යුද අපරාධ චෝදනා ජෙනරාල් පිට පැටවීමට යයි

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව පැවති යුද්ධයේ අවසන් කාල සීමාව තුලදී බරපතල යුද අපරාධ සිදුවී ඇති බවට ජාත්‍යන්තරයෙන් නැග එන චෝදනා හමුවේ එහි වගකීම හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පිට පැටවීමට ජනාධිපති ලේකම්වරයාගේ මෙහෙයවීම යටතේ විශේෂ මෙහෙයුමක් ආරම්භ වී තිබේ.

ඒ සඳහා හිටපු යුද හමුදාපතිවරයා ප්‍රසිද්ධියේ සිදුකළ ප්‍රකාශ උපුටා දැක්වීමට ජනාධිපතිවරයාගේ උපදේශකයින් බලාපොරොත්තු වේ. එම තත්ත්වය තුල ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුදා සේවයේ සිටියදී මෙන්ම ඔහු සක්‍රීය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව කළ ප්‍රකාශ එක්රැස් කර ජනාධිපති කාර්්‍යාලය වෙත එවන ලෙස ජනාධිපති ලේකම්වරයා ජනමාධ්‍ය අමාත්‍යාවරයාට දැනුම්දී තිබේ.

යුද්ධය ජයග්‍රහණය කරවීම සඳහා ජනාධිපතිවරයාට කිිසිදු පැහැදිලි වැඩපිලිවෙලක් නොතිබුනු බවටත්, සිව්වැනි ඊලාම් යුද්ධය සඳහා ජනාධිපතිරවයා විසින් සපයා දුන්නේ පතුරොම් පමණක් බවටත් ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ජෙනරාල් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශයද යුද හමුදා පාබල හමුදාවන් යොදාගත් කාලතුවක්කු යුද ටැංකි මල්ටිබැරල් රොකට් විදින ඇතුලූ සියලූ බරඅවි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාලන කාලයේදී ලැබුනු බවටත් ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතාගෙන් ලැබුනේ එම බරඅවි වලට අවශ්‍ය උන්ඩ පමණක් බවටත් ෆොන්සේකා මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව කළ ප්‍රකාශයද ඉහත මෙහෙයුම සඳහා යොදාගැනීමට දැනටමත් තීරණය කර තිබේ.

කෙසේ වුවද යුද ජයග්‍රහණවල ගෞරවය ෆොන්සේකා මහතාට අත්නොවන ආකාරයට මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන්නැයි ආරක‍ෂක ලේකම්වරයාද උපදෙස් දී තිබේ.

එසේම ජනාධිපතිවරයාට එල්ලවී ඇති යුද අපරාධ චෝදනාවලින් ඔහුව යම්තරමකින් හෝ ගලවා ගැනීමේ අරමුණින් යුතුව පසුගියදා සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් කර ඇති ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, මාවිල්ආරු සොරොව්ව වසාදමමින් එල්.ටී.ටී.ඊ විසින් සිව්වන ඊලාම් යුද්ධය ආරම්භ කරන මොහොත දක්වා ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා එවැනි යුද්ධයකට සූදානම්ව නොසිටි බව අවධාරණය කර තිබේ.

තමා යුද්ධයකට සූදානම් බව ජනාධිපතිවරයා විශේෂ සාම නියෝජිත එරික් සෝල්හයිම් මහතාට ප්‍රකාශ කළ මොහොතේ තමා දැඩි සේ විමතියට පත්වූ බවට වීරතුංග මහතා සඳහන් කර තිබේ.

Tell a Friend