නැව් ගිලපු තක්කඩියන්ගේ දරුවන්ට

මේ වන විට මැතිවරණ කාලය ආසන්න වී තිබේ. තමන්ගේ ගතමනාව හොයා ගත හැකි කාලය වන මෙය හොරුන්ගේ වසන්ත කාලය වේ. 

කතුවැකිය

ජාතියේ අවාසනාවට බිහි වූ තක්කඩියන් දහස් ගණන අතරින් කිහිපදෙනෙකුගේ කෙරුවාව ඊයේ මාධ්‍යය ඔස්සේ හෙළිදරව් කරනු ලැබීය. ඊට අනුව මෙරටට මිළදී ගනු ලැබූ නැව් දෙකකින් ඇමෙරිකානු ඩොලර් මිලියන දහඅටක ප්‍රමාණයක් පිල්ලි ගසා ඇත. එය ශ්‍රී ශ්‍රී ලංකා මුදලින් 3241350000.00 ප්‍රමාණයකි (මෙම ගණන ගණන් කරන හැටි අපි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායකගෙන් අසමු).  එලෙස ඩොලර් මිලියන 18ක් පිල්ලි ගසා ඇත්තේ අදාළ ගනුදෙනුවේ නියම අගය ගැන කළ තක්සේරු වාර්තා පයිසෙකට මායිම් නොකරමිනි.



ඇතැම් මූලාශ්‍ර පෙන්වා දෙන පරිදි අදාළ නව්කා දෙකේ සැබෑ විටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන විසිඅටකි. එනම් එක නැවක වටිනාකම ඩොලර් මිලියන 14කි. අදාළ ගනුදෙනුව කළ අවස්ථාවේදී පළමුව කළ තක්සේරුවට අනුව එක නැවක වටිනාකම ඩොලර් මිලියන විස්සකි. පසුව ලංකාවේ කල්ලියක් විසින් කරනු ලැබූ තක්සේරු වටිනාකමට අනුව නැවක වටිනාකම ඩොලර් මිලියන 26ක් විය. අදාළ ගනුදෙනුව සිදුවන්නේ එම කිසිඳු තක්සේරු වාර්තාවක් නොසලකා හැර එක් නැවක් මිලියන 35 බැගින් වූ වටිනාකමකටය. මෙම හොරුන්ට සහ උන්ගේ පවුලේ සියලු දෙනාට හෙණ වැදිය යුතු නොවේද? මුන් මේ කෙළසා ඇත්තේ මේ රටේ ගරුත්වය සහ මහජන මුදල්ය. 

රට හිඟමනට වැටීමට තවත් හේතු අවශ්‍යයද? මේ ජාතියට හෙණ වැදී ඇත්තේ මේ නිසාය. මෙවැනි ගනුදෙනු වල සිටින මෙම පාදඩ තක්කඩියන් පමණක් නොව ඔවුහුගේ දුවා දරුවන්ට පවා ස්වාභාවධර්මයාගේ ශාපයට නතු වී දිට්ටධම්ම්වෙදනීය කර්මය පටිසන් දිය යුතුමය. තමන්ගේ දෙමාපියන් විසින් කළ ඒ සහාසික ජාතික අපරාධ ගැන රුපියලක තරම් හෝ වටින හැඟීමක් තම ආත්මගරුත්වය ගැන තිබේ නම් ඔවුහු ඊට එරෙහි වනු ඇත. පිල්ලි ගසනු ලැබූ එම මහජන දේපල වලින් ශතයක්වත් තමන්ගේ භුක්තිය සඳහා නොගනු ඇත. 


******


******

පලවී ඇති පුවත් වාර්තා වලට අනුව, ශ්‍රී ලංකා නැව් සමාගමේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ රන්ජිත් ප්‍රේමසිරි නමැති හොරා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් වයිස් මාර්ෂල් පී.ඩී. ජයානාත් නමැති හොරා මීට මූලික වශයෙන් සම්බන්ධ වී ඇති අතර ඔවුහුගේ පරම්පරා නියෝජනය කරමින් ඊට සම්බන්ධ වී ඇති පිරිසගේ වතගොතද මේ වන විට මාධ්‍යය ඔස්සේ හෙළිදරව් වෙමින් තිබේ. මොවුන් මෙසේ පිල්ලි ගැසුණු ලැබූ මුදල් මොරිස් රාජ්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ බැංකු වල තැම්පත් කරඇති බව හෙළිදරව් වී තිබේ. එසේම එම මුදල් යළි ගැනීමට නොහැකි වන පරිදි මේ වන විටත් අවශ්‍යය තැන්වල ආයෝජනය කර ඇතැයි සිතේ. මේ ජාත්‍යන්තර හොරුන් කටයුතු කරනු ලබන්නේ එලෙසය.  

මේ ආකාරයෙන්ම රුසියාවෙන් මිළදී ගැනීමට යන නැවක් ගැන මාධ්‍යය ඔස්සේ හෙළිදරව් විය. ඊට අදාළ වාර්තාවල සඳහන් වූයේ නැව් තුනක් මිළදී ගත හැකි මුදල් වලින් එක් නැවක් මිලදී ගැනීමට සැලසුම් කොට ඇති බවය. එසේම  පසුගිය කාලය පුරාම ඉන්දියාවෙන් මිළදී ගත් නැව් ගැනද බොහෝ පාර්ශවයන් විසින් සැක සංකා මතුකොට තිබේ. වත්මන් ආණ්ඩුව කාලයේදී ඒවා සිදුවී ඇති බැවින්, ඒ ගැන නිවැරදි පර්යේෂණ වාර්තා තවමත් ප්‍රසිද්ධ වී නැත.  මන්ද, මේ රටේ හොරුන් ඇල්ලීම යනු දේශපලන වංචනික ක්‍රියාවක් බැවිනි. බලයේ සිටින ආණ්ඩුව තමන්ගේ හොරකම් වසා ගැනීම සඳහා පැවති ආණ්ඩුවේ කෙරුවාව ගැන කියමින් තමන්ගේ කෙරුවාව තිරය පිටුපසින් කරන්නේය. 

මීට මාස කිහිපයකට පෙර ජනාධිපති ලේකම්වරයෙකු සහ දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබූ අයෙකු  පගාව ගැනීමට ගොස් අතටම මාට්ටු විය. දින කිහිපයක් තිස්සේ හිරගෙයි කූරු ගණන් කළ හෙතමෝ ඇපපිට එළියට ආහ. ඊට පෙර දේශපාලන පක්ෂයක අයිතිකරුවෙකු රටේ මහජනතාව අහාර පිසීමට භාවිත  කරණ ගෑස්වලින් යටිමඩි  ගැසූ ආකාරය අතටම මාට්ටු වී හිරේ ගියේය. දේශපාලනඥයකු වන සුජීව සේනසිංහ විදෙස් රටකදී කොමිස් ඉල්ලන අකාරය සඳහන් වීඩියෝ පටයක් මාධ්‍යය ඔස්සේ ප්‍රසිද්ධ විය. කිසිඳු විලිලැජ්ජාවක් නොමැතිව යලිත් තම දේශපාලන ව්‍යාපෘතිය කිරීමට හෙතම සූර විය. උදෑසන වැසිකිළියට ගියත් දේශප්‍රේමය ගැන වහරන උදය ගම්මන්පිලට ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාරිකයෙකු නොමග යවා රැවටු බවට චෝදනා එල්ල විය. 

මේ හොරකම් සිල්ල දෙසම බලන විට පෙනී යන්නේ මේ කිසිවක් තනි පුද්ගලයෙකුගේ වෑයම් නොවන බවය. ඒවා ඉතාම ශූක්ෂමව සකස් වූ ජාලයකින් සිදුවන බවය. මේ නිසා කුඩු කන්ටේනර හමු වන විට, එතනෝල් බැරල් හමුවන විට ඒවාට එරෙහිව නීතියානුකූලව කටයුතු කිරීම නැවත්වීම සඳහා දේශපාලන අධිකාරියේ බලපෑම එල්ල වේ. බොහෝ සොරකම් ගැන සිදු කරන පර්යේෂණද හුදු මාධ්‍යය සංදර්ශන පමණක් වී ඇත්තේ මේ නිසාය.  

මේ නැව් දෙකක් ගිලපු හාදයින්  දෙදෙනාට අමතරව මේ රට පුරාව තැනින් තැන සැඟවී සිටින හොරුන් රාශියකි. මොවුන්ගේ හොරකම් වල ප්‍රමාණය ගැන සිතා එම මුදල් රුපියල් දාහයේ නෝට්ටු වලින් මුද්‍රණය කොට එකිනෙක මත තැබුවහොත් හඳට ගමන් කළ හැකි මාර්ගයක් තනා ගැනීමට හැකිවනු ඇත. ඒ තරමකට මෙම හොරකම් වල ප්‍රමාණය අතිවිශාලය.

මේ වන විට මැතිවරණ කාලය ආසන්න වී තිබේ. තමන්ගේ ගතමනාව හොයා ගත හැකි කාලය වන මෙය හොරුන්ගේ වසන්ත කාලය වේ. මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්තරා දේශපාලඥයෙකු චීන සමාගමක් ඇමතුවේය. තමන්ට ලැබුණු නිල නිවාසයේ කාලය අවසන් වුවද බලෙන් රැඳී සිටින හෙතම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන සමගි කතා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය නියෝජනය කරන උපලේකම්වරයෙකි. මෙම පුද්ගලයා මෙරට ආරක්‍ෂක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ආයෝජන සහ ගනුදෙනු රාශියක් සිදුකළ චීන සමාගමක් අමතා තම කටයුතු වලට මුදල් ලබා දෙන ලෙස ඉල්ලා ඇත. මෙය මෙම කැත සංස්කෘතියේ එකතරා සිදුවීමක් පමණි. 

අවසාන විග්‍රහයේදී යහපාලනයට මොන අයෙකු චෝදනා කළද, මූල්‍ය අපරාධ විමර්ශන අංශය (එෆ්.සී.අයි.ඩි.) වැනි ආයතන බිහි වී උඩින් දේශප්‍රේමයේ ඔපය දමා ඇතුළතින් වලත්ත වී ඇති මෙම සංස්කෘතියේ ඇති ඇත්ත තත්වය යම්කිසි පමණකින් හෝ හෙළිදරව් වීම යහපත් දෙයක් බව අවධාරණය කළ  යුතුය. මීළඟට අවශ්‍යය වන්නේ මෙවැනි ආයතන වලින් සිදු කරනු ලබන සේවය තව දුරටත් විනිවිද බාවයෙන් සිදුකිරීම සහ එම ආයතනවල සිටින නිලධාරීන් පවා වගවීමට නතු කළ හැකි ස්වාධීන ක්‍රමවේදයක් සකස් කිරීම මිස, රට ආපස්සට ඇදීම නොවේ. මහජනතාව ඒකරාශී විය යුත්තේ එවැනි වැඩපිළිවෙලක් වෙනුවෙනි.