The Most/Recent Articles

Showing posts with label විශේෂාංග. Show all posts
Showing posts with label විශේෂාංග. Show all posts

වරායේ නව ගිවිසුම අත්සන් කෙරේ

දකුණු කොළඹ වරායේ පිහිටි නැගෙනහිර බහලු පර්යන්තය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දීය රාජ්‍යයන් අතර සහයෝගීතා ගිවිසුම අද (28) පස්වරුවේ කොළඹ දී අත්සන් කරනු ලැබූහ.  


"ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානයක් වන ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ එහි වරායන් විවෘතවීම ඉතාම වැදගත් කාරණයකි. මෙම ව්‍යාපෘතිය මෙම රාජ්‍යයන් ත්‍රිත්වය අතර පවත්වාගෙන ආ දිගුකාලීන සම්බන්ධතා සහ  සහයෝගීත්වය මෙනෙහි කරනු ලබයි. ජපානය එක්දහස් නවසීය අසූව දශකයේ සිට කොළඹ වරායේ ජය බහලු පර්යන්තය සංවර්ධනය සඳහා සහයෝගය ලබා දෙනු ලැබීය. එසේම කොළඹ වරායේ ප්‍රතිනැව්ගත කිරීම් වලින්  සීයට හැත්තෑවක් පමණ ඉන්දියාවට සම්බන්ධව සිදුවේ. ඒ අනුව,  කොළඹ වරායේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මෙන්ම කලාපීය සෞභාග්‍යය සහ ගෝලීය වෙළඳ ජාලය තුළ කොළඹ වරායේ ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සමග ඉන්දියාව සහ ජපානය එක්වී කටයුතු කරනු ඇත."  

"නැගෙනහිර පර්යන්තයේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුවේ. එසේම,යෝජිත පර්යන්ත මෙහෙයුම් සමාගම විසින් සිදුකරන සියලුම මෙහෙයුම් වලින් සීයයට පනස් එකක කොටස් ශ්‍රී ලංකාව සතුවන අතර හවුල් පාර්ශවයන්ට මිළදී ගතහැකි කොටස් ප්‍රමාණය සීයයට හතළිස් නවයකි. එසේම මේ සඳහා ලබා ගැනීමට අදහස්  කරණ ජපාන ණය, ශ‍්‍ර‍්‍රී ලංකාවට මෙතෙක් ලැබුණු යහපත්ම ණය කොන්දේසි යටතේ ලැබේ. එසේම සීයට පනස් එකක කොටස් ප්‍රමාණයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවීම ඉතාම හොඳ හවුල් ගනුදෙනු වලින් එකකි. පර්යන්ත මෙහෙයුම් සමාගමේ අයිතියෙන්  වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවීම අදාළ ගිවිසුමෙන්  ජාතික අවශ්‍යතා වලට ලබා දී ඇති මූලිකත්වය මනාව පිළිබිඹු කරනු ලබයි"

"ඒකාබද්ධ ක්‍රියකාරී කණ්ඩායම රැස්වී අත්සන් කරනු ලැබූ සහයෝගීතා ගිවිසුමේ කරුණු ප්‍රකාරව රාජ්‍යයන් ත්‍රිත්වයම එක්වී ඉදිරි කටයුතු සිදුකොට නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් හැකි වහාම ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමු," ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයේ සඳහන් වේ.   

පාස්කු ප්‍රහාරය සහ බුද්ධි අංශ

බුද්ධි අංශවල නොසැලකිල්ල නිසා සිදු වූ ප්‍රහාරයක්ද? නැත

රජිව් ඝාතනයට පෙර රෝ - 9/11 ප්‍රහාරයට පෙර සී.අයි. ඒ. අනතුරු ඇඟවූහ


ආරක්ෂක කටයුතු පිළිබඳ විශේෂ වාර්තාකරුවකු විසිනි

මෙම ලිපිය ලිවීමට තීරණය කරනු ලැබුවේ, හිතවත් පුවත්පත් කතෘතුමෙකුගේ  ආරාධනයක් මතය.   පසුගිය වසර ගණනාවක් තිස්සේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් පුවත්පත් ඇතුළු අනෙකුත් මාධ්‍යය වලට ලිපි සම්පාදනය කිරීම සැලකිල්ලට ගනිමින් සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු රටේ මතු වී ඇති තත්වය ගැන සැලකිල්ලට ගනිමින් මා හිතවත් කතුවරයා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රයෝජනවත් කටයුත්තක් යැයි සැලකරනු ලැබීය. විශේෂයෙන් රාජ්‍යය බුද්ධි සේවය මූලික කර ගනිමින් මතු වී ඇති අහේතුක විවේචන මෙන්ම උදා වී ඇති තත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් වීම සහ අදාළ සිදු වීමට ප්‍රතිචාර දැක්වීමේදී විවිධ පාර්ශවයන් වෙතින් දක්නට ලැබෙන ගති ස්වභාවයන් ගැන විමසා බැලීම මෙම ලිපියෙහි මූලික අරමුණ ලෙස හැඳින්වීමට කැමැත්තෙමි.

ආගමික මූලධර්මවාදය ලෝකයට පමණක් නොව, ශ්‍රී ලංකාවටද අලුත් දෙයක් නොවේ. එය සියවස් ගණනාවක් ඈතට දිව යන්නකි. ජනතාව ඒකරාශී කරනු ලැබූ මූලික සාමකාමී දාර්ශනික (ආගමික) ප්‍රවාහයන් තම අභිමතය පරිදි වෙනස් කරමින් ඊට තම තමන්ගේ අර්ථ නිරූපණ ඉදිරිපත් කොට ප්‍රධාන දහරාවෙන් වියුක්ත වීම මූලධර්මවාදයේ මූලික  ස්වභාවය වේ. ප්‍රධාන ධහරාවෙන් ඉවත් වී තම තමන්ගේ කුඩා කණඩායම් නිර්මාණය කරගෙන ඊට අදාළ නෛතික රාමුන් නිර්මාණය කර ගැනීම මෙහිදී දක්නට ලැබෙන කාරණයකි. ඊට සම්බන්ධ වන සියල්ල එම රාමුවට බැඳී සිටිති. 


සමස්ථ සිදුවීම තුළ ඇති අභියෝගය වන්නේ, මෙරට රාජ්‍යය රහස් විවිධාකාරයෙන් වෙස්වලාගෙන පැමිණෙන යක්‍ෂයින්ට පැහැර ගැනීමට ඉඩ නොදීමය. 
මුල් කාලයේදී, මූලධර්මවාදය ( අන්තවාදය) සඳහා පිරිස් එකතු කිරීමේදී එය ප්‍රධාන පියවර දෙකක් අනුගමනය කරනු ලැබීය. පළමුවැන්න, පුද්ගල විමුක්තිය ලබා දෙන එකම ක්‍රමය තමන් සතුබව අර්ථ නිරූපණය කරමින් එය යළි යළිත් පුනරුච්චාපනය කරමින්, ඊට අවශ්‍යය පිළිගැනීම් පද්ධතියක් නිර්මාණය කර ගැනීම. එය වසර ගණනාවක් තිස්සේ ක්‍රමානූකූලව සිදු කරනු ලබන දේව මෙහෙයන්, ඉගැන්වීම් ආදී කටයුතු වලින් කරනු ලබන අතර එය අවසානයෙදී තම අදහස පිළිනොගන්නා අයවලුන් සතුරන් ලෙස නම් කරනු ලබයි. දීර්ඝ කාලීනව සිදුකරනු ලබන ඉගැන්වීම්, ඔස්සේ සිසුවා අදාළ ගුරුවරයාගේ වස්තුවක් බවට පත් වේ. ඉන් පසු ගුරුවරයා විසින් ලබා දෙන නියෝග පිළිපැදීම සඳහා පමණක් නොව හෙතම විසින් ඉදිරිපත් කරන ඕනෑම දෙයක් වෙනුවෙන් ඉදිරිපත් වීම ස්වභාවික වේ. එය මෙම ක්‍රමවේදයේ දෙවන පියවර වේ. දෙවන පියවරේදී ඔවුහු මූලික වශයෙන් භාවිතා කරනු ලබන මූලික අවිය වන්නේ ප්‍රචණ්ඩත්වයයි. 

ඉතිහාසය විසින් අපට ලබා දෙන කදිම නිදසුන් දෙකක් මෙහිදී සඳහන් කළ හැකිය. පළමුවැන්න, බුදුන් වහන්සේගේ කාලය ගැන සඳහන් කිරීමේදී විස්තර වන අංගුලිමාල කතාවයි. දෙවැන්න, ජේසුස් වහන්සේ විසු සමාජයේ සිදු වූයේ යැයි කියන, එක්තරා ස්ත්‍රීයක් ගල්ගසා මරා දැමීමට සූදානම් වූ පුරුෂයින් පිරිසය. මෙම සම්ප්‍රදායේම එක්තරා දිගුවක් මීට වසර කිහිපයකට පෙර  කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ඉස්ලාමීය පල්ලියකින් වාර්තා විය. එනම්, එක්තරා කාන්තාවක් "වරදක්" කළබව සඳහන් කරමින් පල්ලිය තුළදී ඇයට පොල්පිත්තකින් පහර දීමය. 

කාලාන්තරයක් තිස්සේ මෙරට සමාජය තුළ නිහඬව නමුත් ඉතාම භායනාක ලෙස වර්ධනය වූ මූලධර්මවාදයේ ස්වභාවය එය විය. මෙය පළමුව තම ප්‍රජාවම නියෝජනය කරන අයවලුන් ඉල්ක්ක කර ගැනීම ආරම්භ වූයේ අද ඊයේක නොවේ.  ක්‍රමයෙන් විස්තාරණය වූ මෙම මූලධර්මවාදය, දෙවියන් සමග තමන්ට ඍජුව ගනුදෙනු කළ  හැකි බව විස්වාශ කරනු ලැබුහ. මේ නිසා මීට ඇති වූ ආකර්ශනය ක්‍රමයෙන් වැඩි වීමට පටන් ගත්තේය. 
පාස්කු ඉරිදා ප්‍රහාරයේදී සිදු වූයේ, මෙම මූලධර්මවාදය මුල් කාලයේදී ඉලක්ක කරගෙන වර්ධනය වෙමින් තිබු සමාජ ප්‍රජාවෙන් ඉවතට පැමිණ ගෝලීය ප්‍රවණතාවය සමග මුහු වීමය.  මෙය, මෙරට බුද්ධි අංශ විසින් හෙළිදරව් කරනු ලැබුවේ 2015 දී මෙරට පුරවැසියෙකු අයිසිස් සංවිධානය සමඟ සම්බන්ධ වී සිරියාවේදී මියගිය පසු සිදුකළ වැදගත් සොයා ගැනීම් වලදීය. 

කෙසේ හෝ වේවා ගෝලීය වශයෙන් තම මතවාදයන් ව්‍යාප්ත කිරීම සඳහා වැදගත් වන්නේ, ඊට අවශ්‍යය ප්‍රහල ප්‍රචාරණයයි. ත්‍රස්තවාදී සංවිධාන සෑම විටම තම ප්‍රචාරණ ව්‍යාපෘතියට අතිශය වැදගත් ඉඩක් ලබා දෙනු ලබයි. එසේම පුවත් පිපාසයෙන් වෙළෙන වත්මන් ජනමාධ්‍යයන් වල හැසිරීමේ ස්වභාවය අනුව එය ඉතාම ක්‍රමෝපායිකව භාවිතා කරනු ලබයි.  

පාස්කු ඉරිදා ප්‍රහාරය සැලකිල්ලට ගැනීමේදී, මෙම ප්‍රහාරය සැලසුම් කොට තම ජීවිතය නසාගත් සියලු දෙනා සහ ඊට අනුබල දුන් පිරිස සිතුවාටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඊට අවශ්‍යය ප්‍රචාරය ලැබුණි. මෙයට, මීට වසර කිහිපයකට පෙර බෝකෝ හරාම් ත්‍රස්තවාදීන් විසින්, අසරණ පාසැල් දැරියන් රාශියක් පැහැරගෙන සිදුකළ ඛේදවාචකයට ලැබුණු ප්‍රචාරය හා සමාන ලෙස, විශාල ප්‍රචාරයක් ලැබුණි. එසේම මෙරට දේශීය මාධ්‍යය, මීට වසර දහයකට පෙර පැවති තත්වය යළිත් ඇති වෙමින් ඇතැයි සිතා, තම වාර්තාකරණය කිරීමට පටන් ගත්හ. බොහෝ "විශේෂඥයින්" රටතුළ ඇති වී ඇති අර්බුධයට විවිධ අර්ථ නිරූපණ ඉදිරිපත් කරණු ලැබුහ. තම පෞද්ගලික කොන්තරයන් පිරිමසා ගැනීම සඳහා මෙරට ඔත්තුසේවා වලට ව්‍යාජ තොරතුරු ලබා දුන් "ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයින්" සෑම විටම අපේක්ෂා කරණ පටු සහ ලාභදායි ප්‍රසිද්ධියට මෙරට මාධ්‍යය තෝතැන්නක් විය.

සමස්ථ සිදුවීම තුළ ඇති අභියෝගය වන්නේ, මෙරට රාජ්‍යය රහස් විවිධාකාරයෙන් වෙස්වලාගෙන පැමිණෙන යක්‍ෂයින්ට පැහැර ගැනීමට ඉඩ නොදීමය. විශේෂඥයින් ලෙස මෙරටට බඩගාන බොහෝ දෙනෙකු එලෙස පැමිණෙන්නේ, රටට ඇති ආදරයට නොව මෙහි ඇති තොරතුරු තම තමන්ගේ පෞද්ගලික  අවශ්‍යතාවයන් පිරිමසා ගැනීම සඳහා භාවිතා කිරීමටය. මෙම මූලික සන්දර්භය ඔස්සේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමසා බැලීම වැදගත් යැයි සිතේ. 

බුද්ධි අංශවල නොසැලකිල්ල නිසා සිදු වූ ප්‍රහාරයක්ද? නැත. 


පාස්කු ඉරිදා ප්‍රහාරය මෙරට මෙතෙක් පැවති අභ්‍යන්තර කෝලාහල අභිබවා යන්නකි. එය බුද්ධි අංශවල නොසැලකිල්ල නිසා සිදු වූයේද? මෙහිදී බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් වී ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යය පොලිසප්ති නිලන්ත ජයවර්ධන මහතාය. හෙතම මෙරට ඉතිහාසයේ පත්වූ ලාබාලතම ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පතිවරයාය.  ජනාධිපති සිරිසේන මහතාට සෑම දිනකම කතා කරන සහ  ජනාධිපතිවරයාගේ විශ්වාසය ඉතාම හොඳින් දිනාගෙන ඇති හෙතම අවශ්‍යය තොරතරු  ජනාධිපතිවරයාට ලබා දුන් බවත් ජනාධිපතිවරයා නිවැරදි ක්‍රියාමාර්ග නොගත් බවත් ඇතැම් වාර්තා සඳහන් කොට තිබේ. එසේම, පොලිස්පති ජයසුන්දර  සහ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ප්‍රනාන්දුට මෙහිදී වගකීමක් නැති බවත් සඳහන් වේ. මෙය ව්‍යාජ සහ හානිදායක අර්ථ දැක්වීමකි. සැබෑ කරුණු අපහරණය කොට තම වගකීම් වලින් ඇතැමුන් නිදහස් වීමට කරනු ලබන  උත්සාහයකි. 

ජයවර්ධන මහතාට එරෙහිව ප්‍රසිද්ධ වී ඇති බොහෝමයක් වාර්තා වල උපුටා දක්වා ඇති " මූලාශ්‍ර" වල ස්වභාවය අනුව පෙනී යන්නේ ඒවා විවිධ පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීම සඳහා කී දෑ බවය. එසේම, ඇතැම් පාර්ශවයන් විසින් බුද්ධි අංශ වලට සිදු කළ අතපෙවීම් වසා ගැනීම සඳහා මෙම සිදුවීම දඩමීමා කරගෙන ඉතාම පහත් මට්ටමේ ප්‍රචාරයන් රාශියක් දියත් කරමින් සිටින බව නිරීක්ෂණය කළ හැකිය.  

ජයවර්ධන මහතා මෙහිදී තම වගකීම නිවැරදිව ඉටු කොට ඇති බව, මාධ්‍යය ඔස්සේ ප්‍රසිද්ධ වූ ඇතැම් බුද්ධි අංශ වාර්තා දෙස බැලීමේදී පමණක් තේරුම් ගත හැකිය. එසේම, අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති ජයසුන්දර මහතා සහ ධූරයෙන් ඉල්ලා අස්වූ ලේකම් ප්‍රන්නාදු මහතා මෙහිදී වගකීමට බැඳී සිටිනවා පමණක් නොව, ඔවුහු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දරණ මතය වැරදි  යැයි සඳහන් කිරීම මුලාවක් මෙන්ම අනෙකා නොමග යැවීමක් පමණි.  

රටක බුද්ධි අංශ ප්‍රධානියෙකුට කටයුතු කළ හැකි සීම්මාවක් තිබේ. ඔහුගේ සීමාව නෛතික රාමුවට  සෑම විටම යටත් වේ. ඔහුට කළ හැක්කේ තොරතුරු ඒකරාශී කිරීම, විශ්ලේෂණය කිරීම සහ සම්ප්‍රේශණය කිරීමය. ඔහුට හෝ ඔහු යටතේ සිටින මෙහෙයුම්කරුවන්ට පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නොහැකිය.
 
කෙසේ නමුත් මෙම මූලික වගකීම් රාමුව අභිබවා එකිනෙකාගේ දේශපාලන කුණුකන්දල් ඔලුවේ ගසාගෙන තම වගකීම පැහැර හරිනු ලැබූ බුද්ධි අංශ නිලධාරීන්  මෙරට නොසිටියා නොවේ. නමුත් ජයවර්ධන මහතා පැවති අප්‍රසන්න රටාවෙන් වෙනස් වූ නිලධාරියෙකි. ජයවර්ධන මහතා තම රාජකාරී සීමාව තුළ කටයුතු කරමින් සහ තම ආයතනයේ උන්නතිය උදෙසා මහත් පරිශ්‍රමයෙන් කටයුතු කරන නිලධාරියෙකි. බොහෝ දෙනෙකු හෙතම මහත්මයෙකු ( ජෙන්ට්ල්මන්) ලෙස හඳුන්වනු ලබන්නේ මේ නිසාය. තම බලය අනිසි ලෙස භාවිතා කොට  තවකෙකු පීඩාවට පත්කිරීම හෝ තැන දුටු තැන වල ඉහ ගැනීමේ ගතියක් ඔහුට නැත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කරනු ලැබූ  අතිශය නිවැරදි තෝරා ගැනීමක් ලෙස  ඔහු එම ධූරයට පත්කිරීම හැඳින්වීම අතිශෝක්තියක් නොවේ.

බුද්ධි  අංශයක වගකීම වන්නේ රාජ්‍යය, එහි නායකත්වය සහ එහි ජනතාව සතුරු  උවදුරු වලින් බේරා ගැනීම සඳහා අවශ්‍යය තොරතුරු අවශ්‍යය ස්ථාන වලට සම්ප්‍රේෂණය කිරීමය. ඒ වෙනුවට,  අභිරහස් ග්‍රීස් යක්කු, අභිරහස් ලෙස ස්ත්‍රීන්ගේ ඝාතන, තමන්ගේ දරුවන් පැහැරගෙන ඔවුහුට ත්‍රස්තවාදී ලේබලය අළවා කප්පම් නොදීම හේතුවෙන් වදදී මරා දැමීම ආදීය සිදුවීම් වල කොටස්කරුවන් වීම නොවේ. එවැනි අතීයක් රටට තිබුණි. නමුත් ගෙවුණු වසර කිහිපය තුළදී එවැනි දෑ වාර්තා වීම ඉතාම අවම විය. මෙය මෙරට සමාජය ලැබූ විශාල ජයග්‍රහණයකි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු තම තමන් අතීතයේදී සිදුකළ බොහෝ වැරදි වසා ගැනීමට ඇතැමුන් උත්සහ කළද, එය ඔවුහුට දිගුකාලීනව නඩත්තු කිරීමට ලැබේ යැයි සිතිය නොහැකිය. 

මෙහිදී මතු කරනු ලබන තවත් කාරණයක් වන්නේ, බුද්ධි අංශ තොරතුරු ලබා දී තිබියදීත්, අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ මන්ද යන්නය. මෙවැනි ආකාරයේ සිදුවීම් මෙරට පමණක් සිදු වූ දෙයක් නොවේ. මෙහිදී මාගේ සිහියට එන ප්‍රධාන නිදසුනක් වන්නේ, ඉන්දීය අගමැති රජීව් ඝාන්ධි මහතාගේ ඝාතනයයි. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් අදාළ ඝාතනය සැලසුම් කරමින් සිටින බවට සැලකෙන සියලු තොරතුරු ඉන්දීය ඔත්තු සේවයට ලැබී තිබුණි. විශේෂයෙන් මීට වසර කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වූ බහුකුටුම්බි රාමන් විසින් ප්‍රසිද්ධ කළ "කාඕ බෝයිස් ඔෆ් රෝ" කෘතියේදී මෙම කාරණය ගැන සඳහන් කරමින්, හෙළිදරව් කරනු ලැබුවේ, රජිව් ඝාන්ධි ඝාතනය සඳහා කොටි සංවිධානය සූදානම් වන බවත් හෙතම තමිල් නාඩුවේදී ඝාතනය විය හැකි බවත් රෝ සංවිධානය තොරතුරු ලබා දී තිබුණු බවයි. නමුත් එය වළක්වා ගැනීමට ඉන්දීය බලධාරීන්ට නොහැකි විය.  

උග්‍ර ලෙස බලය සහ මුදල්වලට කෑදර වී තිබු ඉන්දීය ඔත්තු සේවය ඉන්දිරා ගාන්ධිගේ විශ්වාසවන්තයා වූ රාමේශ්වර් නාත් කාඕ යටතේ රෝ නමින්  ප්‍රතිසංකරණය වී ඉතාම ශක්තිමත් සහ ස්වාධීන ආයතනයක් බවට පත් විය. නමුත්, ඊට ඉන්දිරා ගාන්ධි ඝාතනය පමණක් නොව රජීව් ගාන්ධි ඝාතනයද වළක්වා ගැනීමට නොහැකි විය. ඒවා බුද්ධි තොරතුරු හුවමාරුවේ සිදු වූ අඩුපාඩු හේතුවෙන් සිදුවූ දෑ නොවේ. තොරතුරු සම්ප්‍රේෂණයෙන් පසු එය ලබා ගන්නා පාර්ශවයන් ඊට ලබා දෙන සැලකිල්ල පිළිබඳ ගැටලුව හේතුවෙන් සහ තර්ජන ගැන තිබු අනඅවබෝධය මෙන්ම තක්සේරුව හේතුවෙන් සිදු වූ දෑය.

රජිව් ඝාතනයට පෙර රෝ - 9/11 ප්‍රහාරයට පෙර සී.අයි. ඒ. අනතුරු ඇඟවූහ


මීටම සරිලන අනෙක් නිදසුන වන්නේ 2001 වසරේ සිදු වූ ප්‍රකට සැප්තැම්බර් 11 වනදා ප්‍රහාරයයි. නයින් ඉලෙවන් ලෙස බොහෝ දෙනෙකු අතර ප්‍රචලිත මෙම සිදුවීම ගැන ඇමෙරිකානු ඔත්තු සේවය වන ( සී. අයි. ඒ.) එනම් මධ්‍යම බුද්ධි ආයතනය අනතුරු අඟවා තිබුණි. 1986 දී සී. අයි. ඒ. සංවිධානයට අනුබද්ධව පිහිටුවනු ලැබූ ත්‍රස්ත විරෝධී මධස්ථානය ( සී.ටී.සී.)  විසින් 1998  දෙසැම්බර් මාසයේ දී හිටපු ජනාධිපති බිල්ක් ක්ලින්ටන් මහතා දැනුවත් කරමින් සඳහන් කරනු ලැබුවේ, " අල්ඛයිදා  සංවිධානය ගුවන් යානා පැහැර ගනිමින්, ඇමෙරිකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බවයි."  

එසේම  2001 අප්‍රේල් මාසයේදී , තලේබාන් සංවිධානයට එරෙහිව කටයුතු කළ අහමඩ් මසූඩ්, යුරෝපානු පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, අල් ඛයිදා  සංවිධානය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ප්‍රභල ප්‍රහාරයකට සූදානම් වන බවයි. මසූඩ්, සැප්තැම්බර් 11 ප්‍රහාරයට දින දෙකකට පෙරා මරා දමනු ලැබීය.  එසේම 2001 වසර පුරාම, සී. අයි. ඒ. සංවිධානය සැප්තැම්බර් 11 ප්‍රහාරය ගැන ජනාධිපති ජෝර්ජ් බුෂ් සහ එවකට රාජ්‍යය ලේකම් ( ඇය බුෂ්ගේ ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ උපදෙශිකාවද වූවාය.) ලෙස කටයුතු කළ කොන්ඩෝලීසා රයිස් ඇතුළු  ප්‍රධාන පුද්ගලයින් හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබීය. නමුත්, ප්‍රහාරය සැලසුම් කළ පරිදිම සිදුවිය. ප්‍රහාරයෙන් පසු පැවති පරීක්ෂණ වලදී රයිස් සඳහන් කරනු ලැබුවේ එවැනි ප්‍රභල ප්‍රහාරයක් වන බවක් නොසුතු බවය. 

මෙරටදී සිදු වූ බොහෝ ත්‍රස්තවාදී ප්‍රහාරවල ස්වභාවයද ඊට සමානය. රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඝාතකයා ඔහු සමග වසර ගණනාවක් ජීවත් වූ අයෙක් විය. මේ ආදී වශයෙන්  ගෙන හැර දැක්විය හැකි නිදසුන් රාශියකි. 
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සමබන්ධයෙන්, බුද්ධි අංශ වාර්තා, දේශපාලනඥයින්ගේ නොසැලකිල්ල, ආදීය ගැන මාධ්‍යය ඔස්සේ සිදුවන විවේචන ගැන කල්පනා කොට බැලීමේදී පෙනී යන ප්‍රධාන කාරණයක් වන්නේ, අදාළ ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කරන ආලපාළු විවේචන සහ බුද්ධි අංශවල නිලධාරීන් ඒවායේ ගොදුරු බවට පත්කර  ගැනීමය. ඒ ඔස්සේ ඔවුන්ගේ අනන්‍යයතාවයන් හෙළිදරව් කිරීම සහ ඔවුහුට තම රැකියාව ගැන කණස්සල්ල ඇතිකරවීම මෙරට දක්නට ලැබෙන කනගාටුදායක ප්‍රවණතා වලින් එකක් වේ. 

ඊටම සරිලන ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන මතයන් ප්‍රකාශ කිරීම සඳහා  කුමන්ත්‍රණ න්‍යායචාර්යවාදීන් ( කොන්ස්පිරසි තියරිස්ට්ස්) රාශියක් බිහි වී සිටිති. එය මෙවැනි සිදු වීම් වලදී ලෝකය පුරාම දක්නට ලැබෙන ප්‍රවණතාවයකි. 

කෙටි කාලීන තෘප්තියක් ලබා ගැනීම උදෙසා සිදුකරනු ලබන මෙවැනි විවේචන, සෑම විටම දිගුකාලීන සැලසුම් ඇති සතුරාට තම ඉලක්ක ලබා ගැනීම සඳහා ඉතාම පහසු වේ. මේ නිසා යම් කිසි නිලධාරියෙකුට එරෙහිව පහර ගැසීමේදී එම නිලධාරියාගේ පැත්තෙන් ගැටලුව දෙස බැලීම සහ තම විවේචනය ඔස්සේ සිදුවන දිගුකාලීන හානිය ගැන අවධානය යොමු කිරීම වැදගත් වේ. එය ඕනෑම අයෙකු අභිමුඛව ඇති මූලික වගකීම වේ. 


1986 දී සී. අයි. ඒ. සංවිධානයට අනුබද්ධව පිහිටුවනු ලැබූ ත්‍රස්ත විරෝධී මධස්ථානය ( සී.ටී.සී.)  විසින් 1998  දෙසැම්බර් මාසයේ දී හිටපු ජනාධිපති බිල්ක් ක්ලින්ටන් මහතා දැනුවත් කරමින් සඳහන් කරනු ලැබුවේ, " අල්ඛයිදා  සංවිධානය ගුවන් යානා පැහැර ගනිමින්, ඇමෙරිකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බවයි."  
බෝම්බයක් පිපිරීමෙන් විපතට පත්වන ජනතාව ගැන වර්තාවක් ලබා ගැනීමට ගිය පමණින් යමෙකුට ආරක්ෂක කටයුතු පිළිබඳ විශේෂඥයෙකු විය නොහැකිය. එම විෂයය ඉතාම ප්‍රවේශමෙන් හැදෑරිය යුතු සංකීර්ණ විෂයකි. එසේම, යම් කිසිවෙකුගේ පෞද්ගලික අමනාපකම් පිරිමසා ගැනීම සඳහා ලබාදෙන තොරතුරු වල ඇති සිත් ඇදගන්නා සුළු ස්වභාවය නිසා එය පුවතක් ලෙස ප්‍රසිද්ධ කළ නොහැකිය. ජනමාධ්‍යය සතු මූලික වගකීම එයයි.  පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන බුද්ධි අංශ සම්බන්ධයෙන් එල්ල වන විවේචන කිසිඳු යපතකට හේතු නොවන්නේ මේ නිසාය. 

මෙරට බුද්ධි අංශ වලට ඇති ගැටලුව කුමක්ද? දේශපාලන අතපෙවීම අනවශ්‍යය ලෙස තිබීම ප්‍රධාන හේතුවක් ලෙස බොහෝ දෙනෙකු දකිති. එය බොරුවක් නොවේ. නමුත්, එය ප්‍රධාන කාරණයේ අනුවක් ලෙස මම දකින්නෙමි. 

ප්‍රධාන ගැටලුව වන්නේ, බුද්ධි අංශ සතුව පැවතිය යුතු සාමූහික එකඟතා සහ වගකීම් වලින් බැඳී සිටීම වෙනුවට එය තනි වී සිටීමයි. එසේම, බුද්ධි තොරතුරක් ලැබුණු පසු එය සාධනීය ලෙස විමසීමට ලක් කිරීමට සහ විශ්ලේෂණය කිරීම එතරම් සැලකිල්ලකින් කිරීමට තරම් රාජ්‍යය සම්පත් තිබේද යන්න ගැටලුවකි. 

බාසාවන් දන්නා අයවලුන්ගේ හිඟය, විටින් විට වෙනස් වන ආණ්ඩු හේතුවෙන් ස්ථීර රාජ්‍යය ප්‍රතිපත්තියක් නොමැති කම, මූල්‍යම දුර්වලතාවයන්, තාක්ෂණික දැනුම සහ සම්පත්වල හීනතාවය, ආදී දෑ ඉතාම ඉහළ  මට්ටමිකින් පවතී. එවැනි මට්ටමක තිබියදීද, ලෝකයේ රුදුරුම ත්‍රස්තවාදීන් යැයි පිළිගත් කණඩායමක් සමඟ සටන් කොට අතුගා දැමීමට අවශ්‍යය තොරතුරු මෙරට බුද්ධි අංශ විසින් ලබා දෙනු ලැබීය. 

පාස්කු ඉරිදා ප්‍රහාරය ඔස්සේ මේ දක්වා මෙරට බුද්ධි අංශ විසින් දුටු සීමවාන් කඩා බිඳ දමා එය කටයුතු කළයුතු පරාසය පුලුල්කොට තිබේ. වැදගත් වන්නේ එහි පරාමිතීන් හඳුනා ගැනීම සහ මතු වී ඇති අභියෝග ජයග්‍රහණය කර ගැනීම සඳහා අවශ්‍යය වටපිටාව සකස් කිරීමය.  පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන තම පෞද්ගලික අදහස හුවමාරු කර ගනිමින් එක්තරා ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ  නිලධාරියෙකු මෙම ලේඛකයා සමග සඳහන් කරනු ලැබුවේ, “ අයිසිස් යන්නෙහි තේරුම් කුමක්ද යන්න රටේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ඇසුවහොත් කී දෙනෙකුට පිළිතුරු දිය හැකිද, යන්න තමන්ට සැක සහිත බවය.” ඊට හේතුව මෙහි සේවය කරන අයවලුන්ට දැනුම නැති කම නොව, ඔවුහු කටයුතු කළ යුතු පරාසයන් සීමා කොට තිබීමය. 

මූලධර්මවාදී මිනිස් බෝම්බ 


අප මහුණ දෙමින් සිටින සංකීර්ණ තත්වය අප සිතනාවට වඩා සංකීරණ බව ගෙවී ගිය වසර කිහිපය දෙස බැලීමේදී දක්නට ලැබේ. ජනාධිපති සිරිසේන මහතාට තම ප්‍රධාන අමාත්‍යධූරය වන ආරක්ෂක  අමාත්‍යංශයේ සේවය කිරීම සඳහා ලේකම්වරයෙකු පත් කර ගැනීම ඉතාම දුෂ්කර කාර්යයක් විය. අදාළ ධූරයට පත් වූ බොහෝ දෙනෙකුට තනතුරේ ඇති වගකීම් වලට වඩා, එහි ඇති උෂ්ණය වැදගත් විය. මේ නිසා  බොහෝ පරිපාලන කටයුතු ඉතාම දුර්වල තත්වයට පත්විය. රටේ බුද්ධි අංශ වලට කටයුතු කිරීමට සිදු වූයේ එවැනි දුෂ්කර තත්වයක් හමුවේය. එවැනි තත්වයකදී බුද්ධි අංශ ප්‍රධානියාව බිල්ලට දී ලේකම් හේමසිරි ප්‍රන්නාදු  හමුවේ වගකීමක් නැතැයි සඳහන් කිරීම හිතළුවකි. 

වසර හතරක් වැනි කෙටි කාලයක් තුළ ආරක්ෂක අමාත්‍යංශයට ලේකම්වරුන් පස් දෙනෙකු පත් කිරීමට සිදුවිය. හිටපු යුදහමුදාපතිවරයෙකු වන වත්මන් ආරක්ෂක ලේකම්වරයා හිත හොඳ පුද්ගලයෙකු වුවද ඔහුට වත්මන් ප්‍රවණතාවයන් වලට අනුව ක්‍රමෝපායන් සකස් කිරීමට හැකිද යන්න ගැටලුවකි. භූමියට වඩා මුහුදක් ඇති රටක ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ධූරයට වඩාත්ම ඔබින්නේ නාවික දැනුමක් සහ පුද්ගලගරුත්වය රැකගත් නිලධාරියෙකි.  

එවැනි නිලධාරියෙකුට අනෙකුත් ආයතන මෙන්ම රටේ බුද්ධි අංශයද මනාව කළමනාකරණය කළ හැකිය. මෙරට බුද්ධි අංශ ඉතාම දක්‍ෂ නිලධාරීන්ගෙන් සමන්විත ආයතනයක් බව තම කටයුතු වලින් ඔප්පු කොට ඇත. විටින් විට ආයතන වල අවාසනාවට මෙන් පහල වන අසමත් නිලධාරීන් සහ මෙහෙයුම් කරුවන් සුළු පිරිසක් හැරෙන්නට මෙහි සෙවය කළ සහ කරන බොහෝ දෙනෙකු ඉතාම දක්ෂ නිලධාරීන්ය. එය, කොටි සංවිධානයට එරෙහි යුද්ධයේදීත්, 80 දශකයේ අග බාගයේ සිට මෙරට ව්‍යාප්ත වූ වහබිවාදය සහ තවුහීඩ් ජමාත් වැනි  මූලධර්මවාදීන් ගැනත්  ඉතාම  මැනවින් තොරතුරු සොයා ගැනීමට සහ අනාගත අනතුරු ගැන ඉතාම නිවැරදි අනාවැකි  ඉදිරිපත් කිරීමටත් සමත් විය. නමුත්, එම බරපතළ කරුණු ගැන දැඩි සැලකිල්ලක් දැක්වීමට බොහෝ දෙනෙකු අසමත් විය. එය බුද්ධි අංශවල වරදක් නොවේ. පාස්කු ඉරිදා ප්‍රහාරය කාලාන්තරයක් තිස්සේ ඉතාම ප්‍රවේශමෙන් සිදුකරනු ලැබූ ක්‍රියාවලියක එක් මූලික භයානක  පියවරක් පමණි.  

80 දශකයේදී ඇෆ්ඝනිස්ථානය සහ වත්මන් ඉන්දුනිසීයාව මෙම කාරණය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා ලබා දෙන වැදගත් උදාහරණ දෙකකි. 70 දශකය වන විට ඇෆ්ඝනිසතානය ඉතාම සරල සමාජ රටාවකට හිමිකම් කියනු ලැබූ සහ මානව නිදහසට ගරු කරනු ලැබූ රාජ්‍යයකි. නමුත් සෝවියට් දේශය 1979 දී එරට ආක්‍රමණය කිරීමෙන් පසු, ඊට මුහුණ දීම සඳහා කල්ලි බිහිවූහ. ඔවුහු මුජහිදීන් ලෙස නම් කරනු ලැබීය. ඊට මූල්‍යමය ආධාර ලබාදෙනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදයය. 

මුජහීදීන් යනු අල්ලාගේ නාමයෙන් අවි ආයුධ අතට ගන්නා  මුස්ලිම්වරුන් යන්නය.  සටන් වලදී සෝවියට් සෙබළුන් 15000 කගේ පමණ ජීවිත අහිමු වූ අතර 75000 ක් පමණ මුජහිදීන් පිරිසක් මරණය පත් වූහ. අවසානයේදී සොයට් දේශය පරාජයට පත් වූ අතර මුජහිදීන්ගේ නව සතුරා බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත් විය. එය 80 දශකයේ සිදු වූ ඉතාම බරපතල බලපෑමක් ඇති කරනු ලැබූ සමාජ කාරණයකි. විදෙස් අධිරාජ්‍යවාදී බලපෑමෙන් පසු  ආසියානු මහාද්වීපයේ භූදේශපාලනය වෙනස් වීමේ මූලික හැරවුම් ලක්ෂය එය යැයි හැඳින්විය හැකිය.  ඉන් පසු විවිධ මුහුණුවරින් ඉස්ලාමීය අන්තවාදය ව්‍යාප්ත වීම ආරම්භ විය. බග්ධාධි ගේ නායකත්වය යටතේ 2014 දී ආරම්භ වන අසිසිස් මෙහි තවත් එක් දිගුවක් පමණි. 

මීට මූලික පදනම සකස් කළ ඉගැන්වීම ප්‍රවාහයක් ලෙස වහබිවාදය නිර්මාණය විය.  නූතන මුස්ලිම් රාජ්‍යයක් ලෙස ඉතාම සාර්ථකව ගමන් කළ ඉන්දුනීසියාව ක්‍රමයෙන් මෙම වහබිවාදයට නතු වෙමින් තිබේ.  පාස්කු ඉරිදා ප්‍රහාරය තුළ ඇති ගැඹුරට විහිදී ගිය විද්‍යාව මෙයයි. මෙය ගැඹුරෙන් හැදෑරීම ඉතාම වැදගත් වේ.  

කෙසේ වෙතත් ඉරිදා පාස්කු ප්‍රහාරයෙන් පසු, ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් අභියෝග වලට වඩා වෙනස් අන්දමේ අභියෝගයක් රට තුළ නිර්මාණය වී තිබේ. මෙය සමස්ථ ජන සමාජය හමුවේ නිර්මාණය වී ඇති ප්‍රභල අභියෝගයකි. එසේම මෙය තනිව මුහුණ දිය හැකි කාරණයක් නොවේ. කොටි සංවිධානය විසින් නඩත්තු කරනු ලැබූ මිනිස් බෝම්බ වලට වඩා හාත්පසින්ම වෙනස්  පරිසරයක නිර්මාණය කරන මිනිස් බෝම්බ මෙහිදී නිර්මාණය කොට භාවිතා කරනු ලබයි. ප්‍රභාකරන්, එකම ගැලවුම්කරුවා ලෙස විශ්වාස කරමින් තම ජීවිතය පුපුරුවා ගත් කළු කොටින් හෝ ජපාන අධිරාජ්‍යයා තමන්ගේ ගැලවුම්කාරයා ලෙස විශ්වාස කරමින් තම ජීවිතය නසා ගත් කැමිකාසි යුදබටයින්ගෙන් මොවුහු වෙනස් වන්නේ මේ නිසාය. 

මූලික ඉස්ලාමීය ඉගැන්වීම් වලින් ඉවත් වී, දෙවියන් ඍජුව තමන් සමග ගනුදෙනු කරන බව මෙම ඉස්ලාමීය මූලධර්මවාදීන් පිළිගනිති. මෙම අන්තවාදය තුළ ඇති පිළිගැනීමේ අනෙක් කෙලවර ඇත්තේ ගැඹුරට විහිදී ගිය විශ්වාසයකි. එම විශ්වාසය සෑම මොහොතකම ගනුදෙනු කරන්නේ තමන්ට භෞතිකව අත්විඳීමට නොහැකි තම මරණයෙන් පසු නියත වශයෙන්ම ලැබෙන්නේ යැයි විශ්වාස කරන සාධකයක් සමඟය. මෙහි ඇති ප්‍රභල මානසිකකාරණය මෙයයි. එය පිස්සුවක් ලෙස හෝ අර්ථ ශූන්‍යය දෙයක් ලෙස විස්තර කොට ඊට අපහාස-උපහාස කිරීමට ඕනෑම අයෙකුට හැකිය. නමුත් එය මෙම ප්‍රභල සමාජ කාරණය විසඳීම සඳහා ප්‍රමාණවත් වන්නේ නැත. එසේම මෙහි ඇති විශ්වීය බව සහ සංකීරණ බව මනා සිහියෙන් හැදෑරිය යුතු කාරණයකි. මීට පිළිතුරු සොයා ගැනීමට හැකි වන්නේ මෙහි ගොදුරු බවට පත් වී සිටින මුස්ලිම් ප්‍රජාව සමග එකතු වී ඔවුහු මේ සඳහා නිවැරදිව භාවිතා කිරීමෙනි. 

ශ්‍රී ලංකාව තවත් ඉන්දුනිසියාවක් කරන්නේද? නැතහොත් ඇෆ්ගනිස්තානයක් කරන්නයේද? එසේත් නොමැතිව ඉන්දීය සාගරයේ මුතු ඇටය ලෙස රකිමින් රටේ ජනතාව එකමුතු වී පවතින ගැටලු විසඳා ගන්නේද? යන්න අප හමුවේ ඇති මූලික අභියෝගයයි. මෙවැනි තත්වයන් විවිධ වාසි තකා භාවිතා කිරීමට අරදින බොර දිය මාළු බාන්නන්ගෙන් රාජ්‍යය සහ ජනතාව බේරා ගැනීම ඉතාම වැදගත් ජාතික මෙහෙවර වේ. එය මෙම ගැටලුව විසඳීම සඳහා ඇති පළමු පියවර වේ.

‘සුළඟ අප රැගෙන යාවි’ මාර්තු මස සිට මෙරට සිනමාහල් වලදී

ලාංකීය සිනමාවේදී නුවන් ජයතිලකගේ කුළුඳුල් සිනමාපටය වන ‘‘සුළඟ අප රැගෙන යාවි‘‘ එළඹෙන මාර්තු මස සිට තිරගතවීමට සියල්ල සුදානම්. අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලවල් හීදි සම්මාන රැසක් ලැබූ මෙම සිනමාපටය යුරෝපීය සිනමා වෙළඳපලටද තෝරාගෙන තිබීම විශේෂත්වයකි.

යුරෝපීය ළමා චිත්‍රපට සංගමයේ මූලිකත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන මෙහි සිංහල සිනමාපටයක් තෝරා ගෙන ඇත්තේ ප්‍රථම වතාවටයි. ‘‘සුළඟ අප රැගෙන යාවි‘‘ මෙහි අධ්‍යක්ෂවරයා, නිෂ්පාදකවරිය, සංගීතඥයා සහ කැමරා අධ්‍යක්ෂවරයාගේ කුළුඳුල් සිනමාපටය ද වේ. දින 16ක් තුළ නිර්මාණය කර ඇති මෙම සිනමාපටයේ සියලු ශබ්ද දර්ශන තලයේදීම පටිගත කර තිබීම ද විශේෂත්වයකි. ‘‘සුළඟ අප රැගෙන යාවි‘‘ නරඹන්න සූදානමින් ඉන්න

‘ගින්නෙන් උපන් සීතල’ ගැන ලයනල් බෝපගේගෙන් ගාමිණී මුතුකුමාරණට පිළිතුරක් (1)



– ලයනල් බෝපගේ –


‘ගින්නෙන් උපන් සීතල’ – කලාව සහ දේශපාලන යථාර්ථය යනුවෙන් මා ලියන ලද ලිපිය සම්බන්ධයෙන් ගාමිණි මුතුකුමාරණ සහෝදරයා ගින්නෙන් උපන් සීතල ගැන බෝපගේ සහෝදරයාට පිළිතුරක් නමැති ලිපියෙන් වැදගත් ප්‍රශ්න ගණනාවක් මතු කර තිබේ. මේ සංවාදයට කරන දායකත්වය පිළිබඳව ගාමිණී සහෝදරයාට පළමුවෙන් මම ස්තුතිවන්ත වෙමි.


මේ පිළිතුර ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ කලා කුසලතාවයන් පිළිබඳව නොවේ. ඒ චිත්‍රපටය තුළ ඇතැම් ඓතිහාසික සිද්ධීන් නිවැරැදි ලෙස නිරූපනය කිරීමට හැකි වීම හෝ නොහැකි වීම කලා නිර්මාණයක් ලෙස එම කෘතිය අගය කිරීමට බාධාවක් නොවිය යුතු බවට ගාමිණී සහෝදරයා ඉදිරිපත් කරන අදහස අප දෙදෙනාට ම පොදු වන හැඟීමකි. කෙසේ වුවත් චිත්‍රපටය පිළිබඳව කරනු ලබන කලාත්මක පමණක්ම වූ විචාරයකින් ඔබ්බට ගමන් කිරීමට අපට සිදුවේ. එසේ වන්නේ රෝහණ විජේවීර සහෝදරයාගේ චරිතය සහ කැපවීම අදේශපාලනික ලෙස සාකච්ඡා කළ හැකි මාතෘකාවක් නොවන හෙයිනි; ඔහුගේ නායකත්වයෙන් පණ පෙවුන ව්‍යාපාරය සහ ඔහුගේ චරියාව පිළිබඳව සාකච්ඡා නොකර සිටීම ඔහුටත් ඔහු බලාපොරොත්තු වූ අවසාන අරමුණට පමණක් නොව රටේ ජනතාව හා අනාගතය වෙතත් කරන අසාධාරණයක් වන හෙයිනි.


ඇත්ත වශයෙන්ම අපේ සාකච්ඡාවේ පදනම වන්නේත්, පදනම විය යුත්තේත් රෝහණ සහෝදරයා අප්‍රසාදයට ලක් කිරීම, ඔහුට අවලාද නැඟීම හෝ 1971 අප්‍රේල් නැඟිටීම පසුබිම් කොට ගෙන ගොඩ නැඟී තිබෙන නොයෙක් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අපහසුතාවයට පත් කිරීම නොවේ. අප්‍රේල් නැඟිටීමෙන් අප නිසි අත්දැකීම් හා පාඩම් උකහා ගෙන තිබුනේ නම් සමාජයට 1988-89 අරගලයේ අභාවවාචක අත්දැකීම් අත් විඳින්නට තිබුණ ඉඩකඩ බොහෝ අඩු විය හැකිව තිබුණු බව මගේ දැඩි විශ්වාසය යි.


1983 මැද කාලය වන විට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලෙස මා ගාමිණි මුතුකුමාරණ සහෝදරයා දැන සිටියේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ආසනයේ පක්ෂයේ කටයුතු කළ පූර්ණ කාලීන ක්‍රියාකාරිකයෙකු වශයෙනි. එයින් පසු අප දෙදෙනා කිසි දිනක හමුවී නැත. ගාමිණි සහෝදරයාට අනුව

1.යථාර්තය සිනමාපටයක් තුළ තත්වාකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරීම සියයට සියයක් සිදු කළ නොහැකිවාක් මෙන්ම ඒ සිදුවීම්වලට සාධාරණය ඉටු කිරීමද ඒ හා සමාන ලෙසම දුෂ්කර ය

2. රෝහණ සහෝදරයාගේ ජීවමාන චරිතයට අදාළ වන සමාජ දේශපාලනික වපසරියන් තත්වාකාරයෙන් කලා නිර්මාණයකට ගොනු කිරීම දැඩි පරිස්සමෙන් කළ යුතු දුෂ්කර කටයුත්තක් වෙයි සහ

3.චිත්‍රපටයේ නිරූපණය කෙරෙන විවිධ චරිත පිළිබඳව විමසා බැලීම හා අධ්‍යයනය කිරීම මේ සඳහා අවශ්‍ය වෙයි.


චිත්‍රපටයෙන් ඉදිරිපත් කරනු ලබන “ඓතිහාසික දේශපාලන තත්වයන්ට සාධාරණය ඉටු නොවීම” පිළිබඳව සරල කරුණු කිහිපයකට මගේ මුල් ලිපිය සීමා කොට තිබුනේ සැබවින්ම ඒ සංකීර්ණතාවයන් හේතුවෙනි.


චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේදී එහි තාක්ෂණික ගැට‍ළු විසඳා ගැනීමට ඉදිරිපත් වීමට පෙර ජය ගත යුතු බාධාවන් ගණනාවක් තිබේ. තිර රචනයේ දී මූර්ත යථාර්තය නිරූපනය කල හැක්කේ එහි නිර්මාණය උදෙසා තොරතුරු ලබා දෙන ආයතන හෝ පුද්ගලයන් සපයා දෙන මූලාශ්‍රවලට ආවේණික වන සීමාවන්ට අනුකූලව පමණකි. චිත්‍රපටයේ නිර්මාණයට අවශ්‍ය නන් වැදෑරුම් චරිතවල සුල මුල හා ස්වභාවය ගැන කරන අධ්‍යයනයන් බොහෝ දුරට පාදක වන්නේ ඒ මූලාශ්‍ර මත පමණකි. ඉන් පසුව, චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා මුදල් සම්පාදනය කර ගත යුතු වෙයි. චිත්‍රපටය නිෂ්පාදනය කිරීමෙහි ලා මූල්‍ය සම්පාදනය කරන ආයතනයේ හෝ පුද්ගලයාගේ මතවාදීමය, දේශපාලනමය සහ සංස්කෘතිකමය ලැදියාවන් සහ ඕනෑ එපා කම් වලට අනුව බොහෝ විට යම් යම් සීමාවන්ට මුහුණ දෙන්නට හෝ ස්වයංමය වාරන පනවා ගන්නට සිදු වෙනු ඇත

ගාමිණි සහෝදරයා තවදුරටත් මෙසේ පවසයි: “චිත්‍රපටයට පරිබාහිර ව ව්‍යාපාරයේ දේශපාලන අරමුණු මත යම් ව්‍යාජයක් හෝ වැරදි පුවත් නිර්මාණය කරමින් ඒ කාල වකවානුවේ දේශපාලන තත්වයන්ට හා චරිතයන්ට හානියක් පමුණු වන්නේ නම් එවකට ඒ සම්බන්ධයෙන් අත්දැකීම් ඇති පිරිස්” ඊට එරෙහි විය යුතුය. චිත්‍රපටය පිළිබඳව අදහස් දක්වන මා “විජේවීර සහෝදරයා සම්බන්ධයෙන් අතුරු කතාවක් මෙන්ම බරපතළ මත භේදයන්ට තුඩු දෙන විවේචනාත්මක මතයක්” ඉදිරිපත් කර තිබෙන බව ඔහු කියා සිටියි.
ඔහු අදහස් කරන ඒ මතය නම්

1.රෝහණ සහෝදරයා යටි බිම් දේශපාලනයට යාම ඔහුගේ ම තීරණයක් මත සිදු කරන ලද්දක් බවත්

2. ඔහු යටි බිම් ගත වෙන්නට පිටත්ව ගියේ පක්ෂය තහනම් කලාට පසුව නොව ඊට පෙර, කළු ජූලි විනාශය ආරම්භ කල දිනය වූ ජූලි 25 වන දාම බවත්

3. 1983 ජූලි විනාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට කිසිදු සම්බන්ධයක් නොපැවති හෙයින් ජවිපෙ විවෘත දේශපාලනය තුල ප්‍රතිචාර දක්වමින් රජය නඟා තිබූ දේශපාලන හා සාපරාධී චෝදනා ප්‍රබල ලෙස ප්‍රතික්ෂේප කළ යුතුව තිබුණු බවත් යන්නය.

මගේ අදහස වූයේ මෙම චිත්‍රපටය කලා කෘතියක් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන දිශානතිය හා වැඩ පිළිවෙල 1983 සිට වෙනස් වූ ආකාරය තත්වාකාරයෙන් එලි දැක්වූයේ නම් එයින් ලංකාවේ සමාජ සංවර්ධනයට වැදගත් අත් දැකීමක් ලබා දෙන අතර සාධනීය දායකත්වයක් ද කළ හැකිව තිබුන බව යි. පක්ෂය ඒ කාලය තුල අති දක්ෂිණාංශික ස්ථාවරයක් දක්වා දෝලනය වීමට බලපෑ හේතු සාධක කිසිදාක නිසි ලෙස විග්‍රහ කොට නැත. මගේ විවේචනය චිත්‍රපටයේ කලාත්මක කුසලතාවයන් ගැන නොව, සිදු වූ දේ පිළිබඳව සෘජු ලෙස කරුණු ඉදිරිපත් කරන්නට පවතින දේශපාලන ප්‍රපංචයන් සතු වගකීම පිළිබඳව කරන ලද්දකි.


ගාමිණී සහෝදරයාට අනුව: “මෙකී කාරණා ගෙන හැර දැක්වීම මගින්” මා “දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉතිහාසයට බරපතළ අසාධාරණයක්” කර තිබේ. විජේවීර සහෝදරයා ඔහුගේ ම තීරණයක් මත පසු බැස්සේය යි පැවසීම සපුරා ම වැරදි සහගත බව ඔහු කියයි. “පසුබැසීමට ගත් තීරණය විජේවීර සහෝදරයා තනිව ඔහුගේ හිතුමනාපය පරිදි ගත් තීරණයක් නොව, පක්ෂයේ පාලක ලේකම් සුමිත් සහෝදරයා විසින් හදිසි තත්වය යටතේ ගෙන තිබූ තීරණයක්” බවත් “රෝහණ සහෝදරයා ඇතුළු ප්‍රචාරක තලයේ සිටි අනෙකුත් සහෝදරවරුන් ද ආරක්ෂක හේතු මත කොළඹින් පිටතට යැවීමට සුමිත් සහෝදරයා කටයුතු කොට” තිබුණ බවත් ගාමිණී සහෝදරයා වැඩිදුරටත් කියයි.


මෙම ස්ථාවරය සනාථ කරන්නට රෝහණ සහෝදරයා කොළඹ සිට තංගල්ලට පළමුවෙන් පැමිණ ඒ රාත්‍රියේ ම තිස්සමහාරාමයටත් පසු දින උදෑසන කතරගමටත් ආ බව ඔහු දක්වා සිටියි. එදින දවල් කාලය කතරගම හේනක ගත කළ රෝහණ සහෝදරයා රෑ බෝ වෙද්දී ආරක්ෂාව පතා සහෝදරවරුන් පිරිසක් සමග කැලයට පිටත්ව ගියේය. සෝමරත්න කළුආරච්චි සහෝදරයා සහ මා අත් අඩංගුවට ගෙන ඇති බව ඔවුන්ට කැලයට ඇතුල් වන්නට පෙර දැන ගන්නට ලැබුණේය.


මා සතු තොරතුරුවලට අනුව, රෝහණ සහෝදරයා ඇතුළු කණ්ඩායම පළමුව තංගල්ලට පැමිණ එදා රෑම තිස්සමහාරාමේ ප්‍රේමසිරි සහෝදරයාගේ නිවසට ගොස් ඇත. දින කිහිපයක් ම ඔහුගේ නිවසේ කල් ගත කිරීමෙන් පසු ඔවුහු හම්බෙගමුව කැලයට පසු බැස ඇත. සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ සහෝදරයා දක්වා ඇති පරිදි කොහිලවත්තේ ශක්ති මුද්‍රණාලයේ නන්දතිලක ගලප්පත්ති සහෝදරයාගේ ඉල්ලීම අනුව ඔහු විල්ලෝරාවත්තේ ශ්‍රීමතී සහෝදරියගේ නිවසට කැබ් රථයකින් ගොස් ජාතිවාදී කෝලාහලය පටන් ගත් දවසේ ම රෝහණ සහෝදරයාත් ශ්‍රීමතී සහෝදරියත් දරුවනුත් තවත් කිහිප දෙනෙකුත් තංගල්ලට ගෙන ගොස් ඇත. ශ්‍රීමතී සහෝදරියත් දරුවනුත් විජිත රණවීර සහෝදරයාගේ නිවසට හැර ලූ සේපාල සහෝදරයා සෙසු කණ්ඩායම ප්‍රේමසිරි සහෝදරයාගේ නිවසට රැගෙන ගියේය. ගාමිණී සහෝදරයා වැල්ලවායේ සිට පැමිණ මේ කණ්ඩායමට එකතු වී ඇත්තේ කණ්ඩායම කැලයට පසු බැස්සාට පසුවයි.
ගාමිණි සහෝදරයා තවදුරටත් මෙසේ පවසයි: “චිත්‍රපටයට පරිබාහිර ව ව්‍යාපාරයේ දේශපාලන අරමුණු මත යම් ව්‍යාජයක් හෝ වැරදි පුවත් නිර්මාණය කරමින් ඒ කාල වකවානුවේ දේශපාලන තත්වයන්ට හා චරිතයන්ට හානියක් පමුණු වන්නේ නම් එවකට ඒ සම්බන්ධයෙන් අත්දැකීම් ඇති පිරිස්” ඊට එරෙහි විය යුතුය. චිත්‍රපටය පිළිබඳව අදහස් දක්වන මා “විජේවීර සහෝදරයා සම්බන්ධයෙන් අතුරු කතාවක් මෙන්ම බරපතළ මත භේදයන්ට තුඩු දෙන විවේචනාත්මක මතයක්” ඉදිරිපත් කර තිබෙන බව ඔහු කියා සිටියි.
ඔහු අදහස් කරන ඒ මතය නම්

1.රෝහණ සහෝදරයා යටි බිම් දේශපාලනයට යාම ඔහුගේ ම තීරණයක් මත සිදු කරන ලද්දක් බවත්

2. ඔහු යටි බිම් ගත වෙන්නට පිටත්ව ගියේ පක්ෂය තහනම් කලාට පසුව නොව ඊට පෙර, කළු ජූලි විනාශය ආරම්භ කල දිනය වූ ජූලි 25 වන දාම බවත්

3. 1983 ජූලි විනාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට කිසිදු සම්බන්ධයක් නොපැවති හෙයින් ජවිපෙ විවෘත දේශපාලනය තුල ප්‍රතිචාර දක්වමින් රජය නඟා තිබූ දේශපාලන හා සාපරාධී චෝදනා ප්‍රබල ලෙස ප්‍රතික්ෂේප කළ යුතුව තිබුණු බවත් යන්නය.

මගේ අදහස වූයේ මෙම චිත්‍රපටය කලා කෘතියක් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන දිශානතිය හා වැඩ පිළිවෙල 1983 සිට වෙනස් වූ ආකාරය තත්වාකාරයෙන් එලි දැක්වූයේ නම් එයින් ලංකාවේ සමාජ සංවර්ධනයට වැදගත් අත් දැකීමක් ලබා දෙන අතර සාධනීය දායකත්වයක් ද කළ හැකිව තිබුන බව යි. පක්ෂය ඒ කාලය තුල අති දක්ෂිණාංශික ස්ථාවරයක් දක්වා දෝලනය වීමට බලපෑ හේතු සාධක කිසිදාක නිසි ලෙස විග්‍රහ කොට නැත. මගේ විවේචනය චිත්‍රපටයේ කලාත්මක කුසලතාවයන් ගැන නොව, සිදු වූ දේ පිළිබඳව සෘජු ලෙස කරුණු ඉදිරිපත් කරන්නට පවතින දේශපාලන ප්‍රපංචයන් සතු වගකීම පිළිබඳව කරන ලද්දකි.


ගාමිණී සහෝදරයාට අනුව: “මෙකී කාරණා ගෙන හැර දැක්වීම මගින්” මා “දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉතිහාසයට බරපතළ අසාධාරණයක්” කර තිබේ. විජේවීර සහෝදරයා ඔහුගේ ම තීරණයක් මත පසු බැස්සේය යි පැවසීම සපුරා ම වැරදි සහගත බව ඔහු කියයි. “පසුබැසීමට ගත් තීරණය විජේවීර සහෝදරයා තනිව ඔහුගේ හිතුමනාපය පරිදි ගත් තීරණයක් නොව, පක්ෂයේ පාලක ලේකම් සුමිත් සහෝදරයා විසින් හදිසි තත්වය යටතේ ගෙන තිබූ තීරණයක්” බවත් “රෝහණ සහෝදරයා ඇතුළු ප්‍රචාරක තලයේ සිටි අනෙකුත් සහෝදරවරුන් ද ආරක්ෂක හේතු මත කොළඹින් පිටතට යැවීමට සුමිත් සහෝදරයා කටයුතු කොට” තිබුණ බවත් ගාමිණී සහෝදරයා වැඩිදුරටත් කියයි.


මෙම ස්ථාවරය සනාථ කරන්නට රෝහණ සහෝදරයා කොළඹ සිට තංගල්ලට පළමුවෙන් පැමිණ ඒ රාත්‍රියේ ම තිස්සමහාරාමයටත් පසු දින උදෑසන කතරගමටත් ආ බව ඔහු දක්වා සිටියි. එදින දවල් කාලය කතරගම හේනක ගත කළ රෝහණ සහෝදරයා රෑ බෝ වෙද්දී ආරක්ෂාව පතා සහෝදරවරුන් පිරිසක් සමග කැලයට පිටත්ව ගියේය. සෝමරත්න කළුආරච්චි සහෝදරයා සහ මා අත් අඩංගුවට ගෙන ඇති බව ඔවුන්ට කැලයට ඇතුල් වන්නට පෙර දැන ගන්නට ලැබුණේය.


මා සතු තොරතුරුවලට අනුව, රෝහණ සහෝදරයා ඇතුළු කණ්ඩායම පළමුව තංගල්ලට පැමිණ එදා රෑම තිස්සමහාරාමේ ප්‍රේමසිරි සහෝදරයාගේ නිවසට ගොස් ඇත. දින කිහිපයක් ම ඔහුගේ නිවසේ කල් ගත කිරීමෙන් පසු ඔවුහු හම්බෙගමුව කැලයට පසු බැස ඇත. සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ සහෝදරයා දක්වා ඇති පරිදි කොහිලවත්තේ ශක්ති මුද්‍රණාලයේ නන්දතිලක ගලප්පත්ති සහෝදරයාගේ ඉල්ලීම අනුව ඔහු විල්ලෝරාවත්තේ ශ්‍රීමතී සහෝදරියගේ නිවසට කැබ් රථයකින් ගොස් ජාතිවාදී කෝලාහලය පටන් ගත් දවසේ ම රෝහණ සහෝදරයාත් ශ්‍රීමතී සහෝදරියත් දරුවනුත් තවත් කිහිප දෙනෙකුත් තංගල්ලට ගෙන ගොස් ඇත. ශ්‍රීමතී සහෝදරියත් දරුවනුත් විජිත රණවීර සහෝදරයාගේ නිවසට හැර ලූ සේපාල සහෝදරයා සෙසු කණ්ඩායම ප්‍රේමසිරි සහෝදරයාගේ නිවසට රැගෙන ගියේය. ගාමිණී සහෝදරයා වැල්ලවායේ සිට පැමිණ මේ කණ්ඩායමට එකතු වී ඇත්තේ කණ්ඩායම කැලයට පසු බැස්සාට පසුවයි.


යටි බිම් ගත වීමේ තීරණය රෝහණ සහෝදරයා තමන් විසින්ම ගන්නා ලද තීරණයක් නොවන බව තහවුරු කරන්නට ගාමිණි සහෝදරයා තවත් තර්කයක් ඉදිරිපත් කරයි. ඒ තර්කය නම් කැලයේ ගත කල පළමු සතියේම රෝහණ සහෝදරයාගෙන් පණිවිඩයක් බලාපොරොත්තුවෙන් සුමිත් සහෝදරයා තිස්සමහාරාමයේ ප්‍රේමසිරි සහෝදරයාගේ නිවසට පැමිණෙනු ඇතැයි රෝහණ සහෝදරයා දැන සිටි බව යි. රෝහණ සහෝදරයා සුමිත් සහෝදරයාට ලියූ ලිපියක් ප්‍රේමසිරි සහෝදරයාගේ නිවසට ගාමිණි සහෝදරයා ගෙන ගිය බවද ඔහු සඳහන් කරයි. මේ තත්වය අනුව මට සිතා ගත හැක්කේ ගාමිණී සහෝදරයා ප්‍රේමසිරි සහෝදරයාගේ නිවසේ ඒ ලිපිය තබා ආපසු කැලයට යන්නට ඇති බවයි. එහෙත් මා සතු තොරතුරුවලට අනුව ඒ කාල පරිච්ඡේදය තුල සුමිත් සහෝදරයා තිස්සමහාරාමේ ප්‍රේමසිරි සහෝදරයාගේ නිවසට හෝ රෝහණ සහෝදරයා හමු වන්නට හෝ ගොස් නැත.


කෙසේ වෙතත්, රෝහණ සහෝදරයා ඔහුගේ තීරණය පිළිබඳව සුමිත් සහ උපතිස්ස ගමනායක යන සහෝදරවරුන් සමඟ කතාබහ කරන්නට ඇතැයි යන්න මම කිසිසේත් ප්‍රතික්ෂේප නොකරමි. පක්ෂය තහනම් කිරීමෙන් දින දෙකකට පමණ පසු ආමර් වීදියේ කාර්යාලයට පැමිණි සෝමවංශ අමරසිංහ සහෝදරයා රෝහණ සහෝදරයා ඇතුළු පක්ෂයේ අනෙක් නායකයෝ යටි බිම් ගත වූ බව මට කියා සිටියේය. මගේ ආරක්ෂාව පතා ඔවුන් හා එක් වන්නට ඔහු සමඟ පැමිණෙන ලෙස ඔහු ඉල්ලීය. පක්ෂය සහ මා ජාතිවාදී කෝලාහල වලට කිසිදු ආකාරයකින් සම්බන්ධ නැතැයි යන ඉතා සරල හේතුව නිසාවෙන් මා සැඟවීමට යන්නට අදහස් නොකල බව අමරසිංහ සහෝදරයාට දැන්වූයෙමි. පක්ෂයක් වශයෙන් අප යටි බිම් ගත වූවොත් ආණ්ඩුවේ බොරු ප්‍රචාරක ව්‍යාපාරය රටේ ජනතාව අතර මුල් බැස ගන්නා හෙයින්, රජය ප්‍රචාරය කර ඇති බොරුත් සැබෑ තත්වයත් හෙළිදරව් කිරීම අපට අතිශයින් වැදගත් විය.


මධ්‍ය කමිටුව පක්ෂයේ ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙල පිළිබඳව තීරණය කොට ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ උපාය මාර්ගික තීන්දු ගනියි. දේශපාලන මණ්ඩලය හැම විටම මධ්‍ය කමිටුවේ තීරණ ක්‍රියාත්මක කරන අන්දම පිළිබඳව උපායික තීරණ ගනියි. එක දිනක දැන්වීමකින් දේශපාලන මණ්ඩලය රැස් කළ අවස්ථා විරල නොවීය. ජූලි 25 වන දා ද එසේ කරන්නට පක්ෂයට බාධාවක් නොවීය. තවද, පක්ෂයට පාලක ලේකම්වරයෙක් සිටියේ නැත; සිටියේ සංවිධායක ලේකම්වරයෙකි. ඒ සුමිත් අතුකෝරල සහෝදරයා යි. ඔහුගේ වගකීම වූයේ මධ්‍ය කමිටුව සහ දේශපාලන මණ්ඩලය විසින් ගන්නා ලද තීරණ ක්‍රියාවේ යොදනු ලබන බවට කටයුතු කිරීම, වග බලා ගැනීම සහ සහතික කිරීමයි.


සාමාන්‍ය පක්ෂ ක්‍රියා පටිපාටියට පිටින් ඒක-පාර්ශ්වික දේශපාලන තීන්දු ගැනීම රෝහණ සහෝදරයාට අසාමාන්‍ය ක්‍රියාවක් නොවීය. එවැනි එක් උදාහරණයක් වූයේ ප්‍රින්ස් ගුණසේකර සහෝදරයා සමඟ මෛත්‍රීපාල සේනානායක මහතාගේ නිවසේ කල සාකච්ඡාවක දී ශ්‍රීලනිප රැස්වීම් කඩාකප්පල් කරන්නට ගන්නා ලද තීරණය යි. එය පක්ෂයේ දේශපාලණ මණ්ඩලයේ දී සාකච්ඡා කෙරුණේ නැත. අවාසනාවන්ත ලෙස, ඒ තීරණය පක්ෂය වෙත රජයේ අනවශ්‍ය අවධානය යොමු කළේය.


“ජුලි මාසයේ මධ්‍යම කාරක සභාවේ දී ජාතික ප්‍රශ්නය සම්බන්ධ විවාදයෙන් අනතුරුව පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කර තිබීමේ පසුබිම තුළ” යටි බිම් ගත වීමට මට මානසික වශයෙන් දුෂ්කර වන්නට ඇතැයි ගාමිණී සහෝදරයා අනුමාන කරයි. ඇත්ත වශයෙන්ම, පක්ෂය තහනම් කිරීමෙන් පසුව ආමර් වීදියේ පක්ෂ කාර්යාලයේ රැඳී සිටීමේ දී පවා මට කිසිදු මානසික දුෂ්කරතාවයක් නොවීය. මා විවෘත තලයේ සිටින්නට තීරණය කොට තිබුනා පමණත් නොව ඒ තීරණය පක්ෂයට ද දැනුම් දුන්නෙමි.


සබැඳි පුවත්





පිලිපීනයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ දුතර්තේගේ ඇස් වසාදමා තිබෙන බව ජනපති සිරිසේන නොදනීද ?



- පී. කේ. බාලචන්ද්‍රන්  -  


ජනපති සිරිසේන දුතර්තේට කී කතා 

‘‘අපරාධවලට සහ මත්ද්‍රව්‍යවලට විරුද්ධව ඔබතුමා කරගෙන ගිය යුද්ධය ලෝකෙටම ආදර්ශයක්. පෞද්ගලිකව, මටත් ඒක ආදර්ශයක්. මේ මත්ද්‍රව්‍ය උවදුර මගේ රටෙත් හැම තැනම පැතිරිලා. ඒ උවදුර මැඩලන්න මං හිතනවා මාත් ඔබතුමාගේ අඩි පාරේ යන්න  ඕනේ කියලා.’’ පිලීපීනයේ සී.එන්.එන්. වාර්තාවකට අනුව, ජනාධිපති සිරිසේන ගිය සතියේ පිලිපීනයේ රාජ්‍ය නායක භෝජන සංග‍්‍රහයක් අතරවාරයේ එසේ කියා තිබේ. ඊට ප‍්‍රතිචාර දැක්වු පිලිපීන ජනාධිපති දුතර්තේ, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ තම සංග‍්‍රාමයේ කොටස්කරුවෙකු බවට ශ‍්‍රී ලංකාවට පත්විය හැකි බව පෙන්වා දී තිබේ.

අවසානයේදී නිකුත් කෙරුණු රටවල් දෙකේ රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රකාශනය තුළ එය මෙසේ සඳහන් විය: ‘‘අපරාධ සහ නීති විරෝධි මත්ද්‍රව්‍ය සමාජයට තර්ජනයක් බව දෙපාර්ශ්වයම පිළිගනී. එය මැඩලීම සඳහා දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමත්, ඊට අදාළ අත්දැකීම් සහ ක‍්‍රමෝපායයන් බෙදාහදා ගැනීමත් ගැන දෙපාර්ශ්වය එකඟත්වයකට පැමිණියහ.’’ 

දුතර්තේගේ ක‍්‍රම සහ විධි 

2016 දී දුතර්තේ පිලිපීනයේ ජනාධිපති පදවියට පත්වීමේ පටන් පිලිපීන පොලීසිය සහ රාජ්‍ය අනුග‍්‍රහය ලත් මැර කල්ලි මගින් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සහ භාවිතය පිළිබඳ සැකකරුවන් 5,000-12,000 ත් අතර ප‍්‍රමාණයක් ඝාතනය කොට තිබේ. මේ පිළිබඳ නිශ්චිත සංඛ්‍යාවක් දැනගත නොහැක්කේ, බොහෝ ඝාතන කෙරී ඇත්තේ නීතියට පිටින් සහ නිල නොවන මට්ටමෙන් වන බැවිනි. 
    
2016-2017 කාලයේ පිලිපීනයේ මත්ද්‍රව්‍ය උවදුර සත්තකින්ම බරපතල ප‍්‍රශ්නයක් විය. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 2016 ‘ජාතික මත්ද්‍රව්‍ය පාලන ක‍්‍රමෝපාය පිළිබඳ වාර්තාව’ පෙන්වා දෙන පරිදි, ‘ෂාබු’ නැමැති මත්ද්‍රව්‍ය භාවිතය එරටේ ප‍්‍රධාන ප‍්‍රශ්නය බවට පත්විය. මුළු නැගෙනහිර ආසියාවෙන් වැඩිම ‘ෂාබු’ භාවිතය ඇති රට වශයෙන් ‘එක්සත් ජාතීන්ගේ ලෝක මත්ද්‍රව්‍ය වාර්තාව’ දක්වා තිබුණේ පිලිපීනයයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ පොලිස් හා රාජ්‍ය නිළධාරීන්ගේ නම් හෙළිකළ දුතර්තේ 

පිලිපීනයේ කතෝලික අගරදගුරුවරුන්ගේ සම්මේලනය, රටේ මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්ත වීමත්, රජයේ ඉහළ නිලධාරීන්ට ඊට ඇති සම්බන්ධයත් පිළිබඳ සිය කණස්සල්ල පළ කොට විශේෂ ප‍්‍රකාශනයක් නිකුත් කොට ඇත. මේ අතර, එරටේ ප‍්‍රධාන පුවත්පතක් වන ‘ෆිලිපීන් ස්ටාර්’ මේ ප‍්‍රශ්නය ගැන මෙසේ සඳහන් කොට තිබුණි: ‘‘ජාවාරම්කාරයන්ගේ ආරක්ෂකයන් වන්නේ, නගරාධිපතිවරුන්ගේ සහ ආණ්ඩුකාරවරුන්ගේ රහස් සහයෝගය ලබන පොලිස් නිලධාරීන් බව සාමාන්‍ය ජනතාව අතර කසුකුසුවක් පවතින අතරේ ජනාධිපති රොඩ්‍රිගෝ දුතර්තේ පෙර නොවූ විරූ ලෙසින්, ඒවාට සම්බන්ධ ඉහළ පෙළේ පොලිස් සහ රාජ්‍ය නිලධාරීන්ගේ නම් හෙළි කෙළේය.’’

එරටේ මත්ද්‍රව්‍ය වෙළඳාමේ අගය පෙසෝ බිලියන 350-500 අතර වටිනාකමක් ගනී. එනම්, ඩොලර් බිලියන 66.3 ක් සහ 94.7 ක් අතර වටිනාකමකි. පිලීපින ජාතික පොලිස් වාර්තාව පෙන්වා දෙන පරිදි, එරටේ ප‍්‍රාදේශීය සභා වසම්වලින් සියයට 27 ක් මේ උවදුරට ගොදුරු වී ඇත. අගනගරය වන මැනිලා නුවර තත්වය ඊටත් බරපතල ය. රටේ මුළු ජනගහනය වන මිලියන 106 කින් මිලියන 4 කට ආසන්න ප‍්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව වාර්තා වෙයි. 

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ භාවිත කරන අය ඝාතනය කිරීමේ නිල අවසරය පොලීසියට දුන් දුතර්තේ 

‘ෂාබු’ වැනි මත්ද්‍රව්‍ය හොරෙන් ගෙනෙන්නේ චීනය, මියන්මාරය, ලාඕසය සහ උතුරු තායිලන්තයෙනි. දීර්ඝ වෙරළ තීරයක් ඇති පිලිපීනය, මත්ද්‍රව්‍ය සඳහා වන ජාත්‍යන්තර තිප්පොලක් බවට පත්ව ඇත. 

මේ උවදුර මැඩලීම සඳහා ජනාධිපති දුතර්තේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ඝාතනය කිරීමේ නිල අවසරය පොලීසියටත්, ඇතැම් සිවිල් කණ්ඩායම්වලටත් දුන්නේය. ‘ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්’ සංවිධානය පෙන්වා දෙන පරිදි, මේ ඝාතන සඳහා පොලීසියටත්, මිනිමරු කල්ලිවලටත් ආණ්ඩුවෙන් ගෙවනු ලැබේ. ‘‘අපිට මේ වැඩේට ගෙවනවා. පෙසෝ 8000 ක් (ඩොලර් 151) සහ පෙසෝ 15,000 ක් (ඩොලර් 284) අතර ප‍්‍රමාණයක් ගෙවනවා. ඒ කියන්නේ, එක ඝාතනයකට. ඒ විදිහට හතර දෙනෙක්ව මැරුවොත් පෙසෝ 32,000 ක් (ඩොලර් 606) ලැබෙනවා. අපිට ගෙවන්නේ කෑෂ්වලින්. හොරෙන්. මූලස්ථානෙන්. හැබැයි, අත්අඩංගුවට ගත්තොත් සතයක්වත් නැහැ. ඒක නිසා, එක් කෙනෙක්ව හරි මරනවාම තමයි.’’ මැනිලා නගරයේ එක් පොලිස් නිලධාරියෙකු ‘ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්’ සංවිධානයට එසේ ප‍්‍රකාශ කොට ඇත.

ඕනෑම වැටලීමකදී සැකකරුවන්ගෙන් 97 % ක් ඝාතනය වුණා 

තවත් වාර්තාවකට අනුව, ඕනෑම වටලෑමකදී, සැකකරුවන්ගෙන් සියයට 97 ක්ම ඝාතනය කෙරේ. මෙහිදී, දරුවන් ඇතුළු සිය ගණන් අහිංසකයෝ ද ඝාතනයට ලක්වෙති. එසේ ඝාතනයට ලක්වන්නන්ගෙන් බොහොමයක්, අහිංසකයන් නොවේ නම්, සිල්ලර වෙළෙන්දන් ය. මහ පරිමාණ ව්‍යාපාරිකයෝ පොලීසියෙන් ගැලවී යාමට වගබලා ගනිති.

දුතර්තේ ක්‍රියාකලාපය මානව හිමිකම් සංවිධාන වල දෝෂ දර්ශනයට 

දුතර්තේගේ මේ ක‍්‍රියාකලාපය එක දිගටම, පිලිපීන මානව හිමිකම් ක‍්‍රියාධරයන්, පිලිපීන මනෝ විද්‍යා සංගමය සහ මාධ්‍ය මගින් දැඩි විවේචනයට ලක්කොට තිබේ. එහෙත් ඒ හැම විටකම ජනාධිපතිවරයාගේ උත්තරය වන්නේ, තමාගේ ක‍්‍රමවේදය වැඩ කරන බවත්, ඊට ජනතා සහයෝගය ඇති බවත්, ඊට විරෝධය පාන්නන් ද ඝාතනයට සුදුසු බවත් ය. (එක් සමීක්ෂණයකට අනුව, මේ සඳහා සියයට 85 ක ජනතා සහාය ඔහුට තිබේ). එක් ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී මාධ්‍යවේදියෙකුට ප‍්‍රසිද්ධියේම ඔහු මෙසේ කීවේය: ‘‘තමා මාධ්‍යවේදියෙක් වුණා කියලා ඝාතනයට නුසුදුස්සෙක් කියලා හිතන්න එපා.’’ 

මේ තර්ජන කෙසේ වී නමුත්, දුතර්තේගේ මිනීමරු ක‍්‍රමෝපාය සාර්ථක වී නැති බව විවේචකයෝ පෙන්වා දෙති. දුතර්තේ නගරාධිපති වශයෙන් අවුරුදු 22 ක් පාලනය හෙබැවූ පිලිපීනයේ ඩාවෝ නැමැති නගරය එදා මෙන්ම අදත් පිලිපීනයේ අපරාධ කේන්ද්‍රය වශයෙන් පවතින බව ඔවුහූ ඔහුට විටින් විට මතක් කර දෙති. මේ විවේචකයන් ඔහුගෙන් අසන තවත් පැනයක් තිබේ. එනම්, ඔහුගේ ක‍්‍රියාමාර්ගය සාර්ථක වී ඇත්නම්, ‘ෂාබු’ ඇතුළු වෙනත් මත්ද්‍රව්‍යවල මිල ඉහළ නොගොස් එක දිගටම පහළ ගොස් ඇත්තේ මන්ද යන්නයි. 2016 දී ‘ෂාබු’ කිලෝවක මිල ඩොලර් 24 ක් වූ අතර 2017 වන විට එය ඩොලර් 20 දක්වා පහළ ගොස් තිබුණි. 

මත්ද්‍රව්‍ය ව්‍යාපාරය අපරාධයක් වශයෙන් සලකා කටයුතු කිරීමේදී, අනිත් පැත්තෙන්, වෙළඳාමත් භාවිතයත් යටිබිම්ගත ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. එසේ වන විට, සාර්ථකව එම උවදුර මැඩලීම තවත් අපහසු කෙරේ. වෙනත් වචනවලින් කිවහොත්, ඉස්සරට වඩා දැන් එය මැඩලීම දුෂ්කර තත්වයකට පත්ව ඇති බව ය. 

එසේම, මත්ද්‍රව්‍ය උවදුර දුතර්තේ විසින් අතිශයෝක්තියට නගන බවත් විවේචකයන්ගේ තවත් චෝදනාවකි. ‘ගාර්ඩියන්’ පුවත් පතේ වාර්තාවකට අනුව, පිලිපීනයේ මත්ද්‍රව්‍ය භාවිතයේ මට්ටම සියයට 2.3 ක් පමණ වන අතර, එය ලෝක මත්ද්‍රව්‍ය භාවිතයේ සාමාන්‍යයෙන් අඩකටත් අඩු ප‍්‍රමාණයක් බව ඔවුහු පෙන්වා දෙති. 

පිලිපීනයේ මනෝ විද්‍යා සංගමය පෙන්වා දෙන තවත් කාරණයක් තිබේ. එනම්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් තිරිසන් ලෙස මර්දනය කරනවා වෙනුවට ඔවුන් පුනරුත්ථාපනය කළ යුතු බවයි. ඒ ක‍්‍රමවේදය, තුන්වැනි ලෝකය ඇතුළු වෙනත් බොහෝ රටවල සාර්ථක වී ඇති බව ඔවුහූ පෙන්වා දෙති.

මනෝ වෛද්‍ය සේවයේ නියුතු විශේෂඥයන්ට අනුව, ‘අසාධ්‍ය මත්ද්‍රව්‍ය ඇබ්බැහිය’ යනුවෙන් දෙයක් නොමැත. විවිධ ආකාරයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස් සිටිති. ඔවුන් සියල්ලන් මත්ද්‍රව්‍ය සොඬුන් නොවේ. බොහෝ අය බාහිර ප‍්‍රතිකාර ක‍්‍රම මගින් සුවය ලබති. මත්ද්‍රව්‍ය ප‍්‍රශ්නයේ සැබෑ ස්වභාවය හඳුනා ගැනීම සම්බන්ධයෙන් ගත් විට පිලිපීනය සිටින්නේ බටහිර රටවලට වඩා අවුරුදු 30 ක් පමණ පසුපසිනි. පිලිපීනය තවමත් එය දකින්නේ, නීතිය හා සාමය පිළිබඳ ප‍්‍රශ්නයක් වශයෙන් පමණි. එය සෞඛ්‍ය ප‍්‍රශ්නයක් වශයෙන් සලකා නිසි ප‍්‍රතිකාර කිරීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කිරීම ඒ නිසා ඔවුන්ගෙන් මගහැරේ. 

අපි ප්‍රවේශම් විය යුතුව තිබේ  

මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමේ දුතර්තේගේ ක‍්‍රමය ගැන ජනාධිපති සිරිසේන පැහැදී ඇතත්, අපේ ප‍්‍රශ්නය විසඳීමට ඔවුන්ගේ උදව් ඔහු ඉල්ලා ඇතත්, දුතර්තේ මෙන් නීති විරෝධී ක‍්‍රම, විශේෂයෙන් ඔහුගේ ඝාතන ක‍්‍රම අපේ ජනාධිපතිවරයා පිළිනොගන්නා බවට සැකයක් නැත. ආණ්ඩුවේ ඉහළ පෙළේ ප‍්‍රකාශයෙකු කියන පරිදි, පිලිපීන පොලීසිය මත්ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කරන ක‍්‍රමවේද ගැන අපේ ආණ්ඩුව උනන්දුවක් දක්වයි. ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වන බවත්, ඉහළම අධිකරණයෙන් පනවනු ලබන මරණ දඬුවම පවා ක‍්‍රියාත්මක කිරීමට පසුබට වන තරමට අපේ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී වන බවත් එම ඉහළ නිලධාරියා පෙන්වා දුන්නේය.

දැනට මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට නියම වී සිටින අතරේ හිරගෙදර සිට නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුක්ත වන්නන්ගෙන් මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන බව ජනාධිපති සිරිසේන කියා ඇතත්, එවැන්නක් මෙතෙක් ක‍්‍රියාත්මක වී නැත.

තවද, මත්ද්‍රව්‍ය උවදුර ලංකාවේ ප‍්‍රධාන ප‍්‍රශ්නයක් නොවේ. මත්පැන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ඒකකයේ වාර්තාවන්ට අනුව, අපේ මිලියන 20 ක් වන ජනගහනයක් අතරේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සිටින්නේ 80,000 කි. එහෙත් පිලිපීනයේ මෙන්ම ලංකාවේත් මත්ද්‍රව්‍ය භාවිතය අපරාධයක් බවට පත්කොට තිබේ. ඒ නිසා, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් සහ වෙළෙන්දන්ගෙන් ලංකාවේ සිරගෙවල් පිරී තිබේ. පිලිපීනයේ මෙන්ම ලංකාවේත්, එවැනි පුද්ගලයන්ට ප‍්‍රතිකාර කිරීම සහ ඔවුන් පුනරුත්ථාපනය කිරීම සම්බන්ධයෙන් අප දක්වන උනන්දුව අල්ප ය.

දැනට පවතින, ප‍්‍රමාණවත් නොවන සහ කාර්යක්ෂම නොවන පුනරුත්ථාපන වැඩපිළිවෙල යටතේ පවා, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් සියයට 70-80 අතර ප‍්‍රමාණයක් යළි සාමාන්‍ය ජීවිතවලට හුරු කැරැුවීමට මේ වන විට හැකියාව ලැබී තිබේ. ඒ නිසා මේ ප‍්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන්, වඩාත් පුළුල් ප‍්‍රවේශයක් ඇති කර ගත යුතුව තිබේ. එහිදී, ඇබ්බැහි වූවන්ගේ සමාජ කණ්ඩායම්, ඔවුන්ගේ පවුල් සාමාජිකයන් සහ ඔවුන්ගේ පරිසරය ආදී සියලූ කරුණු, පුනරුත්ථාපන වැඩ පිළිවෙලක අත්‍යාවශ්‍ය සාධක වශයෙන් සැලකිල්ලට ගෙන කටයුතු කළ යුතුව තිබේ.



ඉර හඳ ඇල්ලීම


"ඉර හඳ ඇල්ලුවත් මොකටද?"

"අපි හදන්නෙ ඉර හඳ අල්ලන්න නෙමෙයි!"

ඔය වගෙ කතා ලංකාවේ මිනිස්සුන්ගේ කටින් නිතරම පිට වෙනවා. මේ කතා වලින් කියැවෙන්නේ ඉර හඳ අල්ලනවා වගේ ලොකු වැඩ නොකළාට කරන්න ඊට වඩා වැදගත් වැඩ තිබෙන බවයි.

පසුගිය සියවසේ තුන්වන කාර්තුව අභ්‍යාවකාශ තරණය හා අදාළ ගොඩක් දේවල් සිදුවුණු කාලයක්. ඒ කාලයේ ඉර හඳ අල්ලන්න උත්සාහ කළ රටවල් අතර ඉදිරියෙන්ම සිටියේ සෝවියට් දේශය හා ඇමරිකාවයි.

වෙනත් හැම දෙයක්ම වගේ රජය මූලිකව කළ සෝවියට් දේශය අභ්‍යවකාශ තරණය වෙනුවෙන් විශාල ප්‍රමුඛතාවයක් දෙමින්, සැලකිය යුතු තරමින් සම්පත් වැය කර ඔවුන්ගේ එම ආයෝජන වල ප්‍රතිඵල නෙලා ගනිමින් පසුගිය සියවසේ මැද හරියේදී අභ්‍යවකාශ තරණයේ ප්‍රමුඛයා වෙන්න සමත් වුණා. ගොඩක් දේවල් රජයේ මැදිහත්වීමකින් තොරව සිදුවන ඇමරිකාවේ එවැනි දැවැන්ත කටයුත්තකට අත ගැසිය හැකි පෞද්ගලික ආයෝජකයින් සිටියේ නැහැ. එවැනි ආයෝජනයකින් ලැබිය හැකි අවදානමට සරිලන ලාබ පෙනෙන්නට නොතිබීම එයට හේතුවයි.

සෝවියට් දේශය විසින් 1957 ඔක්තෝබර් 4 වෙනිදා මුල් වරට සාර්ථක ලෙස කෘතීම චන්ද්‍රිකාවක් (ස්පුට්නික් 1) ගුවන්ගත කළා. ඒ එක්කම ඇමරිකානු ෆෙඩරල් රජයට ජාතික වැදගත්කමක් ඇති කටයුත්තක් ලෙස අභ්‍යවකාශ තරණය ගැන හිතන්න අවශ්‍ය වාතාවරණය හැදුනා. 1958 ඔක්තෝබරයේදී නාසා ආයතනය බිහිවුනේ ඒ අනුවයි. නාසා ආයතනය පිහිටුවීමෙන් පසුව ඉලක්ක කළ පළමු ව්‍යාපෘතිය වූයේ අභ්‍යවකාශයට මිනිසෙකු යැවීමයි.


නාසා ආයතනය විසින් 1960 අප්‍රේල් 26 දින අභ්‍යවකාශයට ඇමරිකානුවෙකු යැවීමට මුලින්ම සැලසුම් කර තිබුණත් අවශ්‍ය සියළු කටයුතු සැලසුම් කළ පරිදිම සිදු නොවූ නිසා මේ කටයුත්ත 1961 මැයි 5 දක්වා කල් ගියා. ඊට තෙසතිකට පෙර 1961 අප්‍රේල් 12 වෙනිදා රුසියානුවෙකු වූ යූරි ගගාරින් මුල් වරට අභ්‍යවකාශයට ගියා.

අභ්‍යාවකාශයට ගිය පළමු මිනිසා වූ ගගාරින්ට ලොව වටෙන්ම ලොකු පිළිගැනීමක් ලැබුණා. 1961 දෙසැම්බරයේදී ඔහු ලංකාවටත් ආවා. ඒ සංචාරයේදී ගගාරින් විසින් සිටවූ ගස් ලංකාවේ ගොඩක් තැන් වල දැනටත් තිබෙනවා ඇති කියා හිතනවා. 

මුල් වරට අභ්‍යාවකාශයට ඇමරිකානුවෙකු යවන්න නොහැකි වුවත්, මුල් වරට ඇමරිකානුවෙකු හඳට යවන්න නාසා ආයතනයට හැකි වුනා. ඒ 1969 ජූලි 21 වෙනිදා. ඇපලෝ ව්‍යාපෘතිය යටතේ, 1969, 1971 හා 1972 වසර වලදී ගමන් හයකදී ඇමරිකානුවන් 12 දෙනෙකු හඳට ගොඩ බැස්සා. ඒ හැර වෙනත් කිසිවෙකු මෙතෙක් හඳට අඩිය තබා නැහැ. මිනිසෙකු අවසන් වරට හඳට ගොඩ බැස්සේ 1972 දෙසැම්බරයේදී. කෙසේ වුවත්, ඒ කාලයේදීම සෝවියට් දේශය විසින් මිනිසුන් රහිත යානා ගණනාවක් හඳට යැවුවා.

ඇමරිකාව විසින් මිනිසුන් හඳට යැවීම මූලික වශයෙන්ම ඇමරිකන් රජයේ දේශපාලන ව්‍යාපෘතියක්. එහි ඉලක්කය වුණේ කෙසේ හෝ සෝවියට් දේශයට වඩා ඉස්සර වීමයි. එය නොකළානම් හඳ සෝවියට් දේශයේ භුක්තියට සින්න වෙලා යයි කියා බයක් හිතෙන්න ඇති. ඒ හැර එහි වෙනත් ආර්ථික වාසි තිබුණේ නැහැ. ඒ නිසා ඉලක්කය පස්සේ පන්නා ජය ගැනීමෙන් පසුව ඇමරිකාව පැත්තෙන් අභ්‍යවකාශ තරණයට වූ උනන්දුව දිය වෙලා ගියා. අනිත් පැත්තෙන් සෝවියට් දේශයත් වැඩේ අත ඇරලා දැම්මා. ඊට පස්සේ දශක ගාණක්ම ඉර හඳ අල්ලන වැඩේ පැත්තකට විසි වෙලයි තිබුණේ.

දැන් නැවතත් අභ්‍යාවකාශ තරණය ගැන උනන්දුව අලුත් වී තිබෙනවා. ඉර අල්ලන්න ඇමරිකාවෙන් යවපු පාකර් ප්‍රෝබ් එක කලින් කවදාවත් ගිහින් නොතිබුණු තරම් ඉරට කිට්ටු වෙද්දී, අභ්‍යාවකාශ තරඟයට අළුතෙන් එකතු වී සිටින චීනය මුල් වරට හඳේ නොපෙනෙන පැත්තට යානයක් යවා තියෙනවා. මෙය සිදුවන්නේ චන්අ නැත්නම් චන්ද්‍ර දෙවඟන ව්‍යාපෘතිය යටතේ සිදුවන සිවුවන මෙහෙයුම ලෙසයි.

මෙතෙක් කල් හඳේ නොපෙනෙන පැත්තට යානයක් යවනු ලැබ නොතිබුණේ එය තාක්ෂණිකව වඩා අසීරු කටයුත්තක් නිසයි. හඳ තමන් වටා භ්‍රමණය වන අක්ෂය ආසන්න වශයෙන් හඳ පොළොව වටා යන පථයට ලම්බකව පිහිටා තිබෙන නිසා හැම විටම පොළොව පැත්තට හැරී තිබෙන්නේ හඳේ එක අර්ධයක් පමණයි. ඒ නිසා හඳේ පොළොවෙන් විරුද්ධ පැත්තේ තිබෙන කොටසේ සිට පොළොව සමඟ සෘජුව සන්නිවේදනය කිරීමේ හැකියාවක් නැහැ. චීනය මේ අභියෝගය ජයගෙන තිබෙන්නේ හඳ මත ගොඩ බස්වපු යානය හා පොළොවේ පාලන මධ්‍යස්ථානය යන දෙකම "දැකිය හැකි" පරිදි හඳේ කක්ෂයේ ස්ථානගත කර තිබෙන "පොල්කිචි පාලම" චන්ද්‍රිකාව වෙත මුලින්ම සන්නිවේදන සංඥා යොමු කර එතැනින් ගමනාන්තය වෙත යොමු කිරීම මගිනුයි. මේ චන්ද්‍රිකාව කලින්ම ස්ථානගත කරනු ලැබුවා.

චන්අ-4 යානය ඇතුළේ කපු ඇටයක් පැල කරවන්නත් චීනය සමත් වුනා. මේ හඳේ පැලයක් පැල වුනු පළමු අවස්ථාව. කොහොම වුනත් ඒ පැලයට ආයුෂ තිබුණේ දවස් කිහිපයක් පමණයි. හඳේ දවසක් පොළොවේ දවස් 27ක් පමණ වන නිසා හඳට රෑ වන තුරු පැලයට දවස් ගානක්ම අවශ්‍ය උෂ්ණත්වය ලැබුණත් හඳට රෑ වෙද්දී එන අධික ශීතලෙන් බේරෙන්න විදිහක් නොතිබුණු නිසා දවස් කීපයකට කලින් ඒ කපු පැලේ මිය ගිහින්. 

අභ්‍යාවකාශ තරණයේ යෙදෙන හැම රටක්ම වගේ එය කරන්නේ තමන්ගේ රටේ ජාතික කටයුත්තක් ලෙස සලකලයි. ඒ නිසා, වෙනත් ක්ෂේත්‍රවල තරමට මේ ක්ෂේත්‍රයේ දැනුම රටකින් රටකට කාන්දු වෙන්නේ නැහැ. කිසියම් රටක් අභ්‍යවකාශ තරණයෙන් ඉදිරියට එනවා කියන්නේ ඒ රටේ තාක්ෂණ දැනුම පිළිබඳ සංඥාවක්.

චීනය වගේම අසල්වැසි ඉන්දියාවත් අභ්‍යවකාශ තාක්ෂනය අතින් වේගයෙන් ඉදිරියට යමින් සිටිනවා. ඉන්දියාවේ "ඒක් ටොයිලට් ප්‍රේම් කතා" සුලභ වීම එයට බාධාවක් වී නැහැ. ඉදිරි දශකයක කාලය තුළ මේ ක්ෂේත්‍රයේ ගොඩක් දේවල් වෙයි කියා හිතන්න පුළුවන්. නුදුරු අනාගතයේ දවසක ඉර හඳ අල්ලන්න ආසාවක් ඇති වුනු කෙනෙක් හඳට ගියොත් දවල් කෑමට චීන කෑම කන්න ලැබෙයිද ඉන්දියන් කෑම කන්න ලැබෙයිද කියා දැන්ම කියන්න අමාරුයි.

ඉකොන්මැට්ටාගේ බොජුන් හලෙන් උපුටා ගන්නා ලදී 

සිරිසේනව පැත්තකින් තියා, විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරන ක‍්‍රමයක් සොයා ගැනීම

2019 ජනවාරි 5 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ Leaving Sirirsena Alone & Finding a Way to Change the Executive Presidency නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි 


රාජන් පිලිප්ස්  


2019 වසරේ දේවල්වල එක්තරා දෝරේ ගලන ගතියක් තිබේ. දෝෂාභියෝගය, දෝෂාරෝපණය හෝ ඉල්ලා අස්වීමට බල කිරීම වැනි, 2018 දී මෛත‍්‍රීපාල සිරිසේන දිගට හරහට කළ ව්‍යවස්ථා උල්ලංඝණයන් සම්බන්ධයෙන් ඔහු ඉලක්ක කෙරෙන කාරණා බහුල ය. ඒ  ඕනෑම එකකට හෝ ඒ සියල්ලටම ඔහු අත්‍යන්තයෙන් සුදුස්සෙකි. එහෙත් ප‍්‍රශ්නය වන්නේ, ඒ කියන  ඕනෑම දෙයක් සඳහා ගත යුතුව ඇති ප‍්‍රයත්නයන් සහ මහන්සිය තරමට ඔහු වටින්නේ ද යන්නයි. දෝෂාභියෝගයක් ගෙන ඒමෙන් හෝ ඉල්ලා අස්වීමට ඔහුට බල කිරීමෙන් සමහර විට ඔහු ධුරයෙන් ඉවත් කිරීමට පිළිවන් කම තිබේ. එහෙත් සිරිසේන යගදාවක් කර ගත් විධායක ජනාධිපති ක‍්‍රමය එතැනම තිබෙනු ඇත. එබැවින් තව වසරකින් කොහොමත් ඉවරයක් වීමට නියමිත සිරිසේන නැමැති පුද්ගලයා වෙනුවෙන් කාලය නාස්ති කර ගන්නවාට වඩා, විධායක ජනාධිපති නැමැති තනතුර රැුඩිකල් වෙනසකට ලක්කිරීම සඳහා මහන්සි වීම වඩා වැදගත් ය. ඉතා සරළව කිවහොත්: සිරිසේනට පාඩුවේ ඉන්න දෙන්න, විධායක ජනාධිපති ක‍්‍රමය ඉලක්ක කරගන්න.

කතානායක කරු ජයසූරිය සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 

මේ පුද්ගලයා ඉලක්ක කරගෙන කටයුතු කිරීම පාර්ලිමේන්තුව තුළ භේදකාරී තත්වයක් ඇති කිරීමට ඉඩ තිබේ. ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක සහ සජිත් පේ‍්‍රමදාස වැනි දේශපාලඥයන් අතරේ ඇතැයි පෙනෙන රහස්‍ය හිතවත් කම් ඒ තත්වයට තවත් තුඩුදෙනු ඇත. ඒ නිසා අවශ්‍ය කරන තුනෙන් දෙකේ බලයක් පාර්ලිමේන්තුවෙන් සොයා ගැනීමත් පහසු වෙන එකක් නැත. ඒ වෙනුවට, විධායක ජනාධිපති ක‍්‍රමය නැමැති ආයතනය ඉලක්ක කර ගැනීම සඳහා ප‍්‍රමාණවත් සහයෝගයක් සොයා ගැනීම අපහසු නැත. එයම, පසුව පැවැත්වෙන ජනමත විචාරණයකටත් අත්වැලක් සපයනු ඇත. විධායක ජනාධිපති ක‍්‍රමය ‘අහෝසි’ කිරීමට විරුද්ධ වීමට මෛත‍්‍රීපාල සිරිසේනට වුව පහසු නැත. මන්ද යත්, බලයට පත්වීමට මත්තෙන් මෙන්ම බලයට පත්වීමෙන් පසුවත්, තමා ලංකාවේ අවසාන විධායක ජනාධිපතිවරයා වන බව ඔහු කියා ඇති බැවිනි. 

කතානායකවරයාගේ ගිනි පුපුර

මෑතකදී මේ තනතුරට පහර දුන් ප‍්‍රධාන චරිතය වුණේ කතානායක කරූ ජයසූරියයි. වාර්තාගත ඔහුගේ ප‍්‍රකාශයකට අනුව, 2019 වසරේ අපේ ඉෂ්ටාර්ථය කර ගත යුත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි. ඒ සඳහා කලක් තිස්සේ පැවති පරණ ව්‍යාපාරය ඔහුගේ එම ප‍්‍රකාශය මගින් නැවත අවුළුවන ලද බවක් පෙනේ. කරූ ජයසූරියගේ මේ කැපවීම, කාරණා කිහිපයක් නිසා ලංකාවේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ වෙනස සඳහා බලපෑම් කළ හැකිය. මුලින්ම, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ඒ තනි අභිලාෂය ඉදිරියට ගෙන යාමට එතුමන්ගේ අපවත් වීමෙන් පසු කරූ ජයසූරිය එක දිගටම කැප වී තිබේ. සිරිසේන-රාජපක්ෂ කුමන්ත‍්‍රණයට එරෙහිව කතානායක වශයෙන් නැගී සිටීම හේතුවෙන්, සෝභිත හිමියන්ගේ ලෞකික ධජය ඉදිරියට ගෙන යාමට, කරූ ජයසූරිය තවදුරටත් සුදුස්සෙකු වී තිබේ. ඊළඟට, ඒ ක‍්‍රමය වෙනස් කිරීමේ අවසාන දිනයක් වෙනුවෙන් පෙනී සිටීමට ඔහු මේ මොහොතේ කැපව සිටී. එනම්, මේ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට කලින් එය ඉවරයක් කර ගත යුතු බවයි. ඒ නිශ්චිත කැපවීම, රනිල් වික‍්‍රමසිංහගේ බොල් සහ දියාරු ප‍්‍රතිඥාවන්ට වඩා අති විශිෂ්ට ය.

කරූ ජයසූරියගේ අලූත් වෑයම පහසු කරවන අවස්ථාවක් ජනතා විමුක්ති පෙරමුණේ 20 වැනි සංශෝධන යෝජනාවෙන් සැපයෙතත්, මේ තනතුර අහෝසි කිරීමේ ඉලක්කයට වඩාත් සාර්ථක නායකත්වයක් සැපයීමට එම පක්ෂයට වඩා කරූ ජයසූරියට හැකියාව ඇත්තේය. අවසාන වශයෙන් ගත් විට, එය අහෝසි කිරීමෙන් කරූ ජයසූරියට දේශපාලනිකව ලැබෙන විශේෂ පුද්ගල වාසියක් ද නැත. ඊටත් වඩා, පසුගිය ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය අවස්ථාවේ ඔහුගේ හැසිරීම ඊළඟ ජනාධිපති වීමට ගන්නා ප‍්‍රයත්නයක් සේ ගෙනහැර දක්වමින් ඔහුට විරුද්ධව ගෙන ගිය සාවද්‍ය සහ දුෂ්ට අවලාදයත්, ඔහුගේ මේ වර්තමාන ඉදිරිපත් වීමෙන් බොරුවක් බවට පත්කරවයි. සත්‍යය වන්නේ, ජනාධිපති ධුරයේ බලතල අපහරණය කරමින් සිරිසේන ජනාධිපතිවරයා එදා හැසිරුණු ආකාරය නිසා කරූ ජයසූරිය තුළ මේ ක‍්‍රමය සම්බන්ධයෙන් ඇති වූ අසීමිත කලකිරීම විය හැකිය.

‘අහෝසි කිරීම’ යන යෙදුම මේ වන විට ලංකාවේ විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳ කතිකාවේ නිත්‍ය භාවිතයට පත්ව ඇතත්, ජනාධිපති ක‍්‍රමය යනු එකහෙලා මුලිනුදුරා දැමිය හැකි දෙයක් නොවන බවත් අමතක කළ යුතු නැත. එසේම, 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව යටතේ පැවති නාමික රාජ්‍ය නායකයාගේ තත්වයට ආපසු යා හැකි තත්වයක් නැති බවත් දත යුතුය. කළ යුතුව ඇත්තේ, එදා 1972 ක‍්‍රමය තුළ පැවති ඒ ‘නාමමාත‍්‍ර නායකත්වය’ සහ වර්තමාන 1978 ව්‍යවස්ථාව යටතේ පවතින සර්වබලධාරී නායකත්වය අතර අලූත් ව්‍යවස්ථාමය ස්ථානයක් සොයා ගැනීමයි. 19 වැනි සංශෝධනය හරහා විධායක ජනාධිපති ක‍්‍රමයේ සෑහෙන පදාසයක් ඉවත් කොට ඇති මුත්, තවත් විසකුරු අඬුපඬු ඉතිරිව තිබේ. උදාහරණයක් වශයෙන්, මොහුව ජනතාවගේ සෘජු ඡුන්දයෙන් තෝරා පත්කර ගැනීම දැක්විය හැකිය.

එසේ රාජ්‍ය නායකයා සෘජු ඡුන්දයෙන් තෝරා පත්කර ගැනීම ඉවත් කොට, රාජ්‍ය නායකයාට සුදුසු අතරමැදි ව්‍යවස්ථාමය ස්ථානයක් පිළිබඳ අදහසක් ජනතා විමුක්ති පෙරමුණේ 20 වැනි සංශෝධන යෝජනාවේ අන්තර්ගත ය. මේ සම්බන්ධයෙන් ඉදිරියට යාමේදී, මේ විධායක ජනාධිපති ක‍්‍රමයට එරෙහි මතවාදය ඉතා ශක්තිමත්ව ගොනු කිරීමේ හැකියාව තිබේ. අවධානය යොමු විය යුත්තේ, 20 වැනි සංශෝධනය ආරම්භයක් වශයෙන් ගනිමින් මේ කාර්යය සාධනය කර ගන්නේ කෙසේද යන්නයි. කතාවට කියන්නා සේ, අවුන්සයක අත්දැකීම, න්‍යාය ටොන් එකකට වඩා වටනේය. දැන් මෛත‍්‍රීපාල සිරිසේනට පිංසිදු වන්නට ඒ පිළිබඳ ටොන් ගණනක පළපුරුද්දත් අපට තිබේ. කප්පරක් තර්ක විතර්කවලින් ඔප්පු කරනවාට වඩා, මෛත‍්‍රීපාල සිරිසේනගේ චර්යාව මගින් මේ විධායක ජනාධිපති ක‍්‍රමය දැන්වත් අහෝසි කිරීමේ අවශ්‍යතාව ඔප්පු කොට දී තිබේ.

එය සාධනය කර ගැනීම

එය සාධනය කර ගැනීම සඳහා වන ගමනේදී ඒ සඳහා පෙනී සිටින පාර්ශ්වයේම දේවල්වල නොපෑහීමක් දක්නට ලැබේ. අලූත් අවුරුද්දේ කරූ ජයසූරිය මේ සම්බන්ධයෙන් කළ සාධනීය ප‍්‍රකාශයත්, ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කොට ඇති 20 වැනි සංශෝධන යෝජනාවත් එසේ තිබියදී, රනිල් වික‍්‍රමසිංහ මෙවර නැවත බලයට පත්වීමෙන් පසු, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය’ නමින් අලූත් දේශපාලන සන්ධානයක් සඳහා වන මුට්ටියක් දමා තිබේ. මෙය, ව්‍යවස්ථා වෙනසක් ඇති කර ගැනීම සඳහ වන වාහකයක් ලූ. ඒ සඳහා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ද ඉල්ලා සිටිනු ලැබේ. මේ දක්වා ඒ කතාව ගිලින කෙනෙකු පේන්න නැත. අගමැතිවරයාගේ සහ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු සහායකයන් වශයෙන් සිටින දෙමළ ජාතික සන්ධානයත්, ජනතා විමුක්ති පෙරමුණත් එම යෝජනාව ප‍්‍රතික්ෂේප කොට තිබේ. ඒ පක්ෂ දෙකට තමන්ගේම වන වෙනම ව්‍යවස්ථා න්‍යාය පත‍්‍ර තිබිය හැකිය. 

අගමැතිවරයාගේ ‘ජාතික සන්ධාන කතාව’, කාලය පිළිබඳ ප‍්‍රශ්නයක් ද මතු කරවයි. අගමැතිවරයා හදන්නේ, ව්‍යවස්ථා සංශෝධන මාතෘකාව මෙවරත් මැතිවරණ පොරොන්දුවක් බවට පත්කොට, ඊළඟ පාර්ලිමේන්තුවට එය භාර කිරීමට ද? එසේ නම්, මේ දක්වා නිදිගතව තිබුණු ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව’ හදිසියේම යළි පටන්ගෙන, අගමැතිවරයා යටතේ පැවති ‘මෙහෙයුම් කමිටුව’ මගින් සකස් කරන ලද අලූත් ව්‍යවස්ථා කෙටුම්පතක් පිළිබඳ ලියවිල්ලක් සංවාදයට ලක්කිරීමට කටයුතු කරන්නේ කුමකට ද? යලට මහට ඉහළට ගෙනෙන ආණ්ඩුවේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කතාව දැන් නැවත වේදිකාවට පැමිණ තිබේ. 

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් කියන පරිදි, අලූත් ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ පසුගිය දෙසැම්බර් 7 වැනි දා ය. එහෙත් ඒ දිනවල සිරිසේනගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් එය කල්ගත වූ බවත්, දැන් පෙබරවාරි 4 වැනි දා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඔහු කියයි. එහෙත් ආණ්ඩුවේ ‘ඉහළ පෙළේ කෙනෙකු’ කියා ඇති පරිදි, මේ කෙටුම්පත ලබන සතියේ ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට’ ඉදිරිපත් කිරීමට නියමිතලූ.

දින වකවානු ගැන අවුලක් තිබුණත්, අලූත් ව්‍යවස්ථා කෙටුම්පතක් යම් ආකාරයකින් සූදානම්ව ඇති බවක් පෙනෙන්ට තිබේ. ඉන් පසුව ඇති විය හැකි තත්වය කුමක් ද? ඒ කෙටුම්පත සහ දැනටමත් ගැසට් කර ඇති සහ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විමර්ශනයට ලක්කොට ඇති ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වැනි සංශෝධන කෙටුම්පත අතර ඇති සම්බන්ධය කවරේද? අලූත් කෙටුම්පත තුළ, ‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන සහ පාර්ලිමේන්තුවේ සහ පළාත් සභාවල බලතල වැඩි කරන’ ප‍්‍රතිපාදන ඇතුළත් බව වාර්තා වෙයි. එහි අදහස වන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාවට උඩින් මෙය ඉදිරිපත් කොට, ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණයටත් යොමු කොට, සංශෝධන ක‍්‍රියාවලියක් හරහා ගෙන යා යුතු බවයි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා වන කතානායක කරූ ජයසූරියගේ මැදිහත්වීම, මේ අලූත් ව්‍යවස්ථා කෙටුම්පත තුළ ස්ථානගත වන්නේ කෙසේද? මට පෙනී ගොස් ඇති පරිදි, ජනතා විමුක්ති පෙරමුණේ 20 වැනි සංශෝධනය ගැනවත්, මේ කියන අලූත් ව්‍යවස්ථා කෙටුම්පත ගැනවත් සඳහනක් කතානායකවරයාගේ ප‍්‍රකාශයෙන් නොකියැවුණි. කතානායකවරයා තනියෙන් වෙනම ව්‍යවස්ථා ක‍්‍රියාවලියක් දියත් කරතැයි සිතිය නොහේ. කෙසේ වෙතත්, පෙනී යන විදිහට, මේ කාරණා අතර ප‍්‍රමාණවත් සම්බන්ධීකරණයක් ඇති බවක් නොපෙනේ. 

තවත් වැදගත් ප‍්‍රශ්න ගණනාවක් තිබේ. ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අගමැතිවරයා සහ ආණ්ඩුව සිටින තැන කුමක් ද? යෝජිත ප‍්‍රතිසංස්කරණ මාලාවේ වපසරිය කුමක් ද? ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡුන්දයක් ලබා ගත හැකි වේ ද? එසේ කිරීමට යන්නේ, මේ පාර්ලිමේන්තුව තුළ ද, නැත්නම් ඊළඟට බලයට පත්වෙන වෙනත් පාර්ලිමේන්තුවක් තුළ ද?

කරූ ජයසූරිය යෝජනා කරන පරිදි මේ ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළම එය අවසන් කර ගත යුතුය යන්න ඉතා වැදගත් ය. ඇත්තෙන්ම ඒ සඳහා වර්තමාන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබා ගැනීමත් දුෂ්කර විය නොහැක. එය ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනැවිත් ඉවත් කරනවාට වඩා පහසු ය. 

විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කර ගැනීම මේ වසරේම ඉවරයක් කර ගත යුතුව තිබේ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කරගෙන, ජනමත විචාරණයකිනුත් එය සම්මත කර ගැනීමට වසරක කාලයක් හොඳටම සෑහේ. එහෙත් එය සාර්ථක වීමට නම්, ඒ සමගම, සමානුපාතික ඡුන්ද ක‍්‍රමය සහ මනාප ඡුන්ද ක‍්‍රමයත් වෙනස් කර ගත යුතුව තිබේ. 2019 ව්‍යවස්ථා න්‍යාය පත‍්‍රය තුළ ගත යුතු එකම කාරණය එය වන අතර, රනිල් වික‍්‍රමසිංහ, කතානායකවරයා සමග ඊට සමනායකත්වය දිය යුතුව තිබේ.

   පුළුල් පරාසයක් නියෝජනය කරන සමස්ත ව්‍යවස්ථා වෙනසකට වඩා, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම වැනි, නිශ්චිත වූත් සීමිත වූත් කාරණයක් අරභයා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡුන්දයක් ලබා ගැනීම සඳහා යොමු වීම, මේ මොහොතේ පවතින තත්වය තුළ, වඩාත් ප‍්‍රායෝගික වන්නේය. වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරුන් සහ පක්ෂ නායකයන්ගෙන් කිසිවෙකු එවැනි සංශෝධනයක් නිසා අගතියට පත්වෙතැයි සිතිය නොහැක. ඔවුන් අතරින් මහින්ද රාජපක්ෂ, රනිල් වික‍්‍රමසිංහ සහ මෛත‍්‍රීපාල සිරිසේන වැන්නන්ට, පවතින තත්වයන් යටතේ, ඇත්තෙන්ම එයින් සුගතියක් ද අත්විය හැකිය.