එක්සත් ජාතීන්ගේ 'ප්‍රති ත්‍රස්ත සංචාරක ගමන් වැඩසටහනින්' මෙරටට ප්‍රතිලාභ


ත්‍රස්තවාදය පිටුදැකීම සදහා ප්‍රති ත්‍රස්ත සංචාරක ගමන් වැඩසටහන නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පසුගියදා (7) පැවැත්වුණු අතර මෙමගින් ප්‍රතිලාභ ලබන පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. 

‘‘කෙන්යාව, නවසීලන්තය හා ලංකාවේදී මෑතකදී සිදුවූ කුරිරු ත්‍රස්ත ප්‍රහාර වලදි ගෝලීය මට්ටමින් ත්‍රස්තවාදය තුරන් කිරීමේ අවශ්‍යතාවය යළිත් වරක් සිහිපත් කරදුන්නා. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ඉන් ඔබ්බට ගිය හවුල්කරුවන් සමග අතිශය සමීපව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මෙමගින් නැවත වරක් අවධාරණය කෙරුණා.

ත්‍රස්තවාදය පිටුදැකීම සඳහා ප්‍රති ත්‍රස්ත සංචාරක වැඩසටහන වෙනුවෙන් අඛණ්ඩ සහය ලබාදෙන ඉන්දියාව, ජපානය, සෞදි අරාබිය හා කටාර් යන රටවල රජයන්ට ද මා කෘතඥතාවය පළකරනවා.‘‘ යනුවෙන් මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් අවධාරණය කරයි.

ත්‍රස්තවාදය පිටුදැකීම සඳහා ප්‍රති ත්‍රස්ත සංචාරක වැඩසටහන, ඉන්දියාව, ජපානය, නෙදර්ලන්තය, කටාර් හා සෞදි අරාබිය යන රටවල දායකත්වයෙන් මෙය දියත් වේ. 


පාස්කු ඉරිදා ප්‍රහාරවලින් මිය ගිය හා තුවාල ලැබූවන් සිහිපත් කරමින් එහිදී අනුස්මරණ වැඩසටහනක් ද පැවැත්වුණි. අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.