The Most/Recent Articles
කොවිඩ් 19 හා ප්‍රංශ සාහිත්‍ය කර්මාන්තය
ලාංකීය පවුලක් පදනම් කරගෙන ලියැවුණු Half Gods කෙටි කතා එකතුව ජනගත වේ
අකිල් කුමාරස්වාමිගේ පළමු කෙටි කතා එකතුව වන Half Gods කෘතිය ඉන්දීය HarperCollins සමාගම දායකත්වයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
ඉන්දීය - දමිළ පවුලකට දාව ව ඉපදුණු අකිල් මේ වනවිට ඇමරිකාවේ දිවි ගෙවන අතර එකිනෙකට සම්බන්ධව ලියැවුණු කෙටිකතා මේ කෘතියේ දිගහැරේ. ලාංකික දමිළ පවුලක කතාවක් ද මෙහි සටහන් වී තිබීම විශේෂත්වයකි.
සිය පළමු කෙටිකතා එකතුව ගැන අදහස් දක්වන අකිල් කුමාරස්වාමි පවසන්නේ, ‘‘අනන්‍යතාව යන්න ජාතිකත්වය, ආගමික හෝ ලිංගික්වය වශයෙන් පැවතුණත් මෙය කොයිතරම් නම් වියවුලකට පත්වී තිබෙනවාදැයි හොයා බලන්න වගේම ඒ වියවුල ලිහා දැමීමේ සංකල්පය ගැන කතාකරන්න මට වුවමනා වුණා. මිනිස්සුන්ගේ ජීවිත වලට ව්‍යාජ මායිම් පනවන්නේ ද මිනිස්සුමයි. මනුස්සයෙක්ට ලාංකිකයෙකු හෝ ඉන්දියානුවෙකු බව පැවසීමෙන් අදහස් වෙන්නේ මොකක්ද ?. කෙටිකතාවක් හා නවකතාවක ස්වරූපයෙන් මේ පොතේ ආකෘතිය සකස් වී තිබෙන අතර අප වැනි මිනිස්සු වගේම එය ද අසම්පූර්ණයි‘‘
HarperCollins India සමාගමේ සාහිත්‍ය අංශයේ ප්‍රකාශක ලෙස කටයුතු කරන උදයන් මිත්‍රා පවසන්නේ, ‘‘අකිල් කුමාරස්වාමි සාහිත්‍යකරණයේ නිරත වෙන සුවිශේෂී ලේඛිකාවක් වන අතර Half Gods කෘතිය දැනටමත් ලොව පුරා පාඨක අවධානයට ලක්වී තිබෙනවා. HarperCollins India සමාගමේ අප මේ සුවිශේෂී සාහිත්‍ය කෘතිය පාඨකයින් වෙතට ලබාදෙන්න දැඩි උනන්දුවකින් පසුවෙනවා වගේම අකිල්ගේ සුවිශේෂී හැකියාව ගැන දැනගන්න පාඨකයින් ද දැඩි උනන්දුවෙන් පසුවෙන බව විශ්වාසයි‘‘ යන්නයි.
සොහොයුරන් දෙදෙනෙකු උපදේවතාවන් බවට පත්වීම ගැන මහාභාරතයේ එන කතා පුවතක් පදනම් කරගනිමින් මේ කෘතිය ලියැවී ඇත. පවුලේ අතීතය නිසා ජීවිතයේ විවිධ බාධක වලට මුහුණදෙන පවුලක කතාව ද මෙහි දිගහැරේ. එකිනෙකට සම්බන්ධ වී ඇති මේ කතා පුවත තුළ අප ජීවත්වන මේ ලෝකය නැවත සිතියම් ගත කරයි. කම්කටොළු රැසකට මුහුණදෙමින් මෙලොව එළිය දකින හින්දු නමක් දරන කුඩා දැරියක් මුස්ලිම් පවුලක හැදී වැඩෙයි. ඇන්ගෝලාවේ ජීවත් වන මස් මරන්නෙකු සරණාගතයෙකු ලෙස ජීවිතයට සැනසීමක් ලබාගන්නට නිව්ජර්සි වෙත පැමිණේ, ලංකාවේ සිට පැමිණෙන කීට විද්‍යාඥයෙකු අතුරුදහන් වූ සිය දරුවා සොයමින් යන අතරතුර අනපේක්ෂිත සොයාගැනීමක් සිදුකරන අයුරු අකිල් සිය කෙටිකතා පෙළ තුළින් දිගහරියි.
මාපියන්, දරුවන් හා මිතුරන් නොහඳුනන කැඩපත් ලෙස හැසිරෙන අන්දම මෙන්ම මනුෂ්‍යයින් ලෙස පුද්ගලයින් තුළ ඇති දුර්වලතා, බලාපොරොත්තුව හා දුක්, කඳුළු ගැන ද Half Gods කෘතියෙන් අනාවරණය වේ.
Half Gods කෘතිය ගැන පළවී ඇති විචාරක අදහස් කීපයක් මෙසේය,
“රෑ කෑම මේසේ වටේ හිඳගෙන ඉන්න පවුලක් වගේ Half Gods හි මවා තිබෙන කතා එකිනෙකට ගැළපෙනවා වගේම එකිනෙක මත ගැටෙනවා නිසා මේ තුළ මහා පෙරළියක් සිද්ධ වෙනවා” – The New Yorker
“හැබෑවටම මේ කතාංග මනාව ලියැවුණු, අතිශය සුන්දර ඒවා වගේම අතිදුර්ලභ ප්‍රතිභාවක් පෙන්වනවා‘‘ - Swimmer Among the Stars හි කතුවරයා වන Kanishk Tharoor
මට ආයෙත් පොත් ලියන්න නොහැකි වේයැයි බයක් දැනෙනවා - යැන් ලියැන්කේ
චීන ජාතික ලේඛකයෙකු වෙන යැන් ලියැන්කේ සිය පළමු නවකතාව රචනා කරන්නේ වයස අවුරුදු 21 දී. ඒ 1979 දී ය. ඉන්පසුව, සුවිශේෂී කෘතීන් ගණනාවක් ඔහු අතින් රචනා වෙන්නට පටන් ගන්නවා. යැන්ගේ කෘතීන් තුළ හාස්‍යය දැඩි ලෙස ගැබ්වී තිබෙන අතර ඔහුගේ කෘතීන් බොහොමයක් චීනයේදී තහනමට ද ලක්වෙනවා. Serve the People (2005) හා The Explosion Chronicles (2013) ඒ අතරින් කීපයක්. Xia Riluo (夏日落), Serve the People! (为人民服务), Enjoyment (受活), හා Dream of Ding Village (丁庄梦) ලියැන්කේ විසින් රචිත සෙසු කෘතීන් අතරට ඇතුළත් වී තිබෙනවා.
The Day the Sun Died ඔහු ලියූ නවතම කෘතිය වන අතර මෙය තායිවානයේදී එළිදුටුවා. ලී නියනියන් නම් වයස අවුරුදු 14 ක දරුවෙකු පදනම් කරගෙන ලියැවුණු මේ කෘතියේදී ඔහු සිහිනෙන් ඇවිද යන අතරතුර සිය මිතුරෙකු බේරාගැනීමට දරන උත්සහයක් ගැන කියැවෙනවා. කෙසේවුවත්, මේ කෘතිය ගැන විචාරයේ යෙදෙන බටහිර පිරිස් මෙය හඳුන්වා තිබෙන්නේ ෂී ජින්පින්ගේ ‘චීන සිහිනය‘ ගැන ලියැවුණු කෘතියක් ලෙසිනුයි.
ලියැන්කේ Man Asian සාහිත්‍යය සම්මානයෙන් Franz Kafka සම්මානයෙන් පිදුම් ලබා තිබෙන අතර බුකර් සම්මානය සඳහා සුදුසුකම් ලැබූවන්ගේ කෙටි නම් ලැයිස්තුවට අතරට ද පැමිණ තිබෙනවා. මෙහි පළවන්නේ The Day the Sun Died කෘතිය පිළිබඳ The Guardian සමග කළ සංවාදයේ අනුවර්තනයයි.
[caption id="attachment_21336" align="alignright" width="300"]
මේ නවකතාව රචනා කරන්න හේතුවුණේ මොකක්ද ?
නින්දෙන් ඇවිදින පුරුද්දක් මට තිබුණා. ඒ වගේම අනෙක් අය නින්දෙන් ඇවිදින දර්ශන මගේ දුරකතනයෙන් දැක තිබෙනවා. මේ නවකතාවේ මූලික අදහස පහළ වුණේ ඒ විදියටයි. මිනිස්සුන්ගේ ඇතුළාන්තයේ තියෙන ලෝකය වගේම ඔවුන්ගේ අභ්‍යන්තරයේ තියෙන අතිශය රහසිගත දේවල්, ආශාවන් ආදියට අනුව ජීවත්වීම ප්‍රකාශ වෙන්නේ කොහොමද යන්න ගැන රචනා කරන්න මට වුවමනා වුණා.
මේ කතාව දිගහරින්න වයස අවුරුදු 14 ක දරුවෙකු තෝරාගත්තේ ඇයි ?
මේ වගේ කතාවකදී අහඹු බව හා පූර්ව අනාවැකි නොකියා හිඳීම අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. යම් හෙයකින් කතාව දිගහරින්න වැඩිහිටියෙකු තෝරගත්තා නම් ඒක තරමක් විශ්වාස කරන්න අසීරු කතාවක් වෙන්න තිබුණා. නමුත්, බුද්ධිය වර්ධනය වෙලා නැති යෞවනයෙක් කතාව කියන නිසා මේක මිනිස්සුන්ට පහසුවෙන්ම විශ්වාස කරන්න හැකිවී තිබෙනවා.
අනෙක් හැමදෙනාම කියන විදියට මේ නවකතාව හරහා චීන සමාජය විවේචනය කරනවා නම් එවැනි විවේචනාත්මක විග්‍රහයක් රචනා කිරීම අතිශය අඥාන හෝ සරළ දෙයකට වඩා ලේසි පහසු කාර්යයක් වුණාද ?
ඔව්, ඇත්තටම. චීන මිනිසුන්ගේ හදවතේ ගැඹුරුම තැනට කාවැදී තිබෙන අතිශය අසීරු දේවල් අවිහිංසක හා පැහැදිලි හඬක් තෝරාගැනීම හරහා අනාවරණය කරන්න හැකිවී තිබෙනවා.
එවැනි කෙනෙකුගේ ඇහින් සමාජය දිහා බැලුවම මිනිස්සු හැසිරෙන්නේ නිතරම අඳුරු අන්දමින් බොහොම ප්‍රාථමික විදියට බව විස්තර කරන්න මට හැකිවුණා. නමුත්, මට අවධාරණය කරන්න හැකිවුණා වගේම හොඳ දේවල් ගැනත් අනාවරණය කරන්න හැකිවුණා.
මේ නවකතාව ගැන විචාර සම්පාදනය කරන බ්‍රිතාන්‍යය විචාරකයින් මේ ගැන විවරණය කරන්නේ මෙය හුදෙක් ‘සමාජ විවරණයක්‘ වශයෙන් පමණක් නොව දේශපාලන මුහුණුවරක්ද ඊට එක්කරමින් වන අතර මේ කෘතියේදී අවධානයට ලක්කරන්නේ ෂී. ජින්පින්ගේ ‘චීන සිහිනය‘ බව දක්වා තිබෙනවා. මේ කෘතිය බ්‍රිතාන්‍යයට හඳුන්වා දුන් එහි පරිවර්තක වන කාර්ලෝස් රොජ්ර්ස් පවා සිය හැඳින්වීමේදී ඒ අදහස ඉදිරිපත් කර තිබෙනවා. ඇත්තටම, මෙමගින් ෂී. ජින්පින්ගේ ‘චීන සිහිනය‘ ගැන පැවසීමේ වුවමනාවක් ඔබට තිබුණද ?
ඇත්තටම. මේ ගැන ලියැවුණු විචාරයන් කියවූවාම මගේ හැබෑ අභිලාෂය ආසන්නයටවත් ඔවුන් ළඟාවී නොසිටිය නිසා මං දැඩි පුදුමයට පත්වුණා. නින්දෙන් ඇවිදින සිද්ධියක් ගැන රචනා කර මිනිස් සන්තානය ගැන මූලික සත්‍යයන් පිළිබිඹු කිරීම මගේ වුවමනාව වුණා. චීන හීනය ගැන සෘජු සම්බන්ධයක් ඇතිකිරීම මගේ අභිලාෂය වී තිබුණේ නැහැ. මේ ගැන මං විචාරයක් රචනා කිරීමත් තරමක අසීරු කටයුත්තක් බව හැඟුණා.
මිනිස්සුන්ගේ හිතැඟි තුළ තිබෙන නමුත් හැබෑවක් කර නොගත්තු දේවල් ගැන කියන්න ‘නින්දෙන් ඇවිදීම‘ කියන දේ යොදාගැනීම මගේ අභිලාෂය වුණා. මේ හිතැඟි වල තියෙන දේවල් හොඳ වුණත් නරක වුණත් නමුත්, ‘හැබෑ ජීවිතයේදී‘ මේ දේවල් කරන්න හැකිවෙන්නේ නැහැ. ඇත්තටම ඒ දේවල් මර්දනය කරනු ලැබූ ආශාවන් පමණයි.
ඔබට තවදුරටත් ලේඛනයේ යෙදෙන්න නොහැකි බව මේ නවකතාවේ සඳහන් වී තිබෙන එක හීනයක තියෙනවා. ඔබේ චරිතය නවකතාවට මුසුකරේ ඇයි ? ලේඛකයෙකු විදියට ඔබ මුහුණදෙන දැවැන්ත බිය මේ තුළ පිළිබිඹු වී තිබෙනවාද ?
ඊළඟ අවුරුදු 10 ටම මට කිසිම පොතක් ලියන්න නොහැකි වේවි යන බිය නවකතාවක් රචනා කරලා ඉවර වෙන හැම අවස්ථාවකදීම මට ඇතිවෙනවා. ලියන්න නොහැකි වේවි යනුවෙන් ඇති වෙන බිය අතිදරුණු භයානක තත්ත්වයක්. මට නැවතත් ලියන්න නොහැකි වේවි කියන අදහසත් එක්ක දැඩි කනස්සල්ලක් හැමවිටම දැනෙනවා.
සමකාලීන චීනයේ වඩාත්ම කීර්තිමත් ලේඛකයෙකු බවට පත්වීම ඔබේ හිසට බරක් විදියට දැනෙනවද ?
ඒක හරිම සංකීර්ණයි. වාරණය නිසා නොවුණත් චීනයේ ඉන්න ලේඛකයින්ට මුහුණදෙන්න සිද්ධවෙලා තියෙන තත්ත්වය අතිශය සංකීර්ණයි. මගේ කෘතීන් චීනයේදී ප්‍රකාශයට පත්කරගන්න යද්දි දුෂ්කරතා ගණනාවකට මුහුණදෙන්න වූ බව ඇත්තත්. ප්‍රකාශකයෙක් නැති නිසාම අපිට ඕන දෙයක් ලියන්න හැකියාව තියෙන නිසා ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒක එක්තරා විදියක නිදහසක්, සහනයක්. ප්‍රකාශකයෝ නිසා ලේඛකයින්ට යම් යම් සීමාවන් වලට මුහුණදෙන්න සිද්ධවෙනවා. ඔවුන්ට අවශ්‍ය දේ ලිව්වේ නැත්නම් ඒ කෘතිය ප්‍රකාශයට පත්වෙන්නෙත් නැහැ.
ඔබේ ලේඛන කටයුතුත් එක්ක දවස ගතවෙන්නේ කොහොමද ?
මට තියෙන්නේ බොහොම සංවිධානාත්මක දින චර්යාවක්. උදේ 6 – 7 අතරේ අවදිවෙනවා. ඊට පස්සේ පැය දෙකක් හෝ දෙක හමාරක් එකදිගට අකුරු 2000 ක් විතර ලියනවා. ආයේ හවස මගේ යාළුවෝ මුණගැහිලා, කෑම ටිකක් කාලා රිලැක්ස් වෙනවා.
ඔබේ ලේඛන කටයුතුත් සමග දවස ගතවෙන්නේ කොහොමද ?
බොහොම සංවිධානාත්මකව මගේ දවස ගතවෙනවා. මං උදේ හයට නැත්නම් හතට නැගිටිනවා. ඊට පස්සේ පැය දෙකක් හෝ දෙක හමාරක කාලයක් ඇතුළත අකුරු 2000 ක් විතර ලියනවා. ආයේ හවස යාළුවෝ මුණගැහිලා නැත්නම් කෑමබීම අරගෙන නිදහසේ ගතකරනවා.
ඔබේ පොත් රාක්කයේ තියෙන දේවල් වලින් පුදුමයට පත්වෙන්නේ මොකකින්ද ?
එකක් නෙමෙයි කීපයක්ම තියෙනවා. අවුරුදු 10 විතර ඉන්න දරුවෙකු කියවන විදියේ ජනකතා, සුරංගනා කතා, මැජික් ගැන ලියවුණු කතා ගොඩක් තියෙනවා. බ්‍රිතාන්‍යය ලේඛකයෙකු වෙන ග්‍රැහැම් ග්‍රීන්ගේ කෘතීන් කියවන්නත් මං ගොඩක් කැමතියි. ඔහු රචනා කරපු The Power and the Glory කෘතිය මේ දවස් වල කියවමින් ඉන්නවා. ආගමික කරුණු සම්බන්ධයෙන් ලිවීමේ බලාපොරොත්තුවෙන් ඉන්න නිසා ලෝකේ පුරා විසිරී ඉන්න ආගමික කරුණු ගැන ලියන ලේඛකයින්ගේ රචනා කියවමින් ඉන්නවා.
ඔබේ කුඩා අවදියේදී ඇසුරු කරපු කෘතීන් මොනවද ?
අවුරුදු 10 -20 විතර වෙනකල් පොත් කියවන්න ලොකු ඇබ්බැහියක් දැක්වූවේ නැති වුණත් විප්ලවය ගැන ලියැවී තිබෙන කෘතීන් කියෙව්වා. අවුරුදු 20 දී විතර ගමෙන් නික්මුණාම විදෙස් සාහිත්‍යය වගේම චීන සාහිත්‍යයත් ඇසුරු කරන්න ගත්තා. අවුරුදු 20 පහුකළාම විවිධ ලේඛකයින්ගේ කෘතීන් ඇසුරු කරන්න පටන්ගත්තා. මගේ ජීවිත කාලයේදී ඇසුරු කරන විශේෂ කෘතියක් හෝ ලේඛකයෙකු නැහැ. වෙනසක් නැතිව විවිධ ලේඛකයින්ගේ කෘතීන් කියවන්න කැමතියි.
අනුවර්තනය - වින්ධ්‍යා ගම්ලත්
ක්ලින්ට් ඊස්ට්වුඩ් මගේ චරිතයට පණපොවාවි - ඉයන්
බුකර් සම්මානලාභියෙකු වන ඉයන් මැක්ඉවන් හැම්ප්ෂයර්හි ඉපදී හැදී වැඩුණු අතර ඔහු මේ වනවිට 70 හැවිරිදි වියේ පසුවෙයි. ඉයන්ගේ පළමු කෙටිකතා සංග්‍රහය වූ First Love, Last Rites වෙනුවෙන් 1976 දී සමර්සෙට් මෝම් සම්මානය හිමිවූ අතර ඉන් වසර දෙකකට පසු The Cement Garden නමින් ඔහු සිය පළමු නවකතාව ජනගත කළේය.
Amsterdam කෘතිය වෙනුවෙන් 1998 වසරේදී බුකර් සම්මානය හිමිකර ගත් ඉයන් ‘ටයිම් සඟරාව විසින් නම්කළ 1945 සිට මේ දක්වා ජීවත් වූ බ්‍රිතාන්‍ය ජාතික විශිෂ්ඨතම ලේඛකයින් 50 දෙනා‘ අතර ද සිටියි.
ඉයන් රචනා කළ බොහෝ කෘතීන් පසුකලෙක සිනමා නිර්මාණ බවට ද පත්විය. Atonement (2001) කෘතිය ඇසුරින් නිර්මාණය වූ සිනමාපටය ඔස්කාර් සම්මානය ලද අතර On Chesil Beach ද පසුකලෙක සිනමා නිර්මාණයක් බවට පත්වූ කෘතියකි. ඉයන්ගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වු The Children Act සිනමාපටය පසුගිය අගෝස්තුවේදී ප්‍රදර්ශනය ඇරඹිණි. මෙහි පළවන්නේ ‘ද ගාර්ඩියන්‘ ඔහු සමග සිදුකළ කෙටි පිළිසඳරකින් උපුටා ගත්තකි.
ඔබ වැඩියෙන්ම සතුටින් හිටියේ කොයි කාලේදීද ?
වයස අවුරුදු 20 දී වගේ මගේ කෘතීන් ලන්ඩන් වලදි මුද්‍රණය වෙන්න පටන්ගත්තු කාලේදී. එදිනෙදා වේල සරිකරගත් මේ සමය බොහොම සතුටින් ගතවුණා. ජීවිතය වගේම ආදරයත් එකතු වුණාම නියැලී හිටපු වැඩ කටයුතුත් ඊටම අනුකූල වුණා.
ඔබ වැඩියෙන්ම බය මොනවටද ?
උස ගොඩනැගිලි වලින් ඇද වැටේවි කියලා
පුංචි කාලේ තිබෙන හොඳම මතකය මොකක්ද ?
මට අවුරුදු දෙකහමාරේදී වගේ රෝද තුනේ බයිසිකලයක නැගලා ගෙදර අයට හොරෙන් ගෑස් වැඩපොළක් ළඟට ගියා මතකයි
මේ වනවිට ජීවත් වන අය අතුරින් ඔබ වැඩියෙන්ම අගය කරන කෙනා කවුද ? ඒ ඇයි ?
ඇන්ජලා මර්කල්. හැම පැත්තෙන්ම පහර වදිද්දි ඉවසීම හා විවෘත සමාජයක් ගැන ඈ දකින හීනය යථාවක් බවට පත්කරන්නට වෙහෙස ගත්තා.
ඔබ කණගාටු වෙන්නේ මොනා ගැනද ?
ටෙනිස් වලට ඒ තරම් තැනක් දුන්නේ නැති එක ගැන
ඔබව අසතුටට පත්කරවන්නේ මොනවද ?
සත්ව විශේෂ වඳවී යාම, වාසස්ථාන විනාශ වී යාම හා ගෝලීය මට්ටමින් සිදුවෙමින් පවතින දේශගුණික විපර්යාසය
ඔබේ ජීවිත කතාව සිනමාපටයකට නැගුණොත් ඒ චරිතයට පණපොවන්නේ කවුද ?
ක්ලින්ට් ඊස්ට්වුඩ්
ඔබේ ජීවිතය වෙනස් කරපු කෘතිය මොකක්ද ?
එල් පී හාර්ට්ලී ගේ The Go-Between කෘතිය. අවුරුදු 13 දී මේ කෘතිය කියවලා මෙහි ප්‍රධාන චරිතය වන ලියෝ ට දැඩිව ඇළුම් කරන්න ගත්තා.
කෙනෙක් ඔබට කිව්ව දරුණුම දේ මොකක්ද ?
ඔබේ කෘතියේ මුල් පේළියේම එහි කතාවට සම්බන්ධ ප්‍රධාන සිද්ධිය තියෙනවා යන්න
ඔබේ ජීවිතයේ වඩාත් ආදරණීයම දේ මොකක්ද ?
දියණියන් දෙදෙනෙකුට බාප්පා වීම හා පුතුන් දෙදෙනෙකුගේ පියා වීම ආදරය පුපුරා ගිය මොහොතක්
ඔබට ආදරය දැනෙන්නේ කොහොමද ?
ප්‍රමෝදයක්. මගේ ජීවිතයේ වැඩියෙන්ම ආදරය කරපු ඇනාලීනා මගේ බිරිඳ වීම ඊටත් වඩා සතුටක්
ඔබේ අවමානයට ලක්වෙන දැනට ජීවතුන් අතර ඉන්න පිරිස කවුද ? ඒ ඇයි ?
බොරු මතවාද පතුරුවන සල්ලිකාර විදග්ධ වගේම ජනප්‍රිය පිරිසක් ද වන බ්‍රෙක්සිට් පිරිස (එක්සත් ජනපදය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු යැයි කියන පිරිස). ඔවුන්ට අකමැති වෙන්න හේතු වෙන්නේ මේ පිරිස යුරෝපා සංගමයෙන් අපව ඉවත් කරන්න විපත්තිදායක මගක් අනුගමනය කරන නිසයි
ඔබ කරපු අසීරුතම රැකියාව මොකක්ද ?
ලන්ඩනයේහි කැම්ඩන් නගරයේ කුණු අදින කෙනෙකු විදියට කරපු රැකියාව
ඔබේ අතීතය නැවත සකස් කරගන්න හැකි නම් වෙනස් කරන්නේ මොනවද ?
මගේ සහෝදර සහෝදරියන් සමග ඇතිදැඩි වීම. ඔවුන් මට වඩා අවුරුදු 10 ක් වැඩිමහල්
ඔබට කාලය හරහා යන්න පුළුවන් නම් යන්න කැමති කොහෙටද ?
16 වන සියවසේ ලන්ඩනයට ගිහිං විලියම් ශේක්ෂ්පියර්, ක්‍රිස්ටෝපර් මාර්ලෝවේ හා බෙන් ජොන්සන්ව මුණගැහෙනවා
ඔබ රිලැක්ස් වෙන්නේ කොහොමද ?
යාළුවෙක් එක්ක කඳු මුදුනකට ගිහිං වයින් වීදුරුවක් තොලගාලා
ඔබ සෙක්ස් කරන්නේ කොච්චර කාලෙකට සැරයක්ද ?
අනික් හැමෝම වගේම සතියකට දෙපාරක්
මරණයේ බිය අත්විඳි මොහොතක් තියෙනවද ?
ග්‍රෙනේඩාවේ මැයි රැළියේදී CIA නිළධාරියෙක් මාව වෙනත් අයකු විදියට හඳුනාගෙන මගේ ඔළුවට පිස්තෝලයක් තිබ්බ වෙලාවේදී මරණ බියක් දැනුණා
ඔබව රාත්‍රියේදීත් ඇහැරවා තියන්නේ මොකක්ද ?
බීබීසී ලෝක සේවාවේ අළුයම සේවාව
ජීවිතේදී ඔබ ඉගෙනගත්ත වැදගත්ම පාඩම මොකක්ද ?
කිසිම කෙනෙක් වයස අවුරුදු දෙකට පස්සේ වෙනස් වෙන්නේ නැති බව
අනුවර්තනය - වින්ධ්‍යා ගම්ලත්
ලී රිග්බි ඝාතනය මාව සසල කළා - ගයි ගුණරත්න
In our Mad and Furirous City ශ්‍රී ලාංකීය හා බ්‍රිතාන්‍ය සම්භවයකින් යුතු තරුණ ලේඛකයෙකු වන ගයි ගුණරත්න විසින් රචිත කුළුඳුල් නවකතාවයි. මෙවර ‘ද මෑන් බුකර්’ සම්මානය වෙනුවෙන් දිගු ලැයිස්තු ගත කෘති අතරට මේ කෘතිය ඇතුළත්වී තිබේ.
උතුරු එංගලන්තයේ පිහිටි ස්ටෝන් නිවාස සංකීර්ණයේ හැදී වැඩෙන සෙල්වන්, ආර්දන් සහ යූසුෆ් යන තරුණයින් තිදෙනෙකු වටා මෙම නවකතාව ගොඩනැගී ඇති අතර මේ ප්‍රදේශය මුල්කරගනිමින් ඇවිලී යන ගැටුම්කාරී වාතාවරණයක් පදනම් කරගත් In our Mad and Furirous City හි රාජකාරිය නිමවී යන සොල්දාදුවෙකු කළු මිනිසෙකු විසින් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සත්‍ය සිද්ධිදාමය ගැන සනිටුහන් වී ඇත. ලන්ඩනයේ නෙස්ඩන් හි ඉපදුණු ගයි මේ වනවිට දිවිගෙවන්නේ ස්වීඩනයේ ය. මේ The Guardian ඔහු සමග පවත්වන ලද සාකච්ඡාවක අනුවර්තනයකි.
In our Mad and Furirous City කෘතියට පදනම් වී තිබෙන්නේ ඔබ හැදී වැඩුණු ලන්ඩන් නගරයද ?
ඇත්තටම, මං හැදී වැඩුණේ මේ කෘතියේදී තරුණ පිරිස් කතාබහ කරන උප භාෂාව, ඒවගේම මෙහි දිගහැරෙන භාෂා විලාසය සමගිනුයි. මේ ප්‍රදේශයට ආවේණික වී තිබූ රිද්මය හා ශක්තිය පුබුදුවාලන්න මට වුවමනා වී තිබුණා. බොරුව නැති නමුත් සත්‍යය ගැබ්වුණු දේවල් මෙහි තිබෙනවා. කෘතිය තුළ ඇසෙන සංවාද හරහා මට දැනෙන්නේ ලන්ඩනයේ ජීවත්වෙන බවයි. මේ වචන වල දෝංකාරය හා එහෙන් මෙහෙන් ඇහෙන සද්දත් එක්ක මගේ අදහස වී තිබුණේ නගර මැද ඉඳන් මේ කෘතිය කියවන බව පාඨකයාට දැනවීමයි.
බහුතාල නාදය කෘතිය තුළින් ඇහෙන බව In our Mad and Furirous City ගැන ලියැවී තිබෙන එක් විචාරයක සටහන් වී තිබෙනවා. ඇත්තටම, ඔබට වුවමනා කළෙත් එයද ?
බහුතාල නාදයක් බව කීම බොහොම සුන්දර කතාවක් වුණත් සමහර විට තරමක් මෘදු වෙන්න පුළුවන්. නෙස්ඩන් හා වෙම්බ්ලි වලින් ඇවිදන් යද්දි ඒ වටපිටාව හරිම ඝෝෂාකාරී බව දැනෙනවා. මේ නගරය සමහර මිනිස්සුන්ට අකාරුණික වෙන්න පුළුවන්, ගැටීම් හා බෙදීම් වලින් පිරී තිබෙන්න හැකියි. නමුත්, සමහරවිට මේ අමිහිරි බව අත්‍යවශ්‍ය බව දැනෙනවා. ලන්ඩනය කියන්නේ විවිධාකාර තැන් වල සිට පැමිණුනු ජනයා එකට එකතුවන තැනක්. ඉතිං, මේ හැමදෙනාම ඔවුන්ට අනන්‍ය වූ ස්වභාෂාව, උච්චාරණ, සංස්කෘතිය, ඉතිහාසය හා උනන්දුව අතහැරලා එකම විදියට කතා කරාවි යැයි මට හිතාගන්නත් බැහැ.
මේ කෘතියේ සමහර අවස්ථාවලදී අව්‍යක්ත යැයි සැලකෙන යෙදුම් සන්දර්භානුගත නොකර ලියද්දි ඔබට ඔබ ගැනම විශ්වාසයක් දැනුණද ?
කා වෙනුවෙන් සන්දර්භානුගත කරන්නද ? ඒක හරිම අමනකමක් නේ. සංවේදීතාව නිසා මොකක් හරි දෙයක් අපහසුතාවට ලක් නොකර ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් මට දැනිලා නැහැ. යමක් ඒ විදියටම ප්‍රකාශ කිරීම හරිම අවංකයි. සාමාන්‍යයෙන් කිසිම බුරුලක් නොදක්වන ලේඛකයින්ගේ ලේඛනයන්ට මං ඉබේම ආකර්ශණය වෙනවා. ස්කොට්ලන්ත උප භාෂාවෙන් ලියන ජේම්ස් කෙල්මන් මගේ ප්‍රියතම ලේඛකයෙක්. මං මේ ලියන්නේ ඇත්තම බව දන්නවා නම් එවැනි අවස්ථාවකදී සංවේදීතාව ගැන හිතන්න වුවමනා වෙන්නේ නැහැ. ප්‍රේක්ෂකයින්ගෙන් ඔබ්බට ගිහිං මං හිතන්නේ නැහැ. ලේඛනයේ යෙදෙන විට මං බෝලයක් අතට ගත්තා වගේ. අන්තවාදී බව හා ප්‍රචණ්ඩත්වයේ නාමයෙන් මට බාධාවක් වෙන දෙයක් ගැන හොයනවා වගෙයි
මේ කෘතිය ලියැවීමේ මූලාරම්භය වෙන්නේ ලී රිග්බි ඝාතනයද ?
ලී රිග්බි සිද්ධිය මා තුළ දැඩි පෙළඹවීමක් ඇති කළා. මේ සිද්ධිය වෙද්දි මං හිටියේ පින්ලන්තයේ. ලේ පෙරාගෙන වැටී සිටි ලී වගේම ඔහුව මරා දැමූ මයිකල් අදේබොලාජෝගේ දර්ශනත් මං දුටුවා.
නමුත්, මං දැඩි කම්පනයට පත්වුණේ මේ සිද්ධිය නිසා නොවෙයි, මං කතාකරන විදියටම ඔහුත් කතාකරන නිසයි, මගේ පාසලේ දරුවන් අඳින විදියටම ඔහුත් ඇඳගෙන හිටිය නිසයි. ඒ වගේම ඔහුගේ විලාසය, ඔහු දුටුවම දැනෙන මොකක්දෝ සමීප බවක් හිතේ තියෙනවා. තමන්ගේ නිවසට පෙනෙන මායිමේදී මේ විදියට ක්‍රියාත්මක වුණේ ත්‍රස්තවාදයයි.
මට මේ සිද්ධිය ගැන කරන්න පුළුවන් වෙලා තිබුණු ඉතාම නරකම දෙය නැත්නම් නීරස දේ වුණේ ඒ සිද්ධිය පදනම් කරගෙන කතාවක් රචනා කිරීමයි. තරුණ කොල්ලෙක් රැඩිකල් වුණේ කොහොමද කියන එකයි. මොකද මට වදයක් වුණේ ඒ කාරණේ නෙමේ, වදයක් වුණේ ඔහුව හඳුනාගැනීමයි. අතිදුෂ්ටයෝ දැනහඳුනාගැනීම වෙනුවට එකිනෙකට වෙනස් හඬවල් පහකින් වර්තනය වන අන්දම හඳුනාගන්න මට වුවමනා වුණා. මේ නිසා කෘතියේ ඉන්න හැම චරිතයක්ම ඔවුන්ගේම වූ අන්තවාදයක් ඉදිරිපත් කරනවා.
බුකර් සම්මානය වෙනුවෙන් දිගු ලැයිස්තුගත කෘතීන් අතර ඔබේ කෘතිය තිබෙන බව දැනගත්තම මොකක්ද දැනුණේ ?
මේ ගැන නිළ වශයෙන් නිවේදනය කරන්න දින කීපයකට කලින් ඒ බව මට දැනගන්න ලැබුණා. මගේ කෘතිය ප්‍රකාශනය කළ කාර්යාලයෙන් මේ ගැන සඳහන් කරපු බොහොම සතුටු හිතෙන ඊමේල් පණිවිඩයක් එවා තිබුණා. කුස්සිහේ එහේ මෙහේ දුවමින් උඩ පැනපු මම ඒ ගැන මුලින්ම කිව්වේ බිරිඳටයි. එදා මම කොහෙවත් ගියේ නැහැ. ලේඛන ජීවිතේ සම්බන්ධයෙන් කිසිදිනක මං වෙන කිසිම ලේඛකයෙකු එක්ක කිසිම සංවාදයක් කරලා තිබුණෙත් නැහැ. නමුත්, මගේ ජීවිතයේදී මට කරන්න පුළුවන් වෙන කිසිම සුන්දර දෙයක් ගැන මට දැන් හිතාගන්න වත් බැහැ. බුකර් සම්මානයට නිර්දේශිත දිගු ලැයිස්තුවේ කෘති අතරට පැමිණීම පවා ලේඛනයේදී කළයුතු දේවල් අතරේදී අපිට කාලයක් හා අවකාශයක් ලබාදීමක් වගේ. මං කාලය හා අවකාශය පස්සේ යන කෙනෙකු නිසා මේ අවස්ථාව මට හරිම වැදගත්.
ඔබ දැන් ජීවත්වෙන්නේ මැල්මෝ වල. ඔබේ දෙවැනි නවකතාවට පදනම්වී තියෙන්නෙත් ලන්ඩනයමද ?
මේ නවකතාව ආරම්භ වෙන්නේ ලන්ඩනයෙන් පිටතදීයි. නමුත්, ඇත්තටම මේක ස්ථානය පදනම් කරගත්තු නවකතාවක් නෙමෙයි. භාෂාව පදනම් කරගත්තු එකක්. අරාබි කාව්‍ය, සිරියාවේ ඉන්න පියෙකු හා පුතෙකු වටා ලියැවුණු කෘතියක්. මැල්මෝ නගරය බොහොම නිහඬ අවකාශයක් හා හිතට තැන්පත් බවක් ලබාදෙනවා. පළවෙනි කෘතිය හා දෙවැනි කෘතිය අතර තරමක භූගෝලීය වටිනාකමක් තිබීම විශිෂ්ටයි.
ඔබේ පියා In our Mad and Furirous Cityකෘතිය මිලදීගත් අවස්ථාවේදී ඔබ ඒ ගැන පළකරපු ට්වීටර් පණිවිඩය රැල්ලක් වගේ පැතිරිලා ගියා. 40,000 රිට්වීට් වෙලා තිබුණා. ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද ?
ලංකාවේ ඉඳන් මෙහේ ආව මුල් කාලයේදී තාත්තා කිසිම ඉංග්‍රීසි වචනයක් කතා නොකළ බව නිතරම ඔහු මට කියලා තියෙනවා. ඔහු රෑ කාලේ තියෙන පාසල් වලට ගියත් චාර්ජින් හරස් වීදියේ තියෙන Foyles කඩේට ගිහිං පොත් රාක්ක වල තියෙන පොත් කියවලා ස්වයං අධ්‍යයනක් කරලා තියෙනවා. බොහෝ වෙලාවට ඔහු එහෙම ගිහිං තියෙන්නේ දවල් කෑම වෙලාවේදීයි. පොත් කඩේ බිම ඉඳගෙන ඔහු පොත් කියවලා තියෙනවා. මං දැනුම් තේරුම් තියෙන වයසට එනතෙක්ම තාත්තා මේ කතාව ඉවරයක් නැතුව කියලා තියෙනවා.
මගේ අම්මයි, තාත්තයි එක්ක ආයෙමත් පාරක් Foyles වලට ගිහිං, මගේ අතින් රචනා වුණු කෘතිය තෝරන්න මගේ තාත්තට පුළුවන් වුණා නම්, අනිවාර්යයෙන්ම, ඒක අපූරු අවස්ථාව මගේ ඇස් ඉදිරිපිටම දකිමින් ඒ ගැන ට්වීටර් එකේ ඡායාරූපයක් පළකරපු වෙලාවේ ඒ වටා මුළු ලෝකේම එකතු වුණා.
මේ මොහොතේදී ඔබේ පොත් මේසේ තියෙන පොත් ගැන සිහිපත් කළොත් ?
අරාබි කාව්‍ය හා ප්‍රබන්ධ කෘති ගොඩක් තියෙනවා. සිරියානු කවියෙකු වෙන අදොනිස්ගේ ඒවා විශේෂයි, ඔටේසා මොෂ්ෆෙග් අතින් නිර්මාණය වුණු My Year of Rest and Relaxation කෘතිය. හිතන්නවත් බැරි තරමට භ්‍රාන්තිය දනවන කෘතියක් වෙන අහමඩ් බොනානිගේ The Hospital කෘතිය තිබෙනවා. ඇත්තටම, මේ කෘතිය එඩිතර බව දනවන්නක්.
ඔබේ හිත්ගත්තු ලේඛකයින් කවුද ?
මං එඩිතර බව දැනෙන විදියේ ප්‍රබන්ධ රචනා කරන ලේඛකයින්ට කැමතියි. අලි ස්මිත්, ගුන්තර් ග්‍රාස්, සැමුවෙල් බෙකට් හා නිකොලා පාකර් වගේ අය
ඔබේ කුඩා අවදියේදී වැඩියෙන්ම ඇළුම් කළේ මොනවගේ කෘතීන් වලටද ?
හැම දරුවෙක්ම සාමාන්‍යයෙන් තෝරගන්න කෘතීන්, රෝල්ඩ් ඩාර්ල්ගේ කතා වලට දැඩි ඇල්මක් දැක්වුවා. නිසි විදියට කියවන්න යොමුවුණේ ගැටවර අවදියේදීයි. සල්ලිකාර අය ගැවසෙන ප්‍රදේශ වල තියෙන පුණ්‍ය ආයතන මට්ටමින් පවත්වාගෙන යන පොත් කඩ වලට නිතරම ගියා. බ්ලූම්ස්බරි හෝ මියුස්වෙල් හිල් වල පිහිටි ඔක්ස්ෆර්ම් පොත් කඩේට ගියා, එහෙන් පොත් අරගෙන ආපහු නෙස්ඩන් වලට ආවා. මං වඩාත් ආදරය කරපු ලේඛකයින්ව මුණගැහුණේ එහෙමයි. සැමුවෙල් බෙකට් කියන්නේ මාර චරිතයක්. ඔහු බොහොම දැඩි තැනැත්තෙක්.
ලේඛනය කියන්නේ සුවපහසු බව හෝ සැහැල්ලු බව දැනෙන්න අඳින ඇඳුමක් නොවෙයි. වර්ජිනියා වුල්ෆ් කියන්නේ වෙනමම චරිතයක්. යුදෙව් - ඇමරිකන් සම්භවයක් තියෙන ලේඛකයින් මාව උත්තේජනය කළා. චිකාගෝවේ වීදි අතරින් ඇවිද යමින් යුදෙව් උරුමය ගැන සිත් වසඟ කරවන කතා ලියූ ඉෂාක් බෂෙවිස් සිංගර්, සෝල් බෙලෝ වගේ අය අති සමීප බවක් දැනෙනවා.
සටහන - වින්ධ්‍යා ගම්ලත්
(2018.09.09 දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි - The Guardian ඇසුරිනි)
