The Most/Recent Articles

Showing posts with label JVP. Show all posts
Showing posts with label JVP. Show all posts

රනිල්-සජිත්-කරු ඇතුළු එජාපය අනුරට සහය දිය යුතුය

අනුර සියලු අභියෝග  ජයගනු ලැබුවේ, වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය තුළ මතු වූ ගැටුම් වලින් ගොඩ ගිය ආකාරයෙකි. ශූක්ෂ්ම දේශපාලනඥයෙකුට අවශ්‍යය වන්නේ එවැනි දේශපාලනික චින්තනයකි. දේශපාලනික වශයෙන් ඉහළ තත්වයේ උපාශීලී පුද්ගලයෙකු ලෙස අනුර කුමාර දිසානායක සැලකිය හැකිය. 

දෙවැනි කතුවැකිය 


මේ මොහොතේ කළ හැකි හොඳම දේ කුමක්ද? පවතින සාධක මනාව කළමනාකරණය කළහොත් විපල්වීය දේශපාලනික පියවරක් ගත හැකිය. එනම් විධායක ජනාධිපතිධූරය අහෝසි කොට 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමය. ඉන් පසු සම්මානනීය ජනාධිපතිවරයෙකු පත්කිරීමය. විලියම් ගොපල්ලව ජනාධිපතිවරයාගෙන් පසු එම සම්මානනීය ජනාධිපති ධූරය දැරීමට ව්‍යවස්ථාවෙන් ඉඩ ලබා දෙන්නේ නම්, එය වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  මහතාට පැවරීමේ වරදක් අපට නොපෙනේ. වික්‍රමසිංහ-සිරිසේන-සම්බන්ධන්-හකීම්-චම්පික සහ  අනුර දිසානායක දේශපාලන කඳවුරට හෙවත් දේදුනු වර්ණ දේශාපාලන රටාවට කළ හැකි  ඓතිහාසික කටයුත්තක් මෙන්ම විප්ලවීය දේශපාලන පියවරක් ලෙස එය හැඳින්වීම වරදක් නැත. නමුත් අපි ජාතියක් ලෙස එතරම් වාසනාවන්ත යැයි පුරාජේරු දෙඩීම කමකට නැත.

මන්ද, බලය හමුවේ කවුරුත් තම තණ්හාවේ ප්‍රමාණය මැන බලන්නෝ වෙති.  බලය හමුවේ ගන්නා තීන්දු තීරණ රාශියක් රාජ්‍යයේ හෝ ජනතාවගේ සුභ සිද්ධිය දෙවැනි කොට සලකන කාරණාය. මෙරට මෙන්ම බොහෝ රටවල ඉතිහාසය මෙයයි. ඊට කදිම නිදසුනක් මෑතකදී ජනාධිපති සිරිසේන මහතා විසින් සඳහන් කළේය. එනම් වසර 35 ක් කාම්බෝජයේ අගමැති ලෙස කටයුතු කරන හුන් සෙන්ගෙන් තවත් වසර කීයක් බලයේ ඉන්න බලාපොරොත්තු වන්නේ දැයි ජනාධිපතිවරයා ඇසූ විට අගමැතිතුමා, වසර දහයක් වත් ඉන්නා ඕනා යැයි පිළිතුරු දුන්නේලු. ලෝකයේ  දේශපාලන බලයේ ඇති ව්‍යාකූලභාවය සහ අප්‍රසන්නකම මෙවැනි නිදසුන් වලින් සනාථ වේ. මේ නිසා ජනතාවාදී විප්ලවීය දේශපාලන පියවරක් ගනීවි යැයි, පෞද්ගලික බලය කේන්ද්‍රීය කරගෙන තම චින්තනය සකස්කරගෙන ඇති අයවලුන්ගෙන් බලාපොරොත්තු වීම එතරම් සුදුසු නොවේ. කෙසේ වෙතත්, අපි එවැනි පරමාදර්ශයක් මේ පොළවේ සිදුවේවා යැයි පතමු.

එය එසේ සිදු නොවී, ජනාධිපතිවරණය පවත්වන්නේ යැයි උපකල්පනය කළහොත් වත්මන් ආණ්ඩුව හමුවේ ඇති හොඳම පියවර කුමක්ද?

අපි ගෙවා දමමින් සිටින්නේ, වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරණයට දැමිය හැකි හොඳම අශ්වයා ගැන වාද විවාද සහ විවිදාකාරයේ කුමන්ත්‍රණ පවත්වන කාලයකි. කොසොල් රජුගේ සිහින දහසය සනාථ කරමින්, සෑම දෙනෙකුම නායකයෙකු වීමට උත්සහ දරති. නැති සිහින මවා පාති.

වත්මන් ආණ්ඩුවේ සංයුතිය ගෙන බැලුව හොත් මේවන විට ජනාධිපතිධූර අපේක්ෂත්වය අපේක්ෂාවෙන් වැඩිම මුදලක් වියදම් කොට ඇත්තේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාය. ඔහුට සිංහල ග්‍රාමීය ප්‍රජාවගේ විශාල කැමැත්තක් ඇතිබව ඇතැමුන් කියති. එසේම ඔහු දිනන අශ්වයා බව බොහෝ දෙනෙකු කැටතියා සපත කරමින් සිටිති.

සජිත්  ප්‍රේමදාස මහතා ජනාධිපතිධූරය සඳහා සුදුසුද නැද්ද යන්න ඔහුගේ කටයුතු සහ ප්‍රතිපත්ති මූලික කරගෙන ගැඹුරෙන් විමසා බැලිය යුතු කාරණයකි. කෙසේ නමුත් හෙතම පසුගිය දින කිහිපය පුරා ඉදිරිපත් කළ අදහස් දැක්වීම් දෙස බලන විට අපේ තකසේරුව අනුවනම් සජිත් ජනාධිපති වීම සඳහා සිහින දැකීම එතරම් යෝග්‍යය ව්‍යායාමයක් ලෙස නොපෙනේ. එසේම ඔහුට ජාතික නායකත්වයකට සතු ගුණාංග ඇති බව තවමත් පෙන්වා නැත. ඔහුගේ නිවාස ව්‍යාපෘතිය කේන්ද්‍ර කරගෙන ඇත්තේ පනහ සහ හැට දශක වල ජනාවාස ඉදිකිරීමේ මූලික සංකල්ප වලට අනුවය. එය වත්මන් ලෝකයට ගැලපෙන ලෙස වහාම වෙනස්විය යුතුය.

******

******

විශේෂයෙන් ස්වභාවික සම්පත් වඩාත් හොඳින් කළමනාකරණය කොට සුහුරු නගර ( ස්මාර්ට් සිටි) වෙත අවදානය යොමු කරමින් ස්වභාවික විපත් වලට ගොදුරුවීමේ අවදානම නැති කිරීම අත්‍යවශ්‍යය වේ. ඒ වෙනුවට ඉතුරු වී ඇති රජයේ ඉඩම් පවරාගෙන ඒවායේ කුඩා කුඩා නිවාස තැනීමෙන් රටේ ඇති විශාල ගැටලුව විසඳෙන්නේ නැත. ඔහු නියෝජනය කරන දේශපාලාන සම්ප්‍රදායේ ඇති අවලස්සන, අදාළ ආදර්ශ ගම්මාන වලට නම් තැබීමේදී ඔප්පු කොට ඇත. "ලෝක පූජිත - සදා නොමැකෙන " ආදී ගෝත්‍රිකවාදී සංකල්ප ඉදිරියට ගනිමින් සිදුකරණ කටයුතු හැකි වහාම වෙනස් විය යුතු වේ. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධූරය සඳහා සිහින දැකීමට පෙර ජාතික සහ ජාත්‍යන්තර වෙළඳපොළ  න්‍යාමනයන් සහ ජාත්‍යන්තර දේශපාලනය හමුවේ ලංකාව ඉදිරියට ගමන් කළ හැකි ආකාරය ගැන මනා සිහියෙන් හැදෑරීම වැදගත් වේ. කරු ජයසූරිය මහතා ගැන සඳහන් කිරීමට ඇති මූලික කාරණාද ඒ හා සමානය. ව්‍යාජ සමීක්ෂණ එළියට දැමු  පමණින් රටේ නායකත්වයට සුදුසු යැයි නිර්ණය කිරීම මුලාවකි.

කෙසේ හෝ වේවා! සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය හමුවේ ඇති අභියෝගය හිතනාවට වඩා බරපතළ එකකි. වාසනාවට මෙන්, එම අභියෝගය ජයග්‍රහණය කළ හැකි මාර්ගයක් තිබේ. එම මාර්ගය සජිත් ප්‍රේමදාස හෝ කරු ජයසූරිය මූලික කරගනිමින් නිර්මාණය වී නැත. එම මාවත සකස් වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු සන්ධානය සමග සිටින පාර්ශ්වයන්, අනුර කුමාර දිසානායක සමග අත්වැල් බැඳ ගැනීම ඔස්සේය. එය දිනිය හැකි මාර්ගයකි. එසේම රටේ අනාගතය ගැන යම්කිසි ධනාත්මක බලාපොරොත්තුවක් තැබිය හැකි මාර්ගයකි. එබැවින් මේ ගැන විමසා බැලීම ඉතාම වැදගත් වේ.

පුරාණ ග්‍රීක ශාස්තෘවරුන් සඳහන් කොට ඇති අකාරයට බහුජන කැමැත්ත යනු මුලාවක් බව මේවන විට ප්‍රජාතන්ත්‍රවාදය නමැති සුන්දර සංකල්පය දූෂණය වී ඇති ආකාරය දෙස දකින ඕනෑම අයෙකුට පැහැදිළි වේ. මොන අයිතිය ගැන වහරණු ලැබුවද,  සර්වජන ඡන්දබලය යනු මුලාවකි. රාජ්‍යයේ කටයුතු සඳහා උචිත නායකයෙකු තෝරා ගැනීමට එම රාජ්‍යයේ සියලුම පුරවැසියන්ට කළ නොහැකිය. එය කළ හැක්කේ එම රාජ්‍යයේ පරිපාලනය සහ අනාගත අවශ්‍යතා ගැන අවබෝධයක් ඇති පිරිසටය. එම තෝරා ගැනීමේ බලය ලබා දෙන පිරිස තෝරා ගැනීම මහත් පරිශ්‍රමයක ප්‍රතිඵලයකි. නමුත් දශක ගණනාවක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සර්වජන ඡන්දබලය නමැති මුලාවේ  වැටී ඇති ජාතියක් වන අපට ගොඩ ඒමට ඇත්තේද වැටී සිටින ළිං කටෙන්මය. මේ නිසා ශ්‍රී ලාංකිකයින් වන අප හමුවේ ඇති අභියෝගයද එසේමය.

ඒ අනුව අගමැති වික්‍රමසිංහ ප්‍රමුඛ සන්ධානයට වැදගත් වන්නේ, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අනුර කුමාර දිසානායක මහතාට සහෝගය දැක්වීම සඳහා පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමය. එය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කඩිනම් කිරීමට මෙන්ම  ව්‍යවස්තානූකූලව රටේ පවතින තත්වය මනාව විසඳා ගැනීම සඳහා පිටිවහලක් වේ.

එසේම දේශපාලනික වශයෙන් ගත්කළ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු සන්ධානය ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දීම ඓතිහාසික වේ. දශක දෙකක පමණ කාලයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණ සන්ධාන ගත වී අනෙකාට සහයෝගය දුන්නේය. මෙවර සැලකිය යුතු ජන විශ්වාශයක් ඇතුව ඔවුහු තමන්ගේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කොට ඇත. ඊට පෙර එම පක්‍ෂය දේශපාලනිකව ගත්කළ ඉතාම වැදගත් ආයෝජනයක් ලෙස සැලකිය හැකි 20වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනු ලැබීය. එසේම දිසානායක දේශපාලනික වශයෙන් මනා සිහියෙන් කටයුතු කරනු ලබන තරුණ නායකයෙකි. ඔහු, තම පක්ෂය තුළ බලය ඇල්ලූ ආකාරය ඉතාම ආකර්ශනීය වේ. විමල් වීරවංශ මහතා සමාජවාදියෙකු ලෙස උගුර ලේ රහවන තෙක් කතාකොට ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනික වශයෙන් ගොඩ දමා පක්ෂයේ කැපිලි වලට හසු වී හඬමින් නික්ම ගොස් සදාකාලීක කොන්ද පරළු වූ දේශපාලනඥයෙකු බවට පත් වුවද අනුර සියලු අභියෝග  ජයගනු ලැබුවේ, වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය තුළ මතු වූ ගැටුම් වලින් ගොඩ ගිය ආකාරයෙකි. ශූක්ෂ්ම දේශපාලනඥයෙකුට අවශ්‍යය වන්නේ එවැනි දේශපාලනික චින්තනයකි.

දේශපාලනික වශයෙන් ඉහළ තත්වයේ උපාශීලී පුද්ගලයෙකු ලෙස අනුර කුමාර දිසානායක සැලකිය හැකිය. විවිධ පෞද්ගලික කාරණා ඉදිරියට දමමින් යම්කිසි කෙනෙකුට අපහාස කිරීමට වඩා වැදගත් වන්නේ ඔහු ගැන සාධනීයව විමසා බැලීම සහ ඔහුගේ ඉගෙන ගැනීමය.

මෙවැනි වටපිටාවක් තුළ වත්මන් ආණ්ඩුව හමුවේ ඇති ඉතාම අගනා දේශපාලිනික පියවර වන්නේ, වික්‍රමසිංහ මහතා ඇතුළු සන්ධානය මෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශවය අනුර කුමාර දිසානායක පොදු අපේක්ෂකයා බවට පත් කිරීමය. එය ඔවුහු වෙළී සිටින දේශපාලන අඝාධයෙන් නම්බු පිටින් ගොඩ ඒම සඳහා ගතහැකි විපල්වීය පියවරකි. එය රාජ්‍යයේ යහපතට හේතු වේ.

අනුර කුමාර දිසානායක ගාලු මුවදොර පැවති රැළියේදී තම දේශපාලන සගයින් සමග

ඉතිහාසයේ ආපතික ආක්‍රමණය සහ නව සමාජ ප්‍රජාතන්ත්‍රවාදය






- මහේෂ් හපුගොඩ -





රාජපක්ෂ රෙජීමයේ ආණ්ඩු පෙරළිය සහ යහපාලන බලවේගයේ නැගීම





2015 වසරේ සිදුවූ රාජපක්ෂ රෙජීමයේ ආණ්ඩු පෙරළිය සහ යහපාලන බලවේගයේ නැගීම එක් සිද්ධියක් (බදියුයානු අයුරින්) ලෙස ගතහොත් සහ 2018 නොවැම්බරයේ සිදුවූ 'ඔක්තෝබර් විප්ලවය' යනුවෙන් හැඳින්වෙන විපරීත තත්වය තවත් සිද්ධියක් ලෙස ගතහොත් දෙවන සිද්ධියෙන් පළමු සිද්ධිය සදහටම නිශේධනය වන අකාරය අපට දකින්නට පුළුවන්.





2015 ජනතා බලාපොරොත්තු ලෙස හඳුනාගන්න පුළුවන් ලාංකික දේශපාලන දේහය ප්‍රජාතන්ත්‍රීය කරණය නම් ක්‍රියාව (democratizing the Sri Lankan political body) කෙරෙහි අප සමකාලීන දේශපාලනය කොතරම් භක්තිමත් නොවුනාද යන කාරණාව ඒ ආණ්ඩුව බලයට පත්වෙච්චි දවසේ ඉඳලම දකින්නට තිබුණා. ඒ කියන්නේ අපට ජේ. ආර්. ගේ ලෝකයෙන් ගැලවෙන්න උවමනාවක් තිබුණේම නැහැ වගේ තමා අපි හැසිරුණේ. බැඳුම්කර ප්‍රශ්නයේ ඉඳල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම වගේ ව්‍යාපෘති වලින් අර මුල් සිද්ධියේ ප්‍රභාව (සංකේතනය කියමුකෝ) දිගින් දිගටම මැකෙමින් තමයි තිබුණේ. මේ නොවැම්බරේ සිදුවුණේ 2015 ප්‍රවේශය සම්පුර්ණයෙන් අමතක කරලා (එහි ආතතිය සහ අපේක්ෂා භංගත්වය මතින්) නැවත පැරණි අත්තනෝමතික ව්‍යුහය වෙත භක්තිමත් වීම (මේකට නොයෙක් කරුණු ගේන්න පුළුවන් කරපු වැඩේ සාධාරණී කරණය කරලා). රනිල් ල මෛත්‍රී ල වෙන වෙන ව්‍යාපෘති වලට මාරු වෙද්දී සහ අනෙක් අය මේ සමස්ත ක්‍රියාව සැක කරද්දී (යහපාලන ජන රැල්ල යනු මාක්ස්වාදී විප්ලවයක් නොවෙයි කියන තැන ඉඳල) එක් දේශපාලන පක්ෂයක් විතරක් ඉහත 2015 ජනතා බලාපොරොත්තු වෙනුවෙන් හැමදාම කතා කළා වගේම පෙනී සිටියා.





ජවිපෙ තවදුරටත් ජනතා බලාපොරොත්තු වෙනුවෙන් කැපවේ





ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඔවුන්ගේ ජාතිකවාදී ඉතිහාසය පිළිබද නොවිසඳුනු ගැටළු බොහොමයක් තිබුණත් ඉහත ප්‍රස්තුතයේදී ඔවුන්ගේ මහන්සිය අපි අගය කරන්න ඕනි. කේ. ඩී. ලාල් කාන්ත සහෝදරයා මෑතකදී පෙනී සිටිය දෙරණ වැඩ සටහනකදී පවා අවධාරණය කළේ ඔවුන් තව දුරටත් 2015 ජනතා බලාපොරොත්තු වෙනුවෙන් පෙනී සිටින බවයි. මට අනුව එය විශ්වීය තත්වයක් කියල කියන්නයි මේ හදන්නේ. ඒ කියන්නේ ඔවුන් බලයට පැමිණි දේශපාලන සිද්ධිය ට ඔවුන් තවමත් භක්තිමත්ය කියන බදියු (2015) සඳහන් කරන කරුණ අපේ පැත්තෙන් ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටින මිනිස්සු පැත්තෙන් ගත්තම ඉතාම වැදගත්. බදියු සඳහන් කරන පරිදි බිඳ වැටුණු විප්ලවීය ව්‍යාපෘතිය නැවත පුනර්ජීවනය කර ගත යුතු නම් අප මුලින් කරන්න ඕනි ඉවසීම ප්‍රගුණ කරන එක. ව්‍යවස්ථාවට වෙට්ටු දාල බොරු නොවැම්බර් විප්ලව කරන එක නෙවෙයි. එතැනදී දර්ශනය විශාල කාර්යක් කරනවා ඉවසීමෙන් අපට කරුණු තේරුම් කර ගන්න (දර්ශනය කියන්නේ විශිෂ්ට මාලිමාවක් කියන එක මම හැමදාම අවධාරණය කළේ ඒකයි. අපි ඒක වැරදි විදියට භාවිතා කළොත් එහි වන්දිය අපේ පරම්පරාවට ගෙවල ඉවර කරන්න බැරි වෙයි). බදියු ට අනුව මේ සිදුවී තිබෙන්නේ සැමදාම සිදුවන ආකාරයේ දර්ශනයේ සහ ඉතිහාසයේ ආක්‍රමණයක් (ආර්ථික සිරගත වීමෙන් එලියට එන්න ජර්මනියේ සිදු වුණා වගේ). එතකොට අපි කරන්න ඕනි එකම දෙය තමයි දර්ශනය වෙතට ම පසු බහින එක. එවිට දර්ශනය විසින් ම සිතීම ආරම්භ කරනු ඇත කියන එක තමා බදියු ගේ මතය. එවිට අපට ඇතැම් විට සත්‍ය ය හමුවෙන්න පුළුවන්.






https://www.youtube.com/watch?v=df_MNxLG7kE
දෙරණ 360 වැඩසටහන - 2018 දෙසැම්බර් 10








ලාල් කාන්ත නියෝජනය කරන්නෙත් ඉතිහාසයේ ආක්‍රමණික පක්ෂයක්





කෙසේ වුනත් ඉහත සන්දර්භය යටතේ මෙම ලිපිය ලියන්නේ කේ. ඩී. ලාල් කාන්ත සහෝදරයා කරපු 'හිඟන' වාක්‍යය ගැන වුනාට ඇත්තටම ලියවෙන්නේ එම වාක්‍යය ම ගැන නොවේ කීවොත් එය සත්‍යයක්. ලාල් නියෝජනය කරන්නෙත් ඉතිහාසයේ ආක්‍රමණික පක්ෂයක් (දිල්කා තේරුම් ගන්න විදියට නොවේ). ඒ නිසාම ඔවුන් ඒ ආක්‍රමණය වෙනුවෙන් ගෙවිය යුතු මිළ ගැනත් හොඳින් දන්නවා හාන්සිපුටු විචාරකයින්ට වඩා. කොහොම වුනත් කරුණු දෙකක් නිසා මේ දවස් වල කේ. ඩී. ලාල් කාන්ත වැදගත්. එකක් ඔහු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන සටන්කාමී නුතන අදහස් දැක්වීම. අනෙක තමන්ගේ දුවගේ අධ්‍යාපනය සම්බන්ධව කරන විවේචන වලට දෙන පසු නුතන පිළිතුර. බැලු බැල්මට ඔහුගේ දේශපාලන ජීවිතය සහ පුද්ගලික ජීවිතය අතර පරස්පරාත්මක දයලෙක්තිකයක් ලෙස පෙනෙන මෙම නොගැලපීම අප තේරුම් ගත යුත්තේ කෙසේද කියන ප්‍රශ්නයට පිළිතුරු දීමට තමයි එක අතකට මෙම ලිපිය ලියන්නේ.





විශේෂයෙන් පුද්ගලික දේ දේශපාලනික වන බවට වන ස්ත්‍රීවාදී මතය ජයදේව උයන්ගොඩ විසින් මෑතදී නැවත ඉස්මතු කිරිමත් සමග ඉහත තත්වයට නව අර්ථකතනයක් පවා ලැබීමට ඇති මේ මොහොතේ එය සලකා බැලීම වැදගත් කියල හිතුණා. විශේෂයෙන් දුවක් කියන්නේ ස්ත්‍රියක් කියන තත්වය තුළ (පුද්ගලික දේ දේශපාලන වන තැන) සහ ලාල් කාන්ත සහෝදරයා කියන 'අපි දේපළ තියෙන මිනිස්සු. හිඟන්නෝ නෙවෙයි' (පුද්ගලික දේපළ සහ පවුල කියන එංගල්ස් ගේ මතය අරබයා ඔහුගේ අහමේ උත්තරය) කියන සුළු ධනේශ්වර තත්වය (හෝ මැද පාන්තික ආස්ථානය) වගේම අනුර සහෝදරයා පවා දැන් ඉන්න කිසියම් වූ සමාජ තත්වය යන සියලු සාධක ගත්තම ජ. වි. පෙ. සෑහෙන පමණින් පවත්නා තත්වය තුල වෙනස් ගමනක් යන්න හදන බව පැහැදිලියි. හිඟන්නන් ට මිනිස්සු ආශා නැති නිසා ඇත්තටම මිනිස්සු ආශා කරන දේශපාලඥයෝ බවට පත්වෙන්න ඔවුන් උත්සාහ ගන්නවා. ඒ නිසාම ඔවුන්ගේ චින්තනයත් වෙනස් වී තිබෙනවා. ටයි කෝට් අඳිනවා, කාර් වල යනවා, ඉංග්‍රීසි කතා කරනවා (පෙරටුගාමී එකේ වගේ හපුටු විදියට ඉන්නේ නැහැ), ළමයි විදේශ ගත කරනවා, තමනුත් විදේශ සංචාර යනවා, වෙන දියුණු රටවල මිනිස්සු වැඩ කරන හැටි දකිනවා. ටිකක් දියුණු විශ්ව විද්‍යාල වලට යන ඒ ළමයි උනත් තාත්තල ට කියනවා ඇති ලෝකය යන අලුත් පිළිවෙල. ඒ නිසාම ඉස්සරට වඩා හොඳින් ඔවුන් දිල්කා වගේ බොරු පොෂ් ප්‍රශ්න අහන අයට කවුන්ටර් ඇටෑක් එකක් දෙනවා. සියල්ල අස්සේ බුර්ෂුවා පවුල ඉදිරියට යනවා. බුර්ෂුවා දේශපාලනයත් ඉදිරියට යනවා. සියල්ල පසු නුතන වෙද්දී විය යුතු පරිදිම රොහාන් පෙරේරා ගේ ප්‍රාරම්භක මතවාදය කෙමෙන් කෙමෙන් කාටත් අමතක වෙනවා කියල කියන්නත් කෙනෙකුට පුළුවන්. නමුත් මට පෙනෙන හැටියට නව පශ්චාත් නුතන ජ. වි. පෙ. බුර්ෂුවා දේශපාලනයට වෛර කරනවා වෙනුවට එහි හොඳ ලක්ෂණ උකහා ගන්න හදනවා තමන්ගේ දේශපාලන ජීවිතයට (සමහර විට රනිල් ට වඩා රනිල් වීම කියන ප්‍රවාදය අනුව යාම කියන්න පුළුවන් - කියවන්න රනිල් රැකගත යුතුද? සහ රනිල්ටත් වඩා රනිල් විය හැකිද? ලිපි දෙක). ඒක නිසයි අනුර කියන්නේ 'රනිල් ප්‍රජාතන්ත්‍රවාදයේ හොර මුරකරුවා' කියල (සත්‍ය මුරකරුවා තමන් විය හැකි බැවින්). මේ නව තත්වය නිසා අනිවාර්ය වශයෙන් සම්ප්‍රදායික මාක්ස්වාදයෙන් ඔවුන්ට වියෝ වීමට සිදු වනවා විතරක් නොවෙයි (විමුක්ති දේශපාලනයෙන් ප්‍රජාත්‍රන්ත්‍ර වාදයේ මුරකරුවන් බවට පොළා පැනීම) බර්නි සැන්ඩර්ස් පන්නයේ නව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් වෙතත් ඔවුන් පියමන් කරනවා (ලිබරල් ආකෘතිය ඇතුලෙ ම විකසිත වෙමින්).





ඉතින් මේක ගොඩක් ම අලුත් තත්වයක් හෝ නරක තත්වයක් නොවුනත් අපේ පැත්තෙන් සලකා බැලිය යුතු දෙයක් (මොකද ජිජැක් පැහැදිලිව කියනවා සැන්ඩර්ස් සහ ට්‍රම්ප් හිතවාදීන් දෙපිරිස එකතු වීම යනු ම නව පන්ති අරගලයක ඇරඹුමක් විදියට - කියවන්න The Independent හි පළවූ Alt-right Trump supporters and left-wing Bernie Sanders fans should join together to defeat capitalism). මෛත්‍රී, රනිල් සහ මහින්ද යන ධනේශ්වර බලවේග තුනම නිර්-නෛතික වී ඇති මේ මොහොතේ ජ. වි. පෙ. ප්‍රමුඛ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් ඉස්මතු වන්නේ නම් එයට නව ගෝලීය නෛතික භාවයක් ඉබේම ඇතිවෙමින් යනවා. නමුත් එය පරණ විප්ලව ආකෘතියත් නොවිය හැකි බව නම් ඇත්තයි. මේ නව තත්වය සිහියේ තබාගෙන සහ ලංකාවේ භුමිය කියන්නේ ඇමෙරිකාව නොවන බවත් සිහියේ තබාගෙන මුලින් බලමු ලාල් සහෝදරයා විසින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන අදහස් දැක්වීම.





ගොඩක් වෙලාවට දෙරණ වගේ පට්ට පසු නුතන නාලිකා හදන්නේ කේ. ඩී. සහෝදරයව අන්නන්න නිකම් බොරු විමුක්ති ප්‍රශ්න දාලා





එක එක විදියට මුලික නීතියට වෙට්ටු දමපු වාහෙලා ට සහ පිස්සන්ට නියම පිළිතුරු දෙනවා ඔහු දෙරණේ දිල්කා සමන්මලී අහන ප්‍රශ්න අරභයා. ගොඩක් වෙලාවට දෙරණ වගේ පට්ට පසු නුතන නාලිකා හදන්නේ කේ. ඩී. සහෝදරයව අන්නන්න නිකම් බොරු විමුක්ති ප්‍රශ්න දාල (pseudo revolutionary issues).





නමුත් ඒ සහෝදරයා නියමෙට ප්‍රතිචාර දක්වනවා දිල්කගේ වහල් මනස හිරි වැටෙන්න (එහෙම කියන්නේ කිසිදු ස්ත්‍රී විරෝධයක් නිසා නොවේ. මේ අය ස්ත්‍රීන් නොවන නිසා. යහපත ගැන විශ්වීය අදහසක් නැති වහල්ලු නිසා). හරිම තාර්කික විදියට ඔහු උත්තර දෙනවා. ලාල් සහෝදරයා දෙරණේ පසු නුතනත්වයට මුහුණ දෙන හැටි දැක්කම ඇත්තටම ඔහු ගැන ආඩම්බරයි. දේශපාලනය කියන්නේ මිනිස්සු දිනා ගන්න එකට. ඔහු එය නියමෙට කරමින් ඉන්නවා. අනිත් නියම වැඩේ තමයි දිල්ක අහනවා විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදයට එකඟද කියල. හරියට මේ අය විප්ලවයක් කළා වගේ. ලෙනින් ල කරපු වැඩේ සහ දිල්ක කරන වැඩේ හරියට එකක් වගේ තමයි සමාන්තර ගත කරන්නේ. රජ්ජුරුවන්ට කඩේ යන ගමන් නිකම් ගහල දානවා විප්ලවය වගේ යෙදුම් වලින් අමාරු දේශපාලනයක් කරන මිනිස්සු වෙතට. නමුත් මාර ඉවසීමෙන් ලාල් කාන්ත සහෝදරයා ඒවාට උත්තර දෙනවා. ඒක හොඳ සම්ප්‍රදායක්. විනය කියන එක ඔහු පෙන්නනවා පිරිමි දේශපාලන සංකේතනය ඇතුලේ ඉන්න ගමන් ම. ගොඩක් දේවල් අපට ඉගෙන ගන්න ඔහු ඉතුරු කරනවා. රනිල් ල පවා ඔහුගෙන් ඉගෙන ගන්න ඕනි පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඇතුලේ ඉන්නේ කොහොමද, වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන. සදාචාරය සහ දේශපාලන කියන්නේ දෙකක් නොවේ. සදාචාරය ම තමයි දේශපාලනය. එම විශ්වීය යහපත ඔවුන් නියෝජනය කරන නිසා තමයි මේක ලියන්නේ (මගේ දේශපාලනය වෙනස් වුනත්). මිනිස් නිදහස යන සමස්ත සන්දර්භය තුල සමස්ත අරගලය ඇතුලේ මම ජ. වි. පෙ. සහ අනෙක් ප්‍රජාතන්ත්‍රවාදී බලවේග මේ වෙලාවේ ඉන්න තැන හිට ගන්නවා. ලාල් සහෝදරයට වගේ අයට හුඟක් වාසි දායක දේවල් කරන්න පුළුවන් උනාට ආත්මය පාවල දීලා ඔවුන් එහෙම කලේ නැහැ. ඒක තමයි සදාචාරය. ඒක තමයි විශ්වීය බව. අමරණීය වෙන්නේ එහෙම අය. මම හිතන්නේ 'ශිෂ්ට' කියන්න පුළුවන් ඒ වගේ සහෝදරවරුන්ට. ඒත් කෝ ඔය මනෝ විශේෂණය උඩ දාන මහා පොරවල් තමන්ගේ වදන් කේන්ද්‍රීය බව (ශිෂ්ට බව) ඔස්සේ මේ ශිෂ්ටත්වය අත්පත් කර ගන්නවා? කෝ ඔය කියන මාලිමාව? හැබයි හොඳට හිතට ගන්න ඕනි දෙයක් තමයි මේ සමස්ත වැඩේ ඇතුලේ බැසිල් වැඩිය සද්ද කලේ නැත්තේ ඇයි කියන එක (කතා කරන වචන අඩුයි). ළමයි ඇමෙරිකාවේ ඉන්න, ලංකාව ගැන හොඳ රීඩින් එකක් තියෙන ඔහු දැනගෙන හිටියා වැඩේ අවුල් වෙනවා කියල (නලින් ට ඔහු පාවා දෙන්නෙක් හැටියට පෙනුනට ඔහු කළේ නලින් ල කරනවා වගේ සිංහල බෞද්ධ තකතීරු කමක් නෙවේ). මුලින් කරන්න කලින් හිතන්න ඕනි තමන් කරන වැඩේ මේ භුමියේ පැල වෙයිද කියන එක. අවසාන වසර හාර සීය ඇතුලේ මේ භුමිය සකස් කලේ සුද්දා. උගේ 'නුතන අවතාරය' මේ භුමියේ තියෙනවා. ඒ කියන්නේ අපේ පුර්ව නුතන ආසියාතික ලෝකය නැවත යම් විදියකින් ප්‍රාදුර්භුත වුනොත් නුතන විශ්වීය වටිනාකම් වලින් එය කප්පාදු වෙනවා කියල අපි දැනගන්න ඕනි (ඒකනේ අපිට නිතර කියවෙන්නේ 'අනේ සුද්දවත් ආවනම් හොඳයි' කියල. මේ ගැන ඕනිනම් ඇතිවෙන්න සංවාද කරමු). ඒ කියන්නේ රජ්ජුරුවෝ පරදිනවා රෝම ලන්දේසි නීතිය ඉදිරියේ (ඒ නිසා මෛත්‍රී පිස්සු කෙළිනකොට රනිල් දිගටම උසාවිය විශ්වාස කලා. මහින්ද සරම කඩා ගන්න කල් බැසිල් සද්ද නැතුව හිටියා). සරලයි.





මහා බුද්ධිමතෙක් නොවුණට ලාල් සහෝදරයා වගේ අය තමන් දන්න සීමාව ඇතුලේ විශ්වීය ලෙස වැඩ කරනවා





මම පුරෝකථනය කරපු දේ ම ලාල් සහෝදරයත් අනුමාන කරනවා. ඒ තමයි විනාශ වූ සංකේතනය ඇතුලේ හමුදා ආණ්ඩුවක් එන්න පුළුවන් කියන එක. එක අතකට ඒක තමයි වෙන්න ඕනි කියල හිතෙනවා මේ වෙලාවේ (මධ්‍යස්ථ විදියට වෙනවා නම්). තියෙන හිරවීමෙන් එලියට එන්න වෙන විදියක් නැහැ වගේ. මොකද මෛත්‍රිපාල විසින් අපිව ඉවරෙටම ඉවර කළා. මොන මාලිමාවක් වත් ආයේ ඔහු ඉතුරු කළේ නැහැ අපිට ගමන් කරන්න මඟ පෙන්වන්න. මහා බුද්ධිමතෙක් නොවුනට ලාල් සහෝදරයා වගේ අය තමන් දන්න සීමාව ඇතුලේ විශ්වීය ලෙස වැඩ කරනවා. එයාගේ දුව යන්නේ පුද්ගලික විශ්ව විද්‍යාලයකට වෙන්න පුළුවන්. ලෝකේ මේ වෙනකොට වැඩියෙන් ම තියෙන්නේ පුද්ගලීක විශ්ව විද්‍යාල (හුගක් ඒවා ගොඩක් ජනප්‍රියයි ලංකාවේ සුළු ධනේශ්වර කියල කලාපය ඇතුලේ). අනික එතන තියෙන්නේ සාංදෘෂ්ටික ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔහුගේ දුව ට බැහැ ලාල් කාන්ත වගේ වෙන්න. ඒ වගේ දේශපාලනික වෙන්න (එහෙම වෙන්න ඕනිත් නැහැ). දුවගේ ජීවිතය ගොඩක් වෙනස් ඇති මේ නව ජිවන ලෝකය (life-world) ඇතුලේ. ලාල් ජිවත් වුනේ රෝහණ සහෝදරයාගේ සංකේත ලෝකයේ වුණාට එයාගේ දුව බටහිරට ගියොත් ඇයගේ ජීවන ලෝකයේ වීරයා වෙනු ඇත්තේ එන්රිකේ වෙන්න පුළුවන්. හුඩ් එක තියෙන කළු ජැකට් එක දාල හෙඩ් ෆෝන් කණේ ගහගෙන බිම බලාගෙන යන අලුත් පරම්පරාවක් තමා එහෙ ඉන්නේ මෙහෙ මේ පට්ට ගොඩයෝ හිටියට. එයාලට වැඩක් නැහැ මේ අපි හැමදාම කතා කරන දේශපාලන බම්බු කතා. කණේ ඇබ ගහගෙන එදිනෙදා ලෝකයෙන් ඛණ්ඩනය වෙලා තත්‍ය සමාන ලෝකයක ඉන්න උන්ට වෙන 'වැඩ' තියෙනවා කරන්න. උන්ට සිංදුවක් ඇහුවත් ඇති මේ පිස්සු දේශපාලන කතා අහනවා වෙනුවට. (අලුත් පරම්පරාව කියන පරණ Chicago ලා ගේ You are my inspiration කියන ගීතය අහන්න). උන්ගේ හීන වෙනස්.





ඒකයි මම කියන්නේ ඔය රාජපක්‍ෂ සහ මෛත්‍රිපාල කරන කියන දේවල් වලට වඩා හුඟක් වෙනස් විදියට බලන කොටසක් අද ඉන්නේ. රනිල්, මෛත්‍රී, ලාල්, අනුර, අපි හැමෝම දැන් එක අතකට පරණයි. නව ප්‍රවේශයක් ඕනි ලාල් ගේ දුව නියෝජනය කරන පෝස්ට් මොඩන් පරම්පරාවට කතා කරන්න. ඒක වෙන්න ඇති හර්ෂ ද සිල්වා, හරින් ප්‍රනාන්දු වගේ අය ඉස්මතු කරන්න එ. ජා. පෙ. හදන්නේ (සාර්ථක අසාර්ථක බව තව මනින්න බැහැ).





ෆෝන් එකෙන් ඇස් දෙක ගන්නේ නැති මෙම පරම්පරාව ට නිශ්චිත භූමියක් නැහැ අපි මෙහෙ පණ දාගෙන භූ දේශපාලනය කළාට. සයිබර්-ඩිජිටල් භූමිය තමා ඔවුන්ගේ දේශපාලන අඩවිය. නිර්නාමික අවධියක් ලෙස හැඳින්වෙන මෙම නව යුගය එක් අතකට හෛඩගර් හදුන්වන්නේ ආත්ම මුලිකත්වය සහ වාස්තවික බව ඉක්මවූ අවධියක් හැටියට. ඒ කියන්නේ අපිට තිබුන බාහිර ලෝකය සහ මම අතර ගැටුම ඔවුන්ට නැහැ (මේ තත්වය හරියටම සුත්‍ර ගත කරන්නේ විසි වන සියවසේ අද්විතීය චින්තකයෙක් වුන හෛඩගර්). ඔවුන් ඔවුන්ගේ සයිබර් ලෝකය එක්ක පුර්ණ වශයෙන් අනන්‍ය යි (දුරක් නැහැ). ඒ නිසා රෝහණ විජේවීර සහෝදරයා වෙනස් කරන්න ගිය බාහිර ලෝකය තවදුරටත් ලාල් ගේ දියණියට (හෝ වෙන ඕනෑම දියණියකට) ප්‍රපංචයීය නැහැ කියන එක අප පිළිගත යුතු සත්‍යයක්. ෆෝන් එක දිහා බලාගෙන හිටියට ඔවුන්ට හරි වැරැද්ද තේරෙන්නේ නැතුවත් නෙවෙයි (අපි පිස්සු කෙළිනකොට ඔවුන් ෆේස් බුක් විප්ලව කරනවා). ඉතින් ලාල් කාන්ත සහෝදරයා ගේ දියණිය ඇයගේ තාත්තා ගැන පොතක් ලිව්වොත් එය කෙසේ වනු ඇත්ද ?





කණේ ෆෝන් ඇබ දෙක ගහගෙන අඟල් හතරක ඩිජිටල් තිරයක් එක්ක ගණුදෙනු කරන පරම්පරාවක් එක අරමුණකට එකතු කරන්න බැරි වුනත් ඔවුන් වෙතට අපේ පණිවුඩය ගෙනියන්න ඕනි









කණේ ෆෝන් ඇබ දෙක ගහගෙන අඟල් හතරක ඩිජිටල් තිරයක් එක්ක ගණුදෙනු කරන පරම්පරාවක් එක අරමුණකට එකතු කරන්න බැරි වුනත් (පරණ අර්ථයෙන්) ඔවුන් වෙතට අපේ පණිවුඩය ගෙනියන්න ඕනි. එතැනදී වැදගත් දෙය තමා මෙම ඩිජිටල් පරම්පරාව අපි මෑතක දැක්ක 'ඔක්තෝබර් විප්ලවය' කියන විපරීත තත්වය එක්ක හිටගත්තේ නැති එක. ඔවුන් රනිල් ගැන එතරම් හිතුවෙත් නැහැ, මහින්ද රජෙක් කියල ගත්තෙත් නැහැ, මෛත්‍රී කරන්නේ විප්ලවයක් කියල පිළිගත්තෙත් නැහැ. ඊජිප්තු අරගලයෙදී තරුණ තරුණියන් එකතු වුණේ ඒකාධිපති වැඩ පිළිවෙලක් පරද්දන්න (පසුව සිදුවූ දෙය ගැන නොවේ මම කියන්නේ). ඒ වගේම රැල්ලක් මේ වතාවෙත් ලංකාවේ ඉස්මතු වුණා (යහපාලන වැඩේට එකතු වුණා වගේ) අවම වශයෙන් සමාජ ජාලා අතරේ. ඒ නිසා මම අනුමාන කරන දෙය තමා උසස් ප්‍රජාතන්ත්‍රවාදී බල වේගයකට හැර නැවත රටේ බලය ගන්න බැරි තත්වයක් (නිර්නාමික ගාමක බලයක්) රටේ තවම තියෙනවා කියන එක (මෛත්‍රී ගේ වැඩේ නිසා වුණේ ඒක නැවත ඔප්පු වෙච්ච එක). මේ බලවේගයේ විශාල ප්‍රමාණයක් තරුණ තරුණියන් (ඒ කියන්නේ සමනලී ෆොන්සේකා පරම්පරාව).





තරමක් නාගරික උගත් වගේම විවේචනාත්මක කොටසක් ලෙස ගන්න පුළුවන් මේ තරුණ බලවේගය විසින් සෑහෙන පමණ පීඩනයක් දෙනවා අධිපති ව්‍යුහය වෙතට. ඔවුන් කරන කියන දේ විසින් මොඩ් වෙන්න හදන ග්‍රාමීය කොටස් වලින් නගරයට එන සංක්‍රමණික කොටසේ චින්තනය සකස් වෙනවා. දිදුළන හදවත, නව පරපුර, අලුත් පරපුර වගේ නම් වලින් කලඑළි බැහැපු මේ පරම්පරාව විසින් පරණ අය පිස්සු නටන බව ඔවුන්ට බාල පරම්පරාවට සම්ප්‍රේෂණය කළා (ඇත්තටම වුණේ පරණ අය පිස්සු නටපු එක තමයි). මම හිතන්නේ ඒ වැඩේ සෑහෙන්න සාර්ථක වුණා ඊජිප්තු අරගලයට වඩා (සටනේ ප්‍රථිපලය රනිල් ගේ ආගමනය වුනත්). ඇත්තටම දිනුවේ රනිල් නෙවෙයි අර පරම්පරාවේ සටන (ඒක රනිල් නිහතමානීව පිළිඅරන් තියෙනවා. මම හිතන්නේ රනිල් පවා ගැඹුරු ලෙස සෙලවීමකට ලක් වුවා මෙම සිදුවීම මතින්). ඒ කියන්නේ නැවත වරක් දිනුවේ මිනිස් නිදහස ඉල්ලන ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය (රජ පවුලේ රැස් වළල්ලට එරෙහි බලවේගය). වැඩවසම් ව්‍යුහයට එරෙහි බලවේගය (ඇත්තටම මෛත්‍රී මේ බලවේගය පාවලා දුන්නේ කොහොමද කියන එක අපි දන්නා මනෝ විශ්ලේෂණය ඇතුලේ පැහැදිළි කර ගන්න බැහැ ඇත්තටම ඔහුට මානසික අබාධයක් නැත්නම්).





අයිවන් මහතා ඒකයි කියන්නේ පරණ පරම්පරාව ඉවරයි කියල. ඒකෙන් අදහස් කරන්නේ පරණ පරම්පරාව මේ නව ධනවාදයේ ආතතිය තුළ මානසික ලෙඩ්ඩු කියන එක. ඒ නිසා කොහොමත් අපේ පරම්පරාවේ ඊළඟ ඡන්ද අපේක්ෂකයින් ජෝන් හොප්කින්ස්, මැසචුසෙට් හෝ බල්ටිමෝර් වගේ සායනයකට යවල සායනික වාර්තාවක් ගන්නම වෙනවා හැර වෙන කරන්න දෙයක් නැහැ). ඒ සඳහා කරන ආයෝජනය රට පැත්තෙන් ඉතාම වැදගත්. මගේ පරම්පරාව මෙවන් මානසික සෞඛ්‍ය සායනයකට යන්න ලජ්ජා නම් ඒ සඳහා ස්වේච්චා වෙන් මම ඉදිරිපත් වෙනවා පළමු වැන්නා හැටියට. ටෙස්ට් එක ෆේල් වුනොත් මෙහෙම හරි කරන ලිවීමත් නතර කරලා දමනවා. ස්ථිරයි.





19 වන සංශෝධනය හරහා මේ වනවිට අපි යම් සමාජ වෙනසක් කරලා තිබුණේ. මෛත්‍රීට තිබ්බේ ඒක අවසානය දක්වා ගෙනයන්න විතරයි. ඒක කරනවා වෙනුවට ඔහු කළේ වෙන දේවල්. අන්තිමට විධායක ජනාධිපති ධුරය සම්පුර්ණයෙන් වෙනස් කරමු කියලා යෝජනාවක් වත් ගෙනාවේ ජේ. වී. පී. එක විතරයි





කොහොම වුනත් අපිට බැරිවුණා 'විප්ලවීය ක්‍රියාව කියන්නේ කොන්දේසි විරහිතව සියලු නෛතික සීමා නොතකමින් විමුක්ති අවසානයක් දක්වා යන එක' කියන ජිජැකියානු වැකිය (කියවන්න ඇලන් ජොන්සන් ගේ Slavoj Žižek’s Theory of Revolution: A Critique) හරියට අර්ථකතනය කර ගන්න අපේ සන්දර්භය ඇතුළේ. 19 වන සංශෝධනය හරහා මේ වනවිට අපි යම් සමාජ වෙනසක් කරලා තිබුණේ. මෛත්‍රීට තිබ්බේ ඒක අවසානය දක්වා ගෙනයන්න විතරයි. ඒක කරනවා වෙනුවට ඔහු කළේ වෙන දේවල්. අන්තිමට විධායක ජනාධිපති ධුරය සම්පුර්ණ යෙන් වෙනස් කරමු කියලා යෝජනාවක් වත් ගෙනාවේ ජේ. වී. පී. එක විතරයි. ශ්‍රේෂ්ට ඔක්තෝබර් විප්ලවයේ සිදු වුණා පරිදි පවත්නා නීතිය උල්ලංඝනය කරන්න ගිහිල්ලා පවත්නා යථාර්තය ත්‍රස්තකරණය කරන්න තමයි මෙම දේශපාලන කුමන්ත්‍රණයේ මොළ කාරයින් තැත් කළේ. එවිට ඇතිවන නව තත්ත්වය විසින් සිදුකරන ලද උල්ලංඝනය සාධාරණීකරණය කරනු ඇත කියන එක තමා ඔවුන්ගේ සුත්‍රය වුණේ. නමුත් සිදුවුණේ වෙනත් දෙයක්. ඒ කියන්නේ සිදුවුනේ පැවති නීතිය දිනපු එක. මේ අනුව අපේ පරම්පරාව ඉතිහාස ගත වෙන්න නියමිත පසු ධනවාදය ඉදිරියේ සම්පුර්ණයෙන් අවුල් වෙච්ච පිස්සන් පිරිසක් හැටියට නම් අපේ දෛවය ඉතාම සරදම්කාරීයි. නමුත් යම් ආකාරයකට ලාල් අනුර වගේ අය කිහිප දෙනෙක් නිසා ඉදිරි පරම්පරාවට අපි කියන්න පුළුවන් 'අපිට මාක්ස් වාදයේ විමුක්ති අරගලය සාක්ෂාත් කරලා දෙන්න බැරිවුණා තමයි. එත් අපි පිස්සන් පිරිසකට එරෙහිව වත් අඩුගානේ සටන් කළා' කියන එක.





ඉතින් පශ්චාත් නුතන මේ නව පරම්පරාව ඉදිරියේ අප මීට වඩා වගකීමෙන් හැසිරෙන්න ඕනි. ඔවුන්ගේ ෆැෂන් විතරක් නොවෙයි චින්තනය පවා වේගයෙන් වෙනස් වෙනවා. වේගයෙන් වෙනස් වෙන තාක්ෂණික ලෝකය එක්ක අපේ චින්තනය වෙනස් වෙන්නේ බොහොම හෙමින්. චින්තනය කෙසේ වෙතත් චර්යාව (behavior) හැටියට ගත්තොත් ජ. වි. පෙ. මේ නව පරම්පරාවේ සිතුම් පැතුම් එක්ක හිටිය මේ මොහොතේ. ඔවුන් හැම බලවේගයක් එක්කම වැඩ කළා පොදු සතුරාට එරෙහිව (නමුත් පෙරටුගාමී එක නිකම් එහාට මෙහාට ගේම් එක ගැහුවා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය අපට වැඩක් නැහැ වගේ තියරි එකක ඉඳගෙන). එහෙම වැඩ කරන කොට තමයි ලාල් කාන්ත සහෝදරයට මඩක් එන්නේ. ඒ පශ්චාත් නුතන මඩට තමයි ඔහු ඉහත පරිදි පශ්චාත් නුතන විදියට උත්තර බඳින්නේ (සම්භාව්‍ය මාක්ස්වාදී විදියට නොවේ). එකම දේ තමයි ඔවුන් මුල් 2015 සිද්ධියට භක්තිමත්. ඒ මත ඉඳගෙන තමයි සියල්ල කතා කරන්නේ. ඒ වගේම ලාල් සහෝදරයා පෙනී සිටිනවා ජනතා පරමාධිපත්‍ය යේ තියෙන සංවරණය සහ තුලනය වෙනුවෙන්. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ තෘප්තිය බලා පොරොත්තු වීම හැටියට තමයි ඉහත ඇලන් ජොන්සන් එය අර්ථකතනය කරන්නේ. තවත් තෘප්ත ආකෘතියක් දේශපාලන ය ඇතුලේ ජොන්සන් හඳුනා ගන්නවා. ඒ තමයි සමස්තතා ආකෘතිය. ඉතින් මේ දෙකෙන් කුමක් තෝරා ගන්නවාද කියන එක ඇතුලේ තමයි වමේ අරගලයේ අනාගතය තීරණය වන්නේ. ශ්‍රේෂ්ට ගත් කතුවර ඇල්බයා කමු උපුටා දක්වමින් තම ශාස්ත්‍රීය ලිපිය අවසන් කරන ජොන්සන් පවසන්නේ 'විප්ලවීය ව්‍යාපාරය විසින් විසි වන සියවසේ කරන ලද ලොකුම අතපසු කිරීම වනාහී මිනිස් නිදහස පිළිබද වටිනාකම් අව තක්සේරු කිරීම' බවයි. මෛත්‍රිපාල විසින් අමතක කර දැමුවේද මෙම උත්කෘෂ්ට මිනිස් වටිනාකමයි. කුමන ප්‍රශ්න ඔහු ඉදිරියේ තිබුණා උනත් මිනිස් නිදහස වෙනුවෙන් ඔහුට ඡන්දය දුන් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ උතුම් අභිලාෂය නැවත මහින්ද රාජපක්ෂ නම් මිනිස් නිදහස නොව කිසිදු විශ්වීය වටිනාකමක් ගරු නොකරන මිනිසෙක්ගේ දේශපාලනය ඉදිරියේ පාවා දීම සුළු පටු වරදක් නොවෙයි. මොකද අප ඔහුට ඡන්දය දුන්නේ පාරවල් කාපට් කිරීමට නෙවෙයි. ඊට වඩා උතුම් දෙයකට. ඉතිහාසයේ අපට නොතිබිච්ච දෙයක් අත්පත් කර දෙන්න කියන හැඟීමෙන්.





නව මාක්ස්වාදයක් අවශ්‍ය වී තිබෙනවා නව ලෝක තත්වය හමුවේ අප කැමති වුවත් අකමැති වුවත්. ඒක නව ප්‍රජාතාන්ත්‍රික අවකාශයක්. සමානතා අවකාශයක්





ඉතින් ඉහත දේශපාලන තෘප්ත ආකෘති දෙක තුළින් මෛත්‍රීපාල විසින් තෝරා ගෙන ඇති තෘප්ත ආකෘතිය මොකක්ද ? ගාමිණී වියන්ගොඩ වගේ කෙනෙක් නම් යෝජනා කරන්නේ මේ රෝග ලක්ෂණය පර පීඩා තෘප්තිය වගේ එකක් විය හැකියි කියල. ජොන්සන් ගේ මතය තමයි බදියු කොතරම් සිද්ධියට (විප්ලවයට) භක්තිමත් වෙන්න කියල කිව්වත් එම විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අහිමි කරන ලද විප්ලවයක් (සිද්ධියක්) නම් එයට භක්තිමත් වී වැඩක් නැති බවයි. ඒ අරුතින් ඔහු බදියු සහ ජිජැක් යන දෙදෙනා ගේම විමුක්ති අරගල මොඩලයන් (ප්‍රචණ්ඩ බව) ප්‍රතික්ෂේප කරනවා. මේ කරුණ නිසා පමණක් ගත්තත් තරුණ පරම්පරාව (විශේෂයෙන් ඩිජිටල් නිදහස අත්විඳින පරම්පරාව) මේ පරපීඩා සමස්තතා ආකෘතියට කැමති වෙන්නේ නැහැ.





ඒ නිසා තමයි සැන්ඩර්ස් වගේ අය ඉහළ නිදහසක් ගැන කතා කරන්නේ. විශේෂයෙන් ඔහුට ස්ත්‍රීවාදී සංක්‍රාන්ති ලිංගික කව වලින් ගොඩක් ආරාධනා ලැබෙනවා ඔවුන්ගේ උත්සව වල කතා කරන්න. ඒ වගේම සැන්ඩර්ස් පිළිගන්නවා එම නව අනන්‍යතාවයන් ගේ සාංද්‍රෘෂ්ටික පැවැත්ම. ඒ කියන්නේ නව මාක්ස්වාදයක් අවශ්‍ය වී තිබෙනවා නව ලෝක තත්ත්වය හමුවේ අප කැමති වුවත් අකමැති වුවත්. ඒක නව ප්‍රජාතාන්ත්‍රික අවකාශයක්. සමානතා අවකාශයක්. ඉතින් මේ ගෝලීය තත්වය මඟ හැරලා වැඩ කිරීමේ හැකියාවක් අපට නැහැ මේ වෙනකොට. මොකද පන්ති දේශපාලනය තුළ මනස සකස් කළ අතීත දේශපාලන ස්ථර වෙනුවට වඩාත්ම දේශපාලනික පිරිස් මේ වෙනකොට සිටින්නේ ඉහත අධිපති ව්‍යුහයන්ට විරුද්ධ අනන්‍යතා කණ්ඩායම් ඇතුළේ. වෘත්තීය සමිති කියන්නේ ප්‍රධාන පක්ෂ වල අතකොළු වෙනකොට අධිපති ව්‍යුහයට විරුද්ධව සටන් කරන්න පාරට බහින්නේ ඉහත ආන්තික සමාජ කණ්ඩායම්. එක වෘත්තීය සමිතියක් (වගේම ශිෂ්‍ය දේශපාලනය) ඉහත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද සටනට එලියට බැස්සේ නැහැ. ඒ කියන්නේ ඔවුන් විශ්වීය සටන් වලින් එළියට ගිහිල්ලා ඉවරයි (සටන් කරනවා නම් කරන්නේ තමන්ගේ වැටුප්, පොහොර, පුද්ගලික විශ්ව විද්‍යාල හෝ ශිෂ්‍යාධාර වගේ බඩ ගෝස්තර දෙයකට පමණයි. නිදහස් අධ්‍යාපනය වගේ බාහිර ආටෝපයක් දවටා ගත්තත් අවසානයේ සටන තමාගේ ම ආත්මාර්ථය, ස්වාර්ථය පිණිසයි. මේ දෙගොල්ලන්ට ම අමතරව තවත් කොටසක් ඉන්නවා ළඟ ෆෝම් වෙන. ඒ අය තමා අර කෝච්චි නැතිවුනාම ලෝකේ පෙරළන්න හදන අය). නමුත් සමහර ස්ත්‍රී වාදී කොටස්, සමාන ලිංගිකත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කොටස්, සංක්‍රාන්ති ලිංගිකයින්, විකල්ප කලා කරුවන්, විචාරකයින් වගේ කොටස් මෙවර ඉස්මතු වෙමින් ආව සමස්තතා ඒකාධිකාරී ආක්‍රමණයට විරුද්ධ වුණා.











'සමනල' කොටස් තමයි වඩාත්ම දේශපාලනික විදියට මෛත්‍රීපාල සහ රාජපක්ෂ නියෝජනය කළ නව කොන්සර්වටිව් වාදය ට එරෙහි වුණේ. ඔවුන්ගෙන් බොහොමයක් පීඩිත පන්ති කොටස්





ඒ කියන්නේ 'සමනල' කොටස් තමයි වඩාත්ම දේශපාලනික විදියට මෛත්‍රීපාල සහ රාජපක්ෂ නියෝජනය කළ නව කොන්සර්වටිව් වාදය ට එරෙහි වුණේ. ඔවුන්ගෙන් බොහොමයක් පීඩිත පන්ති කොටස්. නමුත් යම් පමණකින් රනිල් ඇතුළු මධ්‍යම පන්ති කොටස් විසින් නියෝජනය කල පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද හැඟවුම සමඟ සහ ජ. වි. පෙ. විසින් නියෝජනය කරන ලද දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ හැඟවුම සමඟ මෙම කොටස් සමගාමී වුණා. ඒක යහපත් දෙයක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ඉදිරි සටනේදී. 1941 ඉපදිච්ච බර්නි සැන්ඩර්ස් අද පරම්පරාවේ සමාජ, දේශපාලන, සංස්කෘතික සහ ලිංගිකකත්වය පිළිබද ප්‍රශ්න වලට පෙනී සිටින හැටි දැක්කම පුදුම හිතෙනවා 1951 ඉපදිච්ච මෛත්‍රීපාල කුහක විදියට සමනල්ලුන්ට නිග්‍රහ කරන කොට. සමනල්ලුන්ගේ ප්‍රශ්න කොතරම් තිබුණත් මෛත්‍රීපාල බලයට ගෙනාවේ ඒ පරම්පරාව. ඒ නව පරම්පරාව කියන්නේ රනිල් නෙවෙයි කියන එක මෛත්‍රීපාල තේරුම් ගන්න ඕනි. ඒකයි රනිල් කට ඇරලා කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දිනුවේ එක්සත් ජාතික පක්ෂය නෙවෙයි කියල. දිනුවේ සමාජ සංස්කෘතික නිදහස පිළිබද නව විශ්වීය හැඟවුමක්. ඒකට අයිතිවාසිකම් කියන්න තරම් කවදාවත් රාජපක්ෂට රූපාන්තරණය වෙන්න බැහැ. ඒ නිසා පට්ට නිවැරදි විදියට රනිල් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් හදනවා කීවා (දිනුවේ එක්සත් ජාතික පක්ෂය නොවන නිසා).





කොතරම් ආර්ථික ප්‍රශ්න තිබුනත් අපේ පරම්පරාවේ කිහිප දෙනෙකුත් මේ සංස්කෘතික - දේශපාලන - ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ඇතුළේ ඉන්නවා





මම දකින විදියට කොතරම් ආර්ථික ප්‍රශ්න තිබුනත් අපේ පරම්පරාවේ කිහිප දෙනෙකුත් මේ සංස්කෘතික - දේශපාලන - ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ඇතුළේ ඉන්නවා. එයින් මම දකින ප්‍රමුඛයෙක් තමයි කේ. කේ. සමන් කුමාර. එදා ඉඳල අද දක්වා ඔහු වික්ටෝරියානු කුහක බවට එරෙහිව සටන් වදිනවා. ස්ත්‍රී වාදී සටනේ ඔහු ඉන්නවා. වෙනත් ලිංගිකත්ව අරගල වල ඔහු ඉන්නවා. ඔහුගේ සටන්කාමිත්වය මිය ගිහිල්ලත් නැහැ. හදවතෙන් තමන්ට දැනෙන දෙය කතා කරන්න ඔහු බියත් නැහැ. මෙවරත් ඔහුට පුළුවන් හැටියට ප්‍රජාතන්ත්‍රවාදී අරගලය වෙනුවෙන් ඉදිරිපත් වුණා. තව හුඟක් අය ඉන්නවා ඇති නමුත් දීර්ඝ ලේඛන ඉතිහාසයක් සහිතව මේ සටනේ ඉන්න අපේ පරම්පරාවේ කෙනෙක් තමයි සමන්. විශේෂයෙන් අපේ සමාජය වෙළාගෙන සිටින වික්ටෝරියානු කුහක බව තවත් වරක් පැහැදිලි වුණා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බලයට ආපු මෛත්‍රීපාල විසින් ම එම අරගලයට එරෙහිව හිටපු රාජපක්ෂ ඉස්සරහ සමනල්ලුන්ට නිග්‍රහ කරන කොට. සම්ප්‍රදාය, පශ්චාත් යටත් විජිත කුහක බව, නුතන බව සහ පසු නුතන බව අතර අවස්ථාවාදී බෙදුම් රේඛාවන් දැන් අතිශයින් පැහැදිලියි (අවම වශයෙන් මුලික දේවල් එක්ක සලකන කොට). තවදුරටත් අපි රැවටෙන්න ඕනි නැහැ. ගඟේ යන්න වුවමනා නැහැ. සද්ගුරු කියනවා නම් ඇමෙරිකන් කාරයා ඩෙනිම ඉරනකොට මුළු ලෝකයෙන් බාගයක් වත් තමන්ගේ ඩෙනිම ඉරල අඳිනවා කියල එහෙනම් අපි සැන්ඩර්ස් ගෙන් ඉගෙන ගත්තට කිසි වරදක් නැහැ (මම කියන්නේ ඊටත් වඩා විශ්වීය විදියට කරමු කියල). සැන්ඩර්ස් සහ වරුෆාකිස් ල වගේ ප්‍රගතිශීලි කොටස් විසින් විවේචනය කරන ගෝලීය කරණයේ නව ගැටළුකාරී තත්වයන් වන ඒකාධිකාරය සහ ධනය බෙදී යාමේ ගැටළුව පවා අපි සැලකිල්ලට ගන්න ඕනි. විශේෂයෙන් අයුතු ධනය හරහා චීනය වගේ රටවල් ලෝකය පුරා තමන්ගේ හෙංචයියන් ඒකාධිකාරී ලෙස ඉස්මතු කරමින් සිටිනවා නව දේශපාලන විජිත කරණයක් ඇතුලේ. ලංකාවෙත් එහෙම වුණා. ඉතින් අපිට ලෝක ප්‍රජාතන්ත්‍රවාදී කොටස් එක්ක අත්වැල් බැඳ ගන්න තියෙනවා (ලාල් කාන්ත සහෝදරයා පවා චීනය ගැන ප්‍රසාදයකින් කතා කරන්නේ නැහැ) එවන් තත්වයන්ට එරෙහිව.





ආපහු අපි මුලට ආවොත් ඇමෙරිකාවේ සැන්ඩර්ස් දේශපාලන කරන්නේ ලාල් කාන්ත ගේ දුව නියෝජනය කරන පරම්පරාවට (නැවතත් කියන්නේ මෙහිදී දුව කියන්නේ රූපකයක් විතරයි කියන එක). එහෙම දේශපාලනය කරන සැන්ඩර්ස් කියන්නේ හිඟන්නෙක් නෙවෙයි. හොඳට ඇඳලා ඉන්න රැඩිකල් උගත් කෙනෙක්. ඒ නිසා ජ. වි. පෙ. කිසිම කෙනෙක් දිල්කා අහන විප්ලවය ගැන ප්‍රශ්න වලින් ගඟේ යන්න උවමනා නැහැ. එයාලගේ ඔලුවේ තියෙන රබර් සෙරෙප්පු දාන, පොඩිවෙච්ච ඇඳුම් අඳින, රතු කමිස කතා වලින් අවුල් වෙන්න ඕනි නැහැ (ඒ කියන්නේ දිල්කා ගේ ගේස් එකට වගේම ගේම් එකට අහුවෙන්න ඕනි නැහැ). ඉංග්‍රීසි කතා කරන්න බය වෙන්න ඕනිත් නැහැ. කොටින්ම රනිල් පහු කරගෙන යන්න බය වෙන්න ඕනි නැහැ. ඉතින් ජිජැක් ඉහත ලිපිය අවසන් කරන්නේ මෙහෙම. 'කෙටියෙන් ම කියන්නේ නම් අධිපති සංස්ථාපිත යට එරෙහි බලවේග සමග පුළුල් ලෙස සන්ධාන ගත නොවන්නේ නම් ඉදිරි වමට අනාගතයක් නැත. අපගේ සැබෑ සතුරා ධනවාදය මිස ජනප්‍රියවාදී දක්ෂිණාංශික බලවේග නොවේ. ඉහත බලවේග වනාහි ධනවාදයට ම එරෙහි ප්‍රතිචාරාත්මක අවුල් ජාලා පමණි'





(To cut a long story short, there is no victory of the left without the broad alliance of all anti-establishment forces. One should never forget that our true enemy is the global capitalist establishment and not the new populist right which is merely a reaction to its impasses).













References:






Badiou, A. (2015). Being and Event. (trans. Oliver Feltham). London. Continuum.





Zizek, S. (2017). Alt-right Trump supporters and left-wing Bernie Sanders fans should join together to defeat capitalism (in The Independent). Online.





Johnson, A. (2013). Slavoj Žižek’s Theory of Revolution: A Critique. https://www.tandfonline.com/doi/pdf/10.1080/23269995.2011.10707889.


ජනාධිපතිතුමනි; ජනතා පරමාධිපත්‍යය ඔළුවෙන් සිටුවීම නින්දිත ක‍්‍රියාවක්

පාර්ලිමේන්තුවේ වත්මන් තත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාව සඳහා පැමිණෙන ලෙසට කරන ලද ආරාධනය පිළිබඳවයි


ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යැවූ ලිපිය 






ඔබගේ ලේකම් විසින් එවන ලද 2018.11.17 දාතම සහිත ලිපියෙන් ඔබ සමග සාකච්ඡුාවකට පැමිණෙන ලෙස අප පක්ෂයට ආරාධනා කරනු ලැබ තිබේ. කෙසේ වුවද එම ආරාධනය පිළිගනු ලැබීමට පෙරාතුව පහත කරුණු ඔබගේ අවධානයට ලක්විය යුතු යැයි අපි සිතමු.


ඔබගේ සාකච්ඡාවේ අපේක්ෂාව වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ වත්මන් තත්වය පිළිබඳවයි. එහෙත් අපගේ නිගමනය වන්නේ පාර්ලිමේන්තුවේ වර්තමානයේ ඇතිවී තිබෙන තත්වය ඔබගේ කුමන්ත‍්‍රණකාරී දේශපාලන උවමනාව වෙනුවෙන් ඇතිකරන ලද ක‍්‍රියාදාමය හේතුකොටගෙන රට තුළ මතුව තිබෙන අස්ථාවරත්වයේ පිළිබිඹුවක් බවයි. මේ වන විට රට තුළ බරපතළ අරාජිකත්වයක් සහ අස්ථාවරත්වයක් ගොඩනැගී ඇත. දශක හතකට වැඩි ලාංකේය දේශපාලනය තුළ මෙවැනි අස්ථාවරත්වයක් මෙතරම් කාලයක් දිග්ගැස්සෙමින් ඇත්තේ පළමු වතාවටය. මෙය හුදු ඕපපාතිකව පැන නැගුණක් නොව ප‍්‍රධාන සිදුවීම් පහක් පදනම් කරගනිමින් නිර්මාණය වූවකි.


01. පසුගිය ඔක්තෝබර් 26වැනි දින ඔබ විසින් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති මන්ත‍්‍රීවරයෙකු කුමන්ත‍්‍රණකාරී ලෙස අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කරනු ලැබීම හා අවස්ථා ගණනවකදී විගඩම්කාරී ලෙස කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු පත්කිරීම.
02. පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව හෙළිදරව් වීම වැළැක්වීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම.
03. ජනතා පරමාධිපත්‍යය ඔළුවෙන් සිටුවීමේ නින්දිත ක‍්‍රියාවලියක් වන පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් මිලදී ගැනීමේ ක‍්‍රියාවලියකට මැදිහත්වීම.
04. එම වෙන්දේසි ක‍්‍රියාවලිය අසාර්ථක වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කිරීම.
05. කුමන්ත‍්‍රණකාරී ලෙස පිහිටුවන ලද අග‍්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවේදී අවස්ථා දෙකකදී විධිමත් ලෙස විශ්වාසභංග යෝජනා සම්මත වී තිබියදී ඊට අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නවා වෙනුවට ඔබගේ කුමන්ත‍්‍රණකාරී දේශපාලන වුවමනාව වෙනුවෙන් කල්මැරීම.
මේ පස්වැදෑරුම් ක‍්‍රියාවලියේ ඔබගේ ප‍්‍රමුඛ දායකත්වය කිසිසේත් සැඟවිය නොහැකි ලෙස ජනතාව හමුවේ නිරාවරණය වී අවසන්ය.


මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔබ විසින් නිකුත් කරන ලද ගැසට් පත‍්‍රය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සම්වලට අතුරු තහනම් නියෝගයක් ලබාදී එම ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට ලක්කොට තිබේ. ඒ අනුව සැසිවාර අවසානයෙන් පසු පාර්ලිමේන්තුව මේ වන විට දින තුනක් කැඳවනු ලැබ ඇත. ආරම්භක දිනය වූ 2018 නොවැම්බර් 14වැනි දිනම ඔබ විසින් අනීතිකව පිහිටුවන ලද ආණ්ඩුවට එරෙහිව අප විසින් ගෙනන ලද විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 122කගේ බහුතරයකින් සම්මත විය. ඒ බව එම මන්ත‍්‍රීවරුන්ගේ අත්සන් සහිතව කථානායකතුමා වෙත බාර දෙන ලද පෙත්සම මගින් ලිඛිතවද සනාත කරනු ලැබිණි.


කෙසේ වුවද බහුතර මන්ත‍්‍රී ඉල්ලීම මත ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවක් අනුව (ස්ථාවර නියෝග 135) ඉදිරිපත් කරන ලද එම විශ්වාසභංග යෝජනාව, හ`ඩ අනුව තීරණයක් ලබාදීමේ 47(1* වගන්තියේ කථානායකතුමාගේ බලතල අනුව විධිමත්ව සම්මත වූවකි. එය මන්ත‍්‍රීවරුන්ගේ නමින් ඡුන්දය විමසීමට කථානායකතුමා ගන්නා ලද උත්සාහය මගින් පරාජය නියත බව දැන සිටි ආණ්ඩු පක්ෂය යැයි කියාගන්නා මන්ත‍්‍රී කණ්ඩායමේ බාධා කිරීම් නිසා ගැනීමට සිදුවූ තීරණයක් බව ඔබද හොඳින් දන්නවා ඇත. මෙම තත්වය නොවැම්බර් 16 දිනයේදීත් එලෙසම සිදුවිය. ඔබගේ මන්ත‍්‍රී කණ්ඩායම පරාජය පිළිගැනීම ප‍්‍රතික්ෂේප කරමින් සහ නමින් ඡුන්දය ලබා ගැනීම වළක්වාලමින් පාර්ලිමේන්තුව තුළ වියරුවෙන් හැසිරුණ බව ඔබ හොඳින්ම දනියි.


කෙසේ නමුත් දෙවරක්ම විධිමත්ව සිදුවූ විශ්වාසභංග සම්මතය පිළිගැනීමත් නාමික අග‍්‍රාමාත්‍ය ධුරය අත්හැරීමත් ප‍්‍රතික්ෂේප කරමින් එය විධිමත්ව සිදු නොවූ බවට විවිධ බාල ගණයේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයෙකුට තරම් නොවන බව අපගේ විශ්වාසයයි. එසේම ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරනු ලබන්නේයැයි කියනු ලබන පාර්ලිමේන්තුවේ තෙදිනක ක‍්‍රියාවලිය තුළ ඇතිවූ ගැටුම්කාරී පිළිකුල් සහගත තත්වයට සහ ඉන් ඇතිවූ අස්ථාවර තත්වයට මුළුමනින්ම වගකිව යුතු වන්නේ ඔබය; ඔබගේ හිතුවක්කාරී හැසිරීමය.


මේ අනුව රට අද වන විට පත්ව ඇති සමස්ත අරාජිකත්වයේ සහ අස්ථාවරභාවයේ නිර්මාතෘවරයා ඔබය. එබැවින් එය නිවැරදි කළ හැක්කේද ඔබටමය. එයින් මෙපිට මෙම නිශ්චිත කරුණ පිළිබඳව ඔබ හා සාකච්ඡුා කිරීමෙන් ලබා ගත හැකි විසඳුමක් ඇතැයි අපි විශ්වාස නොකරමු. පාර්ලිමේන්තු නියෝජනය කරන වගකිවයුතු දේශපාලන පක්ෂයක් ලෙස අප, අපට මේ සම්බන්ධයෙන් කළ හැකි උපරිම මැදිහත්වීම මේ වන විට සිදුකර අවසන්ය. දැන් ඇත්තේ ඔබගේ පාර්ශ්වයෙන් ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මකවීමය. රට වෙනුවෙන් එම පියවර ගැනීමට ඔබට ආත්ම ශක්තියක් ඉතිරි වී ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

මේ දේශපාලන කුමන්ත‍්‍රණයට එරෙහිව නොවැම්බර් 01 වැනිදා නුගේගොඩදී පාරට බහිනවා - අනුර

පවතින නොසන්සුන්කාරී දේශපාලන වාතාවරණය හමුවේ හඬ නැගීමට ජනතා විමුක්ති පෙරමුණ එළඹෙන නොවැම්බර් 01 වැනිදා නුගේගොඩදී ජනරැළියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව අද (29) දිනයේදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය. මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීයවේදීන්, කලාකරුවන් ඇතුළු සියලූ ප‍්‍රගතිශීලී බලවේග සහභාගී වීමට නියමිතව තිබෙන බව ද ඔහු එහිදී අවධාරණය කළේය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැවූ අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ,


‘‘මෛත්‍රීපාල වැසිකිළියට ගොස් වීදුරු දොරකින් වසාගෙන සිටිනවා සේ කිසිදු ලැජ්ජාවකින් තොරව පාර්ලිමේන්තුව කල් දමා තිබෙනවා.‘‘


‘‘පසුගිය සිකුරාදා සිදුවූයේ දේශපාලන කුමන්ත‍්‍රණයක්. එමගින් රට අරාජිකත්වයකට, අස්ථාවරභාවයකට පත්කොට තිබෙනවා. එම කුමන්ත‍්‍රණය සිදුවී දින කිහිපයක් ගත වුවත් කුමන්ත‍්‍රණය අවසන් වී නැහැ. දිනෙන් දින රට අරාජිකත්වය, අස්ථාවරභාවය වර්ධනය වෙමින් තිබෙනවා. ජනතාව නොසන්සුන් තත්වයකට පත්ව තිබෙනවා. එම දේශපාලන කුමන්ත‍්‍රණයේ විපාක කොයි තරම්ද කියනවා නම් තෙල් සංස්ථාවේ ප‍්‍රධාන කාර්යාලයේ සිදුවූ ගැටුමකින් එක් අයෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. රට අරාජික වෙලා ජනතාව වික්‍ෂිප්ත වෙලා සිටිනවා. මෙම බල පොරය ජනතාවගේ හෝ රටේ අවශ්‍යතාවය නිසා ඇති වූවක් නොවෙයි. රනිල්, මෛතී‍්‍ර, මහින්ද තිදෙනාගේ බල පොරය වෙනුවෙන් ඇතිවූවක්. ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමේ මෙම දේශපාලන කුමන්ත‍්‍රණයෙන් රටට හෝ ජනතාවට වාසියක් අත්වෙන්නේ නැහැ. අපි රටේ ජනතාවගෙන් ඉල්ලනවා, මෙම දේශපාලන ගැටුමේ කොටස්කාරයින් බවට පත්වෙන්න එපා කියලා. තෙල් සංස්ථාව් සේවකයෙකු මිය යාමෙන් හෝ දෙදෙනෙකු තුවාල ලැබීමෙන් රනිල්, මෛත්‍රීගේ, මහින්දගේ බල පොරයට කිසිදු බලපෑමක් ඇතිවෙන්නේ නැහැ.



ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුදුන් මල්කඩ යැයි ඔවුන්ම කියන රටේ උත්තරීතරම ආයතනය යැයි හඳුන්වන පාර්ලිමේන්තුවේ දොර වසා තිබෙනවා. මෛත්‍රීපාල වැසිකිළියට ගොස් වීදුරු දොරකින් වසාගෙන සිටිනවා සේ කිසිදු ලැජ්ජාවකින් තොරව පාර්ලිමේන්තුව කල් දමා තිබෙනවා. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන මහා ලොකුවට දේශන පවත්වන දිනේෂ් ගුණවර්ධනලා මෛත්‍රීගේ වැසිකිළිය අසල නහය වසාගෙන මුර බල්ලන් බවට පත්වෙලා ඉන්නවා. ජනතා නියෝජිතයින් ලෙස මන්ත්‍රීවරුන්ගේ අදහස් ප‍්‍රකාශ කරන්න තිබෙන පාර්ලිමේන්තුවේ දොර විවෘත කරන්න කියලා අපි මෛතී‍්‍රපාලට කියනවා. මෛත්‍රීගේ දේශපාලන කුමන්ත‍්‍රණයේ කොටස්කාරයෙක් බවට පාර්ලිමේන්තුව පත්කරගෙන තිබෙනවා. පාර්ලිමේන්තුව වසා දැකීම ගැන ලක්‍ෂමන් යාපලා හය හතර නොදත් නොදරුවන්ට කියා දෙනවා සේ රටට විහිළු සපයනවා. මෙම ඇතිවී තිබෙන තත්වය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය නැද්ද ? පාර්ලිමේන්තුව වසා දැමීම මෛත්‍රීගේ බල කුමන්ත‍්‍රණයේම දිගුවක්. එනිසා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනාගේම අත්සනින් යුතුව අද අපි කථානායකවරයාට ලිපියක් මගින් දැනුම් දෙනවා. පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවන්න කියලා. කෙසේ වුවත් මෙම ඇතිවී තිබෙන අර්බුදය පාර්ලිමේන්තුව කැඳවීමෙන් පමණක් විසඳා ගත හැකි යැයි අපි විශ්වාස කරන්නේ නැහැ. රටේ ජනතාවගේ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමට වෙනස් මාවතක් විවෘත කරගත යුතුව තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපිට මෙම අස්ථාවර ස්වභාවය දෙස හෝ කැත මජර බල සූදුව දෙස නරඹන්නන් ලෙස බලා සිටීමට අයිතියක් නැහැ. එනිසා මෙම බල සූදුවට එරෙහිව පියවර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වෙනවා.


‘‘ප‍්‍රබල ජනතා ව්‍යාපාරයක අවශ්‍යතාවය පැන නැගී තිබෙනවා.....‘‘


රට තුළ  දිනෙන් දින සිදුවෙමින් තිබෙන සිදුවීම්වලින් රනිල්-මෛත්‍රී-මහින්ද තවදුරටත් අපේ රට ගොඩනැගීමට අසමත් පාලකයින් බව ඔප්පු කරමින් තිබෙනවා. ඔවුන්ගේ මෙම බල කඳවුරුවලට සහ ඔවුන් වටා සිටින කණ්ඩායම්වලට තවදුරටත් අපේ රට දශමයකින් හෝ ඉදිරියට ගෙනියන්න බැරි බව ඔප්පු කොට තිබෙනවා. ජනතාව මර උගුලකට හිර කර, ජනතාවගේ ජීවිත සූදුවකට ලක් කර, ඔවුන් මෙම කැත, නින්දිත බල සූදුව දියත් කරමින් තිබෙනවා. රනිල්-මෛත්‍රී-මහින්දලාගේ උවමනාව මොකක්ද කියලා මෙම බල සූදුවෙන් ඔප්පු කරමින් තිබෙනවා. එනිසා මෙම කැත බල සූදුවට එරෙහිව ජනතාවගේ ගැටලූවට විසඳුම් ලබාදිය හැකි ප‍්‍රබල ජනතා ව්‍යාපාරයක අවශ්‍යතාවය පැන නැගී තිබෙනවා.


ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා, මෙම ගැටුමේ කොටස්කරුවන් බවට පත්වී හෝ ඒ දෙස නරඹන්නන් ලෙස බලා සිටිනවා වෙනුවට මෙම නිර්ලජ්ජිත බල සූදුවට එරෙහිව පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා පෙළගැහෙන්න කියලා. මෙම බල සූදුව අනිවාර්යයෙන්ම නතර කළ යුතුයි. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පියවර ගන්නවා. මෙම සිදුවීම්වලින් පාඩමක් ඉගෙන ගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. පොත් දහස් ගණනක් කියවා තේරුම් ගැනීමට නොහැකි දේශපාලන කරුණු මෙම සිදුවීමෙන් ජනතාවට ඉගෙන ගත හැකියි. මෙම බල සූදුවට අපේ රටත් රටේ දරුවන්ගේ අනාගතයත් අගාධයකට ගෙනයාමට ඉඩ දිය යුතු නැහැ. අපේ රටේ ජනතාවගේ කාලය, ශ‍්‍රමය, ධනය සියලූ දේ කැප කළ යුත්තේ රනිල්ලාගේ, මෛතී‍්‍රලාගේ, මහින්දලාගේ බල කඳවුරු ශක්තිමත් කිරීමට නොවේ. ජනතාව කැප කිරීම් කළ යුතු වන්නේ මෙම බල කඳවුරුවලට එරෙහිව ගොඩනැගෙන ජනතා බලවේගයක් සඳහායි. ජනතා විමුක්ති පෙරමුණ එකතු කරගත හැකි යහපත් පුද්ගලයින් සමඟ වමේ ව්‍යාපාරය සමඟ නව බලවේගයක් ගොඩනැගීම වෙනුවෙන් සාකච්ඡුා ආරම්භ කරනවා. ඒ වගේම හැම මොහොතකම රටේ අර්බුද අවස්ථාවලදී පෙරට ආපු සිවිල් සංවිධාන සමග අපි සාකච්ඡා කරනවා. විකල්ප මහජන ධාරාවක්, පොදුජන ව්‍යාපාරයක් ගොඩනැගීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීයවේදීන්, කලාකරුවන් ඇතුළු සියලූ ප‍්‍රගතිශීලී බලවේග සමග සාකච්ඡා පවත්වමින් පොදු ජනයා මෙම බල සූදුවට එරෙහිව පෙළගස්වමින් පොදුජන ව්‍යාපාරයක් ආරම්භ කරනවා.


‘‘නොවැම්බර් 01 වැනිදා නුගේගොඩදී ජනතා රැළියක්.‘‘


මෙම දේශපාලන කුමන්ත‍්‍රණයට එරෙහිව ගොඩනගන ව්‍යාපාරයේ පළමු පියවර ලෙස අපි ජනතා රැලියක් නොවැම්බර් 01 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. එම අවස්ථාවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීයවේදීන්, කලාකරුවන් ඇතුළු සියලූ ප‍්‍රගතිශීලී බලවේග සහභාගී වීමට නියමිතව තිබෙනවා. මන්දිර ඇතුළේ සිදුකරන දේශපාලන කුමන්ත‍්‍රණ වෙනුවට, දේශපාලන නායකයින් අතර ඇතිවන දේශපාලන කුමන්ත‍්‍රණ වෙනුවට රට ගොඩනගන වැඩපිළිවෙළක් සඳහා ඉඩ විවෘත කරගත යුතු වෙනවා. ඒ වෙනුවෙන් මේ රටේ මාධ්‍යවේදීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. දේශපාලඥයින් කියන ප‍්‍රකාශ වාර්තා කිරීමෙන් ඔබ්බට ගොස් රට ගොඩනගන වැඩපිළිවෙළේ කොටස්කරුවන් බවට පත්වෙන්න කියලා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලනවා. රටේ ඇතිවෙලා තිබෙන කැත, නින්දිත, නිර්ලජ්ජිත බලලෝභී දේශපාලනය අවසන් කළ යුතුව තිබෙනවා. මහින්ද රාජපක්‍ෂට ඔටුන්න පැළඳවීමෙන් හෝ ඔහුගේ ඔටුන්න ගලවා රනිල්ට පැලඳවීමෙන් රටේ ඇතිවෙලා තිබෙන මේ අස්ථාවරභාවයට, අරාජිකත්වයට හෝ ජනතාවගේ ප‍්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඒ සඳහා නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් රටේ වැඩකරන ජනතාව, සිවිල් බුද්ධිමතුන් සියලූ දෙනාට අපි ආරාධනා කරනවා.‘‘


මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූවේ,


‘‘තෙල් සංස්ථාවේ සිද්ධියට වගකිවයුත්තේ මෛත්‍රීපාල සිරිසේනයි‘‘


‘‘තෙල් සංස්ථාවේ ඇතිවූ සිදුවීමට මුළුමනින්ම වගකිය යුත්තේ මෙම දේශපාලන වටපිටාව ඇතිකළ මෛත්‍රීපාල සිරිසේනයි. ගලන හැම ලේ බිඳුවකම, අහිමි වන හැම ජීවිතයකම වගකීම බාරගත යුත්තේ මෙම දේශපාලන කුමන්ත‍්‍රණය නිර්මාණය කළ මෛතී‍්‍රපාල සිරිසේනයි. මුළුමනින්ම ඔහුගේ බල ලෝභය වෙනුවෙන් ඇතිකළ කුමන්ත‍්‍රණ නිසා තමයි මෙම සියලූ දේ ඇතිවන්නේ. ඇත්තටම අද තෙල් සේවකයින්ගේ විරෝධතාවයක් ඇතිවිය යුතුයි. එම විරෝධතාවය ඇතිවිය යුත්තේ රටේ මෙම අරාජිකත්වය ඇතිකළ මෛතී‍්‍රපාල සිරිසේනට එරෙහිවයි.


පොදු දේපළ පනතට අනුව රටේ පොදු දේපළ අවභාවිත කළ පුද්ගලයින්ට දඬුවම් කළ යුතුයි. පොදු දේපළ පනත යටතේ අත් අඩංගුවට ගන්නවා නම් මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ එදා අගමැති ලෙස දිව්රුම් දුන් මහින්ද රාජපක්‍ෂයි. මෛතී‍්‍රපාලට කරන්න තිබුණේ ඔහුට අගමැතිධුරය දීම නොව ඔහුගේ අතට මාංචු දැමීමයි. ඒ විතරක් නෙවෙයි මහින්ද දිවුරුම් දෙනකොට වටේ හිටපු බොහෝ දෙනෙක් රාජ්‍ය දේපළ අවභාවිත කළ අයයි. ඒ වගේම රනිල් වික‍්‍රමසිංහත් මහ බැංකු බැඳුම්කර වංචාව සිදුකොට රටේ දේපළ අවභාවිත කොට තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගත යුත්තේ අරලියගහ මන්දිරය භාවිතා කළ එකට නොව මහ බැංකු බැඳුම්කර වංචාවටයි. ඇත්තටම මේ සියලූ දෙනාම මංකොල්ල කණ්ඩායම් දෙකක සාමාජිකයින්. එක මංකොල්ල කණ්ඩායමක් මින්නේරිය කැලේ ඉන්නවා. අනෙක් මංකොල්ල කණ්ඩායම හබරණ කැලේ ඉන්නවා. මේ ගොල්ලෝ දෙපැත්තට ගහ ගන්නවා වගේ වැඩක් දැන් මේ සිදුවෙමින් තිබෙන්නේ. ඒ නිසා අරලියගහ මන්දිරයේ ඉන්න මංකොල්ලකරුවන්ටත් ජනාධිපති මන්දිරයේ ඉන්න මංකොල්ලකරුවන්ටත් එරෙහිව දඬුවම් ලබාදීමට ජනතාව පෙළගැසිය යුතුව තිබෙනවා.


අගමැතිවරයා පත් කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාටයි. නමුත් අගමැතිවරයා කවුද යන්න තීරණය කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. එනම් පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබාගත යුතු පුද්ගලයා තමයි අගමැතිවරයා බවට පත්වෙන්නේ. එය තීරණය කිරීමේ බලය තිබෙන පාර්ලිමේන්තුව අද වසා දමා තිබෙනවා. නමුත් කවුද අගමැති, 113 බලය තිබෙන්නේ කාටද, වඩුවෙල් සුරේෂ් සහාය දෙන්නේ කාටද, වසන්ත සේනානායක ඉන්නේ කොයි පැත්තේද, දුමින්දගේ ගෙදර සිදුවෙන්නේ මොනවද කියලා හොයන්න අපි යන්නේ නැහැ. මේ දෙදෙනාගෙන් කවුරු අගමැති වුණත් ජනතාවට ඇතිවෙන වාසියක් නැහැ. ඒ සිදුවීම් බ්‍රේකිං නිවුස්වලට හොඳයි. නමුත් එම බ්‍රේකිං නිවුස්වලින් ජනතාවට අත්වන කිසිදු වාසියක් නැහැ.


ශිරාණි බණ්ඩාරනායක ගෙදර යැව්වේ ව්‍යවස්ථාවට අනුවද ? 2015 දී මන්ත්‍රීවරුන් 42ක් හිටපු රනිල් අගමැති කළේ ව්‍යවස්ථාවට අනුවද ? 19 වැනි ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසුව ඇමතිධුර සඳහා පුද්ගලයින් යෝජනා කිරීමේ බලය අගමැතිවරයාට ලැබුණු අතර විෂයයන් තීරණය කිරීමේ අයිතිය තිබුණේ ජනාධිපතිවරයාටයි. නමුත් වීරකුමාර දිසානායකට, ශ්‍රියාණි විජේවික‍්‍රමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමතිකම් පදවි දුන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ නම් යෝජනා කරලද ? එම නිසා පාලකයින් කොයිම වෙලාවකවත් ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්නේ නැහැ. ඔවුන්  ඕනෑම වෙලාවක බලය වෙනුවෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා කටයුතු කරනවා. ඒ නිසා අපි මෙම ව්‍යවස්ථා වගන්ති අස්සේ පැටලෙන්න යන්නේ නැහැ. පාලකයින් හැම වෙලාවකම ව්‍යවස්ථාව පාවිච්චි කළේ පොදු ජනතාව මර්දනය කිරීමටයි...‘‘


ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පිළිතුරු ලබාදෙමින් පැවසුවේ,



‘‘මෛත්‍රීපාල ඊයේ කළේ පාපෙච්චාරණයක්‘‘


‘‘මෛත්‍රීපාල සිරිසේන ඊයේ සිදුකළේ ජාතිය ඇමතීවට වඩා පාපොච්චාරණයක් සිදු කිරීමයි. හැටදෙලක්‍ෂයක් ජනතාවගේ අභිලාෂයන් ඉටු නොකිරීමේ වගකීම මුලින්ම බාරගත යුත්තේ මෛත්‍රීපාල ජනාධිපතිවරයායි. ඒ වගේම එහි වගකීම අගමැති රනිල් වික‍්‍රමසිංහත් කැබිනට් මණ්ඩලයත් බාරගත යුතුයි. ඔවුන් බලය වෙනුවෙන් ඉතාම අවබෝධයෙන් කටයුතු කළා. පරණ හොරුන්ට දඬුවම් ලබා නොදීමේදී දෙදෙනා එකඟතාවයෙන් වැඩ කළා. හැට දෙලක්‍ෂයක් ජනතාවගේ අභිලාෂය වුණේ වංචා දූෂණ නතර කරලා හොරුන්ට දඬුවම් ලබාදීමයි. ඒ පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන කිහිප අවස්ථාවකදීම කයිවාරු ගැහුවා. නිල්වලා හොරකම් ගැන කථා කළා. ඒ හොරකමට වගකිව යුතු අය එතුමා ළඟම ඉන්නවා. පසුව කුමන්ත‍්‍රණයක් කරලා නැවතත් පරණ හොරුන්ට එකතු වුණා. හැට දෙලක්‍ෂයක් ජනතාවගේ අභිලාෂයන් පාවා දුන්නේ මෛත්‍රී-රනිල් දෙදෙනාමයි. රනිල් වික‍්‍රමසිංහ හැට දෙලක්‍ෂයක් ජනතාවට පිටුපෑවා නම් මෛත්‍රී කළ යුතුුව තිබුණේ ජනතාව අතරට ගොස් තීන්දුවක් ගැනීමයි. නමුත් ඔහු කළේ හැට දෙලක්‍ෂයක් ඡන්ද දායකයින්ගේ ප‍්‍රතික්‍ෂේප කරපු, පරාජයට පත් කරපු මහින්දට අගමැතිධුරය ලබාදීමයි. මෛත්‍රීපාල තනි තීරණයකින් මහින්දට අගමැතිකම දෙන්නේ කොහොමද? මෛත්‍රීපාල සිරිසේන තමයි ජනතාවට පයින් ගැසුවේ. එහෙම කරපු මෛත්‍රී දැන් තමන් සුදනා වෙන්න හදනවා. මේ සියලූ දෙනා එක මල්ලේ ලූණු කෑ අයයි. එක අත්තේ වහන කුරුල්ලෝ. මෛත්‍රී-රනිල්-මහින්ද මේ සියලූ දෙනා බලය වෙනුවෙන්  ඕනෑ කැත වැඩක් කරන පුද්ගලයින්. මේ  අතරින් හොඳ අය හොයන එක තේරුමක් නැහැ. අපි ජනතාවට කියනවා, මේ කණ්ඩායම්වල හොඳ අය හොයන එක නතර කරන්න කියලා.‘‘


‘‘මෛත්‍රී-රනිල්-මහින්ද මේ සියලූ දෙනා බලය වෙනුවෙන්  ඕනෑ කැත වැඩක් කරන පුද්ගලයින්..‘‘


‘‘මෙම නායකයින් තුන් දෙනාත්, ඔවුන් වටා ඉන්න කණ්ඩායම් තුනත් එකට තබා පරාජය කළ යුතුයි. ඇතිවී තිබෙන තත්වය ව්‍යවස්ථාවේ වගන්තිවලින් හෝ පාර්ලිමේන්තුව ඇතුළෙන් පමණක් විසඳෙන්නේ නැහැ. ඒ සඳහා මහජන බලයක් අවශ්‍යයි. අපි එම මහජන බලය හදන්න සූදානම්. ඇතැම් අය ප‍්‍රශ්න කරනවා, ජවිපෙට පුළුවන්ද කියලා. මෙතැනදී වැදගත් වෙන්නේ ප‍්‍රමාණය නොව ගුණයයි. රනිල් ළඟ, මහින්ද ළඟ ප‍්‍රමාණය තිබෙන්න පුළුවන්. නමුත් ගුණය තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ළඟයි. රටේ දේශපාලන සදාචාරය ආරක්‍ෂා කළේ ජවිපෙයි. විකිණෙන්නේ නැති මන්තී‍්‍රවරු බිහි කළේ, වැටුප් නොගෙන කැපවීමෙන් වැඩ කරන ජනතා නායකයෝ බිහි කළේ ජනතා විමුක්ති පෙරමුණයි. එම ගුණය රනිල්-මෛතී‍්‍ර-මහින්දලා ළඟ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අපි අතීතයේ සිට එම ගුණය පෙන්වා තිබෙනවා. එම නිසා අපි සැබෑ ජන බලයක් වෙනුවෙන් එකතු කළ හැකි සියලූම දෙනා එකතු කරනවා. හැට දෙලක්‍ෂයක් ජනතාවගේ ඇත්ත අභිලාෂය නියෝජනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි.


 

තමන් ඝාතනය කරන්න කුමන්ත‍්‍රණයක් තිබුණ නිසා මෙම පියවර ගත්තා කියලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියනවා නම් ඔහු අගමැතිකම දීලා තිබෙන්නේත් ඔහු අඩි හයක් වළ පල්ලට යවනවා කියපු පුද්ගලයාටමයි. තමන් මැතිවරණයෙන් පරාජයට පත් වුණා නම් අඩි හයක් පොළොව ඇතුළට යන්න වෙනවා කිව්වේ මෛතී‍්‍රපාලමයි. ඒ නිසා අපි මෛතී‍්‍රට කියනවා, තව දුරටත් රටට විහිළු සපයන්න එපා කියලා. කැත වැඩක් කරලා එය සාධාරණීකරණය කරගන්න ඔහු ජනතාවට විහිළු සපයනවා. අපේ රටේ ජනාධිපතිවරයා විහිළුකාරයෙක් වෙනවාට ජනතාව කැමති නැහැ. එම නිසා තවදුරටත් විහිළු සපයන්න එපා කියලා අපි ජනාධිපතිවරයාට කියනවා. තමන් ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් තිබෙනවා නම් කළ යුතුව තිබුණේ ඒ පිළිබඳව පරීක්‍ෂණ කරලා වගකිව යුතු පුද්ගලයන්ට දඬුවම් ලබාදීමයි. එසේ නැතිව ඔහු කොහොමද මහින්ද රාජපක්‍ෂට අගමැතිකම දෙන්න තනි තීරණයක් ගත්තේ? දඬුවම් ලබා  දෙනවා නම් රනිල් වික‍්‍රමසිංහට දඬුවම් කළ යුතුව තිබුණේ මහ බැංකු ගනුදෙනුව සම්බන්ධයෙනුයි. නමුත් ඊට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළේ නැහැ. එනිසා දැන් මේ සිදු කරමින් තිබෙන්නේ ඇත්ත ප‍්‍රශ්නය යට ගහන්න සුළු සුළු කරණා උඩට ගැනීමයි. රටේ ආයතනවල ගැටුම්කාරී තත්වයක් නිර්මාණය කර තිබෙනවා. රටේ මහජනතාව මහා පාරේ ගැටුමක් ඇතිවේදැයි සැකයෙන් සිටිනවා. එවැනි ප‍්‍රශ්න තිබියදී වෙනත් කාරණා මතු කරන්න මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරමින් සිටිනවා...‘‘


එළියකන්ද වධ කඳවුරින් පේන්නේ අපේ සමාජයේ විකෘතියයි - රෝහිත මුණසිංහ



''රෝහිත මුණසිංහ යනු එළියකන්ද වධ කඳවුර පිළිබඳව මුල් වරට තතු හෙළි කල පුද්ගලයාය. ඔහු එළියකන්ද වධ කඳවුරේ සිටි වින්දිතයෙකි. පසුකාලීනව ඔහු  එළියකන්ද වධ කඳවුර නමින් පොතක් ලිවීය.  

2003 වසරේදී මනෝ ප්‍රතිකාරයන් සඳහා මනෝවෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා මට හමුදා සෙබලෙකු යොමු කරන අතර ඔහු එළියකන්ද වධ කඳවුරේ සිටි  රැකවලෙකි. ඒ වන විට මෙම සෙබලා පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් (PTSD) පෙලෙමින් සිටියේය. මේ නිසා එළියකන්ද වධ කඳවුර පිලිබඳව සහ එහි මනෝ ගතිකයන් පිලිබඳව මම අධ්‍යනය කලෙමි. 

එළියකන්ද වධ කඳවුරේ සිටි තවත්  රැඳවියෙකු වූ  අජිත් පැරකුම් ජයසිංහ සමගද මා මීට ඉහතදී  සාකච්ඡාවක් කොට තිබේ.  අජිත් පැරකුම් ජයසිංහද එළියකන්ද වධ කඳවුර පිලිබඳව පොතක් ලියා ඇත. මා දකින පරිදි රෝහිත මුණසිංහ සහ අජිත් පැරකුම් ජයසිංහ යනු ඉතා ක්‍ෂිතිමය අත්දැකීම් වලට මුහුණදී පසුකාලීනව සාර්ථක ලෙසින් සමාජගතවූ පුද්ගලයන් වෙති.  

මෑතකදී මට පැරීසියේදී රෝහිත මුණසිංහව හමුවූ අතර ඔහු විසින් මට එළියකන්ද වධ කඳවුර පිලිබඳව සාකච්ඡාවක්  ලබා දුන්නේය. පහත දැක්වෙන්නේ රෝහිත මුණසිංහගේ අත්දැකීම්ය.''



ඔබව අත්අඩංගුවට ගන්නා හේතුව ගැන කිව්වොත් ?  


දුරස්තර හේතුව, මම 1982 වැලිගම, ජවිපෙ ආසන සංවිධායකව සිටිමින් ප්‍රසිද්ධ දේශපාලනයේ නියැලීම. ආසන්නම හේතුව, ආසනයේ යු.එන් පි. මන්ත්‍රී හමුදාවට ඔත්තුව දීම.  1982 රෝහණ විජේවීර තරග කරපු ජනාධිපති ජන්දෙදි මම ආසන සංවිධායකව සිටිමින් ප්‍රසිද්ධ රැස්වීම් ඇමතු කථිකයෙක්. ගමේ මිනිස්සු අතර හොඳ නමක් තිබුණ නිසා ඉදිරි මහා මැතිවරණයකදී අපේක්ෂකයා වෙන්න හිටියෙත් මම. ඒක නිසා ආසනයේ අංක එකේ ජේවීපී කාරය විදියට ගමේ මිනිස්සු දැනගෙන හිටියේ මගේ නම. 81, අධ්‍යාපන ධවල පත්‍රිකාව, 82 ජනාධිපති ජන්දය සහ තවත් සිද්ධියකට මම තුන්වතාවක් රිමාන්ඩ් බන්ධනාගාර ගතවෙලා මාස අටක් ඉඳල තියෙනවා. එනිසා වැලිගම පොලිසිය මම කවුද කියල හොඳට දැනගෙන හිටිය.


83 ජවිපෙ තහනම් වුණා. මම භූගත (UNDER GROUND )නොවී සාමාන්‍ය විදියට එළිපිටම ජීවත් වුණා. ඒ අතර වූ සිද්ධියක් තමයි මේ මන්ත්‍රී නගරාධිපතිව ඉන්න කාලේ 88 මුල විතර නාදුනන තුවක්කු කරුවෙකුගේ ඉලක්කයට ලක්වෙලා තුවක්කුව පත්තු නොවීම නිසා ජීවිතය ගැලවීම. (එය මෙයාගෙම අධ්‍යක්‍ෂණයෙන් යුතු ජවනිකාවක් කියලත් ගමේ මිනිස්සු කිව්වා) ඒ සිද්ධිය වුණේ මගේ නිවසට පේන නොපෙනෙන දුරින්. මමත් බයිසිකලයකින් වෙනත් දිසාවකට යමින් සිටින අතර. එහෙත් එයාගේ ඥාතින් හෝ යුඑන්පී පාක්ෂිකයෝ කිසිවෙක්  මට වචනයකින් වත් තර්ජනය කරන්න ආවෙවත් පොලිසිය මම හොයාගෙන ආවෙවත් නෑ. ඇත්තටම මම ඒ වගේ ඝාතන අනුමත කළෙත් නෑ.


මහලු මොන්ටේගු ජයවික්‍රමගෙන් පසුව මෙයා මන්ත්‍රී වුණා. 1989 නොව:13 විජේවීර සහෝදරයා මරල දාපු දවසට පසුවදාම හමුදාවෙන් කඩා පැනල මම අත්අඩංගුවට ගන්නවා. ඒ කියන්නේ විජේවීර අල්ලලා මරපු ගමන් මෙයාලගේ භය ගියා. ජවිපෙ සමූල ඝාතනය කරලා මුලින්ම උපුටා දමන්න පටන් ගත්තා. බිත්තියට හේත්තු කරලා හිටපු මිනිස්සු ආපිට හැරිලා විකන්න පටන් ගත්ත වගේ.


හරි නම් මම අත්අඩංගුවට ගන්න ඕන හමුදාව නෙවි මම ගැන දැනගෙන හිටපු පොලිසිය. අනික මමත් සමගම මගේ මස්සිනාත් අත්අඩංගුවට ගත්ත.(බිරිඳ ගේ සොයුරා) මෙයාට ඕන වුණා අපි දෙන්නම ඉවර කරන්න. ඒ සියල්ලෙන්ම ඔප්පු වෙන්නේ වැඩේ කළේ මිනිහ. වැලිගම නිව් රෙස්ට් හවුස් හමුදා කඳවුරයි මන්ත්‍රීගේ  ගෙදරයි අතරේ හූවක දුරක් නෑ. මන්ත්‍රී හමුදාවට ඔත්තු දෙන බව රෑට අපි මුර කරන සෙබළු කතා කරනවත් මට ඇහිලා තිබුණා. 2004 මම ලංකාවට ගියාම මේ හිටපු මන්ත්‍රී එයාගේ ගෙවල් කිට්ටුව කඩයක් ඉස්සරහ ඉන්නවා දැකල මම වාහනයෙන් බැහැල මිනිහ ලඟට ගිහිල්ල ඇහුව, "හලෝ කොහොමද? කියල. මිනිහ ගල් ගිල්ල වගේ මගේ දිහා බලන් හිටිය.



ඔබව අත්අඩංගුවට ගත් අයුරු කියනවා නම් ?


නොවැ:14 හවස 5,30 ට පමණ කාලවර්ණ ඇදුම් ඇඳ ගත්ත 15 දෙනෙකු ගෙන් පමණ යුතු සන්නද්ධ කණ්ඩායමක් ගෙය වට කරලා මම අල්ල ගෙන දෑස බැඳලා සුදු වෑන් එකක දාගෙන ගියා.


ඔබව එළියකන්දට යවන්නේ ඇයි ?


වැලිගම කඳවුරේදී දින 18 ක් වද දීලත් මම කිසිවෙකු පාවා දුන්නේ නෑ. කේ.පොයින්ට් එකේදී තෝ මස් කරන කොට කට ඇරේවි. නැත්නම් මැරේවි. ‘පලයන් එළියකන්දට කියල තමයි යැව්වේ‘.  



එළියකන්ද වධ කඳවුර ගැන සුළු විස්තරයක් කරනවා නම් ?


එහි කොටස් දෙකක් තිබුණා. යට කොටස පැරණි ගුරු අභ්‍යාස විද්‍යාලයේ ගොඩනැගිලිවල තිබුණ වධකාගාරය. දැන් ඒවා රුහුණු විශ්ව විද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාර. මාතර, වෙරළාසන්න පාර, තංගල්ල පාර, බ්‍රවුන් හිල් පාර යන කොයි විදියෙන් ගියත් මෙතන හමුවෙනවා. ඊළඟට තංගල්ල පාරේ ඉදිරියට යනකොට එළියකන්ද මුදුනට දිවෙන පාර හමුවෙනවා. කන්ද මුදුනේ පැරණි වලව්වක් වගේ ගෙයක කාමරවල, මිදුලේ අටවපු ලොකු කැන්වස් කූඩාරමක, පොල් අතු මඩු කිහිපයක පිරිස් රඳවා හිටිය. දිනපතා අතිශය කෘර වද බන්ධන වලට ලක් කළා. 2004,06 වසර වල ලංකාවට ගිහිල්ල මම එළියකන්ද හොයා ගෙන ගිහින් විස්තර හොයල, ජායාරුප අරගෙන ඒවා එළියකන්ද පොතේ ඊළඟ මුද්‍රණවලට ඇතුලත් කළා.


එහි සිටි නිලධාරින් සහ සෙබළුන් කවුද ?


සිංහ රෙජිමේන්තුවට අයත් මේ වධක සෙබළුන් "Bombodiyar " කියල දෙතුන් දෙනෙකුටත්, "සර් "කියල එක් අයෙකුටත් කතා කරනවා ඇහුණා. නම් වශයෙන්, ගම්පහ දයාරත්න ,උදයරත්න, සිරිල්, වික්‍රමසිංහ හෙවත් විකී, හර්ෂ යන අයවලුන් හිටියා.


කුමන ක්‍රමයේ වද ක්‍රම එහි භාවිතා කළාද ?


ඉවක් බවක් නැතිව පොලු මුගුරු වලින් සේම අතින් පයින්, එකට තබා ඇඹරූ වයර් කස, වැලි පිරවූ හෝ නැති එස්ලෝන් බට වලින් පහර දීම, දෙපයින් සේම මහපට ඇඟිලි දෙකින් උඩ එල්ලීම, වධක මේසයක් මත දිගාකර විලංගු ලා දැලිපිහි වලින් මස් කිරීම, නියපොතු ගැලවීම,ගුද මාර්ගයේ කටු කම්බි යැවීම, පිළිස්සීම හෝ හණ ගැසීම, හිසට ෂොපින් බෑග් දමා ගැට ගසා හුස්ම හිර කිරීම, වතුර බාල්දියක මුහුණ ගිල්වීම, ගෝනියක දමා ඔසවා පොළොවේ ගැසීම, රත් වූ බොරළු පොළොවේ බඩ ගෑවීම, උස අඹ ගස් වලට නංවා බිමට පැන්නවීම, ලිංගයට මිරිස් කුඩු දැමීම, ලාබාල තරුණයන් ඔවුන්ගේ ලිංගික ගොදුරු වශයෙන් පාවිච්චි කිරීම ආදී හිතෙන හිතෙන වද දුන්නා.  



ඔබ පත්වෙන්නේ කුමන වධයටද ?


උඩ එල්ලා පහර දීම, නියපොතු ගැලවීම, පොලු වයර් හා එස්ලෝන් බට වලින් පහර දීම, ෂොපින් බෑග් දමා හුස්ම හිර කිරීම, සුසුම්නාව කියන පොල්ලෙන් ගෙල පිටුපසට  පහරදීම, පහට ගැන අවසන් වනවිට කෑම සහ වැසිකිළි යාම, උදේ දහවල් සවසට හැර මුත්‍රා කිරීමට ඉඩ නොදීම, තුන් වේලට හැර බීමට ජලය නොදීම ආදියත් වධ වලට ඇතුළත්.


එහි සිටි වධකයන් ගැන තොරතුරු කියනවා නම් ?


හර්ෂ ළඟ මනුස්සකම් තිබුණා. විකී හැම තිස්සෙම ගැහුවේ නැති උනත් නිතරම ඔළුවෙන් සිටවීම දරා ගන්න අමාරුයි. ගංජා බීල වැඩි උනාම ගහගෙන ගහගෙන යනවා. අලුත්ගම පැත්තේ සිරිල් සිල්වා එයාගේ රා ව්‍යාපාරය ගැන පම්පෝරි කිව්වා. කරවල,උම්බලකඩ ගෙන්නවා ගන්න පුළුවන් අයගෙන් ඒවා ගෙන්නවා ගත්ත. දයාරත්නයි උදයරත්නයි ආපු දවසට අපි නොමරා මැරුවා.


ඔබගේ පොතේ ඔබ ‘දළයෝ‘ කියා කොටසක් ගැන කතා කරනවා. එලියකන්දේ සිටි දළයෝ කියන්නේ කවුද ? මොනවාද ඔවුන්ගේ රාජකාරි ?


අල්ල ගෙන ආපු අය අතරින් පාවා දීම් කරලා හීලෑ වෙන අය දළයෝ කරලා වදකයන්ගේ සහයට තියා ගන්නවා. ඔවුන්ට ගහන්නේ, දෑස් බදින්නේ නෑ. නිදහසේ කන්න බොන්න නාන්න වැසිකිළි යන්න, සුවසේ නිදාගන්න අවස්ථාව ලැබෙනවා. උදයට දවල්ට රෑට කෑම දෙන වෙලාවට අපේ අත පයේ බැමි ලිහීම, මාංචු ගැලවීම, නැවත බැඳීම, නාවන දවසට වතුර බාල්දි දෙකක් ඔළුවට දැමීම, සෙබළුන් ගේ පුද්ගලික ඇඳුම් සෝදා මැද දීම තමයි ප්‍රධාන රාජකාරි. ඒ වගේම රැඳවියන් අතර සිටිමින් ඔවුන් පරීක්ෂා කිරීමත් කළයුතුයි. එහෙම කළේ අපේ ශරීර වලින් නැගෙන අධික දුර්ගන්ධය නිසා වදකයන්ට ටිකක් ඈතින් සිටීමට ඕනෑවීම. සමහර දළයෝ ගෝනි බිල්ලන් විදියට පිටතට අරගෙන ගියබව ප්‍රසිද්ධ රහසක් !


ඔබ සිටි කාලය ඇතුළත එළියකන්දේ මිනිසුන් කී දෙනෙකු ඝාතනය කරන්න ඇතිද ?


මම හිටියේ මාස 2 යි. ඒ මුළු කාලයේ ඇස් බන්දලයි හිටියේ. කනට ඇසුන විදියට අඩුම තරමින් 30 ක් විතර මරන්න ඇති ! දිනක් රෑ කෑම දුන්නට පස්සේ මුත්‍ර වල ළඟට යනකොට මට මිනිහෙක් පෑගුණා. මිනී 5 ක් බිම බාවල තිබුණ බව ඒ නිමේශයට දැක්ක.





[caption id="attachment_21161" align="alignright" width="300"] රෝහිත මුණසිංහ තම ගෙවත්තේ විවේකීව සිටින අවස්ථාවක්[/caption]


වර්තමානයේ ඒ ඝාතකයන් ඉන්නේ කොහෙද ?


මම දන්නේ නෑ. නමුත් ඔවුන්ට ස්වාභාවික මිනිසුන් විදියට ඉන්න පුළුවන් වෙයි කියල හිතන්නේ නෑ. ගම්පහ දයාරත්න කියන වදකයා රවී කරුණානායක ගේ ආරක්ෂකයෙක් වෙලා ඉඳල ඒ අතරේ මංකොල්ලයකට අහුවෙලා වැලිකඩ හිටිය බවත්, රවී සහ එස්.බී. ඔහු බලන්න බන්ධනාගාරයට ගිය බවත් 2004 දී ලංකාවට ගියවිට මට දැන ගන්න ලැබුණා.


එළියකන්දෙන් පසු ඔබේ ජීවිතය ගලා ගියේ කොහොමද ?


බූස්ස රැඳවුම් කඳවුරේ මාස 6 ක් සහ කොග්ගල පුනරුත්ථාපන කඳවුරේ මාස 2 ක් ඉඳල එළියට ගිහිල්ල මාසයක් යන්න කලින් ප්‍රංශයට ආවා.


එළියකන්ද කඳවුරේ අත්දැකීමෙන් පසු ඔබ මානසිකව නොවැටී සාර්ථකව සමාජ ගතවෙනවා. මේ හැකියාව ඇතිවුයේ කොහොමද ?


මම කොහොමටත් මානසික වශයෙන් ශක්තිමත්, අභියෝග හමුවේ නොසැලෙන, ප්‍රතිපත්ති ගරුක කෙනෙක්. සාර්ථකව සමාජ ගතවීමේදී මට බලපෑ ප්‍රධාන සාධකය මගේ බිරිඳ ගේ නොවෙනස් සහ ගැඹුරු ආදරය. ඇය විශාල ආත්ම ශක්තියකින් මම නිදහස්ව එනතුරු ජීවිතයට මුහුණ දුන්න. දෙවැන්න මගේ පවුලේ සහ බිරිඳ ගේ පවුලේ අය මට දැක්වූ ආදරය, දුන් රැකවරණය, සහ ශක්තිය. මම ප්‍රංශයට එව්වේ මගේ පුංචි මල්ලි "දයා කීර්ති". මම වීසා එක ගන්න වත් පිටතට ගියේ නෑ. මම ගෙදර තියාගෙන ඉඳලා ප්‍රංශයට එන දවසේ ගුවන් තොටුපලට ගෙනත් ඇරලුවෙත් මගේ බාප්පා ‘ජී. එච්. බුද්ධදාස‘. ඊට පස්සේ මගේ බිරිඳයි පුතයි ප්‍රංශයට ගෙන්න ගන්න තුරුම බලාගත්තෙත් බාප්පයි කුඩම්මයි. අවසානයේදී පිහිටට හිටියේ පවුලේ අයයි, එක මිත්‍රයෙකුයි පමණයි.




එළියකන්ද වධ කඳවුර ගැන අද දිනයේ ඔබ සිතන්නේ කුමක්ද ?


අපි, අපේ ජනාධිපතිට උතුමාණන් වහන්සේ කියපු රටක මිනිස්සු නේ ? ඔබ දන්නවා ඔබ ඉන්න රටේ අගමැතිටත් මම ඉන්න රටේ ජනාධිපතිටත් අපිට ඔවුන් මුණ ගැසුනොත් නිකම්ම නම කියල කතා කරන්න පුළුවන්. ලංකාවේ ඉන්න බොහොම දෙනෙක් තමන්ට ගරු නම්බු ලැබෙනවටත්  අනික් අය තමන්ට වඩා පහළින් ඉන්නවටත් කැමතියි. 


ලංකාවේ යුධ හමුදාවේ ඇතුළෙම තියන විකෘතියේ  තවත් විකෘතියක් තමයි එළියකන්ද වද කඳවුර. හමුදා රෙජිමේන්තුවල උසස් නිලධාරින් අතරේ තරගයක් තිබුණ ජවිපෙ මර්දනය කරලා ආණ්ඩුවේ මහතැන් වලින් ලකුණු දාගන්න. සිංහ රෙජිමේන්තුව දකුණට එන්නේ එහි එලයක්වි දියට. එළියකන්දේ වධකයෝ ගජබා එකට කිව්වේ "ගජබා බබාල" කියලා. ගැමුණු එකට "තොත්ත බබාලා" කියල. එයාලට රෙජිමේන්තු විරෝධය, දකුණ විරෝධය ඉහළින්ම තිබුණා. උතුරු නැගෙනහිරදී නිල ඇඳුම් ඇඳගෙන කාලතුවක්කු, මෝටාර්, මිසයිල් එක්ක හමුදාව සමග මුහුණට මුහුණ දීල සටන් කරලත් තිස්දාහක් විතර පුහුණු සාමාජිකයෝ හිටපු කොටි සංවිධානේ පනස්දාහක් මැරුවේ නැහැ. නිල ඇඳුම්, බර ආයුධ, පුහුණු සාමාජිකයෝ පන්දහසක්වත් නැති, මුහුණට මුහුණ දීල සටන් නොකරපු දකුණේ තරුණයෝ හැට දහසක් අවුරුදු දෙකක් ඇතුළත මරන්නේ ඇයි ?  එක තමයි අපේ රටේ සමස්ත විකෘතිය !





සාකච්ඡා කළේ වෛද්‍ය රුවන් එම් ජයතුංග

අනුරට ජවිපෙ වෙනස් කළ හැකිද?


| නිලන්ත ඉලංගමුව 

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය වෙනස් කොට ඇත. නායකත්වය වෙනස් වූ පමණින් එහි න්‍යායන් හෝ දේශපාලන විදිය වෙනස් වන්නේ නැත. කෙසේ වෙතත් තරුණ නායකත්වයක් ඊට ලැබී තිබේ. දැකුම් කලුය. මනරම්ය. ප්‍රමෝදජනක වන්නා සේම විනෝදජනකය. 

අනුර කුමාර දිසානායක වූ කලී ජවිපෙ තුළ  ප්‍රතික්ෂේප  කළ නොහැකි මෙවලමකි. කිසිවක් නැති තැනට කිසියම් දෙයකි. පක්ෂය ඉදිරියට පවත්වාගෙන  යෑමට නම් ලාල්කාන්ත, විජිත හේරත් සමඟ එක පෙළ සිටගත හැකි එකම පුද්ගලයා වන්නේ අනුරය. ඔහුට තැන ලැබී ඇත. නොඑසේනම්, වඩාත් නිවැරදිව කිවහොත් තැන ලබාගෙන ඇත. පසුගිය කාලය පුරාම ජනතා විමුක්ති පෙරමුණ අනෙකුත් පක්ෂ සමඟ දේශපාලන  ඩීල් ගැසීමේදී ප්‍රමුඛ කාර්යක් ඉටු කරනු ලැබුවේ අනුරය. ඔහු සන්ධාන ආණ්ඩුවේ හවුල් කරුවෙකුගේ සිට සරත් ෆොන්සේකාට උදව් කිරීම දක්වා වූ ක්‍රියාවලීන් තුළ වැදගත් මැදිහත්වීමක් ඉටුකරනු ලැබීය.  දිවා රෑ  නොබලා වෙහෙස වූයේ පක්ෂය තුළ සිටි වෙනස් කළ නොහැකි වූ අය වෙනස් කිරීමටය. 

අනුර කුමාර ජවිපෙ නායකත්වයට පත්වීම වූ කලී පුදුමයක් නොවේ. ඔහුට ජවිපෙ ස්ථානගත වී සිටින වත්මන්  මට්ටම වෙනසක් නොකර රැගෙන යාමට හැකියාව සහ උපායමාර්ගික බුද්ධිය තිබේ යැයි අනුමාන කළ හැකිය. නමුත් ජවිපෙට අවශ්‍ය රැඩිකල් වෙනසක් හෝ නැතිවී ගිය මහජන බලය යළි ලබාගැනීමේ හැකියාවක් ඔහුට තිබේ යැයි විස්වාශ කිරීම අසීරුය. අනුර වූ කලී සාම්ප්‍රදායේ එන තවත් එක් චරිතයක් වන අතර ඔහු බොහෝ දුරට සංස්කෘතික වශයෙන් සමාන වන්නේ වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළියේ එන පියල්ය. නමුත් වෙනස ගම්පෙරළියේ මුහන්දිරන්ට වඩා අනුරට මුහුණ දීමට සිදු වී ඇති මුහන්දිරන් වෙනස්ය. එසේම මුහුන්දිරම්ට ප්‍රථම මෙම වත්මන් භූමිකාව හමුවේ, නන්දා නැමති චරිතය බිහිකොට මුහන්දිරම්ට වාසීගෙන දෙන ලෙස ක්‍රියාත්මක වීමට  ඉඩ හරිනු ලැබුවේ අනුර ඇතුළු ජවිපෙ විසින්මය. පියල්ගේ නන්දා ජවිපෙ සන්දර්භය හමුවේ අනුරගේ විමල් ලෙස තේරුම් ගැනීමේ වරදක් නැත. නමුත් මෙය අනුර විසින්, තරයේ ප්‍රතික්ෂේප කොට අසූචි අනුභව කළ සූඛරයාට ඇයව ආදේශ කරනු ඇත. වෛරය විවේචනයකට පෙරළා , විවේචනය ඉතාමත් අමිහිරි ආකාරයෙන් ලබාදීම, අසාර්ථක විප්ලව දෙකකට නායකත්වය ලබා දී මෙරට දහස් ගණනක් තරුණ තරුණියන් මරණයට පත්කිරීමට සහයෝගය ලබාදුන් ජවිපෙ පසුගිය කාලය තුළ එනම් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සහයෝගයෙන්, “ප්‍රජාතන්ත්‍රවාදය” තොරාගැනීමෙන් පසු, පෙන් වූ මුලික ගති ලක්ෂණය වේ. 

විලිලජ්ජා සහගත පාවාදීම් රැසකින් පසු හපය පමණක් අනුභව කොට එම හපයේ  ඇති රස  සමාජවාදයට මාර්ගය  යැයි  විස්වාස කරමින්, සිටීමට වත්මන් ජවිපෙට සිදු වූයේ අනෙකාගේ වරදක් නිසා නොව, එය තමන්ගේම එනම් තම පක්ෂය තුළම ඇති වරදක් නිසාය. ජවිපෙ යනු රටේ සම්ප්‍රදාය සහ ආනයනය කරනු ලැබූ න්‍යාය අතර බෙල්ලෙන්ම සිරවුණ පක්ෂයකි. එම හිරවීම මඟින් ඔවුහු පක්ෂය තුළ කුහකත්වයට රිසි සේ වර්ධනය වීමට ඉඩ සැලසුවේය. එය ජවිපෙ කෙතරම් දුරට තේරුම්ගෙන තිබේද යන්න ගැටලුවකි. ජවිපෙ දේශපාලන පක්ෂයක් ලෙස ස්‌වයං විවේචනයට වඩා සමාජවාදීඅදහස් මූලික කොට ගනිමින් ස්වයං  වින්දනය සොයමින් ඉබාගාතේ ඇවිදින පක්ෂයකි. පක්ෂය තමන්ට අහිමු වූ බුද්ධි බලය යළි ලබා ගැනීම වෙනුවට වර්තමානයේදීද සිදුකරමින් සිටින්නේ රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ දේශපාලන අගමෙහෙසිවරුන්ගෙන් අයෙකුගේ චරිතය රඟපාන හිටපුජවිපෙ ප්‍රචාරක ලේකම් වරයා රඟපාන භූමිකාවම වේ.

ජවිපෙ තම නායකත්වය වෙනස් කිරීමට රහසිගතව තම තමන්ගේ කේන්ද්‍ර බලාගත්තේ දැයි නොදනිමු. එහෙත් ජවිපෙ දේශපාලනයට වඩාත් නැවුම්බවක් ලබාදීමටනම් වඩාත් විස්ථාරිත වූ වැඩපිළිවෙලක් අවශ්‍ය වේ. ජවිපෙ  නායකත්වය වෙනස් වීම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් නොවීමට සාපේක්ෂව තේරුම් ගෙන එක්සත් ජාතික පක්ෂයේ පවතින අවුල ජවිපෙ නව නායකයා මාර්ගයෙන් පෙන්වීමට යෑම කෙටිකාලීන මාධ්‍යප්‍රමෝදය සඳහා පමණක් හේතු වේ. ඉන් එජාපයටවත්, ජවිපෙටවත් කිසිඳු සුගතියක් අත්වන්නේ නැත.
ජනතා විමුක්ති පෙරමුණ සහ එහි දේශපාලනය සම්බන්ධයෙන් බොහෝ වාද විවාද ඇති වූ බව සියල්ලෝම දනිති. ඔවුන්ගේ සමාජවාදී මනෝරාජ්‍ය ගැන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් ඔවුහු විසින් සිදුකළ සියල්ල සාදාරනීකරණය  කරන ආකාරය දක්නට ලැබුණි. සැබවින්ම, ජනතා විමුක්ති පෙරමුණ සහ අනෙකුත් දේශපාලන පක්ෂ එනම් සමාජවාදයමුලික කරගනිමින් අටවාගත් දේශපාලන කණ්ඩායම් වල දක්නට ඇති මුලික ලක්ෂණය නම්  ඔවුන් අතර පවතින විඥාණීය බෙදීමයි. ලංකාවේ  සමාජවාදීන් දෙදෙනෙකු එකතු වූ විට දැක ගත හැකි මුලික ලක්ෂණය නම් සමාජවාදයන්දෙකක් , “ බුද්ධිමතුන්දෙදෙනෙක් බිහිවීමය. වර්තමානයේදී මෙම සන්දර්භය තුළ දැකගත හැක්කේ, සමාජවාදීන් එකිනෙකා ඔහුට හෝ ඇයට ආවේණිකව බුද්ධිමත්ය, යන පූර්ව නිගමනයෙන් කටයුතු කරන ආකාරයයි.  එකෙක් අනෙකාගේ අදහස් පිළිගැනීමට වඩා අනෙකා සතු අවබෝධයේ අවුල විසඳීමට යන්ත දරණු ලබන්නේ තමන්ගේ පුර්ව ඥානය පිළිබඳව වූ අධිතක්සේරුව මඟිනි. එම අධිතක්සේරුව සැබෑ ලෝකයේදී “දේශපාලන ඩීල්” මඟින් නීච ලෙස පාවා දීම සන්නද්ධ අරගලය අත්හැර දමනු ලැබූ ජවිපෙ තුළින් දිස්විය. තර්කය මුලික කොට ගනිමින් කිරා මනින ඔවුන්ගේ දේශපාලනය, සිහින තුළින්ම ඉදිරියට ඇදෙයි. එම සිහින වලින් තම අරමුණු ඉටුකර ගැනීමට මෙම සමාජවාදීන් සමඟ හවුල් ආණ්ඩු නිර්මාණය කරන අයවලුන්ට සාර්ථකව හැකියාව ලැබුණු බව අවම තරමින් ලංකාවේ සමාජවාදයනමින් ක්‍රියාත්මක වූ වැඩ පිළිවෙලෙහි දැක ගැනීමට හැකිවිය. සරත් ෆොන්සේකාගේ දෙශපාලනයට හවුල් වීමෙන් පසු ජවිපෙ දේශපාලනික ක්‍රමෝපාය නමැති දයලෙක්තිකය පුපුරාගිය ආකාරය දෙස බැලීමේදී මෙය තේරුම් ගැනීම අතිශය සරල වේ. අවසානයේදී ප්‍රේමකුමාර් ගුණරත්නම්ට සිදු වූයේ පණ බේරාගැනීම සඳහා පැන දිවීමටය. ලංකාවේ සමාජවාදීන් ඇතුලතින් මෙන්ම පිටතින් මුහුණ දී සිටින සැබෑ අවුල මින් තේරුම් ගත හැකිය.   

නව ජවිපෙ නායකත්වය වූ කලී පවතින අවුලේම නිෂ්පාදනයක් මිස, ඊට දේශපාලනික වශයෙන් පෘථුල මැදිහත් වීමක් තබා අඩුතරමින් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ආරවුල විසඳීමට හැකියාව ලැබුනහොත් එයම ආශ්චර්යකි. ශිෂ්‍ය ව්‍යාපාර, වුර්තීය සංගම් හෝ අනෙක් ජනවර්ගවල ගැටලු තේරුම් ගැනීමට හෝ එවාගැන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කිරීමට පෙර සිදු විය යුත්තේ එයයි. 

රටක දහස් ගණනක් තරුණ තරුණියන්ගේ රුහිරයෙන් ලියවී ඇති ජවිපෙ නමැති අඳුරු අතීතයට යුක්තිය සිදුකිරීමට නම්, අනුර, අනුරවම කියවිය යුතු කාලය පැමිණ තිබේ. එය තම පවුල පිළිබඳව හෝ  පවුල් පසුබිම පිළිබඳව සංවේදී ගුණ ගී ගායනා කිරීමෙන් කළ නොහැකිය. අනුරට පෙර රාජපක්ෂ විසින් මැදමුලන පිළිබඳව ඉතිහාස කතාව ගෙනහැර දක්වමින් රටේ සංවේදී නායකයා බවට පත්විය. එබැවින් අනුරට දේශපාලන වෙළඳ පොලේ තම සංවේදී පසුබිම වෙළඳම් කිරීම සමාජවාදයට පටහැනි දෙයක් පමණක් නොව ඉන් වගතුවක් වන්නේද නැත. සෝමවංශ සිහිනයෙන් යතාර්ථයට ආගමනය වී අනුරට “නායකත්වය” නමැති ලේබලය ලබා දීමේ සැබෑ කාරණය මෙම අවුලේම ප්‍රකාශනයකි. එය විසඳීම මෙන්ම අනුර , “ ජවිපෙ නායකත්වයෙන්” බේරීම ඔහුගේ සැබෑ අභියෝගයද වේ.

චේ රයිඩර්ස්


 | නිලන්ත ඉලංගමුව

“විමුක්තිය වූ කලී දරු උපතක් වැනිය. එය ඒ තරමට වේදනාවකි”
                                                          –  පවුලෝ ෆෙයෙරේ

චේ සහ ෆිදෙල් ඇතුළු සියගණනක් වූ පිරිස කියුබාවේ බැටිස්ටා ආණ්ඩුව පන්නා  දැමීමට අරගලය කරන අවධියේදී බ්‍රසීලය කේන්ද්‍ර   කරගනිමින් වෙනස් මාධිලියක, එරට පැවතී කුමන්ත්‍රණයකින් බලයට පැමිණි ආණ්ඩුවට එරෙහිව සමාජ ව්‍යාපාරයක් ක්‍රියාත්මක  වෙමින් පැවතිනි. එය පවුලෝ ෆෙයෙරේ විසින් නායකත්වය දෙමින් සිටි පුළුල් ව්‍යාපාරයකි. ලතින් ඇමෙරිකාව පුරා එය දීපතිමත්ව ව්‍යාප්ත විය. ඊට එයටම අවේනික වූ රටාවක් පැවතිනි. එය පවතින සත්‍යන් මතම බිහිවූවක්‌ වූ අතර ඊට යාථාර්තය සමඟ ගනුදෙනු කිරීමට හැකිවිය.

 එක් ව්‍යාපාරයක්  ආයුධගෙන ගරිල්ලා සටන් ක්‍රමෝපාය  ඔස්සේ විමුක්තිය සොයන විට පවුලෝ ෆෙයෙරේගේ ව්‍යාපාරය කේන්ද්‍රගත කොට තිබුණේ අධ්‍යාපනය මතය. “ දුගී සගයනි හැකි උපරිමයෙන් ඉගෙන ගනිව්. එය ඔබේ ආයුධයයි,” පවුලෝ ෆෙයෙරේ වරක් සඳහන් කළේය. ඔහු තම ප්‍රකට කෘතිය වන  “පෙඩාගොගී ඔෆ් ද ඔප්ප්‍රේස්ඩ්” මඟින් තම අරමුණු සහ දර්ශනය මනාව පැහැදිලි කරනු ලැබීය. එය චෙකොස්ලෝවැකියාවේ වක්ලව් හවෙල් මෙන්ම චීනයේ ලු ශියාබාඕ මෙන් ජනතාව ඒකරාශී කරන මාර්ගය වෙනස් ආකාරයකින් අත්හදා බැලූ ඉතා සාර්ථක මොඩලයකි.  වෙනස එය වීශ්වීය වීමය. සංස්කෘතිය අභිබවා යෑමට හැකිවීමය. වක්ලව් හවෙල් තම ජනතාවගේ විමුක්තිය අරම්භයා 77 වන ප්‍රඥප්තිය අනෙක් විමුක්තිකාමින් කැටුව සකස් කොට චෙක් රිපබ්ලික් හී පළමු ජනාධිපති බවට පත්විය. එසේම චීනයේ පවතින මර්ධනය වැලැක්වීම සඳහා 08 වැනි ප්‍රඥප්තිය ඔස්සේ චීන ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ ලු ෂියා බාවෝ තවමත් චීන සිර මැදිරියේය.

 ලෝකයේ ක්‍රියාත්මක වූ මෙන්ම ක්‍රියාත්මක වෙමින් පවතින, එසේම ඉදිරියේදී ක්‍රියාත්මක විය හැකි දේශපාලන අරගලයන් වූ කලී නොනිමෙන සංසිද්ධීන්ය. එය මිනිසුන්ගේ අවශ්‍යතාවයයි. සෑම අයෙකුටම  ජීවිතයේ අර්ථයක් අවශ්‍යය. එම අර්ථය ඔවුන්ගේ අත්දකීම් සහ      පරිකල්පනය මත තීරණය වේ. හොඳ හෝ නරක, අවශ්‍යතාවය හෝ අනවශ්‍යතාවය, කැමැත්ත හෝ අකමැත්ත  යන්න තීරණය වන්නේ එය මතය. කෙනෙකුට හොඳ දෙයක් තවකෙකුට නරකක් වන්නේත් එම පුද්ගල ප්‍රතිරූපය සහ එම පුද්ගලයා ගොඩ නගන පරිකල්පන ඔස්සේ ඇතිවන අවශ්‍යතාවයන් මඟිනි. මෙය විශ්වීය වන අතර පුද්ගලයාගෙන් පුද්ගලයාට ස්වායක්ත වන්නේ බාහිරපෙනුමෙන් වුවද අභ්‍යන්තරයෙන්  බොහෝ සමානකම් දක්නට ලැබේ. මිනිස් මනස බොහෝ අවස්ථාවලදී  භාහිර පෙනුම මුලික කොට ගනිමින් විනිශ්චයට පැමිණෙන අතර අභ්‍යන්තරයේ ඇති සමානකම් සමඟ ගැලපීමට නොයන්නේය. මන්ද එම සමානකම් බොහෝ දුරට කටුක මෙන්ම නීරස වන හෙයිනි. එසේම ඒවා එකිනෙක සමඟ බද්ධ වන හෙයිනි. ඇත්ත සඟවා තබමින් වෙනකෙකු ලෙස ජීවත් වීමට උත්සහ කිරීම සහ එය සාර්ථකත්වයට මඟ යැයි සංස්කෘතික වශයෙන් ඇති පිළිගැනීම මෙම කාරණය තවදුරටත් තියුණු කරයි. ප්‍රභාකරන් නරක අයෙකුට විජේවීර හොඳ විය හැකිය. ගාන්ධි හොඳ අයෙකුට අම්බෙඩ්කාර් නරක විය හැකිය. ස්පිනෝසා නරක අයෙකුට එම්මානුවෙල් කාන්ට් හොඳ විය හැකිය.  මෙම මතුපිට කාරණා වලින් සිදුකරන ගැලපීම් විසින් බොහෝ මිනිසුන් ලෝකයට දායාද කළ දෑ මඟහරී ගොස් ඇති බව සාමාන්‍ය කාරණයකි. 

 ලංකාවේ සමාජවාදීන් මෙම කාරණය කෙතරම් දුරට සලකා බැලුවේද යන්න කිව නොහැකිය. ලංකාවේ සමාජවාදීන් යැයි කොටසක්‌ සිටියේ හෝ සිටින්නේනම් එය යම්තරමකට සලකා බැලිය හැකිය. එහෙත් හින්දු සංස්කෘතිය මඟින් වත්මන් ජීවිතය එපා කොට මරණින් පසු ජීවිතය සහ මරණයට තේරුමක් සෙවීම සඳහා වත්මන් ජීවිතය කැපකිරීම නමැති මෝහයට හසුවී මොළය ශෝධයනය කරගත් කිහිප දෙනෙකු විසින් ලංකාවේ සමාජවාදය පැලපදියම් කිරීමට උත්සහ ගත්තද එය විසින් නිෂ්පාදනය කරනු ලැබුවේ,  මොට කුහක දේශපාලන කල්ලිවාදයකි. මෙය සියවස් ගණනාවකට පෙර බොහෝ රටවල් පැටලී සිටි අඳුරය.   මින් ඉවත්වීම සඳහා පුළුල් ජනතා සංවාද  විවාද ඇතිවිය. බටහිර වෙළඳපොල සතුකරගත් බොහොමයක් සාර්ථකත්වයන් සඳහා හේතුව වූයේද එයයි. “මරණය වූකලී ජීවිතයේ සිදුවීමක් නොවේ, අපි මරණය අත්දැකීම සඳහා ජීවත් නොවේ. සදාකාලික ජීවිතයක් උරුම වන්නේ වත්මන් ජීවිතයේ ජීවත්වෙන අයට මිස වත්මන් ජීවිතය අර්ථයක් කර නොගන්නා අයවලුන්ට නොවේ,” වරක් ලුඩ්විග් විට්ගේන්ස්ටයින් සඳහන් කළේය.  අවාසනාවට මෙන් පෙරදිගට ගැලවීමට නොහැකි වී ඇති මුලිකාංගය වන්නේද මෙයයි. 

අපට  පවුලෝ ෆෙයෙරේ, වක්ලාව් හොවෙල් තබා ලු ෂියා බාවෝ වැනි අයෙකුවත් නිෂ්පාදනය කරගැනීමට නොහැකි වූයේ  මේ නිසාය. මෙරට සිදු වූ දේශපාලන ව්‍යාපාර යැයි නම් කළ ක්‍රියාවලිය තුළින් සිදු වූයේ දහස් ගණනක් පිරිසකට ප්‍රගතියක්‌ නොලබා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමය. කිසිවෙකු වගකීමක් භාර නොගනිමින් ඔවුන් මියැදීම මුළු ජාතියටම සිදු වූ හිඩැසකි. එම හිඩැස පිරවීම සඳහා කිසිවෙකු උත්සහ නොකළා පමණක් නොව එය විෂයක් බවට හෝ පත කර නොගත්තේය.  එම කිසිඳු දේශපාලන ව්‍යාපාරයකට ස්වයං විවේචනයක්  සිදුකරගැනීමට තරම් කොන්දක් නොතිබූ අතර, ඒවා තුළම හටගත් පරපෝෂිත ශාක ඒවාහි දේශපාලන දර්ශනයන් සකස් කරනු වෙනුවට ඒවායෙහි ව්‍යුහයම භක්ෂණය කරමින් ඒවායේ දුර්වලකම ලෝකයට පෙන්නුවේය. මැවූ ප්‍රතිරූපය දියවීගොස් මානසික විස්සෝපය පමණක් ශේෂ කරනු ලැබීය. 

පසුගිය දින කිහිපය පුරා දැකගතහැකි වූ දේශපාලන නාටකවලින් එකක් වූයේ චේ රයිඩර්ස් වැඩසටහනයි. එය සමාජවාදී තරුණ සංවිධානය එනම් ජනතා විමුක්ති පෙරමුණේ තරුණ බල-ඇණිය විසින් සූදානම් කළ වැඩසටහනකි. වැඩසටහන පුරා ජනාධිපති රාජපක්ෂ අරභයා විවේචන රැසක් ඉදිරිපත් කරනු ලැබීය. චෝදනාකිරීම පිළිබඳ කිසිඳු වරදක් නොමැත. මන්ද රාජපක්ෂ නූතන දේශපාලන විද්‍යාව තුළ සාර්ථකම නිස්පන්නය ලෙස පිළිගැනෙන රාජ්‍ය නමැති ව්‍යුහයට කළ හැකි උපරිම අපරාධය කළ අයෙකි.  එය සිදුකිරීම සඳහා අවශ්‍ය අයුධ අතට ලබා දුන්නේ කවුරුන්ද යන්න චේ රයිඩර්ස් හී මෝටර් සයිකලය  පදවන අයට වුවද තේරෙන සරල සත්‍යකි. ව්‍යූහය දිරාගිය දැයක මතුපිට කෙතරම් හැඩගන්වා සැරසුවද එය භයානක දෙයක් වන්නේ එය කඩාවැටෙන මොහොත කිසිවෙකුට කිව නොහැකි හෙයිනි. කිසිඳු කලෙක ස්‌වයං විවේචනයකට කැමැත්තක් නැති, යල් පැනගිය දේශපාලන කල්ලිවාදයෙන් මීදීමට මැලිකමක් නොදක්වන  කණ්ඩායමකට පවතින සැබෑ ගැටලූ වලට මුහුණ දීමට හැකියාවක් ඇත්තේනම් හෝ එමඟින් විශ්වාසයක් ඇතිකළ හැකිනම් එය දවල් සිහිනයක් පමණි. 

චේ රයිඩර්ස් වූකලී කිසිවක් නැති තැනට වැදගම්මට නැති නාටකයකි, හාස්‍ය ජනක දේශපාලන විහිළුවකි. එය ජුලියස් සීසර් ක්ලියෝපැට්‍රා සමඟ දේශපාලනයේ නාමයෙන් සංවාසයේ යෙදෙන විට රෝමයේ රංග

දැක්වූ වීදී නාට්‍ය තරම් ප්‍රභල දේශපාලන විහිලු නොවේ. ඒවා වූකලී, හාමතේ හෙම්බත් වී සිටින ජනතාවට විරේක වීමට ලබාදෙන ජාපාල බීජ බඳුය. ලතින් ඇමෙරිකාව පුරා එකල ඇති වූ දේශපාලන සංස්කෘතිය හෝ ගරිල්ලා ව්‍යාපාරය මෙන්ම ඒවායෙහි සංඛේත වූකලී ඉතිහාසයකි. එහි මුල් වටිනාකම ඇත්තේ එම ඉතිහාස රාමූන්හී වන අතර ඒවා ගැලපෙන අයුරින් භාවිතාකිරීම නූතන ධනවාදී ආක්‍රමණික වෙළඳපොල තුළ හැකි වන විට ඊට වත්මන් දේශපාලන වටිනාකමක් ලැබේ. එය කළ හැක්කේ, ඇමෙරිකානු ඇපල් නිෂ්පාදන චීනයේදී  අනුපිටපත් ගසා විකිණීම වැනි දෑ වලින් නොව, රෑ වැටුණු වලේ දවල් නොවැටීමට හැකි ක්‍රමවේදයන් මඟිනි. ප්‍රතික්ෂේප කිරීමට නොහැකි, වේදනාවෙන් හෝ පිළිගත යුතු සත්‍ය කිසිවෙකුටත් බැහැර කළ නොහැකිය. එය චේ මරා දැමූ පසු චේගේ රුව විකිනණු ලැබූ ඉල්ලුම - නිෂ්පාදන- වෙළඳපොල දෙස බැලීමෙන් අවබෝධ කර ගත හැකිය.  එය චෙටත් වඩා ඔහුව චායාරූප ගත කරනු ලැබූ අල්බොටෝ කොඩා හොඳ හැටි ඉගෙන ගත්තේය. වොඩ්කා වර්ගයක් වන ස්මිර්නොෆ්, චේගේ රුව භාවිතාකිරීම සම්බන්ධයෙන් ඇති වූ නඩුව මීට කදිම නිදසුනක්‌ය.



අවාසනාව වූකලී ජනතා විමුක්ති පෙරමුණට වත්මන් වෙළඳපොල තුළ විකිණෙන චේ තබා බොලිවියාවේදී මරා දැමුණු  චේ හෝ අවබෝධකර ගැනීමට වුවමනාවක් තිබේ යයි විශ්වාස කිරීමට තරම් කිසිඳු වැඩපිළිවෙලක් ඔවුන්ගේ දේශපාලන නාටකයේ කිසිම තැනක දැකගත නොහැකි වීමය. මෙය පෘථුල වශයෙන් එම පක්ෂය ලැබූ පරාජයක් වන අතර වයසට යන විට  වාසුදේව නානායක්කාර මට්ටමේ දේශපාලනඥයින් මෙන්ම ගෘහ මුලිකයින් වීමට ලාංකීය සමාජවාදීන් පෙළඹෙන්නේ මෙම ව්‍යුහයටම අවේනික වූ එහිම හරයන් මඟින් නඩත්තු කරන කුහකකම නිසාය. මෙම භූමිකාව හමුවේ චේ රයිඩර්ස්ට ඉතුරුවන්නේ දිව එලියට දමාගෙන හුස්ම ගැනීමට උත්සහ කිරීම පමණි.