මෙරට කොවිඩ් මඩින්න කැනඩාවෙන් ඩොලර් 400,000 ක ආධාරයක්



ශ්‍රී ලංකාවට කැනේඩියානු ඩොලර් 400,000ක ප්‍රදානයක් පිරිනැමීම සම්බන්ධ ගිවිසුමකට ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස්  ඩේවිඩ් මැකිනන් සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකෙන් අතර අත්සන් තබන ලදී.  කෝවිඩ්-19 වසංගතය අතරතුරදී පවා, අනතුරුදායක තත්වයන්ට මුහුණ දී සිටින කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට හා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යයට අදාළ වැදගත් සේවා ලබාගැනීමේ හැකියාව තහවුරු කිරීමේ කාර්යයන් සඳහා මෙම අරමුදල භාවිතා කරනු ඇත.   

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් පුද්ගලයන්ට උපකාර කිරීම සඳහා රෝහල්වල තිබෙන සත්කාරක සේවාවන් වැඩිදියුණු කිරීමටත්, ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයකටත්,  මාතෘ සෞඛ්‍යය වෙනුවෙන් වෛද්‍ය උපකරණ මිල දී ගැනීමටත්, වසංගතය හේතුවෙන් කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට සිදු වී තිබෙන සමාජ ආර්ථික බලපෑම ගැන විශ්ලේෂණයක් මෙහෙයවීමටත් මෙම නව අරමුදල යොදා ගනු ලැබේ. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය උපදේශකත්වය ලබාදෙනු ඇත.

කැනඩා රජය වෙනුවෙන් කතා කරමින් මහ කොමසාරිස් ඩේවිඩ් මැකනන් මෙසේ පැවසී ය: “වසංගතයේ කණගාටුදායක පැතිකඩක් වන්නේ, කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ යාම හේතුවෙන් ලොක්ඩවුන් අවහිරතාවල දුෂ්කරතා සහ ආර්ථික පීඩනය තවත් සංකීර්ණ වීමයි. එම වින්දිතයන්ට ශක්තිමත් ආකාරයෙන් සහාය ලබාදීම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල හරහා ශ්‍රී ලංකා රජයට ආධාර කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ අපි සතුටු වන්නෙමු.” 

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකෙන් පහත දැක්වෙන කරුණු අවධාරණය කළා ය: “කෝවිඩ්-19ට ප්‍රතිචාර දැක්වීමේදී, කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට වෙනස් අවශ්‍යතා සහ ප්‍රමුඛතා පවතින බව අප විසින් හඳුනාගත යුතුව තිබේ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වඩාත්ම අවදානම් සහගත කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට සහාය වීම අඛණ්ඩව කරගෙන යයි. ඔවුන්ගේ ආරක්ෂක සහ සෞඛ්‍ය අවශ්‍යතා කෝවිඩ්-19ට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රයත්නයන්හි වැදගත් ම කොටසක් විය යුතු ය.” 

ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයකදී ම පාහේ කාන්තාවන් හා ගැහැණු ළමයින් දැනට මුහුණ දෙමින් සිටින අසමානතා වසංගතය නිසා වැඩි වී තිබේ. එම නිසා ජීවිත බේරා ගැනීමේදී වැදගත් වන ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවා ලබාගත නොහැකි වී තිබේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා රජයට ඇති හැකියාවට එමගින් බාධා සිදු වේ. එසේ සිදු වී තිබෙන්නේ, කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එම සේවාවන් වැඩියෙන් ම අවශ්‍ය මොහොතක ය. වසර 2030 තිරසර සංවර්ධන වැඩසටහනට පසුබිම් වන “කිසිවකු අත් නොහැරිය යුතු ය” යන මූලධර්මය අද වන විට අන් කවරදාටත් වඩා අදාළ ය.  



සැමට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යයට ඇති අයිතිය වෙනුවෙන් සහ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම වෙනුවෙන් හා එයට ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජාතීන්ගේ ප්‍රධාන නියෝජිතායතනය ලෙස එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල 2030 වසර වන විට පරිවර්තනීය ප්‍රතිඵල තුනක් අත්පත් කරගැනීමට වෙහෙසෙයි. ඒවා නම්, වළක්වාගත හැකි මාතෘ මරණ සම්පූර්ණයෙන් ම වළක්වා ගැනීම, මෙතෙක් ඉටු කරනු නොලැබූ පවුල් සැලසුම් අවශ්‍යතා සපුරාලීම සහ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හා හානිකර භාවිතාවන් දුරලීම වේ.  එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වසංගතය අතරතුර සිය හවුල්කාර සංවිධාන සමග කටයුතු කරමින් සිටින්නේ මෙම ප්‍රයත්නයන් වේගවත් කිරීම සඳහා ය.  

කැනඩාවේ ස්ත්‍රීවාදී ජාත්‍යන්තර ආධාර ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා කැනඩාව විසින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වෙත  දැනට සපයමින් තිබෙන ආධාර සමග මෙම අරමුදල ද බද්ධ වේ.