‘‘ත්‍රස්ත ප්‍රහාරය ගැන ජනපති කල්තියා දැන සිටියා‘‘ - සුමන්දිරන්


පාස්කු ඉරු දින සිදුකරන ලද ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කල්තබා දැනගෙන සිටි  බවත් නමුත් ඒ පිළිබඳව කිසිදු පියවරක් නොගෙන පිටරට සංචාරයේ යෙදී සිටීම තමා තරයේ හෙළා දකින බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් අද (2) යාපනයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පවසා ඇත.

හිටපු ආරක්ෂක ලේකම් සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති මේ පිළිබඳව ජනපතිට පූර්ව අනතුරු ඇඟවීමක් සිදුකළ බවත්, ඔවුන් ඒ ගැන සිය ස්ථාවරය හැකි ඉක්මනින් ප්‍රසිද්ධියේ හෙළිකරාවි යන්න තමා විශ්වාස කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ. 

ජනපති විදෙස්ගතව සිටි අවස්ථාවේදී ද මේ බව දැනුම් දුන් බවට තොරතුරු හෙළි වී ඇති බවත් නමුත්, කිසිදු පියවරක් නොගැනීම  තමන් දැඩිව හෙළා දකින බවත් මන්ත්‍රීවරයා පවසයි.

තවද, එල්ටීටීඊ සංවිධානය නැවත ප්‍රතිසංවිධානය වෙන බවට වූ මිත්‍යාවක් පතුරුවමින් ඒ හරහා තමන්ට සමීප අයව පාලන බලයට ගෙන්වීමට හමුදා බුද්ධි අංශයේ සිටින ඇතැම් පිරිස් ජාතික තව්හීද් ජමාත් සංවිධානය යොදාගෙන ඇති බවත් එහි එක් සැලැසුමක් වශයෙන් මහවිරු දින වකවානුවේදී වවුනතිව් ප්‍රදේශයේ පොලිස් නිළධාරීන් ඝාතනයට ලක්කළ බවත් සුමන්දිරන් චෝදනා කර සිටියි.