ෆොන්සේකා සිවුවැනි ඊළාම් මෙහෙයුම් ගැන හෙළිකරයි

සිවුවැනි ඊළාම් යුද්ධයේ කි‍්‍රයාන්විතයන් හා ඊට සමගාමීව සිදුවූ කාර්යයන් පිළිබඳවත් විස්තරාත්මක හෙළිදරවුවක් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිය විත්ති වාචිකය මගින් කොළඹ මහාධිකරණය හමුවේ අද (24) පැවසුවේය.

යුද්ධය අවසන්වූ වහාම තමා හමුදාපති ධූරයෙන් ඉවත් කිරීම නිසා යුද්ධය ජය ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සෙබළුන්ට තමාට ස්තූති කිරීමට හෝ නොහැකිවූ බවත් ඔහු පැවසීය.

මෙම යුද ජයට විශාලම දායකත්වය ලබාදුන්නේ යුද හමුදාව බවත්, මෙම මෙහෙයුම් සිදු කිරීමේදී ගුවන් හමුදාපතිවරයාටත් වඩා වැඩි කාලයක් තමා උඩුගුවනේ සිටි බව ද හිටපු හමුදාපතිවරයා කීය.

එලෙස තමා නිරන්තරයෙන් අදාළ මෙහෙයුම් සටන් සිදුවන ආකාරය සොයා බැලූ බවත් මිසයිල අවදානමක් තිබියදීද තොරතුරු බැලීමට තමන් ගමන් කළේ ගුවනෙන් බවත්, ෆොන්සේකා මහතා සිය විත්ති වාචිකයෙන් කියා සිටියේය.

එල්.ටී.ටී.ඊ.යේ නැව් 10ක් විනාශ කළ බවත්, ඉන් නැව් අටක් විනාශ කිරීමට තොරතුරු සපයනු ලැබ්වේ යුද හමුදා බද්ධි අංශය බවත් ඔහු හෙළි කළේය.

ගුවන් හමුදාවට තමිල් සෙල්වම් ඝාතන කිරීමට තොරතුරු ලබාදුන්නේද යුද හමුදාවේ බුද්ධි අංශයෙන් බවද කීය.

කෙසේවුවද හමුදාවේ සාම්පූර් ජයග‍්‍රහණය සැමරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විශාල කේක් ගෙඩියක් කැපූ බවත්, ඉන් පසුව කේක් ගෙඩියක් කැපීම සෑම යුද ජයග‍්‍රහණයකදීම සිරිතක් ලෙස ජනාධිපතිවරයා කළ ද එම කේක් ගෙඩිය මෙහෙයුමෙන් මෙහෙයුමට කුඩාවූ බවද පැවසූ ෆොන්සේකා මහතා ජීවිත පරිත්‍යාගයෙන් ත‍්‍රස්තවාදය පරාජය කිරීමට උර දුන් හමුදා නිලධාරීන් ඇතුළු සෙබළුන්ටද ආණ්ඩුවේ සැලකිල්ල දිනෙන් දිනම අඩුවූ බවද හෙතෙම පැවසීය.

-SRILANKA MIRROR

Tell a Friend