ඉන්දීය වාණිජ මණ්ඩලයෙන් පශ්චාත් කොවිඩ් ආර්ථික පුනර්ජීවනය ගැන විඩියෝ සමුළුවක්



ඉන්දීය වාණිජ සහ කර්මාන්ත PHD මණ්ඩලය විසින් සංවිධානය කරන ලද කොවිඩ් 19 වසංගත තත්වය විසින් මතු කරන ලද අභියෝග හා අවස්ථාවන් මත දකුණු ආසියාතික කලාපයේ ව්‍යාපාර ප්‍රවර්ධන විභවතා පිළිබඳ වීඩියෝ සමුළුවක් ඊයේ (1) දින පැවැත්විණ. 

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික සහ වාණිජ අංශ ප්‍රධානී සුජා  කේ. මෙනන් මෙම වීඩියෝ සමුළුවට සහභාගී වූ අතර නේපාලයේ සහ බංග්ලාදේශයේ ඉන්දීය තානාපති කාර්යාලයන්හි වාණිජ අංශ නිලධාරීන්ද මෙම සමුළුවට එක් විය. 

පශ්චාත් කොවිඩ් ආර්ථික පුනර්ජීවනය සඳහා කර්මාන්ත හා රජයන් අතර සහ ඉන්දියාව හා මිත්‍ර රාජ්‍යයන් හා සහකරුවන් යනාදිය අතර සැලකිය යුතු සාමූහික ප්‍රයත්නයක් අවශ්‍ය වන බව සුජා කේ. මෙනන් මෙහිදී සඳහන් කළාය. එසේම ඇය නව්‍යකරණයේ සහ තිරසාර තාක්ෂණයන්ගේ වැදගත්කම පිළිබඳවද කරුණු දැක්වූ අතර ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථිකය හැඩගැස්වීමෙහිලා දෙරටෙහිම තරුණ පරපුරට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බවට විශ්වාසය පළ කළාය.  

දැවැන්ත ඉන්දියානු වෙළඳපොළට භූගෝලීය වශයෙන් ආසන්නව පිහිටීමේ වාසිය ශ්‍රී ලාංකික සමාගම්වලට ප්‍රයෝජනයට ගත හැකි බවත් ඒ තුළින් ඉන්දීය සමාගම්හි සැපයුම් සහ ගෝලීය දාමයන්හි කොටසක් බවට පත් විය හැකි බවත් ඇය පෙන්වා දුන්නාය. ඇතැම් ඉන්දීය සමාගම් දශක ගණනාවක සිට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු සිදුකරන බවත් සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව සමඟ සිටින බවත් ඇය පැවසුවාය. ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන් මත පදනම්ව ජනතා කේන්ද්‍රීය සංවර්ධන සහයෝගීතාවය ඉදිරියටත් පවත්වාගෙන යාමට ඉන්දියාව කැප වී සිටින බවද ඇය අවධාරණය කළාය.

කර්මාන්ත අංශය නියෝජනය කරමින් ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩලයේ මහ ලේකම් අජිත් පෙරේරා මහතා මෙම වීඩියෝ සමුළුවට සහභාගී විය. නේපාල වාණිජ මණ්ඩලයේ සහ බංග්ලාදේශ වාණිජ මණ්ඩලයේ නියෝජිතයන්ද වීඩියෝ සමුළුවට එක් විය.