කතුවැකිය
සියවස් ගණනාවක් තිස්සේ කෙස් පැලෙන තර්ක අතර නැටවෙන මූලික කාරණයක් වන්නේ ශ්‍රී ලංකාව බෞද්ධ රටක්ද නැත්තම් අනාගමික රටක්ද යන්නයි. මෙය ඉමක් කොණක් නොපෙනෙන කාරණයක් වන්නා සේම තවත් අයෙකු මුලාවේ හෙළීම සඳහා භාවිතා කරන අදහසකි. මේ නිසාම ශ්‍රී ලංකාව ගැන වැරදි අර්ථ නිරූපණයක් ලෝකය පුරා ව්‍යාප්ත වී ඇත. එම වැරදි අර්ථ නිරූපණය විවිධ දේශපාලන වාසී වෙනුවෙන් භාවිතා කිරීමේ බොහෝ අවස්ථාද ඇත. මීට යම්කිසි පිළිතුරක් දීම අවශ්‍යය යැයි සිතේ.

ශ්‍රී ලංකාව බෞද්ධයින්ගේ රටක් නොව ශ්‍රී ලාංකිකයින්ගේ රටක් බව ඇතැමුන් කියති. ඔවුහු ඒ සඳහා විවිධ තර්ක ඉදිරිපත් කරති. එම අදහසට උරණ වන තවත් පිරිසක්, ශ්‍රී ලංකාව බෞද්ධයින්ගේ රට යැයි ප්‍රතිචාර දක්වති. මෙම පාර්ශවයන් දෙකම බාෂාවේ ඇති සියුම් තැනක් විකෘති කොට සමාජය ඉදිරියේ තබා ඇත. බෞද්ධ රට සහ බෞද්ධයින්ගේ රට යනු එකක් නොව එකිනෙකට වෙනස් සංකල්ප දෙකකි.
එනම්, බෞද්ධ ශ්‍රී ලංකාව යනු, ක්‍රිස්තියානි ඇමෙරිකා එක්සත් ජනපදය, හින්දු ඉන්දියාව, යුදෙව් ඊශ්‍රායලය සහ ඉස්ලාම් සෞදි අරාභිය ආදී ලෙස හැඳින්වෙන සහ ලෝකයම පිළිගෙන ඇති සංකල්ප හා සමාන සංකල්පයකි. මෙම අර්ථ නිරූපණයට අනුව සැලකීමේදී ශ්‍රී ලංකාව යනු බෞද්ධ රටක් යැයි හැඳින්වීමේ වරදක් තිබේද? එලෙස හැඳින්වීමෙන් තවත් ආගමකට හානියක් හෝ වෙනස් ලෙස සැලකීමක් සිදුවේද? නැත.
නමුත්, බොහෝමයක් කණ්ඩයාම් මෙම හේතුවාදී අර්ථ නිරූපණය සියුම්ව වෙනස් කොට ඇත. එනම් "බෞද්ධ රට" වෙනුවට "බෞද්ධ+යින්ගේ රට" ලෙස වෙනස්කොට ඇත. මෙය සැබෑ අර්ථය ඉතාම සූක්ෂමව ව්‍යාකූල කිරීම සඳහා බොහෝ දෙනෙකු විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව භාවිතා කරමින් සිටිති. ශ්‍රී ලංකාව බෞද්ධ+යින්ගේ රටක් යැයි හැඳින්වීම වර්ගවාදී අර්ථයක් ඉස්මතු කිරීමකි. නමුත්, ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස හැඳින්වීම යනු රටට මානවවිද්‍යානුකූල අර්ථයක් ලබා දීමකි.
මේ ආකාරයෙන් බාසාවකට එකතුකරන ප්‍රත්‍යයන් ඇතුළු ව්‍යාකරණ නිසා සම්පූර්ණ වෙනස් අර්ථ ලැබී තිබෙන බව පැහැදිළිය. ඇතැම් අවස්ථා වලදී වාක්‍යයක කොමාවක් වෙනස් තැනක ලිවීම නිසා ඇතැම් පුද්ගලයින් ඝාතනයට ලක් වූ බව සඳහන් වේ. මේනිසා, මෙවැනි සියුම් තැන් හොඳ සිහියෙන් භාවිතා කිරීම මෙන්ම වැරදි තැන් නිවැරදි කිරීම ඉතාම වැදගත් වේ.
මෙම කාරණය රටේ ප්‍රතිරූපයට සහ ජනතාවට විශාල හානියක් සිදුකොට ඇත. මෙවැනි මූලික ගැටලු ජාතික මට්ටමින් නොවිසඳීම නිසා සහ එකම වැරැද්ද යළි යළිත් සිදුකිරීම නිසා දශක ගණනාවක් තිස්සේ සමස්ථ රටට වන්දි ගෙවීමට සිදුවිය. මනුෂ්‍යය ජීවිතයට නිවැරදි අරුතක් ලබා දීමට සමත් වූ ගෞතම බුදුන්ගේ ධර්මය මෙරටට ලැබීම සිහිකරන කාලයක මේ ගැනද කල්පනා කිරීම වැදගත්ය.
Post a Comment