‘‘රාජ්‍ය ආයතන වල තොරතුරු හුවමාරු කරගැනීම විධිමත් කරන්න‘‘ - ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්



පවුල් සංස්ථාවන් මෙන්ම සමස්ත ජන සමාජයම එකිනෙකාගෙන් වෙන් කරමින් පසුගිය පාස්කු ඉරිදා දින සිදු වූ ඛේදජනක ජීවිත හානිය පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය තම කම්පාව සහ කැළඹීම ප්‍රකාශ කර සිටී. මෙම ත්‍රස්ත ක්‍රියාවන්ගේ වින්දිතයින් සමඟ එක්සත්ව නැගී සිටිමින් ඔවුන්හට අපගේ ශෝකය පලකරන අතරම, මෙවැනි ත්‍රස්ත ප්‍රහාර සිදු වීමට ඉඩප්‍රස්තාව සලසා දුන් අඩුපාඩුකම් මගහරවා ගැනීමට තම අවධානය යොමුකරන ලෙස TISL ආයතනය මහජනතාව ඇතුළු සියලුම වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී .

ප්‍රහාරය ගැන ආරක්ෂක අංශ දැනසිටියා 

TISL ආයතනයෙහි විධායක අධ්‍යක්‍ෂ, අසෝක ඔබේසේකර ප්‍රකාශ කලේ, නුදුරේදී සිදු වීමට තිබූ ප්‍රහාරයක් සම්බන්ධව වන බුද්ධි වාර්තාවන් පිළිබඳව රටෙහි ආරක්‍ෂක අංශයෙහි වග කිව යුතු ඇතැම් ස්ථරයන් දැන සිටි බවට හෙළි වීම මඟින් රාජ්‍ය ආයතනයන්හි තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලිය සහ දේශපාලන නායකත්වය විසින් එවැනි තොරතුරු සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව ප්‍රශ්න රාශියක් මතු කරන බවයි.

අසෝක ඔබේසේකර

සියලුම රාජ්‍ය ආයතන අතර පුළුල් වශයෙන් තොරතුරු හුවමාරු කරගැනීමේ අවශ්‍යතාවයක් තිබේ යන්න, TISL ආයතනය විසින් දිගු කාලයක සිට පවත්වාගෙන ආ ස්ථාවරයකි. ඔබේසේකර තවදුරටත් ප්‍රකාශ කරන ලද්දේ, ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන සහ ආයතන සංග්‍රහය මඟින් ශක්තිමත් කර ඇති රහස්‍යභාවය පිලිබඳ වර්තමාන සංස්කෘතිය විසින්, රාජ්‍ය ආයතන, සීමිත පොදු අරමුණකින් යුතුව තම තමන්ගේ බල සීමාව තුල කටයුතු කිරීමේ වාතාවරණයක් පෝෂණය කරන බවයි. මෙම තත්වය නිසා එකම ගැටලු පිළිබඳව විමර්ශනය කරන තරඟකාරී ආයතන දෙකක් ඔවුන් අතර තොරතුරු හුවමාරු කරගැනීමට පසුබට වන අවස්ථ‍ාවන් අප විසින් අත්දැක ඇති අතර එය පැහැදිලිවම මහජන යහපතට එරෙහිව ක්‍රියා කිරීමකි.

දේශපාලඥයින් හා නිළධාරීවාදී නායකත්වය අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ වලට පෙළඹවිය යුතුයි 

දූෂණ හා අක්‍රමිකතා මගින්, විශේෂයෙන් ප්‍රසම්පාදනයට අදාල ගැටළු වලදී ජාතික ආරක්ෂාව දුර්වල කිරීමට ඇති හැකියාව ද TISL ආයතනය විසින් අවධාරණය කර සිටී. බැඳියාවන් අතර ඇති බරපතල ගැටුම් පිළිබඳව වන චෝදනාවන්ට අමතරව, වංචා සහගත ප්‍රසම්පාදනයන් සහ ටෙන්ඩර් පරිචයන් වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව අතීතයේදී අවස්ථා කිහිපයකදීම අනාවෘත වී තිබේ.

අවසාන වශයෙන් ඔබේසේකර ප්‍රකාශ කරන ලද්දේ, ‘‘මෑත දී සිදුවූ තොරතුරු හුවමාරු කරගැනීමේ ප්‍රමාදයන්, විනිවිද නොවූ රාජයක විනාශකාරී ප්‍රතිවිපාක නිරූපනය කරයි. වඩාත් විවෘත රාජ්‍යයක් ඇතිකරගැනීම සඳහා, අභ්‍යන්තරව පොදු අරමුණකින් යුතුව සන්නිවේදනය කිරීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා 21 වන සියවසේ පරිචයන්ට අනුකූලව සිවිල් සේවා ක්‍රියාපටිපාටීන් ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍ය වේ. මෙම ඛේදජනක සිදුවීම් වලින් පාඩම් උගත යුතු නම් දේශපාලන හා නිලධාරිවාදී නායකත්වය මෙකී අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා පෙළඹවිය යුතු වේ.”