ඉතාම මුග්ධ ලෙස කටයුතු කළ නිලධාරීන් කිහිප දෙනෙකු හා උගතුන් යැයි කියනා කිහිප දෙනෙකු එකතු වී ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ජපන් ආධාර යටතේ ඉදිකිරීමට සැලසුම් කළ මෙරට සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘතිය නවතා දැමීමට කටයුතු නොකළානම් බංගලාදේශයේ විවෘත කරනු ලැබූ සැහැල්ලු දුම්රිය සේම ලබන වසරේ ශ්‍රී ලංකාවේ ජනතාවටද එම පහසුකම ලබාගැනීමට තිබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
2017 වසරේදී සැලසුම් කළ මෙරට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීම තුළින් මෙරට මහජනතාවට සිදුවූ අති විශාලා පාඩුව හා බංගලාදේශය එහි ඵල නෙලාගෙන ඇති ආකාරය පිළිබඳව අදහස් දක්වමින් එම LRT ව්‍යාපෘතියේ ප්‍රධාන නියමුවා වශයෙන් කටයුතු කළ ඒ මහතා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;
"බංගලාදේශ පාලකයින් අතිශය සතුටට පත්වෙනවාට සැකයක් නැහැ. අනාගත බංගලාදේශය වැනි ජනගහණය ඉතා අධික, ගොඩබිම් ප්‍රමාණය ඉතා අඩු රටකට ගැලපෙන පොදු ප්‍රවාහනය නවීකරණය කිරීම කියන ඒ වැඩපිළිවෙල, ඔවුන් හඳුනාගෙන එය ක්‍රියාත්මක කිරීම ගැන අපිත් ඉතාම සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ව්‍යාපෘතිය කොටස් දෙකක් යටතේ සලකා බැලුවා. කොළඹ නගරය අවට, ප්‍රධාන දුම්රිය නවීකරණ ව්‍යාපෘතියක් හා සීඝ්‍රගාමී බස් සේවාවක් (Rapid Transit System) හඳුන්වාදීමේ මූලික කටයුතු සිදු කරමින් හිටියා. ඒ සියලු ව්‍යාපෘති ඉතාමත්ම මුග්ධ තර්ක විතර්ක මැද 2020 දී නතර කරනු ලැබුවා. 2018 තමයි මුල් වතාවට පොදු ප්‍රවාහනය සැලසුමක් ඇති කළේ. හොංකොං නගරය, සිංගප්පූරුව, ලංකාව වැනි ජනගහනය ඉතා අධික, වර්ගඵලය ඉතාම අඩු රටකට අතිශයින්ම ගැලපෙන ක්‍රියාවලිය වන්නේ පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම. අද මේ රට බංකොලොත් භාවයට පත් වෙලා තියෙන්නේ අධිවේගී මාර්ග තැනීමට අති විශාල මුදලක් වැය කිරීමත් ඒ වැය කරපු මුදල් වලින් විශාල ප්‍රමාණයක් අධික පොලියට ගත්ත ණය වීමත්, ඒ වගේම ඒ වැය කිරීම් වලින් තවත් විශාල කොන්ත්‍රාත්කරුවන් හා දේශපාලඥයින් විසින් විශාල මුදලක් සොරා ගැනීමත් නිසා. 2018 වර්ෂයේදී ජයිකා ආයතනය පර්යේෂණයක් කලා මේ දුම්රිය සේවාව නවීකරණය කිරීමටත්, බස් රථ සේවාව නවීකරණය කිරීමටත්, නාගරික ප්‍රවාහන තදබදයට විසඳුමක් හැටියට මොනෝරේල් ව්‍යාපෘතියකුත්. සිද්ධ වුණේ මොකක්ද? මොනම ආකාරයකවත් ශක්‍යතා අධ්‍යනයකින් තොරව දිගට හරහට අධිවේගී මාර්ග ඉදිකිරිම තමයි වුනේ. අපි බස්නාහිර මහ නගර ව්‍යාපෘතිය ආරම්භ කළාට පස්සේ 2016 වසරේදී මේ පිළිබඳව සුවිශේෂී අධ්‍යනයක් කලා ලංකාවේ ඉන්න විශේෂඥයන්. මාර්ග ක්ෂේත්‍රය පිළිබඳව, මොරටුව විශ්ව විද්‍යාලය, කොතලාවල ආරක්ෂක පීඨය මූලිකව විශාල පර්යේෂණයක් කළා. ඒ අනුව අපි තීරණය කළා බස්නාහිර පළාතට ගැලපෙන ප්‍රධන ප්‍රවාහන සේවා දෙකක් හැටියට සීඝ්‍රගාමී බස් සේවාවක් ඇති කිරීම වගේම සැහැල්ලු දුම්රිය පද්ධතියක් ඇති කිරීම. ඒ වගේම සියලුම ප්‍රවාහන පද්ධති එකට එකතු කරපු සහසර නමින් යුක්ත විද්‍යුත් කාඩ් පතක් හෝ ස්මාර්ට් ෆෝන් හරහා සිදුකරන යම් ආකාරයක ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීම. ඔය කරුණු අපි හඳුනාගත්තා පමණක් නොව ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන වැඩ පිළිවෙල ගත්තා.
සැහැල්ලු දුම්රිය පද්ධතිය ප්‍රධාන කොරිඩෝ 4ක් යටතේ යටතේ ඉදිකිරීමට සැලසුම් කලා.
01. කඩුවෙල සිට කොටුව
02. මොරටුව, පිළියන්දල, කිරුළපන හරහා මරදාන
03. රාගම, කඩවත, කැලණිය, අංගොඩ හරහා කොටුව.
04. කොට්ටාව, පැලවත්ත, තලවතුගොඩ හරහා බත්තරමුල්ල විදියට.
මේ හතරෙන් ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කළා එක් කොරිඩෝ වෙත. ඒක තමයි වැඩිම මාර්ග තදබදය තියෙන මාලඹේ කොටුව කොරිඩෝව. ඒ අනුව ජපානයෙන් 0.1% පොලියට අවුරුදු 12 ණය ආපසු ගෙවීමේ සහන කාලයක් සහිතව තවත් අවුරුදු 40 කින් ඒ ණය ගෙවීමට හැකිවන ආකාරයේ ණයක් ලබා දුන්නා පමණක් නෙවෙයි ජයිකා ආයතනයෙන් විශාල තාක්ෂණික සහයක් ලබා දුන්නා. අපිට පුළුවන් වුණා වසර 3 ක් වැනි කාලයකදී කෙටි සංකල්ප පත්‍රිකාවක සිට ඉදිකිරීම දක්වා මේ ව්‍යාපෘතිය ගේන්න. දින 52 කුමන්ත්‍රණය නොවුනා නම් 2018 වර්ෂයේ මේ ඉදිකිරීම් කටයුතු අපිට වහාම ආරම්භ කරන්න පුළුවන්කම තිබුණා. නමුත් අපිට මාස 6 කින් කල් දාන්න සිද්ධ වුණා. නැවත අනුමැතීන් ලබා ගැනීමට සිද්ධ වුණා ජපන් කැබිනට් මණ්ඩලයෙන් හා පාර්ලිමේන්තුවෙන්. ඒ සියල්ල ලබාගෙන අපි ඒ වැඩකටයුත්තේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළා. ඒ ව්‍යාපෘතිය ඉතාම මුග්ධ විදිහට කටයුතු කරපු නිලධාරීන් කිහිප දෙනෙක්. උගත්තුයි කියන කිහිප දෙනෙක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කියලා ඒක නැවැත්තුවා.
ඒක පිටිපස්සේ තිබුණා කතාවක්. ඒ කතාව තමයි අර අධිවේගී මාර්ග ඉදිකිරීමට නැවත වතාවක් රජය යොමු කරවීම. මීට වඩා වියදම් අඩු ව්‍යාපෘති ගේනවා වගේ කතා ගොඩාක්. ඇත්ත වශයෙන්ම මේකේ වියදම වැඩියි කියලා ගොඩක් දෙනෙක් කිව්වා. අපි අපේ උපදේශක සේවාව ලබා දුන්නා. උපදේශක සේවා වලටත් ණය මුදල් අපිට ජපානයෙන් ලැබුණා. ඒ උපදේශක සේවාවන් වලින් මේක විධිමත්ව විග්‍රහ කිරීමෙන් පසු මෙහි මිල ගණන් ඩොලර් බිලියන 2.2 සිට 1.8 දක්වා අඩු කරන්න හැකි වුණා. මේ වියදම යන්නේ රේල් පාරට විතරක් නෙවෙයි. දුම්රිය, මගී දුම්රිය ස්ථාන, දුම්රිය නඩත්තු කිරීම, නඩත්තු අංගන, විදුලි පරිපථ, සංඥා පරිපථ වැනි සියලු දේට තමයි මේ වියදම. අපි විශේෂ දෙයක් කළා මෙහිදී ඒ තමයි කඩුවෙල සිට බත්තරමුල්ල දක්වා මාර්ගය ලේන් 4 ක මාර්ගයක් බවට පත් කිරීම. එහි මැද කොටසට උඩින් තමයි මේක එන්නේ. එවිට ඉබේම ප්‍රවාහන පද්ධතියත් පුළුල් වෙනවා. ඒ වගේම දුම්රිය පද්ධතියත් ඉටුවෙනවා. ඒ සඳහා අපි බත්තරමුල්ලේ, කොළඹ කොටුවේ විශාල ප්‍රවාහන මූලස්ථානයක් ඉදි කරන්න කටයුතු සූදානම් කලා. දුම්රිය, බස් රිය, ලයිට් රේල්වේ, ටැක්සිය වැනි සියලු දේ ඇති පොදු ප්‍රවාහන මධ්‍යස්ථානයක්. ප්‍රංශ රජයෙන් නොමිලේ අපට ප්‍රධානයක් ලැබුණා මේ සියලුම සැලසුම් කටයුතු කරන්න. ඒකට අපිට අනිවාර් යයෙන්ම යුරෝපා සංගමයෙන් ආධාර ලැබෙන තත්වයක් තමයි තිබුණේ. කඩවත - රාගම මේ වෙනකොට අංග සම්පූර්ණ බහුවිධ ප්‍රවාහන මධස්ථානයක් ඉදිකළා. එය Private Public Partnership එකක් හැටියට ගොඩ නගන්න කටයුතු කලා. මොරටුව, පිළියන්දල හරහා එන එකටත් Private Public Partnership එකක් හොයලා තිබුණේ. කෙසේ නමුත් මේවා නතර කිරීමෙන් කළේ සාහසික අපරාධයක්. මරදානේ සිට හෝමාගම දක්වා කැලණිවැලි දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතිය, බස් හා ටැක්සි සේවාවන් සම්බන්ධ බස් ප්‍රමුඛතා මංතීරු නතර කිරීමෙන් සිදුකළේ සහාසික අපරාධයක්. අපි සහසර ව්‍යාපෘතිය ගෙනාවා. සහසර නුවරදි අතහදා බැලුවා. එයින් අපිට සාර්ථක - අසාර්ථක අත්දැකීමක් ලැබුණා. සහසර ව්‍යාපෘතියට MCC ආධාරය හිමිවුණා. රට බෙදනවා, CIA එනවා. ඇමරිකන් හමුදා ගොඩ බහිනවා කියලා වාචාල කතා කියලා ඒ වැදගත් ව්‍යාපෘතිය නතර කළා. බංග්ලාදේශයට ආඩම්බරයෙන් එය සිදුකරගන්න පුළුවන් වුණා. ලබන වසරේ ලංකාවටත් එය යථාර්ථයක් කරගන්න තිබුණා. මෙයින් අහිමි වූ ආයෝජන ප්‍රමාණය, රටට ලැබෙන්න තිබු ඩොලර් ප්‍රමාණය බිලියන 8 කට ආසන්නයි. එම මුදල් වසර 3 ක කාලය තුල ලංකාවට ගලා ආවා නම් අද මේ ආර්ථිකය අර්බුදයට ලක් වෙන්නෙත් නැහැ.
මහනුවර දුම්රියපොළ වතුරට යට වුණා. මහනුවර දුම්රියපොළ අති නවීන දුම්රිය පොළක් හැටියට නිම කරලා ජල ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳන්න සැලසුම් කලා. භාගෙට සංවර්ධනය කරපු මැද ඇල පූර්ණව සංවර්ධනය කරලා ඉදිරියට ගෙනියන්න ලෝක බැංකු ආධාරයක් අපට ලැබුණා. පැරණි ගුඩ් ශෙඩ් බස් නැවතුම උඩට ගෙනගියා. ඒ ඉඩම නිදහස් කරගත්තා ඒ වැඩ කටයුත්තට. අද ඒ ලෝක බැංකු ආධාරෙත් නැහැ. ව්‍යාපෘතියත් නැහැ. අද වැහි වතුරට යටවෙන දුම්රිය ස්ථානයක් විතරයි අපට ලැබිලා තියෙන්නේ. සෞභාග්‍යයේ මග නමින් ගෙනල්ලා ඉතාම මෝඩ, මුග්ධ විධියේ ක්‍රියාකාරිත්වයන් විසින් අපට බොහෝ දෑ නැති කළා. අද වෙනකොට අපි කන්න නැති බෙහෙත්, පොහොර, විදුලිය නැති ජාතියක් තත්ත්වයට පරිවර්තනය වුණා. අනාගතයේ යම් ස්ථාවරත්වයක් ඇතිවුණොත් පමණක් මේවා ක්‍රියාත්මක වෙයි. නමුත් මේවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන බලය, ජවය සැපයූ වෘත්තීයවේදීන් සියලුදෙනාම මේ රට දාලා ගිය බවත් කණගාටුවෙන් වුණත් ප්‍රකාශ කරන්න ඕනේ.
Post a Comment