පාස්කු බෝම්බ නිරීක්ෂණ කමිටු වාර්තාවේ ආනිසංස

ජනාධිපතිට එරෙහිව සාක්ෂි නොදීමේ වරදට රාජ්‍යය බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් වරදකරු කළේද?


ආරක්ෂක කටයුතු පිළිබඳ වාර්තාකරු  

පසුගිය අප්‍රේල් මාසයේ සිදු වූ  ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයා බැලීම සඳහා පත් කරනු ලැබූ  පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයින් ඉතාම පහත්  මට්ටමේ දේශපාලන වුවමණාවන් මත කටයුතු කොට ඇත. එය ඔවුහු ප්‍රසිද්ධ කරනු ලැබූ වාර්තාවෙන් සනාථ වේ. එය බොහෝමයක් සත්‍යය කරුණු ව්‍යාකූල සහ විරූප කිරීමට උත්සහ කළ වාර්තාවකි. එසේම, රාජ්‍යය බුද්ධි සේවයේ ප්‍රධානියා වන ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍යය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට අදාළ ප්‍රහාරය  වැලැක්වීමට හෝ එහි හානිය අඩුකරගැනීමට නොහැකිවීම ගැන චෝදනා නගා ඇත. 



වාර්තාවේ අන්තර්ගතය දෙස බැලීමේදී පෙනී යන්නේ මෙම කමිටුවේ සමාජිකයින් නිලන්ත ජයවර්ධන මහතා ගැන විශේෂ වෛරයකින් පසු වූ බවකි. එසේම, ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ගැන අදාළ කමිටුව, ජයවර්ධන මහතාට සීයට හැටක පමණ චෝදනාවක් එල්ල කොට තිබේ. අදාළ කමිටුවේ නිර්දේශයන්ට අනුව, ඉතිරි සීයට හතළියට අදාළ චෝදනා අනෙකුත් නිලධාරීන් අතර බෙදා  හැරීමට අදාළ කමිටුව විශාල වෙහෙසක් දරා ඇත. හොඳ උපායකි. නමුත් එම උපාය, වාර්තාව ලිවීමට පටන් ගත් තැන සිටම වරද්දාගත් සහ තමන්ගේ කැතකම ප්‍රසිද්ධ කළ වෑයමකි. සැබෑ මහත්වරුන්ට මෙවැනි අදම කටයුතු කළ නොහැකිය. 

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ අඩුම වයසකින් ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍යය පොලිස්පති ධූරයට පත් වූ නිලධාරියෙකු වන නිලන්ත ජයවර්ධන මහතාට මෙවැනි චෝදනා  තම වෘත්තීය ජීවිතය තව දුරටත් මුහත් කර ගැනීම සඳහා අශිවර්දයක් කර ගැනීමට ශක්තිය සහ ධෛර්යය ලැබෙනු ඇතැයි අපි සිතමු. මෙවැනිම ආකාරයේ පහත් පෙලේ විවේචන නිසා ශ්‍රී ලංකා යුදහමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස සේවය කළ බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි මහතාට මුහුණ දීමට සිදු වූ බාධක ආශිර්වාදයක් බවට පත් කරගත් ආකාරය ගෙවුණු වසර කිහිපය තුළ නීරීක්ෂණය කළ හැකි විය. මීට වසර ගණනාවකට පෙර රටේ බුද්ධි අංශ හැසිරිය යුතු ආකාරය ගැන වහරමින් දේශණා පැවැත් වූ සිංහල බස පිළිබඳ මහාචාර්යය වරයෙකු වන සරත් විජේසූරිය මහතා මේවන විට තමන් කළ එම වරද ගැන අවබෝධයක් ලබා ඇති අපි සිතමු. කෙසේ වෙතත් එවැනි මෝහ විවේචන නිසා සිදු වූයේ රටේ බුද්ධි අංශවල සේවය කළ  දක්ෂ නිළධාරීන් රටට අහිමි වීම පමණි.  

අවස්ථාවාදී බංකොලොත් දේශපාලනයේ ගොදුරු බවට පත් වන විට ඕනෑම නිලධාරියෙකුට මුහුණ දීමට සිදුවන යථාර්තයක් තිබෙන බව ඉතාම හොඳින් අවබෝධ කර දෙනු ලැබුවේ අතුරු ගිරියේ මිලේනියම් සිටි ඛේදවාචකයය. මේ සඳහා එක් උදහාරණයක් ඉදිරිපත් කළ හැකිය.   එක්තරා දෙමළ ජාතික තරුණයෙකු තොරතුරු ලබා දෙන්නෙකු ලෙස විශේෂ කාර්යය බලකාය සමග සම්බන්ධ වී කටයුතු කළේය. ඔහු  කොටි සංවිධානයට මහත් හිසරදයක් විය. ඔහුව කෙසේ හෝ දිනා ගැනීම සඳහා කොටි සංවිධානයේ ඔත්තු සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ පොට්ටු අම්මාන් ඔහුට කෝටි දෙකක මුදලක් සහ ලංඩනයේ පදිංචි වීම සඳහා නිවසක් ලබා දෙන බව දැනුම් දී ඔහුගේ කැමැත්ත විමසා සිටියේය. ඒ අනූව දශකයේ අග භාගයේදීය. ඔහු එක පයින්ම ඊට අකැමති විය.මන්ද, කොටි සංවිධානය විසින් තමන්ගේ පියා හමගසා මරා දැමීම මුදලට හෝ වෙනයම් වාසියකට පාවා දීම ඔහු ප්‍රතික්ෂේප කළ හෙයිණි. ඉන් පසු කොටි සංවිධානය ඔහු මරා දැමීමට තීන්දු කළේය. දෙහිවලදී, කොටි සංවිධානයේ සාමාජිකයෙකුගේ වෙඩි පහරවල් හයකට ගොදුරු වූ ඔහු දෛවයේ වාසනාවට මෙන් ජීවිතය බේරා ගත්තේය. වෙඩි වැදුණු පසු තමන්ට අවශ්‍යය මූලික සහය ඉල්ලා රටේ ඉහළ පෙළේ දේශපාලනඥයින්ට කතා කළේය. ඔවුහු කිසිවකු මොහුගේ වේදනාව ශතයකට මායිම් නොකළේය. අවසානයේ සදාකාලීක අබාධිතයෙක් ලෙස තම බිරිඳ සමග රටින් පිටව ගියේය. පාට පාට මුහුණු පැළඳගෙන සිටින මෙම දේශපාලනඥන්ගේ සැබෑව එයයි. පාර්ලිමේන්තු තේරුම් කාරක සභාවේ සාමාජිකයින්ද ඊට වඩා වෙනස් හැසිරීමක් පෙන්වා නැත. තම පටු දේශපාලන වුවමණාව පිරිමසා ගැනීමට අවලස්සන උත්සහයක් ගෙන ඇත. 

මෙම කුණු වූ ක්‍රමයේ ගොදුරු බවට පත්වන නිලධාරීන් හමුවේ ඇති අභියෝගය කුමක්ද? දැක්ම පැහැදිළි නම්  සහ තමන් ගමන් කරන මග ගැන හෘදයසාක්ෂියට එකඟව සතුටු විය හැකි නම් විටින් විට හමුවන බාධක යනු තමන් තමන්ටම සිනහා වීම සඳහා ලබා දෙන සුන්දර අවස්ථාවන් ලෙස සැලකීමය. ඒ සෑම මොහොතක්ම දිනක ඉතිහාසයේ සිදුවීමක් බවට පමණක් පත්වනු ඇත. තමන් යහපත් දෙයක් සිදුකොට ඇත්තේ නම්, ලෝකය මොන දේ සඳහන් කරමින් චෝදනා එල්ල කරද ඔවුහු ඉතිහාසය් විසින් නිර්දෝෂී කොට නිදොස් කරනු ඇත. 

මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, තම අවසන් වාර්තාව සකස් කරනු ලැබුවේ කෙසේද යන්න ගැටලුවකි. එහිදී චෝදනා එල්ල කරන පුද්ගලයින්ට එලෙස චෝදනා එල්ල කිරීම සඳහා අදාළ කමිටු සාමාජිකයින් භාවිතා කළ විද්‍යානූකූල සහ තර්කානුකූල ක්‍රමවේදය කුමක්ද?  එය මූලික වශයෙන් මෙහිදී පැන නගින අපැහැදිලි කාරණයකි. හිසබුල්ලාට චෝදනා කරමින් ජමයිතේ උළමා ප්‍රධානියා වන රිස්වි මව්ලවි නිදොස් කරනු ලැබුවේ කෙසේද?  එසේම, සාක්ෂිකරුවන් ලබා දුන් තොරතුරු නිවැරදි තොරතුරු සහ වැරදි තොරතුරු ලෙස වර්ගීකරණය කරනු ලැබුවේ කෙසේද? මෙය වහාම මෙම සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් රටට හෙළිදරව් කළයුතු කාරණයකි. 

වාර්තාව සහ සාක්‍ෂි සටහන් කොට ඇති වෙළුම් දෙක කියවීමේදී පෙනී යන මූලික කාරණයක් තිබේ. එනම් වාර්තාවෙන් ප්‍රතිපත්ති සහ ක්‍රමවේදයේ පවතින සාමූහික වැරදි නිරීක්ෂණය කිරීම දෙවැනි කොට සලකමින්,   පුද්ගලයින් කිහිප දෙනෙකු පමණක් ඉලක්ක කරමින් චෝදනා එල්ල කිරීමය. 

සාක්ෂි විමසීම් වලදී ආරම්භයේ සිටම මෙම කමිටුව මූලික අරමුණක පිහිටා කටයුතු කළ ස්වභාවයක් පෙනේ. එනම් , ප්‍රහාරය ගැන සෙවීම සහ එවැනි ප්‍රහාර යළිත් සිදුවීම වැලැක්වීමට කටයුතු කිරීම වෙනුවට, සමස්ථ ක්‍රමවේදයේ ඇති තාක්ෂණික අඩුපාඩු හෙළිදරව් කිරීමට මෙය අවස්ථාවක් කර ගැනීම සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම ප්‍රහාරයේ වගකීම භාරගත යුතු පළමු පුද්ගලයා බවට පත්කිරීමට උත්සහ කිරීමය. 

එය මෙම කමිටු සමාජිකයින්, එකම ගැටලුවට ස්වරූපයන් රාශියක් ලබා දී යළි යළිත් එම ගැටලුව ඇසීමෙන් ඔප්පු වේ. ජයවර්ධන මහතාගේ සාක්ෂිය පමණක් ගෙන බැලුවද, පළමුව ඔහු ඉතාම තර්කානූකූලව සහ විනයානූකූලව, පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් විසින් අසනු ලැබූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදී, අදාල ප්‍රහාර ගැන තමන්ට ලැබුණු තොරතුරුවලින් ජනාධිපතිවරයා පූර්ව දැනුවත් කිරීමක් නොකළ බව තහවුරු කළේය. ඉන්පසු කමිටු සාමාජිකයෝ බොහෝ දෙනෙකු, ජයවර්ධන මහතා සහ  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර බෝම්බ ප්‍රහාරය ගැන පූර්ව දැනුවත් කිරීම් සිදු වූ බව ඔප්පු කිරීමට නොගත් උතසහක් නැත. 

නමුත් එම අරමුණ ඉටු කර ගැනීමට නොහැකි වූ අවස්ථාවේදී අශු මාරසිංහ වැනි කමිටු සාමාජිකයින් නව ගැටලුවක් මතුකොට ඇත. එනම්, ජයවර්ධන මහතා රටේ සමස්ථ බුද්ධි අංශ වල ප්‍රධානියා බවට තහවුරු කිරීමට උත්සහ කිරීමය. එය ඉතාම අප්‍රසන්න උත්සහයක් පමණක් නොව, රටේ ක්‍රියාත්මක වන බුද්ධි අංශ ගැන ඔහුට ඇති දැනුමේ ප්‍රමාණය ඔප්පු කිරීමකි. එපමණක් නොව, එමඟින් ඔහු ඇතුළු කමිටු සමාජිකයින් උත්සහ දරා ඇත්තේ, ජාතික බුද්ධි ප්‍රධානියා ( සී.එන්.අයි.) සතු වගකීම රාජ්‍යය බුද්ධි අධ්‍යක්ෂක වෙත පැවරීමය. කමිටුවේ පටු සහ අප්‍රසන්න දේශපාලන උපායන් එමඟින් ඔප්පු නොවන්නේද? 

මෙරට බුද්ධි අංශ ගණනාවක් ක්‍රියාත්මක වන අතර ඒ සෑම එකක්ම ඉතාම ප්‍රවේශමෙන් අනුගමනය කළ යුතු මූලලේඛ  ( ප්‍රොටෝකෝල්) තිබේ. ඒ අනුව බලන විට සී.එන්. අයි. හට පැවරී ඇති වගකීම් සහ යුතුකම්, එස්.අයි.එස් හෝ ඩි.එම්.අයි. අධ්‍යක්ෂක වරුන්ට අභිබවා යෑමට හැකියාවක් නැත. මෙරට බුද්ධි අංශ කටයුතු කළයුතු ආකාරය ගැන ඩේලි ෆයිනෑන්ෂල් පුවත්පතේ ප්‍රසිද්ධ වූ ග්‍රැෆික් සටහන පහත දැක්වේ.  

(Chart 01: HUMINT structure that follows to share or transmit the intelligence received by the local intelligence agencies over possible attacks by Islamic extremists - Click here to read Daily FT

තම පරමාර්ථය ජනතාවට සේවය කිරීම නම්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයින් තම විමර්ශනයන් ඉදිරිපත් කිරීමට පෙර කළ යුතුව තිබු මූලික හැදෑරීම මෙයයි. එය එසේ වූයේ නම් ඔවුහුගේ කුසලතාවයන්ට අනුව, රටට සහ එහි ජනතාවගේ ආරක්ෂාවට වැදගත් වන වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබුණි. නමුත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටීම පමණක් තම වුවමණාව කරගත් මෙම සභාවේ සාමාජිකයින්, ඇත්ත දැකීම සෑම විටම ප්‍රතික්ෂේප කොට තිබේ. හොරට නිදන්නෙකු අවදි කල නොහැකි බව මෙම සාමාජිකයින් සියල්ලම පාහේ රටට ඔප්පුකොට තිබේ. 

මෙය කෙතරම් අප්‍රසන්න ලෙස සිදු කර  ඇත්තේද කිවහොත්, ජයවර්ධන මහතා සහරාන් සම්බන්ධයෙන් විමර්ශණය කිරීම නවතා දමන ලෙස හැඟවෙන පරිදි එම වාර්තාව සකස්කොට තිබේ. මෙය පට්ටපල් බොරුවකි. 

අතිශය සංවේදී ක්‍රමෝපායික මෙහෙයුමක සිදු වූ කාරණයක් සහරාන් සමග පටලවා ජයවර්ධන මහතාට චෝදනා එල්ල කිරීමට මෙම කමිටුවේ සාමාජිකයින් උපරිම උත්සාහය ගෙන ඇත. එසේම, මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින මෙහෙයුමක් ගැන ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීමට හෙතම පොළඹවා ඇත. එහිදී, අදාළ මෙහෙයුම් ගැන, කමිටුවේ සාමාජිකයින්ගේ දැන ගැනීමට පමණක් හෙළිදරව් කරන බව ජයවර්ධන මහතා සඳහන් කළද, එය තඹ ශතයකට මායිම් නොකරමින් කමිටු සාමාජිකයින් ඒ ගැනද තම ලිඛීත වාර්තාවේ හෙළිදරව් කොට ඇත. ජයවර්ධන මහතා තම රාජ්‍යය බුද්ධි සේවය විසින් ඉස්ලාමීය මූලධර්මවාදය ගැන සහ අනෙකුත් කාරණා ගැන පොලිස්පති, ජාතික බුද්ධි ප්‍රධානී සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයාට ඉදිරිපත් කළ බුද්ධි වාර්තා ප්‍රමාණය මෙසේ සඳහන් කරනු ලබයි. 



නමුත් කමිටුව තම වාර්තාව සකස් කිරීමේදී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගැනීම ඔහු ඇප මත නිදහස් කිරීම ආදී අතුරු කාරණා වලට වැඩි ඉඩක් ලබා දී තිබේ. විෂයට අදාළ සිදුවීම් සහ කරුණු වල ඇති හරය තනුක කරමින් තමගේ දේශපාලන අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා බාගත හැකි මාළුන් ගැන පමණක් වැඩි අවධානයක් යොමුකොට තිබේ.  

ඕනෑම අපාර්ධයක් ගැන විමර්ශන පැවැත්විය යුතුය. එසේම, රාජ්‍යය ආයතන ගැන මනා සිහියෙන් සොයා බැලිය යුතුය. එය ව්‍යවස්ථාදායකයේ මූලික වගකීමක් ලෙස සැලකිය හැකිය. එසේ වූ පමණින්, රටේ මූලික සංවේදී කාරණා  එළියට ඇද දමමින් ඉන් පටු දේශපාලන වාසී ලබා ගැනීම සඳහා තම රාජකාරී කටයුතු නිවරදිව කළ නිලධාරීන්ට චෝදානා කිරීම අපරාධයකි. 

මෙම කෙටි සටහන අවසානයේ ජාත්‍යන්තර උදාහාරණයක් සඳහන් කිරීම වැදගත් වේ. මන්ද මෙම කමිටුවේ සාමාජිකයින්ට සහ ඉදිරියේදී මෙවැනි කමිටුවල සාමාජිකත්වය ඉසිලීමට බලාපොරොත්තු වන අයවලුන් සඳහා මෙය ප්‍රයෝජනවත් වේ යැයි සිතේ. යම් කිසි විමර්ෂණයක වාර්තාවක් ප්‍රසිද්ධ කිරීමේදී විකල්ප පුවත්පතක් අනුගමනය කරන ක්‍රමවේදය භාවිතා කිරීමට රාජ්‍යය නිලධාරීන්ට සහ මහජන නියෝජිතයින්ට කළ නොහැකි අතර එහිදී ඔවුහු අනුගමනය් කළයුතු මූලික සාරධර්ම සංග්‍රහයක් තිබේ. ලංකාවේ එවැන්නක් නීති ගත කොට නැත්තේ නම්, තමන්ගේ සහ තමන්ට ජාතක වී ඇති පරම්පරාවේ නාමයෙන් හෝ රටේ අභිමානය වෙනුවෙන් එවැනි සාරධර්ම සංග්‍රහයක් අනුගමනය කළ යුතුය. එය පොදු අවබෝධයක් විය යුතුය. ඒ සඳහා මෙම උදාහරණය ගෙන හැර දැක්වීම වැදගත් වේ යැයි සිතේ. 

 සී.අයි.ඒ. සංවිධානය විසින් කරනු ලැබූ වසර 10කට වඩා පැරණි සියලුම මෙහෙයුම් වල වාර්තා මහජන පරිශීලනය සඳහා හෙළිදරව් කරන ලෙස විධායක නියෝගයක් ක්ලින්ටන් ජනාධිපතිවරයා නිකුත් කළේය. ඔහුගේ ධූරය කාලය සහ කණිෂ්ඨ බුෂ්ගේ ධූර කාලය අවසන් වන තෙක් එම ලේඛණ ප්‍රසිද්ධ නොකළ සී.අයි.ඒ. සංවිධානය ඔබාමාගේ පරිපාලන කාලය තුළ ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කළේය.  මිලියන ගණනනාවක් වූ එම බුද්ධි තොරතුරු ඉතාම ප්‍රවේශමෙන් හෙළිදරව් කිරීමට වගබලාගත් සී.අයි.ඒ. සංවිධානය ඒවායේ සඳහන් හෙළිදරව් කිරීමට නොහැකි සියලුම දෑ වාරණය කොට ප්‍රසිද්ධ කළේය. එහිදී තොරතුරු ලබා දුන් පිරිස්, මෙහෙයුම්වලට දායකත්වය සපයනු ලැබූ අය සහ ස්ථාන ගැන හෙළිදරව් වන සියලුම දෑ වාරණය කොට තිබේ. රටක ජාතික ආරක්ෂාව තහවුරු කළ හැක්කේ එලෙසය. 

නමුත් මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ප්‍රශ්න ඇසීමේදී සහ වාර්තාකරණයේදී හැසිරී ඇති ආකාරය අරුම පුදුමය. රටක් ගැන සහ එම රටේ වෙසෙන ජනතාවගේ ආරක්ෂාව ගැන අබමල් රේණුවකට වඩා වැඩි හැඟීමක් හෝ දැනීමක් තිබේ යැයි පුල-පුලා පුරසාරම් දොඩවන පිරිසකට  මේ ආකාරයෙන් හැසිරිය හැකිද යන්න යළි යළිත් අපි ඇසිය යුතු ගැටලුවකි. මන්ද, මෙවැනි අමන පිරිසක් විසින් සිදුකරන කටයුතු වලින් සිදුවන හානියෙන් හෙට දවසේ වන්දි ගෙවීමට සිදුවන්නේ නිරායුධ අහිංසක ජනතාව වන බැවිනි.