‘‘ජනතාව ස්ථිර ආරක්ෂක වැඩපිළිවෙලක් ගැන විශ්වාසය තබා නැහැ‘‘ - අනුර


ආණ්ඩුව තවමත් නිවැරදි ක්‍රියාමාර්ග වලට පිවිස නැති බවත් අගමැතිවරයා පැවසූ ලෙසින් රට සාමකාමී තත්ත්වයක නොපවතින බවත් තාමත් සාමාන්‍ය සමාජය ස්ථිර ආරක්ෂක වැඩපිළිවෙලක් කෙරෙහි විශ්වාසය නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද (7) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් පැවසුවේය. 

මෙහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, 

‘‘අද රටේ කඩවල් ඇරලා තිබ්බට මිනිස්සු යන්නේ කඩේට යන්නේ නැහැ. පාසල් ඇරලා තියෙනවා ළමුන් පාසල් යන්නේ නැහැ. ඒකෙන්ම අපිට හිතෙනවා මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අගමැතිවරයා ඔහුගේ සිතේම හදා ගත්ත හිතළුවක් බවයි. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියනවා තමන්ගේ අමාත්‍යාංශයට ගිහිල්ලා වැඩ කරන්න එපා ආරක්ෂකයින් දැනුම් දුන්නා කියලා. නමුත් රටේ ජනතාවට එහෙම උපදෙස් දෙන්න කවුද ඉන්නේ ? අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියනවා මළමිනී මතින් දේශපාලනය කරන්න එපා කියලා. නමුත් මෙය ඝාතනයක්. මෙය ගංවතුරක්, සුළි සුලගක් නිසා සිදුවුන ජිවිත හානියක් නම් අපි සියල්ලටම වලක්වා ගන්න බැරි බව අප සියළු දෙනාම දන්නා කරුණක්. නමුත් මෙම ඝාතනය වලක්වා ගන්න හැකිව තිබුනත් එය සිදුකර නැති බව හොදින් පෙනී යනවා.

මේ ආණ්ඩුව ආරම්භවී ටික කාලයක් යනවිට දෙපාර්ශ්වය අතර ගැටුමක් පැන නැගුනා. අගමැතිවරයා මනෝ රාජ්‍යයක සිටියා තමන්ට ජනාධිපති පුටුවේ වාඩිවෙන්න හැකිවන්නේ කවද්ද කියලා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන් එම ධුරයට පත්වුයේ කෙසේද යන්න කියන අමතක කරලා ආපහු පුටුවේ වාඩිවෙන්නේ කොහොමද කියා මනෝ රාජ්‍යයක හිටියා. ඒකේ හොදම හරිය තමයි පසුගිය ඔක්තෝම්බර් මස 26 වෙනිදා පුපුරුවා ගියේ. ඒ හරහා රටේ ජනතාවගේ ආරක්ෂාව අනතුරේ හෙළුවා. ලැබී තිබු බුද්ධි අංශ ගැන සැලකිල්ලක් දැක්වුයේ නැහැ. මෙය අත්නොහළ වැරැද්දක් ඒ සදහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වගකිව යුතුයි.‘‘ යන්නයි.