ආර්ථික අර්බුදය විසඳීමට කොටස් වෙළඳපොළට අර්ථ සාධක අරමුදල් යෙදවීමේ උත්සහයක ආණ්ඩුව යෙදෙන බව ද ජනතාව තුළ ඇති බිය හා සැකය මැඩලීමට “අන්තවාදය පැරදවීමට, ජාතික සමගිය ගොඩනැගීමට, මහජන ආරක්ෂාව තහවුරු කිරීමට අපගේ කාර්යභාරය” මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ එළඹෙන මැයි 10 දින සිට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ද ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් අද (9) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ,
21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ රටේ ආර්ථිකය අර්බුදයට ගිහිං
''පසුගිය 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ රටේ ආර්ථිකය බරපතල ලෙස අර්බුදයට ගිහින්. සාමාන්‍ය ජන ජීවිතය ගැටලු ගණනාවකට මුහුණ දීලා. රටේ සංචාරක කර්මාන්ත විශාල ලෙස කඩා වැටිලා. සංචාරක හෝටල්වල සංචාරකයින් නැති තත්වයක් උදාවෙලා. සංචාරක ක්‍ෂේත්‍රයේ ජීවන වෘත්තීන් කළ සියලු දෙනාට දෛනික ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය ආදායම් අහිමි වෙලා. සංචාරක ක්‍ෂේත්‍රයේ සෘජුව සම්බන්ධ වූවන්ට සහ වක්‍ර රැකියා කළ සියලු දෙනාට මේ ගැටලුවට මුහුණ දෙන්න සිදුවෙලා. සමහර හෝටල් වහලා. සේවකයින්ට නිවාඩු දීලා. ඔවුන් තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්නේ කොහොමද ? මේ විදියට පීඩාවට පත්වෙලා ඉන්න ව්‍යාපාරිකයින් පිළිබඳව ජනතාව පිළිබඳව ආණ්ඩුවේ කිසිම මැදිහත්වීමක් නැහැ. ආණ්ඩුව ප්‍රකාශයක් කළා සංචාරක ක්‍ෂේත්‍රයේ හෝටල්වලට යම් යම් සහන දෙන්න කටයුතු කරනවා කියලා. බදු සහන දෙනවා කිව්වා. නමුත් එම ක්‍ෂේත්‍රයේම වක්‍ර රැකියා කරන ජනතාවට සුළු පරිමාන ව්‍යාපාරිකයින්ට ආණ්ඩුව ඒ කියන සහන දෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුව මේ ගැන අවධානය යොමු කරලා පියවරක් ගත යුතුයි.
කොටස් වෙළඳපොලට අර්ථ සාධක අරමුදල් යොදවන්න ආණ්ඩුව උත්සහ ගන්නවා
ආර්ථික අර්බුදය විසඳගන්න කොටස් වෙළඳපොළට අර්ථ සාධක අරමුදල් යොදවන්න ආණ්ඩුවේ උත්සහයක් තිබෙනවා. මේ වෙනවිටත් ආණ්ඩුව අර්ථ සාධක අරමුදලෙන් රුපියල් බිලියන 90ක් කොටස් වෙළඳපොළේ යොදවලා තියෙනවා. නමුත් එම කොටස්වල දැන් වටිනාකම රුපියල් බිලියන 74ක් බව තහවුරුවෙලා තිබෙනවා. මේ වෙනකොටත් අර්ථ සාධක අරමුදලට රුපියල් බිලියන 16ක පාඩුවක් සිදුවෙලා. අස්ථාවර ආර්ථිකයක් තිබෙන වෙලාවක හැත්තෑලක්ෂයක් වූ පෞද්ගලික අංශයේ සේවයකයින්ගේ අර්ථ සාධක අරමුදල කොටස් වෙළඳ පොලේ යෙදෙව්වාම අරමුදලට විශාල හානියක් සිදුවෙනවා. අපි ආණ්ඩුවට අවධාරණය කරනවා අර්ථසාධක අරමුදල් මෙවැනි අස්ථාවර අවස්ථාවල කොටස් වෙළඳපොලේ යොදවන්න එපා කියලා. ඒ වගේ පැලැස්තර විසඳුම්වලින් මේ අර්බුදයට උත්තර හොයන්න බැහැ.
රට බංකොලොත් වීමේ වගකීම පාස්කු ඉරිදා ප්‍රහාරය පිට පටවන්න බැහැ
මේ ආර්ථික අර්බුදයට ප්‍රහාරය බලපෑවා වගේම ප්‍රහාරයට කලින් මේ ආණ්ඩුව අනුගමනය කරපු වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා රට ආර්ථික අර්බුදයක හිරවෙලා තිබුණා. රට බංකොළොත් වෙලා. ආර්ථික වර්ධන වේගය 3.2 දක්වා පහළ බැහැලා. ඒක 21 වෙනිදා ප්‍රහාරය පිටින් දාන්න ආණ්ඩුවට පුළුවන්කමක් නෑ. ජනතාව ආර්ථික අමාරුවක ඉන්නවා විතරක් නෙවෙයි ඔවුන් ඉන්නේ භීතියෙන්, අවිශ්වාසයෙන්. අඩුම තරමේ තවම ආණ්ඩුවට රටේ පාසල් ටික යථා තත්වයෙන් පවත්වාගෙන යන්න නොහැකි වෙලා තිබෙනවා. ආණ්ඩුව ගත් පියවර ඉතාම අසාර්ථක බව පාසල්වලට ළමුන් නොඑන එකෙන් පෙන්වලා තිබෙනවා. පාසල් ළමුන්ට එන්න තරම් ආරක්ෂාව තහවුරු වෙලා නැහැ කියලා ඒකෙන් පේනවා. ඒ වගේම සාමාන්‍ය ජනතාවගේ ජීවිතය යථාතත්වයට පත්කරන්න තවමත් ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. ඒනිසා ආණ්ඩුව තමන්ගේ වගකීම බාරගෙන නැවත වරක් මෙවැනි අතපසුවීම් නොවීමටත් ජන ජීවිතය යථාතත්තවයට පත්කිරීමට අවශ්‍ය පියවරත් කඩිනමින් ගත යුතුයි.
පටු විදියට ජාතිවාදය පතුරුවනවා
ඒ වගේම ඇතැම් දේශපාලන කණ්ඩායම් මෙම ප්‍රහාරය තමන්ගේ දේශපාලන බංකොලොත්කම වසා ගන්න පාවිච්චි කරනවා. පටු විදියට ජාතිවාදය පෝෂණය කරන වෛරී ප්‍රකාශ නිකුත් කරනවා. අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව ප්‍රතිවිරුද්ධ අන්තවාදයක් පෝෂණය කරමින් තිබෙනවා. එක් අන්තවාදයක් වෙනුවට තවත් අන්තවාදයක් පෝෂණය කිරීමෙන් මෙම ප්‍රශ්නය විසඳන්න පුළුවන්කමක් නැහැ. ඒත් ඇතැම් පිරිස් එක් අන්තවාදයක් වෙනුවට තවත් අන්තවාදයක් පෝෂණය කරමින් තිබෙනවා. අන්තවාදය අන්තවාදයෙන් පරාජය කරන්න බැහැ. රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ හැක්කේ ජාතික සමගිය තහවුරු කිරීමෙන් පමණයි. නමුත් ආණ්ඩුව ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කරනවා වෙනුවට ඇතැම් කණ්ඩායම්වලට ජාතිවාදය පැතිරවීමට ඉඩ ලබාදී තිබෙනවා.
ජවිපෙන් විශේෂ මෙහෙයුමක්
මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි ජනතාව තුළ තිබෙන භීතිය සැකය අවිශ්වාසය දුරු කරන්න විශේෂ මෙහෙයුම්ක් දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයින් දැනුවත් කරලා රටේ මහජන ආරක්ෂාව වෙනුවෙන් කළ හැකි කාර්යභාරයට මැදිහත් වෙන්න දැනුවත් කිරීම් ආරම්භ කරනවා. ඒ වගේම ජාතික සමගිය වෙනුවෙන් කළ හැකි සෑම කටයුත්තක්ම සිදුකිරීමට මැදිහත් වෙනවා.
“අන්තවාදය පැරදවීමට, ජාතික සමගිය ගොඩනැගීමට, මහජන ආරක්ෂාව තහවුරු කිරීමට අපගේ කාර්යභාරය” - මැයි 10 සිට සම්මන්ත්‍රණ
“අන්තවාදය පැරදවීමට, ජාතික සමගිය ගොඩනැගීමට, මහජන ආරක්ෂාව තහවුරු කිරීමට අපගේ කාර්යභාරය” මැයෙන් දිවයින පුරා දැනුවත් කිරීම් මාලාවක් ක්‍රියාත්මක කරනවා. එම වැඩසටහන මැයි 10 දින ආරම්භ කරනවා. මාතරදී ටිල්වින් සිල්වා සහෝදරයාගේත් කළුතරදී පක්ෂ නායක අනුර දිසානායක සහෝදරයාගේත් සහභාගිත්වයෙන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ පවත්වනවා. මැයි 11 දින කොළඹ, කෑගල්ල, අනුරාධපුර, කුරුණෑගල, රත්නපුර යන දිස්ත්‍රික්කවලදීද මෙම සම්මන්ත්‍රණ පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. මේ මස 12, 14, 16, 19, 20දිනවල ඉතිරි දිස්ත්‍රික්කවලදීද දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. රටේ ඇති වෙලා තිබෙන අස්ථාවරත්වය අවසන් කරන්න පක්ෂයක් ලෙස ගත හැකි සියලු පියවර ගන්න බව අපි ජනතාවට අවධාරණය කරනවා.‘‘ යන්නයි.
මෙහිදී පවතින ආරක්ෂක තත්ත්වය ගැන මාධ්‍ය වදීන් විමසූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් ඔහු පැවසුවේ,
ආරක්ෂක ලේකම් හා පොලිස්පති පැහැදිලි කිරීමක් කළයුතුයි
‘‘ත්‍රිවිධ හමුදාව පොලිසිය රටපුරා සෝදිසි මෙහෙයුම් කරනවා. නමුත් එම ක්‍රියාමාර්ගවලින් පමණක් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ජනතාව අතර ජාතික සමගිය ඇතිකරන්න ක්‍රියාමාර්ග අවශ්‍යයි. නමුත් ආණ්ඩුව ඒ ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. ජනතාව අතර ජාතික සමගිය ඇති කරන ක්‍රියාමාර්ග ගන්න හමුදාවට පොලිසියට බැහැ. ඒක කළ යුත්තේ ආණ්ඩුව.
ආරක්ෂක ලේකම් ඉවත් කළා. පොලිස්පති අනිවාර්ය නිවාඩු යැව්වා. මේ දෙදෙනා තමන්ගේ කාර්යභාරය ගැන රටට පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි. ඒක ජනතාව දැනගත යුතුයි. ඔවුන්ගේ පැහැදිලි කිරීම කළොත් ජනතාවට දැනගන්න පුළුවන් දේශපාලන තීන්දු තීරණ ගන්න බලධාරීන්ගෙන් කොයිතරම් අඩුපාඩුවක් වෙලා තිබෙනවාද කියලා.
රටට විදේශ හමුදාව මැදිහත් නොකළ යුතුයි
මේ අවස්ථාවේ රට තුළට විදේශ හමුදාව මැදිහත්කරවීම නොකළ යුතුයි. බෝම්බ ප්‍රහාර සිදුකළ සංවිධානය ජාත්‍යන්තර සංවිධානයක්. ඒ සංවිධානය පිළිබඳව තොරතුරු දැන ගැනීමට විදේශ රටවල බුද්ධි අංශවලින් අවශ්‍ය උදව් ලබාගත යුතුයි. නමුත් හමුදාමය කණ්ඩායම් මැදිහත්වීම් නොකළ යුතුයි. ඒ වගේම අපේ රට තුළ වෙනත් රටවල ඔත්තු සේවා ක්‍රියාත්මක වෙනවානම් එහි සීමාවන් අවබෝධ කරගත යුතුයි. එසේ නොවුනහොත් අපේ රටේ රහස් ඔවුන් අතට පත්වීම වළක්වන්න පුළුවන්කමක් නැහැ.
අගමැති කියූ නීති නැති කතාව බොරුවක්
අගමැතිවරයා කියා තිබුණා මේ සිදුවීමට පෙර සැකකරුවන් අත්අඩංගුවට ගන්න නීති තිබුණේ නැහැ කියලා. ඒක බොරුවක්. තෙල්දෙණියේ මැවනැල්ලේ සිදුවීම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ හදිසි නීතිය යටතේ නෙවෙයි. ඔවුන් ගත්තේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ. ඒ නිසා මේ මොහොතේදීත් ඒ පනතට අනුව ක්‍රියාත්මක වෙන්න තිබුණා. නමුත් දැන් ප්‍රතිත්‍රස්ත පනත ගේන්න යන්නේ ත්‍රස්තවාදීන් මර්දනය කරන්න නෙවෙයි. ඒ පනත පාවිච්චි කරලා වෘත්තීය සමිති දේශපාලන කණ්ඩායම් මර්දනය කිරීමයි ආණ්ඩුවේ අරමුණ වෙලා තියෙන්නේ. ඒකට අපි එකඟ වෙන්නේ නැහැ.
මීට පෙරත් අපේ රටේ පාලකයෝ ආගම්වාදය ජාතිවාදය තමන්ගේ වාසියට පාවිච්චි කළා. එහෙම කරපු එකේ ප්‍රතිඵල අපි අත්විඳලා තියෙනවා. ඒ නිසා රටේ සිවිල් යුද්ධ නිර්මාණය වුණා. ඒ වගේම මෑතකාලයේත් ඕනෑ තරම් උදාහරණ තිබුණා. අපේ රටේ ආරක්ෂක අමාත්‍යංශය අන්තවාදී කණ්ඩායම්වලට උදව් කළා කියලා දැන් හෙළිදරව් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර මැදිහත්වීමත් අන්තවාදීන් පෝෂණය කරනවා. යුද්ධය පැවැති කාලයේදීත් මොසාඞ් සංවිධානය ලංකාවේ හමුදාව පුහුණු කළා වගේම එල්ටීටීඊ සංවිධානයටත් පුහුණුව ලබාදුන්නා.‘‘ යන්නයි.

Post a Comment