The Most/Recent Articles

Showing posts with label තීරු ලිපි. Show all posts
Showing posts with label තීරු ලිපි. Show all posts

'අපිට අ‍පේ ඉරණම සම්පූර්ණයෙන්ම පිළිගන්නට බැහැ' - කසුවෝ ඉෂිගුරෝ

 



මතකයන්. ඔබේ වටිනාම මතකයන් පවා පුදුම සහගත ලෙස ඉක්මනින් මැකී යනවා. නමුත්, මම ඊට එකඟ වෙන්නේ නැහැ. මම වඩාත්ම අගය කරන මතකයන්, ඒවා කිසිදා මැකීයනු මට නොපෙනේ.’

(Never Let Me Go, කසුවෝ ඉෂිගුරෝ)

 


සිය හය වන නවකතාව වූ Never Let Me Go හරහා ජනාදරයට හා පසුකලෙක නොබෙල් සම්මානයට ද පාත්‍ර වුණු කසුවෝ ඉෂිගුරෝ (Kazuo Ishiguro), මේ නවකතාව රචනා කර 20 වසරක් සපිරෙන විටදී The Guardian සමග පිළිසඳරකට එක්වෙමින් පවසන්නේ,  

‘මා පාඨකයින්ගේ සංවේදනා උත්ප්‍රේරිත කිරීමට ඇති බලය ගැන වඩාත් සුපරික්ෂාකාරී වෙනවා.  මට නොබෙල් සම්මානය ප්‍රදානය කරපු අවස්ථාවේදී ඒ ගැන පැවසුවේ, ‘සංවේදනාත්මකව බලවත්’ වගේ වැකියකිනුයි. මගේ ලේඛන වෘත්තිය සාධාරණය කළේ එහෙමයි. මගෙන් ඉතිහාසය ගැන වැඩි යමක් ඉගෙන ගන්න ඔබට නොහැකි වේවි. ඒකට ඉතිහාසඥයෙන් ළඟට යන්න සිද්ධවෙනවා. කෙ‍ාහොම වුණත්, නවකතාකරුවෙකුට පුළුවන් චිත්තවේගීය මානය සපයන්නට. හොඳින් පර්යේෂණ කර ලේඛනගත කර ඇති නමුත්, ප්‍රබන්ධ ‍නොවන පොත්වල ‍නැති, යම් ආකාරයකට චිත්තවේගීය සත්‍යයක් අපි ඉදිරිපත් කරනවා’ යන්නයි.

Never Let Me Go පිළිබඳ ස්මරණය කරන ඉෂිගුරෝ පවසන්නේ, ‘අපිට අ‍පේ ඉරණම සම්පූර්ණයෙන්ම පිළිගන්නට නොහැකියි. අපි ජීවිතයේ විශේෂ කාලපරිච්ඡේද ගැන බලාපොරාත්තුවෙන් ඉන්නේ දිගටම ජීවත් වෙන්නට කැමති නිසා පමණක් නෙවෙයි. මරණය සමඟ එන දුක, වේදනාව හා තනිකමට මුහුණදීමේ වුවමනාවක් අපිට නැති නිසයි. ආදරණීයයන් අහිමිවීම ගැන වගේම වෙන්වෙන්නත් අපි බිය වෙනවා.  

මට ප්‍රංශසා ලැබී තිබෙන්නේ මගේ සුවිශේෂී ශෛලිය හෝ ප්‍රබන්ධ හරහා ‍‍‍ලෝකයේ විශාල අයුතුකම් අනාවරණය කළ නිසා නෙමෙයි. සාමාන්‍යයෙන්, මිනිසුන්ව හඬවන නිර්මාණ සිදුකිරීම වෙනුවෙනුයි. ඔවුන් ඒකට මට නොබෙල් ත්‍යාගයත් ලබාදුන්නා’යන්නයි.


The Guardian ඇසුරිනි




වින්ධ්‍යා ගම්ලත් 

සති පූජාව තහනම් කෙරුණේ මෙහෙමයි



- සුතික් බිස්වාස් - 

1829 දෙසැම්බරයේදී බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති ඉන්දියාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වූ විලියම් බෙන්ටින්ක් සාමිවරයා සති පූජාව තහනම් කළේය. පුර‍ාණ හින්දු චාරිත්‍රයක් වූ සති පූජාවේදී සිදුවූවේ වැන්දඹුවක් සිය සැමියාගේ අවමංගල්‍යට ශෝකය පළකරමින් සිරුරට ගිනි තබාගැනීමයි. එවකට, බෙංගාලයේ ආණ්ඩුකාර ජනරාල්වරයා වූ බෙන්ටින්ක්, ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් 49 දෙනෙකුගෙන් හා විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් අදහස් විමසා සිටි අතර, ‘බ්‍රිතාන්‍ය පාලනයේ අපිරිසිදු පැල්ලමක් සෝදා හැරීමට’ කාලය පැමිණ ඇති බව එහිදී ඔහු ඒත්තු ගැන්වූවේය.

ඔහුගේ රෙගුලාසියෙන් පෙන්වාදුන්නේ, ‘මෙය පිළිකුල් සහගත මිනිස් හැඟීමක්’ බවත් ‘නීති ‍විරෝධී හා දුෂ්ට’ මෙම සිරිතෙන් හින්දු ජාතිකයින් පවා කම්පනයට පත්කරන බවත්ය. හින්දු වැන්දඹුවක් පුළුස්සා දැමීමට ‘උදව් කිරීම හා අනුබලදීම’ සම්බන්ධව වරදකරුවන් වූ අය, ‘පූජාව ඇයගේ පාර්ශ්වයෙන් ස්වෛච්ඡාවෙන් සිදුකළත් නැතත්’ සාපරාධී මිනීමැරුම්වලට වැරදිකරුවන් වන බව රෙගුලාසියේ සඳහන් විය. වැන්දඹුවක් පණපිටින් පුළුස්සා දැමීමට සහාය වීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින්ට මරණ දඬුවම පැනවීමට අධිකරණයට බලය හිමිවිය.

සති පූජාවට එරෙහිව උද්ඝෝෂණය කළ ප්‍රමුඛ පෙළේ ඉන්දියානු ප්‍රතිසංස්කරණවාදීන් විසින් නිර්දේශ කරන ලද ක්‍රමානුකූල මුලිනුපුටා දැමීමේ ක්‍රමය‍ට වඩා බෙන්ටින්ක්ගේ නීතිය වඩාත් දැඩි විය.

ඕතඩොක්ස් භක්තිකයෝ බෙනඩික්ට පිටුපාමින් පෙත්සමක් ඉදිරිපත් කළහ. විද්වතුන් හා ශුද්ධ ලියවිලි පාඨ උපුටා දක්වමින්, සති පූජාව ‘ආගම යටතේ අනිවාර්ය රාජකාරියක්’ නොවන බවට ඔහුගේ නඩුවට අභියෝග කළ ද බෙනඩික්ට් නොසැලී සිටියේය. පෙත්සම්කරුවෝ බ්‍රිතාන්‍ය යටත්විජිතවල අවසාන විසඳුම වන ප්‍රිවි කවුන්සිලය වෙත ගියහ. 1832 දී කවුන්සිලය රෙගුලාසිය තහවුරු කළේ, සති ‘සමාජයට එරෙහි වරදක් බව’ පවසමිනි.

ඉන්දියාවේ කුලය පිළිබඳ නීතිමය ඉතිහාසය විමර්ශනය කරන Caste Pride කෘතියේ කතුවරයා වන මනෝජ් මිත්තා පෙන්වාදෙන්නේ, ‘1829 රෙගුලාසියේ අනපේක්ෂිත සටන්කාමීත්වය සමහර විට යටත්විජිත පාලනයේ වසර 190 පුරාවටම ඕතඩොක්ස් හැඟීම්වලට කිසිදු සහනයක් ලබානොදී සමාජ නීති සම්පාදනය කළ එකම අවස්ථාව විය හැකි බවයි’.  එසේම මිත්තා පෙන්වාදෙන්නේ, ‘ගාන්ධි විසින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව ප්‍රසිද්ධ සදාචාරමය පීඩනය යෙදවීමට බොහෝ කලකට පෙර, සති පූජාවට ආවේණික වූ කුලය හා ස්ත්‍රී පුරුෂ භේදය මැඩලීමට ද බෙනඩික්ට් කටයුතු කර ඇති බවයි. මෙම ස්ව‍දේශික චාරිත්‍රය අපරාධකරණය කිරීමෙන් යටත්විජිතකරුවා සදාචාරාත්මක බව ප්‍රචලිත කළේය.’

1837 දී ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ කතුවරයා වූ බ්‍රිතාන්‍ය ජාතික තෝමස් මැක්‍ලෝ විසින් බෙනඩික්ට්ගේ නිතිය දියාරු කරන ලදී. වැන්දඹුවක‍ගේ උසිගැන්වීම මත සෑය දැල්වූ බවට යමෙකුට සාක්ෂි සහිතව ප්‍රකාශ කළ හැකි නම් ඔහුට දැඩි දඬුවම් නොදී අත්හැරිය හැකිය. ‘ආගමික යුතුකම පිළිබඳ දැඩි හැඟීමක් මෙන්ම සමහර විට ප්‍රබල ගෞරවනීය හැඟීමක්’ කාන්තාවන් ගිනි තබාගැනීමට පෙළඹවිය හැකි බව මැක්‍ලෝ පවසයි.

සති පූජාව පිළිබඳ මැක්ලෝගේ ‘සානුකම්පිත ආස්ථානය’ දශක ගණනාවකට පසු බ්‍රිතාන්‍ය පාලකයන් සමග අනුනාද වූ බව මිත්තා සොයාගත්තේය. 1857 කැරැල්ලෙන් පසු ස්වදේශික හින්දු හා මුස්ලිම් සොල්දාදුවන් සිපොයිවරුන් ලෙස ද හඳුන්වනු ලබන අතර ඔවුන්ගේ ආගමින් තහනම් කළ සත්ව මේදය තුවක්කු කාට්‍රිජ්වල ආලේප කර ඇති බවට වූ බිය නිසා බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය සමාගමට එරෙහිව කැරලි ගැසූවිට ඔහුගේ කෙටුම්පත කසළ ගොඩට දමා තිබුණි.

1862 රෙගුලාසියෙන් සති පූජාව සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් ලෙස දඬුවම් ලැබිය හැකි බවට වූ කරුණ මෙන්ම අනෙක් දරුණු අවස්ථාවලදී මරණීය දණ්ඩනය පැනවිය හැකි දණ්ඩන විධිවිධාන දෙකම අවලංගු කරන ලදී. වින්දිතයා තම සැමියාගේ අවමංග්‍යයේදී තම ජීවිතය අවසන් කිරීමට එකඟ වූ බව ප්‍රකාශ කිරීමට විත්තිකරුට ඉඩ සලසා දී ඇති බැවින් එය මිනීමැරුමක් වෙනුවට සියදිවි නසාගැනීමක් බව එහි තේරුමයි.

මිත්තා පවසන්නේ ‘සමාජ නීතිවලට එරෙහිව නැගෙන දුක්ගැනවිලි වලට ප්‍රතිචාරයක්’ ලෙස සති පූජාව තහනම් විය. සති පූජාව තහනම් කිරීම, 1850 නීතියෙන් බැහැර වූ සහ ඇදහිල්ල අත්හළ හින්දුන්ට පවුලේ දේපළ උරුම කර ගැනීමට හා 1856 නීතියෙන් සියළු වැන්දඹුවන්ට නැවත විවාහවීමට ඉඩ සැලසූ බවයි. නමුත්, නීතිය ක්‍රියාත්මක කිරීමට ක්‍ෂණික ප්‍රේරකය වූයේ ගව මේදය ආලේප කර ඇති බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් කුපිත වූ ‘ඉහළ කුලයේ හින්දු සොල්දාදුවන් අතර ඇතිවූ කෝපයයි’.

1829 හා 1862 අතර සති අපරාධයේ ප්‍රබලත්වය මිනීමැරී‍මේ සිට සියදිවි නසාගැනීමට අනුබල දීම දක්වා අඩුවී ඇත. ‘1829 සිට අඩු වශයෙන් භාවිත වුවද, සති පූජාව ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල, විශේෂයෙන්ම, උසස් කුලයන් අතර අගය කොට ගෞරවයට පාත්‍ර වූ’ බව මිත්තා පවසයි. ඉන්දීය ජාතික කොංග්‍රසයට බැඳුණු හා බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගැනීමේ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ මොතිලාල් නේරු 1913 දී උත්තර ප්‍ර‍දේශයේ සති නඩුවකදී ඉහළ කුලයේ මිනිසුන් හය දෙනෙකු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේය.

මිනිසුන් පැවසුවේ, ‘වැන්දඹුවගේ දැඩි භක්තිවන්තකම හරහා ආශ්චර්යමත් ලෙස ගිනිදැල්වූ බව’යි. විනිසුරුවන් දිව්‍යමය මැදිහත්වීමේ න්‍යාය ප්‍රතික්ෂේප කර, වසන් කිරීම හෙළා දුටු අතර සියදිවි නසාගැනීමට අනුබල දීම සම්බන්ධයෙන් මිනිසුන් වැරදිකරුවන් ලෙස සැලකූහ. ඔවුන්ගෙන් දෙදෙනෙකුට වසර හතරකට සිර දඬුවම් නියම විය. වසර 70 කට පසු සති පූජාව සම්බන්ධ අවසාන පෙරළියක් ඇතිවිය. 1987 දී මෝතිලාල් නේරුගේ මී මුණුපුරා වන රජීව් ගාන්ධිගේ නායකත්වයෙන් යුතු රජය විසින් ප්‍රථම වතාවට ‘භාවිතය උත්කර්ෂයට නැංවීම’ අපරාධයක් බවට පත්කරන ලද නීතියක් පැනවීය. සති පූජාවට අනුබල දුන්, එය සාධාරණීකරණය හෝ ප්‍රචාරය කළ පුද්ගලයන්ට වසර 7 දඬුවම් ලබාදිය හැක. නීතිය ද එම ක්‍රියාව මිනීමැරුමක් දක්වා ඉහළ නැංවූ අතර ඊට අනුබල දුන් අයට මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කළේය.

ඉන්දියාවෙන් වාර්තා වූ අවසන් සති පූජාව වූවේ උතුරු රාජස්ථාන් ප්‍රාන්තයේ කුඩා ගම්මානයක රූප් කන්වාර් නම් ළමා මනාලියගේ සිදුවීමයි. එය 1947 නිදහසින් පසු නිල වශයෙන් වාර්තා වූ 41 වැනි නඩුව බව මිත්තා පවසයි.

රජීව් ගාන්ධිගේ නීතියේ පූර්විකාව බෙන්ටින්ක්ගේ රෙගුලාසියෙන් ණයට ගත් එකකි. ‘එය නොදැනුවත්වම,  යටත්විජිතකරණයට ලක්වූ රටක් විසින් එහි පැරණි යටත්විජිතකාරයාට කරන ලද උපහාරයකි’ යැයි මිත්තා පවසයි. 

බීබීසි ඇසුරිනි 


අපේ සිංහයා අපට අමතක වූ එක් මොහොතක්


ගාමිණී වියන්ගොඩ

පසුගිය සතිය තිස්සේ මාධ්‍ය ලෝකය තුළ වඩාත් ආන්දෝලනාත්මක සිද්ධිය වුණේ, එක් දේශපාලනඥයෙකුගේ නොමනා ලිංගික ක්‍රියාවක් පිළිබඳව තවත් දේශපාලනඥවරියක් ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රටට හෙළි කිරීමයි. එහි නිමිත්ත වුණේ, පශු මෛථුන්‍යයට අදාළ කාරණයකි. මේ වන විටත් බොහෝ දෙනා ඒ කතාව රස කරති. ලෝකය පුරා විවිධ නීති පද්ධති තුළ පශු මෛථුන්‍යය නමැති වරද අර්ථ ගැන්වෙන ආකාරයේ කටුසටහනක් මෙසේ සංගෘහිත කළ හැකිය:

පශු මෛථුන්‍යය යනු, මනුෂ්‍යයෙකු සහ සතෙකු අතර සිදුකෙරෙන ලිංගික ක්‍රියාවකි. සාමාන්‍යයෙන් එය, ලිංගික සංසර්ගය හෝ මුඛ කාමය හෝ වැනි දෙයක් විය හැකිය. මේ කියන සතා ජීවත්ව සිටින සතෙකු විය යුතුය. තමන් කරන ක්‍රියාව පිළිබඳ චේතනාවක් හෝ දැනුමක් අදාළ පුද්ගලයාට තිබිය යුතුය. මෙවැනි සිදුවීම්වලට සම්බන්ධ රූප ළඟ තබාගැනීම සහ බෙදාහැරීමත් මේ වරද යටතට ගැනෙන නීතියෙන් තහනම් ය. 

අපේ කතා ව්‍යවහාරයට මේ මාතෘකාව ගෙනාවොත්, මේ කියන පශු මෛථුන්‍යය, ‘අතාත්වික’ ය. ‘අස්වාභාවික’ ය. තවත් එහාට ගියොත්, ‘විකෘතියකි’. මේ සෑම වචනයක්ම අර්ථගැන්වෙන්නේ, ඒ ඒ යුග තුළ සහ ශිෂ්ටාචාරයන් තුළ, දෙවියා, මිනිසා/සත්වයා සහ ලිංගිකත්වය යන සාධක තුන අතර පවතින සහසම්බන්ධය මත ය. දෙවියා හැරුණු විට ඉතිරි සාධක දෙක, ස්වභාව ධර්මය සමග නෛසර්ගිකව සම්බන්ධයි. දෙවි කෙනෙකු කිසි දිනෙක මිනිස් චින්තාව තුළ නොපැවතියේ යැයි මොහොතකට උපකල්පනය කළත්, මිනිසා/සත්වයා සහ ලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්නය යම් අවස්ථාවක පැනනඟිනවා නොඅනුමානයි. හේතුව, පරිණාමය තුළ මිනිස් ශිෂ්ඨාචාරය කියා දෙයක් ස්වභාවය විසින්ම අත්‍යන්තයෙන් ඉල්ලා සිටිනු ලබන බැවිනි. එම ශිෂ්ඨාචාරය තුළ, ස්වභාව ධර්මය විසිනුත්, දෙවියන් විසිනුත් ලිංගිකත්වය පාලනය කෙරේ. ඒ අනුව ගත් විට, ලිංගික සදාචාරය යනු, දෙවියන්ගේ විධානයේ සහ සමාජ අවශ්‍යතාවයේ සංකලනයකි. (දෙවියන් යන්න මෙහිදී භාවිත වන්නේ, ආගම යන්නට පර්යාය පදයක් වශයෙනි).  

සතාගෙන් මිනිසා වෙන් වූ ‘මොහොත’, අවුරුදු දසලක්ෂ ගණනක් දිග්ගැස්සුණු කාලපරිච්ඡේදයකි. එය, අප අද කතා කරන ශිෂ්ඨාචාරයේ වයසට වඩා හුඟක් දිගයි, හුඟක් මහලුයි. ඒ නිසා, ආදි සත්වයාගේ අතුරුබිතුරු තවමත් අතරින්පතර අප අතරේ තිබෙනවාට සැකයක් නැත. එවැනි මංඩි ඉතිරි වීමට තවත් එක හේතුවක් විය හැක්කේ, මනුෂ්‍ය ලිංගිකත්වයේ සහ ඇතැම් සත්ව ලිංගිකත්වයන්හි මූලික ආරය සහ හැඩය තුළ පවතින සමානත්වයයි. උදාහරණයක් වශයෙන්, මනුෂ්‍යයා ලිංගික සංසර්ගයේ යෙදෙන ක්‍රමය සහ බොහෝ සත්ව පංති ලිංගික සංසර්ගයේ යෙදෙන ලීලාව අතර පවතින සමානත්වය දැක්විය හැකිය. 

මේ නිසාම, මිනිස් ශිෂ්ඨාචාරයේ ඉතා මෑත අතීතය තුළ පවා, විවිධ ක්ෂේත්‍ර තුළ, විශේෂයෙන් සාහිත්‍යය/කලා, ලෙන් රූප, ශිලා රූප සහ පුරාණෝක්ති වැනි ක්ෂේත්‍ර තුළ, අප මේ කතා කරන විකෘති ලිංගික චර්යාවන් දැකිය හැකිය. ග්‍රීක දේවකතා සාහිත්‍යයේ එන ලීඩා නමැති සුරූපී කාන්තාව හංසයෙකු සමග රමණයේ යෙදීම පිළිබඳ නිර්මාණය වී ඇති විවිධ ප්‍රබුද්ධ කලා කෘති උදාහරණයක් වශයෙන් ගත හැකිය. අපේ මාතෘකාවට කෙළින්ම අදාළ වන, ගැහැනියක් සිංහයෙකු සමග සංසර්ගයේ යෙදීමේ අපේ ‘උත්පත්ති කතාව’ තවත් එවැනි එක් උදාහරණයකි. ඒ ගැන තරමක විස්තරයක් කිරීම අපේ ප්‍රස්තුතයට ප්‍රයෝජනවත් ය. 

සිංහබාහු පුරාවෘත්තය

අප පැවත එන්නේ විජයගෙන් බවත්, විජයගේ පියා සිංහබාහු බවත්, ඔහුගේ පියා සිංහයෙකු බවත් අපේ ඉතිහාසයේ දැක්වෙයි. මේ සිංහයාගේ බිරිඳ වුණේ, වංග දේශයේ කුමාරිකාවක් වන සුප්පා දේවියයි. මෙය, පැහැදිලිවම පශු මෛථුන්‍යය පිළිබඳ කතාවකි. මෙතැන සිංහයා යැයි කියන්නේ, ඇත්ත වශයෙන්ම සිංහයෙකු නොව, ඒ නමින් හැඳින්වුණු හෝ සිංහයෙකු වැනි ගති ඇති පිරිමියෙකි යැයි සමහරු කියති. 

මෙවැනි පුරාණෝක්තියක් (ජනකතාවක්) පැහැදිලි කිරීම සඳහා එවැනි විශේෂ උත්සාහයක් ගත යුත්තේ මන්දැයි මට නොතේරේ. ගැහැනියක් සහ තිරිසන් සිංහයෙකුට දාව මිනිස් පිරිමි දරුවෙකු සහ මිනිස් ගැහැනු දරුවෙකු පිළිසිඳ ගැනීමේ ශාරීරික සහ ජීව විද්‍යාත්මක හැකියාවක් නැත. එසේ නම්, සිංහබාහු සහ සිංහසීවලී යනුවෙන් මනුෂ්‍ය දරුවන් දෙන්නෙකු සැබවින්ම සිටියේය යන කතාව අප විශ්වාස කරන්නේ නම්, ඔවුන්ගේ පියා විය යුත්තේ මිනිසෙක්ම ය යන්නත් අප පිළිගත යුතුය. ඒ අනුව, සිංහයා යනු සතෙකු නොව, මනුෂ්‍යයෙකු යැයි අප සිතාගත යුතුව තිබේ. 

මේ ගැන, නිර්මාල් රංජිත් දේවසිරි, තමලු මලිත්ත පියදිගම සහ ෂකිල රාජකරුණා වැනි කිහිප දෙනෙකු අතර සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන හරවත් සංවාදයක් සහ අදහස් දැක්වීම් කිහිපයක් පසුගිය දිනවල දක්නට ලැබුණි. එහිදී, තමලු පියදිගම කියන්නට උත්සාහ කොට ඇති බව පෙනෙන්නේ, සිංහයා යනු සතෙකු නොවන බවයි. ඊට සාක්ෂි වශයෙන් දීපවංශයේ සිංහල පරිවර්තනයක් ඔහු ගෙනහැර දක්වයි. එහෙත්, නිර්මාල් සහ ෂකිල රාජකරුණා, අදාළ සිංහල පරිවර්තනය දෝෂ සහිත බවත්, ඒ නිසා මුල් පාලි කෘතියේ අදාළ පාඨයම දක්වමින්, එහි කියැවෙන පරිදි, සිංහයා යනුවෙන් දක්වා ඇත්තේ සතෙකු නොවන බවක් පිළිගැනීමට තරම් සාක්ෂියක් නැති බවත් පෙන්වා දෙති. 

වැදගත් වන්නේ මෙයයි. එක පැත්තකින්, මේ කියන සුවිශේෂ (සිංහබාහු) කතාවේ ඇත්ත නැත්ත කුමක් වෙතත්, පශු මෛථුන්‍යය පිළිබඳව එදා සමාජයේ පවා යම් අවබෝධයක් තිබී ඇතැයි අප පිළිගත යුතුය. ඊටත් වඩා වැදගත් කාරණය වන්නේ (නිර්මාල්ද පෙන්වා දෙන පරිදි), සිංහල ජාතිය උත්තුංගත්වයට පත්කිරීම සඳහාම දීපවංශ සහ මහාවංශ කතුවරුන්, අපේ උත්පත්තියට සැබෑ සිංහයෙකු ආරෝපණය කොට ඇති බවයි. 

එතකොට ජාතික කොඩිය?

ඉතිහාසය පැත්තකින් තියන්න, දැන් වර්තමානයට එන්න: මේ සිංහයාව අපේ ජාතික කොඩියට අප දාගත් බව ඔබට මතකද? සතෙකුගේ රූපයක් ඇති ලෝකයේ එකම ජාතික කොඩියත් ලංකාවේ ජාතික කොඩිය පමණක් වන බවත් ඔබ දන්නේද? හංසයෙකු හෝ කුරුල්ලෙකු වැනි සතෙකු ජාතික කොඩියකට දමා ගැනීමට වැඩි දෙයක් සහ වැඩි අරුතක්, සිංහයෙකුගේ රූපයක් ජාතික කොඩියකට දමා ගැනීම තුළ ගැබ් වෙයි. කෙසේ වෙතත් අවසානයේ සිදුව ඇත්තේ, සුප්පා දේවිය සමග රමණය කළ සිංහයා අදටත් අපේ ජාතික කොඩිය අරක්ගෙන සිටීමයි. එසේ නම්, තුන්වැනි හෝ හතරවැනි සියවසේදී දීපවංශයත්, පස්වැනි සියවසේදී මහාවංශයත් අපට කියන සිංහයා පිළිබඳ පශු මෛථුන්‍ය කතාව, අදටත්, එනම් 1948 දී වර්තමාන ජාතික කොඩිය සම්මත කරගත් දවසේ සහ එදා සිට අද දක්වාමත්, සැබෑවක් සහ තථ්‍ය තත්වයක් වශයෙන් භාරගැනීමට අප මැළිකමක් දක්වා නොමැති බව නොවේද එයින් පෙන්නුම් කරන්නේ? වැදගත් වන්නේ, හුදෙක් ඉතිහාසයම නොව, ඉතිහාසය යැයි ජනතාවක් සිතින් ගන්නා කල්පනාවයි. ඒ අනුව, සැබෑ සිංහයෙකුගෙන්ම අප පැවත එතැයි කීමට අප උපවිඥානිකව හෝ ආශා කිරීම, පශු මෛථුන්‍යය අපට ප්‍රශ්නයක් නොවන බව අධ්‍යාහාරයෙන් පිළිගැනීමකි.     

ගිය සතියේ අර කී දේශපාලනඥයා සහ බලු පැටවෙකු ආශ්‍රයෙන් ඇති වූ සිද්ධියක් දෙස මෙතරම් සුචරිතවාදීන් ලෙස බලන්නේ එවැනි ජනතාවකි. දැන්, ඉහත කී ඉතිහාස පුරාවෘත්තයේ ඇත්ත නැත්ත පැත්තකින් තියමු: එයින් පරිබාහිරව, පසුගිය සතියේ සිද්ධිය දෙස බැලුවොත්, අදාළ දේශපාලනඥයාගේ චර්යාව ගැන නිශ්චිත අදහසක් ඇති කරගැනීමේ හැකියාවක්, ඒ සම්බන්ධයෙන් දක්වා ඇති ‘සාක්ෂි’ ආශ්‍රයෙන් ඇති කරගැනීමට පුළුවන්කමක් නැත. එම ‘සාක්ෂි’ කූට ආකාරයෙන් සකස් කොට ඇති බවක් විත්තිකරු කියයි. ඒ කෙසේ වෙතත්, ඒ කියන සිද්ධිය චෝදකයන් කියන ආකාරයේම ගර්හිත එකක් විණැයි පිළිගත්තත් ඒ සම්බන්ධයෙන් කෙනෙකු අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කුමක්ද? මේ කියන ක්‍රියාව, අපේ දණ්ඩනීති සංග්‍රහයට අනුව දඬුවම් ලැබිය හැකි වරදකි. අදාළ චෝදකයන් කළ යුත්තේ, නීතියේ බලධාරීන්ට එම සිද්ධිය වාර්තා කිරීම සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමයි.

එහෙත් ඒ වෙනුවට කෙළේ කුමක්ද? ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රටටම එම සිද්ධිය දන්වා සිටීමයි. ඒ ඇයි? චූදිතයා දේශපාලනඥයෙකු වීම නිසා ය. ඇත්ත, දේශපාලනඥයන්ගේ විෂමාචාරයන් ජනතා අවධානයට යොමු කිරීම වැඩදායකයි. උදාහරණයක් වශයෙන්, යම් දේශපාලනඥයෙකු තමන්ගේ දේශපාලන හෝ වෙනත් බලයක් පාවිච්චි කොට ස්ත්‍රියක් දූෂණය කොට ඇතිනම් හෝ යම් ළමා අපචාරයක් වැනි ක්‍රියාවක යෙදී ඇතිනම්, එය සමාජ යහපතට සහ සමාජ ආරක්ෂාවට කෙලින්ම බලපාන බැවින්, ජනතා අවධානයට එය යොමු කිරීම යෝග්‍ය වන්නේය. “නේම් ඇන්ඩ් ෂේම්” හෙවත් සියල්ලන් ඉදිරියේ ගර්හාවට ලක්කළ යුත්තේ එවැනි තත්වයන් ය. එහෙත් මේ කියන සිද්ධිය, තමන්ගේ ගෙදර තමාගේ බල්ලා සමග අදාළ දේශපාලනඥයා යෙදී ඇතැයි කියන ලිංගික ක්‍රියාවකි. එයින් වින්දිත භාවයකට පත්වන කෙනෙකු ඇතොත්, ඒ අර කියන බල්ලා ය. උගේ අයිතිවාසිකම් වෙනුවෙන් කෙනෙකුට අවශ්‍ය නම් මෙහිදී පෙනී සිටිය හැකිය. එහෙත්, මේ කියන ලිංගික චර්යාව ප්‍රශ්න කරන චෝදකයන් එවැනි සත්ව අයිතියක් වෙනුවෙන් පෙනී සිටි බවක් පෙනෙන්ට නොවුණි. 

ක්‍රියාවට වඩා, තලුමැරීම ගර්හිතයි.

අපි මෙසේ උපකල්පනය කරමු: යම් දේශපාලනඥයෙකු සිය බිරිඳ හෝ පෙම්වතිය/අනියම් බිරිය සමග ඔවුන්ගේ සිරියහනාවේ විකෘති කාමුක ක්‍රියාවක නිරත වෙයි නම්, ක්‍රියාවක් වශයෙන් එය මොන තරම් සදාචාර-විරෝධී විය හැකි වෙතත්, මොන තරම් ජුගුප්සාජනක විය හැකි වෙතත්, ඒ මගින් අපට හෝ පොදුවේ සමාජයට කිසි බලපෑමක් කෙරෙන්නේ නැත. අයථා බලය පාවිච්චි වූ බවට කිසි සාක්ෂියක් එවැනි අවස්ථාවක නොසැපයෙන බැවිනි. යම් හෙයකින් අර කියන බිරිඳ හෝ පෙම්වතිය, පිරිමියාගේ එකී විකෘති හැසිරීමට එරෙහිව නීතිය ඉදිරියට යන්නේ නම් එය වෙනම කතාවකි. එහිදී ක්‍රියාත්මක වන්නේ වෙනත් මූලධර්මයකි. එනම්, පාර්ශ්වකාරියගේ අනුමැතියකින් තොරව අදාළ පුද්ගලයා එකී ක්‍රියාවේ යෙදී තිබී ඇති බවයි. එහෙත් මේ කියන සිද්ධියේදී එවැනි කිසිවක් සිදු වී ඇති බවක් නොපෙනේ. මෙතැන තිබෙන්නේ, සිදුවිණැයි කියන ක්‍රියාව සාරාර්ථයෙන් ඇත්තක් නම්, එය ලෝකසම්මතය ඉදිරියේ අපේ සිත් තුළ අපුලක් දැනවිය හැකි සිද්ධියක් වීම පමණි. 

ඇත්ත වශයෙන්ම සැබෑ සදාචාරය පිළිබඳ කාරණාව සැලකිය යුත්තේ මෙහිදී ය. එනම්, කෙනෙකුගේ පෞද්ගලික ලිංගික ජීවිතයක් ප්‍රසිද්ධියට පත්කිරීමට තෙවැන්නෙකුට අයිතියක් පැවරෙන්නේ මොන සදාචාරයකින්ද යන්නයි. මෙවැනි පශු මෛථුන්‍ය සේවනයක් පමණක් නොව, සමලිංගික හැසිරීමක් පවා, ජුගුප්සාජනක ක්‍රියාවක් වශයෙන් තවමත් ලෝකයේ බොහෝ තැන්වල පිළිගැනේ. එයත්, අපේ දණ්ඩනීති සංග්‍රහය අනුව, දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් එවැනි පුද්ගලයෙකු සමාජ ගර්හාවට ලක්කිරීමට අයිතියක් අපට සපයන ‘සදාචාරය’ කුමක්ද?

ඒ අනුව ගත් විට, අදාළ ක්‍රියාව ගර්හිත වනවාට වඩා ඒ ගැන තලුමැරීම ගර්හිත වන බව නොකියාම බැරි ය.

මේ සමස්ත නාටකය දේශපාලනික එකකැයි බැලූ බැල්මට පෙනේ. මෙම චෝදනාව ඉදිරිපත් කරන, අදාළ චූදිතයාගේ සහකාරිය යැයි කියන තැනැත්තිය පිළිබඳ පළවන ඇතැම් වාර්තා අනුව, මෙකී නාටකයට ව්‍යාපාරික ස්වරූපයකුත් ඇති බව පෙනේ. ඒ සියල්ල අස්සේ, අපි කවුරුත් යෝනිසෝමනසිකාරයෙන් විසීමට අලුත් අවුරුද්දේ හිතට ගමු.

'උගතුන් යැයි කියන පිරිසකගේ මුග්ධ ක්‍රියා නිසා බංගලාදේශය ජයගත් LRT ව්‍යාපෘතියක් අපට අහිමි වුණා'

ඉතාම මුග්ධ ලෙස කටයුතු කළ නිලධාරීන් කිහිප දෙනෙකු හා උගතුන් යැයි කියනා කිහිප දෙනෙකු එකතු වී ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ජපන් ආධාර යටතේ ඉදිකිරීමට සැලසුම් කළ මෙරට සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘතිය නවතා දැමීමට කටයුතු නොකළානම් බංගලාදේශයේ විවෘත කරනු ලැබූ සැහැල්ලු දුම්රිය සේම ලබන වසරේ ශ්‍රී ලංකාවේ ජනතාවටද එම පහසුකම ලබාගැනීමට තිබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

2017 වසරේදී සැලසුම් කළ මෙරට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීම තුළින් මෙරට මහජනතාවට සිදුවූ අති විශාලා පාඩුව හා බංගලාදේශය එහි ඵල නෙලාගෙන ඇති ආකාරය පිළිබඳව අදහස් දක්වමින් එම LRT ව්‍යාපෘතියේ ප්‍රධාන නියමුවා වශයෙන් කටයුතු කළ ඒ මහතා මේ බව පවසා සිටියේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

"බංගලාදේශ පාලකයින් අතිශය සතුටට පත්වෙනවාට සැකයක් නැහැ. අනාගත බංගලාදේශය වැනි ජනගහණය ඉතා අධික, ගොඩබිම් ප්‍රමාණය ඉතා අඩු රටකට ගැලපෙන පොදු ප්‍රවාහනය  නවීකරණය කිරීම කියන ඒ වැඩපිළිවෙල, ඔවුන් හඳුනාගෙන එය ක්‍රියාත්මක කිරීම ගැන අපිත් ඉතාම සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ව්‍යාපෘතිය කොටස් දෙකක් යටතේ සලකා බැලුවා. කොළඹ නගරය අවට, ප්‍රධාන දුම්රිය නවීකරණ ව්‍යාපෘතියක් හා සීඝ්‍රගාමී බස් සේවාවක් (Rapid Transit System) හඳුන්වාදීමේ මූලික කටයුතු සිදු කරමින් හිටියා. ඒ සියලු ව්‍යාපෘති ඉතාමත්ම මුග්ධ තර්ක විතර්ක මැද 2020 දී නතර කරනු ලැබුවා. 2018 තමයි මුල් වතාවට පොදු ප්‍රවාහනය සැලසුමක් ඇති කළේ. හොංකොං නගරය, සිංගප්පූරුව, ලංකාව වැනි ජනගහනය ඉතා අධික, වර්ගඵලය ඉතාම අඩු රටකට අතිශයින්ම ගැලපෙන ක්‍රියාවලිය වන්නේ පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම. අද මේ රට බංකොලොත් භාවයට පත් වෙලා තියෙන්නේ අධිවේගී මාර්ග තැනීමට අති විශාල මුදලක් වැය කිරීමත් ඒ වැය කරපු මුදල් වලින් විශාල ප්‍රමාණයක් අධික පොලියට ගත්ත ණය වීමත්, ඒ වගේම ඒ වැය කිරීම් වලින් තවත් විශාල කොන්ත්‍රාත්කරුවන් හා දේශපාලඥයින් විසින් විශාල මුදලක් සොරා ගැනීමත් නිසා.  2018 වර්ෂයේදී ජයිකා ආයතනය පර්යේෂණයක් කලා මේ දුම්රිය සේවාව නවීකරණය කිරීමටත්, බස් රථ සේවාව නවීකරණය කිරීමටත්, නාගරික ප්‍රවාහන තදබදයට විසඳුමක් හැටියට මොනෝරේල් ව්‍යාපෘතියකුත්. සිද්ධ වුණේ මොකක්ද? මොනම ආකාරයකවත් ශක්‍යතා අධ්‍යනයකින් තොරව දිගට හරහට අධිවේගී මාර්ග ඉදිකිරිම තමයි වුනේ. අපි බස්නාහිර මහ නගර ව්‍යාපෘතිය ආරම්භ කළාට පස්සේ 2016 වසරේදී මේ පිළිබඳව සුවිශේෂී අධ්‍යනයක් කලා ලංකාවේ ඉන්න විශේෂඥයන්. මාර්ග ක්ෂේත්‍රය පිළිබඳව, මොරටුව විශ්ව විද්‍යාලය, කොතලාවල ආරක්ෂක පීඨය මූලිකව විශාල පර්යේෂණයක් කළා. ඒ අනුව අපි තීරණය කළා බස්නාහිර පළාතට ගැලපෙන ප්‍රධන ප්‍රවාහන සේවා දෙකක් හැටියට සීඝ්‍රගාමී බස් සේවාවක් ඇති කිරීම වගේම සැහැල්ලු දුම්රිය පද්ධතියක් ඇති කිරීම. ඒ වගේම සියලුම ප්‍රවාහන පද්ධති එකට එකතු කරපු සහසර නමින් යුක්ත විද්‍යුත් කාඩ් පතක් හෝ ස්මාර්ට් ෆෝන් හරහා සිදුකරන යම් ආකාරයක ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීම. ඔය කරුණු අපි හඳුනාගත්තා පමණක් නොව ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන වැඩ පිළිවෙල ගත්තා.

සැහැල්ලු දුම්රිය පද්ධතිය ප්‍රධාන කොරිඩෝ 4ක් යටතේ යටතේ ඉදිකිරීමට සැලසුම් කලා.

01. කඩුවෙල සිට කොටුව

02. මොරටුව, පිළියන්දල, කිරුළපන හරහා මරදාන

03. රාගම, කඩවත, කැලණිය, අංගොඩ හරහා කොටුව.

04. කොට්ටාව, පැලවත්ත, තලවතුගොඩ හරහා බත්තරමුල්ල විදියට.

මේ හතරෙන් ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කළා එක් කොරිඩෝ වෙත. ඒක තමයි වැඩිම මාර්ග තදබදය තියෙන මාලඹේ කොටුව කොරිඩෝව. ඒ අනුව ජපානයෙන් 0.1% පොලියට අවුරුදු 12 ණය ආපසු ගෙවීමේ සහන කාලයක් සහිතව තවත් අවුරුදු 40 කින් ඒ ණය ගෙවීමට හැකිවන ආකාරයේ ණයක් ලබා දුන්නා පමණක් නෙවෙයි ජයිකා ආයතනයෙන් විශාල තාක්ෂණික සහයක් ලබා දුන්නා. අපිට පුළුවන් වුණා වසර 3 ක් වැනි කාලයකදී කෙටි සංකල්ප පත්‍රිකාවක සිට ඉදිකිරීම දක්වා මේ ව්‍යාපෘතිය ගේන්න. දින 52 කුමන්ත්‍රණය නොවුනා නම් 2018 වර්ෂයේ මේ ඉදිකිරීම් කටයුතු අපිට වහාම ආරම්භ කරන්න පුළුවන්කම තිබුණා. නමුත් අපිට මාස 6 කින් කල් දාන්න සිද්ධ වුණා. නැවත අනුමැතීන් ලබා ගැනීමට සිද්ධ වුණා ජපන් කැබිනට් මණ්ඩලයෙන් හා පාර්ලිමේන්තුවෙන්. ඒ සියල්ල ලබාගෙන අපි ඒ වැඩකටයුත්තේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළා. ඒ ව්‍යාපෘතිය ඉතාම මුග්ධ විදිහට කටයුතු කරපු නිලධාරීන් කිහිප දෙනෙක්. උගත්තුයි කියන කිහිප දෙනෙක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කියලා ඒක නැවැත්තුවා.

ඒක පිටිපස්සේ තිබුණා කතාවක්. ඒ කතාව තමයි අර අධිවේගී මාර්ග ඉදිකිරීමට නැවත වතාවක් රජය යොමු කරවීම. මීට වඩා වියදම් අඩු ව්‍යාපෘති ගේනවා වගේ කතා ගොඩාක්. ඇත්ත වශයෙන්ම මේකේ වියදම වැඩියි කියලා ගොඩක් දෙනෙක් කිව්වා. අපි අපේ උපදේශක සේවාව ලබා දුන්නා. උපදේශක සේවා වලටත් ණය මුදල් අපිට ජපානයෙන් ලැබුණා. ඒ උපදේශක සේවාවන් වලින් මේක විධිමත්ව විග්‍රහ කිරීමෙන් පසු මෙහි මිල ගණන් ඩොලර් බිලියන 2.2 සිට 1.8 දක්වා අඩු කරන්න හැකි වුණා. මේ වියදම යන්නේ රේල් පාරට විතරක් නෙවෙයි. දුම්රිය, මගී දුම්රිය ස්ථාන, දුම්රිය නඩත්තු කිරීම, නඩත්තු අංගන, විදුලි පරිපථ, සංඥා පරිපථ වැනි සියලු දේට තමයි මේ වියදම. අපි විශේෂ දෙයක් කළා මෙහිදී ඒ තමයි කඩුවෙල සිට බත්තරමුල්ල දක්වා මාර්ගය ලේන් 4 ක මාර්ගයක් බවට පත් කිරීම. එහි මැද කොටසට උඩින් තමයි මේක එන්නේ. එවිට ඉබේම ප්‍රවාහන පද්ධතියත් පුළුල් වෙනවා. ඒ වගේම දුම්රිය පද්ධතියත් ඉටුවෙනවා. ඒ සඳහා අපි බත්තරමුල්ලේ, කොළඹ කොටුවේ විශාල ප්‍රවාහන මූලස්ථානයක් ඉදි කරන්න කටයුතු සූදානම් කලා. දුම්රිය, බස් රිය, ලයිට් රේල්වේ, ටැක්සිය වැනි සියලු දේ ඇති පොදු ප්‍රවාහන මධ්‍යස්ථානයක්. ප්‍රංශ රජයෙන් නොමිලේ අපට ප්‍රධානයක් ලැබුණා මේ සියලුම සැලසුම් කටයුතු කරන්න. ඒකට අපිට අනිවාර් යයෙන්ම යුරෝපා සංගමයෙන් ආධාර ලැබෙන තත්වයක් තමයි තිබුණේ. කඩවත - රාගම මේ වෙනකොට අංග සම්පූර්ණ බහුවිධ ප්‍රවාහන මධස්ථානයක් ඉදිකළා. එය Private Public Partnership එකක් හැටියට ගොඩ නගන්න කටයුතු කලා. මොරටුව, පිළියන්දල හරහා එන එකටත් Private Public Partnership එකක් හොයලා තිබුණේ. කෙසේ නමුත් මේවා නතර කිරීමෙන් කළේ සාහසික අපරාධයක්. මරදානේ සිට හෝමාගම දක්වා කැලණිවැලි දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතිය, බස් හා ටැක්සි සේවාවන් සම්බන්ධ බස් ප්‍රමුඛතා මංතීරු නතර කිරීමෙන් සිදුකළේ සහාසික අපරාධයක්. අපි සහසර ව්‍යාපෘතිය ගෙනාවා. සහසර නුවරදි අතහදා බැලුවා. එයින් අපිට සාර්ථක - අසාර්ථක අත්දැකීමක් ලැබුණා. සහසර ව්‍යාපෘතියට MCC  ආධාරය හිමිවුණා. රට බෙදනවා, CIA එනවා. ඇමරිකන් හමුදා ගොඩ බහිනවා කියලා වාචාල කතා කියලා ඒ වැදගත් ව්‍යාපෘතිය නතර කළා. බංග්ලාදේශයට ආඩම්බරයෙන් එය සිදුකරගන්න පුළුවන් වුණා. ලබන වසරේ ලංකාවටත් එය යථාර්ථයක් කරගන්න තිබුණා. මෙයින් අහිමි වූ ආයෝජන ප්‍රමාණය, රටට ලැබෙන්න තිබු ඩොලර් ප්‍රමාණය බිලියන 8 කට ආසන්නයි. එම මුදල් වසර 3 ක කාලය තුල ලංකාවට ගලා ආවා නම් අද මේ ආර්ථිකය අර්බුදයට ලක් වෙන්නෙත් නැහැ.

මහනුවර දුම්රියපොළ වතුරට යට වුණා. මහනුවර දුම්රියපොළ අති නවීන දුම්රිය පොළක් හැටියට නිම කරලා ජල ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳන්න සැලසුම් කලා. භාගෙට සංවර්ධනය කරපු මැද ඇල පූර්ණව සංවර්ධනය කරලා ඉදිරියට ගෙනියන්න  ලෝක බැංකු ආධාරයක් අපට ලැබුණා. පැරණි ගුඩ් ශෙඩ් බස් නැවතුම  උඩට ගෙනගියා. ඒ ඉඩම නිදහස් කරගත්තා ඒ වැඩ කටයුත්තට. අද ඒ ලෝක බැංකු ආධාරෙත් නැහැ. ව්‍යාපෘතියත් නැහැ. අද වැහි වතුරට යටවෙන දුම්රිය ස්ථානයක් විතරයි අපට ලැබිලා තියෙන්නේ. සෞභාග්‍යයේ මග නමින් ගෙනල්ලා ඉතාම මෝඩ, මුග්ධ විධියේ ක්‍රියාකාරිත්වයන් විසින් අපට බොහෝ දෑ නැති කළා. අද වෙනකොට අපි කන්න නැති බෙහෙත්, පොහොර, විදුලිය නැති ජාතියක් තත්ත්වයට පරිවර්තනය වුණා. අනාගතයේ යම් ස්ථාවරත්වයක් ඇතිවුණොත් පමණක් මේවා ක්‍රියාත්මක වෙයි. නමුත් මේවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන බලය, ජවය සැපයූ වෘත්තීයවේදීන් සියලුදෙනාම මේ රට දාලා ගිය බවත් කණගාටුවෙන් වුණත් ප්‍රකාශ කරන්න ඕනේ.

එක රැයකින් රටක් විනාශ කළ ඝාතකයන් තවමත් නිරුපද්‍රිත නම්...



ගාමිණී වියන්ගොඩ

අපරාධයේ සුලමුල සොයා බලා එහි හේතුවට පිළියම් යෙදීමට අමතරව, අපරාධයට නිසි දඬුවම් දීමත් නැවත එම අපරාධය සිදු නොවන බවට වගබලාගැනීමේ එක් පූර්ව කොන්දේසියකි. එසේම, අපරාධකරුවාට දඬුවම් කිරීමෙන් පමණක් අපරාධය අහෝසි වෙතැයි සිතීම වාගේම, අපරාධය යටගැසීමෙන් අපරාධය අහෝසි වෙතැයි සිතීමත් අපරාධයකි. ඒ නිසා, අපේ වර්තමාන ආර්ථික අහේනියට හේතු සොයා යමින් ඒවාට යථාවාදී පිළියම් සෙවීම වාගේම, ඒ අහේනිය ඇති කළ පාර්ශ්වකරුවන් ඔවුන්ගේ අපරාධය සඳහා වගවීමට බැඳගැනීමත් අවශ්‍ය කෙරේ.

ගිය සතියේ මේ කොලමේ කෙටි ඡේදයක් ජනාධිපතිවරයා පසුගිය දා සිය අයවැය කතාවේදී උපුටා දැක්වීය. ඒ මෙසේ ය: 

“ඒ නිසා, රට ගොඩගැනීමේ දිව ඔසුව තමන් අතේ ඇතැයි, ප්‍රශ්නය වලිගයෙන් අල්ලාගෙන යමෙකු කියන විට පරිස්සම් වන්න: තමන් බලයට පත් වූ සැණින් සොරුන් සහ දූෂිතයන් හිරේ විලංගුවේ දමන්නේ යැයි කීම එවැනි එක් ප්‍රවාදයකි. දූෂණයෙන් සහ නාස්තියෙන් තොර රටක් තමන් බිහි කරන්නේ යැයි කීම තවත් එවැනි ප්‍රවාදයකි. ඒ කාරණා සියල්ල රටක දියුණුවට අත්‍යාවශ්‍ය වෙතත්, වර්තමාන ලංකාව ගොඩ දැමීමේ ප්‍රශ්නයට පිළිතුර ඇත්තේ ඊට වඩා සංකීර්ණ සහ දුෂ්කර පරාසයක බව අද නැතත් හෙට හෝ අප වටහාගත යුතුය”.

මේ ඡේදයේ පළමු වචන දෙක, එනම් “ඒ නිසා” යන්න සැලකිල්ලට නොගත්තොත් හෝ ඉවත් කළොත්, සමස්ත ඡේදයේ අර්ථය වෙනස් වන්නේය. “ඒ නිසා” යන්නෙන් කියැවෙන්නේ, ඊට කලින් කරන ලද විස්තරයක් මත පදනම්ව, ඉතිරි කතාව අවබෝධ කරගත යුතු බවයි. ඊට කලින් කරන ලද විස්තරය නොකියා සිටියොත්, මා කියන්නේ සොරුන් දූෂිතයන් හිරේ විලංගුවේ දැමීම අවශ්‍ය නැතැයි යන අදහසක් බව කෙනෙකුට සිතෙන්නට පුළුවනි. 

ඇත්තෙන්ම ඒ ඡේදය, ඊට කලින් ඡේද සමග එකට කියවන විට, ලැබෙන අර්ථය මෙසේ ය: සොරුන් සහ දූෂිතයන් හිරේ දැමීම හිතන තරම් ලෙහෙසි නැත. ඊට හේතු කිහිපයකි. එකක්, රන්ජන් රාමනායකගේ “උන් ඔක්කොම යාළුවො, මල්ලී” යන වැකියෙන් කියැවෙයි. දෙවැන්න වන්නේ, යුක්තිය පසිඳලීමේ ක්‍රමය තුළ පවතින ව්‍යුහාත්මක දුෂ්කරතාවන් ය. තෙවැන්න වන්නේ, දූෂණය සහ වංචාව යන ප්‍රපංචය ලංකාවේ සංස්කෘතියක් බවට මේ වන විට පත්ව තිබීම ය.  

ඒවාට අමතරව ඒ ඡේදයෙන් අදහස් කළ තවත් කාරණයක් තිබුණි. එය ඉහත කී කාරණාවලට සෘජුවම අදාළයි. හොරුන් සහ දූෂිතයන් හිරේ දැමීම එතරම් අමාරු නම්, තමන් බලයට පත් වූ සැණින් ඒ හොරුන් සහ දූෂිතයන් හිරේ දමන බවට කෙනෙකු දෙන පොරොන්දු ගැන පරිස්සම් විය යුතුය. මන්ද යත්, බොහෝවිට එම පොරොන්දුව දෙන්නේම පහසුවෙන් ඡන්ද ගරාගැනීමේ උපක්‍රමයක් වශයෙන් පමණක්ම විය හැකි බැවිනි. ආර්ථිකය ගොඩගැනීමේ නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් නොකොට යමෙකු මේ පොරොන්දුව දෙන්නේ නම්, ඒ ගැන තවත් වැඩියෙන් පරිස්සම් විය යුතු බව එයින් කියැවුණි.  

අද ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ, තනි තනි සොරකම් හෝ දූෂණයන් ගැන නොව, රටක ආර්ථිකයක්ම අපයෝජනය කිරීම පිළිබඳවයි. රටේ ආර්ථිකය වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ විනාශ කළ අපරාධකරුවෝ තවමත් නිදැල්ලේ සිටිති. එපමණක් නොව, එවැන්නෝ “ආර්ථික ඝාතකයන් මැද” යනුවෙන් එකී විනාශය ගැන පොත් පවා ලියා උජාරුවට එළිදක්වති. කෙසේ වෙතත්, අවුරුදු දෙකක් වැනි කෙටි කාලයකට මේ විනාශයේ පරාසය ලඝු කිරීම ගැන කෙනෙක් විරුද්ධ විය හැකිය. 

වියහැකියාව අනිවාර්යයක් බවට පත්වීම

අද අප මුහුණදෙන විනාශය වනාහී දීර්ඝකාලීන ක්‍රියාවලියක ප්‍රතිවිපාකයක් වශයෙන් අවසානයේ කෙදිනක හෝ ‘ඇති විය හැකිව තිබුණු’ තත්වයක් බව ඇත්ත. ඊට වගඋත්තරකරුවෝද බොහෝ ය. එහිදී, නිදහසේ පටන් බලයට පත් සෑම නායකයෙකුම අඩුවැඩි වශයෙන් ඊට වගකිව යුතු යැයි කෙනෙකු පෙන්වා දිය හැකිය. ඒ කතාවත් ඇත්තයි. එසේම, තමන්ගේ පාලනයෙන් පරිබාහිර (කෝවිඩ් උවදුර වැනි) ඇතැම් සාධකත් ඒ විනාශයට බලපෑ බව කියන්නේ නම් ඒ කතාවත් ඇත්ත. ඒවා ඔවුන්ගේ වගවීමේ බර සැලකිල්ලට ගැනීමේදී යම් තරමකින් අදාළ විය හැකිය. එහෙත් ඒ සියල්ල මැද්දේ පවා, ‘ඇති විය හැකිව තිබුණු’ විනාශය, රාජපක්ෂවාදී දූෂිත සහ අමනෝඥ චර්යාව නිසා, නොවැළැක්විය හැකි ‘අනිවාර්යයක්’ බවට පත්කෙරුණු බව, ඊටත් වඩා ඇත්තකි.

ඒ නිසා, අප මේ ගෙවන්නේ, ‘වළක්වාගත හැකිව තිබුණු’ විනාශයක වන්දියක් බව මුලින්ම වටහාගත යුතුය. 2019 දී ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කර ගැනීමට දායක වූ ඡන්දදායකයෝ තමන් කළ වැරැද්ද අඩුවැඩි වශයෙන් පිළිගන්නා බවත්, ඒ ගැන අවංකවම දැන් දුක් වන බවත් පොදුවේ දක්නට ලැබේ. එය, යන-එන තැන අසන්නට දකින්නට ලැබෙන දෛනික සංසිද්ධියකි. ඒ බව හොඳටම ප්‍රදර්ශනය වුණේ මහජන ගඟ ජාතික විරෝධතාවක් වශයෙන් පිටාර ගැලූ දා ය. එහෙත් මේ විනාශයට වගකිවයුතු කිසි නායකයෙකු අද වන තෙක් ඒ ගැන රටෙන් සහ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා නැත. ඒ වෙනුවට අපට දකින්ට ලැබෙන්නේ, යම් යම් මට්ටම්වලින් නිදහසට කරුණු කියන වංචනික මඟහැරයාම් ය. වසර 70 ක ‘දේශපාලන සංස්කෘතිය’ වෙනස් කිරීමට හැකි එකම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ යැයි කී න්‍යායාචාර්යවරු, බලයට පත් වූ පසු තමන්ගේ ග්‍රහණයෙන් ගෝඨාභය රාජපක්ෂ ගිලිහී ගිය නිසා මේ නස්පැත්තිය ඇති වී යැයි අද කියති. එහිදී බැසිල් රාජපක්ෂ වැනි පවුලේ සහෝදරයන් පිටට මුළු වරද පැටවති. විමල් වීරවංශ වැනි අය පුනපුනා කියන්නේ, ගෝඨාභය ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අභ්‍යන්තරිකව තමන් විරෝධය පෑ බවත්, (බැසිල් වැනි) වෙනත් නායකයින් ඒවා මායිම් නොකළ නිසා මේ විනාශය සිදු වූ බවත් ය.

රාජපක්ෂ පවුලේ ප්‍රතිපත්ති සහ මේ කියන අයගේ ප්‍රතිපත්ති එදා සිටම සහසුද්දෙන් සමාන වූ බවත්, එවැනි ප්‍රතිපත්ති මීට වඩා වෙනස් ආකාරයකින් ඉවරයක් වීමේ හැකියාවක් නොතිබුණු බවත්, මොවුහූ නොකියති. කාබනික පොහොර වේවා, ධම්මික පැණිය වේවා, අයි.එම්.එෆ්. විරෝධය වේවා, ඥානසාරගේ ‘එක රටක්-එක නීතියක්’ වේවා, වෛද්‍ය සාෆිගේ වඳ සැත්කම් වේවා, එකම ප්‍රතිපත්තියක සහ එකම චින්තනයක අතුරු ඵල බව මොවුහූ තවමත් වසං කරති. ඒ නිසා, හෙට දවසේත්, විනාශයම මිස ඊට වෙනස් දායකත්වයක් මොවුන්ගෙන් රටට ලැබෙනු ඇතැයි සිතීමට තරම් කෙනෙකු නියාලු විය යුතු නැත. ගෝඨාභයට හෝ රාජපක්ෂලාට එක දිගටම කඹුරමින් සිට, අද විවිධ නම්වලින් ඔවුන්ට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටතත් පෙනී සිටීමට බලන වීරවංශ, ගම්මන්පිල සහ වාසුදේව ඇතුළු සියලු දෙනා අයත් වන්නේ ඒ කාණ්ඩයටයි.

අපරාධකරුවන් “රජයේ සාක්ෂිකරුවන්” බවට පත්වීම

මොවුන්ගේ හිස්කම සහ අවස්ථාවාදය අවබෝධ කරගැනීමට මෑතකදී වාසුදේව නානායක්කාර පෙනී සිටි රූපවාහිනී වැඩසටහනකදී අසන්ට ලැබුණු එක් කාරණයක් දැක්වීම පමණක් සෑහේ. 17 වැනි, 18 වැනි, 19 වැනි, 20 වැනි සහ 21 වැනි ආදී ව්‍යවස්ථා සංශෝධන සියල්ලට පක්ෂව ඔහු ඡන්දය පාවිච්චි කෙළේ කෙසේදැයි මාධ්‍යවේදී කේ. ඩබ්. ජනරංජන අසන ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වන්නේ, ඒ ඒ අවස්ථාවේ තමන් නියෝජනය කරන කණ්ඩායමේ මතය සමග සිට ගත යුතුව ඇති නිසා එසේ කළ බවයි. ඒ හැරුණු කොට, එකී කාරණා පිළිබඳ ඊට වෙනස් තමන්ගේ වෙනම මතයක්ද තිබුණේලු! මේ තරම් සාහසික සේ නිරුවත් විය හැකි දේශපාලනඥයෙකු මෙතෙක් කල් ‘වාම’ කඳවුරක් නියෝජනය කෙළේ යැයි කියන විට, දක්ෂිණාංශික කඳවුරක කෙනෙකුගේ තත්වය කෙබඳු විය හැකිද!

රාජපක්ෂලාට අමතරව මොවුන් ගැන කාලය මිඩංගු කෙළේ එක කාරණයක් අවධාරණය කිරීමටයි. අපරාධයක ප්‍රධාන විත්තිකරුවෙකු පවා රජයේ සාක්ෂිකරුවෙකු බවට පත්විය හැකිය. නඩු පවරන්නන් විසින් එවැනි අපරාධකරුවෙකු රජයේ සාක්ෂිකරුවෙකු බවට පත්කර ගන්නේ, ඊට වඩා ඉලක්කගත සහ බරපතළ වෙනත් අපරාධකරුවෙකු නීතියේ දැළට හසු කරගැනීමටයි. ඊට ප්‍රතිඋපකාරයක් වශයෙන්, අර කියන හිටපු අපරාධකරුවාට හෙවත් රජයේ සාක්ෂිකරුවාට, නිදහස හෝ දඬුවම අවම කිරීම වැනි සහන සලසා දෙනු ලැබේ. ඉහත කී, වීරවංශ, ගම්මන්පිල, වාසුදේව ආදීන් වර්තමාන දේශපාලන මොහොත තුළ රඟදක්වන්නේ මේ කියන ‘රජයේ සාක්ෂිකරුවන්ගේ’ භූමිකාවයි. (ගෝඨාභය හෝ මහින්ද හෝ බැසිල් වැනි) මහ අපරාධකරුවා පස්සේ හඹා යන පැමිණිලිකරුවා (ජනතාව) මේ පිරිස යළිත් පිළිගනිතියි ඔවුහූ සිතති. පුද්ගල අපරාධයක් පිළිබඳ නඩුවකදී කෙසේ වෙතත්, රටක් විනාශ කළ අපරාධයක් පිළිබඳ අවනඩුවකදී මෙවැනි ආකල්පයකට ජනතාව යට විය යුතු නැත. හේතුව, ඉතිහාසයේ වරක් සිදු වූ වරද නැවතත් එයාකාරයෙන්ම සිදු කරගැනීමේ හැම ඉඩක්ම එවැනි පිළිගැනීමක් තුළ ගැබ්ව තිබෙන බැවිනි.                            

රටක ආර්ථික විනාශය සාමාන්‍යයෙන් සිද්ධ වන්නේ සම්ප්‍රදායික ක්‍රමයටයි. උපයනවාට වඩා පරිභෝජනය කිරීමෙන් රටක් පරිහානියට පත්වීම, සම්ප්‍රදායික ක්‍රමයයි. එය සිදුවන්නේ හෙමින් ය. දීර්ඝ කාලයක් යන තෙක්, තමන් විනාශ වෙමින් සිටින බව තමන්ට දැනෙන්නේ නැත. පවුලක් උදාහරණයට ගත්තොත්, තමන්ගේ වර්තමාන යහපත සඳහා තාත්තා/අම්මා ලෝකයාට ණය වෙමින් සිටින බව සමහර දරුවන් නොදැන සිටීම දැක්විය හැකිය. එක පැත්තකින් එය දැනගැනීමේ උවමනාවක් දරුවන්ට නැත. අනිත් පැත්තෙන්, දරුවන්ට එය කියාදීමේ උවමනාවක් දෙමාපියන්ටත් නැත. අවසානයේ එක් දවසක, ගෙදර කුලියත් ගෙවා ගැනීමට නොහැකිව ගෙදරින් fදාට්ට වැටෙන මොහොතේ ණයකාරයනුත් ඇවිත් දෙස්දෙවෙල් තියන විට ඛේදවාචකයේ තරම ගැන දරුවෝද යාවත්කාලීන වෙති.

රාජපක්ෂ ප්‍රතිපත්තිය: “අපි වෙනුවෙන් අපි”

මේ සාදෘශ්‍යය අපේ පාලකයන් සහ ජනතාව ගැන කතාවට ඉඳුරා ගැලපෙන්නේ නැත. රාජපක්ෂවරු උදාහරණයට ගත්තොත්, ඔවුන් අනුගමනය කෙළේ රටේ දරුවන් වෙනුවෙන් නොව, ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් හදාගත් ප්‍රතිපත්තියකි. මෙය සාහසික සහ අසාධාරණ විනිශ්චයකැයි කෙනෙකු කිව හැකිය. යුද්ධය ඉවරයක් කෙළේ ඔවුන් නොවේදැයි කෙනෙකු අසනු ඇත. යුද්ධය අවසන් කිරීම, ඔවුන්ගේ දරුවන්ගේ පමණක් නොව, රටේ දරුවන්ගේද භාග්‍යයට කාරණයක් නොවේදැයි තවත් කෙනෙකු අසනු ඇත. ඒ ප්‍රශ්නවලට විස්තරාත්මකව පිළිතුරු දීම වෙනම මාතෘකාවකට අපව යොමු කරවන බැවින්, පහත සඳහන් කාරණය පමණක් මෙහිදී සඳහන් කිරීම සෑහේ. ඉහත මතු කරන ලද ප්‍රශ්න සත්‍යය යැයිද, සාධාරණ යැයිද පිළිගත්තත්, යුද්ධය ජයගැනීමේ දේශපාලනික කීර්තියම, රටේ දරුවන් වෙනුවට තමන්ගේ දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා රාජපක්ෂලා පෙරළා පාවිච්චි කෙළේය යන්න නිෂේධ වන්නේ නැත. එසේ වන කල, යුද්ධය අවසන් කිරීම නිසා ඇත්තෙන්ම අත්විය හැකිව තිබුණු පොදු යහපත පවා, රාජපක්ෂවාදී ප්‍රතිපත්ති නිසා රටට අහිමිව ගියේය යන නිගමනයට පැමිණීම අසාධාරණ නොවේ.

අපේ වර්තමාන විනාශයේ එක පැත්තක තිබෙන්නේ, ආර්ථිකය පිළිබඳ වැරදි දෘෂ්ටිවාදයන් ය. ඒ සෑම දෘෂ්ටිවාදයක් පසුපසම ‘ජාතිකවාදී’ සෙවණැල්ල තිබේ. හොඳම උදාහරණය, කාබනික පොහොර සෙල්ලමයි. අපේ මුතුන්මිත්තන් ගොම පොහොරවලින් රට ස්වයංපෝෂිත කළ බව සමහරු කීහ. ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට’ යාම, අපේ ස්වෛරීත්වයට හරි නැතැයි තවත් සමහරු කීහ. ඒ නිසා, ‘දේශීය විසඳුම්’ තමන්ට ඇතැයි කියමින් අජිත් නිවාඩ් කබ්රාල් වැනි අය රටම ඇන්දූහ. 

මෙවැනි වැරදි දෘෂ්ටිවාද නිසා නොමඟ යාමට අමතරව රාජපක්ෂලාගේ ගතමනාව සඳහාද ආර්ථිකය විනාශ කෙරුණි. හම්බන්තොට ක්‍රීඩා පිට්ටනි, සම්මන්ත්‍රණ ශාලා සහ කොළඹ නෙළුම් කුලුනු ඒ අංශයෙන් අපට ඉතිරිව ඇති ස්මාරකයන් ය.

මෙතරම් විනාශයක් රටට අත්කර දුන් රාජපක්ෂ කඳවුර තවමත් සක්‍රීය දේශපාලනයේ නිරතයි. සමහරු ඇමති ධුර හොබවති. තවත් සමහරු ඊළඟ සැරේත් රාජපක්ෂලා බලයට පත්කරවන විදිහක් ගැන පොරොන්දම් බලති. මෙතෙක් ඒ කිසිවෙකු නීතිය ඉදිරියේ දඬුවම් ලබා නැත. මොවුන්ගෙන් සමහරෙකු වගඋත්තරකරුවන් කෙරෙන එක නඩුවක් පමණක් මේ වන විට විභාග වෙයි. අනෙක් සියල්ලෝ නිරුපද්‍රිතයි. 

2014 පටන් ලංකාවේ පුරවැසියෙකු නොවන සහ බි්‍රතාන්‍ය පුරවැසියෙකු වන කාන්තාවක් මේ වන විට රාජ්‍ය ඇමතිවරියක් වීම දක්වා උසස් වීමට තරම් පහසුකම් සහිත රටක් බවට පත්ව ඇති සිරිලංකාවක, ඉහත කී අපරාධකරුවන් කිසිවෙකු නීතියේ රැහැනට හසුකර ගැනෙතැයි අපේක්ෂා කිරීමට තරම් අප අඳබාල විය යුතුද! ඒත් ඉතිං අනිත් අතට කෙනෙකු මෙහෙමත් අසන්නට පුළුවනි: ඇමරිකානු පුරවැසියෙකුට ලංකාවේ ජනාධිපති විය හැකි නම් බි්‍රතාන්‍ය පුරවැසියෙකුට ලංකාවේ රාජ්‍ය ඇමතිවරියක් විය නොහැක්කේ ඇයි? 



හීනය හීලෑ කරගැනීම මිස වෙනත් උත්තර දැනට නැත

බොහෝ දෙනා නිරතුරුව අසන ප්‍රශ්නයක් තිබේ. එනම්, රාජපක්ෂලා පරාජය කිරීමෙන් පසු මේ නරාවළෙන් ගොඩඒමක් ගැන සිතිය හැකිද? ඒ සුගතිය අත්කර දීමේ හැකියාව ඇත්තේ, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක හෝ තවත් එවැනි නාමධාරී අයගෙන් කාටද? එසේත් නැත්නම්, ඒ සියලු දේශපාලනඥයන්ගෙන් තොරව, අරගලයේ අස්වැන්නෙන් බිහි කරගන්නා ‘නිර්-පාක්ෂික’ සිවිල් එකමුතුවකටද? ඒ සියල්ලන්මත් නොවේ නම්, පාරිශුද්ධ මාක්ස්වාදීන් යැයි කියාගන්නා කණ්ඩායමකටද? හිට්ලර් කෙනෙකු හරහා රට ගොඩගැනීමක් ගැන කලකට කලින් දේශනා කළ අස්ගිරියේ භික්ෂුවගේ අපේක්ෂාව තරම් මේ ප්‍රශ්න තුළින් ඉදිරිපත් කෙරෙන අපේක්ෂාව කුරිරු නැත, අනර්ථකාරී නැත. එහෙත් එසේ වූ පමණින් ඒ අපේක්ෂා යථාවාදී නොවේ. 

අපේක්ෂාව යනු, සිහිනය සහ යථාර්ථයේ මිශ්‍රණයකි. සෑම ලොකු අපේක්ෂාවක් තුළම, සිහිනමය කොටසක් තිබේ. සිහිනමය යන්නෙන් මෙහිදී අදහස් කෙරෙන්නේ අපේක්ෂිත ආශාව ය. පවතින තත්වයන් සමග මේ ආශාව සමපාත වන තරමට, ආශාව සාක්ෂාත් කරගැනීමේ අවකාශය පුළුල් වෙයි. එහි අදහස වන්නේ, පවතින තත්වයන් සැලකිල්ලට නොගෙන හුදෙක් ආශාවේ පමණක්ම එල්බ සිටීමෙන්, සිහිනයේ අවකාශය හැකිළෙන බවයි. අනිත් අතට, පවතින තත්වයන් වෙනස් කරගැනීමේ හැකියාවත් අපට තිබේ. ඒ අතින් මනුෂ්‍යයා තරම් දක්ෂ වෙනත් ප්‍රාණියෙකු නැත. මෙතෙක් කල් මිනිස් සංහතිය පැමිණ ඇති ගමන වනාහී, පවතින තත්වයන් වෙනස් කරගැනීමේ ගමනකි.

එහෙත් ඒ ගමන සාර්ථක වීම සඳහා සපුරාගත යුතු අත්‍යාවශ්‍ය කොන්දේසියක් තිබේ. එනම්, ‘පවතින තත්වයන්’ පිළිබඳ නිවැරදි තක්සේරුවක් ඇති කරගැනීමයි. එසේ නොවුණොත්, එම තත්වයන් වෙනස් කරගැනීමේ හැකියාව අපෙන් වියැකෙයි. තවත් විදිහකින් කිවහොත්, අපේක්ෂාවේ සිහිනයට අමතරව, එම සිහිනය සාක්ෂාත් කරගැනීමේ මාර්ගය පවා හුදු සිහිනයක් බවට පෙරළීමට ඉඩ තිබේ.  

‘හීනය හීලෑ කරගැනීම’ යනුවෙන් මා අදහස් කරන්නේ, ඉහත කී දෙපැත්තෙන්ම අප ‘සංවර’ විය යුතු බවයි. මෙය උදාහරණයකින් පැහැදිලි කරගමු. ඉහත කී පුද්ගලයන්ගෙන් (හෝ මාක්ස්වාදය හෝ ජාතිකත්වය වැනි දෘෂ්ටිවාදවලින්) අපේ වර්තමාන පරිහානියට විසඳුම් බලාපොරොත්තු වීම එක සිහිනයකි. ඔවුන් කවුරුත්, ඒ ඒ අයට අනුව, අවංක පුද්ගලයන් විය හැකිය. සමගි ජන බලවේගයට සජිත් ප්‍රේමදාස අවංක පුද්ගලයෙකි. එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුක්ති පෙරමුණට අනුර කුමාර දිසානායක අවංක පුද්ගලයෙකි. එසේම, ඒ ඒ අනුගාමිකයන්ට ඔවුන් තරම් උගත් සහ දක්ෂ වෙනත් කිසි කෙනෙකුද නැත. පුද්ගලයන් පිළිබඳව ඇති එකී තක්සේරු වුවද වැරදි විය හැකි ශක්‍යතාව ගැන මේ ලිපියේ සාකච්ඡා නොකෙරේ. ඒ වෙනුවට මෙහිදී සාකච්ඡා කෙරෙන්නේ එකී හැකියාවන් සහ ගුණාංග ඔවුන්ට සැබවින්ම ඇතැයි විශ්වාස කළත්, අප අපේක්ෂා කරන ආශාව/අපේක්ෂාව සංසිඳවීමට, පවතින තත්වයන් විසින් ඔවුන්ට ඉඩ දෙනු ලැබේද යන්න ගැනයි.

පවතින තත්වයන් යනු කුමක්ද? 

ඒ නිසා, පවතින තත්වයන් අපි සැලකිල්ලට ගමු. මුලින්ම, ප්‍රජාතන්ත්‍රවාදය තිබේ. එනම්, ප්‍රාථමික තලයේදී ජනතාව විසින් තමන්ගේ පාලකයන් තෝරාගැනීමේ මොඩලයයි. ප්‍රභාකරන් ලවා උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනය කොට, 2005 දී රනිල් වික්‍රමසිංහ පරාජය කරමින් මහින්ද රාජපක්ෂ ජයගත් මැතිවරණය හැරුණු කොට ඉන්පසු මේ රටේ පාලකයන් පත්කරගත් කිසි මැතිවරණයක් විකෘති ඒවා වශයෙන් සැලකිය හැකි නොවේ. එනම්, සාපේක්ෂ වශයෙන් සැබෑ ජනතා අභිලාෂයන් ඒ මැතිවරණවලින් ප්‍රකාශයට පත් වූ බවයි. 2010 මැතිවරණයේ රාජපක්ෂ ජයග්‍රහණය අනිවාර්යයක් විය. යුද්ධය අවසන් කොට තිබූ තත්වය තුළ ඊට වෙනත් ප්‍රතිඵලයක් අපේක්ෂා කිරීමේ හැකියාවක්, අපේ සමාජ සංස්ථිතිය තුළ එදා නොතිබුණි. ජයග්‍රාහී දකුණ ‘රණවිරුවාට’ සලකනු ඇත. ඊළඟට, ඒ ජයග්‍රහණය අපයෝජනය කිරීම හේතුවෙන් 2015 දී රාජපක්ෂලා පරාජය කිරීමත් අනිවාර්ය කෙරුණි. එහෙත්, 2019 දී නැවත වරක් ඒ පවුලේම රාජපක්ෂ කෙනෙකු පත්කරගැනීම, එක සංසිද්ධියක් (පාස්කු) නිසා මිස, අනිවාර්යයක් විය යුතුව තිබුණේ නැත. 

ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරන්නේ, ජාතික ආරක්ෂාව නමැති තනි සාධකය ඔස්සේ ය. ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණය, යුද්ධයක් අවසන් කොට තිබුණු රටක එතරම් පහසුවෙන් ඉස්මත්තට ආවේ ඇයි? ජාතික ‘ප්‍රශ්නය’ නොවිසඳී තිබුණු බැවිනි. ජාතික ප්‍රශ්නය යනු, ‘දෙමළා‘ සහ ‘මුසල්මානුවා’ පිළිබඳ අනියත බිය සිංහලයා තුළත්, සිංහලයා පිළිබඳ අනියත බිය අර දෙගොල්ලන් තුළත් නොනැසී පැවතීමයි. එය හංවඩුවකි. (පාස්කු ප්‍රහාරය වැනි) ප්‍රමාණවත් සිදුවීමක් තුළින්, ඕනෑම මොහොතක ඒ හංවඩුව ලංකාවේ මහජාතික රජා තේරීමේ සටනකදී තීරණාත්මක කරගත හැකිය. 

දැන් මගේ තර්කය මෙයයි. ‘පවතින තත්වයන්’ තුළ ලංකාවේ මහා සාධකය වන මේ මහ(ජාතික)ජනතාවට පිටින් කිසිවක් කිරීමේ හැකියාවක් ඉහතින් කී කිසි නායකයෙකුට තිබිය නොහැක්කේය. ‘පිටින් කිසිවක් කිරීම’ යැයි කියන විට වරදවා තේරුම් නොගන්න: එහි අදහස වන්නේ මහජාතියට හානිකර දෙයක් කිරීම ගැන නොව, හානිකර යැයි එම මහජාතිය ‘සිතන’ දෙයක් කිරීම ගැන ය. වැදගත් සාධකය වන්නේ, මහජාතිය එසේ ‘සිතීම’ ය. (හෙවත් ඔවුන් ලවා එසේ සිතන්නට සැලැස්වීම ය). උදාහරණයක් වශයෙන්, එම්.සී.සී. ගිවිසුම අත්සන් කළොත්, ලංකාව හරහා තනි කොරිඩෝවක් සැදී, එක පළාතක සිට තවත් පළාතකට යාමට වීසා ගැනීමටත් සිදුවෙතැයි ජනතාව සිතූහ. ලංකාවේ ඉඩම් ඇමරිකානුවන් විසින් අයිති කරගනු ඇතැයි ඔවුහූ සිතූහ. එසේ සිතන්නට පෙළඹුණු ජනතාව 2019 අවසානය වන විට, ජාතික ආරක්ෂාව පිළිබඳ සැබෑ ප්‍රශ්නයක් ඇතැයිද, ඒ ආරක්ෂාව සලසා දිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂට යැයිද ‘සිතූහ’. තමන්ගේ ඒ සිතිවිල්ල වරදක් යැයි දැන් ඔවුහූ ‘සිතති’. ඊළඟ ඡන්දයේදී ඔවුන් හැසිරෙනු ඇත්තේ ඒ අනුව ය.

නායකයා යනු පෙර-ගමන්කරුවෙක්ද, පසු-ගමන්කරුවෙක්ද ?

ඉහත කී සියලු නායකයන් කටයුතු කළ යුත්තේ, මේ ජනතාවගේ අභිලාෂයන්ට අනුරූපව ය. එසේ නොකළොත් එම ජනතාව ඔවුන්ව ප්‍රතික්ෂේප කරන බව නායකයෝ දනිති. ඉතිං ඔවුන් කරන්නේ, ජනතාව ඉල්ලා සිටින දේවල් ඉහටත් උඩින් ඔවුන්ට සපයා දීමයි. ලංකාවේ නායකයන් වූ කලී, ජනතාවට ඉදිරියෙන් ගමන් කරන්නන් නොව, ජනතාවගේ පස්සෙන් ගාටන, ජනතාවගේ අනුගාමිකයන් යැයි කිව හැකිය. ඒ අනුව, පාස්කු ප්‍රහාරය තුළින්, මුස්ලිම්-විරෝධී මහා රැල්ලක් හැදීමට ඔවුන්ට හැකි විය. ‘එක රටක්-එක නීතියක්’ සෙවීම සඳහා, ගලගොඩඅත්තේ ඥානසාර වැනි පුද්ගලයෙකු පත්කිරීම, දකුණු ආසියාවේ දීර්ඝතම ප්‍රජාතන්ත්‍රවාදී රටේ ජනතාවගේ හෘදසාක්ෂිය පෑරුවේ නැත. ඉතිං, මොන තරම් බලශක්ති අර්බුදයකට මුහුණදී සිටියත්, පන්සල්වලට නොමිලේ හෝ සහනදායි මිලට විදුලිය සැපයීමට ආණ්ඩුවට සිදුවෙයි. එසේ නොවුණොත්, එය බෞද්ධ-විරෝධී ක්‍රියාවක් වශයෙන් සැලකීමට ජනතාව පෙළගස්වනු ඇත. ගුරුවරියන් සාරිය පමණක් හැඳිය යුතු බව භික්ෂූන් වහන්සේලා සිතන්නේ නම්, වෙනත් කිසි ඇඳුමක් හැඳීම ගුරුවරියන්ට තහනම් කළ යුත්තේය. එසේ නොවුණොත්, එය අපේ සදාචාරය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් වශයෙන් සැලකෙනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්නේ නම් මුලින්ම මල්වතු-අස්ගිරි පාර්ශ්වවලින් ඒවා අනුමත කරගත යුත්තේය. එසේ නොවන ඕනෑම අවස්ථාවක රට දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි අර ජනතාව ලවා පිළිගන්වනු ඇත. මෙතෙක් කීවේ, රටේ සංවර්ධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ජාතිය සහ ආගම පැත්තෙන් නායකයන්ට මුහුණදෙන්ට සිදුවන සීමාවන් ය.

මේ කියන ජාතිය සහ ආගමට නොදෙවැනි තවත් මනෝභාවයක් අපේ සම්ප්‍රදායික වාමාංශය විසින් ඇති කරන ලදුව, නූතන වාමාංශිකයන් විසින් තවදුරටත් ප්‍රගුණ කොට පවත්වාගෙන යනු ලැබේ. එනම්, රාජ්‍යය යන්නයි. එක අතකින් රාජ්‍යය යනු මර්දනකාරී ආයතනයක් වශයෙන් සැලකේ. අනිත් පැත්තෙන් ඒ රාජ්‍යය ලොකු මහත් කොට තබාගත යුතු දෙයක් වශයෙන්ද සැලකේ. ඒ ඔස්සේ යමින් ජනතාව පුහුණු කොට ඇත්තේ, රාජ්‍ය-කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයක් කෙරෙහි ය. ලංකාව මේ දක්වා කාර්මික දියුණුවක් අත්කර නොගැනීමේ ඉතිහාසය දෙස බලන විට, රාජ්‍යය විසින්ම රටේ කර්මාන්ත සංවර්ධනය සිදු කළ යුතු බවට එදා සිටම ගත් මතවාදය එහි හරි මැද්දේ ඇති බව පෙනෙනු ඇත. (මෙය, සෝවියට් සමාජවාදයෙන් අපට ලැබුණු උරුමයකි). කොටින්ම, ත්‍රිකුණාමලේ කැලේට ගිය තෙල් ටැංකියක් පවා, රජයට පිටස්තර ආයෝජන මාදිලියකින් සංවර්ධනය කිරීම සැලකෙනුයේ හෙන ගහන අපරාධයක් වශයෙනි. කෝටි ගණන් පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය විකිණීම සැලකෙන්නේ ‘රාජ්‍ය සම්පත්’ තුට්ටු දෙකට විකිණීමක් වශයෙනි. (සම්පතක් යනු කුමක්ද ඇත්තටම?) දහසය ලක්ෂයක් (1,600,000) වන වර්තමාන රාජ්‍ය සේවය, ආර්ථිකයේ ප්‍රමාණයට කප්පාදු කිරීම හෙවත් ප්‍රති-ව්‍යුහගත කිරීම සැලකෙන්නේ නව-ලිබරල් කුමන්ත්‍රණයක් වශයෙනි. මහ බලවතුන්ටත් (බි්‍රතාන්‍යය) නැති තරමේ විශාල නිත්‍ය හමුදාවක් නඩත්තු කිරීම සැලකෙන්නේ, ජාතික ආරක්ෂාව සඳහා නැතිවම බැරි දෙයක් වශයෙනි. කොටින්ම, ලංකාවේ ජාතිකවාදී සහ වාමවාදී යැයි කියාගන්නා ආකෘතිය, උතුරු කොරියානු මොඩලයට කිට්ටු එකක් මිස, ස්කැන්ඩිනේවියානු (නෝර්වේ, ස්වීඩන්, පින්ලන්ත, ඩෙන්මාර්ක ආදී) මොඩලයක ඡායාවක්වත් නොවේ. එනම්, ධනපති පුරවැසියන් බිහි කරගන්නවා වෙනුවට ධනපති රාජ්‍යයක් බිහි කරගැනීම පිළිබඳ ආශාවට අපි ලොල් කරමු. 

මේ දක්වා අප සාකච්ඡා කළ ප්‍රධාන ධාරා දෙකක් තිබේ. එකක්, ජාතිය සහ ආගම විසින් ගොඩනඟා ඇති සමාජ සංස්ථිතියයි. දෙවැන්න, සමාජවාදය හෝ වාමාංශය යැයි පොදුවේ වහරන, නූතන ලෝකය සමග නොපෑහෙන, නටබුන් මතවාදයයි. මේ තුනම, එනම් ජාතිය, ආගම සහ සමාජවාදය යන තුනම, ලංකාවේ ව්‍යවහාරය තුළ, දූපත්වාදී ය. 

ස්වෛරීත්වය නමැති ඉනාව

දැන් මේ සියල්ල අප ගත යුත්තේ, ‘පවතින තත්වය’ වශයෙනි. ඒ සියල්ල, ජාතියේ නාමයෙන්, ජාතිකත්වයේ නාමයෙන්, ආගමේ නාමයෙන්, දෙදහස් පන්සිය වසරක සංස්කෘතියේ සහ සදාචාරයේ නාමයන් සහ කම්කරු පංතියේ නාමයෙන් ආරක්ෂා කරගැනීමේ ඔප්පුවක් ‘ස්වෛරී භාවය’ නමැති සංකල්පය තුළින් පිළිගැන්වෙයි. ලංකාව ස්වෛරී රාජ්‍යයක් නිසා, අයි.එම්.එෆ්. (ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට) යාම නොහොබිනා ක්‍රියාවක් බව, ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකු වූද, මහබැංකු අධිපතිවරයා වූද ඩබ්. ඩී. ලක්ෂ්මන් සහ රාජපක්ෂ පවුලේ කෞටිල්‍ය වශයෙන් පෙනී සිටි අජිත් නිවාඩ් කබ්රාල්ද, රට හොම්බෙන් යන තෙක්ම කියා සිටියහ. තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, පොහොර පෝලිම් ආදිය රට පුරා වසංගතයක් සේ පැතිරී ගොස් ඉහතින් කී සමස්ත ජනතාවම කබලෙන් ලිපට වැටී විසිහතර පැයේ පිළිස්සෙන්ට පටන්ගත්තේ නැතිනම්, අදටත් අයි.එම්.එෆ්. යාමක් ගැන සිතන්නට වාසුදේව වැනි උතුරු කොරියානු මොඩලයේ වාමාංශිකයන් ඉඩ නොදෙනු ඇත.

ඒ නිසා, රට ගොඩගැනීමේ දිව ඔසුව තමන් අතේ ඇතැයි, ප්‍රශ්නය වලිගයෙන් අල්ලාගෙන යමෙකු කියන විට පරිස්සම් වන්න. තමන් බලයට පත් වූ සැණින් සොරුන් සහ දූෂිතයන් හිරේ විලංගුවේ දමන්නේ යැයි කීම එවැනි එක් ප්‍රවාදයකි. දූෂණයෙන් සහ නාස්තියෙන් තොර රටක් තමන් බිහි කරන්නේ යැයි කීම තවත් එවැනි ප්‍රවාදයකි. ඒ කාරණා සියල්ල රටක දියුණුවට අත්‍යාවශ්‍ය වෙතත්, වර්තමාන ලංකාව ගොඩ දැමීමේ ප්‍රශ්නයට පිළිතුර ඇත්තේ ඊට වඩා සංකීර්ණ සහ දුෂ්කර පරාසයක බව අද නැතත් හෙට හෝ අප වටහාගත යුතුය.  

මේ සියල්ල සාරාංශගත කළොත් මෙසේ ය: මුලින් කී නායකයන් කිසිවෙකුට (හෝ දෘෂ්ටිවාද කිසිවකට) මේ ප්‍රශ්නවලට උත්තර නැත. එසේ වී ඇත්තේ, ඔවුන්ගේ විශේෂ නොහැකියාවක් නිසා නොව, (ඉහතින් විග්‍රහ කළ) දැනට පවතින සමාජ දේහය තුළ එවැනි හාස්කමක් කිරීමට සමාජය ඔවුන්ට ඉඩ නොදෙන බැවිනි. ඒ නිසා ජනතාවක් වශයෙන් අපට කිරීමට දැනට ඉතිරි වන්නේ, අපේ සිහිනය කප්පාදු කරගැනීම පමණි. දියුණු සංවර්ධිත රටක් නොව, පෝලිම් නැති රටක්, විදුලිය නොකපන රටක්, ගොවියාට පොහොර සපයන රටක්, උද්ධමනය ටිකක් පාලනය කරගත හැකි රටක් තිබුණොත් හොඳටම ඇති කියා සැනසිය යුතුය. ඒ දේවල් පවා කරන්නේ කෙසේද, එසේ කිරීමට තව තවත් ලෝකයාට ණය විය යුතුයි නේද ආදී හොම්බෙන් යන ප්‍රශ්න ඇසීමෙන් එහිදී අප වැළකිය යුතුය. ඒවා, අපේ දරුමුනුපුරන් බලගන්නවා ඇතැයි දැනට හිත හදාගැනීම යෙහෙකි.


ගාමිණී වියන්ගොඩ 

(ප.ලි: ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් නායකයන් උතුරු කොරියාව උත්කර්ෂයට නැංවීම ජුගුප්සාජනක ය. එහෙත් රාජ්‍ය සේවක සංඛ්‍යාව කප්පාදු කළ යුතු බව පසුගිය දා ප්‍රසිද්ධියේ කියා සිටීමට තරම් අනුර කුමාර දිසානායකට හයියක් තිබීම ප්‍රශංසනීය ය).


22 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟුල් ලකුණක්ද ?



ගාමිණී වියන්ගොඩ 

ව්‍යවස්ථාවක් නිරතුරුව සංශෝධනය කිරීමට සිදුවීමෙන් කියැවෙන්නේ, ඒ ව්‍යවස්ථාවේ හෝ රටේ නායකයන්ගේ හෝ ඒ දෙකේම හෝ යම් නෛසර්ගික දෝෂයක් තිබිය හැකි බවයි. එය රෝගී තත්වයකි. ලංකාවට ඒ රෝගය බෝ කෙළේ ජේ. ආර්. ජයවර්ධනයි. එදා ඔහුට ඒ ගැන බැන්නාට ඔහුගේ රෝගය ඉන්පසු බලයට පත් සෑම කෙනෙක්ම බෝ කරගත්හ. අවුරුදු 44 ක කාලයක් තුළ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 21 වරක් සංශෝධනය කර තිබේ. ඇමරිකානු ව්‍යවස්ථාව අවුරුදු 233 ක කාලයක් තුළ සංශෝධනය කර ඇත්තේ 27 වතාවක් පමණි.

පසුගිය සතියේ අප සම්මත කරගත් (මින් මතුවට 21 වැනි සංශෝධනය යැයි හැඳින්වෙන) 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය බොහෝ දෙනා දකින්නේ ජයග්‍රහණයක් වශයෙනි. ඒ, එතෙක් පැවති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සාපේක්ෂවයි. උන්න හැටියට මළා මදිදැයි කීමට සිදුවීම, සැමරීමට කාරණයක් නොවේ. ගොඩවෙදකම් නතර කොට ශෛල්‍යකර්මයක් කරගත යුතුව තිබියදී විවිධ අවසරයන් යටතේ එය කල් දැමෙයි. ශෛල්‍යකර්මය කළ යුතු බවට පළමු වරට දිව්රා පොරොන්දු වුණේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට පත් 1994 දී ය. එහෙත් පසුගිය සතියේත් අප කෙළේ ගොඩවෙදකමකි.

විධායක ජනාධිපති ක්‍රමය මුළුමණින් අහෝසි කිරීමට අප පැකිළෙන්නේ ඇයි? රජෙකු කෙරෙහි ඇති ආශාව නිසා ය. එවැනි ආශාවක් නැතැයි කියන අය පවා, ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය කිරීමේ අවශ්‍යතාව මහා බාධකයක් වශයෙන් පෙන්නා පස්ස ගසති. ජනමත විචාරණයකට පාලකයන් එච්චර බය ඇයි? තමන්ට වඩා ජනතාව ඉදිරියෙන් සිටින බව දන්නා ඒ හැමෝම විධායක ජනාධිපති ක්‍රමයට රහසින් හෝ පෙම් බඳින නිසා ය.

ගිය සතියේ සම්මත කරගත් සංශෝධනය තුළ ඉස්මතු වූ මූලික කාරණා දෙකක් ගැන පමණක් සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි. එකක් වන්නේ, ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්නයයි. අනෙක, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන්නේ, පාර්ලිමේන්තුවක් අලුතෙන් තේරී පත්වී කොපමණ කලකට පසුවද යන ප්‍රශ්නයයි. 


ද්විත්ව පුරවැසි ප්‍රශ්නය

    

ද්විත්ව පුරවැසි ප්‍රශ්නය ගෝඨාභය රාජපක්ෂ නිරාකරණය කරගත්තේ තමන්ගේ ඇමරිකානු පුරවැසි භාවය අතහැරියා යැයි කටින් කීමෙනි. ඔහුගේ ඒ කටවචනය සෙස්සෝ පිළිගත්හ. (ඔහු ජනාධිපති පදවියට පත්වන අවස්ථාවේ ඔහු (ඇමරිකානු) ද්විත්ව පුරවැසියෙකු වී ය යන්න, දේශපාලන ඉතිහාසඥයන් විසින් අනාගතයේදී වෙනම සටහන් කර තැබෙනු ඇත). එයින්, එනම් හොරට හෝ ඒ මොහොතේ ඔහු ඇමරිකානු පුරවැසි භාවය ‘අතහැරීමෙන්’ පෙන්නුම් කෙළේ, රටේ නායකයා වීමට හෝ රටේ පාලකයන්ගෙන් කෙනෙකු වීමට හෝ යමෙකුට අවශ්‍ය වන්නේ නම්, එකී රටට (ලංකාවට) තමන්ගේ ඇති බැඳීම සහ ආදරය ප්‍රදර්ශනය කරමින් අනිත් රටේ (ඇමරිකාවේ) පුරවැසි භාවය අත්හැරීමේ හැකියාව සහ නිදහස යන දෙකම එම පුද්ගලයාට තිබුණු බවයි. එසේ තිබියදීත්, රැවුලයි කැඳයි දෙකම තමන්ගේ වාසියට පමණක්ම යොදා ගැනීමට සිතන කිසි පුද්ගලයෙකු (රටවල් දෙකෙන්) කිසි රටක පාලනයක් සඳහා සහභාගී කරගත යුතු නැති බවට, සාමාන්‍ය ඥානයෙන් අපට නිගමනය කළ හැක. 

බැසිල් රාජපක්ෂ උදාහරණයට ගත්තොත්, ලංකාවේ අනාගත පාලකයා වීමටත්, ඒ සමග සමගාමීව, ඇමරිකාව වෙනුවෙන් අනාගතයේදී යුද වැදීම සඳහා ආයුධ අතට ගැනීමට තමන්ට ඇති අයිතිය ආරක්ෂා කරගැනීමටත් ඉල්ලා සිටීම, එනම් (ඇමරිකානු) ද්විත්ව පුරවැසියෙකුට ලංකාවේ පාලනයට සහභාගී වීමේ තහනමක් නොතිබිය යුතු යැයි කීම, එවැනි අයිතියක් ඔහුට ලබා දීමට තබා ඒ ගැන ඈතින්වත් සලකා බැලීමට තරම් නොවන කාරණයක් බව පැහැදිලියි. ඒ නිසා, යහපාලන ආණ්ඩුව විසින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළමු වරට ඒ තහනම ගෙන ඒම, ඔහු සහ ගෝඨාභය පමණක් එල්ල කරගත් සංශෝධනයකැයි පොහොට්ටුකාරයන් ඒ දවස්වල කී කතාව සත්‍යයකැයි මොහොතකට පිළිගත්තත්, යහපාලන ආණ්ඩුව විසින් එසේ කිරීම අයුක්තියක් හෝ අසාධාරණයක් වශයෙන් සැලකිය හැකි දෙයක් නොවන බව ඒ පොහොට්ටුකාරයන්ම ගිය සතියේ එම තහනම ඇතුළත් 22 වැනි සංශෝධනයට පක්ෂව සිය ඡන්දය පාවිච්චි කිරීමෙන් ඔප්පු කොට ඇත.  

අප මේ කතා කරන්නේ, (බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හෝ ගීතා කුමාරසිංහ වැනි) පුද්ගලයෙකුට පමණක් අදාළ කාරණයක් ගැන නොවේ. මෙවැනි තහනමකදී පුද්ගලයාට වඩා ඉදිරියෙන් තැබෙන්නේ රට ය. ‘පුරවැසි භාවය’ යන යෙදුම තුළම පවා (පුර සහ වැසි) ඒ බව කියැවෙයි. ඒ නිසා, රටක් මුල් කරගෙන ද්විත්ව පුරවැසි තහනමක් ඒ රටේ පාලකයන් අරභයා යොදා ගැනෙන්නේ නම්, යම් පුද්ගල කොට්ඨාශයක් ඊට ගොදුරු වීම, වැළැක්විය නොහැකි අනිවාර්ය කාරණයකි. ඉතිං, යම් මොහොතක ඒ කොට්ඨාශයට අයත් වන්නේ ගෝඨාභය සහ බැසිල් රාජපක්ෂ පමණක් නම්, එය ඔවුන්ගේ ප්‍රශ්නයක් මිස රටේ ප්‍රශ්නයක් නොවේ. එහෙත් මේ රාජපක්ෂලා කෙළේ, රටේ ප්‍රශ්නය පැත්තකින් තියා, තමන්ගේ ප්‍රශ්නයට මුල් තැන දීමයි. 2019 දී ගෝඨාභය බලයට පත් සැණින් 20 වැනි සංශෝධනය ගෙන එමින් ඒ තහනම ඔවුන් ඉවත් කරගත්තේ එබැවිනි. 


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපති බලය 

මේ කාරණයට අමතරව, අප සාකච්ඡාවට ගන්නා ඊළඟ කාරණය වන්නේ, අලුතෙන් බලයට පත්වූ පාර්ලිමේන්තුවක් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන්නේ කොපමණ කලකට පසුවද යන්නයි. පාර්ලිමේන්තුවක් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලය සහ එම බලය ඔහුට අභ්‍යාස කිරීමට හැකිවන කාලය පිළිබඳ ප්‍රශ්නය මුලින් මතු වුණේ ඇයි? එක මහජන ඡන්දයකින් පත්වන විධායක ජනාධිපතිවරයා නමැති තනි පුද්ගලයා සහ තවත් මහජන ඡන්දයකින් පත්වන පාර්ලිමේන්තුව නමැති සාමූහිකය සතු බලතල, ජනාධිපතිවරයාගේ බලය සීමා වන ආකාරයෙනුත්, පාර්ලිමේන්තුවේ බලය ආරක්ෂා වන ආකාරයෙනුත් පනවා ගැනීමට පැවති උවමනාවයි.

ඒ දීර්ඝ කතාව සන්දර්භගතව කෙටි කළොත් මෙසේ ය: විධායක ජනාධිපති ක්‍රමය මුළුමණින් අහෝසි කළ නොහැකි නම්, අඩු වශයෙන්, විධායක ජනාධිපති විසින් පාර්ලිමේන්තුව ගිල ගනු ලැබීමේ අවකාශයවත් සීමා කළ යුතුය. 2015 දී බලයට පත් යහපාලන ආණ්ඩුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ ඒ පරමාර්ථයෙනි. ඒ අනුව, ඊට කලින්, ජනාධිපතිවරයාට පවරාගෙන තිබූ බලයක් කප්පාදු කෙරුණි. එනම්, අලුතෙන් පාර්ලිමේන්තුවක් පත්වීමෙන් පසු අවුරුද්දක් ඇවෑමෙන් එම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට පවරා තිබූ බලය, මේ කියන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අවුරුදු හතර හමාරක් දක්වා දිග් කරන ලදි. 

එය වරදක්ද? පාර්ලිමේන්තුවක් ජනතාව විසින් තෝරාපත් කරගන්නේ අවුරුදු පහකට ය. ඒ ජනවරමට අප ගරු කළ යුතුය. එකී ජනවරම යනු ආසන්න වශයෙන් සියයට සියයක ජනවරමකි. එනම්, පාර්ලිමේන්තුවේ (පක්ෂ-විපක්ෂ) සියල්ලන් තුළ සමස්ත ජනවරම ඇති බවයි. අනිත් පැත්තට, ජනාධිපතිවරයා සතු ජනවරම කිසි දවසක සියයට සියයක් වන්නේ නැත. උදාහරණයක් වශයෙන් ගෝඨාභය රාජපක්ෂගේ 2019 ජනවරම සියයට 52.25 ක් පමණි. එසේ තිබියදී, පාර්ලිමේන්තුව තුළ (පක්ෂ-විපක්ෂ) පූර්ණ ජනවරම ප්‍රකාශයට පත්වී අවුරුද්දක් වැනි කෙටි කාලයකින් එම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය, සියයට 52.25 ක පමණක් ජනවරමක් භූක්ති විඳින ජනාධිපතිවරයා නමැති තනි පුද්ගලයෙකුගේ හිතුමතයට බාරදීම නොමනා ය. අවුරුදු හතරහමාරක් වැනි දීර්ඝ කාලයක් යන තෙක් ජනාධිපතිවරයාට තම හිතුමතේට පාර්ලිමේන්තුවක් විසුරුවා හැරිය නොහැකිය යන ආස්ථානයට, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආවේ එබැවිනි. 

එය කෙළේ කවුද? වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේනත්, වර්තමාන සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණත් ඇතුළු වර්තමාන විපක්ෂය ය. ඒ, 2015 දී ය. දැන් 22 වැනි සංශෝධනයට මෙම වසර හතර හමාරක කාලය ඇතුළත් කළ යුතුව ඇතැයි පොහොට්ටුකාරයන් කියන විට වර්තමාන විපක්ෂය (සමගි ජනබලවේගය) ඊට විරුද්ධ වන්නේ ඇයි? එසේ විරුද්ධ වෙමින් එදා රාජපක්ෂවාදීන් 20 වැනි සංශෝධනයෙන් ගෙනා අවුරුදු දෙකහමාරේ කෙටි කාල පරාසයේම එල්ලී සිටීමට ඔවුන් තීරණය කෙළේ මොන තර්කයක් උඩ ද? 

උතුර දකුණ මාරු වීම

මෙහිදී කඳවුරු දෙක, පැති දෙක මාරු කරගෙන තිබේ. 2020 දී තමන් ගෙනා 20 වැනි සංශෝධනය තුළින් අවුරුදු දෙකහමාරකින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි යැයි කී රාජපක්ෂවාදීන් දැන් කියන්නට පටන්ගෙන ඇත්තේ එම කාලය අවුරුදු හතර හමාරක් දක්වා දීර්ඝ විය යුතු බවයි. අනිත් පැත්තෙන්, අවුරුදු හතරහමාරකට මෙහා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් නොදිය යුතු යැයි 2015 දී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් කියා සිටි වර්තමාන විපක්ෂය, අවුරුදු දෙකහමාරකින් පසු එකී විසිරවීමේ බලය ජනාධිපතිවරයාට දිය යුතු යැයි අද කියන්නේ ඇයි?  

මෙය, මේ කඳවුරු දෙකේම අවස්ථාවාදය පෙන්නුම් කරන්නකි. පොහොට්ටුකාරයන් මේ කාලය අවුරුදු හතරහමාර දක්වා දිග් කරගැනීමට අද බැලුවේ, එසේ නොවුණොත්, ලබන මාර්තුවේදී පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් තමන්ව ගෙදර යැවීමට ජනාධිපතිවරයාට ඇති බලය අහුරාලීමටයි. අනිත් පැත්තෙන්, සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය අවුරුදු දෙකහමාරෙන් පසු විසුරුවීමේ බලය ජනාධිපතිවරයා අතේ තිබිය යුතු යැයි දැන් කියන්නේ, එළැඹෙන මාර්තුවේදී වර්තමාන පොහොට්ටුව ගෙදර යවා තමන්ට බලයට පත්වීමේ අවස්ථාව ඒ මගින් උදා කරගැනීමට හැකි වන නිසා ය. 

අපේ සමස්ත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉතිහාසයම, ව්‍යතිරේකයක් දෙකක් හැරුණු කොට, මෙවැනි පටු අවශ්‍යතා පෙරදැරිව කරන ලද අභ්‍යාසයන් බව ඒ ඉතිහාසය පිරික්සීමෙන් බලාගත හැකිය. 

විශේෂිත තත්වයක් ?

දැන් අපි මේ ප්‍රශ්නයේ තවත් පැත්තක් සලකා බලමු. 

වර්තමාන පොහොට්ටුව ජනතාව විසින් ප්‍රතික්ෂේප කොට ඇති බව සක්සුදක් සේ පැහැදිලියි. එය වර්තමාන පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර සංයුතියේ හැඩගැස්ම දෙස බැලුවත්, අරගලය තුළින් ඉස්මත්තට ගෙනා මහජන මනෝභාවය පැත්තෙන් ගත්තත් පෙනෙන්ට තිබෙන තත්වයකි. ඒ නිසා, අවුරුදු දෙකහමාරක් වැනි කෙටි කාලයකින් පසු වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය දීම, වර්තමානයේ මහජනතාවගේ පැත්තෙන් ගත් විට, ඇසට පෙනෙන සාධාරණයක් බවට තර්කයක් නැත. එහෙත් ඒ ගැන දීර්ඝකාලීනවත් අප සිතා බැලිය යුතුය. 

ඒ නිසා, වෙනත් නිර්ණායකයක් ඒ කාරණය විසඳා ගැනීම සඳහා යොදාගත යුතුව තිබුණි. 

ඒ මෙසේ ය: වර්තමාන තත්වය ව්‍යතිරේකයකි. ජනතාව විසින් බලයට පත්කළ ජනාධිපතිවරයෙකු මහජන නැඟිටීමකින් පන්නා දමා තිබේ. ඇත්ත වශයෙන් බැලුවොත්, බලය අතහැර පලා ගොස් තිබේ. ඒ තත්වය තුළ, කාරණා දෙකක් ස්වයංසිද්ධ වී ඇත. මුලින් පැවතියේ 2019 දී ජනාධිපතිවරයා පත්කර ගැනීමයි. ඊළඟට, ඒ ජනාධිපතිවරයා මත පදනම්ව, 2020 දී පාර්ලිමේන්තුවේ පොහොට්ටු බහුතරය පත්කර ගැනුණි. ඒ පොහොට්ටු බහුතරයේ පදනම වූ ජනාධිපතිවරයා බලය හැර දා පැනගිය පසු, ඔහු මත පදනම්ව සිටි බහුතරයේ ජනවරමත් අහිමි වන බව සිතිය හැක. එවැන්නක් එයින් ගම්‍ය නොවන්නේ යැයි යමෙකු කියන්නේ නම්, ගෝඨාභය රාජපක්ෂ විසින් තමන්ගේ අනුප්‍රාප්තිකයා වශයෙන් පොහොට්ටුකාරයෙකු පත්කර නොගත්තේ මන්ද යන ප්‍රශ්නයට උත්තර දිය යුතුය. 

මේ නිසා, කළ යුතුව තිබුණේ, අවුරුදු දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය සදාකාලිකව ජනාධිපතිවරයාට පිළිගැන්වීම නොව, අවුරුදු හතරහමාරක් දක්වා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔහුට නොහැකිය යන ප්‍රතිපාදනය ඊළඟ පාර්ලිමේන්තුවේ සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ගැනීමයි. ඒ මගින්, ඉහතින් කී වර්තමානයේ විශේෂිත තත්වයන් යටතේ අවලංගු වී ඇති පාර්ලිමේන්තුවේ ජනවරම (ලබන මාර්තුවේදී?) අලුතින් ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතරේම, ව්‍යවස්ථාමය වශයෙන් අනිසි බලයක් දීර්ඝ කාලීනව ජනාධිපතිවරයාට පැවරීමෙන් වැළකී සිටීමටත් හැකියාව ලැබෙන්නට තිබුණි.

මේ සංශෝධනය තුළ ඇති (ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා වැනි) වෙනත් නාමික සාධනීයතා මෙයින් ප්‍රතික්ෂේප නොකෙරේ. එහෙත් ඒවා ප්‍රායෝගික තලයක සාධනීය වීම, ජනාධිපතිවරයාගේ මූලික බලතල කප්පාදුවකින් තොරව සාක්ෂාත් කරගත හැකි දෙයක් නොවන බව දැන් තියාම කිව යුතුව තිබේ. 



ගෝඨාභය යළි පැමිණීම සමඟ වහල් මානසිකත්වය යළි හිස එසවීම



- ගාමිණී වියන්ගොඩ - 

“මැරිලා ඉපදුණා වගේනෙ කතා කරන්නෙ” යැයි කතාවට කියති. මේ අත්දැකීම වර්තමාන දේශපාලනය තුළ ඇස්පනාපිට පෙනෙන්ට පටන්ගෙන තිබේ. මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වැනි වහල් හිමියනුත්, රාජපක්ෂවාදී අන්තේවාසිකයනුත් අද කතා කරන සැටි සහ පෙනී සිටින සැටි දකින විට, ලංකාවේ දේශපාලනික ලෝකය තුළ මැරිලා ඉපදීම වනාහී, අවුරුදු ගණනකින් නොව සති ගණනකින් පවා සිදුවිය හැකි අපූරු පුනරුත්පත්ති ප්‍රභේදයක් යැයි සිතේ.

ඩී. එස්. සේනානායක සහ බණ්ඩාරනායක නින්දගම්වල වහල් පරම්පරා සිටියේ හුදෙක් ආර්ථික සහ සමාජ කරුණු පෙරදැරිවයි. ඒ වහල් භාවය, ආර්ථික කරුණුවලට පිටස්තර දෘෂ්ටිවාදීමය ඇලීමක් බවට පරිවර්තනය කෙළේ මහින්දගෙන් පටන්ගත් රාජපක්ෂ පවුල්වාදයයි. සේනානායක-බණ්ඩාරනායක පරවේණියට ඔවුන්ගේ රදල පවුල් ඉතිහාසය රුකුලක් විය. එවැනි රදල පරවේණියක් අහලකින්වත් නැති රාජපක්ෂලා විසින්, සැබෑ රදලයන්ටත් වඩා ජවසම්පන්න වහල් සේනාවක් රට තුළ බිහි කරගත්තේ, දකුණේ සමාජය තුළ බණ්ඩාරනායකලා විසින්ම බිහි කළ ‘සඟ,වෙද,ගුරු,ගොවි,කම්කරු’ යන ඒක-වාර්ගික ජාතිකත්ව මාන්නය අනුසාරයෙනි. වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ප්‍රතිපාර්ශවයේ වීරයා බවට මහින්ද රාජපක්ෂ පත්වන්නේ එබැවිනි. 

මේ කතාව වෙනත් ආකාරයකින් ප්‍රකාශයට පත්වන තවත් ‘බයිලා’ වර්ග ගණනාවක් තිබේ. බෙදුම්වාදයට සහ ත්‍රස්තවාදයට දක්වන විරෝධය වැනි, බැලූ බැල්මට යහපත් යැයි පෙනෙන විවිධ අවසරයන් අස්සේ සැඟව සිටින්නේ, සැබවින්ම මහජාතික අධි-මාන්නය බව, ඒ කතාව තවදුරටත් හාරාගෙන ගියොත් අපට පෙනෙනු ඇත. දීර්ඝ කතාවක් කෙටියෙන් කිව්වොත්, “කොච්චර වුණත්, යුද්ධය ඉවරයක් කළේ ඒ මිනිහානෙ” යන වශී ගුරුකම තවමත් මතුරන මිනිසුන් අස්සෙන් මතුවන රාජපක්ෂ නාමය හුදෙක් දෘෂ්ටිවාදී එකක් වන බව කිව යුතුය. 

එක වහල් රංචුවක් එදා ගෝඨාභය රාජපක්ෂ පිළිගැනීමට කටුනායකට ගියහ. වහල් හිමියා තුළ නැති වහල් භාවයේ රාගයක් වහලා තුළ තිබේ. අපේ වහලාට තවමත් රජෙකු අවශ්‍ය කෙරේ. තමන්ගේ එකෙකු වෙනුවට උන් සොයන්නේ රජෙකුම ය. රාජපක්ෂලා නැති ලෝකයක් ගැන සිතාගැනීමට පවා බැරි තරමට මේ වහලුන්ගේ ලෝකය අන්ධකාරයෙන් පිරී ඇත. අනිත් අතට, ගෝඨාභය රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට අද වන විට තමන් විරුද්ධ යැයි කෙඳිරිගාන (වාසුදේව, වීරවංශ, ගම්මන්පිල, අතුරලියේ රතන හිමි ආදී පිරිසක්) චීන යුද නෞකාවකට උත්තමාචාර පෑමට වරායට ගියහ. ලංකාව ඇතුළේ අධි-මාන්නය දෙමළ-විරෝධයෙන් (සහ විටෙක මුස්ලිම්-විරෝධයෙන්) සතපාගන්නේ යම් සේද, ලංකාවෙන් පිටස්තර ලෝකය තුළ ඒ මාන්නය නඩත්තු කරගැනීමට බොහෝ විට පාවිච්චියට ගැනෙන්නේ ඉන්දියානු-විරෝධයයි. ඒ ඉන්දියානු-විරෝධය අද ප්‍රකාශයට පත්වන භූ-දේශපාලනික කේන්ද්‍රය චීනයයි. 


ගෝඨාභය අගමැති කමට!: පිස්සුද, හැටිද ?

වර්තමාන ආණ්ඩුව තුළ ගෝඨාභය රාජපක්ෂ අගමැති තනතුරට පත්කරගැනීමේ කතාව, මේ පුවත්පතේ පවා ගිය සතියේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත්වීමට තරම් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන තත්වයකට පත්ව තිබුණි. දේශපාලනික තර්ක ඥානය අනුව, එය මේ ආණ්ඩුව යටතේ සිදුවිය හැකි දෙයක් යැයි මොහොතකටවත් සිතිය නොහැකි වූවත්, ලංකාවේ දේශපාලනය තුළ නොවිය හැකි දෙයක් නැති නිසා, ඒ කතාව එකහෙලා බැහැර කිරීමත් කළ හැකි නොවේ. එහෙත් වැදගත් වන්නේ මෙයයි: මේ තරම් රට අගාධයට ඇද දැමූ පුද්ගලයෙකු නැවත වතාවක් තමන්ගේ රටේ අගමැති තනතුරට හෝ වෙනත් තනතුරකට මෙතරම් කෙටි කාලයක් තුළ නැවත පත්කර ගැනීමේ දවල් සිහිනය පවා දැකීමට තරම් මුග්ධ භාවයක් නූතන ලෝකයේ සාධාරණ මිනිස් සිතක් තුළ ඇති වන්නේ කෙසේද යන්නයි. ළාමකයන් පාලනය හොබවන දේශයක, කොරෝනාව ධම්මික පැණියෙන් සුවපත් වෙතැයි කීමට තරම් අවිද්‍යාත්මක මහාචාර්යවරු සිටි රටක, තවමත් පාසල් විවාද කණ්ඩායමේ බොළඳ කථික විලාසය සෝබන අනුරාගයෙන් අනුකරණය කරන සීතා අරඹේපොල වැනි කාන්තාවක් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් තමන්ගේ මන්ත්‍රී ධුරය කැප කිරීමට සූදානම් යැයි කීම පුදුමයට කාරණයක් නොවේ.

විය යුත්තේ මෙවැනි මිනිසුන්ට අගමැති තනතුරු දීම නොව, රට විනාශ කිරීම ගැන නීතිය ඉදිරියට පැමිණවීමයි. වී ගබඩාවක වී තොගයක් නරක් වීම ගැන අදාළ නිලධාරියා අනිවාර්ය නිවාඩු යවා විනය පරීක්ෂණයක් පටන්ගත් බව ඊයේ (7) මාධ්‍ය වාර්තා කෙළේය. කෙටිම කාලයක් තුළ වැඩිම විනාශයක් කළ, නූතන ලංකාවේ වාර්තාගත නාමය ගෝඨාභය රාජපක්ෂ ය. එක් පුංචි වී ගබඩාවක් නොව, වී ඇතුළු සමස්ත කෘෂිකාර්මික රටක්ම මාස කිහිපයකදී මොහු විනාශ කෙළේය. අද ගොවි ජනතාව පාරට වැටී සිටින අතර, පාරිභෝගික අපි ආහාර හිඟයෙන් බැටකමු. ලෝක බැංකුව පෙන්වා දෙන පරිදි, ආහාර මිල ගණන් ලෝකයේ වැඩිම රටවල් 10 අතරින් ලංකාව පස්වැනි ස්ථානය ගෙන තිබේ. ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදනය සියයට 40-50 අතර ප්‍රමාණයකින් පහළ වැටී ඇත. එසේ තිබියදී, ඔහු නැවතත් රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගත යුතු යැයි කියන්නේ මොන කටකින්ද! 

කෙසේ වෙතත්, දිට්ඨධම්මවේදනීය කර්මය තමන් විසින්ම තමන්ට අත්කරගත් එකම නායකයාත් ඔහු ය. ඔහු එක දිගට වැරදි මාලාවක් කරගෙන ආවේය. කෝවිඩ් සඳහා එන්නත් ගෙන්විය යුතු නැතැයි පාර්ලිමේන්තුවේදී කීමට තරම් ‘විපලවීය’ වූ වාසුදේව නානායක්කාර වැනි කල් ඉකුත් වූ දේශපාලනඥයන්ගේ හිස්බස්වලට පවා අහුවෙමින් සිටි ඔහුගේ පාපයට වන්දි ගෙව්වේ ඔහු නොව, මේ රටේ අහිංසක ජනතාවයි. සුනිල් පෙරේරා (ජිප්සීස්), මංගල සමරවීර සහ මහරාජා වැනි සමාජයේ සිටි කැපීපෙනෙන මිනිසුන්ට අමතරව, තවත් දහස් ගණන් අහිංසක මිනිසුන් තම ජීවිතවලින් එම පාපයට වන්දි ගෙවිය යුතුව තිබුණේ නැත. 


ගෝඨාභයගේ ‘අභිනිෂ්ක්‍රමණය’ ඇතුන් ලවාවත් ආපසු හැරවිය හැකි නොවේ

එහෙත් ඒ කිසිවකට ගෝඨාභය රාජපක්ෂ අහුවුණේ නැත. ඊට වඩා බරපතල පලදීමක් ඔහු වෙනුවෙන් වෙන්ව තිබුණි. බදු කප්පාදුව, ධම්මික පැණිය, කාබනික පිස්සුව සහ කබ්රාල්-සන්නිය වැනි මහා අපරාධ එක දිගට ගොඩගැසුණි. ඒ සියලු සාපරාධීත්වයන්ට ලංකාව වැනි රටක සමාවක් තිබුණි. එහෙත් අවසානයේ, පිටස්තරින් සමාවක් දිය නොහැකි එක් තනි (අවසාන?) මෝඩකමක් ඔහු කෙළේය. එනම්, ජීවිතය බේරාගැනීමට ලංකාවෙන් පලාගොස්, තත්වය සමනය වන තෙක් වැඩබලන තනතුරට රනිල් වික්‍රමසිංහ පත්කොට බලා සිටිනවා වෙනුවට, ඔහු තනතුරෙන් ඉල්ලා අස්විය. ඒ වෙනුවට, ජනාධිපති තනතුරේ රැඳී සිටිමින්ම, කිව්.ආර්. කේතයේ හාස්කම සහ රනිල් වික්‍රමසිංහගේ අනුග්‍රහය සහ මඟපෙන්වීම පමණක් ලබාගැනීමට තරම් ඔහුට ඥානයක් තිබිණි නම්, තවමත් ජනාධිපති තනතුරේ සිටිනු ඇත්තේ ඔහු ය. කෙසේ වෙතත්, ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවා ගැනීමට බැරි මෝඩකම සිදුවුණේ ජනාධිපති තනතුරෙන් ඔහු ඉල්ලා අස්වී, රනිල් වික්‍රමසිංහව ජනාධිපති තනතුරටත් ඔසවා තැබීමෙනි.

ඇත්ත, මේ කතාව වෙනස් ආකාරයකින්ද කියවාගත හැකිය. එදා පැවති භයානක ඉද්දරේදී, ඔහුගේ ඉල්ලා අස්වීමෙන් සමාජය තුළ යම් තාවකාලික සමනයක් ඇති කරගත හැකිව තිබීමේ ශක්‍යතාව වැදගත් සාධකයක් වශයෙන් ක්‍රියාත්මක වුණා විය හැකිය. ඇත්තෙන්ම අරගලයේ ජවය කෙමෙන් බැස යාම ආරම්භ වන්නේ, එකී ඉල්ලා අස්වීම නිසා ය. අරගලයට මහා හයිය සැපයූ සාමාන්‍ය ජනතාව, එම ඉල්ලා අස්වීමෙන් පසු, අලුත් බලාපොරොත්තු ඇති කරගත්හ. අරගල භූමියෙන් සහ අරගල මාදිලියෙන් ඔවුහූ හැකිතාක් ඈත් වූහ. 

තත්‍ය තත්වය එසේ විය හැකි වෙතත්, ගෝඨාභය ඉල්ලා අස්වීමට ගත් තීරණය එකී යථා ස්වභාවය සත්භාවයෙන් සැලකිල්ලට ගෙන රට වෙනුවෙන් ගත් තීරණයකට වඩා, ඊට කලින් ඔහු ගත් සෑම තීරණයක් සම්බන්ධයෙන් වාගේම මේ කාරණයේදීත්, ඔහුගේ කෙටි-දුර දැක්ම සහ අඥාන කම හේතුකොටගෙන සිදු වූවක් ය යන්න මේ ලියුම්කරුගේ අදහසයි.

ඒ කෙසේ වෙතත්, විනාශය සිදුව තිබේ. අප කැමති වූවත් නැතත්, ඊට අදාළ මහා වන්දිය රටක් වශයෙන් ගෙවීමට අපට අද බල කෙරී තිබේ. ඒ සඳහා පුරවැසියන් වශයෙන් අපට හිත හදාගත හැක්කේ, ඊට වගකිව යුත්තන් නීතිය ඉදිරියට පැමිණවීමෙනි. ගෝඨාභය රාජපක්ෂගෙන් පටන්ගෙන, අජිත් නිවාඩ් කබ්රාල් සහ අතුරලියේ රතන හිමියන් දක්වා වන කිසිවෙකු කිසි දවසක අධිකරණයක් ඉදිරියේ වරදකරුවන් කොට දඬුවම් කෙරෙනු ඇතැයි විශ්වාස කළ හැකි නොවේ. අපේ අතීතය එවැන්නකට සාක්ෂි නොදරයි. 

ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ

2009 සිට 2018 දක්වා මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් පසුගිය අගෝස්තුවේ වසර 12 ක සිරදඬුවමකට නියම විය. ඊට අමතරව, ඩොලර් මිලියන 47 ක දඩයකටද යටත් කෙරිණ. වරද, ජනතාවගේ සහ රටේ ධනය සොරාකෑම ය. ඔහුගේ බිරිඳ, රොස්මා මන්සෝර්, පසුගිය 1 වැනිදා එම වරදටම අවුරුදු 10 ක සිර දඬුවමකට සහ ඩොලර් මිලියන 216 ක දඩයකට යටත් කරන ලදි. එහෙත් ඒ මැලේසියාවේ ය.      

ගෝඨාභය රාජපක්ෂගේ කෙටි ධුර කාලය තුළ සීනි වංචාව, අශූචි නැව්වලට කෝටි ගණන් ගෙවීමේ වංචාව සහ අක්‍රමිකතා සියල්ල එකට ගත් විට, මහබැංකු සොරකම් සියයට අගයකටත් වඩා මේ රටේ ජනතාවගේ ධනය කොල්ලකෑමේ ඉතිහාසයක් අප ඉදිරියේ දිගහැරෙයි. මේ තත්වය මොන තරම් බරපතල වීද යත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය පවා, මේ ආර්ථික ඝාතනයට වගකිව යුත්තන් නීතිය ඉදිරියට පැමිණවිය යුතු බවට පසුගිය දා යෝජනා කළාය. 

ආර්ථිකය පමණක් නොව, සමස්ත සමාජ දේහයම රෝගී කළ වකවානුවත් එයයි. පොලීසියට සහ අධිකරණයට පවා එයින් ගැළවීමක් නොවුණි. උපාලි අබේරත්න නමැති කුප්‍රකට ඉතිහාසයක් ඇති හිටපු විනිසුරුවරයෙකු යටතේ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරමින්, ඇමරිකානු-යුරෝපා ඉතිහාසයේ මීට සියවස් ගණනාවකට ඉහතදී කුණු කූඩයට වීසි කොට තිබූ “දණ්ඩාධිකරණ” සම්ප්‍රදායක් ලංකාවට හඳුන්වා දුන්නේත් මේ කාලයේ ය. රාජපක්ෂලා නොවන සියල්ලන් වැරදිකරුවන් කිරීමත්, රාජපක්ෂලා නිfදාස් කොට නිදහස් කිරීමත් පමණක් නොව, ඒ දූෂිතයන්ට සහ අපරාධකරුවන්ට වන්දි ගෙවීමේ නිර්දේශයන් පවා මේ කියන උපාලි අබේරත්න නමැති කුප්‍රකට පුද්ගලයා යටතේ කරලියට ආවේය.  

මේ සමස්ත නස්පැත්තිය රට ඉදිරියේ නිරාවරණය විය යුතුය. දැනට ඉහත කී විවිධ සිදුවීම් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා උසාවි ගොස් තිබෙන නඩු රාශියකි. විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ ඉතා දරුණු වාර්තාවක් රජයට ඉදිරිපත් කොට ඇත. ඒ සියල්ලට සමගාමීව, දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු වගකිවයුත්තන් පිළිබඳ විභාග කිරීමේ “මහජන විමර්ශන කොමිසමක්” පත්කර ගැනීමට කාලය පැමිණ තිබේ. එවැනි කොමිසමක නිර්දේශ ක්‍රියාවට නැංවීමේ නෛතික හැකියාවක් නැති වූවද, ඉතිහාසය තුළ මේ සාපරාධී ක්‍රියාවලිය ජනගත කිරීමේ සාර්ථක අවස්ථාවක් ඒ මගින් ඇති කරගත හැකිය. මේ සඳහා සෑහෙන බරපැනක් දැරීමට සිදුවනු ඇත. ආයතනික සහාය සහ මාධ්‍ය සහායත් අවශ්‍ය කරනු ඇත. පූර්ණ සිවිල් මැදිහත් වීමක් වශයෙන් ක්‍රියාවට නැංවිය හැකි මෙවැනි යාන්ත්‍රණයක් සඳහා මහජන සහයෝගය නොඅඩුව ලැබෙනු ඇති බවටත් සැකයක් නැත. නූතනයේ ඓතිහාසික අරගලය විසින් මේ රටේ ජනතාව අද අවදි කොට ඇත. ඔවුන් නැවත නින්දට වැටෙන්ට කලින් මෙවැන්නකට යොමු වීම වැදගත් ය.




විශ්වාසභංගය සහ විපක්ෂයේ උපායමාර්ග





ගාමිණී වියන්ගොඩ


උදය ගම්මන්පිලට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 91 කින් පරාජය විය. ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක විපක්ෂයක් විසින් ආණ්ඩුවට හෝ එහි සාමාජිකයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන ඒම සහ බොහෝ අවස්ථාවල ඒවා පරාජයට පත්වීම අහම්බ කාරණයක් නොවේ. සාමාන්‍යයෙන් ආණ්ඩු කරවන පක්ෂයට පාර්ලිමේන්තුවක් තුළ වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සිටීම, එවැනි විශ්වාසභංග පරාජය වීමට මූලික හේතුවයි. තුනෙන් දෙකකට ආසන්න මන්ත්‍රීන් සංඛ්‍යාවක් සිටින වර්තමාන ආණ්ඩුව විසින් එවැනි විශ්වාසභංගයක් පරාජය කරනු ලැබීම කොහෙත්ම පුදුමයක් නොවේ. එසේ වෙතත්, ආණ්ඩුවක් කෙරෙහි සමාජයේ පවතින මහජන විවේචන තීව්‍ර කිරීමත්, විපක්ෂය කෙරෙහි ජනතාව තුළ පවතින ප්‍රසාදය යම් තරමකින් හෝ ශක්තිමත් කරගැනීමට යත්න දැරීමත් විශ්වාසභංගයක් මගින් අපේක්ෂා කෙරේ. ඒ තාක් දුරට විශ්වාසභංගයක දේශපාලනික ඵලදායිතාවක් ඇත්තේය. 

ඒ හැරුණුකොට විශ්වාසභංග ගෙනෙන්නේ, පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ විටින්විට පිළිපදින සම්ප්‍රදායික ශාන්තිකර්ම විධියක් වශයෙනි. එවැනි විශ්වාසභංගයක් ගෙනෙන විට, ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර පවතින සම්ප්‍රදායික රංගනයට අමුතු සෝබාවක් ලැබේ. මෙවර උදය ගම්මන්පිලට එරෙහිව විපක්ෂය විසින් ගෙනෙන ලද විශ්වාසභංගය අයත් වන්නේ මේ සම්ප්‍රදායික ශාන්තිකර්ම ප්‍රවර්ගයට ය යන්න මේ ලියුමකරුගේ විශ්වාසයයි. එහි මතුපිට ප්‍රමෝදයට යටින් හාස්‍යාකාර විකාරයක් ඇතැයි සිතේ. මා එසේ කියන්නේ ඒ ඇයි?

උදය ගම්මන්පිලට එරෙහිව පාවිච්චියට ගැනෙන ප්‍රධාන චෝදනාව වන්නේ තෙල් මිල වැඩි කිරීමයි. එම චෝදනාව මුලින්ම නඟන්නේ ආණ්ඩුව කරවන පොහොට්ටුවේම ලේකම්වරයා ය. ඔහු එම චෝදනාව නැඟීම සහ විපක්ෂය එම චෝදනාව නැඟීම අතර අහසට පොළොව වැනි වෙනසක් තිබේ. පොහොට්ටු ලේකම්වරයා ඒ චෝදනාව කෙළේ, රාජපක්ෂ දේශපාලනයේ එක් මූලික තර්කණයකට අනුගත වෙමිනි. එනම්, සිදුවන ඕනෑම වරදක් හෝ පීලිපැනීමක්, ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ හෝ බැසිල් රාජපක්ෂගේ ශේෂපත්‍රයට බැර නොකර රටට පහදා දීමේ තර්කණයට අනුගත වෙමිනි. 


අන්‍යදෝෂධාරියා

 

විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණේ, නිදහසෙන් පසු කිසි නායකයෙකු කෙරෙහි ආරෝපණය නොකෙරුණු සර්වඥතා සහතිකයක් සහිතව නිසා, ජනතාව පීඩාවට පත්කරන ඕනෑම වරදක කර්තෘකයා අනිවාර්යයෙන්ම ඔහුගෙන් පිටස්තර කෙනෙකු වන බවට වගබලාගත යුතුව තිබේ. මීට කලින් මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ සිදු වූ සෑම වරදක්ම පාහේ බැර කෙරුණේ, “මහින්ද වටේ සිටි සොරුන් සහ දූෂිතයන්” වෙතට බව අපට මතකයි. ඉතිං මෙවර, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් සිටින, මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරය දරන ආණ්ඩුවක පොහොට්ටුවේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂගේ ආර්ථික මඟපෙන්වීම ඔස්සේ තෙල් මිල ඉහළ දැමීමේ “වරද”, පොහොට්ටු ලේකම්වරයා විසින් උදය ගම්මන්පිලගේ කරට දැමීම අභව්‍යයක් නොවේ. විකාරය වන්නේ, රටවැසියා ඇන්දවීම සඳහා පොහොට්ටු ලේකම්වරයා පාවිච්චියට ගත් එම වංචනික විහිළුව, විපක්ෂය විසින් සැබෑවක් වශයෙන් ගැනීම සහ ඒ මත පදනම්ව විශ්වාසභංගයකුත් ගෙන ඒමයි.

මෙයින් කියැවෙන්නේ කුමක්ද? තෙල් මිල ඉහළ දැමීමේ තනි වැරදිකරුවෙකු ඇති බවත්, සෙසු කිසිවෙකු ඊට වගකිව යුතු නැති බවත් විපක්ෂය විසින්මත් කියා සිටීම නොවේද? එනම්, ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු සියලු නායකයන් විපක්ෂය විසින් “නිfදාස් කොට නිදහස් කරන ලද” බවකි. මේ ආකාරයට, උදය ගම්මන්පිලට එරෙහිව සෙල්ලම් ගෙවල් චෝදනාව නැඟූ පොහොට්ටු ලේකම්වරයාම අවසානයේ මේ විශ්වාසභංගය පරාජය කිරීම සඳහා තමාගේ ඡන්දය පාවිච්චි කිරීමෙන් පෙන්නුම් කර තිබෙන්නේ, විපක්ෂය වැටුණු වළේ ගැඹුරයි. මා සිතන විදිහට, මේ විශ්වාසභංගය පරාජය කරනු ලැබීමේ සතුට වැඩියෙන්ම සමරනු ඇත්තේ ඔහු බවයි. 

මෙහිදී යම් කාරණයක් අපේ පාඨකයාට මතක් කර දීම වැදගත් ය. අපේ රටේ දැන් පවතින විධායක ජනාධිපති ක්‍රමය තුළ, සර්වබලධාරී තන්ත්‍රයක් තනි පුද්ගලයෙකු සහ තනි පවුලක් තුළ සංකේන්ද්‍රණය වී ඇති බව අප දත යුතුය. එම යථාව මඟහැර යන, එම යථාව වසං කරන ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ ඕනෑම ක්‍රියාවක්, මෙවැනි විධායක ජනාධිපති ක්‍රමයක් ඉදිරියටත් ආරක්ෂා කරගත යුතුය යන මතයේ පිහිටා කරන කටයුත්තක් වශයෙන් හඳුනාගත යුතුව තිබේ. ජනාධිපතිවරයාගේ සහ රාජපක්ෂ පවුලේ නොවන කිසි ප්‍රතිපත්තියක්, ආණ්ඩුවේ කිසි මන්ත්‍රීවරයෙකු හෝ ඇමතිවරයෙකු තුළ තිබිය නොහැකි බව එහි අදහසයි. 


සේවක අර්ථසාධකයත් කප්පාදුවට?


ඔබට උදාහරණ අවශ්‍යද? මේ ජනාධිපතිවරයා බලයට පත්වූ වහාම ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය වෙනස් කෙළේය. ඒ අනුව, ආණ්ඩුව එතෙක් ලබමින් සිටි ආදායම් මාර්ග ස්වේච්ඡාවෙන් අතහැරියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් රුපියල් බිලියන 540 ක් ආණ්ඩුවට අහිමි විය. ඒ වෙස්සන්තර ක්‍රියාවේ පරමාර්ථය වුණේ, ඇති-හැකි එකා බදුවලින් හැකිතාක් නිදහස් කිරීමයි. එසේ කිරීමෙන් ඇති වන පාඩුව වෙනත් අයුරින් පියවා ගැනීමට ආණ්ඩුවකට සිදුවෙයි. උදාහරණයක් වශයෙන්, මේ වන විට ක්‍රියාත්මක වීමට නියමිත එක් බදු ප්‍රතිපත්තියකට අනුව, ඔබේ දීර්ඝ කාලීන රැකියාවෙන් ඉතිරි කොට රැකියාව අවසානයේ ඔබේ අතට ලැබීමට නියමිත ‘සේවක අර්ථසාධක අරමුදලේ’ විශ්‍රාමික දීමනාව රුපියල් ලක්ෂ 7 ට වැඩි නම්, ඒ සොච්චමෙන් පවා සියයට 14 ක් බදු වශයෙන් ඔබ විසින් ආණ්ඩුවට ගෙවීමට නියමිතව සිටින බව ඔබ දන්නේද? පාඩම මෙයයි: ඇති-හැකි එකාට බදු සහන සලසන විට නැති-බැරි එකාගෙන් එය පියවා ගැනීමට සිදුවෙයි. ඊළඟ පාඩම මෙයයි: එවැනි ප්‍රතිපත්තියක් දරන ආණ්ඩුව අයත් වන්නේ, ගෝඨාභය ඇතුළු රාජපක්ෂලාට මිස උදය ගම්මන්පිල නමැති වන්දිභට්ටයෙකුට නොවේ.   

තවත් උදාහරණයක් ගන්න: ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ දූෂණයෙන් සහ අක්‍රමිකතාවන්ගෙන් තොර කාර්යක්ෂම ශ්‍රී ලංකාවක් අපේක්ෂා කෙරුණි. ඊට පාර කියාදීම සඳහා ‘වියත් මඟ’ නමැති අට්ටාලයක් තැනවුණි. මෙසේ තිබියදී, ඉහළ පුටුවල වාඩි වී සිටි ඇතැම් නිලධාරීන්, දූෂණ චෝදනා හෝ අක්‍රමිකතා චෝදනා මත විටින්විට ඉවත් කෙරුණි. එහෙත් ඒ සෑම පුද්ගලයෙකුම ඊටත් වඩා සරුසාර සහ බරසාර පුටුවල ඊළඟට වාඩි කැරැවුණි. ඒ කිසිවක්, එකී ආයතන භාර අමාත්‍යවරුන් විසින් කරන ලද ක්‍රියාවන් යැයි විහිළුවටවත් නොසිතන්න.


තවත් දූෂිතයෙකුට ජනාධිපති සමාව 

 

තවත් උදාහරණයක් ගන්න: “එක රටක්, එක නීතියක්” නමැති සටන්පාඨය ඔබට මතක ඇති. අද මට කියවන්නට ලැබුණු පුවත්පත් වාර්තාවක් මෙසේ ය: “අල්ලස් චෝදනාවකට වරදකරු වී වසර 18 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම වී සිටි වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට ජනාධිපති සමාව ලැබී ඇති හෙයින් කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් ඔහු නිදහස් කරනු ලැබීය. මෙසේ නිදහස් කෙරුණේ වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන දැදිගම නෙළුම්දෙණියේ පදිංචි මාකේවිටගේ ලක්ෂමන් පතිරාජ සමරසිංහ නමැත්තෙකි.” මේ නඩුව සම්බන්ධයෙන් ගත්තොත්, විපක්ෂයේ වර්තමාන විශ්වාසභංගය සමාන වන්නේ, ඉහත කී සිරකරුවා නිදහස් කරනු ලැබූ විනිසුරුවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංගයකට ය. 

එසේම, ඊටත් ඉහතින් කී කුමන හෝ දූෂිත ක්‍රියාවක් නිසා යම් ලොක්කෙකු එක් ඉහළ පුටුවකින් ඉවත් කොට වෙනත් ඉහළ පුටුවක වාඩි කැරැවූ ක්‍රියාව අතාර්කික යැයි කිව හැක්කේ කාටද? එසේම, මහබැංකු බැඳුම්කර වංචාවෙන් සොරා ගැනීමට තැත් කළ මුදලටත් වැඩි මුදලක්, පැය විසිහතරක් වැනි කෙටි කාලයක් තුළ, සීනි සහ තෙල් බදු විශේෂ සහනයක් සැපයීම මගින් යම් ජාවාරම්කාරයෙකුට උපයා දීමට කටයුතු කළ දේශපාලනික නායකත්වයක්, අනිත් පැත්තෙන්, තෙල් මිල ඉහළ නැංවීම සහ අසරණ සේවකයාගේ ‘අර්ථ සාධක අරමුදලේ’ පාරිතෝෂිකයෙන් පවා සියයට 14 ක් උදුරා ගැනීමට යත්න දැරීම අතාර්කික යැයි කිව හැක්කේ කාටද? සිව් පුද්ගල ඝාතනයකට වැරදිකරු වී එල්ලුම්ගහට නියමව සිටි දුමින්ද සිල්වා ජනාධිපති සමාවක් මත නිදහස් කිරීම ජනාධිපති බලතල යටතේ ‘තාර්කික’ නම්, එම දුමින්ද සිල්වා ජනාධිපති බලතල යටතේ ‘ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ’ සභාපති තනතුරට පත්කිරීම අතාර්කික වන්නේ කෙසේද?  


සර්වබලධාරී විධායකය 


මෙතෙක් මා කියන්නට උත්සාහ කළ කාරණය මෙයයි: 20 වැනි සංශෝධනය සහිත විධායක ජනාධිපති ක්‍රමය තුළ පාලකයන් විසින් සිදුකරනු ලබන කිසි දූෂණයක්, අක්‍රමිකතාවක් හෝ අපරාධයක්, එම ජනාධිපති ක්‍රමය සහ එම ක්‍රමය මුදුනේ සිටින බලාධිකාරිය වෙතින් වියුක්ත කොට වෙන තනි පුද්ගලයෙකු වෙත බලහත්කාරයෙන් බැර කළ හැකි නොවේ. එසේ කිරීමට තැත් කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අනුමත කිරීමේ සහ එක දිගටම පවත්වාගෙන යාමේ කඩතුරාවක් වන්නේය. 

එයින් කියැවෙන්නේ, ජනාධිපතිවරයා සහ ජනාධිපති ක්‍රමය ඉලක්ක නොකෙරෙන විරෝධතා අර්ථ විරහිත වන බවද? කොහෙත්ම නැත. එසේ කිරීම හරියට, සෑම ප්‍රශ්නයකම විසඳුම ධනවාදය ඉවරයක් කොට ඇති කරගන්නා සමාජවාදය සමග ඈඳාගන්නා මෝස්තර වාමවාදීන්ගේ ආස්ථානය වැන්නකි. නැත, ලැබෙන හැම වේදිකාවක් සහ අවස්ථාවක්ම, සාධාරණ විරෝධතා කුළුගැන්වීම සහ ජනතාව බලමුළුගැන්වීම සඳහා පාවිච්චියට ගත යුතුය. එහෙත් එය පරිස්සමින් කළ යුතු අභ්‍යාසයකි. විපක්ෂයේ විරෝධය පාලකයන්ට පිරිනැමෙන ආශීර්වාදයකට හේතුවක් නොවිය යුතුය. එසේම පොදු ජනතාව තුළ වැරදි වැටහීම් ඇති කරවන තත්වයකට එවැන්නක් තුඩු දිය යුතු නැත.

අප නොමඟ යන එක්තරා තොඳොල් දේශපාලනයක් තිබේ. එහිදී, ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ අතරත්, මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ අතරත් පමණක් නොව, ඔවුනොවුන්ගේ බිරියන් අතරත් පවතින විශාල විරසකයන් ගැන සොඳුරු අපේක්ෂා විටින්විට විපක්ෂයේ අනුභවයට ලැබේ. ඊළඟට, රාජපක්ෂ පවුල සහ විමල් වීරවංශ, උදය ගම්මන්පිළ ආදීන් අතර පවතින සීතල යුද්ධ ගැනත් කතා කියැවේ. ඊළඟට අප ගණන් හදන්නේ ඒ ආරංචි මත පදනම්වයි. වර්තමාන විශ්වාසභංගය, යම්තාක් දුරකට එවැනි ගණනය කිරීම් හරහා කරළියට එන්නට ඇතැයි සිතේ. එවැනි උපකල්පන සහ සමපේක්ෂණ ඉතා කලාතුරකින් ඵලදායී වන බව ඇත්ත. උදාහරණයක් වශයෙන්, එදා රාජපක්ෂ පවුල සහ මෛත්‍රීපාල සිරිසේන අතර විරසකය ඵල දැරූ ආකාරය දැක්විය හැකිය. එහෙත්, මේ විධායක ජනාධිපති ක්‍රමය තුළ, එවැනි පසමිතුරුකම් විපක්ෂයක වාසියට සිටින අවස්ථා ඉතාමත් අල්පයි. අවශ්‍ය නම්, 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් විදුර වික්‍රමනායක වැනි දේශපාලනඥයන් එදා මරාගෙන මැරෙන්නට ගිය හැටි සහ අවසානයේ එම සංශෝධනයට පක්ෂව ඔහු ඡන්දය පාවිච්චි කළ හැටි සිහියට නඟා ගන්න.

මෙවර විශ්වාසභංගයේදී, එතෙක් යටිතලයේ කතාබහට ලක්වෙමින් තිබූ, ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇතැයි ඉහතින් කී ගැටුම් සහ පරස්පරතා කිසිවක්, විපක්ෂය අපේක්ෂා කළ පරිදි, ආණ්ඩුවට අවාසිසහගත තත්වයකින් සමාප්තියට පත්වුණේ නැත. ඒ වෙනුවට, තෙල් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් පවා ආණ්ඩුව තුළ ඇතැයි කී පරස්පර ආස්ථානයන් මේ විශ්වාසභංගය මගින් සමනයකට පත්කොට ඇති බවක් අපට අද නිරීක්ෂණය කළ හැකිය. එයින් පෙනී යන්නේ, උදය ගම්මන්පිල යනු තෙල් මිල වැඩි කිරීමේ පණිවිඩය රටට සන්නිවේදනය කළ වාර්තාකරුවා පමණක් වන බවයි.


පාර්ලිමේන්තුව, ප්‍රජාතන්ත්‍රවාදයේ එකම වේදිකාව නොවේ


මේ මොහොතේ, මෙම කාරණය නිමිති කරගෙන විශ්වාසභංගයක් ගෙන ඒම පිළිබඳව කෙනෙකුට මතු කළ හැකි එවැනි විවේචන එසේම තිබියදීත්, තමන්ගේ මූලෝපායයන් තුළ මෙම විශ්වාසභංගය පසුකාලීනව හෝ අර්ථවත් කරගත හැකි අවකාශයක් නිර්මාණය කරගැනීම වර්තමාන විපක්ෂයට කළ නොහැක්කක් නොවේ. ඒ වෙනුවෙන්, මෙම තනි සිද්ධියට (විශ්වාසභංගයට) අර්ථයක් සැපයෙන සේ තමන්ගේ පර්යාය ලෝකය පුළුල් කර ගැනීමක් විපක්ෂය පැත්තෙන් අවශ්‍ය කෙරේ. මේ මරුමුසු විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ වර්තමාන විපක්ෂය තුළ විවේචනාත්මක දේශපාලනයක් පෙනෙන්ට නොතිබීම, එහිදී මූලික වශයෙන් කැපීපෙනෙන අඩුවකි. ඊට අමතරව, ආණ්ඩුවේ මුග්ධ ආර්ථික ප්‍රතිපත්ති හේතු කොටගෙන සමස්ත ජනතාවට මේ අවස්ථාවේ මුහුණදීමට සිදු වී තිබෙන දෛනික ජීවිතය ගැටගසා ගැනීමේ නොහැකියාවත්, ව්‍යාපාරික ප්‍රජාව අතරමංව සිටින අලාමුළාවත් පිළිබිඹු කෙරෙන සෑම ඉසව්වක්ම ඉලක්ක කරගනිමින්, පාර්ලිමේන්තුවට පිටතින් ජනතාව ඒකරාශී කරන ප්‍රජාතන්ත්‍රීය සටන් වැඩපිළිවෙලකට අවතීරණ වීමත් නොවලහා අවශ්‍ය කෙරේ. පරාජය වූ විශ්වාසභංගයක් පසුකාලීනව හෝ අර්ථවත් කළ හැක්කේ එමගින්ම පමණි.





පාස්කු වාර්තාව හා සිරිසේනගේ වගකීම

 



- ගාමිණී වියන්ගොඩ - 


පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය හෝ තුවාල ලැබූ කිසිවෙකු එවැනි ප්‍රහාරයක් ගැන ඈතකින්වත් දැනගෙන සිටියේ නැත. එසේම, ඒ ගැන ඈතින් හෝ සමීපව හෝ දැන සිටි කිසිවෙකු ඒ ප්‍රහාරයෙන් සීරීම් තුවාලයක්වත් ලැබුවේද නැත. ඒ වාසනාවන්ත පිරිස අතරට, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ තවත් හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ ඇතුළු බොහෝ දේශපාලඥයන්ද, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වැනි රාජ්‍ය නිලධාරීන් ඇතුළු තවත් අය අයත් වෙති. ඔවුන් විවිධ මූලාශ්‍රවලින් කල්තියා ඒ පිළිබඳ යම් දැනුමක් ඇතිව සිටි බවට පසුව හෙළිදරව් විය. එම දැනුම රටවැසියාටත් තිබුණේ නම්, අඩු වශයෙන් එදා මියගිය ප්‍රමාණයෙන් යම් පිරිසක්වත් එකී අවදානම සැලකිල්ලට ගෙන නිවෙස්වල රැඳී සිටින්නට ඉඩ තිබුණි.

මූලධර්මවාදී ඉස්ලාම් ආගමික කල්ලි පසුගිය දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ලෝකයේ විවිධ තැන්වල මෙවැනි ම්ලේච්ඡ අපරාධ සිදුකොට තිබුණි. ඇෆ්ගනිස්තානය වැනි රටවල එවැනි මූලධර්මවාදී කොටස් බලයට පත්ව තිබුණි. කලක් ලෞකික රාජ්‍යයන් වශයෙන් පැවති ඉරාකය වැනි මුස්ලිම් රටවල් පවා මේ කියන කාලය තුළ, මුස්ලිම් ආගමික අන්තවාදීන් විසින් මෙහෙයවනු ලබන පාරාදීස බවට පත්වෙමින් තිබුණි.

ඒ තත්වය තුළ, පොදුවේ මුස්ලිම් ප්‍රජාව ලෝකය පුරා එක්තරා ආකාරයක සැකයට සහ අවිශ්වාසයට ලක්වූහ. එය, යුරෝපයේ කතෝලික/ක්‍රිස්තියානි රටවල සේම, ලංකාව වැනි බෞද්ධ ජනයා බහුතරයක් වෙසෙන සහ ඉන්දියාව වැනි හින්දු ජනයා බහුතරයක් වෙසෙන රටවලත් දක්නට ලැබුණි. බටහිර රටවල පාලකයන් මේ ප්‍රශ්නය ඇති කිරීමට විවිධ ආකාරයෙන් සම්මාදම් වී තිබුණත් (උදාහරණ: රුසියාව ඇෆ්ගනිස්තානයට කඩාවැදීමෙන් සහ ඇමරිකාව ඉරාකයට කඩාවැදීමෙන්), පසු කලෙක මූලධර්මවාදී තර්ජනය මැදපෙරදිග කලාපයෙන් බටහිර දියුණු ලෝකයේ ඇඟට දැනෙන ආකාරයෙන් ව්‍යාප්ත වන්නට පටන්ගත් විට, මෙකී ත්‍රස්තවාදය පිළිබඳ කාරණය සියලු රටවල් එක්සත්ව මුහුණදිය යුතු අභියෝගයක් බව කවුරුත් පිළිගත්හ.

අවුරුදු 1300 කට වැඩි කාලයක් තිස්සේ ලංකාවේ ජීවත් වන මුස්ලිම් ජනතාව කිසි අවස්ථාවක ප්‍රචණ්ඩත්වයට යොමු වී ඇති බවට ඓතිහාසික සාක්ෂි නැත. ඈත ඉතිහාසයට ගියත්, මෑත ඉතිහාසය දිහා බැලුවත්, ලංකාවේ මුස්ලිම් ප්‍රජාව, දකුණේ සිංහල ජනතාව සමගත්, උතුරේ දෙමළ ජනතාව සමගත් සාමකාමී සහජීවනයක් පවත්වාගෙන ගොස් ඇති බව ඉතා පැහැදිලියි.

එහෙත් ඉහතින් සඳහන් කළ ලෝකයේ වෙනත් තැන්වල අන්තවාදී ප්‍රවණතා, ලංකාවේ මුස්ලිම් ප්‍රජාව අතරින් දැන් දශකයක හෝ දෙකක පමණ කාලයක් තිස්සේ මතුවෙමින් තිබෙන බවක් පෙනෙන්නට තිබුණි. ඒ කාලයේ රට කරවූ පාලකයන් මේ පිළිබඳ අවශ්‍ය පියවර ගත යුතුව තිබුණි. විශේෂයෙන් යුද්ධය අවසන් වීමෙන් පසුව, දෙමළ ජනතාව වෙනුවට මුස්ලිම් ජනතාව ඉලක්ක කෙරෙන මහජාතික අන්තවාදයන් සඳහා කිසි ඉඩක් ඉතිරි නොකිරීමේ වගකීම තිබුණේ පාලකයන්ට ය. එහෙත් එදා රට කැරැවූ රාජපක්ෂලා අන්තවාදය විවිධාකාරයෙන් නඩත්තු කොට පවත්වාගෙන ගොස් ඇති බව දැන් හෙළිදරව් වී තිබේ. 

එසේ කිරීම සඳහා ඔවුන් අනුගමනය කළ ක්‍රමවේදය වුණේ, දකුණේ බෞද්ධ අන්තවාදී කොටස් පෝෂණය කිරීමයි. ඒ අනුව රාජපක්ෂලා, දකුණේ බෞද්ධ අන්තවාදයත්, නැගෙනහිර මුස්ලිම් මූලධර්මවාදී අන්තවාදයත් එක විට නඩත්තු කරගෙන යාම ඔවුන්ගේ රහස්‍ය රාජ්‍ය ප්‍රතිපත්තිය කරගෙන සිටියහ. සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන්ට හමුදා සහ රාජ්‍ය බුද්ධි සේවාවන් හරහා දීර්ඝ කාලයක් තිස්සේ පඩි ගෙවන අතරේ, ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව සහ වෙනත් එවැනි පිරිස්වලට හැම ආකාරයකින්ම අනුග්‍රහය දැක්වීමත් ප්‍රසිද්ධියේ කරගෙන ගිය බව පෙනේ.

යුද්ධය අවසන් වීමෙන් පසුව, එතෙක් අපට සිටි ප්‍රධාන ‘හතුරා’ අපට අහිමි විය. අඩු වශයෙන්, 1956 පටන් අපේ පාලකයන් දකුණේ අත්පොලසන් ලැබීම සඳහා පොදු හතුරෙකු සොයාගෙන තිබුණි. 1953 දී මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන හාල් සේරුවේ මිල රුපියල් 25 සිට රුපියල් 70 දක්වා ඉහළ දැමීම ඇතුළු ආර්ථික කරුණු මුල් කරගෙන ඇති වූ 1953 හර්තාලයේ ඊළඟ දිගුව වූ බණ්ඩාරනායකගේ 1956 ජයග්‍රහණයේ තේමා පාඨය වුණේ, හාල් සේරුවේ මිල අඩු කිරීම නොව, ‘පැය විසිහතරෙන් රාජ්‍ය භාෂාව සිංහල කිරීම’ ය. ඒ වනතෙක්, භාෂාව සහ ජාතිය උඩ අපෙන් වෙනස්කම් දැක්වූ උතුරේ ජනතාව, අනතුරුව අපේ ජන්මාන්තර හතුරා බවට පත්විය. එදා පටන්, ලංකාවේ බලයට පත් සෑම නායකයෙකුම, අඩුවැඩි වශයෙන්, මේ ‘සතුරා’ නොමරා පවත්වා ගැනීමට වගබලාගත් බව පෙනේ. මුස්ලිම් ජාතිකයන්ගේ අවාසනාවට, 2009 දී ඒ සතුරා ඝාතනය විය. ඉන්පසු ආවේ ඔවුන්ගේ වාරයයි. ගලගොඩඅත්තේ ඥානසාර වැනි මහජාතික අන්තවාදීන් හරහා අලුත් හතුරෙකු මුස්ලිම් ප්‍රජාව අතරින් සොයාගැනීමේ ප්‍රතිපත්තියට රාජපක්ෂලා පිවිසියේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. 

ඉහත ඡේදයකදී කී පරිදි, ලංකාවේ මුස්ලිම් ජනතාව ඉතිහාසය පුරා සිංහලයන් සමග සේම දෙමළ ජනතාව සමගත් සහජීවනයක සිටි නිසා, එක වරම එම ප්‍රජාව අපේ හතුරාගේ භූමිකාවට දමා ගැනීම පහසු නැත. මේ වන විට, ඉහතින් මා කියා ඇති පරිදි, ලෝක පරිමාණව මුස්ලිම් විරෝධයක් ගොඩනැඟෙමින් තිබුණු තත්වයක් තුළ, ඒ විරෝධයේ ආදර්ශ රූප දෙක තුනක් හෝ දේශීය වශයෙන් නිර්මාණය කරගත්තොත්, 1956 පටන් පවත්වාගෙන ආ හතුරා වෙනත් ජාතියක මුහුණුවරකින් අපට හමුවෙනු ඇත. ප්‍රභාකරන් වෙනුවට සහරාන් ආදේශ වුණේ ඒ අයුරිනි.

පැහැදිලි කිරීම් දෙකක් මෙහිදී අවශ්‍ය කෙරේ. එකක් වන්නේ, සහරාන් යනු, හුදෙක් දේශීය නිෂ්පාදනයක් පමණක් බවක් මෙයින් අදහස් නොකරන බවයි. ඉස්ලාම් මූලධර්මවාදය, ලාංකීය දෙයක් නොවේ. ඊට, ආගම තුළම පවතින ඇතැම් ප්‍රවණතා සහ ජාත්‍යන්තර දේශපාලනික කාරණා බොහොමයක් අඩංගු වන්නේය. කෙසේ වෙතත්, මෙහිදී මා අවධාරණය කරන කරුණ වන්නේ, මුස්ලිම් ප්‍රජාව අරභයා දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් මුල්බැස පවතින යම් අගතිගාමී තත්වයක් තමන්ගේ දේශීය දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් පාවිච්චියට ගැනීමට ලංකාවේ දේශපාලනය තුළ ඉඩක් විවරව තිබුණු බවයි. ඒ ඉඩ, රාජපක්ෂලා නොමදව පාවිච්චියට ගත් බවයි.

දෙවැනි පැහැදිලි කිරීම වන්නේ, ප්‍රභාකරන් දැනට ‘කියවා නිමා කොට ඇති පරිච්ඡේදයක්’ වශයෙන් සැලකීමටත්, සහරාන් ඊළඟට කියැවීමට ඇති පරිච්ඡේදයක ‘එක පිටුවක්’ පමණක් වශයෙන් ගැනීමටත් ඇති නැමියාවයි. ප්‍රභාකරන්ගේ ප්‍රධාන සගයන් ගැන (පොට්ටුඅම්මාන්ගේ පටන් කේ.පී. දක්වා) අපි දනිමු. එවැනි නිශ්චිත දැනුමක් සහරාන් සම්බන්ධයෙන් අපට නැත. මේ නිසා ජාතිය හෝ ආගම දඩමීමා කරගෙන පාලනය ගෙනයාමට බලන ඕනෑම සිංහල දේශපාලනඥයෙකුට, සහරාන්ගේ සනුහරය වැඩි වටිනාකමකින් යුක්ත විය හැකිය.

2009 නන්දිකාදල් කලපුවෙන් පසු, රාජපක්ෂලාගේ දේශපාලනික චින්තනය වුණේ එයයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ක්‍රියාවේ අනුග්‍රාහක දායකත්වය සැපයෙන්නේ ඒ චින්තනයෙනි. එය, හුදෙක් දෘෂ්ටිවාදීමය කරුණක් පමණක් නම්, ඒ ගැන සොයා බැලීමක් ජනාධිපති කොමිෂමෙන් නොකිරීම ගැන සමාභජනය කළ හැක. එහෙත්, ඒ චින්තනය, ඉන්පසුව දිගහැරුණු ක්‍රියාවලියකට ප්‍රායෝගික අර්ථයකින් (සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන්ට පඩි ගෙවීම වැනි) සම්මාදම් වී ඇති නිසා, ඕනෑම සොයා බැලීමක් සහ අපරාධයේ වගකීම පැවරීමක් සඳහා ඒ කරුණු සැලකිල්ලට ගැනීම අනිවාර්ය වන්නේය. එහෙත් මේ කොමිසම, ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳ කාරණයට පමණක් තමන්ගේ විමර්ශනය ලඝු කොට තිබේ. 

ඒ අනුව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වැනි පුද්ගලයන් මෙහිදී වැරදිකරුවෝ වී ඇත්තාහ. 

මෛත්‍රිපාල සිරිසේන එවකට විධායක ජනාධිපති ය. එහෙත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු තමාට කිසි බලයක් නොතිබුණු බව ඔහු නොයෙක් වර කියා ඇතත්, එම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පවා ඔහුගේ හැසිරීම ගත් විට පෙන්නුම් කෙළේ එහි අනිත් පැත්තයි. ඊට හොඳම උදාහරණය, නීත්‍යානුකූල ආණ්ඩුවක් බලහත්කාරයෙන් පහකොට (දින 52) නීති විරෝධී ආණ්ඩුවක් මහින්ද රාජපක්ෂ යටතේ පත්කිරීමටත්, අනතුරුව නීති විරෝධී ආකාරයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බාධාවක් වශයෙන් ඔහු නොසලකන ලද බවයි. ඊළඟට මේ ත්‍රස්ත ප්‍රහාරය සිදුවන අවස්ථාවේ පවා, පොලීසිය වැනි මහජන ආරක්ෂාව පිළිබඳ මර්මස්ථාන නීති විරෝධී ආකාරයෙන් තමන් යටතේ තබා ගැනීමටත්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවන අවස්ථාවේ රටින් පිටවෙද්දී පවා, අඩු වශයෙන් රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේවත් වැඩබලන කිසිවෙකු පත් නොකිරීමට තරම් උද්ධච්ච වීමටත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බාධාවක් වශයෙන් ඔහු නොසලකන ලද බවයි. මේ නිසා, මෛත්‍රීපාල සිරිසේන සාපරාධී ලෙස වගකීම් පැහැරහැරීම සම්බන්ධයෙන්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කලින්, මේ රටේ ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝණය කිරීමේ අපරාධයට වගකිව යුත්තෙකු වන්නේය.

2019 අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරය දියත් විය. ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්ත ප්‍රහාරයක ඉඩකඩ ගැන ඊට බොහෝ කලකට පෙර සිට රාජ්‍ය ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී තිබුණි. මේ විමර්ශන මෙහෙය වූ පොලිස් නිලධාරියා වුණේ, ත්‍රස්ත ක්‍රියා විමර්ශන අංශයේ ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ය. මෛත්‍රීපාල සිරිසේන කෙළේ කුමක්ද? නාමල් කුමාර නමැත්තෙකු, දූෂණ විරෝධියෙකු සේ භෞතීස්ම කොට, ජනාධිපතිවරයා ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සැලැස්මක් විණැයි කියැවෙන නාඩගමක් නිපදවා ඉදිරිපත් කිරීමයි. ඒ අනුව, නාලක සිල්වා අත්අඩංගුවට ගැනුණි. අද දක්වා මෛත්‍රීපාල සිරිසේන ඝාතනය කිරීමේ කිසි සාක්ෂියක් නැතිවා පමණක් නොව, නාමල් කුමාර නමැත්තා ගැනද දැන් කිසි ආරංචියක් නැත. නාලක සිල්වා විසින් සහරාන් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණේ 2019 පෙබරවාරියටත් කලිනි. එහෙත්, මේ ඊනියා ඝාතන සැලැස්ම පිළිබඳ නාඩගම කරළියට පැමිණීම නිසා එය වැළැකුණි.

2019 පෙබරවාරියේ සිට ජනාධිපතිවරයා ආරක්ෂක මණ්ඩලය රැස් කොට නැත. ඊට කලින්ද, ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම්වලට රටේ අගමැතිවරයාව කැඳවා නැති ජනාධිපති, තමාගේ දේශපාලනික සගයන් ඊට කැඳවා ගැනීමට කටයුතු කොට තිබුණි. එහිදී සාකච්ඡාවට ගැනී ඇත්තේද රටේ ආරක්ෂාව ගැන කාරණා නොව, තමාගේ දේශපාලනික අවශ්‍යතා පිළිබඳ කාරණා ය. මේ කිසි අවස්ථාවක, මුස්ලිම් අන්තවාදීන්ගේ තර්ජනය පිළිබඳ මාතෘකාව සාකච්ඡාවට නොගැනුණු බව, කොමිසම ඉදිරියේ ප්‍රධාන සාක්ෂිකරුවෝ කියා සිටියහ. එපමණක් නොව, ත්‍රස්ත ප්‍රහාරයට පසුවදා උදේ (ජනාධිපතිවරයා රටේ නැති නිසා) අගමැතිවරයා විසින් හදිසියේ කැඳවන ලද ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමට සහභාගී නොවන්නැයි පොලිස්පතිවරයාටත්, ආරක්ෂක ලේකම්වරයාටත් පිටරටක සිටම නියෝග කිරීමට තරම් ජනාධිපතිවරයා සාහසික විය. ඉතිං, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ඈතකින්වත් හේතු විය හැකි කිසි ක්‍රියාමාර්ගයක් විධායක ජනාධිපති වශයෙන් නොගැනීම ගැන මෛත්‍රීපාල සිරිසේන වරදකරුවෙකු වන්නේය.

මේ නිසා, කොමිෂන් වාර්තාව තුළින් ඔහු ප්‍රධාන වගඋත්තරකරුවෙකු කර තිබීම මොන විදිහකින්වත් අසාධාරණ නැත. 

එහෙත් රට ඉදිරියේ ඇති මුඛ්‍ය ප්‍රශ්නය වන්නේ, මේ වින්නැහිය වළක්වා නොගැනීම ගැන හිටපු ජනාධිපතිවරයාට වරද පැටවීමට කලින්, ඒ වින්නැහිය සිද්ධ කෙළේ කවුරුන්ද යන්න දැනගැනීමයි. එය සිද්ධ කෙළේ සහරාන් නොවන බව පැහැදිලියි. ඔහු, මරාගෙන මැරෙන එක් උමතු ත්‍රස්තවාදියෙකු පමණි. ඔහු මෙහෙයවූ හස්තය කුමක්ද? එය ආගමික හස්තයක් තරමටම, දේශපාලනික හස්තයක් වීමටත් හොඳටම ඉඩ තිබේ. ඒ ගැන විමර්ශනය කිරීම, අනාගත ඉතිහාසඥයන්ට භාර කටයුත්තක් නොව, මියගිය සියලු දෙනා වෙනුවෙනුත්, ඉන් අගතියට පත් සියලු දෙනා වෙනුවෙනුත්, ඊටත් වඩා, නීතියේ සහ යුක්තියේ ආධිපත්‍යය ඔසවා සිටීමට බැඳී සිටින බලධාරීන්ට පැවරෙන රාජකාරියකි. ඔවුන් එය නොකරන තාක් කල්, ඔවුහූද මේ අපරාධයේ සම-වගඋත්තරකරුවෝ වෙති.