පාසල ගිලගත් ටියුෂන් සැණකෙළි

වර්තමානයේ විභාග සමත්වීම සඳහා උපකාරක පන්ති අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වී ඇති බව පෙනේ. මෙය පළමු ශ්‍රේණියේ සිට නොව සමහර විට මුල් ළමා විය සංවර්ධන අවස්ථාවේ සිටම දරුවන් මුහුණ දෙන යථාර්ථයකි. දරුවන් පමණක් නොව මවුපියන් මුහුණු දෙන කටුක හා වේදනාකාරී තත්ත්වයකි. 

වජිර කේ. උබේසිංහ

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය ලබා දීම වැනි විශේෂිත කරුණු අරභයා සිදු කරන උපකාරක පන්ති ද ඇත. ඒවා ආරම්භ වන්නේ බොහෝවිට සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගවලින් පසුවය. මේ ආදී ලෙස එකම විෂය තුළ විවිධ වර්ගයේ ටියුෂන් ලබා දීමේ ක්‍රමවේදයන් ද ජනප්‍රියභාවයට පත් කරනු ලැබූයේ තරගකාරී ලෙස විභාග සමත් කිරීමටය. මෙහි අවසාන ප්‍රතිඑලය විභාගය සමත්වීම පමණක් සලකා බැලීමයි. අද දවසේ පාසල් පද්ධතිය තුළත්, ඉන් පිටතත් අත් විඳිනු ලබන සංස්කෘතික, සමාජීය පරිහාණිය නිර්මාණය වන්නේ මෙම විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය හේතුවෙනි.



ටියුෂන් හෙවත් උපකාරක පන්ති යන වචනය නොදන්නා කෙනෙක් නොමැත. එසේ වුවද අදින් වසර තිහ හතළිහකට පෙර ටියුෂන් යන වචනය ලංකාවේ භාවිත නොවූ තරම්ය. එයට හේතුව අධ්‍යාපනය ලබාදීම සඳහා තිබූ ආයතනය වූයේ රජය විසින් පාලනය කළ පාසල් හා විශ්වවිද්‍යාල වීමයි. විවෘත ආර්ථීකයත් සමඟ සමාජය වේගයෙන් වානිජකරණය වූ අතර වානිජකරණයේ ප්‍රතිඑලයක් ලෙස අධ්‍යාපනය ද වානිජකරණයට ලක් විය. මේ නිසා ටියුෂන් නමින් අප අද භාවිත කරන උපකාරක පන්ති බිහි වූ අතර ඒවා මුදල් ගෙවීමෙන් අධ්‍යාපනය සහ උපදෙස් ලබාගැනීමේ ක්‍රමවේදයකි. ටියුෂන් යන වචනය පැමිණෙන්නේ 'ආරක්ෂාව, රැකවරණය, භාරකාරත්වය' යන අර්ථය ඇති 'ටුයිසියොන්' යන ඇන්ග්ලෝ-ප්‍රංශ වචනයෙනි. මේ අනුව ටියුෂන් යන වචනය තුළ අමතර ඉගැන්වීම් තුළින් ඇති කරන ආරක්ෂෘව හෝ රැකවරණය හෝ භාරකාරත්වය යන්න ඉස්මතු කළ හැකිය.

වර්තමානයේ විභාග සමත්වීම සඳහා උපකාරක පන්ති අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වී ඇති බව පෙනේ. මෙය පළමු ශ්‍රේණියේ සිට නොව සමහර විට මුල් ළමා විය සංවර්ධන අවස්ථාවේ සිටම දරුවන් මුහුණ දෙන යථාර්ථයකි. දරුවන් පමණක් නොව මවුපියන් මුහුණු දෙන කටුක හා වේදනාකාරී තත්ත්වයකි. කෙසේ වෙතත්, ගෙතීමේ පන්තියක් සඳහා වුවද උපදෙස් සඳහා කරන ඕනෑම ගෙවීමක් ටියුෂන් යන වචනය මඟින් විස්තර කළ හැකිය. එම උපකාරක පන්ති ශිෂ්‍ය ණය හෝ ශිෂ්‍යත්ව නොමැතිව ආවරණය කළ යුතුය. මේ නිසා ටියුෂන් යනු ව්‍යාපාරයක් ලෙස විස්තර කිරීමට ද හැකිය. ලාභය උදෙසා සිදු කරන අමතර ඉගැන්වීම් ක්‍රියාවලියක් ලෙස ටියුෂන් සරලව විස්තර කිරිම වරදක් නොවේ.

අධ්‍යාපන ක්‍රමය

අධ්‍යාපනය පිළිබඳ නොයෙක් නිර්වචන ඇත. අධ්‍යාපනය පිළිබඳ යම් රටක් නිර්වචනය කරගත යුත්තේ එම රටේ ඉදිරි දැක්ම හා අපේක්ෂිත දිගුකාලීන සංවර්ධන අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙනි. අධ්‍යාපනය පිළිබඳ ඇති නිර්වචන තුළින් නිරූපණය කරනු ලබන්නේ අරමුණු හෙයින් ඕනෑම රටක් තම සංවර්ධන අපේක්ෂා සමඟ ගැළපෙන අධ්‍යාපන නිර්වචනයක් ගොඩනඟා ගත යුතු වේ. එහෙත් අප සෑම විටම සිදු කරනු ලබන්නේ විදේශීය රටකින් ආනයනය කරනු ලබන අධ්‍යාපන නිර්වචන හා අරමුණු සමඟ ලංකාවේ අධ්‍යාපනය ගලපා ගැනීම ඉංග්‍රීසීන් විසින් අප රට තුළ අධ්‍යාපනය සකස් කරනු ලැබුවේ ඔවුන්ගේ යටත් විජිතයක නිෂ්පාදනය හා බැඳුණු පරිපාලනමය කටයුතු පහසු කර ගැනීම සඳහා වූ ශ්‍රමිකයන් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් බව අමතක කර ඇත.

මේ නිසා නිදහසින් පසුව ඇති කළ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ තුළින් අධ්‍යාපනයත්, වෙනස් වන වෘත්තියකරණයත් අතර සබඳතාවත් ඇති කර ගැනීමට අපොහොසත් වීම නිසා සිදුවූයේ අධ්‍යාපනයේ ප්‍රමාණාත්මක ප්‍රසාරණයට සාපේක්ෂව රැකියා නොමැති වීමයි. මේ නිසා ජනප්‍රිය ගණයේ රැකියා සඳහා විශාල තරගයක් ඇති වූ අතර ඒ සඳහා සුදුසුකම් ලබාගැනීමට දරුවන්ට බල කෙරෙන අධ්‍යාපන පරිසරයක් නිර්මාණය විය. මේ පිළිබඳ 1972 වසරේ තරුණ අසහන කොමිෂන් සභා වාර්තාවේද පෙන්වා දී ඇත.

ඒ අනුව රටේ සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලන ක්‍රමයට ගැළපෙන ලෙස අධ්‍යාපනය සකස් කර ගැනීමේ අභියෝගය නිදහසින් වසර 71 කට පසුවත් අපට ඇත. අධ්‍යාපනය විසින් ඇති කර ඇති සමාජ පරතරය ප්‍රබල ලෙස විද්‍යාමාන වන්නට පටන් ගන්නේ අසුව දශකයෙන් පසුවය. එය තවත් ආකාරයකට විස්තර කරනු ලැබුවහොත් සමාජ සඵලතාවය ඇති කිරීමේ ප්‍රධාන හා සෑම පුරවැසියකුටම ළඟාකර ගත හැකි බලවේගය වූයේ අධ්‍යාපනයයි. මේ නිසා අධ්‍යාපනය සඳහා එළැඹුම විභාග සමත්වීම සඳහා එළැඹුමක් ලෙස සමාජය වටහාගත් අතර විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුළ තරගකාරීත්වය වර්ධනය විය.

එහි අවසන් ප්‍රතිඑලය බවට පත් වන්නේ වානිජ අරමුණු පෙරදැරිව සංවිධානාත්මකව මෙම තරගයට අවශ්‍ය දැනුම හා මඟ පෙන්වීම ලබාදෙන ව්‍යුහාත්මක ටියුෂන් හෙවත් උපකාරක පන්ති ලංකාව පුරා ජනප්‍රිය වීමයි. එහි ප්‍රතිඑලය අධ්‍යාපනය පිළිබඳ වගකීමෙන් පාසල් ගුරුවරුන්, අධ්‍යාපනඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් වැනි සම්ප්‍රදායික වගකීම් දරන්නන්ගේ භූමිකා අහෝසි වීමයි. ඒ වෙනුවට මවුපියන් සහ ටියුෂන් ගුරුවරුන් එම වගකීම දැරීම සිදුකරයි. මෙහි භයානක තත්ත්වය වන්නේ රටක ජාතික අරමුණු ඉටුකර ගැනීම සඳහා මෙහෙය විය යුතු අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ග්‍රහණයෙන් ඈත් වීමයි.

ටියුෂන් සංස්කෘතියට එකතුවීම

අසූව දශකයෙන් පසුව මන්දගාමීව වර්ධනය වූ ටියුෂන් අනුව දශකයෙන් පසුව වේගයෙන් වර්ධනය වූ අතර උපකාරක පන්ති පැවැත්වීම සඳහා සංවිධානාත්මකව විශාල පරිමාණයේ ආයතන බිහිවිය. මේ නිසා අනුව දශකයෙන් පසුව ටියුෂන් සංස්කෘතියක් නිර්මාණය විය. ඒ තුළ ප්‍රචාරණවාදී උපක්‍රම වර්ධනය වූ අතර ඒවා නවීන තාක්ෂණය හා නිර්මාණාත්මක උපක්‍රම භාවිතයෙන් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරනු ලැබූයේ පෙළඹවීම වර්ධනය කර වැඩි පිරිසක් ගෙන්වා ගැනීම සඳහාය. ඒ වන විට ටියුෂන් කොතරම් ලාභදායක ව්‍යාපාරයක් ද යන වග පාසල් ගුරුවරුන් පමණක් නොව වෙනත් විවිධ වෘත්තිවල යෙදෙන්නන් පවා අවබෝධ කරගෙන තිබුණි.

මේ නිසා තරගකාරී මෙන්ම ආකර්ෂණීය ලෙස ටියුෂන් ලබා දීමට සිසුන් වැඩි පිරිසක් ගෙන්වා ගැනීමට සමහර ගුරුවරුන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සිසුන් කෙරෙහි බැගෑපත් වීම හෝ සබඳතාවයන් ලිහිල් කිරීම තුළ පැ‍රැණි පන්නයේ පරමාදර්ශී ගුරුවරයා වෙනුවට නිර්මාණය වුයේ නවීන ව්‍යාපාරික ගුරුවරයෙකි. මේ සියලුම ක්‍රමවේද නිර්මාණය වන්නේ උපකාරක පන්ති ගුරුවරයා සමඟ වැඩි වෙලාවක් සිසුන් රදවාගනිමින් කාලය වෙනුවෙන් මුදල් අයකිරීම පදනම් කරගනිමිනි. ඒ තුළ ප්‍රතිඑල ඉහළ දැමීම අවශ්‍ය වන්නේ සිසුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නොව උපකාරක පන්ති පවත්වන ගුරුවරයාගේ සාර්ථකත්වය වෙනුවෙනි. අ.පො.ස (සා.පෙළ) හෝ උසස් පෙළ ප්‍රතිඑලවලින් පසුව තමන් විසින් ලබාදුන් සාමාර්ථ සහිත කටවුට් හා අත් පත්‍රිකා බෙදමින් සිසුන්ගේ සියලු කැපකිරීමවල අයිතිය තමන්ගේ නමට ලියා ගනිති.

අවසාන ඉලක්කය

ආකර්ෂණීය ෆයිල් කවර, පැන්සල් පෙටිටි, බෑග් පමණක් නොව අධ්‍යාපනයට අදාළ නොවන ටී ෂර්ට් වැනි දේ මුද්‍රණය කර ලබා දෙමින් තමන්ගේ කණ්ඩායම වැඩි කර ගැනීමටත්, විෂය උගන්වන අනෙක් ගුරුවරුන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමටත් ටියුෂන් සංස්කෘතිය තුළ සුලභ ලක්ෂණ බවට පත් ව ඇත. තම පන්තියේ ඉගෙනුම ලබන් සිසුන් ට දක්ෂතාවය අනුව අභිප්‍රේරණ චේතනාවෙන් පමණක් නොව ප්‍රසිද්ධිය ලබා ගැනීම සඳහා විවිධ විභාග සඳහා තෑගි පිරිනැමීම වැනි සාධනීය සංස්කෘතික ලක්ෂණ ද මෙම උපකාරක පන්ති තුළ ඇත. ඊට අමතරව සිසුන් විනෝද චාරිකා ‍රැගෙන යාම ආදිය මඟින් සිසුන් තම පන්තිය තුළ රඳවා ගැනීමට ක්‍රියාකිරීම ද වර්තමානයේ දක්නට ඇත.

තවත් සමහර ගුරුවරුන් තම සිසුන් සමඟ සීල සමාදාන වැඩසටහන් වැනි ආගමික කටයුතුවල යෙදීමත්, සිසුන් පිළිබඳ පෞද්ගලිකව සොයා බලමින් මවුපියන් සමඟ සමීප සබඳතා පවත්වමින් කටයුතු කිරීම ද උපකාරක පන්තිවල දක්නට ඇත. මේ සියල්ල තුළ උපකාරක පන්ති ගුරුවරුන්ගේ අපේක්ෂාව වන්නේ වැඩි සිසුන් පිරිසක් තමා වෙත ආකර්ෂණය කර ගැනීමය. පාසල තුළ හොඳින් උගන්වමින් ටියුෂන්වලට අවධානය ගන්නා ගුරුවරුන් මෙන්ම පාසල තුළ භාගෙට උගන්වා ඉතිරි කොටස තම පෞද්ගලික උපකාරක පන්තියේදී කියාදීමට සුදානම් ගුරුවරුන් ද උපකාරක පන්තිවල දැකිය හැකිය.

උපකාරක පන්ති වර්ග කණ්ඩායම් පන්ති, ආයතනික පන්ති, තනි පුද්ගල පන්ති, පුනරීක්ෂණ පන්ති, ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරෙන පන්ති ආකාරයෙන් ගොණු කළ හැකිය. ඊට අමතරව ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය ලබා දීම වැනි විශේෂිත කරුණු අරභයා සිදු කරනු උපකාරක පන්ති ද ඇත. ඒවා ආරම්භ වන්නේ බොහෝවිට සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගවලින් පසුවය. මේ ආදී ලෙස එකම විෂය තුළ විවිධ වර්ගයේ ටියුෂන් ලබා දීමේ ක්‍රමවේදයන් ද ජනප්‍රියභාවයට පත් කරනු ලැබූයේ තරගකාරී ලෙස විභාග සමත් කිරීමටය.

මෙහි අවසාන ප්‍රතිඑලය විභාගය සමත්වීම පමණක් සලකා බැලීමයි. අද දවසේ පාසල් පද්ධතිය තුළත්, ඉන් පිටතත් අත් විඳිනු ලබන සංස්කෘතික, සමාජීය පරිහාණිය නිර්මාණය වන්නේ මෙම විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය හේතුවෙනි. ටියුෂන් ක්‍රමය විසින් මෙම තත්ත්වය තවත් උග්‍ර කර පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ඇත. උදාහරණයක් ලෙස 5 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට දැඩි ලෙස විරුද්ධ වන්නේ ටියුෂන් ගුරුවරුන් වීම තුළින්ම මෙහි ඇති බලපෑම වටහා ගත හැකි වනු ඇත.

අනෙක් වැදගත් සංස්කෘතික ගැටලුව වන්නේ ටියුෂන් ක්‍රමය විසින් දරුවන්ට ලබාදෙන අසීමිත නිදහස විසින් මත්ද්‍රව්‍ය භාවිතයට මෙන්ම ලිංගික ප්‍රේම සබඳතා සඳහා ඇති පෙළඹවීමයි. සමහර ගුරුවරුන් සිසුන් තම පන්තියට කැඳවා ගැනීමටත්, රඳවා ගැනීමටත් මෙම නිදහස භාවිත කරන අතර අසභ්‍ය දේ පවා දරුවන් සමඟ බෙදා ගනී. ඒ තුළින් ඇති කරන පෙළඹවිම් හා නිදහස විධිමත් ලිංගික අධ්‍යාපනයක් නැති ලංකාව වැනි රටකට ඇති කරනු ලබන්නේ නරක බලපෑමකි. පොත් බෑග් දමාගෙන මුහුදු වෙරළවලත්, තානායම්වල කාමරවලත් තනි වු දරුවන් නිර්මාණය වීමට වගකීම විරහිත ටියුෂන් ක්‍රමය බලපා ඇත.

ආර්ථීක බලපෑම

උසස් පෙළ හදාරන සිසුවකුගේ සරසවි සිහිනය යථාර්ථයක් කරවීමට මෙම ටියුෂන් සියල්ලම ලබාදීමට මවුපියන් උත්සාහ ගනී. ඒ අනුව එක් එක් පන්ති සඳහා මාසිකව ගෙවිය යුතු ගාස්තු වෙනස් වේ. කෙසේ වුවද සාමාන්‍ය මධ්‍යම පාන්තික උසස් පෙළ කරන දරුවකු අවම වශයෙන් 25000වත් උපකාරක පන්ති සඳහා වැය කිරීමට සිදුවීම තුළ ඇතිවන සමාජ, ආර්ථීක, සංස්කෘතික බලපෑම අඩුවෙන් තක්සේරු කළ නොහැක. විශේෂයෙන් ජීව විද්‍යාව, ගණිතය වැනි විෂය ධාරාවකින් උසස් පෙළ අධ්‍යයන කටයුතු සිදු කරන සිසුවකුට අනිවාර්යයෙන් එකම විෂය සඳහා විවිධ පන්ති කීපයකට සහභාගි වීමට සිදුවේ.

 එහි ඇති තරගකාරීත්වය හා විභාගය සමත්වීම තුළින් ජනප්‍රිය දොස්තරවරයකු හෝ ඉංජිනේරුවෙක් වීම තුළ ඇතිවන සමාජ සචලතාවය හේතුවෙන් තිබෙන දේපළ පවා කැප කරමින් දරුවන්ට ඉගැන්වීමට මවුපියන් වෙහෙසීමෙන් පවුලේ ආර්ථික තත්ත්වය බිඳ වැටීම, පාරිභෝජන හැකියාව දුර්වලවීම, පවුලේ සතුට, සමගිය නැතිවීම, අගහිඟකම් වර්ධනය වැනි හේතු නිසා ඇතිවන සමාජ, සංස්කෘතික බලපෑම පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇත.

ඉතුරුම් අහිමි වීම නිසා අයෝජන අවස්ථා ගිලිහී යාම ආදිය හේතුවෙන් පවුලේ ආර්ථිකයට පමණක් නොව ජාතික ආර්ථීකයට ද යම් බලපෑමක් උපකාරක පන්ති ක්‍රියාවලියෙන් සිදුවන බව අප අවබෝධ කරගත යුතුය. නිදහස් අධ්‍යාපනය ලබාදෙන රටක මවුපියන්ට විශාල මුදලක් තම දරුවන්ගේ උපකාරක පන්ති වෙනුවෙන් දැරීමට සිදුවීම අතිශයින් ඛේදජනකය. පාසල් පද්ධතියේ ගුරුවරුන් සඳහා වැටුප් ගෙවන අතරම ඒ සඳහා වූ බදු මුදල තම ආදායමෙන් ලබාදෙන දුප්පත් මවුපියන්ට අමතර වියදමක් දරමින් දරුවන්ට ඉගැන්වීමට සිදුව ඇත.

ලංකාවේ බොහෝ පාසල්වල උසස් පෙළ පන්ති පාසල් තුළ පැවැත්වීමට හැකියාව ඇත්තේ මුල් වසර තුළ පමණි. බොහෝ පාසල් ගුරුවරුන් 13 වසර සඳහා විෂය නිර්දේශය වසර ගණනාවකින් සම්පූර්ණයෙන්ම උගන්වා නැත. එයට හේතුව 13 වසර සඳහා දරුවන් පාසල් නොපැමිණීමයි. මේ නිසා විශාල පිරිවැයක් රජයට පාසල් පද්ධතිය නඩත්තු කිරීම සඳහා දැරීමට සිදු වන අතර මවුපියන්ට තම ආදායමෙන් වැඩි කොටසක් උපකාරක පන්ති සඳහා යෙදවීමට සිදුව ඇත. එහි භයානක අවසානය වන්නේ වසර කීපයක් ටියුෂන් සඳහා වියදම් කරමින් තම මුළු ආර්ථීකයම ඊට කැප කළ මවුපියන් තම දරුවන් අසමත් වීම නිසා අත්විඳින මානසික ගරාවැටීම හා අපේක්ෂා භංගත්වයයි.

ජාතික අධ්‍යාපන රටාව බෙලහින වීම

ඕනෑම රටක ජාතික අධ්‍යාපන රටාව නිර්මාණය කිරීම හා වෙනස් කිරීම තුළින් ජාතික අපේක්ෂාවන්ට අනුව අධ්‍යාපනය මෙහෙයවමින් ජාතික සංවර්ධනය අත්කර ගැනීම සඳහා අධ්‍යාපනය මෙහෙයවීම සිදු කරයි. ඒ අනුව වරින්වර පාසල් අධ්‍යාපනය තුළ විවිධ ප්‍රතිසංස්කරණ හඳුන්වාදෙන අතර ඒවා යථාර්ථයක් බවට පත් කර ගැනීමට උත්සාහ ගනී. මෙවැනි ප්‍රතිසංස්කරණ සාර්ථක කරගත හැක්කේ ජාතික අධ්‍යාපන ක්‍රමය ශක්තිමත්ව පවත්වා ගැනීමෙනි.

වර්තමාන රජය විසින් හඳුන්වා දුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අසාර්ථක වන්නේ මවුපියන් විසින් දරුවන් තවදුරටත් පාසල ඇතුළ ජාතික අධ්‍යාපන ක්‍රමය විශ්්වාස නොකිරීම හේතුවෙනි. විශේෂයෙන් වෘත්තීය නැඹුරුවක් ඇති අධ්‍යාපන ක්‍රමයක් වෙත ප්‍රවේශ වීමේ අවශ්‍යතාව දීර්ඝ කාලයක් තිස්සේ ජාතික අධ්‍යාපන ක්‍රමය තුළ ඇත. ඒ වෙනුවෙන් හදුන්වාදුන් 13 වසරක් අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන හෙවත් වෘත්තීය ප්‍රවේශය වැනි වැඩසටහන් පවා පාසල් පද්ධතිය තුළ අසාර්ථක වන්නේ සමාජය තවදුරටත් පාසල විස්වාස නොකරන හෙයිනි.

සමහර විට රජය පවා මෙම ටියුෂන් ක්‍රමය විසින් වර්ධනය කරනු ලැබු විභාග ප්‍රතිඵල මත අධ්‍යාපනයේ සාර්ථකත්වය මැන බැලීමේ නිර්ණායකයන් ගිලගෙන ඇත. මේ නිසා පළාත්, අතර කලාප අතර මෙන්ම පාසල් අතරත්, පාසල්වල ගුරුවරුන් අතරත් ඇති ලංකාවේ පළමුවැනියා වීමේ අවශ්‍යතාවය දිරිගැන්වීමේ වැඩසටහන් තුළින් පෙන්වා දෙන්නේ විභාග ක්‍රමය රාජ්‍ය අධ්‍යාපනයට කර ඇති විනාශයයි. සාක්ෂරතාව වැනි අරමුණු වෙනුවෙන් මෙහෙය වූ අපේ අධ්‍යාපනය නැවතත් විභාග සමත්වීම වැනි අරමුණු කරා එළැඹ තිබීම හේතුවෙන් රටක් ලෙස අප ලබා ඇත්තේ කවර ප්‍රතිඑලයක්දැයි නැවත කල්පනා කළ යුතුය. එහෙත් විභාග සමත්වීමෙන් පසු අධ්‍යාපනය තබා පත්තරයක්වත් නොබලන මිනිසුන් නිර්මාණය වන්නේ මෙම අධ්‍යාපන ක්‍රමය හේතුවෙනි.