සති පූජාව තහනම් කෙරුණේ මෙහෙමයි



- සුතික් බිස්වාස් - 

1829 දෙසැම්බරයේදී බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති ඉන්දියාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වූ විලියම් බෙන්ටින්ක් සාමිවරයා සති පූජාව තහනම් කළේය. පුර‍ාණ හින්දු චාරිත්‍රයක් වූ සති පූජාවේදී සිදුවූවේ වැන්දඹුවක් සිය සැමියාගේ අවමංගල්‍යට ශෝකය පළකරමින් සිරුරට ගිනි තබාගැනීමයි. එවකට, බෙංගාලයේ ආණ්ඩුකාර ජනරාල්වරයා වූ බෙන්ටින්ක්, ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් 49 දෙනෙකුගෙන් හා විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් අදහස් විමසා සිටි අතර, ‘බ්‍රිතාන්‍ය පාලනයේ අපිරිසිදු පැල්ලමක් සෝදා හැරීමට’ කාලය පැමිණ ඇති බව එහිදී ඔහු ඒත්තු ගැන්වූවේය.

ඔහුගේ රෙගුලාසියෙන් පෙන්වාදුන්නේ, ‘මෙය පිළිකුල් සහගත මිනිස් හැඟීමක්’ බවත් ‘නීති ‍විරෝධී හා දුෂ්ට’ මෙම සිරිතෙන් හින්දු ජාතිකයින් පවා කම්පනයට පත්කරන බවත්ය. හින්දු වැන්දඹුවක් පුළුස්සා දැමීමට ‘උදව් කිරීම හා අනුබලදීම’ සම්බන්ධව වරදකරුවන් වූ අය, ‘පූජාව ඇයගේ පාර්ශ්වයෙන් ස්වෛච්ඡාවෙන් සිදුකළත් නැතත්’ සාපරාධී මිනීමැරුම්වලට වැරදිකරුවන් වන බව රෙගුලාසියේ සඳහන් විය. වැන්දඹුවක් පණපිටින් පුළුස්සා දැමීමට සහාය වීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින්ට මරණ දඬුවම පැනවීමට අධිකරණයට බලය හිමිවිය.

සති පූජාවට එරෙහිව උද්ඝෝෂණය කළ ප්‍රමුඛ පෙළේ ඉන්දියානු ප්‍රතිසංස්කරණවාදීන් විසින් නිර්දේශ කරන ලද ක්‍රමානුකූල මුලිනුපුටා දැමීමේ ක්‍රමය‍ට වඩා බෙන්ටින්ක්ගේ නීතිය වඩාත් දැඩි විය.

ඕතඩොක්ස් භක්තිකයෝ බෙනඩික්ට පිටුපාමින් පෙත්සමක් ඉදිරිපත් කළහ. විද්වතුන් හා ශුද්ධ ලියවිලි පාඨ උපුටා දක්වමින්, සති පූජාව ‘ආගම යටතේ අනිවාර්ය රාජකාරියක්’ නොවන බවට ඔහුගේ නඩුවට අභියෝග කළ ද බෙනඩික්ට් නොසැලී සිටියේය. පෙත්සම්කරුවෝ බ්‍රිතාන්‍ය යටත්විජිතවල අවසාන විසඳුම වන ප්‍රිවි කවුන්සිලය වෙත ගියහ. 1832 දී කවුන්සිලය රෙගුලාසිය තහවුරු කළේ, සති ‘සමාජයට එරෙහි වරදක් බව’ පවසමිනි.

ඉන්දියාවේ කුලය පිළිබඳ නීතිමය ඉතිහාසය විමර්ශනය කරන Caste Pride කෘතියේ කතුවරයා වන මනෝජ් මිත්තා පෙන්වාදෙන්නේ, ‘1829 රෙගුලාසියේ අනපේක්ෂිත සටන්කාමීත්වය සමහර විට යටත්විජිත පාලනයේ වසර 190 පුරාවටම ඕතඩොක්ස් හැඟීම්වලට කිසිදු සහනයක් ලබානොදී සමාජ නීති සම්පාදනය කළ එකම අවස්ථාව විය හැකි බවයි’.  එසේම මිත්තා පෙන්වාදෙන්නේ, ‘ගාන්ධි විසින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව ප්‍රසිද්ධ සදාචාරමය පීඩනය යෙදවීමට බොහෝ කලකට පෙර, සති පූජාවට ආවේණික වූ කුලය හා ස්ත්‍රී පුරුෂ භේදය මැඩලීමට ද බෙනඩික්ට් කටයුතු කර ඇති බවයි. මෙම ස්ව‍දේශික චාරිත්‍රය අපරාධකරණය කිරීමෙන් යටත්විජිතකරුවා සදාචාරාත්මක බව ප්‍රචලිත කළේය.’

1837 දී ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ කතුවරයා වූ බ්‍රිතාන්‍ය ජාතික තෝමස් මැක්‍ලෝ විසින් බෙනඩික්ට්ගේ නිතිය දියාරු කරන ලදී. වැන්දඹුවක‍ගේ උසිගැන්වීම මත සෑය දැල්වූ බවට යමෙකුට සාක්ෂි සහිතව ප්‍රකාශ කළ හැකි නම් ඔහුට දැඩි දඬුවම් නොදී අත්හැරිය හැකිය. ‘ආගමික යුතුකම පිළිබඳ දැඩි හැඟීමක් මෙන්ම සමහර විට ප්‍රබල ගෞරවනීය හැඟීමක්’ කාන්තාවන් ගිනි තබාගැනීමට පෙළඹවිය හැකි බව මැක්‍ලෝ පවසයි.

සති පූජාව පිළිබඳ මැක්ලෝගේ ‘සානුකම්පිත ආස්ථානය’ දශක ගණනාවකට පසු බ්‍රිතාන්‍ය පාලකයන් සමග අනුනාද වූ බව මිත්තා සොයාගත්තේය. 1857 කැරැල්ලෙන් පසු ස්වදේශික හින්දු හා මුස්ලිම් සොල්දාදුවන් සිපොයිවරුන් ලෙස ද හඳුන්වනු ලබන අතර ඔවුන්ගේ ආගමින් තහනම් කළ සත්ව මේදය තුවක්කු කාට්‍රිජ්වල ආලේප කර ඇති බවට වූ බිය නිසා බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය සමාගමට එරෙහිව කැරලි ගැසූවිට ඔහුගේ කෙටුම්පත කසළ ගොඩට දමා තිබුණි.

1862 රෙගුලාසියෙන් සති පූජාව සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් ලෙස දඬුවම් ලැබිය හැකි බවට වූ කරුණ මෙන්ම අනෙක් දරුණු අවස්ථාවලදී මරණීය දණ්ඩනය පැනවිය හැකි දණ්ඩන විධිවිධාන දෙකම අවලංගු කරන ලදී. වින්දිතයා තම සැමියාගේ අවමංග්‍යයේදී තම ජීවිතය අවසන් කිරීමට එකඟ වූ බව ප්‍රකාශ කිරීමට විත්තිකරුට ඉඩ සලසා දී ඇති බැවින් එය මිනීමැරුමක් වෙනුවට සියදිවි නසාගැනීමක් බව එහි තේරුමයි.

මිත්තා පවසන්නේ ‘සමාජ නීතිවලට එරෙහිව නැගෙන දුක්ගැනවිලි වලට ප්‍රතිචාරයක්’ ලෙස සති පූජාව තහනම් විය. සති පූජාව තහනම් කිරීම, 1850 නීතියෙන් බැහැර වූ සහ ඇදහිල්ල අත්හළ හින්දුන්ට පවුලේ දේපළ උරුම කර ගැනීමට හා 1856 නීතියෙන් සියළු වැන්දඹුවන්ට නැවත විවාහවීමට ඉඩ සැලසූ බවයි. නමුත්, නීතිය ක්‍රියාත්මක කිරීමට ක්‍ෂණික ප්‍රේරකය වූයේ ගව මේදය ආලේප කර ඇති බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් කුපිත වූ ‘ඉහළ කුලයේ හින්දු සොල්දාදුවන් අතර ඇතිවූ කෝපයයි’.

1829 හා 1862 අතර සති අපරාධයේ ප්‍රබලත්වය මිනීමැරී‍මේ සිට සියදිවි නසාගැනීමට අනුබල දීම දක්වා අඩුවී ඇත. ‘1829 සිට අඩු වශයෙන් භාවිත වුවද, සති පූජාව ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල, විශේෂයෙන්ම, උසස් කුලයන් අතර අගය කොට ගෞරවයට පාත්‍ර වූ’ බව මිත්තා පවසයි. ඉන්දීය ජාතික කොංග්‍රසයට බැඳුණු හා බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගැනීමේ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ මොතිලාල් නේරු 1913 දී උත්තර ප්‍ර‍දේශයේ සති නඩුවකදී ඉහළ කුලයේ මිනිසුන් හය දෙනෙකු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේය.

මිනිසුන් පැවසුවේ, ‘වැන්දඹුවගේ දැඩි භක්තිවන්තකම හරහා ආශ්චර්යමත් ලෙස ගිනිදැල්වූ බව’යි. විනිසුරුවන් දිව්‍යමය මැදිහත්වීමේ න්‍යාය ප්‍රතික්ෂේප කර, වසන් කිරීම හෙළා දුටු අතර සියදිවි නසාගැනීමට අනුබල දීම සම්බන්ධයෙන් මිනිසුන් වැරදිකරුවන් ලෙස සැලකූහ. ඔවුන්ගෙන් දෙදෙනෙකුට වසර හතරකට සිර දඬුවම් නියම විය. වසර 70 කට පසු සති පූජාව සම්බන්ධ අවසාන පෙරළියක් ඇතිවිය. 1987 දී මෝතිලාල් නේරුගේ මී මුණුපුරා වන රජීව් ගාන්ධිගේ නායකත්වයෙන් යුතු රජය විසින් ප්‍රථම වතාවට ‘භාවිතය උත්කර්ෂයට නැංවීම’ අපරාධයක් බවට පත්කරන ලද නීතියක් පැනවීය. සති පූජාවට අනුබල දුන්, එය සාධාරණීකරණය හෝ ප්‍රචාරය කළ පුද්ගලයන්ට වසර 7 දඬුවම් ලබාදිය හැක. නීතිය ද එම ක්‍රියාව මිනීමැරුමක් දක්වා ඉහළ නැංවූ අතර ඊට අනුබල දුන් අයට මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කළේය.

ඉන්දියාවෙන් වාර්තා වූ අවසන් සති පූජාව වූවේ උතුරු රාජස්ථාන් ප්‍රාන්තයේ කුඩා ගම්මානයක රූප් කන්වාර් නම් ළමා මනාලියගේ සිදුවීමයි. එය 1947 නිදහසින් පසු නිල වශයෙන් වාර්තා වූ 41 වැනි නඩුව බව මිත්තා පවසයි.

රජීව් ගාන්ධිගේ නීතියේ පූර්විකාව බෙන්ටින්ක්ගේ රෙගුලාසියෙන් ණයට ගත් එකකි. ‘එය නොදැනුවත්වම,  යටත්විජිතකරණයට ලක්වූ රටක් විසින් එහි පැරණි යටත්විජිතකාරයාට කරන ලද උපහාරයකි’ යැයි මිත්තා පවසයි. 

බීබීසි ඇසුරිනි