මඩකලපුව ශරියා ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යංශයට


මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කර ගැනීමට නියෝග කොට තිබෙන බව රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන අද (9)  පාර්ලිමේන්තුවේ දී පැවසී ය. ඔහු මේ බව පැවසුවේ‍ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විමසූ පැනයකට පිළිතුරු දෙමිනි.

‘‘මඩකළපුව ශරියා විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්න නියෝග කොට තිබෙනවා.මේ පිටුපස තියෙන කතාව සම්බන්ධව සොයා බලන්න වෙනවා.ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වුවහොත් හොඳයි කියා සිතනවා.‘‘ යනුවෙන් මන්ත්‍රී හේෂා පැවසුවේය. 

මෙහිදී දී  උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් පැවසුවේ, 
‘‘උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, උපාධි පාඨමාලා පිරිනමන ඕනෑම ආයතනයකට අනුමැතිය ලබාදීමට පෙර දීර්ඝ ක්‍රමවේදයක් තිබෙනවා. මේ ක්‍රමවේදය ගැන තාමත් තීරණයක් අරන් නෑ. මේක සාකච්ඡා කරලා, හරි ක්‍රමවේදයක් අනුගමනය කරලා මෙය කළ යුත්තේ. නොයෙකුත් සැක සංකා ඇතිවන තත්ත්වයක් දැන් ඇති වී තිබෙනවා. ඒවා තුරන් කරලා, හරි ක්‍රමවේදය අනුගමනය කරන්න ඕන. පසුකාලීනව ඒ පිළිබඳ දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරන්නම්.‘‘ යන්නයි. 

‘‘නීතිමය වශයෙන් මේ සඳහා මුදල් ලැබුණේ කෙසේ දැයි කියලා දැන ගැනීමට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි විමසුවේය. 

‘‘මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවනවා නේද ?‘‘ යි කතානායක කරු ජයසූරිය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, ‘‘පරීක්ෂණයක් පවත්වන බව‘‘ යි.