ආරක්ෂක සහයෝගීතාව වර්ධනයට මාලදිවයින එකඟ වේ


මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් ඊයේ (8) දින උදෑසන අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ හමුවිය. එහිදී, මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලී ප්‍රමුඛ මාලදිවයින් ජනතාවගේ සහෝදරත්වය සහ සබැදියාව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ඇතුළු ජනතාව වෙත පළ කළ විදේශ කටයුතු අමාත්‍යවරයා, රටේ ඒකීය භාවය ආරක්‍ෂා කිරීමට ගත් දූරදර්ශී නායකත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා වෙත සිය ප්‍රශංසාව පළ කර සිටියේය. 

දේශසීමා හෝ ආගමික ඉගැන්වීම් නොතකන ගෝලීය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වන මෙවන් අවධියක සමස්ත ලෝකයේම ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ අනෙකුත් රටවල් සමග ආරක්‍ෂක සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා කටයුතු කරන බව ද ඔහු එම හමුවේ දී ප්‍රකාශ කර සිටියේය. 


නව තාක්‍ෂණික ක්‍රමවේද සහ උපක්‍රම භාවිත කරමින් සිදුකරන මෙම ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඩලීමට ගෝලීය ප්‍රජාව එකට එක්ව කටයුතු කළ යුතු බව මෙහිදී අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජාතික ආරක්‍ෂාවට  එල්ල වූ තර්ජනය මෙන්ම නොමග ගිය අදහස් දරන ජනතාවගේ මානසික සුවතාව යළිත් තහවුරු කිරීම අප හමුවේ ඇති අභියෝගයක් බව ද පෙන්වා දුන්නේය. 

බොහෝ මාලදිවයින් ජාතිකයින් ශ්‍රී ලංකාවේ දෙහිවල, පානදුර, ගල්කිස්ස ආදී ප්‍රදේශවල ව්‍යාපාර කටයුතුවල නියැලෙන බැවින් ඇතැම් අන්තවාදීන් මෙම ප්‍රදේශවල එම වැසියන් අතර තම ආරක්‍ෂාව තහවුරු කර ගනිමින් ත්‍රස්ත ක්‍රියා කරගෙන යන බව අග්‍රාමාත්‍යවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යවරයා දැනුවත් කරන ලදී. විද්‍යාර්ථයින් ලෙස පෙනී සිටින මුස්ලිම් ජාතික තරුණයින්ගේ විප්ලවකාරී නැගී ඒම ශ්‍රී ලංකාවේ මෙන්ම මාලදිවයිනේ ද ප්‍රවණතාවක් බව පැහැදිලි කළ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් මේ තත්ත්වය පාලනය කිරීම උදෙසා දෙරට අතර විශේෂඥ දැනුම හුවමාරු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.