් වාර්තා වලට අනුව, ශ්‍රී ලංකා නැව් සමාගමේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ රන්ජිත් ප්‍රේමසිරි නමැති හොරා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් වයිස් මාර්ෂල් පී.ඩී. ජයානාත් නමැති හොරා මීට මූලික වශයෙන් සම්බන්ධ වී ඇති අතර ඔවුහුගේ පරම්පරා නියෝජනය කරමින් ඊට සම්බන්ධ වී ඇති පිරිසගේ වතගොතද මේ වන විට මාධ්‍යය ඔස්සේ හෙළිදරව් වෙමින් තිබේ. මොවුන් මෙසේ පිල්ලි ගැසුණු ලැබූ මුදල් මොරිස් රාජ්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ බැංකු වල තැම්පත් කරඇති බව හෙළිදරව් වී තිබේ. එසේම එම මුදල් යළි ගැනීමට නොහැකි වන පරිදි මේ වන විටත් අවශ්‍යය තැන්වල ආයෝජනය කර ඇතැයි සිතේ. මේ ජාත්‍යන්තර හොරුන් කටයුතු කරනු ලබන්නේ එලෙසය.  

මේ ආකාරයෙන්ම රුසියාවෙන් මිළදී ගැනීමට යන නැවක් ගැන මාධ්‍යය ඔස්සේ හෙළිදරව් විය. ඊට අදාළ වාර්තාවල සඳහන් වූයේ නැව් තුනක් මිළදී ගත හැකි මුදල් වලින් එක් නැවක් මිලදී ගැනීමට සැලසුම් කොට ඇති බවය. එසේම  පසුගිය කාලය පුරාම ඉන්දියාවෙන් මිළදී ගත් නැව් ගැනද බොහෝ පාර්ශවයන් විසින් සැක සංකා මතුකොට තිබේ. වත්මන් ආණ්ඩුව කාලයේදී ඒවා සිදුවී ඇති බැවින්, ඒ ගැන නිවැරදි පර්යේෂණ වාර්තා තවමත් ප්‍රසිද්ධ වී නැත.  මන්ද, මේ රටේ හොරුන් ඇල්ලීම යනු දේශපලන වංචනික ක්‍රියාවක් බැවිනි. බලයේ සිටින ආණ්ඩුව තමන්ගේ හොරකම් වසා ගැනීම සඳහා පැවති ආණ්ඩුවේ කෙරුවාව ගැන කියමින් තමන්ගේ කෙරුවාව තිරය පිටුපසින් කරන්නේය. 

මීට මාස කිහිපයකට පෙර ජනාධිපති ලේකම්වරයෙකු සහ දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබූ අයෙකු  පගාව ගැනීමට ගොස් අතටම මාට්ටු විය. දින කිහිපයක් තිස්සේ හිරගෙයි කූරු ගණන් කළ හෙතමෝ ඇපපිට එළියට ආහ. ඊට පෙර දේශපාලන පක්ෂයක අයිතිකරුවෙකු රටේ මහජනතාව අහාර පිසීමට භාවිත  කරණ ගෑස්වලින් යටිමඩි  ගැසූ ආකාරය අතටම මාට්ටු වී හිරේ ගියේය. දේශපාලනඥයකු වන සුජීව සේනසිංහ විදෙස් රටකදී කොමිස් ඉල්ලන අකාරය සඳහන් වීඩියෝ පටයක් මාධ්‍යය ඔස්සේ ප්‍රසිද්ධ විය. කිසිඳු විලිලැජ්ජාවක් නොමැතිව යලිත් තම දේශපාලන ව්‍යාපෘතිය කිරීමට හෙතම සූර විය. උදෑසන වැසිකිළියට ගියත් දේශප්‍රේමය ගැන වහරන උදය ගම්මන්පිලට ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාරිකයෙකු නොමග යවා රැවටු බවට චෝදනා එල්ල විය. 

මේ හොරකම් සිල්ල දෙසම බලන විට පෙනී යන්නේ මේ කිසිවක් තනි පුද්ගලයෙකුගේ වෑයම් නොවන බවය. ඒවා ඉතාම ශූක්ෂමව සකස් වූ ජාලයකින් සිදුවන බවය. මේ නිසා කුඩු කන්ටේනර හමු වන විට, එතනෝල් බැරල් හමුවන විට ඒවාට එරෙහිව නීතියානුකූලව කටයුතු කිරීම නැවත්වීම සඳහා දේශපාලන අධිකාරියේ බලපෑම එල්ල වේ. බොහෝ සොරකම් ගැන සිදු කරන පර්යේෂණද හුදු මාධ්‍යය සංදර්ශන පමණක් වී ඇත්තේ මේ නිසාය.  

මේ නැව් දෙකක් ගිලපු හාදයින්  දෙදෙනාට අමතරව මේ රට පුරාව තැනින් තැන සැඟවී සිටින හොරුන් රාශියකි. මොවුන්ගේ හොරකම් වල ප්‍රමාණය ගැන සිතා එම මුදල් රුපියල් දාහයේ නෝට්ටු වලින් මුද්‍රණය කොට එකිනෙක මත තැබුවහොත් හඳට ගමන් කළ හැකි මාර්ගයක් තනා ගැනීමට හැකිවනු ඇත. ඒ තරමකට මෙම හොරකම් වල ප්‍රමාණය අතිවිශාලය.

මේ වන විට මැතිවරණ කාලය ආසන්න වී තිබේ. තමන්ගේ ගතමනාව හොයා ගත හැකි කාලය වන මෙය හොරුන්ගේ වසන්ත කාලය වේ. මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්තරා දේශපාලඥයෙකු චීන සමාගමක් ඇමතුවේය. තමන්ට ලැබුණු නිල නිවාසයේ කාලය අවසන් වුවද බලෙන් රැඳී සිටින හෙතම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන සමගි කතා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය නියෝජනය කරන උපලේකම්වරයෙකි. මෙම පුද්ගලයා මෙරට ආරක්‍ෂක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ආයෝජන සහ ගනුදෙනු රාශියක් සිදුකළ චීන සමාගමක් අමතා තම කටයුතු වලට මුදල් ලබා දෙන ලෙස ඉල්ලා ඇත. මෙය මෙම කැත සංස්කෘතියේ එකතරා සිදුවීමක් පමණි. 

අවසාන විග්‍රහයේදී යහපාලනයට මොන අයෙකු චෝදනා කළද, මූල්‍ය අපරාධ විමර්ශන අංශය (එෆ්.සී.අයි.ඩි.) වැනි ආයතන බිහි වී උඩින් දේශප්‍රේමයේ ඔපය දමා ඇතුළතින් වලත්ත වී ඇති මෙම සංස්කෘතියේ ඇති ඇත්ත තත්වය යම්කිසි පමණකින් හෝ හෙළිදරව් වීම යහපත් දෙයක් බව අවධාරණය කළ  යුතුය. මීළඟට අවශ්‍යය වන්නේ මෙවැනි ආයතන වලින් සිදු කරනු ලබන සේවය තව දුරටත් විනිවිද බාවයෙන් සිදුකිරීම සහ එම ආයතනවල සිටින නිලධාරීන් පවා වගවීමට නතු කළ හැකි ස්වාධීන ක්‍රමවේදයක් සකස් කිරීම මිස, රට ආපස්සට ඇදීම නොවේ. මහජනතාව ඒකරාශී විය යුත්තේ එවැනි වැඩපිළිවෙලක් වෙනුවෙනි. 

අවුරුදු 48,000කට පෙර වී වගා කළ අපේ මිනිස්සු

සඳරැසී සුදුසිංහ

ලෝකයේ මුලින්ම වී වගා කළ රට ලෙස ලංකාව ඉතිහාසයට එක් වන බව දන්නේ ස්වල්ප පිරිසකි. ඒ වී වගාකරුවෝ පාහියන් ලෙනේ විසූ නූතන මානවයාගේ මුතුන් මිත්තෝය.


එක් දවසක ලංකාවේ හෝර්ටන් තැන්නට අපූරු වැස්සක් වැටිණි. එය පුරාවිද්‍යා පර්යේෂණ වැස්සකි. එය මුළු ලොවින්ම සැඟ වී තිබුණු අපේ ආදරණීය මුතුන්මිත්තන්ගේ කියුම් කෙරුම් ලෝකයට හෙළිදරව් කළ ආලෝක කදම්භයක් වුණු පර්යේෂණයකි. කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය එහි පෙරගමන්කරුවා වූයේය. ආචාර්ය ටී. ආර්. ප්‍රේමතිලක නම් වූ පර්යේෂකයා එහි නියමුවා විය. එම පර්යේෂණයට ස්වීඩනයේ ස්ටොක්හෝම් විශ්වවිද්‍යාලය, උප්සලා විශ්වවිද්‍යාලය හා ඉන්දියාවේ ෆොන්ඩිචෙරි විශ්වවිද්‍යාලය එක් වී සිටියේය.

අතිපුරාන පරිසරය මෙන්ම මිනිසාගේ වෙනස් වීමට අතීත දේශගුණය කෙසේ බලපෑවේද යන්න සෙවීම එම පර්යේෂණයේ මූලික අරමුණ විය. එහිදී මෝසම් කලාපයේ දේශගුණික ඉතිහාසය සෙවිය යුතු විය. අප සියලු දෙනාගේම ජීවන රටාව මේ වන තුරුද මෝසම් මත පෙළගැසී ඇත.

අපේ අතීත ශිෂ්ටාචාරය තුළ කෘෂිකාර්මික සභ්‍යත්වය ආරම්භ වීමේ දින වකවානු සෙවීම මේ පර්යේෂණයේ අරමුණ විය.

බොහෝ දෙනා මෑතක් වන තුරුම සිතා උන්නේ අපට ඇත්තේ අවුරුදු 2500ක ඉතිහාසයක් බවය. එයද ඉන්දියාවෙන් තෑගි ලැබුණක් ලෙසය. නමුත් මීට දශක තුනකට පෙර ආචාර්ය සිරාන් දැරණියගල වැනි පුරාවිද්‍යාඥයන් ඒ කතාවල තවරා තිබූ සාහිත්‍යමය අයිසින් තට්ටුව ඉවත් කොට අපේ සභ්‍යත්වය කොපමණ අතීතයක් කරා ගමන් කරන්නේද යන්න ඕනෑවටත් වඩා විශ්වාස කළ හැකි පුරාවිද්‍යාත්මක සාධක මඟින් ලෝකයටම කියා දුන්නේය.

ඒ අතීතය හාරා අවුස්සන්නට ආචාර්ය ටී. ආර්. ප්‍රේමතිලකයන් තම දැනුම යොදාගනිමින් 1995 වසරේදී තම පර්යේෂණ කටයුතු ආරම්භ කරන්නට හෝර්ටන් තැන්න තෝරාගනු ලැබිණි. මුහුදු මට්ටමේ සිට අඩි හත්දහසක් උසින් යුත් ඉතා සංවේදී පරිසර පද්ධතියක් වූ හෝර්ටන් තැන්න වෘක්ෂලතා, සතුන් මෙන්ම භූගර්භයද සහිතව ස්වකීය විශේෂත්වය පෙනුන්ම් කරන්නට විය.

ආචාර්ය ටී. අ‍ාර්. ප්‍රේමතිලකයන් ඇතුළු පර්යේෂකයෝ එතෙක් මෙරට භාවිතා කර නොතිබූ දියුණු පර්යේෂණ ක්‍රම දහයක් යොදා ගනිමින් තම කටයුත්තට අවතීර්ණ වූහ.

මෙහිදී පාරිසරික භූ චුම්භකත්වය මැනීමේ නවීන උපකරණ භාවිතා කරමින් මෙන්ම, කාබනික ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීමේ තාක්ෂණය යොදාගනිමින්, ක්ෂුද්‍ර ශාකමය, ෆොසිල අධ්‍යයනය කිරීමේ තාක්ෂණය හා රේඩියෝ කාබන් කාල නිර්ණය ආදී පර්යේෂණ ක්‍රම භාවිතයෙන් පර්යේෂණ කටයුතු ක්‍රියාත්මක කෙරිණි.

හෝර්ටන් තැන්න හි පුරාතන දේශගුණය පිළිබඳ කළ පර්යේෂණ අනුව එහි ඇති මෝසම් දේශගුණය වසර සියයෙන් සියයට පමණ වෙනස් වන තත්ත්වයක් පෙනුම් කරන වග තහවුරු කරන්නට පර්යේෂකයන්ට හැකි විය.

අතිශය සංවේදී භූගර්භ ලේඛනාගාරයක් ලෙස හෝර්ටන් තැන්න හඳුන්වාදෙන ආචාර්ය ටී.ආර්.ප්‍රේමතිලකයන් තම පර්යේෂණය පිළිබඳ අදහස් දක්වාලූයේ මෙසේය.

“මීට අවුරුදු 17,000කට කලින් ඉඳල හෝර්ටන් තැන්නෙ හේන්වගාවක් (Chena Cltivation) තිබිලා තියනවා කියලා අපි සොය‍ාගත්තා. මේක පැරණිම ප්‍රාථමික කෘෂිකාර්මික තත්ත්වයක්. මෑත කාලයේදී ඉන්දියාවේ ගංගා නම් තැනිතලාවේ මීට සමාන තත්ත්වයක් වාර්තා වෙනවා. ඒ වගේම පිලිපීන, ඉන්දුනීසියාව, බෝර්නියෝ වගේ රටවලින්ද එවැනි තත්ත්වයන් වාර්තා වෙනවා.

ලංකාවේ මූලික කෘෂිකාර්මික වටපිටාව දක්වන මේ හෝර්ටන් තැන්නේ අවුරුදු 16,000කට කලින් යව පවුලට අයත් ධාන්‍ය වර්ග, බාර්ලි, ඕට්ස්, වනගත වී හෙවත් ඌරු වී වැනි ධාන්‍යවල ෆොසිලමය සාක්ෂි අපි හඳුනාගත්තා.

අවුරුදු 25,000 – 18,000 අතර කාලයේදී හෝර්ටන් තැන්න මුළුමනින්ම වියළි කාන්තාරමය පරිසරයක් විදියටයි පැවතිලා තියෙන්නෙ. .........පිරුණු ශුෂ්ක කටුපඳුරු තමයි තිබිලා තියෙන්නෙ. වැස්ස ලැබිල තියෙන්නෙ අවුරුද්දකට මිලි මීටර් 500ක් වගේ සුළු ප්‍රමාණයක්.

ඊට පස්සේ අවුරුදු 18,000 – 17,000 වගේ කාලයේදී මේ පරිසරයට මෝසම් වර්ෂාව ලැබෙන්න ගන්නවා. මේ කාලේ මිනිස්සු පියවර ගානක් ඉදිරියට ඇවිත්, අවුරුදු 17,000 – 13,000 වෙන කොට කෘෂිකාර්මික සභ්‍යත්වය කරා ගමන් කළ හැකි මූලික තත්ත්වයක් පෙනුම් කරනවා. කලින් කී ධාන්‍ය වර්ග වගා කරල තියෙනවා මේ කාලයේදී.

ඊට පස්සේ අවුරුදු 13,000 – 8000 වගේ කාලයේදී ධාරානිපාත වර්ෂාව ඇද වැටිලා තියනවා. අදට වඩා දෙගුණයක් මේ ප්‍රදේශයට වැහැලා. ඒ නිසා කෘෂිකර්මය හා සම්බන්ධ පාරිසරික වටපිටාව මේ බිමෙන් අතුරුදහන් වෙලා තියනවා.

අවුරුදු 8,000 සිට අවුරුදු 3000ක් වෙනකොට මෝසම් දේශගුණය පිරිහෙනවා. මීට අවුරුදු 4000ක් වෙද්දි මේ මුළු කලාපයම දරුණු නියඟයකට ලක් වෙනවා. ඒ දේශගුණික පරිවර්තනය එදා වගේම ඉදිරියටත් එනවා. හෝර්ටන් තැන්න කියන්නේ මහා තොරතුරු ගබඩාවක්.

මේ වෙනකොට අපි දන්නවා සත්ව හා ශාක ගෘහශ්‍රිතකරණය ගැන. ඒ කියන්නේ හීලෑ කරන ලද සතුන්, ශාක භාවිතය. මේ ගැන මුළු ලෝකයට ප්‍රශ්නයක් තියනවා. කොයි කාලෙකද මේ තත්වයන් ඇති වෙන්නේ කියලා.

ඒ අනුව අපි දකුණු ආසියාවේ පැරණිම ගල් ගුහාව වන, ෆාහියන් ලෙනේ පර්යේෂණ කටයුතු ආරම්භ කළා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කටයුතු අතර ක්ෂුද්‍ර පාරිසාරික පු‍රාවිද්‍යා පර්යේෂණ ආරම්භ කළා.

මේ ලෙනෙන් සොයාගත් අස්ථි, බෙලිකටු, ශාක අඟුරු, සත්ව අවශේෂ මේ පරිසරයේ සිදු වුණ මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ සාක්ෂි සපයනවා. මේ ගුහාවාසීන් විවිධ ශාක වර්ග භාවිතා කරලා ති‍බෙනවා. වල් කෙසෙල්, වී, වල්දෙල්, කැකුණ, බටලී වගේම තාල වර්ගයට අයත් ශාක වර්ග ගණනාවක්ම මේ මිනිස්සු ප්‍රයෝජනයට අරන් තියනවා.

අපිට හමු වුණ ෆොසිල සාක්ෂි අතර “වනගත වී” වර්ග භාවිතා කිරීමක් පිළිබඳ තොරතුරු හඳුනාගන්න පුළුවන් වුණා. ක්ෂුද්‍ර මට්ටමේ ෆොසිල හමුවුණේ මීටර් එකක් එකහමාරක් විතර යට පස් තට්ටුවලින්. අවුරුදු 48,000 – 6000 අතර කාලයෙන් හම්බවෙන සාධක වලින් Oryza Nivara (ඔරයිසා නිවාරා) නම් වී වර්ගවලට සමාන වන වී හෙවත් ඌරු වී වර්ගය හම්බ වෙනවා. මේ තමයි ලෝකයේ පැරැණිම වී වගා කිරීමේ තත්ත්වය. ඒක සුවිශේෂි සොයා ගැනීමක් ලංකාවට වගේම ලෝකයටත්.

මීට අවුරුදු 6000ක් වන තුරුම වන ගත වී භාවිතා කරපු අතීත මුතුන් මින්තෝ, ඒ කියන්නේ නූතන මානවයාගේ පරපුරේ මුතුන් මිත්තෝ, ටිකෙන් ටික වනගත වීවලින් දුරස් වෙන්න පටන් ගන්නවා. ඔවුන් හීලෑ කරන ලද එහෙම නැත්නම් ගෘහාශ්‍රිතකරණය කරන ලද වී වර්ග වගාවට භාවිතයට හුරු වෙනවා. මේ හීලෑ කරන ලද වී වර්ග Oryza Sativa(ඔරයිසා සටිවා) වර්ගයට අයිති‍ වී කියල හඳුන්වනවා. නියම හීලෑ කරන ලද වී බිහි වෙන්න බොහෝ කාලයක් ගත වුණා. අද දක්වාම පවතින්නේ එදා සිට මෙරට උන් ජනයාගේ පරිසරයෙන් සම්භවය වූ වී වර්ග. අද වගේම ඒ කාලෙත් ප්‍රධානම ආහාරය බත් කියලා අනුමාන කරන්න පුළුවන්. ලංකාවේ වනගත වී වර්ග පහක් විතර තියනවා. අපි අද ආහාරයට ගන්නා වන වී වර්ගවලින් බිහි වුණා කියලා හිතන්න පුළුවන්.

කොහොම වුණත් අද වන තුරු ලෝකයේ විවිධ ප්‍රදේශවල සිදු කර ඇති පර්යේෂණ සියල්ලටම අනුව අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන් ලෝකයේ පැරැණිම වී වගා කරල තියෙන්නෙ අපි කියලා.

චීනය ඉන්දියාව වගේ රටවල් අවුරුදු 6000 – 5500 අතර කාලයේදීය ගෘහාශ්‍රිතකරණය වූ කෘෂිකාර්මයට අවතීර්ණ වෙන්නෙ. ඒ වගේම ඔවුන්ගේ ගෘහාශ්‍රිත නොවූ කෘෂිකාර්මික අතීතය චීනයේ හා ඉන්දියා අවුරුදු 12,000 වගේ කාලයකයි ආරම්භ වෙලා තියෙන්නෙ අපි එතැනදි හුඟක් ඉදිරියෙන් ඉන්නේ.

අවුරුදු 48,000ක් දක්වා ඈත යුගයේදී අපේ රටේ ලෝකයේ මුල්ම කෘෂිකාර්මික ජයග්‍රහණයන් සටහන් කරමින් වන වී භාවිතා කරලා තියනවා. එදා සිට වැවූ වීවල ජාන උරුමය තවමත් මේ රටේ තිබෙනවා. ඒ උරුමය ආරක්ෂා කරගැනීම අපේ යුතුකමක් වගේම, මේ වී භාවිතා කරමින් තවත් වී විශේෂ නිපදවන්නන් සැලකිලිමත් වෙන්න ඕන.

අපි මේ පර්යේෂණ හෝර්ටන් තැන්නෙන්වත්, ෆාහියන් ලෙනින් වත් නතර කරන්නෙ නෑ. මේ වෙද්දී විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ පර්යේෂණ සිදු කරනවා. එහි මූලික කෘෂිකර්මය අවුරුදු 3000 – 3500 කාලය ඉක්මවනවා.

වෙන්නප්පුව ආශ්‍රිත සිරිගම්පොළ ගමේ කළ පර්යේෂණ අවුරුදු 5000 – 6000 අතර කාලයේදී කෘෂිකර්මය ආරම්භ වූ බවට සාක්ෂි ලබා දෙනවා.

යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ ඇති තෙත්බිමක් වැනි මායක්කායි ස්ථානය පරික්ෂා කිරීමෙන් එහි ඇති ක්ෂුද්‍ර ෆොසිල අවුරුදු 2000කට වැඩි කෘෂිකාර්මික වටපිටාවක් වූ බවට සාක්ෂි සපයනවා. (දැනට මේ පර්යේෂණ සිදු කරමින් පවතී) මේ කරුණු කාරණා සියල්ලම අපිට මෙරට තිබූ කෘෂිකාර්මික සභ්‍යත්වයේ සාඩම්බර අතීතය සනාථ කරනවා.

ආචාර්ය ටී.ආර්. ප්‍රේමතිලක නම් වූ මේ විශිෂ්ට පර්යේෂකයා අප නොදැන හුන් අපේ අතීත අභිමානය ලෝකයටම කියා අවසානය.

මේ වන විට පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ධුරය දරන ආචාර්ය ටී.ආර්. ප්‍රේමතිලකයන්, දිවුලපිටියේ ඉපිද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජීව විද්‍යාව සම්බන්ධ ප්‍රථම උපාධියද, ස්වීඩනයේ ස්ටොක්හෝම් විශ්වවිද්‍යාලයෙන් තම දර්ශනපති, හා දර්ශන ශූරි උපාධියද ලබාගෙන ඇත. ඊට අමතරව එංගලන්තයේ ක්වීන්ස් විශ්වවිද්‍යාලයෙන්, ස්ටෙක්හෝම් විශ්වවිද්‍යාලයෙන්, ඉන්දියාවේ පොන්ඩිචෙරි පර්යේෂණ ආයතනයෙන්, ආචාර්යවරයකු ලෙස කටයුතු කර ඇත.