මේ දේශපාලන කුමන්ත‍්‍රණයට එරෙහිව නොවැම්බර් 01 වැනිදා නුගේගොඩදී පාරට බහිනවා - අනුර

පවතින නොසන්සුන්කාරී දේශපාලන වාතාවරණය හමුවේ හඬ නැගීමට ජනතා විමුක්ති පෙරමුණ එළඹෙන නොවැම්බර් 01 වැනිදා නුගේගොඩදී ජනරැළියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව අද (29) දිනයේදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය. මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීයවේදීන්, කලාකරුවන් ඇතුළු සියලූ ප‍්‍රගතිශීලී බලවේග සහභාගී වීමට නියමිතව තිබෙන බව ද ඔහු එහිදී අවධාරණය කළේය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැවූ අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ,


‘‘මෛත්‍රීපාල වැසිකිළියට ගොස් වීදුරු දොරකින් වසාගෙන සිටිනවා සේ කිසිදු ලැජ්ජාවකින් තොරව පාර්ලිමේන්තුව කල් දමා තිබෙනවා.‘‘


‘‘පසුගිය සිකුරාදා සිදුවූයේ දේශපාලන කුමන්ත‍්‍රණයක්. එමගින් රට අරාජිකත්වයකට, අස්ථාවරභාවයකට පත්කොට තිබෙනවා. එම කුමන්ත‍්‍රණය සිදුවී දින කිහිපයක් ගත වුවත් කුමන්ත‍්‍රණය අවසන් වී නැහැ. දිනෙන් දින රට අරාජිකත්වය, අස්ථාවරභාවය වර්ධනය වෙමින් තිබෙනවා. ජනතාව නොසන්සුන් තත්වයකට පත්ව තිබෙනවා. එම දේශපාලන කුමන්ත‍්‍රණයේ විපාක කොයි තරම්ද කියනවා නම් තෙල් සංස්ථාවේ ප‍්‍රධාන කාර්යාලයේ සිදුවූ ගැටුමකින් එක් අයෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. රට අරාජික වෙලා ජනතාව වික්‍ෂිප්ත වෙලා සිටිනවා. මෙම බල පොරය ජනතාවගේ හෝ රටේ අවශ්‍යතාවය නිසා ඇති වූවක් නොවෙයි. රනිල්, මෛතී‍්‍ර, මහින්ද තිදෙනාගේ බල පොරය වෙනුවෙන් ඇතිවූවක්. ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමේ මෙම දේශපාලන කුමන්ත‍්‍රණයෙන් රටට හෝ ජනතාවට වාසියක් අත්වෙන්නේ නැහැ. අපි රටේ ජනතාවගෙන් ඉල්ලනවා, මෙම දේශපාලන ගැටුමේ කොටස්කාරයින් බවට පත්වෙන්න එපා කියලා. තෙල් සංස්ථාව් සේවකයෙකු මිය යාමෙන් හෝ දෙදෙනෙකු තුවාල ලැබීමෙන් රනිල්, මෛත්‍රීගේ, මහින්දගේ බල පොරයට කිසිදු බලපෑමක් ඇතිවෙන්නේ නැහැ.



ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුදුන් මල්කඩ යැයි ඔවුන්ම කියන රටේ උත්තරීතරම ආයතනය යැයි හඳුන්වන පාර්ලිමේන්තුවේ දොර වසා තිබෙනවා. මෛත්‍රීපාල වැසිකිළියට ගොස් වීදුරු දොරකින් වසාගෙන සිටිනවා සේ කිසිදු ලැජ්ජාවකින් තොරව පාර්ලිමේන්තුව කල් දමා තිබෙනවා. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන මහා ලොකුවට දේශන පවත්වන දිනේෂ් ගුණවර්ධනලා මෛත්‍රීගේ වැසිකිළිය අසල නහය වසාගෙන මුර බල්ලන් බවට පත්වෙලා ඉන්නවා. ජනතා නියෝජිතයින් ලෙස මන්ත්‍රීවරුන්ගේ අදහස් ප‍්‍රකාශ කරන්න තිබෙන පාර්ලිමේන්තුවේ දොර විවෘත කරන්න කියලා අපි මෛතී‍්‍රපාලට කියනවා. මෛත්‍රීගේ දේශපාලන කුමන්ත‍්‍රණයේ කොටස්කාරයෙක් බවට පාර්ලිමේන්තුව පත්කරගෙන තිබෙනවා. පාර්ලිමේන්තුව වසා දැකීම ගැන ලක්‍ෂමන් යාපලා හය හතර නොදත් නොදරුවන්ට කියා දෙනවා සේ රටට විහිළු සපයනවා. මෙම ඇතිවී තිබෙන තත්වය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය නැද්ද ? පාර්ලිමේන්තුව වසා දැමීම මෛත්‍රීගේ බල කුමන්ත‍්‍රණයේම දිගුවක්. එනිසා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනාගේම අත්සනින් යුතුව අද අපි කථානායකවරයාට ලිපියක් මගින් දැනුම් දෙනවා. පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවන්න කියලා. කෙසේ වුවත් මෙම ඇතිවී තිබෙන අර්බුදය පාර්ලිමේන්තුව කැඳවීමෙන් පමණක් විසඳා ගත හැකි යැයි අපි විශ්වාස කරන්නේ නැහැ. රටේ ජනතාවගේ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමට වෙනස් මාවතක් විවෘත කරගත යුතුව තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපිට මෙම අස්ථාවර ස්වභාවය දෙස හෝ කැත මජර බල සූදුව දෙස නරඹන්නන් ලෙස බලා සිටීමට අයිතියක් නැහැ. එනිසා මෙම බල සූදුවට එරෙහිව පියවර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වෙනවා.


‘‘ප‍්‍රබල ජනතා ව්‍යාපාරයක අවශ්‍යතාවය පැන නැගී තිබෙනවා.....‘‘


රට තුළ  දිනෙන් දින සිදුවෙමින් තිබෙන සිදුවීම්වලින් රනිල්-මෛත්‍රී-මහින්ද තවදුරටත් අපේ රට ගොඩනැගීමට අසමත් පාලකයින් බව ඔප්පු කරමින් තිබෙනවා. ඔවුන්ගේ මෙම බල කඳවුරුවලට සහ ඔවුන් වටා සිටින කණ්ඩායම්වලට තවදුරටත් අපේ රට දශමයකින් හෝ ඉදිරියට ගෙනියන්න බැරි බව ඔප්පු කොට තිබෙනවා. ජනතාව මර උගුලකට හිර කර, ජනතාවගේ ජීවිත සූදුවකට ලක් කර, ඔවුන් මෙම කැත, නින්දිත බල සූදුව දියත් කරමින් තිබෙනවා. රනිල්-මෛත්‍රී-මහින්දලාගේ උවමනාව මොකක්ද කියලා මෙම බල සූදුවෙන් ඔප්පු කරමින් තිබෙනවා. එනිසා මෙම කැත බල සූදුවට එරෙහිව ජනතාවගේ ගැටලූවට විසඳුම් ලබාදිය හැකි ප‍්‍රබල ජනතා ව්‍යාපාරයක අවශ්‍යතාවය පැන නැගී තිබෙනවා.


ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා, මෙම ගැටුමේ කොටස්කරුවන් බවට පත්වී හෝ ඒ දෙස නරඹන්නන් ලෙස බලා සිටිනවා වෙනුවට මෙම නිර්ලජ්ජිත බල සූදුවට එරෙහිව පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා පෙළගැහෙන්න කියලා. මෙම බල සූදුව අනිවාර්යයෙන්ම නතර කළ යුතුයි. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පියවර ගන්නවා. මෙම සිදුවීම්වලින් පාඩමක් ඉගෙන ගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. පොත් දහස් ගණනක් කියවා තේරුම් ගැනීමට නොහැකි දේශපාලන කරුණු මෙම සිදුවීමෙන් ජනතාවට ඉගෙන ගත හැකියි. මෙම බල සූදුවට අපේ රටත් රටේ දරුවන්ගේ අනාගතයත් අගාධයකට ගෙනයාමට ඉඩ දිය යුතු නැහැ. අපේ රටේ ජනතාවගේ කාලය, ශ‍්‍රමය, ධනය සියලූ දේ කැප කළ යුත්තේ රනිල්ලාගේ, මෛතී‍්‍රලාගේ, මහින්දලාගේ බල කඳවුරු ශක්තිමත් කිරීමට නොවේ. ජනතාව කැප කිරීම් කළ යුතු වන්නේ මෙම බල කඳවුරුවලට එරෙහිව ගොඩනැගෙන ජනතා බලවේගයක් සඳහායි. ජනතා විමුක්ති පෙරමුණ එකතු කරගත හැකි යහපත් පුද්ගලයින් සමඟ වමේ ව්‍යාපාරය සමඟ නව බලවේගයක් ගොඩනැගීම වෙනුවෙන් සාකච්ඡුා ආරම්භ කරනවා. ඒ වගේම හැම මොහොතකම රටේ අර්බුද අවස්ථාවලදී පෙරට ආපු සිවිල් සංවිධාන සමග අපි සාකච්ඡා කරනවා. විකල්ප මහජන ධාරාවක්, පොදුජන ව්‍යාපාරයක් ගොඩනැගීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීයවේදීන්, කලාකරුවන් ඇතුළු සියලූ ප‍්‍රගතිශීලී බලවේග සමග සාකච්ඡා පවත්වමින් පොදු ජනයා මෙම බල සූදුවට එරෙහිව පෙළගස්වමින් පොදුජන ව්‍යාපාරයක් ආරම්භ කරනවා.


‘‘නොවැම්බර් 01 වැනිදා නුගේගොඩදී ජනතා රැළියක්.‘‘


මෙම දේශපාලන කුමන්ත‍්‍රණයට එරෙහිව ගොඩනගන ව්‍යාපාරයේ පළමු පියවර ලෙස අපි ජනතා රැලියක් නොවැම්බර් 01 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. එම අවස්ථාවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීයවේදීන්, කලාකරුවන් ඇතුළු සියලූ ප‍්‍රගතිශීලී බලවේග සහභාගී වීමට නියමිතව තිබෙනවා. මන්දිර ඇතුළේ සිදුකරන දේශපාලන කුමන්ත‍්‍රණ වෙනුවට, දේශපාලන නායකයින් අතර ඇතිවන දේශපාලන කුමන්ත‍්‍රණ වෙනුවට රට ගොඩනගන වැඩපිළිවෙළක් සඳහා ඉඩ විවෘත කරගත යුතු වෙනවා. ඒ වෙනුවෙන් මේ රටේ මාධ්‍යවේදීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. දේශපාලඥයින් කියන ප‍්‍රකාශ වාර්තා කිරීමෙන් ඔබ්බට ගොස් රට ගොඩනගන වැඩපිළිවෙළේ කොටස්කරුවන් බවට පත්වෙන්න කියලා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලනවා. රටේ ඇතිවෙලා තිබෙන කැත, නින්දිත, නිර්ලජ්ජිත බලලෝභී දේශපාලනය අවසන් කළ යුතුව තිබෙනවා. මහින්ද රාජපක්‍ෂට ඔටුන්න පැළඳවීමෙන් හෝ ඔහුගේ ඔටුන්න ගලවා රනිල්ට පැලඳවීමෙන් රටේ ඇතිවෙලා තිබෙන මේ අස්ථාවරභාවයට, අරාජිකත්වයට හෝ ජනතාවගේ ප‍්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඒ සඳහා නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් රටේ වැඩකරන ජනතාව, සිවිල් බුද්ධිමතුන් සියලූ දෙනාට අපි ආරාධනා කරනවා.‘‘


මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූවේ,


‘‘තෙල් සංස්ථාවේ සිද්ධියට වගකිවයුත්තේ මෛත්‍රීපාල සිරිසේනයි‘‘


‘‘තෙල් සංස්ථාවේ ඇතිවූ සිදුවීමට මුළුමනින්ම වගකිය යුත්තේ මෙම දේශපාලන වටපිටාව ඇතිකළ මෛත්‍රීපාල සිරිසේනයි. ගලන හැම ලේ බිඳුවකම, අහිමි වන හැම ජීවිතයකම වගකීම බාරගත යුත්තේ මෙම දේශපාලන කුමන්ත‍්‍රණය නිර්මාණය කළ මෛතී‍්‍රපාල සිරිසේනයි. මුළුමනින්ම ඔහුගේ බල ලෝභය වෙනුවෙන් ඇතිකළ කුමන්ත‍්‍රණ නිසා තමයි මෙම සියලූ දේ ඇතිවන්නේ. ඇත්තටම අද තෙල් සේවකයින්ගේ විරෝධතාවයක් ඇතිවිය යුතුයි. එම විරෝධතාවය ඇතිවිය යුත්තේ රටේ මෙම අරාජිකත්වය ඇතිකළ මෛතී‍්‍රපාල සිරිසේනට එරෙහිවයි.


පොදු දේපළ පනතට අනුව රටේ පොදු දේපළ අවභාවිත කළ පුද්ගලයින්ට දඬුවම් කළ යුතුයි. පොදු දේපළ පනත යටතේ අත් අඩංගුවට ගන්නවා නම් මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ එදා අගමැති ලෙස දිව්රුම් දුන් මහින්ද රාජපක්‍ෂයි. මෛතී‍්‍රපාලට කරන්න තිබුණේ ඔහුට අගමැතිධුරය දීම නොව ඔහුගේ අතට මාංචු දැමීමයි. ඒ විතරක් නෙවෙයි මහින්ද දිවුරුම් දෙනකොට වටේ හිටපු බොහෝ දෙනෙක් රාජ්‍ය දේපළ අවභාවිත කළ අයයි. ඒ වගේම රනිල් වික‍්‍රමසිංහත් මහ බැංකු බැඳුම්කර වංචාව සිදුකොට රටේ දේපළ අවභාවිත කොට තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගත යුත්තේ අරලියගහ මන්දිරය භාවිතා කළ එකට නොව මහ බැංකු බැඳුම්කර වංචාවටයි. ඇත්තටම මේ සියලූ දෙනාම මංකොල්ල කණ්ඩායම් දෙකක සාමාජිකයින්. එක මංකොල්ල කණ්ඩායමක් මින්නේරිය කැලේ ඉන්නවා. අනෙක් මංකොල්ල කණ්ඩායම හබරණ කැලේ ඉන්නවා. මේ ගොල්ලෝ දෙපැත්තට ගහ ගන්නවා වගේ වැඩක් දැන් මේ සිදුවෙමින් තිබෙන්නේ. ඒ නිසා අරලියගහ මන්දිරයේ ඉන්න මංකොල්ලකරුවන්ටත් ජනාධිපති මන්දිරයේ ඉන්න මංකොල්ලකරුවන්ටත් එරෙහිව දඬුවම් ලබාදීමට ජනතාව පෙළගැසිය යුතුව තිබෙනවා.


අගමැතිවරයා පත් කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාටයි. නමුත් අගමැතිවරයා කවුද යන්න තීරණය කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. එනම් පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබාගත යුතු පුද්ගලයා තමයි අගමැතිවරයා බවට පත්වෙන්නේ. එය තීරණය කිරීමේ බලය තිබෙන පාර්ලිමේන්තුව අද වසා දමා තිබෙනවා. නමුත් කවුද අගමැති, 113 බලය තිබෙන්නේ කාටද, වඩුවෙල් සුරේෂ් සහාය දෙන්නේ කාටද, වසන්ත සේනානායක ඉන්නේ කොයි පැත්තේද, දුමින්දගේ ගෙදර සිදුවෙන්නේ මොනවද කියලා හොයන්න අපි යන්නේ නැහැ. මේ දෙදෙනාගෙන් කවුරු අගමැති වුණත් ජනතාවට ඇතිවෙන වාසියක් නැහැ. ඒ සිදුවීම් බ්‍රේකිං නිවුස්වලට හොඳයි. නමුත් එම බ්‍රේකිං නිවුස්වලින් ජනතාවට අත්වන කිසිදු වාසියක් නැහැ.


ශිරාණි බණ්ඩාරනායක ගෙදර යැව්වේ ව්‍යවස්ථාවට අනුවද ? 2015 දී මන්ත්‍රීවරුන් 42ක් හිටපු රනිල් අගමැති කළේ ව්‍යවස්ථාවට අනුවද ? 19 වැනි ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසුව ඇමතිධුර සඳහා පුද්ගලයින් යෝජනා කිරීමේ බලය අගමැතිවරයාට ලැබුණු අතර විෂයයන් තීරණය කිරීමේ අයිතිය තිබුණේ ජනාධිපතිවරයාටයි. නමුත් වීරකුමාර දිසානායකට, ශ්‍රියාණි විජේවික‍්‍රමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමතිකම් පදවි දුන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ නම් යෝජනා කරලද ? එම නිසා පාලකයින් කොයිම වෙලාවකවත් ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්නේ නැහැ. ඔවුන්  ඕනෑම වෙලාවක බලය වෙනුවෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා කටයුතු කරනවා. ඒ නිසා අපි මෙම ව්‍යවස්ථා වගන්ති අස්සේ පැටලෙන්න යන්නේ නැහැ. පාලකයින් හැම වෙලාවකම ව්‍යවස්ථාව පාවිච්චි කළේ පොදු ජනතාව මර්දනය කිරීමටයි...‘‘


ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පිළිතුරු ලබාදෙමින් පැවසුවේ,



‘‘මෛත්‍රීපාල ඊයේ කළේ පාපෙච්චාරණයක්‘‘


‘‘මෛත්‍රීපාල සිරිසේන ඊයේ සිදුකළේ ජාතිය ඇමතීවට වඩා පාපොච්චාරණයක් සිදු කිරීමයි. හැටදෙලක්‍ෂයක් ජනතාවගේ අභිලාෂයන් ඉටු නොකිරීමේ වගකීම මුලින්ම බාරගත යුත්තේ මෛත්‍රීපාල ජනාධිපතිවරයායි. ඒ වගේම එහි වගකීම අගමැති රනිල් වික‍්‍රමසිංහත් කැබිනට් මණ්ඩලයත් බාරගත යුතුයි. ඔවුන් බලය වෙනුවෙන් ඉතාම අවබෝධයෙන් කටයුතු කළා. පරණ හොරුන්ට දඬුවම් ලබා නොදීමේදී දෙදෙනා එකඟතාවයෙන් වැඩ කළා. හැට දෙලක්‍ෂයක් ජනතාවගේ අභිලාෂය වුණේ වංචා දූෂණ නතර කරලා හොරුන්ට දඬුවම් ලබාදීමයි. ඒ පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන කිහිප අවස්ථාවකදීම කයිවාරු ගැහුවා. නිල්වලා හොරකම් ගැන කථා කළා. ඒ හොරකමට වගකිව යුතු අය එතුමා ළඟම ඉන්නවා. පසුව කුමන්ත‍්‍රණයක් කරලා නැවතත් පරණ හොරුන්ට එකතු වුණා. හැට දෙලක්‍ෂයක් ජනතාවගේ අභිලාෂයන් පාවා දුන්නේ මෛත්‍රී-රනිල් දෙදෙනාමයි. රනිල් වික‍්‍රමසිංහ හැට දෙලක්‍ෂයක් ජනතාවට පිටුපෑවා නම් මෛත්‍රී කළ යුතුුව තිබුණේ ජනතාව අතරට ගොස් තීන්දුවක් ගැනීමයි. නමුත් ඔහු කළේ හැට දෙලක්‍ෂයක් ඡන්ද දායකයින්ගේ ප‍්‍රතික්‍ෂේප කරපු, පරාජයට පත් කරපු මහින්දට අගමැතිධුරය ලබාදීමයි. මෛත්‍රීපාල තනි තීරණයකින් මහින්දට අගමැතිකම දෙන්නේ කොහොමද? මෛත්‍රීපාල සිරිසේන තමයි ජනතාවට පයින් ගැසුවේ. එහෙම කරපු මෛත්‍රී දැන් තමන් සුදනා වෙන්න හදනවා. මේ සියලූ දෙනා එක මල්ලේ ලූණු කෑ අයයි. එක අත්තේ වහන කුරුල්ලෝ. මෛත්‍රී-රනිල්-මහින්ද මේ සියලූ දෙනා බලය වෙනුවෙන්  ඕනෑ කැත වැඩක් කරන පුද්ගලයින්. මේ  අතරින් හොඳ අය හොයන එක තේරුමක් නැහැ. අපි ජනතාවට කියනවා, මේ කණ්ඩායම්වල හොඳ අය හොයන එක නතර කරන්න කියලා.‘‘


‘‘මෛත්‍රී-රනිල්-මහින්ද මේ සියලූ දෙනා බලය වෙනුවෙන්  ඕනෑ කැත වැඩක් කරන පුද්ගලයින්..‘‘


‘‘මෙම නායකයින් තුන් දෙනාත්, ඔවුන් වටා ඉන්න කණ්ඩායම් තුනත් එකට තබා පරාජය කළ යුතුයි. ඇතිවී තිබෙන තත්වය ව්‍යවස්ථාවේ වගන්තිවලින් හෝ පාර්ලිමේන්තුව ඇතුළෙන් පමණක් විසඳෙන්නේ නැහැ. ඒ සඳහා මහජන බලයක් අවශ්‍යයි. අපි එම මහජන බලය හදන්න සූදානම්. ඇතැම් අය ප‍්‍රශ්න කරනවා, ජවිපෙට පුළුවන්ද කියලා. මෙතැනදී වැදගත් වෙන්නේ ප‍්‍රමාණය නොව ගුණයයි. රනිල් ළඟ, මහින්ද ළඟ ප‍්‍රමාණය තිබෙන්න පුළුවන්. නමුත් ගුණය තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ළඟයි. රටේ දේශපාලන සදාචාරය ආරක්‍ෂා කළේ ජවිපෙයි. විකිණෙන්නේ නැති මන්තී‍්‍රවරු බිහි කළේ, වැටුප් නොගෙන කැපවීමෙන් වැඩ කරන ජනතා නායකයෝ බිහි කළේ ජනතා විමුක්ති පෙරමුණයි. එම ගුණය රනිල්-මෛතී‍්‍ර-මහින්දලා ළඟ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අපි අතීතයේ සිට එම ගුණය පෙන්වා තිබෙනවා. එම නිසා අපි සැබෑ ජන බලයක් වෙනුවෙන් එකතු කළ හැකි සියලූම දෙනා එකතු කරනවා. හැට දෙලක්‍ෂයක් ජනතාවගේ ඇත්ත අභිලාෂය නියෝජනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි.


 

තමන් ඝාතනය කරන්න කුමන්ත‍්‍රණයක් තිබුණ නිසා මෙම පියවර ගත්තා කියලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියනවා නම් ඔහු අගමැතිකම දීලා තිබෙන්නේත් ඔහු අඩි හයක් වළ පල්ලට යවනවා කියපු පුද්ගලයාටමයි. තමන් මැතිවරණයෙන් පරාජයට පත් වුණා නම් අඩි හයක් පොළොව ඇතුළට යන්න වෙනවා කිව්වේ මෛතී‍්‍රපාලමයි. ඒ නිසා අපි මෛතී‍්‍රට කියනවා, තව දුරටත් රටට විහිළු සපයන්න එපා කියලා. කැත වැඩක් කරලා එය සාධාරණීකරණය කරගන්න ඔහු ජනතාවට විහිළු සපයනවා. අපේ රටේ ජනාධිපතිවරයා විහිළුකාරයෙක් වෙනවාට ජනතාව කැමති නැහැ. එම නිසා තවදුරටත් විහිළු සපයන්න එපා කියලා අපි ජනාධිපතිවරයාට කියනවා. තමන් ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් තිබෙනවා නම් කළ යුතුව තිබුණේ ඒ පිළිබඳව පරීක්‍ෂණ කරලා වගකිව යුතු පුද්ගලයන්ට දඬුවම් ලබාදීමයි. එසේ නැතිව ඔහු කොහොමද මහින්ද රාජපක්‍ෂට අගමැතිකම දෙන්න තනි තීරණයක් ගත්තේ? දඬුවම් ලබා  දෙනවා නම් රනිල් වික‍්‍රමසිංහට දඬුවම් කළ යුතුව තිබුණේ මහ බැංකු ගනුදෙනුව සම්බන්ධයෙනුයි. නමුත් ඊට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළේ නැහැ. එනිසා දැන් මේ සිදු කරමින් තිබෙන්නේ ඇත්ත ප‍්‍රශ්නය යට ගහන්න සුළු සුළු කරණා උඩට ගැනීමයි. රටේ ආයතනවල ගැටුම්කාරී තත්වයක් නිර්මාණය කර තිබෙනවා. රටේ මහජනතාව මහා පාරේ ගැටුමක් ඇතිවේදැයි සැකයෙන් සිටිනවා. එවැනි ප‍්‍රශ්න තිබියදී වෙනත් කාරණා මතු කරන්න මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරමින් සිටිනවා...‘‘