හින්දු අධිපතිවාදී නීතිවලට එරෙහිව නැගී සිටින ඉන්දියානුවන්

භාරතීය ජනතා පක්ෂය අතින් මැතිවරන පරාජයන් රැසකට මුහුන දී ඇති කොන්ග්‍රස් පක්ෂය, දැන් හින්දු අධිපතිවාදීන්ගේ “අනාගමික” විපාර්ශවය ලෙස පෙනී සිටිමින් තම අනාගත මැතිවරන වාසනාව නංවා ගැනීමට උත්සාහ කරයි.

දීපාල් ජයසේකර විසිනි

ඉන්දියාවේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ (බී.ජේ.පී.) ආන්ඩුව සිය වර්ගවාදී පුරවැසි සංශෝධන පනතට (සීඒඒ) විරුද්ධ වන කම්කරුවන්ට හා තරුනයින්ට එරෙහි රාජ්‍ය මර්දනය වේගවත් කර තිබේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ආන්ඩුව විසින් ජාතික පාර්ලිමේන්තුව තුලින් පනවන ලද ප්‍රතිගාමී ව්‍යවස්ථාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන මුස්ලිම් නොවන සංක්‍රමනිකයින්ට ඉන්දීය පුරවැසිභාවය ලබා දෙන නමුත් දකුනු ආසියාවේ ඕනෑම රටක මුස්ලිම්වරුන්ට එම අයිතිය ප්‍රතික්ෂේප කරයි. ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ සහ මියන්මාරයේ රෝහින්ග්‍යා ඇතුලු කලාපයේ වෙනත් රටවල සංක්‍රමනිකයන්ට ද එම අයිතිය නැති කර තිබේ.



ඒ අතරම ආන්ඩුව, දැනටමත් ඊසානදිග ඇසෑම් ප්‍රාන්තයේ පනවා ඇති ජාතික පුරවැසි ලේඛනය (එන්ආර්සී) අනෙකුත් සියලු‍ම ඉන්දියානු ප්‍රාන්ත වෙත දීර්ඝ කර තිබේ. එන්ආර්සී යටතේ ඔවුන්, තමන් ඉන්දියාවේ පුරවැසියන් බව ඔප්පු කිරීමට බලධාරීන් වෙත ලේඛනගත සාක්ෂි සැපයිය යුතුය.

සීඒඒ හා එන්ආර්සී නීති මගින් මිලියන 200 ක් වන ඉන්දියාවේ මුස්ලිම් පදිංචිකරුවන් “පුරවැසියන් නොවන” අය ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ නෙරපා හැරීමේ තර්ජනයට මුහුනදෙයි.

සියලු‍ ජනවාර්ගික හා ආගමික කන්ඩායම්වල ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූ මහජන විරෝධතාවන්ට මෝඩි රජය ප්‍රතිචාර දක්වා ඇත්තේ, පොලිස් ප්‍රචන්ඩත්වය සහ රාජ්‍ය මර්දනය දැඩි කිරීමෙනි. මෙම තර්ජන නොතකා දැවැන්ත පෙලපාලි හා විරෝධතා බටහිර බෙංගාලයේ අගනුවර වන කොල්කටා හි තෙවැනි දිනටත් අඛන්ඩව පැවැත්විනි.

භාරතීය ජනතා පක්ෂ ප්‍රාන්ත ආන්ඩු විසින් ඉන්දීය අපරාධ නීති සංග්‍රහයේ 144 වන වගන්තිය උත්තර් ප්‍රදේශ්, බෙංගාලු‍රු සහ කර්නාටක ප්‍රාන්තයේ මංගලූර් හි ද පැනවීය. පුද්ගලයන් හතර දෙනෙකුට වඩා රැස්වීම තහනම් කරන මෙම මර්දනකාරී බ්‍රිතාන්‍ය යටත් විජිත නීතිය පැනවීම, සීඒඒ හා එන්ආර්සීයට එරෙහි සියලු‍ විරුද්ධත්වය සාපරාධී කිරීමට දරන උත්සාහයකි.

බදාදා සන්නද්ධ දිල්ලි පොලිසිය සහ පැරාමිලිටරි භටයන් නගරයේ සීලම්පූර් සහ ජෆ්රාබාද් ප්‍රදේශවල විරෝධතාකරුවන් බිය ගැන්වීමට සහ මර්දනය කිරීමට “ධජ පාගමනක්” හෝ බලහත්කාරී උද්ඝෝෂනයක් පැවැත්වූහ. පුද්ගලයන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 144 වන වගන්තිය, නගරයේ ඊසාන දෙස “‍රෙඞ් ෆෝට්” හි ද පනවන ලදී.

ඉන්දියාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය-මාක්ස්වාදී (සීපීඑම්) සහ එහි ඊනියා වාම පෙරමුන විසින් සංවිධානය කිරීමට නියමිතව තිබුන පෙලපාලියකට පෙර ඊයේ පොලීසිය, විරෝධතාකරුවන් කිහිප දෙනෙකු “රෙඞ් ෆෝට්” අසල රඳවාගෙන සිටියේය. මීට පෙර පොලිසිය සැලසුම් කල පාගමන සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කර තිබුනි.

බෙංගාලූරුවේ පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා පාගමනක් ද පොලීසිය විසින් තහනම් කරන ලදී. භාරතීය ජනතා පක්ෂයේ හින්දු අධිපතිවාදී නීතිවලට සහ රාජ්‍ය මර්දනයට විරුද්ධ වූයේ මන්දැයි මාධ්‍යයට පැහැදිලි කරමින් සිටි ප්‍රවීන ඉතිහාසඥ රාම්චන්ද්‍ර ගුහා, නගර ශාලාවෙන් පිටතට පොලිසිය විසින් ඇදගෙන යනු ලැබීය.

“පොලීසිය මධ්‍යම ආන්ඩුවේ උපදෙස් පරිදි කටයුතු කරයි. මර්දනකාරී ක්‍රියාවක් සම්බන්ධයෙන් අපි අවිහිංසාවාදී හා විනයගරුක ලෙස විරෝධය දක්වන්නෙමු. ඔබ කිසියම් ප්‍රචන්ඩ ක්‍රියාවක් දුටුවාද?” ගුහා පැවසුවේ තමා සහ තවත් බොහෝ දෙනෙකු බස් රථයකට නංවාගෙන පොලිසියට ගෙන යන අතරතුරය.

රජයේ බලධාරීන් කර්නාටක ප්‍රාන්තයේ මංගලූර් හි පොලිස් ස්ථාන පහක ඇඳිරි නීතිය පැනවූ අතර නගරයේ අන්තර්ජාල පහසුකම් අත්හිටුවන ලදී. පොලිස් ස්ථානයකට ගිනි තැබීමට තැත් කලැයි කියන උද්ඝෝෂකයින්ට ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු බ්‍රහස්පතින්දා මිය ගියහ. උද්ඝෝෂකයින් සහ පොලීසිය අතර ඇතිවුන දරුනු ගැටුම්වලදී උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අගනුවර වන ලක්නව්හිදී තවත් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පුද්ගලයින් 110 කට වැඩි පිරිසක් පොලීසිය විසින් රඳවාගෙන ඇතැයි වාර්තා වේ.

උත්තර් ප්‍රදේශ්හි බ්‍රජ් කලාපයේ ද විශාල සීඒඒ විරෝධී උද්ඝෝෂනයක් පැවැත්විනි. එයට පහර දුන් පුද්ගලයින් 38 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පසුව පුද්ගලික ඇප මත නිදහස් කරන ලදී. උද්ඝෝෂනය සංවිධානය කල උත්තර් ප්‍රදේශ්හි අග්‍රාහි සර්වඩලී මුස්ලිම් ක්‍රියාකාරී කමිටුවේ සභාපති සහ ලේකම් අත්අඩංගුවේ පසුවේ. බී.ආර්. අම්බෙඞ්කර් විශ්ව විද්‍යාලය තුල උද්ඝෝෂනයක් පැවැත්වීමට උත්සාහ කල සිසුන් පස් දෙනෙකු අග්‍රාහිදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන්දියාව පුරා ප්‍රධාන විශ්ව විද්‍යාල වල සිසුන් විරෝධතාවලට පුලුල් ලෙස සම්බන්ධ වී සිටිති. දිල්ලියේ ජමියා මිලියා ඉස්ලාමියා (ජේඑම්අයි) විශ්ව විද්‍යාලය සහ උත්තර් ප්‍රදේශ්හි අලිගර් මුස්ලිම් විශ්ව විද්‍යාලය (ඒඑම්යූ) වෙත ඉරිදා ම්ලේච්ඡ පොලිස් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව මෙම උද්ඝෝෂන තීව්‍ර වී තිබේ.

පොලිසිය නීතිවිරෝධී ලෙස විශ්වවිද්‍යාල දෙකටම ඇතුලු වී සිසුන් අත්අඩංගුවට ගෙන පහර දී ඇත. එහිදී සමහරු බරපතල තුවාල ලබා ඇත. ජේඑම්අයි සහ ඒඑම්යූ සිසුන්ට එල්ල වූ ප්‍රචන්ඩ ප්‍රහාර හෙලා දකිමින් ක්ෂනිකවම ඉන්දියානු විශ්ව විද්‍යාල කිහිපයක විරෝධතා පැනනැඟු‍නි.

සීඒඒ හා එන්ආර්සී වෙත දැඩි විරෝධය පලකිරීමටත්, ජේඑම්අයි සිසුන්ට සහයෝගය දැක්වීම පිනිස රට පුරා විශ්ව විද්‍යාල සිසුන්ට ස්තූති කිරීම සඳහාත් ජාමියා ගුරු සංගමයේ (ජේටීඒ) සාමාජිකයින් පාගමනක් පැවැත්වූහ.

“අපට තවත් වෙන්වීමක් අවශ්‍ය නැත” යනුවෙන් ජේටීඒ ප්‍රකාශ කලේය. “පොලිස් ප්‍රචන්ඬ ක්‍රියා” පිලිබඳව විමර්ශනය කිරීම සඳහා සංවිධානය විසින් කමිටුවක් පිහිටුවා ඇත. ජේඑම්අයි සිසුන්ට එරෙහි සියලු‍ පොලිස් චෝදනා ඉවත් කර ගන්නා ලෙසත්, පොලිස් ප්‍රහාරයෙන් හානියට පත් සියලු‍ දේපල සඳහා ප්‍රමානවත් වන්දි ඉල්ලා සිටීමටත් පියවර ගන්නා බව ඔවුන් පවසයි.

උත්තර් ප්‍රදේශ්හි උසස් පොලිසිය කියා සිටින්නේ ඒඑම්යූ නේවාසිකාගාරවලට නිලධාරීන් ඇතුලු නොවූ බවයි. එහෙත්, පොලිසිය නේවාසිකාගාර වටලා සිසුන්ට පහර දෙනු සහ දේපලවලට හානි කිරීම සීසීටීවී කැමරා දර්ශනවලින් පැහැදිලිව පෙනී යයි.

පොලිසිය සහ ශීව් සේනා ක්‍රියාකාරීන් කඳුලු ගෑස්, රබර් උන්ඩ සහ අත් තුවක්කු වලින් සිසුන්ට පහර දුන් බවත්, නේවාසිකාගාර සහ පල්ලිවලට ඇතුලු වී සිසුන්ගේ වාහන විනාශ කල බවත් පිලිබඳව කරුනු සෙවීමේ නියුතු නීතිඥයින් කන්ඩායමක් අනාවරනය කර තිබේ. සිසුන් 60 ක් පමන තුවාල ලබා ඇති අතර තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇත. බොහෝ සිසුන් අතුරුදහන් වී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන රඳවා ගනු ලැබ සිටින බවට විශ්වාස කෙරේ.

ඉන්දියාවේ වෙනස්කම් හා කෙනහිලිකම් කෙරෙන සීඒඒ, එන්ආර්සී පියවර, කම්කරු පන්තිය දුර්වල කිරීම සහ වාර්ගික රේඛා ඔස්සේ බෙදීම සඳහා වන භාරතීය ජනතා පක්ෂයේ ප්‍රතිගාමී න්‍යාය පත්‍රයේ කොටසකි. කප්පාදු ප්‍රතිපත්ති සහ ආයෝජකයින්ට ගැලපෙන “ප්‍රතිසංස්කරන” වලට ඉන්දියානු කම්කරු පන්තියේ සහ ග්‍රාමීය පීඩිතයින්ගේ වැඩෙන විරෝධයට බියෙන් සිටින භාරතීය ජනතා පක්ෂය, අන්ත දක්ෂිනාංශික හින්දු කොටස් බලමුලු‍ ගැන්වීමට හා කම්කරු පන්තියට එරෙහිව කම්පන හමුදා ලෙස යොදා ගැනීමට උත්සාහ කරයි.

ඒ අතරම, කොන්ග්‍රසය සහ ඉන්දියානු ස්ටැලින්වාදී පක්ෂ, සීඒඒ නීතිවලට එරෙහි මහජන විරෝධය ආන්ඩුවට සහ ඉන්දීය පාලක ප්‍රභූවට හානිකර නොවන ඔවුන්ට ආයාචනා කරන තත්වයට හැරවීම සඳහා උත්සාහ කරති.

භාරතීය ජනතා පක්ෂය අතින් මැතිවරන පරාජයන් රැසකට මුහුන දී ඇති කොන්ග්‍රස් පක්ෂය, දැන් හින්දු අධිපතිවාදීන්ගේ “අනාගමික” විපාර්ශවය ලෙස පෙනී සිටිමින් තම අනාගත මැතිවරන වාසනාව නංවා ගැනීමට උත්සාහ කරයි.

කෙසේ වෙතත්, සීඒඒ හා එන්ආර්සී ට දක්වන කොන්ග්‍රසයේ විරුද්ධත්වය වංචාවකි. මිලියන දෙකක පමන ජනතාවක් “රටක් නැති” තත්වයට පත් කල ඇසෑම් එන්ආර්සී, 1985 අගෝස්තු මාසයේදී එවකට අගමැති රජීව් ගාන්ධිගේ කොන්ග්‍රස් ආන්ඩුව, ඇසෑම් ව්‍යාපාරය සමඟ අත්සන් කරන ලද ඇසෑම් ගිවිසුමට අනුව කටයුතු කරයි.

1947 සිට එවකට බි්‍රතාන්‍ය ඉන්දියාව මුස්ලිම් පාකිස්තානයක් හා හින්දු ආධිපත්‍යයක් සහිත ඉන්දියාවක් ලෙස බෙදීමට එකඟ වූ හින්දු වර්ගවාදීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිලිබඳව කොන්ග්‍රසයට දීර්ඝ වාර්තාවක් තිබේ. බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුල ෆැසිට්වාදී ෂිව් සේනා සමඟ එක්ව ඔවුන් මෑතකදී ආන්ඩුවත් ද පිහිටුවා ගත්තේය.

සීඒඒ සහ එන්ආර්සීයට එරෙහි මහජන උද්ඝෝෂන පීලි පැන්වීමේ වඩාත්ම ද්‍රෝහී දේශපාලන භූමිකාව ඉටු කරනු ලබන්නේ ස්ටැලින්වාදී සංවිධාන වන සීපීඑම් ද ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) සහ ඔවුන්ගේ වාම පෙරමුන ය.

තමන් භාරතීය ජනතා පක්ෂයට එරෙහි “අනාගමික” ප්‍රකාරයක් නියෝජනය කරන බව පවසමින් ස්ටැලින්වාදීයෝ, කොන්ග්‍රසයට සහ විවිධ ප්‍රතිගාමී කුල පදනම් කරගත් ප්‍රාදේශීය ධනේශ්වර පක්ෂවලට කම්කරු පන්තිය දේශපාලනිකව යටත් කිරීමේ උත්සාහයන් වේගවත් කිරීම සඳහා මෝඩිගේ හින්දු අධිපතිවාදී පියවර ගසාකමින් සිටිති. ස්ටැලින්වාදීන් මේ වන විට දිල්ලි, කේරල සහ බටහිර බෙංගාලයේ කොන්ග්‍රසය සමඟ ඒකාබද්ධ සීඒඒ විරෝධී උද්ඝෝෂන පවත්වයි.

වෙනත් පක්ෂ හා සංවිධාන ප්‍රතිගාමී සංක්‍රමන-විරෝධී හැඟීම් ප්‍රවර්ධනය කරමින් සීඒඒ කෙරෙහි වන විරුද්ධත්වය වෙනතකට හැරවීමට උත්සාහ කරති. උදාහරනයක් ලෙස ආම් අද්මි පක්ෂයේ දිල්ලි මහඇමති අරවින්ද් කෙජ්රිවාල්, අසල්වැසි රටවලින් සංක්‍රමනය වීම නිසා ඉන්දියානුවන්ට රැකියා අවස්ථා අහිමි වනු ඇති බවට, සීඒඒ සංවිධානය දකුනෙන් හෙලා දුටුවේය. එලෙසම ඇසෑම් හි සීඒඒ විරෝධී උද්ඝෝෂන සංවිධානය කරන සමස්ත අසාම් ශිෂ්‍ය සංගමය, ඉන්දීය උප මහාද්වීපයෙන් පැමිනෙන සියලු‍ම සංක්‍රමනිකයින්ට පුරවැසිභාවය ලබා දීමට විරුද්ධ වේ.

කතුවරයා පහත සඳහන් ලිපි ද නිර්දේශ කරයි: