ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයත් සමග ලෝකය පුරා මිනිසුන් කළු ජාතිකයින්ට ද අනෙක් සියලුදෙනාටම මෙන් ජීවත්වීමට ඇති අයිතිය ගැන වැඩි වැඩියෙන් හඬ නගන්නට පටන්ගෙන ඇත. කළු ජාතිකයින්ගේ ජීවිත ගැන මනා අවබෝධයක් ලබාගැනීමට හැකි අනගි කෘතීන් 12 ක් ගැන මෙහිදී අවධානය යොමුකර ඇත.
1. The Fire Next Time - ජේම්ස් බෝල්ඩ්වින්
ජේම්ස් බෝල්ඩ්වින්ගේ කෘතියක් වන මෙය 1963 දී විමුක්ති ප්‍රකාශනයේ ශත සංවත්සරය ආසන්නයේදී ප්‍රකාශයට පත්කර තිබේ. ආඛ්‍යාන දෙකක් ලෙස ලියැවී තිබේ. ඒ ඇමරිකාව තුළ ජීවත්වන කළු ජාතිකයෙකුගේ ඉරණම, ඔහුගේ ජාතිය හා ආගම සම්බන්ධයෙන් මෙන්ම තරුණ වියේ පසුවන ජේම්ස් බෝල්ඩිවින්ගේ ඥාති පුත්‍රයා වෙත යවන ලද ලිපි ආකාරයෙනි.
‘‘වර්ණය මිනිසත් බවේ හෝ පෞද්ගලික යථාර්තයක් නොවේ. එය දේශපාලන යථාර්තයකි‘ - The Fire Next Time කෘතියෙනි
2. Negroland: A Memoir - මාගෝ ජෙෆර්සන්
ඇමරිකානු ලේඛිකාවක මෙන්ම පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලද විචාරිකාවක වන මාගෝ ජෙෆර්සන් විසින් රචනා කරන ලද්දකි. කළු ජාතික ප්‍රභූ පැළැන්තිය අතර 1950 – 1960 දශකයේදී චිකාගෝවේ හැදී වැඩුණු ඇගේ අතීත මතකයන් කෘතිය තුළ සනිටුහන් වී ඇත.
ඇගේ ළමා කාලය මෙහිදී විවරණය කෙරෙන අතර පුද්ගල අභිමානය, වරප්‍රසාදය යන සංකල්පය, සෑම මනුෂ්‍යයෙකුටම හිමිවිය යුතු ගෞරවය මෙන්ම කණ්ඩායම් මෙන්ම පුද්ගලයෙකුට තනි තනිව හිමිවිය යුතු අනන්‍යතාව ගැන ද ඇය මෙහිදී විමසා සිටියි.
‘ඇමරිකාව තුළ අනෙකෙකු වීම, ඔබට සිතාගත නොහැකි දේ මවාගැනීමට උගන්වයි.‘ - Negroland: A Memoir කෘතියෙනි
3. The Bluest Eye - ටෝනි මොරිසන්
නොබෙල් සම්මානලාභී ටෝනි මොරිසන්ගේ පළමු නවකතාවයි. තමන්ට උපතින් හිමිව තිබෙන සිරුර සමග පොරබදින කළු ජාතික තරුණු ගැහැණු දරුවෙකුගේ කතාව මෙහි දිගහැරේ. තඹවන් හිසකෙස්, නිල් ඇස් තිබුණා නම් තම ජීවිතය කෙලෙස වෙනස්වේවි ද යන්න මේ තරුණිය ආදරයෙන් සිහිපත් කරයි.
අප කවුරුන් ද යන්න මෙන්ම අප කුමන අන්දමේ පුද්ගලයින් විය යුතුද යන්න ගැන සමාජය තීරණය කරන්නේ කෙලෙසද යන්න ගැන ලියවුණු කෘතියකි.
‘සිහින මියයන්නේ කෙසේද යන්න පිළිබඳ සත්‍යය දැනගැනීමට යමෙකු සිහින දකින තැනැත්තාගේ වදන් සිහියට නොගත යුතුයි‘ - The Bluest Eye කෘතියෙනි.
4. The Autobiography of Malcolm X: As Told to Alex Haley - ඇලෙක්ස් හේලි හා මැල්කම් එක්ස්
මුස්ලිම් ඇමතිවරයෙකු මෙන්ම කළු ජාතික බුද්ධිමතකු වූ මැල්කම් එක්ස් ගැන ලියැවී ඇති කෘතියකි. මෙය මාධ්‍යවේදියෙකු වූ ඇලෙක්ස් හේලි විසින් රචනා කරන ලද්දක් වුවත් මැල්කම් එක්ස් ද කෘතිය රචනා කිරීමේදී හවුල් වූ බව පැවසේ. මැල්කම් එක්ස් 1965 පෙබරවාරියේදී ඝාතනය කෙරුණු පසු කෘතිය ප්‍රකාශයට පත්කෙරුණි. මැල්කම් එක්ස්ගේ අසාමාන්‍ය ජීවිත කතාව මෙන්ම කළු ජාතික මුස්ලිම් ව්‍යාපාරය ගැන අවබෝධ කරගැනීමෙහිලා මෙය අතිශය වැදගත් කෘතියක් ලෙසින් පිළිගැනේ.
‘නිදහස පිළිබඳ මිහිරි ඇගයීම ලැබිය හැක්කේ වහල්භාවයෙන් හා සිරගත කිරීම් වලින් පසුවය‘ - The Autobiography of Malcolm X කෘතියෙනි.
5. Their Eyes Were Watching God - සෝරා නීල් හර්ස්ටන්
බුද්ධිමතුන්, සමාජ ක්‍රියාකාරීන් හා කලාකරුවන් හාර්ලම් නගරය කේන්ද්‍ර කරගෙන 1918 සිට 1930 මධ්‍යම භාගය දක්වා ගෙනගිය හාර්ලම් පුනරුදය (නව නීග්‍රෝ ව්‍යාපාරය) ගැන රචනා වූවකි. මෙය 1937 දී රචනා විය. හතළිස් හැවිරිදි වියේ පසුවන ජෙනී ක්‍රෝෆෝර්ඩ් නම් කාන්තාව තමන් සමග සබඳතා පැවැත්වූ පුරුෂයින් ගැන, සිය ජීවිතය ගැන කරන මතක ආවර්ජනයක් වන මෙහි ප්‍රේමය, ලිංගිකත්වය, අපචාරයට ගොදුරුවීම, ජීවිතයේ විමුක්තිය සොයා යෑම ආදිය සනිටුහන් වී තිබේ.
‘හොඳ පාට මිනිස්සු කවුද කියලා සුදු මිනිස්සු දන්නවා වුණත්, ඔහු නොදන්නා පිරිස වෙන්නේ නරක නයිජර්වරුයි‘ - Their Eyes Were Watching God කෘතියෙනි.
6. Sister Outsider: Essays and Speeches - ඔඩ්රි ලෝඩ්
කිවිඳියක මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක වූ ඔඩ්රි ලෝඩ් සිදුකළ ප්‍රසිද්ධ දේශන, රචනා ඇසුරින් රචනා වූ කෘතියකි. වර්ණභේදවාදය, ලිංගිකත්වය, සමලිංගිකත්වයට ඇති අනියත බිය, පංති අරගලය ගැන මෙහිදී අදහස් දක්වා තිබේ.
‘ඔබේ නිහඬතාව ඔබව ආරක්ෂා නොකරනු ඇත‘ - Sister Outsider: Essays and Speeches කෘතියෙනි.
7. How to Be an Antiracist - ඊබ්‍රාහිම් එක්ස්. කෙන්ඩි
‘ජාතිවාදී නොවේ‘ යනුවෙන් දෙයක් නැති බව ඇමරිකානු මහාචාර්යවරයෙකු වන ඊබ්‍රාහිම් එක්ස්. කෙන්ඩි මෙහිදී ප්‍රශ්න කරයි. සක්‍රියව ජාතිවාදියෙකු වීම හෝ ජාතිවාදයට විරුද්ධ වීමට පුද්ගලයෙකුට හැකි නමුත්, ඒ අතරින් උදාසීන විකල්පයක් නොමැති බවත් ඔහු තර්ක කරයි.
මේ කෘතියේදී ජාතිය ගැන කතාකිරීමට අප භාවිත කරන, නොකරන වචන ගැන කතාබහ කරයි. අප සැබෑ ප්‍රගතියක් අත්පත් කරගැනීමට නම් හුදෙක් ජාතිවාදයට විරෝධ හැඟීම් නොව ජාතිවාදයට විරුද්ධ ක්‍රියාමාර්ග ගත යුතු යැයි ඔහු තර්ක කර සිටියි.
‘පිරිමි දූෂකයන්ගේ ලිංගික ආශාවන් සන්සුන් කිරීමට කාන්තාවන් වගකිව යුතු යැයි සිතන අන්දමින් ප්‍රචණ්ඩකාරී පොලිස් නිළධාරීන්ගේ බිය සන්සුන් කිරීමට කළු ජාතිකයින් වගකිව යුතුයි‘ - How to Be an Antiracist කෘතියෙනි.
8. Between the World and Me - ටා නේසි කෝට්ස්
මේ කෘතිය පියෙකු විසින් තම පුතුට ලියූ ලිපි පෙළක් මෙන් සම්පාදනය වී ඇත. ඇමරිකාව තුළ ජාතිය හා බලය පිළිබඳ ඉගෙනගැනීමට ලේඛකයාගේම අත්දැකීම් අනුසාරයෙන් සම්පාදනය වූවක් ලෙස ටෝනි මොරිසන් මේ කෘතිය ප්‍රශංසාවට ලක්කර තිබේ. පවත්නා ගැටළු වලට මුහුණ දෙන අතරතුර අනාගත පරපුරට වඩා සුබදායී මාවතක් ගැන සිතුවිල්ල ඉදිරිපත් කරයි.
‘ජාතිය, ජාතිවාදයේ දරුවා මිස පියා නොවේ‘ - Between the World and Me කෘතියෙනි.
9. Freedom Is a Constant Struggle - ඇන්ජලා වයි. ඩේව්ස්
ලොවපුරා දියත් වූ හිංසන ක්‍රියා ගැන කියවීමට කැමති අයෙකුට පරිශීලනය කිරීමට ඉතාමත්ම සුසුසු කෘතියක් වන මෙය ලිපි රචනා, ප්‍රසිද්ධ කතා, සම්මුඛ සාකච්ඡා පෙළක් ඇසුරින් සම්පාදිතය.
‘ජාතිවාදය ගැන අර්ථවත් ලෙස කතා කරන්නේ කෙසේදැයි අප නොදන්නේ නම්, අපේ ක්‍රියාවන් නොමඟ යවන දිශාවලට ගමන් කරනු ඇත‘ - Freedom Is a Constant Struggle කෘතියෙනි.
10. The Other Wes Moore: One Name, Two Fates - වෙස් මෝර්
ව්‍යවසායකයෙකු, වැඩිම අලෙවියක් සහිත කෘති සම්පාදනය කරන කතුවරයෙකු වන වෙස් මෝර් බැල්ටිමෝරයේ හැදී වැඩෙන සිය ජීවිතය ගැන මෙහි සඳහන් කර තිබේ. සිය නිවස ආසන්නයේ වෙසෙන වෙස් මෝර් නම් තවත් තරුණයෙකු ගැන ඔහු මෙහිදී අවධානය යොමුකරයි.
එකම නම හිමි මේ තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකු සාර්ථක ජීවිතයක් ගතකරන අතර අනෙකා මිනීමරුවෙකි. මේ තරුණයන් දෙදෙනා අතර සැබැවින්ම පවතින වෙනස්කම් මොනවාද ? ඔවුන්ගේ ගේ ජීවිත වෙනස් වූවේ කෙසේද ? යන්න ගැන මෙහිදී ප්‍රශ්න කරයි.
‘අප ජීවිත ගැන අප ගන්නා තේරීම් මගින් අප අත්හැර යන උරුමයන් තීරණය වනු ඇත‘ - The Other Wes Moore: One Name, Two Fates කෘතියෙනි.
11. Long Walk to Freedom: The Autobiography of Nelson Mandela - නෙල්සන් මැන්ඩෙලා
නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිත කතාව හා නිදහස උදෙසා ඔහු දැරූ අප්‍රමාණ වෙනස ගැන රචිත ස්වයං චරිතාපදානයකි. මෙය 1994 දී කෘතිය ප්‍රකාශයට පත්විය. මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ජනාධිපති බවට පත්වන්නේ ද මේ වසරේදීම ය. ඒ වසර 27 ක කාලයක් ගෙවාදැමූ සිරගත ජීවිතයෙන් අනතුරුව හා සිරෙන් නිදහස් වී සිව් වසරක් ගිය තැනදීය.
මැන්ඩෙලාගේ ළමා අවදිය, අධ්‍යාපනය, සිරගත ජීවිතය මේ සෑම බාධයකයකටම මුහුණදෙමින් ඔහු ශක්තිසම්පන්නව නැගී සිටි අයුරු කෘතියේදී සාකච්ඡාවට බඳුන් කරයි. මානව හිමිකම් වෙනුවෙන් හඬ නැගූ ජ්‍යෙෂ්ඨයෙකුගේ ජීවිතය ගැන දැනගැනීමට මෙය අනිවාර්යයෙන්ම පරිශීලනය කළ යුතු කෘතියකි.
‘ජාතියක් ගැන විනිශ්චය කළයුත්තේ සිය ඉහළම පුරවැසියන්ට සලකන ආකාරයෙන් නොව පහළම පිරිසට සලකන ආකාරයෙනි‘ - Long Walk to Freedom කෘතියෙනි.
12. Citizen: An American Lyric - ක්ලෝඩියා රැන්කින්
සමස්ත කෘතිය පුරාම දිගහැරෙන්නේ කවියක් වන අතර ඡායාරූප හා චිත්‍ර ද ඒ අතරට ඇතුළත් කර තිබේ. වාර්ගිකත්වය නූතන ජීවිත ආක්‍රමණය කර ඇති අන්දම මෙහිදී සාකච්ඡාවට බඳුන් වේ. ජාතිවාදය නිසා සමහර පුද්ගලයින් අද්‍රෘෂ්‍යමාන හා බල රහිත තත්ත්වයට පත්කර ඇති අන්දම මින් කතාබහ කරයි. ‘පුරවැසියා‘ යන්න හුදෙක් නෛතික කාණ්ඩයක් නොවන බවත් සැබෑ පුරවැසියා යනු අනෙකාට ගෞරව කරන වගකීමෙන් යුතුව කටයුතු කරන අයෙකු බවත් ඇය පෙන්වා දේ.
‘සුදු මිනිස්සුන්ට නොහැකි නිසා
පොලීසිය ඔවුන්ගේ පරිකල්පනය තුළම හිඳියි
කළු මිනිස්සු අකාලයේම මියයනවා‘ Citizen කෘතියෙනි.
Post a Comment